සරසවි කුරුටු ගී හා බැඳී කවි සංස්කෘතිය

සරසවිය එහෙම නැත්නම් විශ්වවිද්‍යාලය කියන්නේ පුද්ගලයෙක් විශ්වීය අධ්‍යාපනය ලබා ගන්නා තැනක්. විෂය දැනුම, අධ්‍යාපනික දේවල් වලට අමතරව තවත් දහසකුත් දේ මෙතනින් ඉගෙන ගන්නවා කිවොත් වඩාත් නිවරැදියි. ශ්‍රී ලංකාවේ සරසවි තුළ ඔවුන්ට විශේෂ වූ හර පද්ධතියක් නොහොත් උප සංස්කෘතියක් පවතිනවා.

ඒ වගේම ඒ ඒ විශ්වවිද්‍යාල වලට අනන්‍ය වූ උප සංස්කෘතීන් තුළින් අපුරු සාහිත්‍යාත්මක දේවල් බිහි වෙනවා. එහෙම දෙයක් තමයි සරසවි කුරුටු ගී කියන්නේ.ඔවුන්ගේ සිතට නැගුණු ආදරය,ප්‍රේමය,වේදනාව වගේ හැම දෙයක්ම කුරුටු ගී තුළින් කොහේ හෝ සටහන් කර තැබුවා.

කුරුටු ගී තුළ දකින්න ලැබෙනවා කවි සංස්කෘතියක්. හැබැයි මේවාට නිශ්චිත කතෘ කෙනෙක් නම් නෑ. නේවාසිකාගාර බිත්ති වල,දේශන ශාලා වල තියන මේස මත තමයි කවි ලියවිලා තියෙන්නේ. අපූරු සෞන්දර්යක් හා සාහිත්‍යක් කැටි වූ සරසවි කවි ගැන පොඩ්ඩක් හොයල බලන්නයි අපේ මේ සුදානම. මේ ලිපියට නම් අලංකාර හරාත්මක කවි කිහිපයක් හොයාගන්න ලැබුනා. ඉතින් ඔබත් මේ ගැන තවත් දන්නා දේවල් තියනවනම් අපිට කියන්න.

ඈත හද්දා පිටිසරින් අඩු අදායම්ලාභී සිසුන් සරසවියයට ඇතුළු වෙනවා. සමහර විට එවැනි ගම්මාන තුලින් සරසවියකට සිසුවෙක් පැමිණෙන්නේ පළමු වතාවට. ඉතින් දෙමාපියන් නෑයින් වගේම ගම්වාසින් හිතන්නේ මේක හරියට රටක් රාජ්‍යක් දිනුවා හා සමාන වැඩක් කියලයි. එවැනි බහුතරයක් සිසුන් තම අධ්‍යාපන කටයුතු කරගන යන්නේ මහත් දුෂ්කරතා මැද. පාසල් කාලය තුළත් නිවසට බර පැටවූ බැවින් බොහෝ ශිෂ්‍යන් සරසවි කාලය තුළදී තම මුල්‍යමය අවශ්‍යතාවයන් නිවසට බරක් වන්නට දෙන්නේ නෑ.

ඒ වගේම සරසවිය තුළ ඉගෙන ගත යුතු විෂය පථය ඉතාමත් පුළුල්. මේ ආර්ථික හා අධ්‍යාපනික ගැටළු ඔස්සේ විද්‍යාර්ථින් උපාධිය කරා ගමන් කරනවා. සමහරදාට කුසට නිසි ආහාරයක් පවා හරියට ලැබෙන්නේ නෑ. නේවාසිකාගාරවල වගේම බෝඩිම් වල සියලුම දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් තම මවුපියන්ගේ සිහින සැබෑ කරන්න උත්සුක වෙනවා. එවැනි ශිෂ්‍යන් පිළිබඳව කියවෙන කවියක් අපිට සරසවි කුරුටු ගී තුළින් හොයාගන්න ලැබුනා.

සිහිනෙන් පවා මගේ සුඛ විහරණය පැතූ

රජකම් ලබා පුතු රජගෙට ගියැයි සිතූ

අම්මා දනීනම් මේ සරසවියේ තතූ

ගෙන ගොස් බොහෝ කල් මේ දුක් විදින පුතූ

සරසවිය යනු පෙම්වතුන්ට ප්‍රේම නගරයක්. දැනුම සොයන්නන්ට මහාර්ඝ පුස්තකාලයක්. ගවේෂකයන්ට විද්‍යාගාරයක් වෙනවා වගේම බේබද්දන්ට පාරාදීසයක්. විශ්ව විද්‍යාලයක මේ සියළුම චරිතයන් හොයා ගන්න පුළුවන්. මොරටුව විශ්ව විද්‍යාලය කියන්නේ කොලඹ දිස්ත්‍රික්කයේ පිහිටලා තියන තාක්ෂණික විශ්ව විද්‍යාලයක්. වැඩිපුරම ඉන්නේ පිරිමි සිසුන්. සිසුවියන් ඉන්නේ ගොඩක් අඩුවෙන්. කොළඹ නගරයේ තියන කටුක කර්කශක බව සරසවිය තුළත් අඩුවක් නැතිව දැනෙනවා. බොහෝ විශ්ව විද්‍යාල පරිසර පද්ධතීන් හා සංසන්දනය කරන විට මොරටුව සරසවියේ පරිසර සුන්දරත්වය අඩුයි. ශාස්ත්‍ර පිඨයක් නැති නිසා ගැහැණු ළමයින් හොයන එකත් නිකන් කළු නික හොයනවා වගේ. මේක පදනම් වුණු සරසවි කවියක් අපිට හොයා ගන්න ලැබුනා.

මොරටුව සරසවිය (www.mrt.ac.lk)

හන්තානට පායන සද අපට නැත

කොලඹ වගේ හැඩ පොෂ් අය අපට නැත

ජපුරේ වගේ එකට තුනක් අපට නැත

බීලා ගත්ත ආතල්නම් එමට ඇත

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයක් පවතින අතර එහි පිරිමි සිසුන්ට වඩා සිසුවියන් ගණන තුන් ගුණයක් බව තුන් වැනි පදයෙන් අදහස් කරනවා. හැබැයි අවසාන පදයෙන් කියවෙන දේට වඩා ගැඹුරු දෙයක් ඒ කියන්නේ සරසවි දිවිය රසවත් කරගන්න කරන සියළුම ක්‍රියාකාරකම් මේ පදයේ අන්තර්ගත වෙනවා කියලයි සරසවි සිසුන් පවසන්නේ.

ගෙදර තිබෙන අඩු ලුහුඩුකම් ආර්ථික ප්‍රශ්න ගැන සිතමින් අධ්‍යාපන කටයුතු කරන විද්‍යාර්ථින් සරසවිය තුළ දකින්නට පුළුවන්. තමන්ගේ වැඩිමහලු සහෝදර සහෝදරියන් අධ්‍යාපන කටයුතු ඉවර කර දෙමාපියන්ට විය යුතු යුතුකම් ඉටු නොකර ඒවා පැහර හරින සිදුවීමක් අළලා නිර්මාණය වුණු මේ කවිය හොයා ගත්තේ පේරාදෙණිය සරසවියෙන්.

වැහි දාට හැම දාම අපේ ගේ තෙමෙනවා

අයියලා අක්කලා තව ගෙවල් හදනවා

අම්මගේ ජිවිතේ ලණු ඇදෙහි ගෙවෙනවා

අම්මේ මම කවදාහරි අපේ ගේ හදනවා

බොහෝ විට අතේ මුදල් නොමැති අවස්ථා වලදී විශ්ව විද්‍යාල ආපන ශාලාවෙන් ඒ කියන්නේ කැන්ටින් එකෙන් පාන් එක්ක පරිප්පු හොදි ගන්න පුළුවන්. විශේෂයෙන් කැන්ටින් එකේ කෑම බීම වලින් කවදාවත් රසක්නම් දැනෙන්නේ නෑ. හැමදාම දකින්නට පුළුවන් වෙන්නේ අල, පරිප්පු ගෝව වගේ නීරස දේවල්. ඒ වුනාට මේ වගේ දේවල් අතේ තියන මුදලත් එක්ක සලකලා බැලුවහම ගොඩක් වටිනවා. මේ සිද්ධීන් දැක්වෙන කවියක් පේරාදෙණිය සරසවියෙන් අහන්නට ලැබුනා.

පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා

ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා

මලකඩ වතුර නේරංජන ගඟ වේවා

සුප්පයියා මුදලාලි කන්ථක අසු වේවා

සුප්පයියා මුදලාලි ලෙස සදහන් වෙලා තියෙන්නේ එකල පේරාදෙණි සරසවියේ කැන්ටිම පවත්වාගන ගිය දමිල වෙළද මහතෙක්.

පේරාදෙණිය සරසවිය (eng.pdn.ac.lk)

පාන් කියන්නේ සරසවිය තුළදී අඩු මුදලකට කන්න පුළුවන් ජනප්‍රිය ආහාරයක්. පාන් දිගටම කන එක අමාරු දෙයක් වුනත් ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒක කරන්නම වෙනවා. හැබැයි ලෙහෙසි ක්‍රමයකින් බත් කන හැටි එක අවස්ථාවක කවියක මෙහෙම සටහන් වෙලා තියනවා.

ආවේ ගෙදර සිට ඩිග්රිය අර ගන්න

කෑවේ පාන් අප හට නැත බත් කන්න

කොක්කක් ගැසුවොතින් මට හැක බත් කන්න

කවුරුද කැමති මට බත් අම්මා වෙන්න

මෙම කවිය තුළ පාන් යනු පාන්ම නොවේ. කටට රසට කෑමට නොහැකි හැමදෙයක්ම මෙයට අන්තර්ගත වෙනවා. කොක්කක් යනුවෙන් හදුන්වන්නේ ගැහැණු ළමයෙකු තමන්ට කැමති කරවා ගැනීමයි. නිවසේ සිට සරසවියට යන එන ගැහැණු ළමයෙකු හා ප්‍රේම සම්බන්ධතාවයක් ඇරඹුවහොත් තමන්ටත් හොදින් ජිවත් වෙන්නට හැකි වෙනවා.

විශ්වවිද්‍යායට පැමිණෙන බොහෝ සිසුන් මුල් කාලයේදීම සරසවිය තුළදීම තම අනාගත සහකාරිය හොයා ගන්නවා. පෙම්වන්තියක් සොයා ගැනීමට පසුවට කල් දැමු සිසුවෙක්ගේ අදහසක් අපුරු කවියකට පෙරළා තිබෙනවා.කොකු ලෙස අදහස් කර තිබෙන්නේ ප්‍රේම සම්බන්ධතාවයන්ය.

ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය

මෙය කියූ එකාගේ කට කෑවත් මදිය

ඉස්සර වුනු එවුන් හට කොකු හත අටය

ඉවසපු නිසා මම තාමත් තනිකඩය

අවසානයේ තමන් අධ්‍යාපන රාමුව තුළ පමණක් සිරවීම හැර වෙන කළ දෙයක් නෑ කියල හිතුනු සිසුවෙක් සටහන් කරලා තිබුණු කවියක් මොරටුවෙන් හොයා ගත්තා.

රුහුණේ එවුන් හොඳ හොඳ ආතල් ගත්තා

කොලඹ එවුන් හොඳ පොෂ් කොකු දා ගත්තා

පේරේ එවුන් සෙනෙහසකට හිත බැන්දා

මොරටුවේ අපි කලේ මොන කරුමෙද මන්දා

රුහුණු සරසවිය (beautyofruhuna.blogspot.com)

මේ වගේ කවි තවත් බොහෝ ප්‍රමාණයක් සරසවි තුළින් හොයා ගන්න පුළුවන්. අපි දැක්වුයේ අපුරු රසයක් කැටිවූ කවි කිහිපයක් පමණයි.

කවරයේ පින්තුරය: wikimedia.com

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි