ක්‍රි. පූ. 4000 සිට අද දක්වා සිදුවුණ සංනිවේදන තාක්ෂණයේ පෙරළිය සැකෙවින්

හිමිදිරි උදයේ පන්සලේ ඝණ්‌ඨාරය නොනැවතී නාද වන්නට විය. එය මුළු ගම පුරා ගෙන ආවේ හදිසි පණිවිඩයකි. ඝණ්‌ඨාව නාද වීමට හේතුව සොයා බොහෝ පිරිස්‌ ලහිලහියේ පන්සල වෙතට ඇදුණහ. ගමේ විහාරස්‌ථානයේ චෛත්‍ය පෙර දින හොරු කඩා තිබිණ. මේ පිළිබඳව වහා ජනතාවට දැනුම් දීමට විහාරාධිපති වහන්සේ භාවිත කලේ ‘ඝණ්‌ඨාරයයි.’ ක්‍ෂණයකින් මේ පුවත ‘කටින් – කට’ ගම් ගොඩ පුරා ප්‍රචාරය වීමට වැඩි වේලාවක්‌ ගත නොවිණ.

අපේ මහගෙදර පොල් අතු සෙවිල්ලන දා අපේ ලොකු අත්තා ගමේ අය කැඳවූයේ ‘හූ’ හඬකිනි. මේ ශ්‍රී ලාංකික ජනතාව භාවිතා කළ සන්නිවේදන ක්‍රමයයි. එක්‌ පුවතක්‌ බොහෝ පිරිස්‌ අතරට යෑවීමට නොයෙක්‌ ක්‍රම අප භාවිත කරමු. පණිවිඩයක්‌ බොහෝ දෙනෙකුට යවන සන්නිවේදනය ‘ජන සන්නිවේදනය’ නම් වේ.

‘අණබෙර ලෑම’, ‘හූ කීම’, ‘ඝණ්‌ඨාව නාද කිරීම’ ආදියත් ශබ්ද විකාශන යන්ත්‍ර, ගුවන් විදුලිය, පුවත් පත්, අන්තර්ජාලය හා දුරකථන මගින් වත්මනෙහි ජනසන්නිවේදනය වේ. තවද එක්‌ පුද්ගලයෙකු තව පුද්ගලයෙකුට තම තොරතුරු, අදහස්‌, හැඟීම් හුවමාරු කර ගැනීම ‘අන්තර් පුද්ගල සන්නිවේදනය’ වේ. අන්තර් පුද්ගල සන්නිවේදනයට වඩා, පුළුල් පරාසයක්‌ තුළ අදහස්‌ තොරතුරු ආදිය ජනසන්නිවේදනය ලෙස විද්යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය හරහා දැනගත හැකිය. මේ සඳහා නවීන තාක්‍ෂණික උපකරණ අද ලොවට බිහිව ඇත. සන්නිවේදනය සඳහා සංකීර්ණ වූ ක්‍රමවේදයන් භාවිතයට අද මිනිසා පුරුදුව සිටී.

සන්නිවේදනය ගැන කථා කිරීමේදී මුළු සත්aව ප්‍රජාවම තමනට ආවේණික ක්‍රම භාවිත කරමින් තම අදහස්‌, හැඟීම් හා තොරතුරු අන් අයට ලබා දීම සිදු කෙරේ. නිවසේ ඇති කරනු ලබන සුනඛයන්, පූසන් වැනි සත්ත්ව කොට්‌ඨාස මිනිසා සමඟ පවත්වනු ලබන සන්නිවේදනය පිළිබඳව අපට ඇත්තේ මනා අවබෝධයකි. අප හා ඇඟේ දැවටීම, බිරීම, ලෙවකෑම මඟින් ඔවුන් ඔවුනට ආවේණික සන්නිවේදන ක්‍රම භාවිතා කෙරේ.

පරිසරය සමතුලිත බව රැක ගැනීම සඳහාත් තම පරපුරේ හැඟීම් ප්‍රකාශ කරනු සඳහාත් සත්වයින් සන්නිවේදනය කරන බව මහා විද්‍යාඥ චාල්ස්‌ ඩාවින් පරිණාමවාදයේ පියාගේ අදහසකි. ඒ කෙසේ වුවද බුදු දහමේදී ද මෙම සන්නිවේදනය පිළිබඳව සඳහන්ව ඇත. බුදුන් වහන්සේ විසින් දේශනා කළා වූ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේදී මෙලොවට සත්ත්වයාගේ පහළවීම හා ඔවුන් පරිසරය හා සන්නිවේදනය වූ සංකීර්ණ ක්‍රියාවලිය පිළිබඳව සඳහන්ව තිබේ.

ජාතකට්‌ඨකතා මාලාවේදී සත්වයාගේ හා මිනිසාගේ සන්නිවේදන ක්‍රියා පිළිබඳව කතා රාශියකි. සියලුම සතුන් තම වර්ගයාගේ සහජ ගති ලක්‍ෂණ අනුව ඔවුනට ආවේණික සන්නිවේදන ක්‍රියාවලියක්‌ අනුගමනය කරනු ලබන අතර එසේ නොවී මිනිසකු ලෙස උපන් මිනිසා විවිධ භාෂාවන්, විවිධ ගති සිරිත්, ආගමික වශයෙන් වෙන් වී සංකීර්ණ සන්නිවේදන ක්‍රියාවලියක නිරතව සිටී.

කිසිදු භාෂාවක්‌ පිළිබඳව මූලික මිනිසාට අවබෝධයක්‌ නොතිබූ අතර ඔවුන් තම අදහස්‌ ප්‍රකාශ කිරීමට නොයෙකුත් ක්‍රම භාවිත කිරීමට පුරුදු විය. අතින්, සංඥා මඟින්, තම අදහස්‌ හුවමාරු කරගත් ඔවුන් ‘අත්පුඩි ගැසීම’, ‘ඉඟිපෑම’ ආදිය කළ අතර ස්‌වභාවික ශබ්ද අනුව මිනිසා පළමුව භාෂාව හුරු වූවා යෑයි සිතිය හැක. ඒ පිළිබඳව ලොව තර්ක විතර්ක පැවතිය ද, භාෂාව කතා කරන්නට පටන් ගත් පසු සන්නිවේදනයේ නව ක්‍රම සොයන්නට මිනිසා පෙළඹෙන්නට විය. මිනිසා කතා කරන්නට මාධ්‍ය සොයා ගන්නට ඇත්තේ පරිසරයේ ශබ්ද හා වෙනස්‌වීම අනුව බව පෙනේ.

කෙසේ වතුදු පළමු වතාවට මිනිසා අකුරු ලියන්නට උත්සාහ ගත්තේ මීට වසර 6000 කට පෙර සිටියි. මේ වන විට ලොව පුරා 6000 කට අධික සංඛ්‍යාවක්‌ භාෂා සහ උප භාෂා ව්‍යාප්තව ඇත. දිනෙන් දින භාෂා වර්ධනයක්‌ දැකිය හැකි මුත් සමහර භාෂා භාවිතයෙන් ගිලිහී යාමක්‌ද දැකිය හැක. පෙර කථා කරන භාෂාවක්‌ වූ පාලි භාෂාව අද ලිත භාෂාවක්‌ බවට පත්ව තිබේ. සංස්‌කෘත භාෂාවට ද අද සිදුව ඇත්තේ එයමය. එමෙන්ම සමහර මහාද්වීපවල ග්‍රාමීය ජනතාව භාවිත කළ බොහෝ භාෂා ජනතාවගෙන් අද ගිලිහී ගොස්‌ ඇත. විවිධ කාලවල විවිධ අවශ්‍යතාවයන් වලට අනුව මෙසේ පෙරලියට පත් වූ බව පෙනේ.

ඒ කෙසේ වතුදු භාෂාවක්‌ කතා කිරීමට පුරුදු වූ මිනිසා දුරින් සිටින කෙනෙකුට යම් පණිවිඩයක්‌ දීමට අවැසි වූ විට ‘කටින් කට’ යෑවීම මගින් සිදු කරන්නට විය. එහෙත් සමහර විට කටින් කට යාමෙන් දුන් පණිවිඩය ලැබිය යුත්තාට ලැබුණේ වෙනත් ආකාරයකටය. ඒ නිසා එය සාර්ථක නොවුවේ එය අසාර්ථක ප්‍රයත්නයක්‌ බවට පත් වූ නිසා බව පෙනේ. පණිවිඩ යෑවීම සඳහා මිනිසා භාවිතා කළ තවත් ක්‍රමයක්‌ වූවේ ‘හූ’ කීමය.

අද කාලයේ ‘හූ’ කියා මිනිසුන් එලවා දැමූවද එදා ‘හූ’ කියා කලේ මිනිසා එක්‌ රැස්‌කර ගැනීමය. පණිවිඩයක්‌ දීමටය. ‘හූ’ වේ ස්‌වභාවය අනුව පණිවිඩය කියවුන අතර එය ජනප්‍රිය සන්නිවේදනයක්‌ විය. ‘අණ බෙරකරු’ එක්‌ කලෙක ජනතාවට පණිවිඩ දුන් මාධ්‍ය කරුවා විය. රජුගේ දැන්වීම් හා නියෝග ‘අණබෙර කරු’ මගින් ජනතාවට ලැබීමට සැලසිණි. ක්‍රි. පූ. 8000 ට පෙර සිටම පමණ බෙරය වයා පණිවිඩ යෑවීම ආරම්භ වූ අතර මේ ක්‍රමය සියවස්‌ ගණනාවක්‌ පැවතිණි.

ක්‍රියාශීලි ජාතියක්‌ වූ සුමේරියන් වරු මුලින්ම ක්‍රි. පූ. 4000 – 3000 අතර කාලයේ ලොව අක්‍ෂර ක්‍රමය බිහිකළ අතර එය හැඳින්වූයේ ‘කුනිෙµdaර්මි’ නමිනි. මැටි පුවරු වල අක්‍ෂර ලියා එය පුළුස්‌සා කළ්තබා ගත හැකි ලෙස ඔවුන් අක්‍ෂර ආරම්භ කළ අතර මුල් අවධියේ අක්‍ෂර 2000 ක්‌ පමණ ලියා ඇති බව පුරා විද්‍යා මතයයි. පසුව එය 800 ක්‌ දක්‌වා අඩු වූ අතර එයිනුත් අවසානයේ භාවිත වූවේ අකුරු 200 ත් 300 ත් අතර ප්‍රමාණයකි.

‘ගිනිමැල’ දල්වා පණිවිඩ යෑවීමටත් මිනිසා පුරුදු වූ අතර ‘කොඩි වැනීම’ වැනි ක්‍රියාද පණිවිඩ යෑවීම සඳහා පෙර මිනිසා පුරුදුව සිටියහ. සුමේරියන්වරු අකුරු සොයාගත් පසු අලුත් තාක්‍ෂණයක්‌ ද බිහිවිය. ඒ ගිනිහුල වනන ප්‍රමාණ හා කෝණය අනුව ඈත සිටින අයකු අකුරු හඳුනා ගැනීමයි. ඒ අනුව අකුරු අමුණා පණිවිඩය ග්‍රහණය කර ගැනීමට ඈත සිටින අයකුට හැකිවිය. මෙම ක්‍රමය පැරණි ග්‍රීකවරු, පර්සියානුන් හා රෝමවරු යොදා ගත් අතර මේ ක්‍රමයෙන් දින 5 ක්‌ 6 ක්‌ ඇතුලත පණිවිඩයක්‌ ග්‍රීසියේ සිට ඉන්දියාවට එවීමට ඔවුන් සමත් විය.

එහෙත් බොහෝ විද්වතුන්ගේ මතය වනුයේ මැද පෙරදිග ‘පොතිසිනියානු’ වරු විසින් මුලින්ම පැහැදිලි හෝඩියක්‌ පටන් ගත් බවය. ඒ කෙසේ වතුදු ඊජිප්තුවේ පෞරාණික ජනයා සංකේත භාවිතා කර ලිවීමට පටන් ගෙන ඇත. විවිධ සතුන්, පක්‍ෂින් හා ශරීරාංග සංකේත භාවිතා කර සන්නිවේදනයේ යෙදීමට ඔවුනට හැකිවිය. මෙම ලිවීමේ ක්‍රමය හැඳින්වූවේ ‘ගිරෝගිල්ප්ස්‌’ නමිනි.

කාලාන්තරයක්‌ තිස්‌සේ මෙසේ සංකේත ආශ්‍රයෙන් ලියූ ඊජිප්තුවරු එයට වඩා පහසු ක්‍රමයක්‌ ලෙස ‘හියරටික්‌’ අක්‍ෂර නිර්මාණය කළහ. මේ අතර ග්‍රීක අක්‍ෂර හෝඩියද නිර්මාණය වූ අතර ඊජිප්තුවේ ‘හියරටික්‌’ අක්‍ෂර නිර්මාණය වූ වකවානුවේම චීනයේ විසූ විද්වතකු වූ ‘වෑන්ග් ජී’ නම් අයකු චීන අක්‍ෂර සම්ප්‍රදාය බිහි කළහ. චීනයේ අක්‍ෂර සම්ප්‍රදාය බිහි වීමට හේතු වූවේ කුරුල්ලන්ගේ හා සිව්පාවුන්ගේ පා සළකුණු අධ්‍යයනයයි. ග්‍රීකයේ අක්‍ෂර සම්ප්‍රදාය බිහිවීමට හේතු වූයේ ‘ලයිනර් වී’ නම් වූ කිරීටයේ අක්‍ෂර වින්‍යාසයයි.

කිරීටයේ ක්‍රමය ක්‍රම තුනක්‌ අක්‍ෂර භාවිතයේ සංකළ්පයක්‌ විය. මෙසේ අක්‍ෂර බිහිවීමත් සමඟ අක්‍ෂර එක පිළිවෙලකට අනුක්‍රමිකව පෙළ ගැසීමට ඔවුනට හැකි විය. ඒ අනුව අක්‍ෂර හෝඩිය බිහි විණ. දැනට සොයාගෙන ඇති දත්ත වලට අනුව මුලින්ම හෝඩියක්‌ බිහිකිරීමේ ගෞරවය හිමි වනුයේ පලස්‌තීන හා සිරියානු ජාතියටය. එහෙත් ලොව පළමු හෝඩිය ආරම්භකරු පිළිබඳ නිශ්චිත සාධක ලොව අනාවරණය වී නැත.

බොහෝ දේ රට රටවල ව්‍යාප්තියට හේතුවන්නේ සංචාරක වෙළඳ ප්‍රජාවයි. මේ අනුව පලස්‌තීනයේ හෝඩිය පිළිබඳව ලොව රට රටවලට දැන ගැනීමට ලැබිණ. ඒ අනුව ඒ රටවල හෝඩි බිහිවීමට මෙයද හේතුවක්‌ විය. මැටි පුවරු වල, ගල්ලෑලි වල, ලී පතුරු ආශ්‍රිතව අකුරු ලියු ජනයා ඒ පිළිබඳ පහසුකම් සෙවීමට උනන්දු විය.

ග්‍රීක ජනයා පැපරිස්‌ පත්‍රවල අකුරු ලිවීමේ ක්‍රමවේදයක්‌ සොයා ගත්හ. කාලයක්‌ පැපරිස්‌ පත්‍රවල ග්‍රීකයන් අකුරු ලියද්දී ඒ තාක්‍ෂණය සුළු ආසියා ‘පර්ගැමම්’ දේශයට සොයා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් සත්ව හම් පදම් කර පත්‍ර විශේෂයක්‌ නිපදවූ අතර එය ‘පාරගමමි’ වී පසුව ‘පැපරිස්‌’ වී නවීනයේ ‘පාර්ච්මන්ට්‌’ යනුවෙන් ප්‍රචලිත විය.

මෙසේ ලියවුණ පණිවිඩ පත්‍රවල ලියා පුද්ගලයින් අතර පුද්ගලයින්ට යෑවීමට ක්‍රම සොයා ගත්හ. මේ සඳහා අණ බෙරකරුවන්, සතුන් ආදිය යොදා ගැණින. මිනිසුන් අතින් මිනිසුනට පණිවුඩ යෑවීමට කළ්ගත වන නිසා පක්‍ෂි හා වෙනත් සතුන් යොදා ගැණින. මේ සඳහා හොඳම උදාහරණය නම් ශ්‍රී ලංකාවේ සංදේශ කාව්‍යයයි. සමහර අවස්‌ථාවල අශ්ව කරත්ත භාවිතයද, ඊතලයක අමුණා පණිවිඩ යෑවීමද, ඒ සඳහා කීප දෙනකු යෙදවීම මගින්ද සිදුවිය.

සුමේරියන්වරු ‘පැපරිස්‌’ වල අකුරු ලියූ කාලයේ නිරිතදිග හා දකුණු ආසියාතික රටවල ජනතාව තල්පත් තම්බා වියළා අකුරු ලිවීමට ක්‍රම සකස්‌ කර ගත්හ. මෙයට අමතරව උණ කොළ, ගස්‌ පට්‌ටා, වර්ග ඇත් දත් ආදියද පණිවිඩ ලියා යෑවීම සඳහා භාවිත කළහ.

ක්‍රි. ව. 105 දී ‘කයිලුන්ත් සායි’ විසින් කඩදාසි සොයා ගැනීම සන්නිවේදනයේ ඓතිහාසික සිද්ධියකි. චීන ඇමති මණ්‌ඩල සාමාජිකයෙකු වූ ත් සායි කයිලුන්ත් සොයාගත් කඩදාසි තාක්‍ෂණය ක්‍රි. ව. 700 වන තුරු රහසක්‌ව පැවතිණි. උණ ගස මූලික අමුද්‍රව්‍ය ලෙස මුලදී භාවිතා කළ අතර පසුව සෙලියුලෝස්‌ වැඩි පත්‍ර වලින් චීන ජාතිකයින් කඩදාසි නිපදවීය. එහෙත් අරාබීන් විසින් චීනය ආක්‍රමණයෙන් කඩදාසි තාක්‍ෂණය ඔවුන් සතු වූ අතර එය ජපානයටත්, ජපානයෙන් ඉන්දියාවටත්, වෙළඳ ප්‍රජාව නිසා මුළු යුරෝපයටමත් දැන ගැනීමට ලැබිණි. ජන සන්නිවේදනයේ ව්‍යාප්තියට මෙයද මහඟු පිටිවහලක්‌ විය.

මීට අවුරුදු 1800 කට පෙර මැටි පුවරුවල ලියූ අකුරු දෙස බලා අකුරු ලිවීමට පුරුදු වූ ග්‍රීකයින් ක්‍රි. පූ. 59 සිට ක්‍රි. පූ. 222 දක්‌වා සන්නිවේදනයට විශාල මෙහෙයක්‌ සිදු කළහ. රජයේ නිවේදන පත්‍රවල ලියා ප්‍රසිද්ධ ස්‌ථාන වල ප්‍රදර්ශනය ඇරඹුවේ ඔවුන් විසිනි. මෙය දිනපතා ප්‍රවෘත්ති හෙවත් Acta Durina ‘ඇක්‌ටා ඩියුරිනා’ නමින් හැඳින්විණ. මේ ආකාරයට චීන ජාතිකයන්ද ක්‍රියාත්මක කළ බව විද්වත් මතයයි.

චීනයේ හාන් අධිරාජ්‍යයාගේ සමයේ එය හැඳින්වූවේ ‘Taipo’ ‘ටයිපො’ නමිනි. ක්‍රි. පූ. 202-222 කාලය තුළදී ‘හාන් අධිරාජ්‍යයාගේ සමයේ ලෝකයේ මුල්ම දිනපතා පත්‍රය ඇරඹූ බව චීන ඉතිහාසය කියයි. චීන ජාතිකයින් ක්‍රි. ව. 1045 දී ‘ලී’ අච්චු සාදා තීන්ත තවරා අකුරු මුද්‍රණය කළ බව පැවසේ. ක්‍රි. ව. 868 දී චීනයේ මුල්ම මුද්‍රිත පොත චිත්‍ර සහිතව පිටවිය. එය බෞද්ධ ග්‍රන්ථයක්‌ වූ ‘වඡ්ජි සුප්‍රය’ එය සූත්‍රයයි. සදාකාලයටම ජන සන්නිවේදනයේ සටහන් වනු ඇත.

එය එසේ සිදු වුවද චීනයේ සිට යුරෝපයට ආරාබීන් ගෙන ආ කඩදාසිය යුරෝපයේ සන්නිවේදන දියුණුවට හේතු වුවත් ක්‍රි. ව. 1400 පමණ වන තුරු ඔවුන්ගේ ඒ සියල්ල ලියවුනේ අතින් වීම විශේෂයකි. 8 වන සියවස වන විට චීන ජාතිකයින් මුද්‍රණ ක්‍රමය ආරම්භ කර තිබුණත් ජර්මන් ජාතික ‘යොහාන් ගුටර්බර්ග්’ ක්‍රි. ව. 1450 දී මුද්‍රණ යන්ත්‍රයක්‌ නිපදවීම සන්නිවේදනයේ හැරවුම් ලක්‍ෂයක්‌ විය.

මේ නිසාම 14 වන සියවස සිට පොත් මුද්‍රණය ආරම්භ වූ අතර 16 වන සියවස වන විට ‘ප්‍රොතෙන්තස්‌ස සංස්‌කරණවාදීන්’ මුද්‍රණ ද්වාරයෙන් බොහෝ පොත් නිකුත් කළහ. මීට සමගාමීව ලෝකයේ බොහෝ රටවල පුවත්පත්ද බිහිවිය. මේ නිසාම මිනිසා හා පුවත්පත් අතර සබැඳියාව වැඩිදියුණු විය. 20 වන සියවස ආරම්භ වූවේ පුවත්පත් කළාවේ විශේෂ වර්ධනයක්‌ සමඟිනි. මේ කාලය වන විට ශ්‍රී ලංකාවේ ද පුවත් පත් මුද්‍රණය ආරම්භ වී ජනසන්නිවේදනයට නව අරුණළු උදාවිය.

මුද්‍රණ කර්මාන්තයට නව උදාවක්‌ පළකරමින් ක්‍රි. ව. 1884 දී ඇමරිකානු ජාතික ‘ඩටාමාර් මෙන්ගෙන්ග්ලර්’ විසින් ‘ලයිනෝටයිප්’ අකුරු ක්‍රමය සොයා ගන්නා ලදි. 18 වන සියවසේ කාර්මික විප්ලවය හරහා මුද්‍රණ ක්‍ෂේත්‍රයේ වේගවත් දියුණුවක්‌ ඇති විය. මේ වන විට ජර්මනියේ වාෂ්ප බලයෙන් ක්‍රියා කරන මුද්‍රණ යන්ත්‍ර බිහිවූ අතර එයම මුද්‍රණ කර්මාන්තය ඉහළ ඒමට හේතුවිය. ‘රොටරි ප්‍රෙස්‌’ යන්ත්‍රය ජර්මනියෙන් බිහි වූ අතර එයින් ටික කළකට පසුව 1950 දී ‘ලෙටර් ප්‍රෙස්‌’ ක්‍රමය ලොව ජන සන්නිවේදන ක්‍ෂේත්‍රයට ගෙන ආවේ ආලෝකයකි. මේ සියල්ලටම වඩා කාර්යක්‍ෂම මැෂිම වූවේ, ‘ඔෆ්සෙට්‌’ ක්‍රමයයි. එය බිහිවූයේ 1970 දශකයේදීය.

ක්‍රි. ව. 1950 නව නිපයුමක්‌ ලෙස ‘ඡායා පිටපත් මැෂිම’ (Photocopy) හඳුන්වා දෙනු ලැබීය. එය ඇමරිකානු ජාතික එඩ්වඩ් ලෑන්ඩිගේ නිපැයුමකි. මේ අතර පරිගණකයද බිහිවීම නිසා මුද්‍රණ සන්නිවේදනයේ සීග්‍ර දියුණුවක්‌ ඇතිවිය. ඒ සඳහා පරිගණකය ආශ්‍රිතව අකුරු ඇමිනීම, පිටු සැකසීම සිදු කිරීම හේතුවිය.

අතීතයේදී පණිවිඩ කොළයක ලියා විවිධ ක්‍රම මගින් යෑවීම සිදුවිය. ශ්‍රී ලංකාවේ පණිවිඩ යෑවීම පිණිස දූතයන්, පක්‍ෂීන් ආදිය යොදා ගත් බව පෙනේ. මිනිසුන් හෙවත් දූතයන් අතින් අත යවා පණිවිඩ යෑවීම රෝම අධිරාජ්‍ය කාලයේත් පර්සියා කාලයේත් භාවිතා කෙරිණි. වෙළඳ ලෝකයේ රාජ්‍යයන් අතරද තොරතුරු දැන ගැනීම හා විමසීම සඳහා පණිවිඩි හුවමාරු විය. වර්ෂ 1798 දී ඇමරිකා එක්‌සත් ජනපදය විසින් ලොව පළමු තැපැල් සේවය ආරම්භ කරන ලදි.

එහිදී ලිපියක්‌ ලබන පුද්ගලයා විසින් අදාළ ලිපියට මුදල් ගෙවා ලබා ගත යුතු විය. එහෙත් බොහෝ අවස්‌ථාවල ලබන පුද්ගලයා ලිපිය ප්‍රතික්‍ෂේප කළ විට අයකර ගැනීම ප්‍රශ්නයක්‌ බවට පත්විය. මේ නිසා බ්‍රිතාන්‍ය ජාතික රෝලන්ඩ් හිල් විසින් 1840 මැයි 6 වන දා ප්‍රථම වරට මුද්දරයක්‌ නිකුත් කළ අතර ලිපිය යවන තැනැත්තා අදාළ දුර ප්‍රමාණයට නියමිත මුද්දර අලවා ලිපිය යෑවිය යුතු විය. මෙය සන්නිවේදන තාක්‍ෂණය අලුත් ගමන් මඟක්‌ විය.

පැන්ස එකේ වික්‌ටෝරියානු රැජිනගේ ශීර්ෂය සහිත මේ මුද්දරය ‘පෙනී බ්ලැක්‌’ නමින් හැඳින්විණ. ශ්‍රී ලංකාවේ පළමු මුද්දරය බිහිවූයේ වික්‌ටෝරියානු රැජිනගේ රුව සහිතවය. 1857 අප්‍රේල් 01 දා පැන්ස හයේ වටිනාකමින් යුක්‌තවය. 1857 සිට 1872 දක්‌වා ශ්‍රී ලංකාවේ භාවිතා වූවේ සිලිං හා පැන්ස වටිනාකමින් යුතු මුද්දර වීම අප මතකයේ තබා ගත යුතුය.

තැපැල් සේවයේ වර්ධනයට තවත් හේතුවක්‌ වූවේ ගමනාගමන ක්‍ෂේත්‍රයේ ප්‍රගමනයයි. දුම්රිය සේවය, ගුවන් සේවය හා නාවික සේවය නිසා තැපැල් සේවය ලොව වඩා ජනප්‍රිය මාධ්‍යයක්‌ බවට පත්විය. නව තාක්‍ෂණය අනුව මේ වකවානුව තුළ ‘ටෙලිග්‍රාෆ්’ ක්‍රමය බිහි වූ අතර ඈත ඉදන් එන පණිවිඩ තරංග සංඛ්‍යාත ඔස්‌සේ හොඳින් ග්‍රහණය කර ගැනීමට හැකිවීම නිසා පණිවිඩ ටෙලිග්‍රාෆ් ඔස්‌සේ යෑවීමට කවුරුත් උනන්දු විය.

මෙයටත් වඩා හොඳ ක්‍රමයක්‌ ලෙස ශ්‍රීමත් චාල්ස්‌ මිනිස්‌ටෝන්, විලියම් එෆ් කුක්‌, හා සැමුවෙල් බී. මෝස්‌ විසින් ‘මෝස්‌ සංඥා’ ක්‍රමය හඳුන්වා දෙන ලදි. ‘මෝස්‌ සංඥා’ මගින් පළමු පණිවිඩය යවනු ලැබුවේ වර්ෂ 1837 දීය. වර්ෂ 1844 වන විට ඇමරිකාවේ ‘ටෙලිග්‍රාප් ෂොප්’ විශාල වශයෙන් විවෘත වූ අතර ජ්‍යාත්‍යන්තර සන්නිවේදන කටයුතු වලට මෙයින් ලැබූ පිටුවහල අති විශාල විය. මෙය තවත් ඉදිරියට යමින් වර්ෂ 1876 දී ඇමරිකානු ජාතික ඇලෙක්‌සැන්ඩර් ග්‍රෙහැම් බෙල් ප්‍රථම දුරකථනය ලොවට හඳුන්වා දෙනු ලැබීය.

ඒ කාලයේම තවත් ඇමරිකානු ජාතිකයෙකු වන ‘එලිෂාගේ’ විසින්ද දුරකථනයක්‌ නිපදවූ අතර ඒ සඳහා බෙල් සහ ග්‍රේ දෙදෙනාම පේටන්ට්‌ බලපත්‍රය සඳහා කළ සටනේදී බෙල්ට පේටන්ට්‌ බලපත්‍රය ලැබීම නිසා ‘දුරකථනයේ පියා’ ලෙස ලෝක ඉතිහාසයට ඔහු එකතු විය. මෙය ලොව සෑම දෙනා එක්‌ කිරීමට හැකි වූ සුවිශාල නිපැයුමක්‌ වීම ලොව ලැබූ භාග්‍යයක්‌ කොට සැලකිය හැක.

එම්. එස්‌. රණතුංග

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි