මින් පෙර ඔබ ‌නොඇසූ විශ්මිත කතාවක්

ඒ පිළිබඳව ජන වහරේ වගේම ලිඛිත මූලාශ්‍රවලත් තොරතුරු සඳහන් වෙනවා. මට ඇත්තටම ඒ ගැන හුඟක් දේවල් නාරන්පනාවේ ආනන්ද නායක හිමියන්ගෙන් අහන්න තියෙනවා. දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය හිමිවන දියවඩන නිලමේ ධුරයේ ඡන්ද විමසීමේදී පවා කාන්තා නියෝජනයක ඡන්ද අයිතිය අහිමියි.

ඒ වගේම මාලිගා පරිශ්‍රයේ සියලු කටයුතු සිදුවෙන්නේ පිරිමි පාර්ශ්වය අතින්. ඒ වගේමයි පෙරහර. ඇයි එහෙම වෙලා තියෙන්නේ. හොඳයි අපි ඒ ගැන දවසක උන්වහන්සේගෙන් තොරතුරු විමසමු. ඉතින් එදා දළදා කතාව නැවතුණු තැන ඔබට අමතක නැතිව ඇති…

අතන හාමුදුරුවනේ අර මුරට ඉන්න දෙන්නා මාලිගාව වටේ නිකම් ඇවිදිනවා නෙවෙයි කරන්නේ…
ඔව්… ඒ දෙන්නා සක්මන් කරනවා කිව්වොත් වැරැදියි. ඒ දෙන්නා කරන්නේ ප්‍රදක්‍ෂිණා කරන එක. කොහොම හරි මේ රජ කාලේ සිට රාජ මාලිගාවක සිද්ධ වෙච්ච රාජකාරි ක්‍රම වගේ දෙයක් තමයි තවමත් ඒ විදියට නොකඩවා, නොවරදවා කරගෙන එන්නේ. එතකොට මේ චාරිත්‍රවාරිත්‍ර ගොඩ සියලු දේට සම්බන්ධයි.

ඒ කියන්නේ පෙරහරට, සතර මංගල්‍යයට, නානුමුර මංගල්‍යයට, දෛනික තේවාවට මේ හැමදේටම විශේෂ වෙච්ච සම්ප්‍රදායික රාජකාරි ගොඩක් හැම දවසකම කෙරෙනවා. ඒ තමයි රජ්ජුරුවෝ දළදා වහන්සේට කළ පුද සත්කාර, ගෞරවයේ තරම…

ඒ කියන්නේ ඉහළ තලයේ ඉඳලා පහළට යනකම් නිල කටයුතු චාරිත්‍රවාරිත්‍ර රාශියක් හැම දවසකම සිද්ධ වෙනවා…
අනිවාර්යයෙන්ම. එතකොට දළදා වහන්සේට තේවාවෙදි ගන්න මල් වට්ටියක් හදන්න ඕනේ. මේක සම්පාදනය කිරීමේ ප්‍රධාන වගකීම තියෙන්නේ පනික්කි නිල හතරට. එදා අපි පනික්කි නිල හතර ගැන කතා කළානේ…

එහෙමයි නායක හාමුදුරුවනේ…
එදා දවසට ඉන්න රාජකාරි නිලකරුවන් අර මල්මුරේ හදලා තියන්න ඕනේ. ඒ කියන්නේ දළදා වහන්සේ පුදන මල් වට්ටිය. එදා රජ දවසේ මල් මුරේට ගන්නේ අරලිය කැකුළු…
ඒ කියන්නේ හාමුදුරුවනේ අරලිය මල්වල පොහොට්ටු…

ඔව්
එදා රජ කාලේ දළදා මාලිගාව වටේට අරලිය ගස් වවලා තිබිලා තියෙන්නේ…
මේ වටේ පරිසරයේ ඔක්කොම තිබිලා තියෙන්නේ අරලිය. දැනුත් තියෙනවා ටිකක්. කොහොම හරි සුදු අරලිය කැකුළුවලින් තමයි ඒ මල්මුරේ හදලා තියෙන්නේ… අද නම් සමන් පිච්චනේ ගන්නේ…
අද එහෙම හදන්නෙ නැද්ද හාමුදුරුවනේ…

ඉඳල හිටලා හදනවා ඒ කට්ටිය. හරිම ලස්සනයි. භාගෙට පිපුණු අරලිය මල් පොට්ටු අරගෙනයි ඒ වට්ටි හදලා තියෙන්නේ. අද හොයාගන්න අපහසුයිනේ මල්. ඒ වුණාට මේ මල්මුරේ, අරලිය කැකුළුවලින් හදන පැරැණි චාරිත්‍ර අභාවයට ගිහින් නෑ. වරින් වර ඒ අය හදලා මාලිගාවට පූජාවට භාර දෙනවා.

එහෙම හදන්නෙත් ඒ අය ඒ චාරිත්‍ර වැලළිලා යන නිසා රැක ගන්න… ඒ පරපුරවල වැඩිහිටියෝ තම දරුවන්ට අර පරණ මල්මුරේ හදන හැටි කියලා දෙනවා…
මොන මොන වෙලාවටද එහෙම හදන්නෙ අපෙ හාමුදුරුවනේ…

උදේ, දවල්, සවස තේවා තුනටම එහෙම මල්මුරේ හදල පූජ කරන වෙලාවල්, දවස් තියෙනවා. එතකොට තේවාවේ නායක හාමුදුරුවෝ ‍ෙදාරටු විවෘත කරන වෙලාවට මල්මුරේ මල් එක අරගෙන ගිහිල්ලා ගන්ධ කුටියට පිවිසෙන රන්බාවට මෙහා පැත්තේ වෙනම තැනක් තියෙනවා මල්මුරේ තබන.

ගෙපරාලට භාර දුන්නාම ගෙපරාල එතැනයි ඒක තැන්පත් කරන්නේ… තේවාව වෙලාවට තේවාව භාර නායක හාමුදුරුවෝ කිව්වාම වට්ටෝරුරාල ඒ මල්මුරේ අරගෙන තේවාවට ගන්න රන් බන්දේසියේ ඒ මල් මුරය සකස් කර ගන්නවා. ඉතින් මල්මුරේ හදන රාජකාරිය කරන්නේ මාලිගාවේ නිල රාජකාරි කරන හේවිසි වයන පණික්කියෝ. ඒ අයට රජ අණින්ම ලැබිච්ච ගම්වර තියෙනවා. අදටත් ඒවා භුක්ති විඳගෙන මාලිගාවේ රාජකාරි කරන්න ඔවුන් සැදී පැහැදී ඉන්නේ…

එතැනදී ඒ මල් මුරේට පැන් එහෙම ඉහිනවද හාමුදුරුවනේ…
ඔව්. ඒවා හෙළි නොකළ යුතු දේවල්. කොහොම වුණත් සඳුන් පැන් ඉහිනවා…
මේ උදේ, දවල්. හවස තේවා පූජාවල වෙනස්කම් වෙනවද හාමුදුරුවනේ…

මෙහෙමයි. මේක පටලව ගන්න එපා. උදේටයි, හවසටයි දළදා වහන්සේ වෙනුවෙන් තේවාවයි කෙරෙන්නේ. එතකොට දවල්ට පූජාවයි කෙරෙන්නේ… ඒ වගේම උදේත් පූජාව කරනවා. දවල්ටත් පූජාව කරනවා. මුරුතැන් පූජාව කියන්නේ. එතකොට හවසත් පූජාව කරනවා. හවස ගිලන්පස පූජා දෙකක් කරනවනේ.

නමුත් දළදා වහන්සේ විෂයෙහි තේවාව කරන්නේ උදේට සහ සවසට විතරයි. පූජාවත් තේවාවට තමයි අයිති. ඒත් සම්ප්‍රදායිකව කරන වත් පිළිවෙත් පිරිච්ච තේවා සමුදාය කරන්නේ අර වේලාවලට විතරයි. හැබැයි මේක බදාදාට වෙනස් වෙනවා. මොකද එදාට නානුමුර මංගල්‍යය පැවැත්වෙන නිසා. දවල්ටත් කෙරෙනවා…
බොල් පැන් කියන්නේ මොනවද අපෙ හාමුදුරුවනේ…

බොල් පැන් නෙවෙයි. බොල පැන්. බොල පැන් කියන්නේ දළදා වහන්සේගේ තේවාවට ගන්න උණු පැන්වලට. මුළුතැන් ගෙයින් ගෙනත් ගන්නේ…
ඒ වචනේ එහෙම වෙන්නේ කොහොමද…
ඒක වෙන්නේ දළදා වහන්සේගේ පුද පූජා කටයුතු පසුකාලයක රජවරුන්ගේ රාජ්‍යත්වය එක්ක මිශ්‍ර වෙච්ච වෙනත් සම්ප්‍රදායන් නිසා. දළදා මාලිගාවට ආවේණික වචන සම්ප්‍රදායක් තියෙනවානේ…

අපෙ හාමුදුරුවනේ මේ වෙලාව කොහොමද හරියටම නිශ්චය කර ගන්නේ…
බුදුන් වහන්සේගේ දෛනික ජීවන රටාව අනුව තමයි මේ තේවාව හදාගෙන තියෙන්නේ. බුද්ධ චරිතය ආශ්‍රයෙන් තමයි මේ හැම දෙයක්ම ගොඩනැඟුණේ. එතකොට කෙනෙක්ට ආදර්ශයට ගන්නවා නම් බුද්ධ චරිතය තමයි ඉහළම ආදර්ශය. බුදුහාමුදුරුවෝ ක්‍රමානුකූලව හැම දිනකම කාල කළමනාකරණයේ කටයුතු කළ උත්තමයෙක්.

උන්වහන්සේගේ දෛනික ජීවන රටාව තමයි උදේ පූජාව දවල් පූජාව හැන්දෑවේ ගිලන්පස පූජාව ආදිය විදියට සැකසිලා තියෙන්නේ. ආනන්ද හාමුදුරුවෝ බුදුන් වහන්සේට කළ උපස්ථානය විදියට තමයි මේ පූජා සැකසිලා තියෙන්නේ. ඒකයි ඒ නියම කරපු වෙලාවල කිසිම වෙනසක් නැතිව, කඩකිරීමක් නැතිව හරියටම කරන්නේ… වෙලාවට තමයි හැමදේම, හැම චාරිත්‍රයක්ම ඉටු කරන්නේ…

දළදා වහන්සේ ගැන පැවසෙන අප නොදත් මේ කරුණු සමුදාය කිසිම පොත පතක මේ විදියට සටහන් වෙලා, ලියවිලා නෑ. නාරන්පනාවේ ආනන්ද හිමියන් මාත් එක්ක මේ කරුණු කාරණා විග්‍රහ කළේ මතකයෙන්මයි. උන්වහන්සේ සතු ඒ දැනුම ඔබ අප වෙනුවෙන් විවර කරන්න ඉඩදුන් එකත් මහ පින්කමක්. ඉතින් ලබන සතියේ නැවැත අපි නාරම්පනාවේ ආනන්ද නායක හිමියන් සමඟ ඒ අප්‍රකට කතා පෙළට එක් තැන් වෙමු…

අනූ එදිරිසිංහ

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි