ලංකාව් අපේ ගුවන් සේවයේ විකාශය රසවත් කතා – ‌1 වන කොටස

ශ්‍රී ලංකා ගුවන් සේවා පාසලෙන් ගුවන් නියමුවකු ලෙස ප්‍රථම වරට වර්ණ පළඳින්නේ ඔහුය. එමෙන්ම ඔහු 1950 වර්ෂයේදී ලංකාවේ සය වැනි ගුවන් නියමුවා ලෙස ලාංකීය ගුවන් සේවයට එක්‌ වන්නේය. ජීවිතයෙන් අඩකටත් වැඩි කාලයක්‌ ගුවනේ කරණම් ගැසූ ඔහු දැන් වයසින් වියපත්ය. එනම් අවුරුදු අසූ පහකි. මෙරට පැරැණිතම ගුවන් නියමුවන් අතරින් අදටත් ජීවතුන් අතර සිටින එකම ගුවන් නියමුවා ද ඔහු පමණි. මේ වියපත් නොවන රාජඅලියා කැප්ටන් ෂෙල්ටන් ගුණවර්ධනය. පහතින් පෙළ ගැසෙන්නේ ඔහුගේ ජීවිතයේ අමතක නොවන සොඳුරු මතකයන්ය…..

මෙතෙක්‌ කතාව….

කොළඹ එයාර් ක්‌ලබ් එක දෙදරා ගියේය. සිංහලුන් සහ සුද්දො දෙපැත්තකට වූහ. එහෙත් පසු නොබැසූ සුද්දො දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ෆ්ලයින් ක්‌ලබ් එක ආරම්භ කළහ. ප්‍රථම වතාවට කාන්තාවන් ගුවන් සේවයට සම්බන්ධවන්නේ ද ෆ්ලයින් ක්‌ලබ් එකෙනි.

1947 වර්ෂයේදී සර් ජෝන් කොතලාවල ශ්‍රී ලංකා ගුවන් සේවය ආරම්භ කළේය. එමෙන්ම ගුවන් සේවයේ පිපිදීමත් සමග ෆ්ලයින් ක්‌ලබ් එක තරුණ තරුණියන්ට ඒ-1 ලයිසන් එක ලබාගැනීමට ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩපිළිවෙළක්‌ ආරම්භ කළේය. පාසල් ගමනට ආයුබෝවන් කියා බැංකු සේවයට සම්බන්ධ වී සිටි ෂෙල්ටන් ගුණවර්ධන ද ෆ්ලයින් ක්‌ලබ් එකේ ශිෂ්‍යත්වලාභියෙක්‌ විය.

රත්මලාන ගුවන් තොටුපළේ ප්‍රධාන පාලකයා ලෙස ඩේවිඩ් පීරිස්‌ පත් වී ඒමත් සමඟ මෙරට ගුවන් සේවය දියුණු කිරීමට හෙතෙම විශාල වැඩ කොටසක්‌ කළේය. රත්මලාන ගුවන් පථයේ මෝටර් රථ ධාවන තරග ආරම්භ වන්නේ ද එහි ප්‍රතිඵලයක්‌ ලෙසය.

එතැන් සිට….

රත්මලාන ගුවන් පථයේ තිබුණු කාර් රේස්‌ එකේදී පුතේ… ෆ්ලයින් ක්‌ලබ් එකෙ කෙල්ලෝ තුන් දෙනත් රේස්‌ එකට තරග කළා. කෙල්ලො තුන් දෙනත් පිරිමින්ගේ කරට කර තරග කළා. මට මතක විදිහට ඒ කාර් රේස්‌ එකෙදී පළමු තැනට ආවේ එංගලන්ත ජාතිකයෙක්‌.

කාර් රේස්‌ විතරක්‌ නෙමෙයි ගුවන් සංදර්ශනත් කිහිපයක්‌ම ඒ සන්දියේ එක දිගම තිබුණා. එයාර් සිලෝන් එක දියුණු කරන්න ඩේවිඩ් පීරිස්‌ ඔය වගෙ නොයෙක්‌ නොයෙක්‌ දේවල් කළා.

ඔන්න ඔය අතරතුර කාලේ තමයි පුතේ… ඩබල් ඩී. එස්‌. එකක්‌ දිනපු රෝහාන් අමරසේකර එංගලන්තෙ ඉඳල ලංකාවට එන්නෙ. ඩබල් ඩී එස්‌. එකක්‌ කියන්නේ පුතේ, එංගලන්ත ගුවන් සේවය විසින් ලබා දෙන ඉහළම සම්මානය. රෝහාන් අමරසේකරට ඒ සම්මානය ලැබුණෙ පළමු ලෝක යුද්ධයෙදි නැවිගේෂන් කෙනෙක්‌ විදිහට විශාල සේවයක්‌ කරපු නිසයි.

රෝහාන් දක්‍ෂයා. දක්‍ෂයන්ගෙන් හොඳට වැඩ ගත්ත කෙනෙක්‌ තමයි සර් ජෝන් කොතලාවල. රොහාන්ව මෙරට ගුවන් සේවයට සම්බන්ධ කර ගන්න ඕනැ නිසාම ඩේවිඩ් පීරිස්‌ව සිවිල් නෙවිගේෂන් එකෙ (මහජන ආස්‌යාන්තරා සමාගමේ) නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විදිහට තනතුර උසස්‌ කරලා රෝහාන් අමරසේකරව ගුවන් තොටුපළ පාලකයා විදිහට පත් කළා. එතකොට සිවිල් නෙවිගේෂන් එකෙ අධ්‍යක්‍ෂව හිටියේ චන්ද්‍රසෝම. මිනිහත් වැඩ කරන්න හරිම දක්‍ෂයා. නෙවිගේෂන් එකෙ ඉංජිනේරින් අංශය භාරව වැඩ කළේ ඉන්දියන් ජාතික රොනි ගොඩ්වින්. ලයිසන් අංශය, අරවයි මේවයි සේරම කරන්න මොරිස්‌ ගෑන්ඩ්ස්‌ව පත් කරලා තිබුණා.

ඔහොම යන කොට පුතේ… සර් ජෝන් කොතලාවල එයාර් ඇකඩමිය හදලා ඒකෙත් කමඩාන් විදිහට රොහාන් අමරසේකරව පත් කළා. රෝහාන් තමයි එයාර් ඇකඩමිය දියුණු කරලා ගත්තේ. හරි ක්‍රියාශීලී මනුෂ්‍යයා. මිනිහත් එක්‌ක ලේසියෙන් වැඩ කරන්නත් බැහැ. ඒ වගේම රෝහාන් අමරසේකර තමයි පුතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කමඩාන් විදිහට පත් වුණු පළමු ශ්‍රී ලාංකිකයා.

ඔය කාලේ වෙනකොට පුතේ… මම ෆ්ලයින් ක්‌ලබ් එකේ පුහුණු වෙනවා. ඊට පස්‌සෙ මමත් එයාර් ඇකඩමියට සම්බන්ධ වුණා. එයාර් ක්‌ලබ්වල ෆ්ලයි කරපු ගොඩක්‌ දෙනෙක්‌ කොමර්ෂල් ෆ්යිලට්‌ ලයිසන් එක ගන්න ඇකඩමියට සම්බන්ධ වෙලා ඉගෙනගත්තා.

අද කාලෙ තරුණයෝ වගෙ නෙමෙයි අපි ඒ සන්දියේ හරි ජොලි කළා. අපි ෆ්ලයි කරනකොට මුහුදු වැල්ලෙ ලස්‌සන කෙල්ලෙක්‌ දැක්‌කොත් එහෙම කෙළින්ම ෆ්ලයිට්‌ එක වැල්ලට බස්‌සනවා. ෆ්ලයිට්‌ එක වැල්ලට බස්‌සලා බැහැල එනකොට කෙල්ලො අපිත් එක්‌ක පැනලා කතා කරන්නෙ. ඉතිං ඔහේ ටිකක්‌ වල්පල් දොඩ දොඩ ඉඳලා නැවත ෆ්ලයි කරනවා.

ටයිගර්මොත් ෆ්ලයිට්‌ එකයි පින්සන් සෙන්ටිනල් ෆ්ලයිට්‌ එකෙන් තමයි අපි පුහුණු වුණෙ. ඒ ෆ්ලයිට්‌ දෙක පොඩි තණපිස්‌සක වුණත් බස්‌සන්න පුළුවන්. පහතින් යන්නත් පුළුවන්. ඉතිං පුතේ… ඒ සන්දියේ අපිට හිතුණු හිතුණු තැන්වල ෆ්ලයිට්‌ එක බස්‌සනවා. වාද්දුවේ ගෝනදූවේ තමයි අපේ තාත්තාගේ මහ ගෙවල් තිබුණෙ. මම දවල්ට කෑම කන්න යන්නෙ සීයලාගෙ ගෙදර. ගෝනදූවේ ඉපිළිස්‌ස පාරට ෆ්ලයිට්‌ එක බස්‌සලා මම මහ ගෙදරට ගිහින් බත් කලා පුංචි විවේකයකුත් එකකුත් අරගෙන තමයි ආයිත් ෆ්ලයි කරන්නෙ. ඒ සන්දියේ අපි මොන දේ ඉගෙනගත්තත් හරිම විනෝදෙන් තමයි හිටියේ. දැන් එහෙම ජොලි දාන්න පුතාලට කාලයක්‌ නැහැ නේද? මුළු ලෝකයම එකම තරගයකට දුවනවා. ඒ තරගයේ පුතාලත් තරගකරුවෝ.

එදා අපි මොන ජොලි දාගෙන ඉගෙන ගත්තත් විභාගයෙන් අංශ පහක්‌ සමත් වෙන්න ඕනා. ආස්‌යාන්තරා පැදවීම, කාර්මික අංශයේ වැඩ, දේශගුණ කාලගුණය ගැන අධ්‍යයනය කිරීම, රේඩියෝ සංඥ, ගුවන් මාර්ග නාවික මාර්ග ගැන අධ්‍යයනය කිරීම යන විෂයයන් පහ තමයි අපට ඉගෙන ගන්න තිබුණේ. අපේ පුහුණු කාලය අවුරුදු තුනයි. එකෙන් අවුරුදු එකහාමාරක්‌ම උගන්වන්නේ කාර්මික වැඩ. ඒ කාලේ අපිට කියන්නෙ ‘ගී්‍රස්‌ මංකීස්‌’ කියලා. ඊට පස්‌සෙ තමයි අනිත් අංශවලට යන්න ඕනා.

අපිට නෙවිගේෂන් ඉගැන්නුවේ (ගුවන් ගමන් නාවික ගමන් යන ආකාරය) රෝහාන් අමරසේකර, එයාර්මන්ට්‌ ෂෆ්ට්‌ ඉගෙන ගන්න අපිව මීමුව ඉන්ටර්නැෂනල් එයාර්පොට්‌ හෙඩ් ක්‌වාටර්ස්‌ යෑව්වා. එතකොට මීගමුවේ එයාර්පෝට්‌ එකත් පටන්ගෙනයි තිබුණෙ. මීටියොලොජි (කාලගුණ විද්‍යාව) දේශන දුන්නේ ඩොක්‌ටර් ඒකනායක. කොමර්ෂල් ෆ්යිලට්‌ ලයිසන් එක ගන්න නම් ඒ අංශ පහම පාස්‌ වෙන්න ඕනා. ඊට පස්‌සෙ තමයි අපිව ෆ්ලයින්වලට දැම්මෙ.

අපේ පුහුණුකරු නිතරම කියපු දෙයක්‌ තමයි පුතේ… ‘ආස්‌යාන්තරාවක්‌ ඕනැ මෝඩයකුට එළවන්න පුළුවන්. නග්ගන්නයි බස්‌සන්නයි ඉගෙනගත්තොත් ෆ්ලයි කරන එක සිනි බෝල කනවා වගෙයි’ කියලා. ෆ්ලයි කරන්න අපිට පුහුණු කළේ මාස හයයි. දැන් වගේ නෙමෙයි පුතේ ඉස්‌සර… ආස්‌යාන්තරයේ කැප්ටන් තමයි ෆ්ලයිට්‌ එක උස්‌සන්න ඉස්‌සර වෙලා සේරම පරීක්‍ෂා කරන්න ඕනා. පැට්‌ රිවොට්‌ ගැහිල්ලෙ ඉඳලා ටයර්වලට හුළං ගහනකම්ම සියලු දේ කරගන්න ඕනා. අන්තිමේ වගකියන්නත් ඕනා. ඒ කාලේ අපි ආස්‌යාන්තරාව ‘ස්‌ටාර්ට්‌’ කෙරුවේ පුතේ… හුළං පෙති අතින් කරකවලා. ඒකත් ඉගෙන ගන්න ඕනා.

ඉහළ ඡායාරූපයේ දැක්‌වෙන්නේ කැප්ටන් ගුණවර්ධන සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ බල පන්ති සැරයන් එස්‌. ආර්. පරණවිතාන සහ කොප්රල් රසාල්ඩ්ය.

හුළං පෙති දකුණට කරකවනකොට වම් කකුළ ඉස්‌සරහට තියාගන්න ඕනා. එහෙම නැති වුණොත් කරකවන කෙනාව ඉස්‌සරහට විසි වෙනවා. විභාගයට ඕක අනිවාර්යෙන්ම බලනවා.

කාර්මික විභාගයට දෙන්නෙ ප්ලග් එකක්‌ හයි කරන්න. අපි මුලින්ම එක අතින් තද කරගෙන තමයි ස්‌පැනර් එක පාවිච්චි කරන්න ඕනා. ඒවාගේ තමයි පුතේ අපිව පුහුණු කළේ. ඉගෙනගන්න කාලෙ කරපු මරගාත මතක්‌ වෙනකොට නම් පුදුම සතුටක්‌ තමයි ඇති වෙන්නෙ…

ඔය කාලෙ වෙන කොට පුතේ ‘ගොලෝගන්’ කියලා තව ක්‌ලබ් එකක්‌ පටන් ගෙන තිබුණා. ඒ ක්‌ලබ් එකෙ සාමාජිකයෙක්‌ වෙන්න නම් ටෙස්‌ට්‌ එකට තිබුණෙ ෆ්ලයිට්‌ එක පාලම් තුනක්‌ යටින් අරගෙන යන්න. කැලණි පාලම, මොරටුව පාලම සහ කළුතර පාලම තමයි ප්‍රධාන පාලම් තුන. ඒකෙ සභාපති වෙන්න පාලම් කිහිපයක්‌ යටින් වැඩි වාර ගණනක්‌ ෆ්ලයිට්‌ එක අරගෙන යන්න ඕනා.

අපේ ඇකඩමියෙ ළමයි අතරත් නායකයා තේරුවේ ඒ විදිහටම තමයි. මම පාලම් හයක්‌ යටින් ෆ්ලයිට්‌ එක ගෙනිහින් තියෙනවා. කැලණි පාලම, මොරටුව පාලම, කළුතර පාලම, නුවර පාලම, කටුගස්‌තොට පාලම සහ ලේවැල්ලෙ පාලම. ඒ නිසා ඇකඩමියෙ මම ඉන්නකම්ම මම තමයි නායකයා. එතකොට ෆ්ලයින් ක්‌ලබ් එකෙ ෆ්ලයි කරපු කෙල්ලො තුන්දෙනත් අපිත් එක්‌ක ඇකඩමියේ පුහුණු වුණා. පාලම් යටින් ෆ්ලයිට්‌ එක අරගෙන යනකොට ඔබ්ස්‌වර් කෙනෙක්‌ව ගෙනියන්න ඕනා. මම පාලමක්‌ යටින් යනවා කිව්වේ ගමන් අර කෙල්ලෝ තුන්දෙනාගෙන් කෙනෙක්‌ පැනලා මාත් එක්‌ක යන්න එනවා. කෙල්ලෝ තුන් දෙනා මාත් එක්‌ක ෆ්ලයි කරන්න හරිම කැමැත්තෙන් හිටියේ පුතේ.

හග්… හග්… හග්… කැප්ටන්ගේ සිනාවෙන් මුළු නිවසම පිරී යයි. මේ මිනිසාගේ තාරුණ්‍යය කොතරම් නම් සතුටින් ගෙවී ගොස්‌ ඇත්ද? ඒ මතකයන් පවා ඔහුට ගෙන දෙන්නෙ සතුටකි.

දන්නෙම නැතුව ඇකඩමියේ අවුරුදු තුන ගෙවිලා ගියා. 1950 වර්ෂයේදී මම ඒ-1 ලයිසන් එක ගත්තා. මම තමයි එයාර් ඇකඩමියෙන් මුලින්ම කොමර්ෂල් ලයිසන් එක ගත්තෙ පුතේ… මට ලයිසන් එක ලැබුණු ගමන්ම මාව එයාර් සිලෝන් එකට බඳවා ගත්තා. අවුරුද්දක්‌ විතර එයාර් සිලෝන් එකෙ වැඩ කරගෙන යනකොට මට කැප්ටන්කම ලැබුණා. ඇකඩමියෙ වගෙ අපි එයාර් සිලෝන් එකෙත් හරි ජොලියෙ තමයි හිටියෙ…

මට අද වගෙ මතකයි පුතේ… එයාර් සිලෝන් එකෙ ඉන්නකොට අපි කරපු වැඩ…

හඡ්ජි උත්සවයට මුස්‌ලිම් මිනිස්‌සුන්ව ජෙඩාවලට අරගෙන යන කොට ගොඩක්‌ දවස්‌වලට මමත් යනවා. ඔහොම ටික කාලයක්‌ යනකොට හඡ්ජි උත්සවයට මුස්‌ලිම් මිනිස්‌සුන්ව ගෙනියන්න වෙනම විශේෂ ගුවන් යානයක්‌ ගෙනාවා. ඔන්න පුතේ ගුවන් යානය මංගල ගමන යැමට සූදානම්… ෆ්ලයිට්‌ එකට නැග්ග මුස්‌ලිම් අය වාඩි වෙන්න බැහැ කියාපිය. මෙච්චර සැප පහසු සීට්‌වල වාඩි ගන්න බැහැ කියනවා. අපි හොල්මන් වෙලා බලාගෙන හිටියා. බලනකොට පුතේ… සීට්‌වලට ගහලා තියෙන්නේ ඌරු හම්ලු.

හග්… හග්… හග්… කැප්ටන්ගේ සිනා හඬ නින්නාද දෙයි. එළියේ ඇඳ හැළෙන ධාරානිපාත වර්ෂාව අපට නොඇසෙන ගානය. කැප්ටන් අපව රස ආකාරයක අතරමං කර තිබිණි.

ඔන්න පුතේ… මුස්‌ලිම් අය හාර්තාල් දාන්න පටන් ගත්තා… වාඩි වෙන්නෙ නැහැ හිටගෙන යනවා කිව්වා. මොනව කරන්න ද ඊට පස්‌සෙ ඒ ප්ලේන් එක පැත්තකට දාලා වෙන එකක්‌ තමයි ජෙඩාවලට ගියේ. ඔන්න ඔය වගේ සිද්ධි තමයි ඒ කාලේ අපිට වුණෙ…

තව දවසක්‌ කන්කසන්තුරෙන් එනකොට ප්ලේන් එකට නයෙක්‌ රිංගලා..

තරංග රත්නවීර

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි