ඇත්තටම රාවණාගේ කඩු පහරෙන් කෝනේශ්වරම් කෝවිලේ ගල පැළුණද?

හෙළ දිවයින අයත් හෙළයාට. හෙළ දිවයිනෙත්, හෙළයන්ගෙත් මහ රජු රාවණා නිරිඳු. රාවණා රජකම් කළේ අදින් වසර හත්දහස් පන්සියයකට පෙර. රාවණයන්ට ආදි මහා ශක්තියක් වූයේ ශිව. රාවණයන්ගේ ඇසින් ශිව පිතෘවරයා. ශිව මෙන් රාවණයන්ට ආදී ශක්ති වරම් දුන්නේ ශිව බිරිය. ඒ පාර්වතිය. රාවණයන්ගේ ඇසින් පාර්වතිය මාතෘවරිය.

ශිවගේ බලයත්, පාර්වතියගේ බලයත් එම බලයන් තුළින් ගෙනහැර පෑ ශක්තීන්, වරම් හඳුනාගත් රාවණයන් පාර්වතියට නීලකුම්බිලා දේවතාවියගේ වේශයෙන් හෙළ දිවයිනට පැමිණෙන ලෙස ආරාධනා කළ බව කියනුයේ හලාවත මුන්නේශ්වරම් මහා භද්‍රකාලී කෝවිලේ පූජක මහේන්ද්‍ර සාමි. කාලි කෝවිලේ ශෂී සහ ශිව පූජකයන් දෙදෙනා. මෙම පූජකයන් කියා සිටිනුයේ මුන්නේශ්වරම් පුදබිම රාවණා ශක්ති කළ රාවණා වරම් ලැබූ හෙළයේ ශක්ති බිම බව.

ඒ අතීත කතාව. අද මේ කියවනුයේ වර්තමාන කතාව. මෙම කතාව තුළ තිබෙනුයේ හෙළයේ මහ දෙවොල පිළිබඳ වන කතාව. ඒ ත්‍රිකුණාමලයේ කෝනේශ්වරම් කෝවිල. එම කතාව අනුව කෝනේශ්වරම් පුදබිමද රාවණයන්ගේ භූමි භාගය. රාවණා ශක්ති කළා වූ බිම්කඩ. ඉතා අෑත ඉතිහාසයක සිට සැඟව එන්නා වූ මෙම පැහැදිලි සත්‍යය තවදුරටත් නොසඟවා පළමුවරට හෙළිදරව් කරනුයේ ත්‍රිකුණාමල කෝනේශ්වරම් කෝවිලේ කෝවිල් පාලක සභාවේ රාමචන්ද්‍රන්, ගංගාධරන්, ප්‍රධාන කුරුක්කල් ෂන්මුගරත්නම්, දෙවැනි කුරුක්කල් ප්‍රසන්නම් යන තිදෙනා.

මෙම හෙළිදරව්ව තුළින් වටහාගත යුතු එක් ප්‍රබල සත්‍ය නියමයක් තිබෙනවා. ඒ හෙළ දිවයිනෙහි සෑම වැලි කැටයක්ම, සෑම පස් අංශුවක්ම හෙළයාටම අයත් බව. හෙළ පොළොව හෙළයාගේ රාවණයන් හටම අයත් බව. හෙළයේ හෙළයා රාවණා පරපුරම වන බව. එනම් සූර්ය වංශිකයන්ම වන බව.

රාවණා මේ බිමට ඇවිත් අවුරුදු හයදාහකට වැඩියි. රාවණා මේ බිම ශක්ති කළ බිමක්. රාවණා මේ බිමේ යෝග ධර්ම වඩවපු අයෙක්. මේ තමයි ලංකාවේ ප්‍රධාන හින්දු පුදබිම.

මේ කෝවිලේ ආරම්භය මෙහෙමයි. තොරතුරු අනුව හත්වැනි සියවසටත් එහා. එදා රාමේශ්වරම් කෝවිලේ සිට වන්දනා කළා ශාන්තුවරයෙක්. ඒ වන්දනාව තුළ තිබුණා ගීතයක්. ඒ ගීතයෙන් කියැවුණේ හෙළ දිවයිනේ කෝවිලක් ගැන. ඒ තමයි ත්‍රිකුණාමලයේ කෝනේශ්වරම් කෝවිල. මේ පුදබිම. ඒ ගීතයෙන් කියැවුණා මෙවන් දෙයක්. එනම් මෙම කෝවිල රාමායණය ලියූ කාලයටත් එපිට සිට තිබූ බව.

රාවණා කෝවිලට එන බැතිමතුන් පළමුව යා යුතු ස්ථානය වනුයේ රාවණා වෙට්ටු හෙවත් රාවණා කැපුම වෙතට. මෙයට ස්වාමි ගල කියලත් කියනවා. ස්වාමි ගලේ තියෙන්නේ ඉතා දරුණු බලවත් පැල්මක්. බෙදීමක්. අද මෙම පැල්ම හඳුන්වන්නේ රාවණා කට් නමින්. මෙය පටු කොරිඩෝවක්. මේ පැල්ම සාගරය දක්වා විහිදෙන්නක්.

මේ ගැන තියෙන්නෙ හොඳ ඉතිහාස කතාවක්. ඉතිහාස කතාවෙ විදියට දැන් කැලණිය, ඉස්සර කල්‍යාණිපුරය නම් ස්ථානයේ රජකම් කළේ හෙළයේ මහ රජු රාවණයන්. රාවණගේ සිටියේ මවත් සමඟ. රාවණයනුත් මවත් ශිව භක්තිකයන්. ඔවුන් ශිව දෙවියන් වැන්දා. එදා මේ බිම ශිව පාර්වතී වැඩ සිටියා. රාවණා මෙම පුදබිමේදී කළ විශේෂ දෙයක් තිබුණා.

එනම් යම්කිසි සංගීත ඛණ්ඩයක් ගායනා කිරීම. එම සංගීතය හැඳින්වූයේ ‘සාමවේදය’ නමින්. මෙතුළින් රාවණයන් උත්සාහ කළේ ශිව දෙවියන්ගේ බිරිය පාර්වතී දේවිය පිනවීමට. රාවණයන් එතුළින් අපේක්ෂා කළේ තමන්ගේ පිතෘවරයා විදියට සලකන ශිව දෙවියන්ගෙන් විශේෂ වූ වරමක් ලබාගැනුමට. රාවණගේ බලාපොරොත්තුව ඉෂ්ට කරමින් ශිවගෙන් වරමක් ලැබුණා. ඒ වරමට කියුවේ ‘කොඩිෂලිංගම්’ කියලා. ඒ වරම ඉතා බලවත්. එදා රාවණයන්ට ශිව දුන්නු වරම වූයේ මෙයයි.

“ඔබ කිසිවකුත් අතින් නොමැරිය යුතු කෙනෙක්”
රාවණා අමරණීය නැත්නම් නොමැරෙන කෙනකු බවට පත්වූයේ මෙතැනදී. ඒ අමරණීයත්වය තුළ ඉඳගෙනම රාවණයන් හෙළ රාජ්‍යය ගොඩනැඟුවා. එය කෙතරම්ද විශේෂ එකක්ද කියන එකට මේ එක් පැහැදිලි සාක්ෂියක්.

රාමාගේ පණිවුඩකරුවා වන හනුමා හෙළ දිවයිනට පැමිණි මොහොතක හෙළයේ සිටි සමෘද්ධිමත්, පී්‍රතිමත් සහ තෘප්තිමත් හෙළයන් දැක පී්‍රතියට පත්ව තිබුණා. හෙළයාගේ ජීවන රටාව දැක විස්මයට පත්ව තිබුණා. රාවණයන්ගේ රාජ්‍යයේ විශිෂ්ට බව වසඟයට පත් කරමින් තිබුණා.

හෙළයේ රාවණයන්ගේ මවගේ නම වූයේ ඉතිහාසයේ පරිදි කෛකේෂින්. බිරිය වූයේ මන්දෝදරි රාවණගේ මව වගේම බිරියත් දැඩි ශිව භක්තිකයන්. ශිව අනුගාමිකයෙක්.

මේ රාවණ රාජ්‍යයට තිබුණා කොඩියක්. ඒ හෙළ දිවයිනේ නැත්නම් හෙළ රාජ්‍යයේ කොඩිය. එම කොඩිය රන්වන් පැහැති වීණාවකින් සෑදුණක්. ආගමට විශේෂ ළැදියාවක් දැක්වූ රාවණයන් හානිකර පුද පූජා, හානිකර යාගහෝම වගේම සත්ත්ව බිලි පූජාවලට අකැමැති වූවෙක්. මහා රාවණයන් ඒ සියල්ල ඉතා තදින් ප්‍රතික්ෂේප කළ හෙළයෙක්.

එකල රාවණගේ රාජ්‍යයේ ප්‍රධාන ආගම වූයේ ශිව ආගම. ශිව භක්තික ශාන්තුවරයන් වූ සම්පන්තර්, නෞකාරස, සුත්තර, මාණික්‍ය වාසගර් යනු ප්‍රධාන නායම්වරුන් හතර දෙනෙක්. ඔවුන් රාවණයන් ශිව දෙවියන්ගේ ප්‍රබල ප්‍රධාන අනුගාමිකයන් ලෙසින් ඇගයීමට, ප්‍රශංසාවට ලක් කළා. මේ තොරතුරු තිබෙනුයේ දේවස්තුති ගීතවල සහ මල්දම්වල.

රාවණයන්ගේ මව ගැන වෙනම විශේෂ සඳහනක් මෙහෙමයි. එයින් කියනුයේ රාවණයන්ගේ මව දිනපතා අලුත් වී කොටා පිටිකර එම පිටිවලින් ශිව ලිංගයක් සාදා ශිව දෙවියන්ට පූජා කළ බව. ඉන්පසු එම ශිව ලිංගය මහවැලි ගඟේ පාකර හැරිය බව. මේ රාවණයන් දැකපු දෙයක්. මෙය මවට ඉතා වෙහෙසකර කටයුත්තක් බව රාවණයන්ට දැනෙමින් තිබුණා.

රාවණාට ඕනෑ වුණා තම මව මෙම වෙහෙසකර කටයුත්තෙන් මුදන්න. රාවණයන් ගියා ශිව දෙවියන් වැඩ විසූ කෛලාකූට පර්වතයට. ශිව නිවහනට. මෙතැනදී රාවණයන්ට දැකගන්න ලැබුණා බ්‍රහ්මයෙක්. බ්‍රහ්මයෙක් විදියට වෙස් වළාගෙන හිටියේ මහා ශිව. ශිව එතැනදි රාවණාට කිව්වා කෝනේශ්වරම්වල ශිව ලිංගයක් තියෙනවා කියලා. රාවණයන් ගියා කෝනේශ්වරම් කෝවිලට.

කෝවිලට ගිය රාවණයන්ට එතැනදී හමුවුණේ ශිව දෙවියන්. රාවණා ශිවට කිව්වා ශිව ලිංගය තමාට ප්‍රදානය කරන ලෙස. ශිව එයට අකැමැති වුණා. ශිව දෙවියන්ගෙන් එයට ප්‍රතිචාරයක් නොලැබුණු නිසා රාවණයන් උත්සාහ කළේ කෝවිල තියෙන කන්ද ඉවත් කර ගෙනියන්න. රාවණයන් ඒ සඳහා තමන්ගෙ කඩුවෙන් ශිව ලිංගය තිබූ ස්ථානයේ ගල කැපුවා. ඒ තමයි මේ රාවණ කැපුම. රාවණයන් කළ මේ වැඩේට ශිව අකැමැති වුණා.

ශිව එකපාරටම තමන්ගෙ කකුල උස්සලා රාවණගේ හිස මත මෘදු ලෙස තැබුවා. පාර්වතී දේවියත් තමන්ගෙ කකුල උස්සලා රාවණගෙ හිස මත මෘදු ලෙස තැබුවා. ඒ හින්දා රාවණාට ශිව ලිංගය ගෙනියන්න ලැබුණෙ නෑ. මුන්නේශ්වරම් කෝවිල් පුදබිමේ රාවණා ආත්මගත වුණා. ශිව පාර්වතීගේ අකැමැත්ත රාවණයන් තුරන් කළේ සාමවේදය ගායනා කිරීමෙන්. එතැනදී නැවතත් ශිව-පාර්වතී ආශීර්වාදය රාවණට හිමි වුණා.

කෝනේශ්වරම් කෝවිල වගේම කින්නියා උණු ළිං සම්බන්ධයි රාවණට. ඒ දැඩි ශිව භක්තිකාවක් වූ රාවණගෙ මව සම්බන්ධව. අසනීප වූ රාවණගෙ මව ජීවිතයෙන් සමුගත්තා. මවගෙ අවසන් කටයුතු රාවණයන් කළේ කින්නියා උණු ළිං අසල.

රාවණ පුදබිම් නැත්නම් ශිව දෙවියන් නැමදීමේ ස්ථාන රාවණයන්ගෙන් ලැබුව ආදර්ශයක්. මේ ආදර්ශය ගත් එක් අයෙක් වූයේ රාවණයන්ගේ මාමා. නම මායා. මාමා රාවණ අනුව යමින් මන්නාරමේ කෝවිලක් ඉදිකළා. කෝනේශ්වරම් කෝවිලේ තිබුණ සායම්බු ලිංගම් එක රාවණ මන්නාරම් කෝවිලේ තැන්පත් කළා කියලා විශ්වාසයක් තියෙනවා.

මේ ගැන කියැවෙන අනෙක් කතාව තමයි මේ. රාවණයන් කෛලාශ කන්දෙන් ලිංගම් හැටනවයක් ගෙනාවා කියනවා.
රාවණයන් පිතෘවරයකු විදියට සලකන ඉතා භක්තිමත්ව අදහන මහා ශිව දෙවියන් ගැන හින්දු ආගමේ තියෙන්නෙ වෙනස්ම ආකාරයේ කියැවුමක්.

ඒ කියැවුමට අනුව මහා ශිව දෙවියන් වැඩ වාසය කරනුයේ කිරිවලින් සෑදුණු මහා කිරි සාගරයක. ඒ හිස් දහසක් සහිත සර්පයෙක් සමඟින්. මෙයින් සංකේතවත් කරනුයේ අපි ගැන ඉතා ගැඹුරින් සිතන බව. සුදු කිරි සාගරය සංකේතවත් කරනුයේ ඉතා පිරිසුදු හදවතක් තිබෙන බව. සර්පයන් නියෝජනය කරනුයේ මනස. හිස් දහස නියෝජනය කරනුයේ සිතිවිලි. සර්පයන්ගේ හිස් ඇතුළට යොමුවී තිබීම කියනුයේ අපි අභ්‍යන්තරයටම ගොස් සාමය සහ දිව්‍යමය සැපත විඳගැන්මට කැමැති බව.

කෝනේශ්වරම් කෝවිල හැදුණු කඳුගැටය ගැන තවත් අතීත කතාවක් තියෙනවා. ඒ කතාවට අනුව අතීතයේ දෙවියන් අතර ගැටුමක් හටගෙන තියෙනවා. ඒ ගැටුමේදී දෙවියන් වැඩ විසූ රන් කන්දෙන් කොටසක් කැඩිලා තියෙනවා. ඒ රන් කන්දේ කැඩුණු කොටස තමයි මේ කෝනේශ්වරම් පුදබිම.
ඒ එක්කම තියෙන තවත් කතාවක් තමයි මේ රන් කන්දෙ ඉස්සරවෙලාම රජ කළේ රජ කෙනෙක් කියන එක. ඒ රජුත් එක්කම රජ බිසවත් මෙතැන ඉඳලා තියෙනවා. ඒ අතීතය වසර හයදාහ ඉක්මවනවා.

අතීතය තුළ මෙහි කෝවිල් තුනක් තිබිලා තියෙනවා. පුරාතන කතාව අනුව ඒ ගැන ලියැවී තිබෙන ලේඛනවලට අනුව නාරායන් ඔහුගේ බිරිය මෙහි සිට තිබෙනවා. ඒ අතීතය වසර අවුරුදු හයදාහකට මෙහා බවයි කියන්නෙ. මේ හැම කතාවකින්ම පැහැදිලි වෙන්නෙ රාවණා ශිව-පාර්වතී මෙහි වැඩ වසන බව.

කෝනේශ්වරම් කෝවිල බරපතළ අර්බුදවලට මුහුණ දුන් තැනක්. වරක් මේ කෝවිල පෘතුගීසීන්ගේ සංහාරයට ලක්වුණා. එතැනදි ඉතා දරුණු විනාශ කිරීම් සිදුවුණා. කෝවිලේ තිබුණු ප්‍රතිමා රැසක් කොල්ල කෑවා. පෘතුගීසීන්ගේ මේ සංහාරයට කලින් කෝවිලේ එකල හිටපු පූජකවරුන් වටිනා පෞරාණික පිළිම රැසක් පොළොව යට හැංගුවා. පසුකලෙක ඒ පිළිම ආපහු අරගත්තා. අද මේ දකින්න තියෙන්නෙ එදා ඒ විදියට හංගලා බේරගත්ත පිළිම.

රාවණා කට් එකට උඩින් ගල පහළට බැස්සහම තියෙනවා රාවණා පිළිරුව. මුහුද දෙසට පිටුපස හරවාගෙන කෝවිල දෙසට නෙත් යොමාගෙන ඉන්න. මේ තමයි රාවණයන් ශිව දෙවියන්ට භක්තිය. පිදුම.
කෝනේශ්වරම් කෝවිලේ ඇතුළුවන ප්‍රධාන ‍ෙදාරේ උඩින්ම තියෙනවා එක්තරා විශේෂිත කැටයමක්. ඒ කැටයමේ ඉන්නෙ ශිව දෙවියන්, පාර්වතී දේවිය සහ හෙළයේ රාවණා නිරිඳුන්.

මේ තමයි රාවණා බිමේ අතීත කතාවේ එන ප්‍රබලම සාක්ෂිය. මෙම කැටයමේ තියෙන්නෙ ශිව දෙවියන්. පාර්වතී දේවිය රාවණා රජුගේ හිස මත තම කකුල් තියාගෙන රාවණා මේ බිම තුළ රඳවාගෙන සිටින බව. ඒ වගේම තමයි මේ කෝවිලේ ඇතුළත බිත්තිවල සිතුවම් කරලා තියෙනවා මේ කතාවට සම්බන්ධ සිදුවීම්.
කැටයමෙන් කියැවෙන විදියට රාවණාත් මේ බිම තුළ තවමත් ඉන්නවා.
මේ බිම රාවණා බිමක්.

ශිව හා පාර්වතීට සම්බන්ධ බිමක්.
ශිව-පාර්වතී රාවණාව රඳවාගෙන ඉන්න නිසා මේ බිම තුළ රාවණා ඉන්නවා.
රාවණ ශිව දෙවියන් වැන්දා.
රාවණ පාර්වතී දේවිය වැන්දා.

ශිව පියා විදියටත් පාර්වතී මව විදියටත් රාවණ සැලකුවා.
රාවණට සම්බන්ධයක් තියෙනවා මේ කෝනේශ්වරම් පුදබිම් කෝවිල.
මේ කෝවිලට කියා විශේෂ නමක් තියෙනවා. ඒ නම මේ කෝවිලට ඇරෙන්න වෙන කෝවිලකට භාවිත කරන්නෙ නෑ.
මොකක්ද ඒ නම?
මාදුමයි.

මාදුමයි කියන්නෙ පාර්වතීට කියන තවත් නමක්.
මාදුමයි තමයි අම්මන් වෙන්නෙ.
මේ කාලි කෝවිලට මාදුමයි කියන නම විශේෂයි. ඉන්දියාවෙදි මාදුමයි කියන්නෙ හැම මුන්නේශ්වරමෙදි කියන්නෙ මහා භද්‍රකාලි කියල.

නම මාදුමයි වුණාට එකම දේවතාවිය තමයි විවිධ නම්වලින් හඳුන්වන්නෙ.
රාවණ අම්මයි තාත්තයි විදියට සලකන්නෙ ශිව පාර්වතී.
ශිව පාර්වතී අම්මයි, තාත්තයි නම් ඒ භක්තිය මත රාවණ පුතෙක් විදියට සැලකෙනවා.
භක්තිය කියන්නෙ ඒකට.

ශිව-පාර්වතී යම් තැනක ඉන්නවා කියන්නේ රාවණා එතැන ඉන්නවා කියන එක.
කෝනේශ්වරම් කෝවිලේ ශිව පාර්වතී ඉන්නවා කියන්නෙ රාවණාත් ඉන්නවා කියන එක. ඒකට හොඳම සාක්ෂිය රාවණගෙ හිස මත තියාගෙන ඉන්න ශිව පාර්වතී රාවණා කැටයම.

ඒ අතීතය.
කෝනේශ්වරම් කෝවිලේ ඉතිහාසය කියන්නේ මේ රාවණා කතාව.
මේ පුදබිම මොහෙන්ජොදාරෝ හරප්පා ඉතිහාසයටත් එහා ගිය එකක්. ඒ කාලයේ ඉඳලම මෙතැන පුදබිමක් තිබුණා. ඒ කාලෙ හිටිය අය මෙතැනට ඇවිත් වැඳපුදා ගත්තා.

ඒ අනුව කියන්න පුළුවන් මේ ප්‍රදේශය ඉතා පැරැණි හෙළ දිවයිනේ මුල්ම ජනාවාසයක් බව.
හෙළයේ රාවණා රජුගේ.

අරුණඩේල් විජේරත්න

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි