මිනිස් දෑතින් නිමවූ කෘතිම සමුදුර ගැන දන්නවාද..?

සූවස් ඇළ මිනිසා විසින් නිර්මිත විස්මිත නිර්මාණයකි. සූවස් කැනල් කම්පැනි නමැති සමාගම විසින් 1859 සහ 1869 කාල වකවානුවේදී මේ ඇළ කණින ලදී. මෙය සාදා නිම කිරීමට අවුරුදු දහයක් ගත වී තිබේ. 1869 නොවැම්බර් 17 වැනිදා මෙය උත්සවාකාරයෙන් විවෘත කර තිබේ.

සූවස් ඇළ ඉදි කිරීමට පෙර ඉන්දීය සාගරය පසු කරමින් ගමන් ගන්නා ‍නෞකාවකට අත්ලන්තික් සාගරයට ළඟා වීමට සම්පූර්ණයෙන්ම අප්‍රිකානු මහාද්වීපය වටා යාත්‍රා කිරීමට සිදු විය. එය අතිශයින් දීර්ඝ වූ ගමනක් විය. එහෙත් ඉන්දීය සාගරයෙන් සෝමාලියාව, ජිබුටි පසු කර රතු මුහුද ඔස්සේ ගමන් ගන්නා නෞකාවක් ඉතිරි කුඩා ගොඩබිම් තීරුව නොමැත්තේ නම් ඉතා පහසුවෙන් මධ්‍යධරණී මුහුදටත් එතනින් උතුරු අත්ලාන්තික් සාගරයටත් පිවිසිය හැකිය. මෙලෙස එකී මාර්ගය ඔස්සේ නාවික මාර්ගයක් බිහි වීම වළක්වන්නේ ඊජිප්තුවට අයත් ගොඩබිම් තීරයකි. සූවස් ඇළ තැනෙන්නේ මේ ගොඩබිම් තීරය මතිනි.


මෙමගින් උතුරු අත්ලන්තික් සාගරයට මෙන්ම ඉන්දීය සාගරයටද පහසුවෙන් ළඟා විය හැකිය. මෙහි දිග කිලෝමීටර් 193.30කි. ටොන් 20000කට අධික vessel වර්ගයේ නැව්වලට පවා මෙහි පහසුවෙන් ගමන් කළ හැකිය.

පිහිටීම අනුව කෙසේ වුවද සූවස් ඇළ අයත් වන්නේ ඊජිප්තුවටය. ඊජිප්තුවේ සූවස් අධිකාරිය මගින් මෙහි ඇළේ සියලු පාලන කටයුතු කරනු ලැබේ. දිනකට මේ විශාල ඇළ මාර්ගයේ අති විශාල නැව් 49 සිට 97ක් දක්වා ප්‍රමාණයක් යාත්‍රා කරන බව සඳහන්ය.

සූවස් ඇළ තැනෙන්නේ මෑත ඉතිහාසයේදී වුවද ඒ ගොඩබිම් කොටස මතින් ඇළක් ඉදි කිරීමට ගත් ඉපැරණි උත්සාහයන් සම්බන්ධව සාක්ෂි ඈත ඉතිහාසයෙන් හමු වේ. ඊජිප්තුවේ විසිවැනි රාජවංශය විසින් මේ ප්‍රදේශය හාරා ඇළ මාර්ගයක් ඉදි කර නයිල් ගංගාව සමග සම්බන්ධ කිරීමේ උත්සාහයක් දැරූ බවට වාර්තා හමු වී තිබේ. පසුව ඔවුන් එම ඇළ මාර්ගය හෑරීම අත්හැර දමා ඇත්තේ නයිල් ගංගාවට මුහුදේ කරදිය ජලය මිශ්‍ර වන බව වටහා ගැනීමත් සමගිනි.

පසුව එවකට පැවති ඊජිප්තු රජය විසින් මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙස සූවස් ඇළ නිම කිරීමෙන් පසු එය ඊජිප්තු රජයට පබල ආදායම් මාර්ගයක්ද වී තිබේ. 1956දී සූවස් ඇළ එරට ජාතික වස්තුවක් ලෙස ඊජිප්තු රජය විසින් නම් කරනු ලැබීය. ඒ සමගම සූවස් අධිකාරියද පිහිටුවනු ලැබීය. ඇළ මාර්ගය ඔස්සේ ගමන් ගන්නා නැව් ඊජිප්තු භූමිය හරහා ගමන් ගන්නා අවස්ථාවේදී කිසියම් මුදලක් ඒ සඳහා ගෙවිය යුතු විය.

මෙලෙස ඊජිප්තුවට හොඳ ආදායම් මාර්ගයක් වූ සූවස් ඇළ පසුකාලීනව යුද්ධයකට මුල පිරීමට හේතු සාධකයක්ද විය. එවකට ඊජිප්තු ජනාධිපති වූ අබ්දෙල් නසාර් විසින් ඊශ්‍රායෙල් නැව්වලට සූවස් ඇළ මාර්ගය තහනම් කරනු ලැබීය. මෙයට බ්‍රිතාන්‍ය, ප්‍රංසය සහ ඊශ්‍රායලය විරුද්ධත්වය ප්‍රකාශ කළ අතර ලෝක ප්‍රජාවගේ අවධානය ඒ සමගම සූවස් ඇළ වෙත යොමු විය. මෙලෙස සූවස් ඇළ පදනම් කර ගනිමින් අරාබි යුද්ධය ආරම්භ විය. අරාබි යුද්ධයට මැද පෙරදිග රටවල් සියල්ලම පාහේ එකතු වූ අතර කැනේඩියාවේ බාහිර කටයුතු පිළිබඳ ලේකම් ලෙස්ටර් බීපර්සන් මහතාගේ මැදිහත් වීමෙන් අරාබි යුද්ධය නැවැත්වීමට පියවර ගැනිණි. ඔහු විසින් කරන ලද යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව මුල්වරට සූවස් ඇළ වෙත යැවීමට පියවර ගැනිණි.

1967දී නසාර් සාම සාධක හමුදාවට සූවස් ඇළෙන් ඉවත් වන ලෙස නියෝග නියෝග කළේය. ඊශ්‍රායලය එයට විරුද්ධ වූ අතර එවිට එක් ඇළ මාර්ගයක් නැව්වලට පැමිණීමට නොහැකි වන ලෙස ඊජිප්තු ජනාධිපති නසාර් විසින් වසා දමන ලදී. යළිත් යුද්ධය ඇති විය.

1967 ඊශ්‍රායෙල් හමුදාව සිනායි ප්‍රෙද්ශය අල්ලා ගන්නා ලද අතර සූවස් ඇළේ නැගෙනහිර කොටස්ද තම බලය තහවුරු කර ගැනීමට ඔවුහු සමත් වූහ. යළිත් 1975 ජූනි 5වැනිදා සිට ඊශ්‍රායල් නැව්වලට ඒමට නොහැකි වන ලෙස ඇළ මාර්ගය වසා දමන ලද අතර ඊශ්‍රායල් yellow fleet භාණ්ඩ ප්‍රවාහන නෞකා 15ක් අවුරුදු අටක් මේ ඇළ මාර්ගයේ සිර වී තිබිණි.

අද වන විට සූවස් ඇළ ලෝක ප්‍රජාව විසින් කෙටි නාවික ගමන් වාර සඳහා ප්‍රයෝජනයට ගැනේ. මේ මගින් උතුරු අප්‍රිකාවේ කේප් ටවුන් හරහා යාත්‍රා කිරීමට ගත වන කිලෝමීටර් හත්දහසක පමණ දුරක් ඉතිරි කර ගනිමින් පහසුවෙන් ගමන් කිරීමට නෞකාවලට හැකියාව ලැබී තිබේ. 2016 පෙබරවාරියේදී සූවස් ඇළ අධිකාරිය මගින් ඇළ තවත් පුළුල් කොට සේවා රැසක් සැපයීමට පියවර ගැනීමත් සමග එය පහසු නැව් ගමන් මාර්ගයක් ලෙස ඉතිහාසයට එක් වී තිබේ.

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි