ඔයා ලංකාවේ තියෙන මේ තැන් දන්නවාද බලන්න

මෑතකදී මා මිත්‍ර වෛද්‍යවරයකුගෙන් මට දුරකථන ඇමතුමක්‌ ලැබුණ. “අපි කට්‌ටියක්‌ එක්‌ක ළඟදි කුෂ්ටරාජගල බලන්න එනවා. වැලිගම තව බලන්න තැන් තියෙනවද?” අග්‍රබෝධි විහාරය, රාජකුලවඩන විහාරය, පුරාණ තිරුවාල කෝවිල පිහිටියා වූ ස්‌ථානයේ වන බෝධිමළු විහාරය, පොල්වත්ත පුරාණ විහාරය විතරක්‌ නෙවි මුහුද මැද පිහිටි කුඩා දූපතක්‌ වූ ගං දූව ගැන මතකයට ආවෙ නිතැතින්. ඒ හැරුණම රාක්‍ෂ මුහුණු කන්ද?

මා කලකට පෙර කියෑවූ මුද්‍රිත සංචාරක මාර්ග සටහන් පොතක වැලිගම දුම්රිය ස්‌ථානයෙන් බැසගොස්‌ රාක්‍ෂ මුහුණු කන්දෙහි පිහිsටි නටබුන් නරඹන ලෙස උපදෙස්‌ දී තිබුණත් ඒ පිළිබඳව ප්‍රදේශයේ සමහරුන්ගෙන් විමසා සිටියත් එවැනි නටබුන් ඇති බවක්‌ දැනගන්නට නොලැබුණි. එබැවින් එම ස්‌ථානයට යැමට අප තීරණය කළේද ඒ නිසාමය.

වැලිගම නගරය දකුණු ලක ගාල්ල හා මාතර යන නගරයන්ට මැදිව මාතර දිස්‌ත්‍රික්‌කයේ මුහුදට යාබදව පිහිටා ඇති අතර මනරම් වැලිගම් මුහුqදු බොක්‌ක, දිය මත ලිස්‌සා යැමේ ක්‍රීඩාවට උචිත වූ රළ බිඳෙන වෙරළ, ඉතා රස ගුණ ඇති මුහුදු මාළු යහමින් පැවතීම යන හේතු උඩ දැනට සංචාරක ආකර්ෂණයට වැඩි වශයෙන් ලක්‌වන ස්‌ථානයක්‌ ලෙස සඳහන් කරන්න පුළුවන්.

අර්ධ නාගරික ස්‌වභාවයක්‌ ගත් මෙහි ප්‍රධාන පෙළේ දුම්රිය ස්‌ථානයත්, බස්‌ නැවතුම් පොළත්, සිනමා ශාලාවත්, තැපැල් කාර්යාලයත්, ජනප්‍රිය පාසල් කිහිපයක්‌, පුස්‌තකාලයක්‌ හා නගර ශාලාවක්‌, ක්‍රීඩා පිටියක්‌, රෝහලක්‌, පොලිසියත් යන ආයතනයන්ගෙන් සමන්විත බැවින් ප්‍රදේශවාසීන්ගේ අවශ්‍යතාවන් සපුරාලීමට සමත් පරිසරයක්‌ ඇති බව නොකියාම බැහැ.

කලින් නියම කරගත් දිනක අපි කණ්‌ඩායම මැනවින් සූදානම්ව මෙම ස්‌ථානයේ තතු සියෑසින් දැක ගැනීමට පිටත් වුණෙමු. රියෑදුරු ධර්මපාල මහතා හා අප රැගත් වාහනය වැලිගම කප්පරතොට හන්දියෙන් හරවා යම් දුරක්‌ ඉතා පටු වංගු සහිත මාර්ගයේ ධාවනය කිරීමෙන් පසු එහි ගමන් කළ හැකි අන්තයටම පැමිණි බැවින් ඉතිරි මඟ අපට පා ගමනින් යැමට සිදුවිය. එහිදී මෙම ප්‍රදේශය ගැන තරමක්‌ දන්නා විනීතා හා ජයසේකර යන මහත්මීන්ගෙන් සහ ඡායාරූප ගැනීමට අපට උදව් වුණ මෛත්‍රී සුමේධ මහතාගෙන් ලද සහාය ගැන සඳහන් කළ යුතුමයි.

අප යන මෙම ගමන පිළිබඳව දැනගත් සමහරු මෙම ස්‌ථානයට යැම එතරම් උචිත නොවන බව පැවසූ ඔවුන්ගේම වචනවලින්ම කියනව නම් “මොකටෙයි මහත්තයෝ ඔතනෙට යන්නෙ… ඕක නපුරු බිලි ගන්නා තැනක්‌” තවත් කෙනකු අප සමග පැවසුවේ “අපෝ හරිම ගල් ගොඩක්‌. ඔරුවක්‌ වත් ඔය හරියට ගන්න බෑ” වශයෙනි.

අඩි පාරවල් ඔස්‌සේ පැමිණි අපට ජනාවාසයෙන් මදක්‌ ඔබ්බෙන් වූ වැටකෙයියා ගාලක්‌ මැදින් ගමන් කිරීමට සිදුවිය. ඉතා අපහසුවෙන් කටු සහිත වැටකෙයියා පත්‍රවලින් ආරක්‌ෂා වෙමින් ඇස්‌වල ආරක්‍ෂාවට ඉදිරියට නැමී පැමිණි අපට මුහුද දෙසට නෙරාගිය තුඩුවක්‌ වැනි භූමි කඩකදී ඊට තරමක්‌ දුරින් පිහිටි රාක්‍ෂ මුහුණු කන්ද මනාව නැරැඹිය හැකි විය.

ඉදිරියෙන් හා එක්‌ පසෙකින් තෙරක්‌ නොපෙනෙන නිල්වන් වූ මහා සමුදුරත්, වලාවන් පිරි අහස්‌ කුසත්, අනෙක්‌ පසින් මෙම ප්‍රදේශයේ මිනිසුන් කාලාන්තරයක්‌ මුළුල්ලේ රාක්‍ෂ මුහුණු කන්ද ලෙස හඳුන්වන සමුදුරු රළ බිඳෙමින් පෙනකැටි නංවන කළුගලින් පාදම සැරසූ අඩි 40 ක්‌ පමණ අහසට නැඟි කඳු ගැටයක්‌ අපට දැකගත හැකි විය.

එහි පහළට වන්නට පිහිටි ගුහා කට දුටු විට වැලිගම නගරයේ ප්‍රසිද්ධ සංගීත ආචාර්යවරයෙක්‌ වන ජයවීර මහත්මා තමා කුඩා කල ඉතා අනතුරුදායක වුවත් එම ගුහාව හරහා ගොස්‌ විනෝද වූ බව පැවසූ අයුරු මට සිහිවිය.

මුහුදින් හමන දැඩි සුළඟත්, ලිස්‌සන බොරලු වැනි ගල් කැබලිතිවලින් සෑදුණ ආනත වූ පොළොව මත රැඳී සිටිමින් මෙය නැරැඹීම හා ඡායාරූපකරණය ඉතා සීරුවෙන් කළ යුතු වූ අතර එහිදී මා ලබාගත් ඡායාරූප මෙහි පළ වේ.

අප ආපසු වාහනය වෙත පැමිණෙන විටද ප්‍රදේශවාසීන් අප සමග පැවසුවේ මෙහි කිසිදු වැදගත් යමක්‌ නොමැති බවයි. ඒත් මෙම ප්‍රදේශයේ කුඩා කල සිට වෙසෙන වයස අවුරුදු 75 ක්‌ පමණ වූ කාන්තාවක්‌ පමණක්‌ ඇය කුඩා කල මෙහි මුහුණු වැනි වචනයෙන් විස්‌තර කළ නොහැකි යමක්‌ දැක ඇති බවට පවසා සිටින ලදී.

නැවත නිවස වෙත පැමිණීමෙන් පසු මා ලබාගත් ඡායාරූප පරිගණකය ඔස්‌සේ නරඹමින් මෙහි නමින්ද හැඟවෙන අයුරින් මුහුණු හෝ කිසියම් වැදගත් යමක්‌ ඇත්දැයි විපරම් කරන විට පරිගණක තිරය මත සටහන්ව තිබූ දසුන මා තුළ විශ්මය දනවන සුලු විය. එහි අසිරිය ඔබටද මෙම ඡායාරූප මැනවින් නිරීක්‍ෂණය කළහොත් විඳිය හැකිවනවා නොඅනුමානය.

මුහුදට මුහුණලා ඇති සෘජුව ඉහළට නැඟී සිටි ගල් පව්ව මත ඇති මහා සමුදුර වෙත නෙතු යොමා සිටින තොල්, නිකට, කම්මුල් හා නළල වෙන වෙනම හඳුනාගත හැකි මිනිස්‌ හෝ රාක්‍ෂ හිස්‌ ද්විත්වයක්‌ද ඊට අමතරව ඒ අසලම ගොඩබිම දෙසට වන්නට වූ වඩාත් විරූපී වූ හිසක්‌ වැනි නිර්මාණයක්‌ද විය. මෙම මුහුණු තුන එකට ගෙන බැලුවහොත් තොවිල්වලට ගන්නා වෙස්‌ මුහුණක ස්‌වරූපය ගනී.

මෙය ස්‌වභාවික නිර්මාණයක්‌ හෝ යම් පුද්ගලයකුගේ හෝ කණ්‌ඩායමක මැදිහත් වීමෙන් කරන ලද නිර්මාණයක්‌ විය හැකියි. මෙය මීට ශතවර්ෂ ගණනාවකට පෙර අදට වඩා පැහැදිලිව දර්ශනය වන්නට ඇත.

අතීතයේ දී මිනිසුන් දැන සිටි නමුත් කාලයේ වැලිතලාවට යටව අමතකව ගිය මෙම ස්‌ථානය හා එහි නටබුන් නැවත හඳුනා ගැනීමට ලැබුණ බව මාගේ අදහසයි. මෙම ස්‌ථානයට රාක්‍ෂ මුහුණු කන්ද ලෙස නම් ලැබීමට මෙම මුහුණු හේතු වූවා නොඅනුමානය.

වැලිගම කුෂ්ටරාජගල ආශ්‍රිතව ලාදුරු වැනි චර්ම රෝගයක්‌ ගැන පුරාවෘත්තයක්‌ පවතින බැවින් සහ මෙම මුහුණුවල නිසි ප්‍රතිකාර නොලැබ රෝගය උත්සන්න වූ ලාදුරු රෝගීන්ගේ මුහුණුවල ස්‌වභාවය දක්‌නට ඇති බැවින්ද මෙම ස්‌ථානයේ එම රෝගය ඇති කරනු ලැබේ යයි එවකට සිතූ අමනුෂ්‍යයන්ගෙන් නිදහස්‌ව ආරක්‌ෂා වීමට මෙම ස්‌ථානයේ ගුප්ත ප්‍රතිකාර හෝ පුද පූජා පවත්වන්නට ඇති බවට මම අදහස්‌ කරමි. එබැවින් ආරක්‌ෂා මුහුණු කන්ද රාක්‍ෂ මුහුණු කන්ද වූ බවද සිතිය හැක.

ඔබ සංචාරයට ප්‍රියමනාප පුද්ගලයෙක්‌ නම් දැනටමත් මෙම ස්‌ථානය නැරැඹීමට තීරණය කර ඇත්නම් මම එක්‌ දෙයක්‌ මතක්‌ කරනු කැමැත්තෙමි. එනම් මෙම ආරක්‌ෂක මුහුණු කන්ද පාමුලට යැම ඉතා අනතුරුදායක බව හා එහි යැමෙන් තරමක්‌ ඈත සිට අප දුටු දසුන, මීට පෙර මෙහි ආසන්නයටම ගිය මෙහි ප්‍රදේශවාසීන්ට මෙන් නැරැඹීමට නොහැකි වන බවයි.

එබැවින් දුර සිට හෝ සමුද්‍රයේ සිට මෙම මනරම් දසුන නැරැඹීමට වගබලා ගැනීමත් ආරක්‌ෂා මුහුණු ගැන මෙන්ම ඔබේ ආරක්‌ෂාව පිළිබඳව සිත යොමු කිරීමත් ඵලදායක වන බවයි.

වෛද්‍ය අයි. යූ. සමරසිංහ