සොබා­ද­හ­මට එදි­රිව නොගිය විශ්මිත ශිෂ්ටා­චා­රයක රහස්

එල්ලංගාවක රැඳෙන ජලය හේතුවෙන් භූගත ජල මට්ටම ඉහළ යන අතර උල්පත්වල ජලයද වැඩි කාලයක්පුරා ආරක්ෂාවීම සිදු වේ. මේ නිසා පසේ ක්‍ෂුද්‍ර ජීවන්ට වැඩීමට සුදුසු තත්වයක් ඇති වේ. මේ නිසා පසේ ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රමාණය ඉහළ යයි. මේ ක්‍ෂුද්‍ර ජීවින් විසින් පසට එක්වන සත්ව සහ ශාක කොටස් ජීර්ණය කරමින් පසට පො‍ෙහාර ලබා දීමේ කාර්යය සිදු කරයි. මේ නිසා පස තුළ ස්වාභාවිකවම වසර පුරා පොහොර නිපදවමින් සරුසාර පසක් නිමැවේ.

ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාව සාර්ථක කෘෂිකාර්මික රටක් බවට පත් වූයේ ඊට අවශ්‍ය සියලු දේ සොබාදහම විසින් නොමසුරුව දායාද කොට තිබූ නිසා යැයි බොහෝදෙනාගේ පිළිගැනීම වේ. නමුත් අපේ මුතුන් මිත්තන් විසින් සොබාදහම විසින් උරුම කර දී තිබූ සෑම ස්වභාවික සංසිද්ධියක්ම ඒ ආකාරයෙන්ම ප්‍රයෝජනයට නොගත්තේය. ඒ සැම සංසිද්ධියක්ම ඉතාම කල්පනාකාරීව වඩාත් උචිත ලෙස වෙනස් කරමින් භාවිතයට යොදා ගෙන තිබුණි. ඒ පිළිබඳව දැක් විය හැකි වැදගත්ම සහ විශිෂ්ටම උදාහරණය වන්නේ නිර්මාණශීලී ජල කළමනාකරණයයි.

මෙහි දී වඩාත් වැදගත් වන්නේ ගැඹුරු විද්‍යාත්මක පදනමක් සහිතව ඉතා සරළව එම පරිසරයට ගැලපෙන තාක්ෂණික ක්‍රමෝපායන් යොදාගැනීමට ඔවුන් සතු වූ ඥානයයි. අනෙක් සුවිශේෂී කාරණය වන්නේ ඒවා කිසිවක් සොබාදමට එරෙහිව සිදු කළ වෙනස්කම් නොවීමයි. ඒ නිසා අදත් මේ වාපී නිර්මාණ ක්‍රියාකාරීය. එසේම තවත් වසර දහස් ගණනක් වුව ද ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයේ මේවා පවති.

අප බොහෝ දෙනා මෙරට අතීත වාරි කාර්මාන්තයේ විශිෂ්ටතම නිර්මාණ ලෙස දකින්නේ මහා වැව් සහ දැවැන්ත දිය හැරවුම් පමණි. නමුත් ඒ සියල්ලටම නොදෙවනි නිර්මාණයක් අපේ පුරාණ වාරි පද්ධතිය තුළ තිබේ. ඒ දැවන්ත සහ මධ්‍ය ප්‍රමාණයේ වැව්වලට ඉහළින් නිර්මාණය කර ඇති එකිනෙක හා බැඳුණු කුඩා වැව් පද්ධතියයි. වියලි කලාපයේ දී අපට මේවා හොඳින්ම දැකගත හැකිය. සිංහල ව්‍යවහාරය අනුව මේවා ‘එල්ලංගා’ නැති නම් ‘අගාර පාර’ ලෙස හැඳින්වේ. නමුත් බොහෝ දෙනා මේවා දන්නේ “Cascade”යන ඉංග්‍රිසි නමිනි. අද මෙරට වාරිමාර්ග ක්ෂේත්‍රයට අමතක වී ඇති වැදගත්ම වාරි පද්ධතිය වන්නේ මේ එල්ලංගා හෙවත් ආගර පාර වැව් පද්ධතියයි.

ශ්‍රී ලංකාවට වසරේ කාල දෙකක දී දෙපසින් හමන මෝසම් සුළං දෙකකින් වැසි ලැබේ. ඊසාන දිග මෝසම් වැසි නොවැම්බර් මාසයේ සිට ජනවාරි මාසය දක්වා කාලය තුළ වියලි කලාපයට ලැබේ. අපේ‍්‍රල් මාසයේ සිට ජූලි මාසය දක්වා නිරිත දිග මෝසම් වැසි තෙත් කලාපයට ලැබේ. සාමාන්‍යයෙන් වාර්ෂිකව මි. මි. 2000කට අධික වර්ෂාපතනයක් තෙත් කලාපයට ලැබෙන අතර, වියලි කලාපයට ලැබෙන්නේ මි. මි. 2000කට අඩු වාර්ෂික වර්ෂාපතනයකි. වියලි කලාපයට වාර්ෂිකව ලැබෙන එම වැසි ප්‍රමාණයෙන් 2/3ක්ම ලැබෙන්නේ ඊසාන දිග මෝසම් වැසි මගිනි.

මාස 3ක් වැනි කෙටි කාලයක් තුළ සාමාන්‍යයෙන් එම වැසි පවතී. වියලි කලාපයේ පවතින වඩා උස් නොවූ නෙරීම් සහිත රැලි බඳු භූගෝලීය ස්වභාවය නිසා, වැසි ජලය කුඩා දිය පාරවල් ලෙස ආරම්භ වී එකිනෙක සමඟ එක් වෙමින්, ක්‍රමයෙන් විශාල දිය පාරවල් සහ ඇළවල් බවට පත් වී, මහා ගංඟාවන් ලෙස මුහුදට ගලා යයි. වැසි කාලය අවසන් වී මාස කිපයක් යන විට මේ දියපාරවල් ක්‍රමයෙන් වියලී යයි. වාර්ෂිකව ඇදහැලෙන වර්ෂාවෙන් 55% – 60% අතර ජල ප්‍රමාණයක් තෙත් කලාපයට ලැබේ. එසේම 40% – 45%ත් අතර ජල ප්‍රමාණයක් වියලි කලාපයට ලැබේ. වියලි කලාපයට ලැබෙන වර්ෂාව මාස 3ට පමණක් සිමාවන නිසා මාස 9ක් ම වැසි රහිත ගතකිරීමට ඔවුන්ට සිදු වේ.

රිසර විද්‍යාත්මකව තෙත් බිම් පරිසර පද්ධතියක් ලෙස අර්ථ දක්වන්නේ, වසර පුරා හෝ වසරේ යම් කාලයක කරදිය, මිරිදිය හෝ කිවුල් දිය, ගලා බසින හෝ රැඳී පවතින ස්වාභාවික හෝ මිනිසා විසින් ගොඩනැගූ භුමියකි. මෙහි ස්වභාවය වටහාගත් අපේ මුතුන් මිත්තන් මේ ප්‍රදේශයට කෙටි කාලයක දී ලැබෙන විශාල ජල ප්‍රමාණය වසර පුරාම තම බිමෙහි තබා ගෙන රැක ගැනීම සඳහා මනා වූ උපක්‍රමයක් භාවිත කළහ. එනම් මේ

දියපාරවල තැනින් තැන කුඩා බැමි බැඳ, වැව් සකස් කර වැසි දිය රඳවා ගැනිමය. මේ මඟින් සෑම වැව් දෙකක් අතර බිම්කඩ ඉහළින් පිහිටි වැවෙන් ලබාගන්නා ජලයෙන් වගා කරන කුඹුරු බවට පත් කළේය. ඒ අනුව මේ ‘අගාර පාරක්’ හෝ ‘එල්ලංගාවක්’ වැවක්, කුඹුරක් සහ වැවක් ලෙස වැව් සහ කුඹුරු පද්ධතියක් සකස් කර තිබේ. එය ඉහත රූප සටහන බැලූ විට අවබෝධවේ.

මේ හැම වැවකම ජලය ඊට පහළින් ඇති කුඹුරට ලබා ගත් පසු නැවතත් තවත් වැවකට එක්වේ. ඒ වැවට එක්වෙන ජලය ඊට පහළින් ඇති කුඹුර විසින් ප්‍රයෝජනයට ගනු ලැබේ. අවසානයේ දී මෙසේ ගලා එන දිය පාරවල් කීපයක් එක්වී කුඩා ගංඟවක් සැකසෙන අතර, ඒ ගංඟව හරස් කර මධ්‍යම ප්‍රමාණයේ වැවත් ඉදි කර තිබේ. අහසින් වැටෙන හැම දිය බිඳක්ම මුහුදට ගලා නො දී ප්‍රයෝජනයට ගතහැකි ක්‍රමයක් මේ හැර තිබිය හැකිද?

ශ්‍රී ලංකාවේ පුරාණ වාරි පද්ධතිය හෙවත් පුරාණ ජල සහ පාංශු සංරක්ෂණ පද්ධතිය මිනිසා සොබාදහම සමඟ ක්‍රියාකාරීව අනුගත වීම සඳහා ලොව ඇති සම්භාව්‍යමය උදාහරණ බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ බව මෙරට ප්‍රවීන වාරිමාර්ග ඉංජිනේරුවරයකු වන ඩී. එල්. ඕ. මෙන්ඩිස් මහතා විසින් ද පෙන්වා දී ඇත. අපේ පැරැන්නෝ මේ අනුව ජලය රැස්කර තැබීමේ පද්ධතියක් ලෙස කුඩා, මධ්‍යම සහ දැවන්ත පරිමාණයේ ජලාශ සමූහයක් ගොඩනැගුවෝය.

මෙම පද්ධතිය ක්‍රිස්තු පූර්ව 500ට පමණ පෙරාතුව ඉදි කර තිබූ බව පෙනී යයි. මේවා කොතරම් විශාල ප්‍රමාණයක් පැවතුනේද යන්න මේ ප්‍රදේශවලට අයත් අඟලේ සිතියම් ගෙන බැලූ විට හොඳින් අවබෝධවේ. රජරට කලාපයේ ඇති එකිනෙක මත යැපෙන කුඩා වැව් සහ ඇළ මාර්ග මෙන්ම මහා වැව් සමඟ තිබෙන අන්තර් බැඳීම ආර්. එල්. බ්‍රොහියර් විසින් සොයා ගත්තේය. එය ඔහුගේ විශිෂ්ටම සටහන් ලෙස හැඳින් විය හැකි ‘ලක්දිව පුරාණ වාරිමාර්ග, ’ නම් වූ ඓතිහාසික ලේඛනයේ දක්වා ඇත.

ගංඟා හැරවීම වනාහී කිසියම් අවකාශයක් තුළ (භූමියට ගැලපෙන් ලෙස) ජලය කළමණාකරණය කිරීමක් වේ. එය වැව්වල ජලය රැස් කර තැබී ම මෙන්ම වැසි ලැබෙන කාලයට අනුරූපව ජලය කළමනාකරණය කිරීමකි. මෙයින් පෙනීයන්නේ අදට වඩා හොඳින් සොබාදහමේ පවතින කාලය සහ අවශාකය යන සාධක අවබොධ කරගැනීමේ සක්‍යතාවක් ඔවුන් සතු වූ බවය. එනම් මේ තත්ත්වය තේරුම් ගනිමින් තම අවශ්‍යතාවන්ට අනුව එය මනා ලෙස කළමණාකරනය කිරීමේ හැකියාව සහ දැනුම ඔවුන් තුළ පැවැති බවය.

මහ වැව් සහ කුඩා වැව් එකිනෙක මත යැපෙන අතර, මේ එක් පද්ධතියකට අනෙකෙන් ස්වායක්තව ස්වාධීනව යැපීමට නොහැකිය. ඒ අනුව කලා වැවේ සිට දිය ගෙන යන ජය ගඟ, රජ රට පුරාණ ජල සහ පාංශූ සංරක්ෂණ පද්ධතියේ හදවත බව බ්‍රෝහියර් සිය ග්‍රන්තයේ දක්වා ඇත. ඒ මෙසේය.

‘‘…ඇත්තෙන්ම ජයගඟ පුරාණ වාරි මාර්ග තාක්ෂණයේ විචක්ෂණ භාවය පිළිබඳ සිහිවටනයයි. පැහැදිලිවම පෙනෙන පරිදි මෙය නිර්මාණය කර ඇත්තේ ජලය රඳවා ගනිමින් ජලය ප්‍රවාහනය කරන ඇළ මාර්ගයක් ලෙසය. මෙහි සුවිශේෂී බව වන්නේ ජය ගඟ මගින් රජරටට ගෙන යන ජලය, ඊට ජලය සපයන කළා වැවේ ජලය මත පමණක් සම්පූර්ණයෙන් යැපී නො තිබීමයි. ජය ගඟ, කලා වැවේ සිට අනුරාධපුරය දක්වා යන ගමනේ දී ඒ අතර පිහිටි උස්බිම්වල සිට ගලා එන සියලූ දිය පාරවල්වල ජලයද ඒක රැස්කර ගන්නා අතර එසේ නොවුනා නම්, එම ජලය අපතේ යනු ඇත.

මේ එහේතුව නිසා ජය ගඟ තම ඇල බැම්මට පහළින් ඇති, එය මත යැපෙන එක් එක් නිම්නයේ පිහිටි කුඩා ගම් වැව් පෝෂණය කිරීම මඟින් අති විශාල කුඹුරු ප්‍රමාණයකට ජලය සැපයීමට හැකි ලෙස සැකසී තිබේ. එසේම හැම විටම වාගේ නිම්නයේ ඉහළින් ඇති එක් කුඩා වැවක් ඊට ලැබෙන ජලයෙන් එය පිරී ගොස්, එහි පිටවානෙන් පිටවන ජලය ඊට පහළින් ඇති තවත් වැවට ගාල යන ලෙස සැකසුන කුඩා වැව් මාලාවක් පෝෂණය කරන ලෙස සැකසී තිබේ ’’

එතැන් පටන් මේ දක්වා බ්‍රෝහියර් විසින් පෙන්වා දී ඇති රජරට පිහිටි, එක මත එක යැපෙන මේ කුඩා වැව් පද්ධතිය සිතියම්වල දක්වා ඇතතේ “Cascades of small tanks” ලෙසටය. ආචාර්ය පානබෝක්කේ පෙන්වා දෙන අන්දමට මේවා ඉහළ සිට බැලූ විට පෙනෙන්නේ, කුඩා වර්ණවත් ගල් හෝ වීදුරු කැබලි අලවා සකස් කළ චිත්‍රයක් බඳු අසාමාන්‍ය ආකාරයකින් එකිනෙක හා බැඳුනු කුඩා වැව් පද්ධතියක් ලෙසටය. ඔහු තව දුරටත් පෙන්වා දෙන්නේ ඒවායේ පිහිටීම් අනුව ඊට සැබෑ විද්‍යාත්මක පදනමක් ඇති බවය. මෙම පුරාණ ජල සහ පාංශු සංරක්ෂණ පද්ධතියේ ස්ථාවර බව සහ දිගු කාලීන පැවත්ම ඒවා සියවස් ගණනක් පුරා ක්‍රියා කාරීව මේදක්වා පැවතීම මඟින් තහවුරු කර තිබේ.

එල්ලංගා පද්ධතියක මූලිකම කාර්ය වන්නේ, වසරේ කෙටි කාලයක් ගලා ගිය දිය පාර වසර පුරා ජලය රැඳි බිමක් සහ ඵලදායි වගා බිමක් බවට පත් කිරීම පමණක් ම නොවේ. ඉන් එහා ගිය පාරිසරික සහ සමාජීය කාර්යයන් රැසක් ද ඇත. එල්ලංගාවක රැඳෙන ජලය හේතුවෙන් භූගත ජල මට්ටම ඉහළ යන අතර උල්පත්වල ජලයද වැඩි කාලයක්පුරා ආරක්ෂාවීම සිදු වේ. මේ නිසා පසේ ක්‍ෂුද්‍ර ජීවන්ට වැඩීමට සුදුසු තත්ත්වයක් ඇති වේ. මේ නිසා පසේ ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රමාණය ඉහළ යයි.

මේ ක්‍ෂුද්‍ර ජීවින් විසින් පසට එක්වන සත්ත්ව සහ ශාක කොටස් ජීර්ණය කරමින් පසට පො‍ෙහාර ලබා දීමේ කාර්යය සිදු කරයි. මේ නිසා පස තුළ ස්වාභාවිකවම වසර පුරා පොහොර නිපදවමින් සරුසාර පසක් නිමැවේ. මේ නිසා බාහිර පොහොර යෙදීමකින් තොරව වසර දහස් ගණනක් නොනවත්වාම ගොවිතැන් කළ හැකි විය. මෙම සුවිශේෂ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම අපේ යුතු කම විය යුතුව තිබිණි. එහෙත් එය එසේ නොවුණි. එසේ වූයේ නම්, බහු ජාතික සමාගම්වල රසායනික පොහොර නොමැතිව, ස්වාභාවික පොහොර මත තිරසාරව ගොවිතැන රැක ගැනීමට අපට හැකියාව තිබුණි. ගොවිතැන සඳහා ජලය රඳවා ගත් වැව් එල්ලංගාවක ඉහළින්ම පිහිටි වැව නොවේ.

ඒවා මේ පද්ධතියේ උස් බිමෙවන වනය තුළ පිහිටා තිබුණි. මෙම වැව් ‘කූළු වැව්’ හෝ ‘කායන් වැව්’ ලෙස හැඳින් වේ. මේ වැව් හඳුනාගත හැකි හොඳම ලක්ෂණයන් වන්නේ ඒවා වනය තුළ පිහිටා තිබීම, ඊට පහළින් කුඹුරක් නොතිබීම සහ එයට සොරොව්වක් නොතිබිමය. මේවාට පිරෙන ජලයෙන් වන සතුන්ට අවශ්‍ය ජලය වසර පුරා ලැබෙන අතර, එම ජලයෙන් වනයේ භූගත ජල මට්ටම ඉහළ ගියේය. වනයේ ගහකොළද වසර පුරා සරුසාරව වැඩුනේය. මේ නිසා ජලය සහ ආහාර සොයා අලි ඇතුන් හා වන ජීවීන් ගම් කරා පැමිණිමේ අවශ්‍යතාවක් නොවීය. එසේම ගම් වැසියන් සහ වන සතුන් අතර අද ඇති වන ගැටුමද එදා නොතිබිණි.

අනෙක් අතට මේ වැව්වල සොරොව්වක් නැති බැවින් වනය තුළින් ගලා එන ජලය සමඟ ඇති රොන්මට ඒ තුළම රැඳිනි. සොරොව්වක් නොමැති නිසා එහි එක්වන ජලයේ ඇති රොන් මඩ පතුල තුළ තැම්පත් වන අතර වැව් බැම්මෙන් ඉතිරී පිටාර යන්නේ වැඩිපුර ජලය පමණි. අපේ මෙම සුවිශේෂ තාක්ෂණය ගැන පෙන්වා දෙමින්, ආචාර්ය ක්‍රිස්ටෝපර් වීරමන්ත්‍රී විසින් ඩැනියුබ් ගංඟාවේ වෙල්ල පිළිබඳ වු සිය ඓතිහාසික නඩු තීන්දුවේ මෙසේ දක්වා ඇත.

“….මෙම පැරණි වාරි පද්ධතිය මඟින් පරිසරය කෙරෙහි දක්වන ලද අවධානය, විශාල වේලි මඟින් ඇති කෙරෙන පාරිසරික සහ සමාජීය බලපෑම පිළිබඳ කෙරුණු මෑත කාලීන අධ්‍යයනවලින් පෙනී ගොස් තිබේ. එහි දී පෙනී ගියේ එම වාරි පද්ධතියෙහි පාරිසරික කරුණු විදහා දක්වන කරුණු අතරට රොන් මඩ පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා සැකසුණු සොදා පාළුව පාලනය කිරීමේ වැව් ද ඇති බවයි. එමගින් ජලය ගබඩා කරන වැව්වලට යාමට පෙර රොන් මඩ එම වැව්වල එකතු වීමට සලස්වා තිබුණි. සෑම ග්‍රාමීය වාරි පද්ධතියක් ආශ්‍රීතවම සොදා පාළුව පාලනය කිරීමේ වැව් කීපයක් විය.

රොන් මඩ පිළිබඳ ගැටළුව වැදගත් තැනක් ගන්නා මෙම නඩුවෙහි දී එවැන්නක වටිනාකම හොඳින් තේරුම් ගත හැකිය.” “..‘කැලෑ වැව්’ පරිසරය හා සම්බන්ධව තිබූ තවත් එක් පියවරකි. ගමට ඉහළින් තිබෙන වන පෙතෙහි සාදනු ලැබූ ඒවා යොදා ගැණුනේ වගා බිම්වලට නොව වන සතුන්ට අවශ්‍ය ජලය සැපයීමටය.” අනෙක් අතින් මේ වැව් මඟින් වසර පුරා ගමේ වැසියන්ට තම ගොවි ජීවනෝපාය සඳහා අවශ්‍ය ජලය මෙන්ම දෛනික ජල අවශ්‍යතාවයද සහතික විය. වඩා වැදගත් වන්නේ ගමේ ජනතාවගේ පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය ජලය සඳහා වන ස්වාධීන අයිතිය ගමේ වැව මඟින් තහවුරු වීමය.

එසේම අහස් දියෙන් රැස් කරගන්නා ජලය ගම් වැසියන්ට පමණක් සීමා නොවී සතා සිව්පාවුන්ට පවා ප්‍රයෝජනයට ගත හැකි විය. මෙය අතීත ජනයා තුළ තිබූ බෙදාහදාගෙන ජීවත් වීමේ පුරුද්ද මොනවට කියාපන්නකි. මෙය අද තම ආත්මලාභය වෙනුවෙන් කටයුතු කරන අනෙකා ගැන නොසිතන විවිධ ජාතීන් ලෙස වෙන්ව කටයුතු කරන සියලු දෙනාටම මහඟු ආදර්ශයකි.