පත්තිනි දේවිය පියයුරක් ගලවා මදුරාපුරය ගිනි තැබුව කතාව

පඬු රජුගේ රන්කරුවා සිය නිවෙසට කැටුව ගිය රාජපුරුෂයන් ලවා සොර චෝදනාවක් නඟා ගොවාලාට මරු කැඳවූ මොහොතේම පඬු රජුගේ මාලිගයේදී මහත් විස්මයජනක දේ සිදුවිය.

මුදවනු පිණිස කලස්වල දැමූ කිරි නොමිදුණේය. මී ගවයන්ගේ දෙනෙත්වලින් කඳුළු වැගිරෙන්නට පටන් ගත්තේය. කැටි ගැසෙනු පිණිස ඊට පෙර දින මුලුවල බැඳ තැබූ වෙඬරු උකු නොවිණි. එළු පැටියෝ කෙළිදෙළෙන් නටනු වෙනුවට නොසෙල්වී උන්හ. දෙන්නු සිරුරු වෙව්ලුවමින් මර හඬ නැඟූහ. ඔවුන්ගේ ගෙල බැඳි මිණිවැල් ගැලවී වැටිණි.

මහත් විපතක ලකුණු පෙනේ යැයි මාලිගයේ සිටි වැඩිහිටි සේවකයෝ මිමිනූහ.
මේ අවස්ථාව වනවිට අධික දාහයක් දැනෙන්නට වූ නිසා කන්නකිය අසල ‘වයිසෙයි’ නදිය අසල නාරායනා (විෂ්ණු) දෙවොලට ගොස් පුද පූජා පවත්වා නදියට බැස ස්නානය කළාය. එහෙත් ඇයට දැනෙන දාහය අඩු නොවීමෙන් ඕ වික්ෂිප්ත වූවාය.
ඒ අසල ස්නානය කළ යුවතියන්ට ඕ කතා කළාය.

“යෙහෙළියෙනි, මදුරාපුරයට ගිය මගේ සැමියා නොආවේය. මගේ සිරුර දාහයෙන් දැවී ගැහෙයි. ඔහුට නපුරක් වී දැයි නොදනිමි.”
“යෙහෙළිය ඔබේ සැමියා දැයි නොදන්නෙමු. එහෙත් රජ බිසවගේ පා සලඹ සොරාගත් බව කියන සොරකු ඝාතනය කළ බවක් නම් අසන්නට ලැබිණි.” යෞවනියන් පවසත්ම කන්නකිය සිහිසුන්ව වැටුණාය.

පසුව ඕ කෝපයෙන් නැඟී සිටියාය.
“මගේ සැමියා සොරෙක්ද?” කන්නකිය හඬනඟා තමන්ගෙන්ම අසා ගත්තාය.
“නැත මෑණියෙනි, ඔහු සොරෙක් නොවේ. ඔබේ දාහයෙන් මේ නගරය වැනසී යයි” යන වචන අහස් කුසින් ඇසුණේය.
කන්නකියගේ පා සලඹ යුගලෙන් ඇය සතුව ඇති ඉතුරු සලඹද රැගෙන ළයෙහි අත් ගසමින් වැලපෙමින් වීදි දිගේ යන කන්නකිය කවුරුන් දැයි නගර වැස්සෝ විමසන්නට වූහ.

එමඟින් ඇයට සිය සැමියාගේ මළ සිරුර දැකගන්නටද ලැබිණි. මදුරාපුර වැසියෝද කම්පා වූහ. රජුට දඬුවම් ලැබිය යුතුය යන මතයේ ඔවුහු එල්බ ගත්හ.
මළ සිරුර දුටු කෙණෙහිම කන්නකිය සිහිසුන්ව වැටුණාය. බොහෝ වෙලාවකට පසුව යළි පියවි සිහිය ලබන විට ඇය වෙනස් මානසික තත්ත්වයකට පත්ව සිටියාය. ඕ සිය සැමියාගේ ගෙල වටා තිබූ මල් මාලය ගෙන සිය ගෙලෙහි පැලඳ ගත්තාය.

ලේ වැගිරෙමින් තිබූ මළ සිරුර දෙස ඇසිපිය නොහෙළා බලා සිටියාය.
“දරුණු අවියෙන් රාජධර්මය නසන රජුගේ නුවර යුක්තිය ආරක්ෂා කරන දෙවියෝ නැද්ද?” ඇය දෙඅත් අහසට විහිදුවා අසා බොහෝ වේලාවක් දෑත් ඔසවාගෙනම දෙනෙත් පියාගෙන සිටියාය.

අනතුරුව සිය සැමියාගේ මළසිරුරේ දෙපා වැන්දාය. ඒ මොහොතේ ආශ්චර්යවත් දෙයක් සිදුවුණේය.
ගොවාලා නැඟී සිටියේය. ඔහු වටා දේව පුත්‍රයන් දෙතුන් දෙනකු සිටිනු ඇය දුටුවාය.
“ඔබ මෙහි රැඳෙන්න” යැයි කී ගොවාලා දේවපුත්‍රයන් සමඟ නොපෙනී ගියේය.
“මේ මායාවක්ද?” යනුවෙන් මිමිණු­ කන්නකිය, වරද කළ රජු හමුවී අරුත දැනගන්නේ මැයි මතුරමින් පඬු රජුගේ මාලිගයට ගියාය.

මේ මොහොතේ අගබිසව කලබලයෙන් පඬු රජු කරා දිව ආවාය.
“රජතුමනි ඊයේ රාත්‍රි මම මහත් බියකරු සිහිනයක් දුටුවෙමි. නුවර දොරෙහි කාලය අඟවන මිණිය නොකඩවා හැඬ වුණේය. අහසේ තරු මහ දවල් කඩා වැටුණේය. මහ රාත්‍රියේ දේදුන්නක් පායා තිබෙනු දුටුවෙමි.”

රජු ඊට සාවධානව ඇහුම්කන් දෙමින් සිටි අතර ‍ෙදාරටු පාලකයෙක් එතැනට ආවේය. නැවී ආචාර කළේය.
“මහ රජුනි දිගාසිරි වේවා, ‍ෙදාරටුවට එක් අඟනක් පැමිණ ඇත. එහෙත් ඇය මිනිස් දුවක දැයි යන්නද සැක සහිතය. ඕතොමෝ ලේ වැගිරෙන මුවහත් කඩුවක් අතින් ගත් කළුපාට සිරුරැති ‘කොට්ටවෛ’ දෙවඟනද නොවේ. කාම දේවයාගේ රතියද නොවේ. මුහුදු තීරයට අරක්ගත් කාලියද නොවේ. තාරක අසුරයා නෑසූ දුර්ගාද නොවේ. කෝපාග්නියෙන් දැවෙන්නියකි. ඇගේ එක් අතක අලංකාර නූපුරකි.”

‘ඇය කැඳවනු.’ රජු අණ කෙළේය. අණ වහාම ඉටු කෙරිණි.
“රජුන් පැදවූ රියට යටකර තම පුත්‍රයා මරා දැමූ බව ‍ෙදාරටුවේ බැඳි මිණිය හඬවා තමාට පත් විපත සැල කළ එළදෙනටත් යුක්තිය ඉටු කළ චෝල රජුගේ ‘කාවේරී’ නගරය මා උපන් ප්‍රදේශයයි. එහි වෙසෙන ධනවත් සිටුවරයකු මගේ පියාය. එසේම ධන කුවේරයකු වන ‘මාසාත්තුවාන්’ සිටුවරයා මගේ සැමියාගේ පියාය. කළකම් පලදීමෙන් මගේ නූපුරය විකුණා ගැනීමට මදුරාවට පැමිණි කල ඔබ විසින් නිරපරාදේ මරවන ලද ගොවාලා මගේ සැමියාය. මගේ නම කන්නකී.” යැයි රාජ සභාව තුෂ්ණිම්භූත කර ඕ හඬනඟා කීවාය.

“සොරකුට දඬුවම් දීම අපරාධයක් නොවේ.” රජු කීය.
“නීතිය දැන යුක්තිය ඉටු නොකළ රජුනි, හඬ නැඟීමට මගේ නූපුරයට බහා තිබුණේ මැණික් කැටයි.”
“බිසවගේ නුපුරෙහි වූයේ මුතු කැට” යැයි කී රජු බිසවගේ නූපුරය තමන් අතට දෙවයි සේවකයකු බනවාලීය.
රජ අණ ඉටු විය.

රජුගෙන් තම අතට ගත් නූපුරය කන්නකිය එය ගැලවූ කල ඉන් මැණික් කැට බිමට වැටිණි.
රජු මහත් සේ කැලඹී ගියේය.
“රන්කරුවාගේ බස විශ්වාස කළ මම අනුවණ පාලණයෙක්මි” යැයි රජු මොර ගෑවේය. “මගේ ආයු කාලය අවසන්” යැයි කී රජු එකෙණෙහිම මැරී වැටුණේය.

සැමියාගෙන් වෙන්වූ තමන්ට වෙනත් සරණක් නැතැයි කී බිසවද රජුගේ දෙපා වැලඳගෙනම මියගියාය.
“මදුරාපුර අඹු සැමියෝද, කලාටු දෙවියෝද, මුනිවරුද මේ අසත්වා. මගේ සැමියා නිරපරාදේ මැරූ ප¾ඩි රජුගේ නුවරට මම වෛර කරමි. මා අත වරද නැත.” කන්නකිය ගුගුළාය.

අනතුරුව මදුරා නුවර වටා තෙවරක් ගිය ඕ තම වම් පියවුරු කරකවා අඹරා උදුරා බිමගසා නගරය ගිනි තැබුවාය.
අග්නි දෙවියා බමුණ වෙසකින් කන්නකිය ඉදිරියේ එවිට ප්‍රාදුර්භූත වූවේය.
“ඔබට මහ විපත සිදුවූ දිනයේම මේ නුවර දවනු රිසින් ඔබේ අණ ලැබෙන තුරු මම ඔබ පසුපස ආවෙමි. ඉදින් කවරෙක් නොදවා ඉතුරු කෙරෙම්ද? අග්නි දෙවියා කන්නකියගෙන් ගෞරව බහුමානයෙන් ඇසුවේය.

“බමුණන්, ශ්‍රමණයන්, ගවයන්, පතිවත රක්නා කතුන්, මහලු දනන්, ළදරුවන් හැර දහමට සතුරු පස මිතුරන් දවව” යැයි කන්නකිය අණ දුන්නාය.

ප¾ඩි රජුද, ඔහුගේ බිසවද, රජ මැඳුරද, දුනුවායන් ආදී සෙනඟද, ඇත්, අස් ආදීන්ද හැර දමා නගරයට අරක් ගත් දෙවියෝද ඇගේ අණ පිළිපැද නගරයෙන් පිටවූහ.
ගිනි දෙවියාගේ මුව විවරව මුළු නගරයම ගිනිගෙන දැවෙන්නට විය.

වෙහෙසට පත් කන්නකිය මාවතක් මැද හිටගත්තාය. නගරයට අරක්ගත් මදුරාපති නමැති දෙවඟනටද ගිනි රශ්මිය දැරිය නොහී කන්නකිය ඉදිරියේ පහළ වූවාය.
සිරිකතද, සරසවියද, ගිරිදේවියද යන තිදෙනාගේම සංකලනයක් බඳුවූ එක් පියයුරක් සුන්වී ගිය පතිනිය (කන්නකිය) ඉදිරියේ සිටගත් මදුරාපති දෙවඟන මෙසේ කීවාය.

“මදුරාපුරයට අරක්ගත් මදුරාවතී දෙවඟන මමයි. ඔබේ සැමියාට වන් විපත ගැන මම දනිමි. යෙහෙළියෙනි මේ ටිකත් ඔබ දත යුතුයි.”
තෙහෙට්ටු වූ ගතින් කන්නකිය එය අසා සිටියාය.

“කළිගු රටේ සිංහ පුරය, පාලනය කළේ ‘වසු’ නම තිබූ රජ කෙනකි. කළිඟු රටේම කපිල නමැති පුරය පාලනය කළේ ‘කුමර’ නම් රජෙකි. එකිනෙකා එකිනෙකාගේ දේපොළ පැහැර ගැනීමට සටන් කළහ. කපිල පුරයේ විසූ සංගමන් නමැත්තෙක් වස්තු උපයා ගැනීමට තවත් පිරිසකුත් සමඟ සිංහ පුරයට ගොස් රන් ආභරණ විකිණීමට පටන් ගත්තේය.

ඒ සමයේ ඔබගේ සැමියා ඒ රටේ රජුගේ සෙබළෙකි. කිසියම් හේතුවක් නිසා සංගම් වධ බිමේදී මරණයට පත්විය. ඔහුගේ බිරිය ‘නීලී’ නම් තැනැත්තියකි. ඇය නගරය පුරා යමින් මේ යුක්තියද සාධාරණය දැයි අසමින් ගිරි මුදුනකට මට මේ විපත සැදු එකෙක් ඇත්ද උන්ටත් මේ ශාපය වැදේවා යැයි ශාප කරමින් පහළට පැන මිය ගියාය. එදා නීලී කළ ශාපය තමයි මේ ආත්මයේ ඔබට අත්විඳින්නට පලදුන්නේ” යැයි කීවාය.
එපමණක් නොව මදුරාපති දෙවඟන කන්නකියට මෙසේද කීවාය.

“තොපගේ සැමියා අදින් තුදුස් දිනකට පසුව දේවපුත්‍රයන් සමඟ පැමිණ මින්පසු මා මිනිස් වෙසින් නොඑන්නෙමැයි කියා යන්නේය.” එසේ කියා අතුරුදන්වූවාය.

කන්නකියද උමතු වූ කාන්තාවක සේ තම සැමියා සමඟ එක්වන අයුරින් දිවා රාත්‍රි ඇවිද අන්තිමේදී ස්කන්ධ දෙවියාගේ නෙඩුවේල් (තෝවරය) නමැති ගිරි මුදුනට නැඟ වේඩ්ගෛ නමැති රුක් අරණේ සිට තමන් පව්කාරයෙකු යැයි කියමින් සිය සැමියාගේ ගුණ ගායනා කරමින් වැලපුණාය.

එසේ වැලපෙමින් සිටි ඇය කෙරෙහි කරුණාව දැක්වූ සක් දෙවිගේ අණින් පැමිණි දෙව් පිරිසක් විසින් කන්නකිය දෙව් ලොවට කැටුව යනු ලැබුවාය.
පතිනිය (කන්නකිය) ගිනි මවා මදුරා පුරය දහනය කරවූ දින පටන් ප¾ඩි රටට වැසි නොවැටී මහා නියඟයක් ඇතිවී තිබේ. උණ සහ වසූරිය යන රෝග දෙක රටම වෙළාගෙන වැසියෝ මියදෙන්නට වූහ. මේ විපත පත්තිනියගේ ශාපය නිසා බවට කටකතා රට පුරා පැතිර ගියේය. ශාපයෙන් මිදෙන්නට යාගයක් කළ යුතු බවද ඒ හා සමඟම පැතිරිණි.

මහජන මතය ඉතා උත්සන්න විය. කොටකෛ වූ ජයරාජ නුවර පාලකයා සේළියන් නමැති රජු ප¾ඩිරට වැසියන් මියැදෙනු බලා කම්පාවට පත්ව යාගය පැවැත්වීමට කටයුතු කළේය. ප¾ඩිරට සිටි රන්කරුවන් දහසක් දෙනා මරවා යාගය කිරීමෙන් පසු කන්නකියගෙ (පත්තිනියගේ) කෝපය සංසිඳී රටට සෙත උදාවී වැසි ලැබී අටුකොටු පිරුණේලු. ඉන් පසුව කිසියම් කෙනකුට වසංගත රෝගයක් වැලැඳුණු විට පත්තිනි අම්මාට බාරහාර වීමේ සිරිත අද සමාජය දක්වාම ශේෂ වී තිබේ. දේවත්වය පත්කෙරුණු පත්තිනි මෑණිය වෙනුවෙන් අදත් පින්පෙත් දෙනු ලැබේ. ඇය නමින් දේවාල ඉදිකෙරෙන පුද පූජා පැවැත්වේ.

පොත පතෙහි සඳහන් අන්දමට පත්තිනිය වෙනුවෙන් සොළී රටේ පළමුවෙන්ම දෙවොලක් උරෙයියුරු නම් ප්‍රදේශයේ ඉදිකර තිබේ. ශ්‍රී ලංකාවට පත්තිනි ඇදහිල්ල ගෙනෙනු ලැබ ඇත්තේ ගජබා රජු විසින් බව සඳහන්ය. එතුමා ඉන්දියාවේ පත්තිනි දෙවොලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වී ඇති බවද සඳහන්ය.

මේ කෘතිය රචනා කළ ඉලංකෝන් අඩිගලුන්ගේ සොහොයුරකු වන සෙංකට්ටුවාන් රජු පත්තිනිය දැක තිබේ. ඔහු ඒ දර්ශනය ගැන සඳහන් කරන්නේ මෙසේය. “රන් නූපුරයක්ද කැටයම් කළ මෙවුල්දමක්ද (මේකලා දාමයක්) අත්වළලුද පැලඳ රන් අකුස්සක් (අංකුසයක්) අතින් දැරූ විදුලියක් සේ බබළන ලළනාවක් අහසේ පහළවී සිටින්නීය.”

කන්නකිය වෙඩ්ගෛ රුක් සේවණේ සිටින කල කුරවර ලියෝ ඇය දුටුවෝය. විමතියට පත් ඔවුහු එක පියයුරක් ඇති මේ තැනැත්තිය කවුරුදැයි විමසා බැලීමට ඇය සමඟ කතා බහට වැටුණහ. හිසේ වේදනාව පහකිරීමේ අරමුණින් කන්නකිය තම කතාව මේ කුරවර ලියන්ට කීවාය.

එකී දෙවියන්ගේ අනින් දේව දූතයන් කන්නකිය දෙව්ලොවට කැටුව යෑමට ඇගේ සැමියා ගොවාලාන් සමඟ ආවේ ඇය කතාව කුරවර ලියන්ට කියා නිමවූ මොහොතේය. කාන්තාවක (කන්නකිය) දෙව්ලොව යනු දුටු බවට කුරවර ලියන් කණවායල් කෝට්ටෛහි අසපුවේ සිටි ඉලංගෝ පාදයන් තාපසයාට කීවේ ඒ තමන් දුටු කතාවයි.

ඉලංගෝ පාදයන්ට එතැන් සිටි සාන්ත නාරායන සිලප්පදිකාරම් ග්‍රන්ථය රචනා කිරීමට මේ කතාව විස්තර කළේ ඉන්පසුවයි. කන්නකිය සිය සැමියා වෙනුවෙන් පතිදම් රැකීම නිසාත් ඔහු වෙනුවෙන් ගෙනගිය සටන නිසාත් ඕ දේවත්වයට පත් කරනු ලැබ පතිනිය, පත්තිනි, පත්තිනි මෑණි ලෙසින් පුදනු ලැබුවාය.

චන්ද්‍රසේන මාරසිංහ

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි