වාසනාව ළංකරගන්න කැමැති ඔබ කියවිය යුතුම කතාවක්

අද ඔබේ නගරයේ වාසනාවන්තම මිනිසා හෙට දිනයේ රටේම අවාසනාවන්තම පුද්ගලයා වෙන්න පුළුවන්. සමහර විට ඔබට මෙම ලිපිය ලියන මමද, ලිපිය කියවන ඔබද, හිතාගන්න බැරි වාසනාවකට මෙන්ම අවාසනාවකට හෙට දිනයේ මුහුණ දෙන්න පුළුවන්. කෙසේ වෙතත් අපි ප්‍රාර්ථනා කරමු කාටත් අවාසනාවක් නොවී වාසනාවක්ම වේවා කියලා. ඒත් එහෙම වාසනාව කියලා දෙයක් තියෙනවාද? ඒක හැමදාම එක ලෙස පවතිනවාද? ඇත්තටම එය දැවැන්ත ප්‍රශ්නයක්. අපි ඒ දැවැන්ත ප්‍රශ්නයට සරල පිළිතුරක් සොයමු.

අපි අහලා තියෙන විදියට ගෞතම බුදුරජාණන් වහන්සේ වාසනාව හෝ අවාසනාව විශ්වාස කළ ආගමික නායකයෙක් නොවේ. උන්වහන්සේ එසේ කර ඇත්නම් කරුණාකර අපිව දැනුවත් කරන්න. එම නිසාම තමයි උන්වහන්සේ ලාභ – අලාභ, නින්දා – ප්‍රශංසා, යස – අයස, දුක – සැප යන අටලෝ දහමින් කම්පා නොවන්න කියලා දේශනා කළේ. මන්දයත් අද දින අවාසනාව හෙට දිනයේ වාසනාවක් වෙනවා.

එසේම හෙට දිනයේ වාසනාව ඊට පසු දිනයේ අවාසනාව වෙනවා. ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා, චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය වගේ නායක නායිකාවන් ගැන නිකමට ටිකක් හිතන්න. ඔවුන් ජනාධිපති පදවියට පත්වුණාම කී දෙනෙක් ඔවුන් කොතරම් වාසනාවන්තද කියලා පවසන්න ඇද්ද? නමුත් ඔවුන් දෙදෙනාම අවාසනාවන්ත බෝම්බ පිපිරීමකට මුහුණ දුන්නා. එවිට බොහෝ දෙනෙක් කිව්වේ ඔවුන් දෙදෙනා ඉතා අවාසනාවන්තයි කියලා. ඉතින් වාසනාව අවාසනාව ඔහොම තමයි.

ඔබ ජීවිතයේ වාසනාව විශ්වාස කරනවා නම්, එම කාසියේ අනෙක් පැත්තේ තියෙන්නේ අවාසනාව බව මතක තියාගන්න. අන්න ඒක නිසා ඔය දෙකම විශ්වාස නොකර අටලෝ දහම ආගම්, ජාති භේදයකින් තොරව ජීවන දර්ශනයක් ලෙස විශ්වාස කරන්න.

නමුත් යම් කෙනෙක්ට වාසනාව වගේම අවාසනාව සමබර ආකාරයට පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක ඔහුගේ දියුණුව වැඩි කිරීමටත්, ඔහුගේ හෝ ඇයගේ සතුට වැඩි කිරීමටත් බලපාන ප්‍රධාන හේතුවක් වෙනවා. මම වාසනාව සහ අවාසනාව ගැන පොඩි කතාවක් කියන්නම්. සමහරවිට ඔබ මෙය අහලත් ඇති.

දවසක් එක් පුද්ගලයකුගේ ගෙදර සිටිය අශ්වයා රාත්‍රියේදී ඉස්තාලයෙන් පැනලා ගිහින් තිබුණා. මේක දැනගත්ත අසල්වැසියා ඉක්මනින්ම අර පුද්ගලයාගේ ගෙදරට ආවා.
‘බලන්නකෝ වෙච්ච දෙයක් මහා අවාසනාවක් නේද?’ අසල්වැසියා ඉතා දුක්බර ලීලාවෙන් කිව්වා.

‘වෙන්න ඇති’ අසල්වැසියා කිව්ව මහා අවාසනාව ගැන හිතන්නේ නැතිව ඔහු සුපුරුදු පරිදි දෛනිකව වැඩ කරගෙන ගියා.
පසුදින අර අසල්වැසියාත් අපේ කතාවේ කතා නායකයාත් පුදුම කරමින් පැනගිය අශ්වයා තවත් අශ්වයන් තුන් දෙනෙක් සමඟ නැවැත නිවෙසට ඇවිත් තිබුණා. එදින ‘ඔයා නම් මාර වාසනාවන්තයි බලන්නකෝ දැන් අශ්වයෝ හතර දෙනයි’ අසල්වැසියා සිනාවෙලා කිව්වා.

‘වෙන්න ඇති’ අසල්වැසියා පැවැසූ මාර වාසනාව ගැන නොසිතා ඔහු නැවැත සුපුරුදු පරිදි වැඩ කරගෙන ගියා.

ඊට දින කිහිපයකට පසු අර පුද්ගලයාගේ පුතා අලුත් අශ්වයෙක් පිට නඟින්න ගිහින් බිමට ඇද වැටිලා කකුල කැඩුණා. ඉතින් නිවෙසේ ප්‍රතිකාර ලබන පුත්‍රයා බලන්න අසල්වැසියා ආවා.

‘බලන්නකො මේක මහා අවාසනාවක්. අලුත් අශ්වයෝ ආවේ නැත්නම් පුතා වැටෙන්නේ නැහැනෙ’ අසල්වැසියා කිව්වා.
‘වෙන්න ඇති’ අසල්වැසියා කීව මහා අවාසනාව ගැන නොසිතා ඔහු සුපුරුදු පරිදි වැඩ කරගෙන ගියා. ඒ වගේම පුතාට අලුත් අශ්වයන් හීලෑ කර ගැනීම ගැන අවවාද ටිකක් දුන්නා.’

ඔන්න ඔය කාලයේ ඒ රටේ යුද්ධය දැඩිව පැවැතුණා. එම නිසා ගම්වල ඉන්න තරුණ ගැටව් යුද්දෙට බඳවා ගන්න රජය තීරණය කළා. ඔන්න ඉතින් හමුදාව අර අපි කතා කරන ගමටත් ආවා. එම ගමේ ඉන්න සියලුම තරුණ පිරිමි ළමයි යුද බිමට ගෙනියන්න රැස් කළා. අපේ කතාවේ අසල්වැසියාගේ පුතත් යුද්දෙට ගෙනියන්න බඳවා ගත්තා.

නමුත් අර කකුල කැඩුණු ගැටයා නම් යාන්තමින් බේරුණා. ඔහු පමණක් ගමේ ඉතිරි කර අනෙක් සියලුම දෙනා යුද්ධයට ගෙන ගියා.
අසල්වැසියා මේ ගැන කතා කරන්න අර නිවෙසට දවසක් ආවා. ‘ඔයා නම් වාසනාවන්තයි. ඔයාගේ පුතා යුද්ධයට අරං ගියේ නැහැනෙ’ අසල්වැසියා කිව්වා.
‘වෙන්න ඇති’ අසල්වැසියා කීව වාසනාව ගැන වැඩිපුර නොසිතා අර පුද්ගලයා පිළිතුරු දුන්නා.

ජීවිතය කියන්නේ සිදුවීම් දහස් ගණනක එකතුවක්. කිසියම් සිදුවීමක් වාසනාවක් හෝ අවාසනාවක් වෙන්නේ ඔබ එම සිදුවීම තේරුම් ගන්නා සහ නිර්වචනය කර ගන්න ආකාරය අනුවයි. ගෞතම බුදුරජාණන් වහන්සේ එම සිදුවීම් කොටස් අටකට වර්ග කරලා පැහැදිලි කළේ තේරුම් ගැනීමේ පහසුවටයි.

ලෝකයට යමක් කළ විශිෂ්ට නායකයන්, ව්‍යාපාරිකයන්, කළමනාකරුවන්, දේශපාලනඥයන් හැමදාම වාසනාවන්ත වුණු අය නෙවෙයි. ඔවුන් සියල්ලෝම වාසනාව සහ අවාසනාව අතර දෝලනය වෙමින් ජීවිත අරමුණු සාර්ථක කර ගත් අයයි. ඇමෙරිකාවේ සදාතනික නායකත්වයේ ප්‍රතිමූර්තිය ඒබ්‍රහම් ලින්කන් තරම් අවාසනාවන්ත සිද්ධිවලට දිගින් දිගටම මුහුණ දුන්න තවත් නායකයෙක් නැති තරම්.

අන්ත දුගී පැල්පතක ඉපදීම, මව අකාලයේ මියයෑම, පියා මියයෑම, ආදරණීය පෙම්වතිය අකාලයේ මියයෑම, දරුවන් අකාලයේ මියයෑම, මැතිවරණ පරාජයන්, වධක බිරියක් මුණගැසීම, ඇයගේ ඇනුම් බැනුම් ආදී දැවැන්ත අවාසනාවන්ත සිදුවීම් සමඟ වහලකුව සිට ජනාධිපතිවරයා බවට පත්වීම දක්වා වූ දැවැන්ත අවාසනාවන්ත සිදුවීම්වලින් ඔහුගේ ජීවිතය පිරී තිබුණා. ලින්කන්ගේ දිවිය අටලෝ දහම අනුව දෝලනය වුණු ජීවිතයක්.

මතක තියාගන්න අවාසනාවේදී අධෛර්යවත් වීම මත ඔබ පරාජය වෙන්න පුළුවන්. එසේම වාසනාවේදී උදම් වීම මත නුවණේ නෙත අන්ධ වී ඔබ පරාජය වෙන්නත් පුළුවන්. එම නිසා වාසනාව පෑදෙන තුරු නොසිට කැපවීමෙන් වැඩ කරන්න. එවිට ඔබේ අරමුණු ඉටු වෙයි. එදාට අනෙක් අය කියයි ඔබට හරිගියා, ඔබ වාසනාවන්තයි කියලා. නමුත් ඔබ දැනගනියි ‘මට හරිගියේ නැහැ මම හරියන විදියට වැඩ කළා’ කියලා.

වාසනාව සෑමවිටම ළඟා වුණේ හරියන විදියට වැඩ කළ මිනිස්සු පසුපස මිසක, හරියන තුරු බලා සිටින මිනිස්සු පසුපස නොවෙයි.
එහෙනම් හරියන විදියට වැඩ කරන්න පටන් ගන්න. ඇස් ඇරගෙන සිහින දකින්න. හරියන විදියට කරපු වැඩකින් ලැබෙන සතුට සහ ජීවන තෘප්තිය ලොතරැයි දිනුමකින් ලබා ගන්න බැහැ.

කැලුම් වැලිගම

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි