ඒ කාලේ ලංකාවේ වෙරළවල් රේල්පාරවල් බල බල ගුවන්යානා පදවපු හැටි

ශ්‍රී ලංකා ගුවන් සේවා පාසලෙන් ගුවන් නියමුවකු ලෙස ප්‍රථම වරට වර්ණ පළඳින්නේ ඔහුය. එමෙන්ම ඔහු 1950 වර්ෂයේදී ලංකාවේ සය වැනි ගුවන් නියමුවා ලෙස ලාංකීය ගුවන් සේවයට එක්‌ වන්නේය. ජීවිතයෙන් අඩකටත් වැඩි කාලයක්‌ ගුවනේ කරණම් ගැසූ ඔහු දැන් වයසින් වියපත්ය.

එනම් අවුරුදු අසූ පහකි. මෙරට පැරැණිතම ගුවන් නියමුවන් අතරින් අදටත් ජීවතුන් අතර සිටින එකම ගුවන් නියමුවා ද ඔහු පමණි. මේ වියපත් නොවන රාජඅලියා කැප්ටන් ෂෙල්ටන් ගුණවර්ධනය. පහතින් පෙළ ගැසෙන්නේ ඔහුගේ ජීවිතයේ අමතක නොවන සොඳුරු මතකයන්ය…..

මෙතෙක්‌ කතාව….

ලෝකයේ ගුවන් සේවය දියුණු වන්නේ පළමු ලෝක යුද්ධයත් සමගයි. එමෙන්ම එංගලන්ත ජාතික ගුවන් නියමුවන් කිහිපදෙනකුගේ මෙන්ම මෙරට කෝටිපතියන් කිහිපදෙනකුගේ මැදිහත්වීමෙන් ලංකාවේ පළමු පෞද්ගලික ගුවන් සේවය වන ‘එයාර් ක්‌ලබ්’ ගුවන් සේවය ආරම්භ විය. එම ගුවන් පථය ඉදිකිරීමට එවකට අගමැතිව සිටි සර් ජෝන් කොතලාව මහතා ඔහුගේ රත්මලානේ කඳවල පාරේ ඉඩමක්‌ද පරිත්‍යාග කළේය.

දක්‍ෂ ගුවන් යානා පදවන්නකු වන එංගලන්ත ජාතික ෆ්ලයිනට්‌සර්ට්‌ ඩන්කන්සන් එයාර් ක්‌ලබ්හි ප්‍රධාන ගුවන් නියමුවා ලෙස පත් වී ආවේය. එයාර් ක්‌ලබ් ගුවන් සේවය ආරම්භ කිරීමත් සමග මෙරට ජනතාව ගුවන් සේවය ගැන උනන්දු වන්නට විය. ලෝක යුද්ධය ඇවිලී යත්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාව එයාර් ක්‌ලබ් ගුවන් පථය කඩිනමින් සංවර්ධනය කරන්නට විය.

කළු ජාතික ‘ගැන්බෝඩ් ජැක්‌’ ලංකාවට පැමිණීමත්, ජැක්‌ව සම්බන්ධ කරගෙන එයාර් ක්‌ලබ් ගුවන් සේවය ගාලුමුවදොර පිටියේ ගුවන් සංදර්ශන ඉදිරිපත් කිරීමත් මේ කාලයේ සිදු වූ විශේෂ සිද්ධියකි. ඒ අවධියේ ෂෙල්ටන් ගුණරත්න ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විදුහලේ හය වසරේ අකුරු කළේය.

අද එතැන් සිට…

ඒ සන්දියේ පුතේ… අපේ ඉස්‌කෝලෙ ළමයින්ගේ එකම විනෝදාංශය වුණේ සෙල්ලම් ගුවන් යානා හැදීම. ගොඩක්‌ ළමයි පාසලෙන් දෙන අත්වැඩවලටත් හැදුවේ ගුවන් යානා.

රේ විඡේවර්ධන ඉගෙනගත්තෙත් අපේ පාසලේ. රේ මට වඩා වැඩිමල්. එයාගේ විනෝදාංශයත් නව නිර්මාණ කරන එකයි. රේත් වැඩියෙන්ම නිර්මාණය කළේ සෙල්ලම් ගුවන් යානා. මට අද වගේ මතකයි පුතේ…. රේ සෙල්ලම් ගුවන් යානා හදලා අපේ ඉස්‌කෝලෙ බැල්කනියට නැඟලා පහළට විසි කරනවා. අපි ඒ දිහා බලාගෙන ඉඳලා දුවලා ගිහින් වැටුණු ගුවන් යානා ඇහිඳලා රේට ගිහින් දෙනවා. එතකොට රේ අපිට ටොපි අහුරක්‌ දෙනවා. රේ පොඩි ළමයින්ට හරිම ආදරෙයි. සමහර වෙලාවට පොඩි උන් වට කරගෙන ගුවන් යානා හදන හැටි කියා දෙනවා.

ඒ කාලෙත් පුතේ… ගුවන් යානාවලට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල වුණා. රේගේ සෙල්ලම් ගුවන් යානාවලටත් ඉදහිට ප්‍රහාර එල්ල වුණා. ඒක වුණේ මෙහෙමයි. ඩඩ්ලි රොබට්‌ ඒ සන්දියේ අපේ පාසලේ හිටිය දඩබ්බරයෙක්‌. රේ බැල්කනියට නැඟලා ගුවන් යානා පා කරලා හරිනකොට ඩඩ්ලි ඒ ගුවන් යානාවලට කැටපෝලයෙන් විදිනවා. එහෙම නොකර ඉන්න නම් ඩඩ්ලිට ගාණක්‌ දෙන්න ඕනා.

ටික කාලයක්‌ යනකොට මුළු රටේම කතාබහට ලක්‌ වෙලා තිබුණු එයාර් ක්‌ලබ් එක, එක පාරටම දෙදරුවා. අපේ අය එක පැත්තකට වුණා. සුද්දො තව පැත්තකට වුණා. ඒත් සුද්දො පසු බැස්‌සෙ නැහැ. ඒ අය දකුණු පළාතට ගිහින් ‘ෆ්ලයින් ක්‌ලබ්’ නමින් තවත් ක්‌ලබ් එකක්‌ පටන් ගත්තා. ඒකටත් අපේ සල්ලිකාරයෝ ටිකක්‌ සම්බන්ධ වෙලා තිබුණා. අපේ රටේ පළමු වතාවට ගෑනු ගුවන් යානා පැදෙව්වේ ෆ්ලයින් ක්‌ලබ් එකේ. කෙල්ලෝ තුන් දෙනෙක්‌ ෆ්ලයින් ක්‌ලබ් එකේ ෆ්ලයි කළා. මට මතක හැටියට ජෙනෙට්‌ මයුරා, ඉවාන් ටුසෙන්, ජෙසී කෝනින් කියන නෝනලා තුන් දෙනා තමයි ඒ.

ඔය කාලෙ වෙනකොට පුතේ… යුද්ධය ඉවර වෙනවා. ක්‍රියාන්විත රාජකාරිවලට සම්බන්ධ වෙන්න අපේ රටෙන් එංගලන්තයට ගිහින් හිටපු ගුවන් නියමුවන් කිහිප දෙනෙක්‌ම නැවත ලංකාවට ආවා. කැප්ටන් ඩයන් බෙනට්‌, කැප්ටන් පතිරාජ, කැප්ටන් පීටර් සමරසේකර යන තුන් දෙනා විතරක්‌ ඉන්දියා ගුවන් සේවයට සම්බන්ධ වෙන්න ඉන්දියාවට ගියා.

මේ පෙරළියත් එක්‌ක ලංකාවට ආපු දක්‍ෂ ගුවන් නියමුවන් සම්බන්ධ කරගෙන සිලෝන් එයාර් ලයින් එක ආරම්භ කරන්න සර් ජෝන් කොතලාවල අදහස්‌ කළා. ඒ එක්‌කම පුතේ… එංගලන්තයෙන් අපේ රටට ගෙනාපු ඩෙකෝටාස්‌ තුන සහ ගුවන් යානා අමතර කොටස්‌ බලා කියා ගන්න එංගලන්ත රජයෙන් සුදු ජාතික ගැස්‌ගල්ව පත් කරලා එව්වා. ගැස්‌ගල් කියන්නෙ සර් ජෝන්ගේ හොඳ මිත්‍රයෙක්‌.

ගැස්‌ගල්ගෙ පැමිණීමත් එක්‌ක සර් ජෝන්ට එයාගේ අදහස ක්‍රියාත්මක කරන්න ඉතාම පහසු වුණා. සර් ජෝන් මුලින්ම ගැස්‌ගල්ගේ මාර්ගයෙන් ඩෙකෝටාස්‌ තුන ගත්තා. ඊට පස්‌සේ ගුවන් නියමුවන් ටිකත් සම්බන්ධ කරගෙන සිලෝන් එයාර් ලයින් එක ආරම්භ කළා. මගෙ මතකෙ හැටියට එයාර් සිලෝන් එක ආරම්භ වුණේ 1947 වෙන්න ඕනා…

එයාර් සිලෝන් එකේ ආරම්භක ගුවන් නියමුවන් විදිහට සේවය කළේ කැප්ටන් ඩික්‌සන් කොතලාවල, කැප්ටන් පීටර් ප්‍රනාන්දු, කැප්ටන් එම්. ආර්. ද සිල්වා, කැප්ටන් ජැයිකි යන අයයි. සහාය ගුවන් නියමුවන් හැටියට මාවලගම, µඩිනර්ට අමතරව නැව්වල වයර්ලස්‌ ඔපරේටස්‌ලා විදිහට සේවය කරපු වේදවානා, හෙක්‌ටර් ප්‍රනාන්දු, මසිලමනි යන අයත් සර් ජෝන් කොතලාවල සිලෝන් එයාර් ලයින් එකට සම්බන්ධ කර ගත්තා.

1948 මැතිවරණයේදී සර් ජෝන් කොතලාවල ඡන්ද පත්‍රිකා සේරම හැදුවේ එංගලන්තෙ. සර් ජෝන් ඒ ඡන්ද පත්‍රිකා ගෙන්නුවෙත් ඩෙකෝටාස්‌ යවලයි. ඒ වගේම තමයි සර් ජෝන් කවමදාකවත් එයාර් සිලෝන් එක හැරෙන්නට වෙන කිසිම අහස්‌යාන්තරාවකට අඩියක්‌වත් තිබ්බෙ නැහැ. කොච්චර සුද්දෝ එක්‌ක වැඩ කළත් ශ්‍රී ලංකා නාමයට කැළලක්‌ වෙන කිසිම දෙයක්‌ කළෙත් නැහැ. ඒකයි මිනිහගේ තිබුණු වැදගත්කම.

ඔන්න ඔය කාළේ පුතේ…. ඒ-1 ලයිසන් එක ගන්න ෆ්ලයින් ක්‌ලබ් එකෙන් ශිෂ්‍යත්වයක්‌ දෙන්න පටන් ගත්තා. ඕනෑම කෙනෙකුට ඒ විභාගයට ඉදිරිපත් වෙන්නත් අවසර දීලා තිබුණා. එතකොට මම උසස්‌ පෙළ කරලා බැංකුවක වැඩ කර කර හිටියේ. ඒත් ගුවන් යානා ‘උණ’ හොඳ වෙලා තිබුණෙ නැහැ. මමත් ඒ ශිෂ්‍යත්වයට ඉල්ලුම් කළා. මගේ සුදුසුකම් මත ඒ ශිෂ්‍යත්වය මට ලැබුණා.

සර් ජෝන් එයාර් සිලෝන් එකේ ගුවන් පාලන මධ්‍යස්‌ථානයක්‌ හදලා ඒකෙ ප්‍රධානියා විදිහට එංගලන්ත ජාතික ගැස්‌ගල්ව පත් කළා. ඔය අතර කාලේ තමයි ඩේවිඩ් පීරිස්‌ ඉන්දීය ගුවන් සේවය එක්‌ක සම්බන්ධ වෙලා ලංකාවට එයාර් මේල් සේවාව ආරම්භ කළේ. ඩේවිඩ් පීරිස්‌ තමයි ඒ ගුවන් යානය රත්මලාන ගුවන් තොටුපළට ගෙනාවේ. ඒ කාලෙ වෙනකොට අපි ගුවන් යානා පදවන්න පුහුණු වෙනවා. මට තාම මතකයි ඩේවිඩ් පීරීස්‌ රතු පාට ගුවන් යානය රත්මලාන ගුවන් පථයට බස්‌සනවා. අපි සේරම වැඩ නවත්වලා ඒක දිහා බලාගෙන ඉන්නවා. ඩේවිඩ් පීරීස්‌ හැමදාම ඒ ගුවන් යානයෙන් හැන්දෑවට එනවා. උදේට යනවා.

එහෙම ටික කාලයක්‌ යනකොට සර් ජෝන් කොතලාවල ඩේවිඩ් පීරිස්‌ව රත්මලාන ගුවන් තොටුපළ ප්‍රධාන පාලකයා විදිහට පත් කළා. සර් ජෝන් කොතලාවලයි ඩේවිඩ් පීරිසුයි දෙන්නම එකම ජාතියේ මිනිස්‌සු. ජොලියට හරි සාමර්තයි… සර් ජෝන් කොතලාවල ගැන කතා කරනකොට මට සුන්දර කතාවක්‌ මතක්‌ වුණා පුතේ… කියන්නද?

සර් ජෝන් කොතලාවල මගේ හොඳ මිත්‍රයෙක්‌ වුණාට පස්‌සෙ, දවසක්‌ අපි ජොලියක්‌ දානකොට මම ජෝන්ගෙන් ඇහුවා ‘උඹ අපිට හැම දෙයක්‌ම දෙනවා ඒත් නෝනලාව අපිට හඳුන්වලා දෙන්නෙ නැහැ නේද’ කියලා…

එතකොට සර් ජෝන් කියනවා ‘ආ යකෝ… උන් මගෙ නොනලා නෙමෙයි නෙ…’

සර් ජෝන් කොතලාවල එයාර් සිලෝන් එක පටන් ගන්නකොට පුතේ… සිතියම්වත් නැහැ. වෙරළවල් බලාගෙන, රේල් පාරවල් බලාගෙන තමයි ගුවන් යානා පැදෙව්වේ. ගුවන් නියමුවන් අවදානමත් එක්‌ක රාජකාරි කරපු නිසා සර් ජෝන් ගුවන් නියමුවන්ට ගොඩක්‌ ගරු කළා. ඉල්ලපු දෙයක්‌ දුන්නා.

ඩේවිඩ් පීරිස්‌ව රත්මලාන ගුවන් තොටුපළේ ප්‍රධාන පාලකයා කිරීමත් එක්‌ක ඩේවිඩ් සිලෝන් එයාර් ලයින් එක දියුණු කරන්න විශාල වැඩකොටසක්‌ කරන්න පටන් ගත්තා. ඩේවිඩ් පීරිස්‌ තමයි රත්මලාන ගුවන් තොටුපළේ ලංකාවේ පළමු කාර් රේස්‌ එක තිබ්බෙ. මගේ මතකෙ හැටියට ඒ කාර් රේස්‌ තිබ්බෙ 1950 හේ… මම එයාර් සිලෝන් එකට බැඳුණෙත් ඒ අවුරුද්දෙ. ඒ කාර් රේස්‌ එකේදී අපේ කාන්තා ගුවන් නියමුවරියනුත් තරග කළා. ඒ විතරක්‌ නෙමෙයි ගුවන් සංදර්ශන කළා. නොයෙක්‌ නොයෙක්‌ දේවල් කරලා එයාර් සිලෝන් එකේ විශාල දියුණුවක්‌ ඇති කළේ ඩේවිඩ් පීරිස්‌ තමයි.

ඩබල් ඩී. එස්‌ එකක්‌ දිනපු රෝහාන් අමරසිංහ නැවත ලංකාවට එයි….

තරංග රත්නවීර