අදටත් තියෙන රාහුල හාමුදුරුවන් යොදාපූ කිඹුල් මන්ත්‍රය මතුරපු ගල් ස්ථම්භ

නිල්වලා නදී තෙර එදත් අදත් මිනීමරු කිඹුලන්ගේ රජදහනකි. එහෙත් ගිංගඟ පහළ නිම්නයේ පැරැන්නෝ පවසන්නේ ගිංගඟ කොමලියේ සිටි මිනීමරු කිඹුලන් මට්‌ටු වූයේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ කිඹුල් මන්ත්‍රය නිසා බවය. මොකක්‌ද මේ කිඹුල් මන්ත්‍රය. මේ තොරතුරු සොයා ඉකුත් දිනක අපි ගිංගඟ පහළ නිම්නයේ සංචාරය කළෙමු.

ඒ ගමනේදී විවිධ පුද්ගලයන් අපට මුණගැසුණේය. ඒ අතරින් මුලින්ම අපට හමුවන්නේ බද්දේගම පදිංචි ඩැනි ජයලත්ය. අවුරුදු අනූ තුනක්‌ වයසැති ඩැනි ජයලත් හිටපු වඩු කාර්මිකයෙකි. ගිංගඟත් ඩැනි ජයලත් මහතාත් අතර ඇත්තේ වෙන් කළ නොහැකි තරමේ බැඳියාවකි. මේ නිසා ගිංගඟ දෑලේ එදා සිදු වු බොහෝ දේ ඔහුට හොඳින් මතකය.

“ගිංගඟෙත් එදා මිනී කන කිඹුලන් හිටියා. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ අම්බන වැඩ ඉන්න කාලයේ එක්‌ දිනක්‌ අඟුලකින් ගිංගඟෙන් එගොඩ යන කොට රාහුල හාමුදුරුවන්ගේ ඇඟට කිඹුලෙක්‌ පැනලා තියෙනවා. කොහොම හරි එදා හාමුදුරුවෝ කිඹුලාගෙන් බේරිලා ගිහින් තියෙනවා. පස්‌සේ රාහුල හාමුදුරුවෝ හතරැස්‌ ගල්කුට්‌ටි කිහිපයකට මතුරලා ගිංගඟට ගෙනත් දැමු බවට කථාවක්‌ තියෙනවා.

ඊට පස්‌සේ තමයි ගිංගඟේ මිනී කන කිඹුලන් නැති වෙලා තියෙන්නේ. රාහුල හාමුදුරුවෝ කිඹුල් මන්ත්‍රය කොටලා ගිංගඟට දැම්ම කියන ගලක්‌ බද්දේගම දුටුගැමුණු විහාරයේ තියෙනවා. මහත්තෙලාට දුටුගැමුණු විහාරයට ගියොත් ඒ ගැනත් සොයා බලන්න පුළුවන්”

ඩැනි මහතා ලබාදුන් තොරතුරු ඔස්‌සේ අපි බද්දේගම දුටු ගැමුණු විහාරයට යැමට පිටත් වුණෙමු. කෙටි දුරක්‌ ගමන් ගත් අපි දුටුගැමුණු රජමහා විහාරස්‌ථානයේ කඳු මුදුන තරණය කර විහාර භූමියට පැමිණියෙමු. එහිදී අපට මුලින්ම හමු වූයේ දේවාලයේ කපු මහතා වන හැට පස්‌ වියෑති එස්‌. කේ. හේවාමාන්න මහතාය. ඔහුගෙන් කිඹුල් මන්ත්‍රය කෙටූගල ගැන අපි තොරතුරු විමසුවෙමු. ඔහු විශාල නා ගසක්‌ පෙන්නා මෙසේ කීවේය.

“මේ නා ගස ගොඩක්‌ පරණ එකක්‌. ගහ පුරා වැල් එතිලා තියෙන්නේ. නා ගස මුල තියෙන ගල තමයි කිඹුල් මන්ත්‍රය කෙටූ ගල කියන්නේ. ඉස්‌සර මේ ගල හරි හතරැස්‌. දැන් නම් ගල කැඩිලා ගිහින්.

“අපේ මුතුන් මිත්තෝ කියන විදියට ඒ කාලේ ගිංගඟේ එගොඩ මෙගොඩ ගිය ඔරු පාරුකාරයින්ට කිඹුලන් පැනලා තියෙනවා. අතීතයේ ගිංගඟේ මිනී කන කිඹුලන් හිටිය බවත් ඒ අය කියනවා. රාහුල හාමුදුරුවෝ ගිංගඟේ හිටපු කිඹුලන් මට්‌ටු කරන්න කිඹුල් මන්ත්‍රය මතුරපු ගල් දෙකක්‌ තොටුපොළවල් දෙකකට දාලා තියෙනවා. පස්‌සේ කාලයකදී තමයි මේ ගල් දෙක හමුවෙලා තියෙන්නෙ. ඒ එක ගලක්‌ තමයි ඔය දුටුගැමුණු රජමහා විහාරස්‌ථානයේ තියෙන්නේ”

ගිංගඟේ සිටි මිනී කන කිඹුලන් මට්‌ටු වූයේ රාහුල හාමුදුරුවන්ගේ මේ කිඹුල් මන්තරය නිසාද? කෙසේ වෙතත් මෑත කාලයේදී නම් ගිංගඟේ මිනී කන කිඹුලන් සිටින බව අපි අසා නැත්තෙමු. කතාව එසේ වුවද මේ කිඹුල් මන්ත්‍රය හා මන්ත්‍රය කෙටූ ගල්කුට්‌ටිය ගැන තවත් තොරතුරු දැනගැනීමට මා තුළ පැවතියේ දැඩි උනන්දුවකි. එහෙයින් මා දකුණු පළාත් පුරාවිද්‍යා කාර්යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ සහකාර බුද්ධි නාගොඩ විතාන මහතා හමු විය.

ඔහු මේ ගල් කුට්‌ටියේ සඳහන් කිඹුල් මන්තරය ගැන ලිය වී තිබෙන තොරතරු රැසක්‌ මා වෙත ලබා දුන්නේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්‌ වන මහාචාර්ය මැන්දිස්‌ රෝහණදීර මහතා විසින් සංස්‌කරණය කොට ඇති (inscritions of Ceylon) නමැති ග්‍රන්ථයේ අටවැනි වෙළුමේ මේ ගැන හරි අපූරුවට විස්‌තර කොට ඇත්තේය.

කිඹුල් මන්ත්‍රය කෙටු මෙම ගල්කුට්‌ටිය ගිංගඟේ තිබී හමු වී ඇත්තේ සිවිල් නිළධාරියකු වු ඇල්බට්‌ විතානාච්චි නමැති කෙනෙකුටය. ඒ පනහ දශකයේ මුල් භාගයේදිය. දැඩි නියඟය පවතින කාලයේ දී ගිංගඟේ ජල මට්‌ටම ඉතා අඩු වේ. වැලිපර ඉහළට එස වේ. එවිට ගිංගඟ පහළ නිම්නයට අයත් බද්දේගම ගම්මානයේ කොල්ලෝ කුරුට්‌ටෝ මේ කාලයේදී ගඟේ මතු වී ඇති වැලිපරවල සිට වතුරට පැනීම ජනප්‍රිය ක්‍රීඩාවකි.

එක්‌දිනක්‌ මේ ක්‍රීඩාවේ නිරතව සිටියදී වැලිපරයක සිට වතුරට පනිනු ලැබු තරුණයකුගේ පාදයක්‌ ගල් පරයක හිර වී ඇත. ඔහු තම පාදය ගලවාගැනීමට උත්සාහ කළ අවස්‌ථාවේ පුරාණ අක්‌ෂර සහිත කළුගල් කුට්‌ටියක්‌ හමු වී තිබේ. ඉන්පසු ඇල්බට්‌ විතානාච්චි නමැති සිවිල් නිලධාරියා මේ ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන්ට දැනුම් දී තිබේ. එහි ප්‍රතිපලයක්‌ ලෙස මේ ගල්කුට්‌ටිය කොළඹ පුරාවිද්‍යා ආයතනට ගෙනැවිත් ඇත. එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ වරයා ලෙස රාජකාරී කර ඇත්තේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාය.

මහාචාර්ය සද්ධාමංගල කරුණාරත්න මහතා මෙම ගල්කුට්‌ටියේ සදහන් පුරාණ අක්‌ෂර කියවමින් පැහැදිලි කොට ඇත්තේ මෙහි අන්තර්ගතව ඇත්තේ සබ්බේ බුද්ධා බලප්පත්තා යන ගාථාව බවය.

මේ ගල්කුට්‌ටිය සෑම පැත්තකින්ම අගල් 18 ක පමණ ප්‍රමාණයක දිග පළලකින් යුක්‌තය. මෙහි මුහුණත් හයකින් සමන්විත වන අතර අක්‌ෂර 14 හා 15 වැනි සියවස්‌ කාලයට අයත්වේ. මේ කළුගල් කුට්‌ටිය පැතිහයකින් යුක්‌ත වුවද එහි එක්‌ පැත්තක අක්‌ෂර රහිතව හිස්‌ව පවති.

මේ ගල්කුට්‌ටියේ එක්‌ මුහුණතක මෙසේ සදහන් වේ. නමෝ අප බුදුන් මැණියන් වහන්සේ කිරි මැණි කිඹුල් දෙ පුතු කිඹුල්ම හිමො මුනින්ද්‍රං මහා මුනිස සබ්බේ බුද්ධා බලප්පත්තා පචෙච කානංච යං බලං අරහන්තා නංච තෙඡේනරක්‌ඛ බන්ධාම් සබ්බේ සො.

තවත් මුහුණතක සදහන්වන්නේ මේ අයුරිනි.

ඇළේ හැගොඩ හිම් තොට හා වට රැක්‌ තොට හා ගොංගල් පව්වෙහි කිඹුලන් කිඹුලියන් මේ මන්ත්‍ර ඇතුළුව බුදුන් අණින් දහම් අණින් හිරු අණින් හි්‍රංකාර අණින් මා අණින් කිඹුලන් කිඹුලියන් බැද ලූ කිඹුල් මන්ත්‍රයයි. කෙසේ වෙතත් ගිංගඟ කොමලියට අල්ලපු වැටේ සිටිනා ඇගේ සහෝදරියක්‌ වන නිල්වලා නදී තෙර එදත් අදත් මිනී මරු කිඹුලන්ගේ රජදහනකි. එසේ නම් ගිංගඟ කොමලිය මිනී කන කිඹුලන්ගෙන් තොරවී ඇත්තේ මේ රාහුල හාමුදුරුවන්ගේ කිඹුල් මන්ත්‍රය නිසාද?

කොග්ගල ඔයේ ද කිඹුලන් සිටිති. එහෙත් මිනී මරු කිඹුලන් ඔයේ නැති බැව් කොග්ගල ඔය අවට පදිංචිකරුවෝ පවසති.

කොග්ගල ඔයේ ඉන්න කිඹුල්ලූන්ට බැරිවෙලාවත් ලේ රස වැටුණොත් මිනී නොකා ඉඳීවි කියලා හිතන්න බැහැ යෑයි ගුප්ත වෛද්‍ය හා පහතරට නර්තන ශිල්පි ලක්‍ෂ්මන් හේවගේ මහතා අප සමග කථා බහට මුලපුරමින් කීවේය.

කිඹුලන්ට පමණක්‌ නෙවෙයි දියේ ඉන්න හැම සතෙකුටම වගේ මන්ත්‍ර හදලා තියෙනවා. මේ මන්ත්‍ර හදලා තියෙන්නේ ඉසිවරයෝ හා රුසිවරයෝ. ඇත්තටම කිඹුලන් මට්‌ටු කරන්න විතරක්‌ නෙවෙයි කිඹුලුන් කේන්ති ගස්‌සන්නත් මන්ත්‍ර තියෙනවා. ඒ කාලයේ මාළු කොටු සොර සතුරන්ගෙන් ආරක්‌ෂා කරගන්න කිඹුලන් දරුණු තත්ත්වයට පත් කළ හැකි කිඹුල් මන්ත්‍ර ගල් කැට තුනකට මතුරලා කිඹුලන් ඉන්න අඩවියට දාලා තියෙනවා. එතකොට මාළු කොටුවලින් මාළු සොරකම් කරන්න ආවොත් කිඹුලා පනිනවා. ඒ විතරක්‌ නෙවෙයි කිඹුලා දමනය කරන්නත් මන්ත්‍ර තියෙනවා. දෙමට ගෙඩිවලට මතුරලා කිඹුලන් ඉන්න අඩවියට විසි කරනවලු”

කතාව කෙසේ වුවද ගිංගඟේ මිනීමරු කිඹුලන් නැත්තේ ගිංගඟ නිම්නයේ ජනතාවගේ වාසනාවකටය. නිල්වලා නදී තෙර මෙන් ගිංගඟේද කිඹුලන් සිටියා නම් ගිංගඟ අවට පදිංචිකරුවන්ද බරපතල ගැටලු රැසකට මුහුණපානවා නිසැකය.

ලලිත් චාමින්ද – ගාල්ල

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි