මහනුවර දළදා මාළිගාව ගැන මෙතෙක් නොඇසූ කතාවක්

මහනුවර අද දැකිය හැකි ශ්‍රී දළදා මාලිගාව මහනුවර නගරයේ ඉදි වූ පස්වැනි දළදා මාලිගාවයි. මීට පෙර තිබූ දළදා මාලිගා හතරක් දිරාපත් වීම පරසතුරු ආක්‍රමණ නිසා විනාශ වී ඇත.

අද මහනුවර දක්නට ඇති එම නගරයේ ඉදි වූ පස්වැනි දළදා මැඳුර පිහිටි ස්ථානය ඉතා වැදගත් වෙයි. නගරයේ ඉහළම බිම්කඩ මේ අවට පැතිර ඇත. උඩවත්තකැලේ රාජකීය තහංචි කැලේ මායිමේ එය ඉදි විය. එදා උඩවාසලවත්ත තහංචි කැලේ ඉතා විශාල ප්‍රදේශයක පැතිරී තිබූ අතර ඒ බහිරවකන්ද,

ගන්නෝරුව කන්ද හරහා හන්තාන කැලෑවටද අනෙක් පැත්තෙන් ලේවැල්ල, පල්ලේකැලේ සිට රන්දෙණිගල තෙක් පැතිර ගිය පල්ලේකැලේ කැලෑවටද සම්බන්ධ වී එකම වන රොදක් ලෙස පැතිර තිබිණි. ඉංගී්‍රසි යුගයේ කෝපි වගාව සඳහා නගරය අවට වනාන්තර එළි කරන ලදුව එකම වනාන්තර විනාශ වී තැනින් තැන කුඩා වන රොදවල් ඉතිරි විය.

නගරය ශීඝ්‍ර ලෙස ජනාවාස වීම නිසා ඉතිරිව තිබූ වන රොදවල්ද මිනිස් ජනාවාසවලට යට විය. එදා විශාල බිමක පැතිර තිබූ උඩවාසලවත්ත හෙවත් උඩවත්ත කැලෑවෙන් ගලා ආ සීතල, පිරිසුදු ජල උල්පත් රජ වාසල, දළදා මාලිගාවේ සතර දේවාල හා නගරයේ අවශ්‍යතා සඳහා භාවිත විය.

උඩවාසලවත්ත රක්ෂිතයෙන් ගැලූ ඔෟෂධීය ගුණයෙන් යුතු සීතල ජලය යොදාගෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (1798-1815) දේවේන්ද්‍ර මූලාචාරියා ප්‍රධාන ශිල්පීන් ලවා රජු හා රජ බිසවුන්ගේ දිය නෑම සඳහා උල්පැන් පොකුණ දළදා මැඳුර ඉදිරිපිට ඉදි කළේය. 1815 ඉංගී්‍රසීන් මේ වනසන ලදුව යළිත් 1828 ටර්නර්ගේ සැලැස්මක් අනුව උල්පැන් පොකුණ බදාමවලින් වසා ඒ මත කළුගල්, ගඩොල්, දැව මිශ්‍ර දෙමහල් දැවැන්ත පුස්තකාලයක් ඉදි කර ඇත. එය 1857දී විවෘත කෙරිණ.

ඉංගී්‍රසීන් වසා දැමූ එම උල්පැන් පොකුණ, දෙමහල් පුස්තකාලය එසේම තිබියදී මෑතක සංස්කෘතික ත්‍රිකෝණය මඟින් යළිත් හාරා මතු කර ඇත. මෙම උල්පැන් පොකුණ ඒ අනුව අඩි 30ක් පමණ දිග අඩි 20ක් පමණ පළල අඩි 6ක් පමණ ගැඹුරු කැටයම් සහිත එකක් විය.

අම්පිටිය කඳුවලින් ඇරැඹී ගලා ආ හීල්පැන්කඳුරට, දුනුමඬලාව හෙවත් වාකරේ කඳුවලින් ගලා ආ ජල ධාරාවද එකතු වී අද බෝගම්බර කිරිමුහුද පිහිටි බිමේ එදා එයට පෙර පැවැති ටිගොල්වෙල වෙල්යාය මැදින් හීල්පැන්කඳුර ගලා අවුත් එහි රොන්මඩ සහිත ජලය මහමළුවේ පහළ කොටසේ තැන්පත් කරමින් දළදා මාලිගාව නාථ දේවාලය දෙසට ගලා ගියේය.

මහමළුවේ පහළ කොටසේ හීල්පැන්කඳුරෙන් ගලා ආ සරුසාර පස තැන්පත් වී වගුරු බිමක් නිර්මාණය වී තිබූ අතර මෙම වගුරු බිම “අල කොළේ” යන නාමයෙන් ප්‍රසිද්ධව ඒ වගුරු බිම මත අල කොළයායක් වැවී පැතිරී තිබිණි. මේ අල කොළ යාය මුල් කොටගෙන “රාජාවලිය” පැරැණි පිටපතක බෝගම්බර කිරිමුහුද “අළකොළ වැව” යනුවෙන් හඳුන්වා ඇත.

අද දළදා මාලිගාව ඉදිරිපිට දක්නට ඇති දිය අගල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (1798-1815) දේවේන්ද්‍ර මූලාචාරියා ලවා කරවූවකි. එදා එය දළදා මාලිගාවේ සිට දැනට විනාශව ඇති බොරවැව දක්වා දිය අගල දිගේ බොරවේ වීදිය ඔස්සේ සැතැපුම් කාලක් පමණ දුරට ගලා ගියේය.

අද දළදා මැඳුර ඉදිරිපිට ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කරවූ දිය අගලට පෙර දළදා මැඳුර ඉදිරිපිට පැරැණි දිය අගලක් තිබී ඇත. උඩවත්තා කැලෙන් ගැලූ ජල උල්පත් හා මහමළුව හරහා ගලා ආ හීල්පැන්කඳුරේ ජලය එකතු වී මෙම පැරැණි දිය අගල දළදා මැඳුර ඉදිරිපස සිට බොරවැව දක්වා ගලා ගිය බව සිතිය හැකිය.

එදා දළදා මැඳුර, සෙංකඩගල නගරය වටා කඳුහෙල්, වනාන්තරවලින් පිරී තිබූ නිසා නගරයේ ගලා ගිය දිය ධාරා වැඩි විය. ඒවා පවිත්‍ර විය. කැලෑ විනාශය සමඟ ජල උල්පත්ද විනාශ වන්නට විය.

සෙංකඩගල නගරය මුලින්ම බිහි වූයේ ගමක් වශයෙනි. ඉන්පසු යුද බලකොටුවක් වශයෙනි. “අස්ගිරි තල්පත” හා “අස්ගිරි උපත” අනුව කුරුණෑගල හතර වැනි පරාක්‍රමබාහු රජු කල (1310-1325) මෙම බලකොටුව එම රජුගේ බෑනා වූ ශ්‍රී වර්ධනප්‍රතිරාජ විසින් ක්‍රි.ව. 1312දී යුද බලකොටුවක් ලෙස ඉදි කරනු ලැබ ඇත.

ගම්පළ අගනුවරව පැවැති අවධියේදී ගම්පළ තුන්වැනි වික්‍රමබාහු රජුගේ (1356-1371) විවේකය ගත කිරීම සඳහා සන්සුන් ප්‍රියංකර පරිසරයක් තිබූ සෙංකඩගල මුලින්ම නගරයක් ලෙස දියුණු කර ඇත. ගම්පොළ තුන්වැනි වික්‍රමබාහු රජු මෙම නගරය ඉදි කළේ සුබ නක්ෂත්‍ර යෝගයක් අනුවයි.

නගරය සෑදීමට බිම කණින විට සුදු ඉදිබුවකු මතු වූයේ වාසනාවේ සංකේතයක් ලෙසිනි. මෙම සුදු ඉදිබුවා තුන්වැනි වික්‍රමබාහු රජු විසින් පොකුණක් සාදවා එයට දමන ලද බව කියැවෙයි. මෙම සුදු ඉදිබුවා සහිත පොකුණ දිගු කලක් පැවැති අතර පසු කල එය මත වර්තමාන දළදා මැඳුර ඉදි වූ බව එක්අදහසකි. තවත් අදහසක් අනුව මෙම සුදු ඉදිබුවා සහිත පොකුණ වර්තමාන බෝගම්බර කිරිමුහුද සෑදීමේදී එයට එක් වී ඇත.

සෙංකඩගල කල ලියැවුණු “නිදන් වදුල” ග්‍රන්ථය අනුව දළදා මැඳුර සෑදීමේදී ඒ යට වටිනා වස්තුව, ඔෟෂධ, බලගතු ද්‍රව්‍ය යට කර ඇත. ඒ එම ස්ථානයේ ආරක්ෂාව සඳහාය.
ගම්පළ තුන්වැනි වික්‍රමබාහු රජු කල ඉදි කළ සුදු ඉදිබුවා සහිත කුඩා පොකුණ මත වර්තමාන දළදා මැඳුර ඉදි වූවාද? නැත්නම් උඩවත්තකැලේ කැලෑවෙන් ගලා ආ සීතල පවිත්‍ර ඔෟෂධීය ජලය පිහිටි ස්වාභාවික කුඩා විලක් මත දළදා මැඳුර ඉදි කළාද යන්න පැහැදිලි කරගත යුතුය.

දැන් ඇති පස්වැනි දළදා මැඳුර මුලින්ම මෙහි ඉදි කළේ කුණ්ඩසාලේ අගනුවර කරගත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. (1707-1739) ඒ පිළිබඳ දිග විස්තරයක් චූලවංසයේ දැක්වෙයි. බලගතු ආරක්ෂක ද්‍රව්‍ය නිදන් කොට ස්වාභාවික ජල තටාකයක් මැද මෙම දළදා මැඳුර නිර්මාණය කර ඇත. වර්ෂ 1765 වෑන් ඊක් එල්ල කළ ඕලන්ද ප්‍රහාරයෙන් දළදා මැඳුරට විශාල හානියක් සිදු විය. මේ නිසා කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1747-1782) ඕලන්දයන් විනාශ කළ දළදා මැඳුර නැවත මුළුමනින්ම අලුත්වැඩියා කිරීමට දිගු කාලයක් ගත්තේය. යළි දළදා මැඳුර විවෘත වූයේ ක්‍රි.ව. 1770 වෙසක් පුර පසළොස්වක දාය.

මේ නිසා සමහර මූලාශ්‍රවල මෙම දළදා මාලිගාව කීර්ති ශ්‍රී රාජසිංහ රජු කරවූ බව සටහන් වෙයි. ඒ අර දීර්ඝ ප්‍රතිසංස්කරණය නිසාය. එහෙත් “ශ්‍යාමෝසම්පදාවත” ග්‍රන්ථය කියනුයේ ඕලන්දයන් වැනසූ පැරැණි දළදා මැඳුර අසල කීර්ති ශ්‍රී රජසිංහ රජු අලුත් දළදා මැඳුරක් ඉදි කොට පැරැණි දළදා මැඳුරේ තිබූ දළදා හිමි අලුත් දළදා මැඳුරට වැඩම වූ බවයි. මේ අනුව ඕලන්දයන් වැනසූ දළදා මැඳුර කීර්ති ශ්‍රී රාජසිංහ රජු යළි ඉදි කළ අතර ඒ අසලම අලුත් දළදා මැඳුරක් කරවා දළදා හිමි පැරැණි දළදා මැඳුරෙන් 1770දී අලුත් දළදා මැඳුරට වැඩමවා ඇත.

ස්වාභාවික විලක් මැද ඉදි වූ දළදා මැඳුරේ අවට පරිසරය කැලෑ එළි වී ජනාවාස වී තෙත් බව සිඳී වියළි විය. පැරැණි ස්වාභාවික විල් තලාව ඇත්තේ දළදා මැඳුරට යටපත්වය. දළදා මැඳුරේ මුළුතැන්ගෙය පැත්තේ කැණීම්වලදී මතු වූ ගල් කැටයම් පැරැණි ගොඩනැඟිලි කොටස් කැටයම් කොටස් උල්පැන් පොකුණ පැත්ත ඉදිරියේ ප්‍රදර්ශනයට තබා ඇත.

එහි අඩි 15ක පමණ ගැඹුරු ජලය සහිත ළිඳක් දැකිය හැකිය. මෙම ළිඳේ ජල මට්ටම දළදා මැඳුරට යට වූ ස්වාභාවික විල් තටාකයේ ජල මට්ටම අනුව පවතින බව පිළිගැනෙයි. වෙනත් වචනවලින් කිවහොත් දළදා මැඳුර ඉදි කර ඇති පැරැණි ස්වාභාවික ජල තටාකයේ ජලය දළදා මාලිගාවේ මුළුතැන්ගෙය පැත්තෙන් අද දැකිය හැකි පැරැණි ළිඳෙන් මතු වෙයි.

එස්.කේ. ජයවර්ධන

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි