සැමට සෙත සදමින් බුධ ග්‍රහයා මිථුනට – බලන්න ඔයාට කොහොමද

බුධ ග්‍රහයා මිථුන රාශිගතවීම ජුනි 10 වැනි ඉරිදා උදේ 7.32 සිදුවීමට නියමිතය. ජුනි 25 වැනිදා තෙක්‌ බුධ මිථුන රාශියේ ගමන් කිරීම සුවිශේෂී බලපෑමක්‌ ඇති කරයි. බුද්ධිය මෙහෙයවා කටයුතු කරන අයට විශේෂ සුබපල ඇති කරන අතර අකුරු කියවීම සඳහා නිසි වයස සම්පූර්ණ වූ දරුවන්ගේ විද්‍යාරම්භයට සුබ නැකැත් ද මේ කාලය තුළ උදාවෙයි.

මෙම ග්‍රහමාරුව ගැන සැලකීමේදී බුධ යනු කුමන ආකාරයේ ග්‍රහයෙක්‌ දැයි හඳුනා ගැනීමට වැදගත් වේ. සූර්යයාට ළඟින්ම ගමන් කරන ග්‍රහයා වන බුධ ” නීතිඥයින් ගේ, සොරුන්ගේ හා වෙළෙන්දන්ගේ දෙවියා ” ලෙස ග්‍රීක දේව කතාවක සඳහන් වෙයි. නීතිඥයින්, බුද්ධිය හා වචන මත තම වෘත්තියේ තත්ත්වය රැක ගන්නා බව අමුතුවෙන් කිව යුතු නොවේ. ව්‍යාපාරිකයාට මෙන්ම සොරුන්ට ද කූට බුද්ධිය හා වචන මත තම දක්‍ෂතාවය පෙන්වීමට සිදුවේ.

කෙසේ නමුත් බුධ යනු වචනයට හා බුද්ධියට අධිපති ග්‍රහයා වේ. ග්‍රහ මණ්‌ඩලය නමැති රාජ්‍යයේ සූර්යයා රජු ලෙසද බුධ රාජ්‍ය ලේකම් ලෙසද හැඳින්වේ. ලේඛකයින්, නීතිඥයින්, කථිකයින්, දේශකයින්, ලේඛකයින්, විදේකයින් මෙන්ම බුද්ධිමතුන්ද දක්‍ෂයින් වන්නේ බුධ බලවත් වූ විටය. බුධ බලවත්ව කේන්ද්‍රයේ පිහිටි අයට නොදැනෙන්නට කිසිවක්‌ කිරීම අපහසු වන අතර බුධ දුර්වල අය පවුලේ එපා කරපුම කෙනා වීමට බොහෝ සෙයින් ඉඩ ඇත්තේ අදූරදර්ශී කතාව සමඟ මෝඩකම් කරන්නෙකු ද වන බැවිනි.

ස්‌නායු හා මොළය භාවිත කර කරනු ලබන සියුම් වැඩට බුධ අධිපති වන අතර දුර්වල බුධ විසින් ස්‌නායුගත ආබාධ, කතා කිරීමේ දුර්වලතා ගොත ගැසීම අපස්‌මාර වැනි රෝග හා ලිංගික දුබලතා ඇති කරන බව කියෑවේ.

කෙසේ නමුදු ග්‍රහයින් අපල කරන්නේ නැති බවත්, අප කරන ලද කුශලාකුශල කර්මවල විපාක ග්‍රහයින් පෙන්වන බවත් මීට පෙරද වරින් වර අප විසින් කියා ඇත. වචනයට අධිපති බුධ දුර්වල වන්නේ වචනයෙන් සිදුවන අකුසල් විපාක වශයෙනි. පෙර ආත්මවල බොරුකීම, කේලාම්කීම, පරුෂ වචනය, අනුන්ට අපහසවන අන්දමට කතා කිරීම, වැනි අකුසල ඊට හේතුවෙයි.

කුම්භ ලග්නය හිමි ලංකා කේන්ද්‍රයේ විද්‍යාස්‌ථානයට බුධගේ මාරු වීම සිදුවේ. මේ නිසා දක්‍ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැන අසන්නට ලැබේ. නීතිඥ, නිවේදන, කථන, ලේඛන අංශවල සේවය කරන අයට සුබදායක වේ. බුධ ජ්‍යෙdතිර්වේදීන්ද නිවේදනය කරයි මේ නිසා ඒ අයට බුධ මාරුවේ සුබපල ලැබේ.

අධ්‍යාපන අංශවල ප්‍රගතියට කරුණු යෙදේ. එමෙන්ම බුධ නියෝජනය කරන පලාවර්ගවලට අයත් ආහාර වර්ගවල බහුලවීමක්‌ දන්නට ලැබේ. මෙම සති දෙක තුළ බුද්ධිමත් දරුවන් බිහිවේ. අධ්‍යාපන ආයතන ආරම්භය ග්‍රන්ථකරණය වැනි කටයුතු ආරම්භයට සුබපලදායකයි.

ජුනි මස 20 බදාදා උදේ 6.03 ට නැගෙනහිර බලා අකුරු කියවීමට සුබ නැකතක්‌ ද උදාවන අතර වයස පිරුණු දරුවන්ගේ කේන්ද්‍රවලට ගැළපේ නම් මේ නැකත යොදාගත හැකිවේ. බුධ මාරුව උපන් ලග්න අනුව දිය හැකි සුබාසුබ මෙසේය.

මේෂ

මේෂ ලග්න හිමියන්ගේ තුන්වැන්නට බුධ මාරුවීම මිශ්‍රපලදායකයි. ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. අසල්වැසියන් සමඟ පැවැති අමනාප දුරු වී යයි. බාලසහෝදරයකු ගැන සතුටුදායක ආරංචියක්‌ ලැබේ. රහස්‌ සතුරන්ගේ කේලාම් බස්‌ නිසා සිත් තැවුලක්‌ ඇතිවීමවලට ඉඩ ඇත. ලිපි ලේඛන හා පොරොන්දු ගිවිසුම්වලට අත්සන් කරන විට දුරදිග බලා කටයුතු කරන්න.

වෘෂභ

දෙවැන්නට බුධ මාරුවීම සුබපලදායකයි. අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ. පෙම් සබඳතා හෝ මංගල යෝජනා සාර්ථක වේ. ආදායම් ද සතුටුදායකයි. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ආයෝජනවලින් ලාබ ලැබේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලින් සතුටුදායක ප්‍රතිඵල ලැබේ. ව්‍යාපාරවලට සුබදායකයි. සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳාගත හැකිවේ.

මිථුන

පසුගිය දිනවල තිබූ ගැටලුවකට විසඳුම් ලැබේ. හිතවතෙක්‌ අමනාප වීමට ඉඩ තිබේ. පවුලේ දියුණුවට කරන ලද කටයුතු සඳහා තිබූ බාධාවක්‌ ඉවත් වේ. ස්‌නායුගත රෝගවලින් ප්‍රවේශම් විය යුතුවේ. පදිංචිය පිළිබඳව ගැටලු ඇතිවීමට ද ඉඩ ඇතත් දූරදර්ශී ලෙස කටයුතු කරන කාලයක්‌ බව පෙනේ.

කටක

කටක ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ බුධ දොළොස්‌වැන්නට පැමිණීම මිශ්‍රපලදායකයි. විදේශ ගමන් පිළිබඳව තිබූ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට කරුණු යෙදේ. එහෙත් කතාව නිසා පාඩු සිදුවිය හැකියි. දුරදිග බලා කතා කිරීමට සැලකිලිමත් වෙන්න. මේ අතර ජ්‍යෙdතිෂය හා ගුප්ත විද්‍යා වැනි කටයුතුවලින් ප්‍රයෝජනයක්‌ ලැබීමට ද ඉඩ තිබේ.

සිංහ

එකොළොස්‌ වැන්නට බුධගේ මාරුවීම සුබපලදායකවේ. ආදායම් සතුටුදායක වේ. සහෝදරයින් සමඟ පවතින සබඳතා අලුත් වේ. හිතමිතුරන් සමඟ සතුටින් කාලය ගත වේ. අලුත් මිතුරන් ද හඳුනා ගැනීමට අවස්‌ථා උදාවේ. රැකියා තනතුරුවල උසස්‌වීම් ලැබීමට කරුණු යෙදේ. උසස්‌ අයගේ උපහාර ලැබේ. අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ.

කන්‍යා

කන්‍යා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දහවැන්නට බුධගේ පැමිණීම සුබපලදායකයි. රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට රැකියා ලාභ ලැබේ. ව්‍යාපාර හෝ රැකියා ස්‌ථානවල කටයුතු සාර්ථක වේ. අන් අයගේ උදව් උපකාර ලැබේ. හිතේ සතුට ඇති වේ. උසස්‌ අයගේ ප්‍රශංසා හිමිවේ. බුද්ධිය මෙහෙයවා රැකියාවල යෙදෙන අයට විශේෂ සුබපල ලැබෙන කාලයක්‌ වේ. අලුත් ඉගෙනීමක්‌ ආරම්භ කිරීමට සුබ කාලයකි.

තුලා

උසස්‌ අධ්‍යාපනය සඳහා විදේශ ගතවීමට තිබූ අපේක්‍ෂාවන් සාර්ථක කර ගැනීමට කරුණු යෙදේ. මේ අතර ආගම දහමට හිත යොමුවේ. පසුගිය කාලයේ පැවැති සිත්තැවුලකට විසඳුම් ලැබේ. අසනීප සුව අතට හැරේ. එහෙත් තමන්ගේ ගෞරවයට හානි වන අන්දමින් ඕපදූප පැතිරීමට ද ඉඩ ඇති නිසා රහස්‌ සතුරන් ගැන සැලකිලිමත් වෙන්න. කතාව නිසා පාඩු සිදු විය හැකියි.

වෘශ්චික

වෘශ්චික ලග්න හිමියන්ගේ බුධ මාරුව සිදු වන්නේ අටවැන්නටය. මෙය තරමක කරදර ඇති කරන බව පෙනේ. වැඩිමහල් සහෝදරයකුට හෝ හිතවත් මිත්‍රයෙකුට අපලයක්‌ පෙන්වයි. හිතවත් කෙනෙකු අමනාප වීමටද ඉඩ තිබේ. ව්‍යාපාරිකයන්ගේ ආදායම් මාර්ගවලට බාධා පවතී. ලිපි ලේඛනවලට අත්සන් කරන විට දුරදිග බලා කටයුතු කරන්න. ස්‌නායුගත රෝගවලින් ප්‍රවේශම් වෙන්න.

ධනු

ධනු ලග්නය හිමි අයගේ හත්වැන්නට බුධ මාරුවීම සුබාසුබ මිශ්‍රපලදායක තත්ත්වයක්‌ ඇති කරවයි. අවිවාහක අයට මංගල යෝග උදාවේ. මේ අතර අඹු – සැමියන් අතර මතභේද වාද විවාද ඇතිවීම නිසා සමගියට බාධා ඇති වීමට ද ඉඩ තිබේ. ප්‍රසිද්ධ සතුරන්ගේ අපවාද ඇසීයීමට සිදුවිය හැකියි. සෙනසුරු දශා ගත කරන අයට තරමක්‌ අපලයි. අන් අයට මිශ්‍රපලදායකයි.

මකර

මකර ලග්න හිමියන්ගේ හය වැන්නට බුධ මාරුවීම සුබදායකයි නීතිඥ, ලේඛක, නිවේදන වැනි රැකියාවල යෙදෙන අයට විශේෂ සුබපල ලැබේ. සේවක සහයෝගය ලැබෙන බැවින් රැකියා කටයුතු සාර්ථක වේ. බලාපොරොත්තු වු ණය මුදලක්‌ ද ලබා ගැනීමට පහසුකම් සැලසේ. තරගකරුවන්ගෙන් ජය ලැබේ. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ආගම දහමට හිත යොමු වේ. උත්සහය ධෛර්ය ඉහළ යයි.

කුම්භ

කුම්භ ලග්න හිමියන්ගේ පස්‌වැන්නට බුධගේ පැමිණීම මිශ්‍රපල උදාකරන බව පෙනේ. ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කිරීම ඉතා ප්‍රවේශමින් කළ යුතුවේ. අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා පවතී. පෙම් සබඳතා හා විවාහ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලටද බාධා ඇතිවිය හැකියි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලට අමතර වෙහෙසක්‌ දරන්නට සිදුවේ.

මීන

ගෘහ ජීවිතය පිළිබඳව සතටුදායක තත්ත්වයක්‌ මීන ලග්න හිමියන්ට බලාපොරොත්තු විය හැකිවේ. මවුපියන් දූ දරුවන් සමඟ සතුටින් කාලය ගත වේ. ගෙදර දියුණුවට කරන බොහෝ දේ සාර්ථක කරගත හැකිවේ. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වේ. හවුල් ව්‍යාපාරවලින් ලාබ ලැබේ. ගම්මිරිස්‌, බුලත්, තේ වැනි කෘෂිකාර්මික කටයුතු කරන අයට විශේෂ සුබපල ලැබේ.

බුධගේ අසුබපල හෙවත් අපල ඇති විට බුද්ධපූජා බෝධිපූජා තබා ශ්‍රී විෂ්ණු දෙවියන්ට භාරවීම, දහම් පඬුරු පූජාව, ධර්මදානය ඖෂධ පූජාව මගින් අපල සමනය කරගත හැකිවේ.

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්