නිරිඳු කාවන්තිස්ස පණ දුන් කරඹගල සෙනසුන

හම්බන්තොට දිශාවේ අම්බලන්තොට නගරයට උතුරින් මෙම පුදබිම පිහිටා ඇත. අම්බලන්තොට නගරය මැදින් වලවේ ගඟට සමාන්තරව උතුරට බරව වැටී ඇති මාර්ගයේ මහබෝලාන දක්වා ගොස් ඉන් හැරී කොක්ගල්ල දක්වා යා යුතුය.

කරඹගල නටබුන් කොටස් දෙකකට අයත් වේ. කරඹගල කොටස හා මදුනාගල කොටස වශයෙනි. මේ දෙක අතර දුර කි.මී. භාගයක් පමණ වුවද පැරැණි මාර්ගය හා අතරතුර ගල්ලෙන් ආදිය දක්නට ලැබේ. ස්ථාන දෙකම වටකොට වනාන්තරය පැතිරී ඇති බැවින් වන සතුන්ගේ නිබඳ ගැවසීමද සිදුවේ.

එක රේඛාවකට වැටෙන මේ ස්ථාන දෙකින් මදුනාගගල අඩි 327ක් ද කරඹගල අඩි 392ක් ද උස් වේ. තැන තැන පිහිටි විශාල පර්වත තලාවන්ද පිහිටා ඇත. මදුනාගලට සැතපුම් දෙකක් පමණ දුරින් ඓතිහාසික රිදීගම වැව පිහිටා තිබේ. එය වලවේ ගඟේ වම් ඇළෙන් පෝෂණය ලබන ප්‍රදේශයට මහත් සෙතක් වූ වස්තුවකි.

එඩ්වඩ් මුලර් මහතා කරඹගල ගැන පේළි කිහිපයක සටහනක් දක්වා එහි ලිපියක කොටසක් සාවද්‍ය ලෙස කියවා ඇත. සී.ඩබ්ලිව්. නිකලස් මහතාද කරඹගල ගැන සුළු සටහන් යොදන ලද නමුත් මදුනාගල නම සඳහන් කර නැත. යුනිවර්සිටි සිලෝන් රිවීව් සඟරාවේ මඪඪ නො. 4 කොටසේ මේ පිළිබඳව තරමක විස්තරයක් දක්වා තිබේ. එහෙත් ස්ථානය පිළිබඳව පූර්ණ ගවේෂණයක් මේ දක්වා කර නැති බව එල්ලාවල මේධානන්ද හිමියන්ගේ අදහසයි.

මේ ස්ථානයේ විසිරී ඇති පුරාවස්තු රැසකි. ඒවා අතර ස්තූප තුනක් තිබුණු බව පෙනේ. මින් එකක් මදුනාගල කොටස් විය. මෙහි සුවිශාල පර්වතයේ මුදුනේ මේ ස්තූපය තිබී ඇත. පැරැණි සෑය දැන් නැත. එහි ගඩොලු සෑම තැනම විසිරී ගොස් විනාශ වී ඇති බව පෙනේ. නිධාන සොයන්නන් ස්තූප මුළුමනින්ම විනාශ කරන්නට ඇත. වර්ග කිහිපයක ගඩොලු ඇති අතර 1.4 × 0.8 වර්ගයේ ගඩොලු බහුලව දක්නට ලැබේ. මෙහි පහත් මට්ටමේ පිහිටි ගල් තලයක පොකුණක්ද ඒ අසල කිසියම් පැරැණි ගොඩනැඟිල්කට අයත් කණු පාදම්ගල් 14ක් දක්නට ලැබේ. පහත් බිමේද තැන තැන ගඩොලු විසිරී තිබෙනු දැකිය හැකිය.

කරඹගල කොටසේ උස්ම පර්වතය මුදුනේ ස්තූපයක් තිබේ. එය මෑතකදී ප්‍රතිසංස්කරණය කර ඇති බැවින් පැරැණි ස්වරූපය නැත. පැරැණි ගඩොලු තැන තැන ඇති අතර ස්තූපයට අයත් යූපස්ථම්භය මළුවේ පසෙක පෙරළා දමා තිබේ. එසේම නෙලුම් පෙති රටාව පමණක් සහිත චාම් සඳකඩපහණක් ද වෙයි. සෑ මළුවේ කිසියම් ගොඩනැඟිල්ලකට අයත් ගල්කණු රැසක් වෙයි. ස්තූපය පිහිටියේ දර්ශනීය ස්ථානයකය. එතැනට වට පිටාව මැනවින් පෙනේ.

Flickr

වනපෙත අතුරින් ඇදී යන වලවේ නදිය රිදියගම වැවට නුදුරින් පෙනෙන අතර කතරගම කඳුවැටිය ඓතිහාසික රත්මල්කන්ද, ඇඹිලිපිටිය පෙදෙස අනෙක් පසින් දුරින් දර්ශනය වෙයි. මෙම ස්ථානයට පහළින් පිහිටි තවත් පර්වත තලාවකි. ඒ මතද ස්තූපයක ගඩොලු ගොඩැල්ලක් තිබේ. එය දැනට අඩි 30ක් පමණ වටවූ ද අඩි එකක් පමණ උස වූ එකකි. ස්තූපය හාරා විනාශ කර ඇති බැවින් මේ තත්ත්වයට පත්වී තිබේ. සෑයේ ගඩොලු තැන තැන විසිරී පර්වතය පාමුලටද වැටී විනාශ වෙමින් තිබේ.

මෙහි තරමක් විශාල ලෙනක බුදු මැඳුරක් තනා ඇත. පැරැණි විහාරයක් වුවද මුළුමනින්ම අලුත්වැඩියා කර ඇති බැවින් පැරැණි දේ නැති තරම්ය. මෙහි තරමක හිඳි පිළිමයක් වේ. එහි ළැම පෙදෙස පරීක්ෂා කරන විට හාරා විනාශ කර ඇති බව පෙනෙයි. නිධාන ගැනීමට කරන ලද සාහසික ක්‍රියාවක් බව පෙනේ. පිළිමයේ දෙපස ශක්‍රයාගේ හා බ්‍රහ්මයාගේ රූප අඹා ඇත. පසෙක පස්වග මහණ රූප අඹා තිබේ. මෙය දම්සක් පැවතුම් සූත්‍ර දේශනය පිළිබිඹු කරන නිර්මාණයක් බව පෙනෙයි.

මෙහි හැම තැනම පර්වත ඇසුරු කර ලෙන් පිහිටා තිබේ. ඒවා කටාරම් කොටා සකස් කර ඇත. විහාර ලෙන අසල දැකුම්කලු එක් ලෙනක විශාල තුඹසක් බැඳ තිබේ. මෙහි ගඩොලු රැසක්ද ඇත. ඒවා පැරැණි බිත්තිවල ශේෂ හැටියට සැලකිය හැකිය. මේ අසල තරමක පර්වතයක පියගැට පෙළක් කොටා ඇත. මෙම ලෙන පිටුපස ශෛලමය ආසනයකි. මිනිසුන් හාරසීයකට පමණ සිටිය හැකි ඡත්‍රාකාර ලෙනක්ද ඇත. එක් ලෙනක කටාරම් සහිත කොටස කඩා වැටී තිබේ.

මෙහි ඇති විශේෂ ලෙනක් චිත්ත ගුත්ත ලෙන නමින් හැඳින්වේ. මේ ලෙන ඉදිරිපිට ගල්කණු හතරක් එක පෙළට සිටුවා තිබේ. තවත් තිබිය යුතු කණු ගණනාවක් විය යුතු නමුත් ඒවා දැනට නැත. කණු පාදම් ගල් 10ක්ද මේ අසලම ඇත. මෙයින් පෙනී යන්නේ මේ ලෙන අතීතයේදී පියස්සක් සහිතව සකස් කර තිබූ බවයි. ලෙන වහලයේ චිත්‍ර ඇඳ තිබුණු බව පැවසෙතත් දැනට ඒවා දක්නට නොලැබේ. එම චිත්‍ර අතර සත් බුදුවරුන්ගේ රූප තිබූ බව කියති.

කරඹගල තිබූ චිත්‍රයක බෝසත් හා අප්සරාවන් නමින් මංජුශ්‍රී මහතා දක්වා තිබේ. ඒ ගැන කරුණු දක්වන නන්දදේව විජේසේකර මහතා එම සිතුවම් පට එතරම් සැලකිල්ලට නොගත් බව කියයි. කරඹගල සිට මදුනාගලට යන මඟ අසල වනයේ වේදිකාවක් මත පිහිටි දුර්ලභ දර්ශනයක් වූ ලෙනකි. පර්වත ලිපිවලින් දෙකක් මදුනාගල කොටසේ වෙයි.

ගල්තලාවේ පොකුණ අසල බටහිර අතින් සීමාවෙන් පිට යන්න බ්‍රාහ්මී අක්ෂරයෙන් කොටා ඇත. පොකුණ අසල කොටා ඇති අනෙක් ලිපිය පේළි 06කින් පමණ කොටා ඇති බව පෙනෙතත් අකුරු කිහිපයක් පමණක් කියවිය හැකිය.

කරඹගල ලිපිය යනුවෙන් දැක්වෙන ලිපිය මහසෙන් මහ රජුගේ පුත්‍ර සිරිමෙකවන අබය රජු විසින් බිලිවන විහාරයට කරන ලද පූජා ගැන සඳහන් වන්නකි. මෙහි තවත් ලිපි ඇති බව පෙනේ. වර්තමාන බෝධිය අසල ඇති මල් දෝනා ගල් පුවරු දෙකද සැලකිය යුතු පුරාවස්තුවකි.

කරඹගල විහාරයේ ඉතිහාසය පො.ව. පූර්ව තෙවැනි ශතකය තරම් අතීතයට දිවෙයි. ලෙන් ලිපිවලින් පෙනෙන පරිදි තපෝවනයක් ලෙස එය කාවන්තිස් රජුගේ යුගය වනවිට ආරම්භ වී තිබිණි. මෙහි දැක්වෙන චිත්ත ගුත්ත නම් රහත් තෙර නමක් විසූ බවත් එම ලෙනේ සත් බුදු රූප සිතුවම් කර තිබූ බවත් උන්වහන්සේගේ සිල්වත්කම ගැන පැහැදුණු කාවන්තිස්ස රජු එතුමා මාගමට කැඳවූ බවත් මේ කතාවේ දැක්වේ.

ලෙනෙහි නම මේ කතාව ඇති විසුද්ධි මාර්ගයේ සඳහන් වන්නේ කුරණ්ඩක මහ ලෙන වශයෙනි. මීට පෙර රජ කළ ගෝඨාභය රජු කරණ්ඩක ලෙන නම් විහාරයක් කළ බව ධාතුවංශය දක්වයි. චිත්ත ගුත්ත කතාවම දක්වන සිහළවත්තුව සමහර පිටපතක මේ නම කොරණ්ඩ මහා ලෙන වශයෙන්ද සමහර පිටපතක කෝණ්ඩ මහා ලෙන වශයෙන්ද දැක්වේ.

පො.ව. 301-338 අතර රජ කළ ශ්‍රී මේඝවර්ණ රජුගේ යුගයට අයත් සෙල්ලිපියේ ස්ථානයට කරන ලද පූජාවන් ගැන සඳහන් වන බැවින් එම යුගයේ කරඹගල විහාරයේ දියුණුවක් ඇතිවූ බව පෙනෙයි. එම ලිපියේ ස්ථානයේ නාමය ලෙස දැක්වෙන්නේ බිලවන විහාර වශයෙනි. පො.ව. 455-473 යුගයේ අනුරාධපුරයේ රජකළ ධාතුසේන රජු රෝහණයේ භිල්ලවාන විහාරය කරවූ බව මහාවංසයේ දැක්වෙයි. බිලවන විහර යනු එම භිල්ලවාන විහාරය හැටියට සමහරු සලකති.

Flickr

එය එසේ නම් සෙල්ලපියේ සටහන ධාතුසේන රජුට පැරැණි බැවින් පළමු කරවා තිබූ විහාරය ධාතුසේන රජු ප්‍රතිසංස්කරණය කළැයි සැලකීමට පුළුවන. භිල්ලවාන වචනය සමහර පිටපත්වල භිල්ලිවාණ, භල්ලිවාණ වශයෙන්ද සඳහන් වී තිබේ. බිලවන නම භල්ලී හෝ භිල්ල හෝ වශයෙන් නැඟීම අක්‍රමවත් බව පෙනේ. මාතෘ භාෂාගත බිල්ල, බිල්ව වචනවලින් බෙලි (ගස) ගැන කියයි.

එය හෙලයට බෙලි විසින් සිටී. වන, සඳ, කැලය, වනය අරුත්හි නම් එය එසේම යොදනු මිස වාන යනු නුසුදුය. බිල වන විහර යන සෙල්ලිපි පාඨය අනුව බෙලි කැලයක වූ විහාරය යනු ගත හැකිය. එය භිල්ල හෝ බල්ලවාණ විය නොහැකිය. භල්ල යනු බදුල්ල ගසය. ධාතුසේන තවත් භල්ලාතක නමින් විහාරයක් කරවා තිබේ. වංසකතාකරුවා මෙය අක්‍රමවත්ව පෙළ බසට නැඟුවා විය හැකි යැයි මේධානන්ද හිමියෝ පවසති.

කෙසේ නමුත් සිවුවැනි සියවසේ එහි නිශ්චිත නාමය ලිපියේ සඳහන් වීම වැදගත්ය. දහවැනි සියවස සිට මේ ප්‍රදේශය සටන් බහුල ප්‍රදේශයක් වූ අතර එය අට දහස් රටට අයත් ඛණ්ඩ වග්ග උප දිසාවට අනුරූප වූයේය. කොක්ගල්ල හා ඒ අසල වූ උඩ වැව මහාවංසයේදී බකගල්ල හා උදධවාපී වූයේය.

මහානාග කුල පුර (වර්තමාන රම්බා විහාරය අසල උඩ රොටේ පල්ලේ රොටේ පෙදෙස) සිටි දමිළාධිකාරි සටන් මෙහෙයවමින් පැමිණ බකගල්ල අසල මහා සටනක් කළේය. මේ යුගයේ මේ පෙදෙස සාමාන්‍ය ජනාවාස වීමට පුළුවන. එහෙත් කරඹගල ගැන සටහන් දක්නට නොලැබේ. කාලයත් සමඟ වනයෙන් වැසී ගිය මේ වටිනා පූජනීය ස්ථානය අඩ සියවසකට පමණ පෙර සිට නැවතත් භික්ෂු වාසයක් වී ඇති බව පෙනේ.

සැකසුම – එස්. රණසිංහ

කවරයේ ඡායාරූප : Flickr

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි