සිංහල වචනයක්වත් මට ලියන්න බෑ තුනේ පන්තියට ඇතුළු වෙනකොට – ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය නීලිකා මලවිගේ

අගනුවර ඉපිද දේවි බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය නිමාකර කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය ලැබූ නීලිකා මලවිගේ ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහාය පර්යේෂිකාවක ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූයේ 2000 වසරේය.

2001 වසරේ ජයවර්ධනපුර රෝහලින් සීමාවාසික පුහුණුව ලැබූ ඇය 2002 වසරේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේම කථිකාචාර්ය තනතුරක් ලැබුවාය. එතැන් පටන් ක්ෂුද්‍ර ජීවී දෙපාර්තමේන්තුවට  සම්බන්ධ ඩෙංගු මර්දනය පිළිබඳ පර්යේෂණ ඇරඹූ ඇය එම පර්යේෂණය සාර්ථකව නිම කරමින් සිටින්නීය. 2011 වසරේ ඩෙංගු වයිරස් වෙනුවෙන් ඈ හැදූ ක්‍රමවේදය උදෙසා ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රය ද හිමිව ඇත. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වන නීලිකා මාලිමගේ මහත්මිය මේ අතරතුර කාලය 2008 දී වසරේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය ද ලබා ගත්තාය. 2013 වසරේ මහාචාර්ය පදවියට ද පත් වූවාය.

මේ වන විට ඩෙංගු වයිරසය ශරීරගත වීමේ දී කාන්දුවන රුධිර තරලය නැවැත්වීමේ ඖෂධයක් වෙනුවෙන් පර්යේෂණ සිදු කරමින් සිටින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ ජීවන තොරතුරු මෙවර රුව ගුණ වරුණේ ලියැවේ.

* ඔබට උප්පැන්න සහතිකයෙන් ලැබුණු නම?
ගත්සයුරි නීලිකා කරුණාතිලක.

* අද ඔබව කවුරුත් හඳුන්වන්නේ?
නීලිකා මලවිගේ.

* උපන්න ගම් පළාත?
නුගේගොඩ, ගංගොඩවිල. ඒත් අපේ අම්මා දික්වැල්‍ලේ. තාත්තා හොරණ.

* පවු‍ලේ කී වැනියා විදියට ද උපන්නේ?
වැඩිමලා. මට ඉන්නේ අනුරුද්ධ මල්ලියි යශෝධා නංගියි විතරයි.

* අම්මා තාත්තා කවුද කියමුද?
අම්මා බුද්ධානන්දනී කරුණාතිලක. තාත්තා ඩී.එච්. කරුණාතිලක.

* ඒ කා‍ලේ ඔවුන්ගේ වෘත්තිය වුණේ?
අම්මා මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක්. තාත්තා ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. දෙන්නම විශ්‍රාම ගත්තේ ළමා රෝහලෙන්.

* කොහොමද ළමා කා‍ලේ?
අවුරුදු හතරේ ඉඳලා අවුරුදු 7ක් වෙනකල් මම හැදුණේ එංගලන්තේ.

* එහෙම වුණේ?
මගේ අම්මයි, තාත්තයි පශ්චාත් උපාධිය කරන්න එංගලන්තෙට ගියේ ඒ කා‍ලේ.

* ඒ කා‍ලේ මතකද?
මල්ලියි, මමයි එහෙදි ඉස්කෝල දෙකකට ගියා. ඒ ඉස්කෝල දෙකේම ආසියානු ළමයින්ට හිටියේ අපි දෙන්නා විතරයි.

* ඒ වගක් ඔය තරමටම මතක?
සුදු ළමයි විතරක්ම හිටපු හින්දා අපේ අය දකින්න ලංකාවට එනකල් ඉවසිල්ලක් නැතුව හිටියේ.

* අපේ අය කිව්වේ?
අපේ අම්මලාගේ පවු‍ලේ 11 දෙනෙක්. එයාලට අපේ වයසේ දරවො හිටියා. අපි හැමෝම ඒ කා‍ලේ එකට ඇතිවෙනකල් සෙල්ලම් කළා.

* ඉතින් ලංකාවට ආවට පස්සේ?
අම්මටයි තාත්තටයි පත්වීම් ලැබුණේ අනුරාධපුර මහ රෝහලට. ඒ හින්දා අපිත් අනුරාධපුරේ ආවා.

* ඉතින් අනුරාධපුරේ ආවට පස්සේ?
මං ලංකාවෙදි මුලින්ම පාසල් ගියේ අනුරාධපුර කොන්වන්ට් එකට. අද ඒක ස්වර්ණපාලී බාලිකා විද්‍යාලය.

* ඊට පස්සේ?
කොළඹ ශාන්ත අන්තෝනි විද්‍යාලයටත් දේවි බාලිකා විද්‍යාලයටත් ගියා.

* කොහොමද ඉතින් මේ කා‍ලේ?
ඉගෙන ගත්තා. විෂය බාහිර වැඩත් කළා. ඇති තරම් සෙල්ලමුත් කළා.

* ඉගෙනීමට දක්ෂද?
ඉගෙනගන්න කියලා ලොකුවට මහන්සි වුණේ නෑ. අනුරාධපුරේ ඉන්න කා‍ලේ හරිම නිදහසේ ඉගෙන ගත්තා.

* නිදහසේ ඉගෙන ගත්තා කිව්වේ?
පන්ති කාමරයක් ඇතුළේම කොටු කරලා උගන්නන්නේ නැතුව ගස් යට පුටු තියලා ඒ කා‍ලේ ඉගැන්නුවා. හරියට අත්වැඩ, අත්කම් වැඩත් තිබුණා.

* ඉස්කෝලෙ ඔබට වෙනසක් දැනුණෙ නෑ?
මම තුනේ පන්තියට තමයි මුලින්ම ඇතුළත් වුණේ. සිංහල වචනයක්වත් මට ලියන්න බෑ තුනේ පන්තියට ඇතුළු වෙනකොට. මං ඉගෙන ගත්තේ එංගලන්තෙ නිසා.

* ඒ ප්‍රශ්නෙ විසඳගත්තේ?
ටික ටික පුරුදු වුණා. මිස් කෙනෙක් ගෙදරට ගෙනල්ලම අම්මලා සිංහල ඉගැන්නුවා. කොහොම හරි මම අනුරාධපුරෙන් ශිෂ්‍යත්වෙ පාස් වුණා.

* ඒක ඔබ ලබපු හොඳ ජයග්‍රහණයක්?
අමුතුවෙන් කියලා මහන්සි වුණේ නම් නෑ. 1985 දී ශිෂ්‍යත්වෙ පාස් වෙලා මං කොළඹ එනවා.

* ඒ ඇවිත්?
මාස පහක් හයක් සාන්ත අන්තෝනි විද්‍යාලයට ගිහින් දේවි බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා.

* දේවි බාලිකාවේ දීර්ඝ පාසල් ජීවිතයක්?
අවුරුදු 7ක්. හැබැයි ඉතින් කියන්න ඕන මම ආදර්ශවත් ශිෂ්‍යාවක් වුණේ නම් නෑ. මම ඉස්කෝ‍ලේ වුණත් ගොඩක්ම නට නටා සෙල්ලම් කරමින් හිටපු ළමයෙක්. ඒවා උත්පත්තියෙන් ආව ගතිගුණ. ඒවා වෙනස් කරන්න බෑනේ.

* එහෙම නම් ගුරුවරුන්ගෙන් වැඩි අවධානයක් දිනාගන්න ඇති?
‍පොඩි ‍පොඩි දඬුවමුත් විඳලා තියෙනවා ටීචර්ස්ලාගෙන්. ගොඩක් වෙලාවට මාව අහුවෙන්නේ නෑ දඬුවම් දෙන්න.

* දඬුවම් ලබන්න තරම් මොනවද ඔබ කළේ?
පුංචි කා‍ලේ ඉඳලම මට වැදගත් කියලා හිතෙන්නේ නැති කිසි දෙයක් මම කරන්නෙ නෑ.

* මොනවද ඉස්කෝලෙදි නොවැදගත් කියලා ඔබට දැනුණේ?
අච්චු ‍පොත් තියෙන හින්දා මම හිතුවා ටීචර්ස්ලා දෙන සටහන් ලියන්න ඕන නෑ කියලා. ඒ වගේම වැඩ ‍පොත් තිබුණ හින්දා ආයේ ටීචර්ස්ලා දෙන ‘හෝම් වර්ක්’ කරන්න ඕන නෑ කියන එකයි මගේ මතය වුණේ.

* ඉතින් එහෙම වුණාම?
ඉතින් මම සටහන් ලිව්වෙත් නෑ. හෝම් වර්ක් කළෙත් නෑ. අහුවෙච්ච වෙලාවට බැණුම් ඇහුවා. නැත්නම් පන්තියේ හිටවලා තිබ්බා.

* ඒ දේවල් එහෙම වුණාට හොඳට ඉගෙන ගත්තනේ?
ඉගෙනගත්තා. විෂය බාහිර වැඩත් ගොඩක් කළා.

* මොනවද විෂය බාහිර වැඩ කිව්වේ?
ක්‍රීඩා කළා. විද්‍යා, ඉංග්‍රීසි, සිංහල සංගම්වල නාට්‍යවල රඟපෑවා. බටහිර තූර්යවාදක කණ්ඩායමේ හිටියා. අපේ නිවාසේ ක්‍රීඩා කැප්ටන් වෙලා, පාස‍ලේ ශිෂ්‍ය නායිකාවක් වෙලා හිටියා.

* ඇත්තටම ඔබ ගොඩක් බාහිර වැඩ කරලා?
ඉස්කෝලෙ කරන්න තිබුණ හැම දෙයක්ම කළා. මං ඉස්කෝලෙන් හැම ප්‍රයෝජනයක්ම ගත්තා. සමහර වෙලාවල ටීචර්ස්ලාගෙන් බැණුනුත් ඇහුවා  “ඉගෙනීම කඩාකප්පල් කරගන්න එපා මේ වැඩ කරලා” කියලා.

* එහෙමයි කියලා ඔබ බාහිර වැඩ නැවැත්තුවේ නෑ?
මගේ වැඩ මම දිගටම කරගෙන ආවා. ඒලෙවල් පාස් වෙනකල් නෙට්බෝල් කණ්ඩායමේ හිටියා. දිව්වා, යගුලිය විසි කිරීමේ ජයග්‍රහණ දිගටම ගත්තා.

* ඔබ ඒ අංශයෙන් දක්ෂතා පෙන්නුවා?
පාසල් තරග වගේම කලාපීය තරගවලිනුත් යගුලිය ජයග්‍රහණ ලැබුවා. හැබැයි අපට ඒ කා‍ලේ උපදේශකවරු හිටියේ නෑ. ක්‍රීඩා තරගවල දී අනිත් ළමයි යගුලිය විසි කරන හැටි දැකලා මමයි යගුලිය විසිකරන්න පුහුණු වුණේ.

* ඔච්චර බාහිර වැඩ කිරීම ගැන ගෙදරින් විරුද්ධත්වයක් ආවේ නෑ?
එහෙම කිසිම බලපෑමක් ආවෙ නෑ. ළමයෙක් පාස‍ලේ දී බාහිර වැඩ කරන එක හරිම වැදගත්. මනස නිදහස් කිරීමෙනුයි ළමයි පාඩම් වැඩවලට ලකුණු ගන්නේ.

* ඔබට ඉගෙනීමේ ඉලක්කයක් තිබ්බද?
මගේ ඉලක්කය හිතේ ඇති වුණේ අවුරුදු 7දි. මට ඕන වුණේ විද්‍යාඥවරියක් වෙන්නයි.

* ඒ වගේ අදහසක් හිතේ ඇතිවෙන්නේ?
එංගලන්තෙ ඉන්නකොට විකාශය වුණ එක එක වාර්තා වැඩසටහන් බලලයි. මම ‍පොඩි කා‍ලේ ඉඳල විද්‍යාවට ගණිතයට දෙකටම ආසයි.

* ඔබ දිගටම ආවේ ඒ අරමුණෙන්?
ඒ ආසාව හිතේ තියාගෙන තමයි වැඩ කළේ. ඒත් අම්මයි තාත්තයි නිතර කිව්වා විද්‍යාඥයෙක් වුණාට ලංකාවේ කරන්න දෙයක් නෑ කියලා.

* ඒ කිව්වේ?
විද්‍යාඥයෙක් වෙලා ලංකාවේ දක්ෂතා පෙන්නන්න විදියක් නෑනේ. ඒ කා‍ලේ පහසුකම් තිබුණෙත් නෑ. ඒකයි. ඒ ගැන හිතද්දී මටත් උදාසීනකමක් දැනුණා.

* ඉතින් එහෙම වුණාම?
අම්මයි තාත්තයි රෝගීන් සුවපත් කරන හැටි දැක්කම මටත් හිතුණා වෛද්‍ය විද්‍යාව කරන්න. අන්තිමට මගේ හිතෙත් වෛද්‍යවරයෙක් වෙන ආසාව ඇති වුණා.

* ඊට පස්සේ?
ඒලෙවල්වලට විද්‍යා අංශයෙන් ඉගෙන ගත්තා. ඒත් මං ඉස්කෝලෙ බාහිර වැඩ අතහැරියේ නෑ.

* එහෙනම් ඉතින් ගොඩක් මහන්සි වෙන්න ඇති විභාගෙට?
ඒ ගැන කියනකොට මට මතකයි මම පාඩමක් ඉගෙන ගත්ත හැටි.

* ඒ මොකක්ද?
මට හොඳට නිදාගන්න ඕන කෙනෙක්. පැය 8ක් මට නිදාගන්න ඕනමයි.

* ඉතින් එහෙම වුණාම?
විභාගෙට මාස 4ක් තියෙද්දී භෞතික විද්‍යාවට ලකුණු 60න් තිස් ගාණක් ලැබුණා. ඒ ලකුණුවලට ‘ඒ’ එකක් ලැබෙන්නේ නැති හින්දා මම මහන්සි වෙලා පාඩම් කරන්න ගත්තා.

* ඒ කොහොමද?
රෑ 10.00ට නිදාගෙන පාන්දර 4.00ට නැගිටලා පාඩම් කළා. මාසයක් එහෙම කරද්දී මට ඉන්න බැරි තරමට නිදිමත දැනුණා. තිස් ගණන්වලට තිබ්බ මගේ ලකුණු විසි ගණන්වලට බැස්සා.

* ඉතින් ඊට පස්සේ?
මම ඒ පාඩම් කරන ක්‍රමය අතෑරියා. මම පුරුදු විදියට හොඳට නිදාගෙන ඉවර වෙලා තියෙන වෙලාවේ පාඩම් කළා. සති දෙකක් යනකොට මට ලකුණු පනස් ගාණක් ගන්න පුළුවන් වුණා.

* ඒකෙන් ඔබ ඉගෙන ගත්තේ?
මම අවබෝධ කරගත්තා මොළේට විවේකය අවශ්‍යයි, අපට නින්ද අවශ්‍යයි කියලා. එදා ඉඳන් වෙලාව තියෙනවා නම් විශේෂයෙන් විභාගවලට ලෑස්ති වෙනකොට පැය 8ක් අනිවාර්යයෙන්ම මම නිදාගන්නවා.

* ඒක කාටත් හොඳ පාඩමක්?
මම දැනගත්තා පාඩම් කරන්න ඇහැරගෙන හිටපුවාම ලකුණු අඩුවෙනවා කියලා.

* ඔබ උසස් පෙළ සමත් වුණේ?
1992දි. කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට සුදුසුකම් ලැබුවත් ගියේ 1995දි.

* ඒ තරම් පමාවක්?
වසර ගණනාවකට කලින් විශ්වවිද්‍යාල වහලා තිබිලා බඳවාගැනීමේ පමාවක් ඇතිවුණා. විභාගේ පාස් වෙලා අවුරුදු දෙකහමාරකිනුයි මම කැම්පස් ගියේ.

* එතෙක් මොකද කළේ?
රැකියාවක් කළා කොළඹ ජාත්‍යන්තර පාස‍ලේ සහාය ගුරුවරියක් විදියට.

* මතකද මුල්ම වැටුප?
රුපියල් 3000යි.

* ඔය කා‍ලේ රැකියාවටම ගෙවී ගියා?
BMICH එකෙන් දෙමළ පාඨමාලාවක් හැදෑරුවා. දෙමළ භාෂාව ඉගෙනගෙන හිටියම හොඳයි කියලා හිතුණ නිසා.

* විශ්ව විද්‍යාලයට ගියාට පස්සේ?
පීනන්න බැරි මනුස්සයකුව පූල් එකේ ඩීප් එන්ඩ් එකට අතෑරියා වගේ තමයි.

* ඇයි එහෙම කිව්වේ?
අපි අවුරුදු දෙකහමාරක් පාඩම් ‍පොතක් අතින් ඇල්ලුවේ නෑ කතන්දර ‍පොතක් ඇරෙන්න. ඒ නිසා පළමුවෙනි වාරය හරි අමාරුයි.

* කතන්දර ‍පොත් ගැන කිව්වේ?
මම ඉංග්‍රීසි කතන්දර ‍පොත් කියවනවා. එදා වගේම අදත් හරි ආසාවෙන් කියවනවා.

* ඒ කියැවීම පටන් ගත්තේ?
කියවන්න පුළුවන් වුණ දවසේ ඉඳන්.

* අමාරු පළමුවෙනි වාරය ගෙවුණේ කොහොමද?
රැග් කිරීම්, දේශන අතරේ මාස එකහමාරකින් විතර මට දෙවැනි වසරේ හොඳ යාළුවෙක් හම්බ වුණා, ලසන්ත කියලා.

* එයා ඔයාගේ වැඩවලට උදව් කළා?
එයා මගෙ පාඩම්වලට නම් කවදාවත් උදව් කළේ නෑ. ඒ වගේමයි රැග් එකෙන් බේරගත්තෙත් නෑ. හැබැයි එයා මට රැග් කළෙත් නෑ.

* මොකද්ද ඉතින් එහෙනම් ඒ යාළුකම?
රැග් එක, ඉවර වෙනකල් කිසි කෙනෙක් දැනගෙන හිටියේ නෑ එයයි මායි යාළුයි කියලා. හැබැයි එයාගේ වැඩවලට මං උදව් කළා.

* එයාගේ වැඩ කිව්වේ?
ලසන්ත දෙවැනි වසර විභාගෙ ඉවර වෙලා ඉගෙනගන්න ගමන් ‘ලස්සන ෆ්ලෝරා’ මල් ව්‍යාපාරය පටන් ගත්තා. මම එයත් එක්ක ඒ වැඩවලට උදව්වට ගියා.

* ඔබ උපාධිය වෙනුවෙන් මහන්සි වුණේ නෑ?
තදබල විදියට මහන්සි වුණා. හොඳටම වෛද්‍ය උපාධිය කරගන්න ඕන කියන හැඟීම හිතේ තිබ්බා.

* බාහිර වැඩවල යෙදුණෙ නෑ?
කිසිම බාහිර කටයුත්තක එක දිගට යෙදුණෙ නෑ මේ කා‍ලේ. විශ්වවිද්‍යාලෙ පාඩම් වැඩවලින් මිදුණ අවස්ථාවල කා‍ලේ විශ්ව විද්‍යාලෙ නෙට්බෝල් හා මලල ක්‍රීඩා තරගවලට සහභාගි වුණා.

* ඉතින් ඔහොම කාලෙ ගවෛද්දි?
ඉගෙනීම් කටයුතු දිගටම කරගෙන ගියා. මම හරිම ආසාවෙන් තමයි ඉගෙන ගත්තේ. 3 වැනි අවුරුද්දෙදි සායනික පුහුණුව ලැබුවා ජාතික රෝහ‍ලේ.

* ඒ කා‍ලේ කොහොමද?
හිතට හරිම සංවේදී බවක් දැනුණා රෝගීන් ගැන. වෛද්‍ය ශිෂ්‍යයෝ හැටියට අපි රෝගීන්ට වැඩිපුර ළං වෙනවනේ.

* ඉතින් එහෙම ළංවුණාම?
වෙන්වීම දරන්න බෑ දුකයි. හොඳට කතා කරලා අත අල්ලගෙන ඉඳලා අපි එනකල් මග බලාගෙන ඉන්න සමහර ලෙඩ්ඩු මිය යනවා. පිළිකා වගේ හොඳ කරන්න බැරි ලෙඩ හැදුණු අය. එතකොට හරි දුකයි.

* ඔබ වෛද්‍ය උපාධිය ලැබුවේ?
2000 වසරේ පළමු පන්තියේ සාමාර්ථයක් මට ලැබුණේ.

* විශාල දක්ෂකමක්?
මමයි කණ්ඩායමේ වැඩිම ලකුණු ගත්තේ. මට ගෝල්ඩ් මෙඩ්ල් පහක් ලැබුණා.

* ඊට පස්සේ?
අවුරුද්දක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහාය පර්යේෂිකාවක් විදිහට කටයුතු කළා.

* වසරකට පස්සේ?
2001 ජයවර්ධනපුර රෝහ‍ලේ සීමාවාසික පුහුණුව ඇරඹුවා. විශේෂඥ වෛද්‍යවරුන් වන රාණි වාසල හා ගාමිණී ගුණතිලක යටතේ.

* සීමාවාසික පුහුණුව ලබලා?
2002 දී ජයවර්ධනපුර විශ්වවිද්‍යා‍ලේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය තනතුරක් ලැබුවා.

* ඇයි ඔබ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුණේ?
ඒ වෙනකොට මට වුවමනාවක් ඇති වෙලා තිබුණා ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිළිබඳ වෛද්‍ය පර්යේෂණ කරන්න.

* ඉතින් පර්යේෂණ පටන් ගත්තද?
මම සම්බන්ධ වුණේ ක්ෂුද්‍ර ජීවී දෙපාර්තමේන්තුවට. 2003 මුල ඉඳලා මම ඩෙංගු පිළිබඳව පර්යේෂණ පටන් ගත්තා.

* ඊට පස්සේ?
ඒ අතරේ මම ‍පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයකටත් අයැදුම් කළා. 2004 දී මට ඒ ශිෂ්‍යත්වය හම්බ වුණා.

* ඔබ විදෙස්ගත වුණාද?
මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ගිය ගමනයි.

* එහෙම කියන්නේ?
මම මොකක්ද කරන්න ඕන කියලා වැටහුණේ එතැනින්. ඒ ගමනේ වටිනාකම ඒකයි.

* කොහොමද ඉතින් ඒ කා‍ලේ?
මම එහෙ යන කෙට සයුනි දුව ලැබිලා. අපි තුන්දෙනාම තමයි ගියේ.

* ඔබ විවාහ වෙන්නෙ?
2000 සැප්තැම්බර් 14. වෛද්‍ය විද්‍යාලයේදී රැග් සීසන් කා‍ලේ කාටත් හොරෙන් යාළු වුණ ලසන්ත මලවිගේ එක්ක. ඒ වෙනකොට ඔහුත් සීමාවාසික පුහුණුව කරමින් හිටියේ හෝමාගම රෝහ‍ලේ.

* ඔක්ස්ෆර්ඩ්වලදී ලැබුණු ඉගෙනීම කෙහොමද?
ලෝකෙ දක්ෂතම විද්‍යාඥයොයි එහෙ හිටියේ. පුදුම කැපකිරීමකින් වැඩ කළේ. ඒ පරිසරයට වැටුණම මමත් ඒ දේ කරන්න ඕන කියලා මටත් හිතුණා.

* ඔබ බොහෝ දේ ඉගෙන ගත්තා?
මම හෙව්ව ජීවිතේ ඒකයි. පර්යේෂණයක වැදගත්කම තමයි තමන් කොච්චර දේ දන්නැද්ද කියන වැටහීම.

* ඔබ පර්යේෂණ කළේ?
වයිරස් ඇඟට ඇතුළු වුණාම ප්‍රතිශක්තිකරණ පද්ධතිය දක්වන ප්‍රතිචාරය පිළිබඳවයි මං පර්යේෂණ කළේ.

* ඊට පස්සේ?
පශ්චාත් උපාධිය ලබලා අවුරුදු හතරකින් මම ලංකාවට ආවා. 2008 දී. එතකොට මට තේනුක පුතා ලැබෙන්න හිටියේ. එතකොට ලසන්තත් එහෙ පශ්චාත් උපාධිය ඉවර කරලා තිබුණේ නෑ.

* එහෙම වුණාම?
පුතා ලැබුණ නිසා මං ආයෙ මාතෘ නිවාඩු අනුමත කරගෙන එංගලන්තයට ගියා.

* ඒ කා‍ලේ ගෙදරමයි?
ඒ දවස්වලත් මම ඔක්ස්ෆර්ඩ්වල සතියට පැය දෙකක් විතර පර්යේෂණ කළා. මම පශ්චාත් උපාධිය අවසන් කළාට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට දිගටම සම්බන්ධ වෙලා හිටියා. අදටත් මං ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට සම්බන්ධයි.

* ඒ තරම් සම්බන්ධකමක්?
ඒ දවස්වල පර්යේෂණවලට අරමුදල් දෙන්න අපේ ආණ්ඩුවට සල්ලි තිබුණෙ නෑ. මට ඔක්ස්ෆර්ඩ්වලින් පර්යේෂණවලට අවශ්‍ය බඩු සහ අරමුදල් එව්වා. ඒ ගැන මම මගේ මහාචාර්යවරයා වූ ග්‍රැහැම්ඔග්ට ස්තුතිවන්ත වෙනවා.

* ඔබ ආයෙත් ලංකාවට එන්නෙ?
2009 ජනවාරි මාසේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යා‍ලේ වෛද්‍ය පීඨයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් විදිහට නැවත පර්යේෂණ කටයුතු ඇරඹුවා.

* එවර පර්යේෂණය වුණේ?
ඩෙංගුමයි. ඩෙංගු වයිරස් එකට සමහරක් අයට අමාරු වෙන්නෙ ඇයි කියලා දැන ගැනීමට සහ ඒකෙන් ඖෂධයක් සොයා ගන්න පුළුවන් කියන පර්යේෂණය පටන් ගත්තේ.

* ඒ පර්යේෂණය සාර්ථකයි කියලා ඔබ හිතනවද?
මම හිතනවා සෑහෙන්න සාර්ථකයි කියලා. කෙනෙකුට ඩෙංගු හැදුණම අමාරු වෙන්නෙ රුධිරවාහිනීවලින් තරලය එළියට කාන්දු වීම නිසයි.

* ඊට පස්සේ?
ඒකෙන් පේ‍රෂර් එක අඩු වෙනවා. උරස් කුහරයේ හා උදර කුහරයේ තරලය එකතු වෙනවා. කම්පන තත්ත්වයකට යන්නේ තරලය කාන්දුවීම හින්දයි.

* එහෙම වුණාම?
මේ හේතුව හොයා ගත්තට පස්සේ ඕන වෙන්නෙ ඒක නවත්වන්න ඖෂධයකුයි, රුධිරය මේ විදිහට කාන්දුවීම නවත්වන්න ඖෂධයක් ලෝකේ තියෙනවා.

* එතකොට ඔබේ පර්යේෂණයේ ඊළඟ පියවර ඒ ඖෂධයද?
ඇත්තටම. ඒක වැඩ කරනවාද බලන එක තමයි අපේ පර්යේෂණය. අපි අංගොඩ උණ රෝහ‍ලේ රෝගීන් 183 දෙනකු ආශ්‍රයෙන් මේ ඖෂධ පර්යේෂණය කළා.

* ප්‍රතිඵල හොඳ වුණාද?
ප්‍රතිඵල සෑහෙන්න සාර්ථකයි. ඒත් මේ වගේ පර්යේෂණයක ප්‍රතිඵල එක ඉස්පිරිතාලයකින් දැක අවසන් කරන්න බැහැ. ජාත්‍යන්තර වශයෙනුත් අත්හදා බලන්න ඕන. රෝගීන් 1800 ක්වත් පර්යේෂණයට ලක් වෙන්න ඕන.

* ඔබ ඒ සඳහා රටවල් තෝරා ගෙනද ඉන්නේ?
තායිවානය සහ මැ‍ලේසියාව තෝරාගෙන පර්යේෂණ අරමුදල්වලට ඉල්ලුම් කරලා බලාගෙන ඉන්නේ.

* ඔබ තවත් ඩෙංගු සම්බන්ධව පර්යේෂණ කරලා තියෙනවා?
ඩෙංගු හැදුණාම සමහර අයට රෝග ලක්ෂණ පෙන්වන්නේ නැත්තේ ඇයි කියලා පර්යේෂණය කළා.

* ඒකෙන් මොකද වුණේ?
ඩෙංගු කී පාරක් හැදිලා තියෙනවාද? මොන ඩෙංගු ප්‍රභේදයද හැදිලා තියෙන්නේ බලන්න ක්‍රමවේදයක් අපි හැදුවා. ඒකට 2011 දී ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රය ලැබුණා.

* ඔබට මේ පර්යේෂණ කරන්න පහසුකම්?
අපේ විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයක් තිබුණේ නෑ. ඩෙංගු ගැන පර්යේෂණ කරන්න මට සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ලොකු වුවමනාවක් තිබිච්ච හින්දා භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය ක්‍රිෂාන් වෙහෙරගොඩ තමයි උපකුලපතිතුමා සමග මැදිහත් වෙලා 2012 සැප්තැම්බර්වල අපේ විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කළේ.

* ඊට පස්සේ?
එහි අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන අතරේ පර්යේෂණත් කරනවා. අද ඔක්ස්ෆර්ඩ්, සිංගප්පූරු, ඇමෙරිකාව, තායිලන්තය, මැ‍ලේසියාව වගේ විවිධ රටවලින් විශ්වවිද්‍යාලවලින් හුඟක් ශිෂ්‍යයොයි මහාචාර්යවරු මෙහෙ එනවා අප සමග පර්යේෂණ කරන්න.

* එහෙම එන්න හේතුව?
ඩෙංගු ලංකාවේ විතරක් නොවෙයි, ලෝකයේ රටවල් ගණනාවක පැතිරුණ රෝගයක් නිසා. ඒකට අපි සමග එකතු වෙලා විසඳුමක් සොයන්නයි එන්නේ.

* ඒ අතරේ ඔබ වෘත්තියෙනුත් ඉහළට ගියා?
ක්‍රමයෙන් උසස්වීම් ලැබුණා. 2013 අප්‍රේල්වල මට මහාචාර්යකම ලැබුණා.

* ඔබේ සේවය අගය කිරීම් සිද්ධවෙලා ඇති?
ශ්‍රී ලංකා ජනාධිපති පර්යේෂණ සම්මානය වසර 7 ක් ලැබුණා. ඒ අතරතුරේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ එස්.ඊ. සෙනෙවිරත්න සම්මානය, එච්.ටී.කේ. ප්‍රනාන්දු සම්මානය වෛද්‍ය විද්‍යාවේ විශිෂ්ටතම තරුණ පර්යේෂකයාට හිමි සම්මානය, ලංකාවේ විශිෂ්ඨ තරුණ විද්‍යාඥයා සඳහා වන TVAS සම්මානය, වසරේ හොඳම ප්‍රකාශනයට පිදෙන CNAPT සම්මානය, හොඳම පර්යේෂකයා සඳහා වන උපකුලපති සම්මානය වැනි තවත් සම්මාන ගණනාවක්ම ලැබි තිබෙනවා.

* කොහොමද ඔබේ පවු‍ලේ තොරතුරු?
සයුනි මලවිගේ දුව. තේනුක මලවිගේ පුතා. දෙන්නම ලයිසියම් ජාත්‍යන්තර පාස‍ලේ ඉගෙන ගන්නවා. ලසන්ත ව්‍යාපාරය වෙනුවෙන් රජයේ වෛද්‍ය වෘත්තියෙන් අයින් වෙලා ඉන්නේ.

* වෛද්‍යවරයා ව්‍යාපාරිකයෙක් වුණාද?
අද ලසන්ත ‘ලස්සන ෆ්ලෝරා’ එකේ සභාපති. එයා කලක් පවුල් සැලසුම් සංගමයට සම්බන්ධවත් කටයුතු කළා. අදටත් විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට විවිධ සේවාවන්වල යෙදෙනවා. දකුණු ආසියාතික ලිංගික ගැටලු පිළිබඳ සංගමයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරනවා.

* ඔබේ කාලය ගවෛන්නේ රාජකාරිය හා පර්යේෂණ අතරේ?
අනෙක් මුළු කාලයම මම ගෙවන්නේ මගේ දරුවන් එක්ක. අපි පළමුවෙන්ම යුතුකම් ඉටු කරන්න ඕනෑ අපේ දරුවන්ට. ඒ නිසා මට මගේ දරුවන්ව මග අරින්න බෑ.

* ගෙවී ගිය කාලය ගැන හිතෙන්නේ?
ජීවිතේ හරි හොඳින් ගත කරනවා. ගෙවී ගිය කාලය ගැන සතුටුයි. ඒ වගේම තව දුර ගමනක් ඉස්සරහට මට යන්න තියෙනවා.

* ඔබට ලියනවා නම් කතා කරනවා නම්?
neelika@sip.ac.lk ඊමේල් ලිපිනයට ලියන්න පුළුවන්.
බියංකා නානායක්කාර | (ඡායාරූපය – චතුර එස්. කොඩිකාර )/Rivira.lk

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි