අද මේ අපේ රට වැටී තිබෙන තැනට පත් කළ 1872 ආණ්ඩුකාරයාගේ කපටි කුමන්ත්‍රණය

සුද්දා ලංකාවට එන කල කසිප්පු හෝ රා වඩියකින් සප්පායම් වූ ලාංකිකයාට අරක්කු ඩ්‍රෑම් එකක් උගුරට හලා උගුරෙ සැරට තොල කට හපා ඉහළට හුස්ම අදින සැටි ඉගැන්නුවේ සුද්දාය.
උලුප්පා ගත් පොල් කෑල්ලක්, බැදගත් ලුණු ඉස්ස මිරිස් කරලක්, ලූනු බිකක්, ලුණු කැටයක්, රා සැර වඩන්නට හැපූ ලාංකිකයාට බැදගත් මස්, මාළු කෑල්ලක් දෙකක් හපන්නට ඉගැන්නුවේ සුද්දාය.

එහෙම කළ සුද්දා රාවලින් අරක්කු පෙරන හැටි ශ්‍රී ලාංකිකයාට කියා දුන්නේය. පොල්ගස්වලින් ගන්නා රාවලට අලුත් නමක් පටබැඳ අරක්කු රේන්ද ව්‍යාපාරය වැඩි ගැනුම් මිලට විකුණා ලාංකිකයාගේ මුදල් සහ ශ්‍රමය සූරා කෑවේය.
අද සිට ‘මව්බිම’ ඉදිරිපත් කරන මෙම ලිපි මාලාව තුළින් කතා කරනුයේ අරක්කු රේන්ද ව්‍යාපාරය තුළ සැඟව සිටි ලොව පිළිගත් දේශීය ව්‍යාපාරිකයන්, සමාජ සේවකයන්, ජාති හිතෛෂී ජාතිමාමකයන්, පිළිබඳ කතා පුවතයි.

මොහාන් රාජ් මඩවල කැතම කැත ඉතිහාසයක් ලියා තිබේ. එතෙකින් නොනැවතී ඒ ඉතිහාසය හාරා අවුස්සා කුණු ගොඩක්ද මතුකරගෙන තිබේ. ඒ මදිවාට සාක්ෂි දෙකකුත් ඉදිරිපත් කරමින් සිටියි. එහි පළමු සාක්ෂිය සපයනුයේ 1872-1877 කාලයේ ලංකාව පාලනය කළ ඉංගී්‍රසි ආණ්ඩුකාර විලියම් ගේ‍රගරියි. ඔහු මෙසේ කියයි.

‘ඉංගී්‍රසි පාලනය ලංකාවට බොහෝ යහපත් දේ දී ඇත. එහෙත් ඒ සමඟම අපි දිවයින පුරා එක් ශාපයක් පතුරුවා ඇත්තෙමු. එනම් බේබදුකමයි. මීට අවුරුදු කීපයකට උඩදී මත්පැන් බී වෙරි වූ උඩරැටියකු වී නම් ඔහු තම රටවැසියන් හමුවේ නින්දාවට පත්වනු ඇත. එහෙත් දැන් මත්පැන් බී වෙරිවීම කෙතරම් බහුලදැයි කිවහොත් ඒ නින්දාව අතුරුදන් වී ඇත.’
මෙම කැතම කැත ඉතිහාසයත්, එහි හාරා ඇවිස්සුණු කුණු ගොඩත් පිළිබඳ වන කතාවත් මොහාන් ‘ආදරණීය වික්ටෝරියා’ නම් කෘතියකින් එළිදක්වා තිබේ.

මොහාන් සිය කෘතියෙන් ශ්‍රී ලංකාව සහ ලාංකේය සමාජය යුගයන් දෙකකට බෙදා හැර දක්වයි. ඉන් එක් යුගයකින් කියනුයේ ඉංගී්‍රසීන් ශ්‍රී ලංකාවට පළමුවරට හඳුන්වා දුන් දුම්රිය සේවය පිළිබඳවයි. මෙහි අතීත සිදුවීම් ගුරුකොට ගනිමින් මොහාන් ගෙනහැර දක්වන විස්තරය කියාපානුයේ දුම්රිය සේවයේ ඇරැඹුමත් සමඟ හෙළිවුණු ලංකා මානව සමාජයේ සැඟව ගිය අභ්‍යන්තරයයි.

එමෙන්ම එම අභ්‍යන්තරය පළාගෙන මතුවුණු අන්දිරිස් නම් මිනිසා සමාජයේ පහළම තැන සිට ඉහළට නඟිමින් කළ සමාජ පෙරළිය පිළිබඳවයි. මොහාන් ‘ආදරණීය වික්ටෝරියා’ කෘතිය අරඹනුයේද එම ප්‍රබල සිද්ධිය මුල්කරගෙනයි.
“ඒ එක්දහස් අටසිය හැටහත අවුරුද්දේ අප්‍රේල් මාසයේ විසිහය වැනිදාය. ආණ්ඩුවේ සුදු මහත්වරුන් කල් තියා ඒ ගැන ප්‍රසිද්ධ කර තිබූ බැවින් ඒ අලුත් ඉර මෝදු වුණු උදෑසන ඒ අලුත් ඉස්ටේසමට දෙවියන්නේවෙල උතුරන්න මහ සෙනඟ රොද බැඳ සිටි අයුරු ඔහුට මතකය.

මුලින්ම ඇසුණේ කිසි කලෙක කිසිවකු අසා නුපුරුදු ඒ ගොරබිරම් හඬය. හන්තාන කඳු පන්තියත්, බහිරව කන්දත් ඒ හ¾ඩින් දෙදරවා දෝංකාර දුන්නේය. ඊළඟට ඇදහිය නොහැකි දුමාරයක් අවට පැතිරුණේය. අන්තිමට ඒ අසාමාන්‍ය සත්ත්වයා හොස් හොස් ගාමින් ඉදිරියට ආවේ ඒ සුදු දුමාරය කිසි අනුකම්පාවක් නැතිව දෙබෑ කරගෙනය.

දුමාරය අෑත් මෑත් කරමින් අමුතු සත්ත්වයාගේ මුහුණ යන්තම් පෙනෙන්නට ගත් සැණින් මහ සෙනඟ කලබල වූහ. අයෙක් ඇඟිලි තුඩුවලින් ඉස්සෙමින්, අයෙක් හොඳට පේන උස් මුදුන් කරා ඇදෙමින්, තවත් අයෙක් තවකෙකුගේ ඇඟට බරවෙමින් නැතිනම් තවකෙකුට මුවාවී තම ප්‍රාණ භය හංගා ගනිමින් හා හා පුරා දකින මේ අසාමාන්‍ය සත්ත්වයා දැකගන්නට යුහුසුලු වූහ.

අන්තිමට පාවාඩ මෙන් ඇතිරූ දාර දිගේ ආඩම්බරයෙන් ඉදිරියට ඇවිත් ඉස්ටේසම හෙවණ යට මහා බර වැඩක් අහවර කෙරුවා වාගේ ඇන්ජිම නතර වෙන තෙක්ම ඔවුන් සිටියේ ඇසිපිය නොහෙළාය. එසේම ඔවුන් ඉහළට ගත් හුස්ම පහළට අත හැරියේ මුළු වටපිටාවම දෙවනත් කරමින් ඒ අසාමාන්‍ය සත්ත්වයාද හොස් ගා ලොකු හුස්මක් පිටකර නිහඬ වූ මොහොතේය.

සුදු ඇඳගත් ආණ්ඩුවේ සුදු මහත්වරු කීප දෙනෙක් ආවරණය කළ මැදිරි කිහිපයකින් එළියට බටහ. එහෙත් එහි තිබුණේ ආවරණය කළ මැදිරිවලට වඩා ආවරණය නොකළ එකක් පසුපස එකක් අෑ¼දා තිබූ විවෘත ගැල්ය. ඒවායේ සිල්පර කොටන්ද, යකඩ කඳන්ද, තවත් නම නොදන්නා අඩුම කුඩුම රාශියක්ද පටවා තිබිණි.

මේ අසාමාන්‍ය යකඩ අස්සයාගේ නැඟී කොළඹ යන්නට අන්දිරිස් එක හිතින් හිතාගත්තේ ඒ යකඩ අස්සයා හා හා පුරා කියා මහනුවරට සම්ප්‍රාප්ත වූ ඒ මුල්ම දවසේය.
අන්දිරිස් කොළඹට එන්නේ අහම්බෙන් මුණ ගැසුණු පුද්ගලයකු සමඟයි. ඒ සාමෙල්ය. සාමෙල්ගේ රස්සාව කුමක්දැයි අන්දිරිස් ඇසූ විට ඊට සාමෙල් උත්තර දෙන්නේ මේ ආකාරයටය.

දැන් මං රස්සාවට කරන්නේ අරක්කු පීප්ප හදලා රේන්දරාලලාට විකුණන එක.
එය ඔහු කීවේ ආඩම්බරයෙනි. ඔහුගේ අදහසේ හැටියට ඇඳ, පුටු, මේසවලට වඩා අද ඉල්ලුම ඇත්තේ මේ අරක්කු පීප්පවලටය. කොපමණ හැදුවත් මේවා විකුණා ගන්නා එක අමාරු කාරියක් නොවේ. එහෙත් ප්‍රශ්නෙකට ඇත්තේ අරක්කු පෙරන්නන් හා රේන්දරාලලා හැමෝම ඒවා ඉල්ලන්නේ කුණුකොල්ලයට වීමය.

උං හිතන්නේ ලී රීප්ප දෙක තුනක් එකට පූට්ටු කරලා ගත්තාම පීප්පයක් හැදෙනවා කියලා.”

ආදරණීය වික්ටෝරියාහි දෙවැනි යුගයේ ඇරැඹුම ඇරැඹෙනුයේ මෙතැන් සිටය. කාත් කවුරුවත් නැත්තකුසේ හිතුවක්කාර තනි තීරණයකින් ගෙදරින් පිටමංවන අන්දිරිස්ට සාමෙල් කියන මෙම වචන සමූහය තුළ මහා විශාල කතාවක් සැඟව තිබෙතැයි සාමෙල්වත් අන්දිරිස්වත් නොසිතන්නට ඇත.

“කැමැතිනං මගේ ගෙදර ගිහින් දවස් තුන හතරක් නැවතිලා ඉඳලා කොළඹ යන්න.
එයට පිළිතුරක් අන්දිරිස්ගෙන් නොනැඟුණු කල සාමෙල් ටික වේලාවකට පසු අන්දිරිස්ගේ මුහුණ දෙස බැලුවේය. අන්දිරිස් සාමෙල් දෙස ඹබලා යාන්තමින් සිනාසුණා මිස කිසිවක්ම කීවේ නැත. එහෙත් ඒ බැල්ම හා සිනාව තුළ සාමෙල්ගේ ප්‍රශ්නයට පිළිතුරු තිබුණේය. ඒ නිසා ඔහු කිසිවක්ම නොකියා හෙන්ද්‍රික්ට සහ ජුවානිස්ට පානදුර දෙසට යන්නට විධාන කළේය.

තරමක ලොකු පොල්වත්තක් මැද පිහිටා තිබුණ පානදුර සාමෙල්ගේ ගෙදරට ඔවුන් එන විට හොඳටම හවස් වී තිබිණි. එදා සිට අන්දිරිස් සාමෙල් ළඟ නැවතිණි.
ඊට පසුදා දහවල් වරුවේ සිට අන්දිරිස් සාමෙල්ට අත් උදවු දෙන්නට පටන් ගත්තේය. කිසිදාක කියතක්, නියනක්, බුරුමයක්, අතකොළුවක් අල්ලා නැති ඔහු ජීවිතේ ප්‍රථමවතාවට ඒවා අතට හුරුකරගන්න පුරුදු වුණා පමණක් නොව සාමෙල් ඒවායින් වැඩ ගන්නා හැටිද ඇස් දල්වා බලා සිටියේය.

දවසින් දවස අන්දිරිස් ඉතා ශූර ලෙස වඩු මඩුවේ වැඩ ඉගෙන ගනිමින් සිටියේය. අරක්කු පීප්ප සෑදීමේදී අන්දිරිස් දැක්වූ දස්කම සාමෙල්ගේ සිතට තදින් කා වැදී තිබිණි. වැඩිකල් නොගොස්ම පානදුර ප්‍රදේශයේ අරක්කු පීප්ප සෑදීමේ මූලිකයා බවට පත්වීමට සාමෙල්ට හැකියාව ලැබිණි. එක් දිනක නින්දට ගියද නොනිදා සිටි අන්දිරිස් සහ බර කල්පනාවක සිටි සාමෙල් අතර මෙසේ කතාබහක් ඇති විය.

මෙතැන පොල් අක්කර කීයක් විතර තියෙනවාද?
මයේ හිතේ ඔක්කොම අක්කර හතක්.
කාසිත් අතේ තියෙන එකේ තව අක්කර දහයක විතර පොල් ඉඩමක් අරගෙන දාන්න.
ඇත්තටම උඹ ඔය කියන කතාවෙ අග මුල මට තේරෙන්නේ නෑ.

තව පොල් අක්කර කීපයක් ගත්තොත් මිනිස්සු කීප දෙනෙක් දම්මලා අපිට අරක්කු පෙරන්න පටන් ගන්න පුළුවන්. එතකොට මෙතැන හදන අරක්කු පීප්පවලට මෙතැනින්ම අරක්කු පුරවලා අපේම කරත්තවලින් රේන්දරාලලාගේ තැබෑරුම්වලට යැව්ව හැකි.
අරක්කු පෙරන්ඩ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේගෙ අවසරය තියෙන ලියුං කඩදහියක් ඕන.

මං කතා කළා ඒ ගැන. දාංගි සිඤ්‍ෙඤාත් එක්ක. අබරංචි රේන්දරාලට ඒජන්ත උන්නාන්සෙගෙන් ලියුං කඩදාසියක් අනුමත කරගන්න එක මහ දෙයක් නෙවෙයි. අනෙක රේන්දරාලත් කැමැති වෙයි එකම තැනකින් ඔක්කොම කාරණා ටික එක විඩේ සිද්ධ වෙනවට.

අරක්කු පෙරීමට ඇවැසි සියලු කළමනා ලක ලෑස්ති කෙරුණේ අසාමාන්‍ය වේගයෙනි. සාමෙල් සියලු වැඩකටයුතු සම්බන්ධ වගකීම් අන්දිරිස්ට පැවැරුවේය. නාරම්පිටිය, මාදුපිටිය, කිරිවේරිය, එළුවිල, නල්ලුරුව වැනි ගම් පළාත්වලට ගොස් අතුරේ යන රා මදින්නන් සොයා ගැනීම මූලික රාජකාරිය විය.

ඊළඟට පොල්ගස්වලට නැඟීමට පහසුවන ලෙස වියත් දෙකෙන් දෙකට වාගේ හැර බැඳීම කළ යුතු විය. අනතුරුව පොල් ගස යා කරන අතුරේ යන මං බැඳීම කළ යුතු විය.
ඊළඟට පොල් මලේ නෙත්තිය කපන්නට සේම මලේ කැපුම් කරන්නටද වුවමනා කරන වක් හැඩැති කෙටි මිටක් සහිත කොකු මන්නයත්, තියුණු මුවහත් අත් මන්නයත් තැනිය යුතු විය.

පොල් මලෙන් කඳුළු උනන්නට මඟ පාදන කෙටු මිදීම සිදුකරන මල් තැළුම් සෑදීම ඊළඟට වැදගත් කාරිය විය. රවුම් හැඩැති කෙටි මිටකින් හා ඊට තරමක් මහත තැළුම් දෙන කොටසකින් යුත් මල් තැළුම සියඹලා අරටුවෙන් තනනු ලබන සරල ලී ආයුධයක් වූ නමුත් රා මදින්නකුට එය පවුම් කප්පරකටත් වඩා වටින්නකි.

ඊට අමතරව තවත් කාරියක් කළ යුතුව තිබිණි. එනම් රා මදින්නා ගහෙන් ගහට අතුරේ යන විට රැගෙන යන කොකු මන්නයත්, අත් මන්නයත්, මල් තැළුමත් අසුරනු ලබන කවුළු කිහිපයකින් යුත් මදින පෙට්ටියත් තැනීමය. ගහේ සිට බිමට බෑම සඳහා වුවමනා කරන ලබුකැටද අවශ්‍ය විය.

ගස්වලින් එකතු කරන රා ගබඩා කරන අඩි අටදහය උස පීප්ප තැනීම, පොල් රා උණු කරන යෝධ කල්දේරම්, එසේ උණු කරන විට වාෂ්ප පිටකරන තඹ බට සහ දඟර බට, ඒ වාෂ්ප සිසිල් කරන දිය බාල්දි මෙන්ම එසේ සිහිල් කළ පසු ලබා ගන්නා අරක්කු ස්පී්‍රතු එකතු කරන තඹ හැළිද ඇණවුම් කෙරිණි.

කල්දේරමක පැහෙන රාවලින් පදමට අරක්කු පෙරා ගන්නවා කියන්නේ ගින්දර සැරට මුට්ටියක කිරි ඉතිරෙනවා වගේ වැඩක්. කුඹුරක මුල් අස්වැන්න දෙයියන්නට පූජා කරනවා වගේ මේ කාරියේත් මුල් අරක්කු ඩිංගිත්ත පූජා කරන්නඩ ඕනෑ කම්බිලි දෙයියන්ට.
අබරංචි රේන්ද රාලලාගේ නියමය පරිදි ඊට පහුවදාම සාමෙල්ගේ අරක්කු ගුදමේ උණු උණුවේ පෙරන ලද අලුත් අරක්කු නුවරට රැගෙන යා යුතුය. සාමෙල් ඒ සඳහා කරත්ත පහක් සූදානම් කර තිබිණි.

මේ ව්‍යාපාරය දියුණු වෙන්ඩ කියලා දළදා හාමුදුරුවන්ට බාරවෙලා, නාථ දේවාලෙ පඬුරක් ගැට ගහන්ඩ ඕනෑ.
අන්දිරිස්ගේ උදව්වෙන් සාමෙල් අරක්කු රේන්ද ව්‍යාපාරය ජයටම කරගෙන යන අතරේ අරක්කු බීම නිසා ඇති වූ රෝගී තත්ත්වයක් මත සාමෙල් මිය ගියේය. ඉන්පසු සාමෙල්ගේ සහායට සිටි අන්දිරිස්ගේ කරමත සාමෙල්ගේ අරක්කු ව්‍යාපාරය වැටී තිබිණි.

සාමෙල්ගේ මරණය වඩු මඩුවේත්, අරක්කු ගුදමේත් දෛනික කාර්ය භාරයට ලොකු බලපෑමක් කළේ නැත. සාමෙල් ජීවතුන් අතර සිටිද්දී පවා ඒවායේ බොහෝ තීන්දු තීරණ ගත්තේත්, ඒවායේ මුදල් ගනුදෙනු සිද්ධ වුණේත් අන්දිරිස්ගේ අනුදැනුම මත වන බැවින් ඒවායේ දෛනික කටයුතු පරණ පුරුදු විදියටම සිද්ධ වෙමින් තිබිණි.”
මොහාන් රාජ් මඩවලයන් අරක්කු රේන්ද සහ දුම්රිය සේවය ඇතුළත් සිය කෘතිය වූ ආදරණීය වික්ටෝරියාහි මෙම කතාව එලෙස දිගහරිමින් සිටියි.

මෙම කතාව සඳහා මොහාන් විසින් පාදක කරගනු ලබන චරිත අතීතයේ ජීවත් වූ සැබෑ පුද්ගලයන්ය. එම චරිත හා චරිත ජීවත් වූ ප්‍රදේශත්, ඔවුන්ට අදාළ නිවෙසනුත් මෙම කතාව තුළදී ඉතා වැදගත් කරුණු රැසකට ප්‍රබල සාක්ෂි සපයමින් සිටියි. අතීත රේන්ද රාලලාගේ පරපුරෙන් පැවැත ආ පරපුරේ වර්තමාන පුරුක් අදද පානදුර, මොරටුව ප්‍රදේශවල ජීවත්ව සිටිති. අද ඔවුහු අරක්කු රේන්ද ව්‍යාපාරයෙන් අෑත්ව සිටියද, වෙනත් ව්‍යාපාරික කටයුතුවල පූර්ණව යෙදී සිටිති.

අතීත සාක්ෂි, ස්ථාන සොයා ගිය ගමනේදී සාමෙල්ගේ සහ අන්දිරිස්ගේ අරක්කු රේන්ද ව්‍යාපාරයේ යෙදුණ රා මදින්නන් හා සමාන චරිත බොහොමයක් මුණගැසිණි. ඒ අතරින් මුණගැසුණු එක් සුවිශේෂ රා මදින්නකු ගැන කතා කිරීම වඩා වටිනා බව මව්බිමට ඒත්තු ගියේය. මෙම රා මදින්නා නමින් දේවරාජගුරුගේ කරුණාසිරි සොයිසා විය.

කරුණාසිරි කියන විදියට ඔහු කරනුයේ දෙවරුවේ රස්සාවය. දවසකට පොල් ගස් හැත්තෑවකට නඟින ඔහු රා මැදීම ගැන නිතර කියන එක් කතාවක් තිබේ. එය හරි අපූරු කතාවකි. ඒ කතාව මෙයයි.
රා බීල වෙරිවෙනවට වඩා රා මදින්න පොල්ගස් නැඟලා වෙරි වෙනවා. කරුණාසිරි කිවයුතු කතා ගොඩාක් කියනුයේ සාරාංශ කිරීමෙනි. ඒ ගැන කරුණාසිරි කියන්නේ මෙසේය.

ගස් නඟින අපේ රස්සාවත් සාරාංශයක් නම් අරක්කු රේන්ද ව්‍යාපාරයත් සාරාංශයක්ම තමයි.
කවුරු කොහොම විමසුවත් කරුණාසිරි ඉන් එහාට කට හොල්ලන්නේ නැත.
කරුණාසිරි නොපෙනෙන, නොදකින අතීතය වර්තමානයේ පෙන්වා දෙන පුරුකක් වැනිය. කරුණාසිරි රා මැදිල්ලට කියන්නේ තමන් පිළිබිඹු කරනුයේ අතීත රා මැදීම් ඉරියව් සහ ක්‍රමය බවයි.

ඉන් එහාට ඒ ගැන පැහැදිලි කිරීමට කරුණාසිරිට හැකියාවක් නැත. මෙය කරුණාසිරිට පමණක් විශේෂ වූවක් නොවේ. සියලු රා මදින්නන් පොදුවේ පෙන්වන
ලක්ෂණයකි.
ලබන සතියේ අරක්කු රේන්ද සමඟ පානදුරා වාදයේ සහ කොස්මාමාගේ සම්බන්ධතාව පිළිබද කියවන්න.

අරුණඩේල් විජේරත්න

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි