පුද්ගලිකයි රහසිගතයි අති විශේෂයි

යාපනේ නගරයට සැතපුම් දහයක්‌ හෝ පහළොවක්‌ උතුරින් පිහිටි චුන්නාකම් ගමේ වැසියකු වන ත්‍යාගරා- ශාන්ට 1987 ජුනි 4 වැනිදා කිසි කලෙකත් අමතක වන්නේ නැත. එතකොට මට වයස 17 යි. ඔය කියන දවසේ මම හිටියෙ යාපනේ. හවස හතරට පහට විතර යාපනේ ටවුම උඩින් ප්ලෙන් දෙක තුනක්‌ යනවා අපි දැක්‌කා. ඒක අපට එච්චර නුහුරු දෙයක්‌ නොවෙයි. එයාර් ෆෝස්‌ එකේ ප්ලේන් කොච්චරවත් යාපනේට උඩින් ගියා.

ඒත් එදා ආපු ප්ලේන් හිටි ගමන් ටවුමට පහත් කරන්න පටන් ගත්තා. කොයිතරම් පහත් කරන්න පටන්ගත්තද කියනවා නම් ඒවායේ යටි පැත්තත් අපි පැහැදිලිව දැක්‌කා. මම නම් හිතුවෙම බෝම්බ දමන්න හදනව කියලයි. ඒ එක්‌කම ප්ලේන්වලින් මොනව හරි දෙයක්‌ එළියට දැම්මා. මම හිතුව මෙන්න මෙහෙම. මේ දාන්නෙ බෝම්බ. තව ටිකකින් ඔව්ව බිමට වැටිලා පුපුරනවා. එතකොට අපි ඔක්‌කොම මැරෙනවා. ඒ එක්‌කම ගමේ ඉන්න අම්මා තාත්තා මට මතක්‌ වුණා.

ගෙදර ඉන්න ගැබ්බර එළිච්චිගෙ පැටිය බලන්න බැරිවම මට මැරෙන්න සිද්ධ වෙන බව කල්පනා වුණා. ගමේ හිටපු මට හදිසියට යාපනේට එන්න කියල පණිවුඩයක්‌ එව්වේ අපේ මාමා. මට කළ මේ වැඩේට මාමාට හෙණම ගහපන් කියලත් මට හිතුණා. ඒ අස්‌සෙ මට හිතෙනවා බෝම්බයක්‌ අහසින් වැටිලා පුපුරන හැටි බලන්න ඇත්නම් කොයි තරම් හොඳද කියලා. තවත් ඩිංගකින් මට පෙනෙනවා මේ පහත් වෙන්නෙ සුදුපාට ලොකු කුඩ වගේ ජාතියක්‌ කියලා. ඔන්න ඒවා පහත් වෙලා පහත් වෙලා බිමටම වැටෙනවා මම බලාගෙන. කිසිම පිපිරිල්ලක්‌ නැහැ. ඔක්‌කොමල්ලා ඈතින් හිටගෙන බලන් උන්නා. කවුරුත් ළං වුණේ නැහැ.

තානාපති සබඳතා කසිකබල් වෙයි

වුන්නාකම් ගමේ වාසය කළ ගොවියකු වූ ත්‍යාගරාජ ගේ පුත්‍රයා වූ ශාන්, එහෙමත් නැත්නම් ත්‍යාගරා- ශාන් (දෙමළ ක්‍රමය අනුව පුතාට පියාගේ නමෙන් කොටසක්‌ තබනු ලැබේ) 1987 ජුනි 9 වැනිදා එනම් මෙයට වසර 27 කට පෙර යාපනයේදී ඒ දුටුවේ ඉන්දියන් රජය යාපනයට අහසින් ‘පරිප්පු’ දැමීමේ ඓතිහාසික අවස්‌ථාවය. කොටි සංවිධානයට සහාය පළ කරනු පිණිසත් ෙ-. ආර්. ජයවර්ධනගේ ආණ්‌ඩුව බියපත් කරනු පිණිසත් රජිව් ගාන්ධිගේ නියෝගය පරිදි එසේ පරිප්පු දැමීම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වසර 2500 ක කාලයක්‌ පුරා තිබූ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයේ අන්තිම කසිකබල් අවස්‌ථාවය.

“පරිප්පු කීවට එතන පරිප්පු තිබුණෙ නැහැ. ත්‍යාගරා- ශාන් කියයි. පැරෂුට්‌වල ගැට ගහල තිබුණේ ලොකු පෙට්‌ටි. ඒවායේ තිබුණ පැකට්‌ කරපු පාන් පිටි, උළුදු පිටි, එතකොට තිබුණ කිරිපිටි. තව හාල්, සීනි, කෝපි එහෙමත් තිබුණා. සමහර පෙට්‌ටි වල තිබුණා ප්ලාස්‌ටර්, ඔළුව කැක්‌කුමට බොන පෙති, µaලේවින් වගේ බෙහෙත් ජාති…. ඒවා කිසිදෙයක්‌ අපට ගන්න ලැබුණෙ නැහැ. එල්.ටී.ටී.ඊ වාහන ඇවිත් ඒවා ඔක්‌කොම ඒ ගොල්ලන්ගේ කෑම්ප් වලට අරගෙන ගියා…..”

මාමට හෙණ නොගැසීම

ත්‍යාගරා- ශාන්ගේ වයස අද වන විට අවුරුදු 54 කි. පෙළපොතින් උරුමවන අධ්‍යාපනය වෙනුවට ඔහුට ලැබී ඇත්තේ පෙළපතින් එන ගොවිතැනය. අව්වෙ වියෑළෙමින් දුම්කොළ සහ මිදි වවන ඔහුගේ සිරුර කලු ගැහී කෘෂ වී කර කබල් වී ඇත. ඔහු තරම්ම පැරණි කසිකබල් බයිසිකලයක්‌ ඔහු සතුව තිබේ. ඔහු බයිසිකලයෙහි නැගුනු විට එයත් ඔහුත් යන දෙකම කසිකබල් තනි ඒකකයක්‌ බවට පත්වෙයි. “හැබැයි මාමාට හෙණ ගැහුවෙත් නැහැ. මම බෝම්බ පුපුරනවා දැක්‌කෙත් නැහැ.” ත්‍යාගරා- ශාන් හිනැහෙයි. ඔහුගේ සිනහව කලුම කලු වළඳක අඳින ලද සුදුම සුදු රේඛාවක්‌ බඳුය.

1987 ජුනි 4 වැනිදා යාපනයට පරිප්පු දැමීමේ මෙහෙයුමට ඉන්දියන් ආණ්‌ඩුව තැබූ නම ධචැර්එසදබ ඡදදප්ක්‌ස ය. පූමාලෙයි යනු මල් මාලයට කියන දෙමළ නම ය. 1987 වන විට කොටි සංවිධානය කල්තබාම ඉන්දියාවෙන් ලැබුණු යුද පුහුණුවේ සහ අවිවල බලයෙන් උතුරේ ප්‍රදේශ කිහිපයක්‌ අත්පත් කරගෙන සිටියේය. යාපනය නගරයද තිබුණේ ඔවුන් අතය. යාපනය කොටුව ඔවුන්ගේ යුද කඳවුරක්‌ විය.

1987 ජනවාරි අගවන විට ශ්‍රී ලංකා යුද හමුදාව යාපනය වට කරන්නට පටන් ගත්තේය. එය සිවිල් යුද තත්ත්වයකි. එහෙත් ඒ වචනය එකල භාවිතයේ නොතිබූ නිසා කවුරුත් එයට ත්‍රස්‌තවාදය යෑයි කීහ. යුද හමුදාව විසින් යාපනය වටලන ලද කල්හි දෙමළ ත්‍රස්‌තවාදීන් සමඟ විශාල සටනක්‌ හටගත් බැවින් ගොඩබිමින් සහ මුහුදින් කෙරුණ සැපයුම් මාර්ග සියල්ල ඇන හිටියේය. නගරයට විදුලි සැපයුම නැතිවිය. මිනිසුනට ආහාර නැති විය.

ළමයින්ට පාසල් යැම නැති විය. හමුදාව සහ කොටින් අතර ඇතිවූ වෙඩි හුවමාරුවලට මැදිවූ සිවිල් වැසියෝ බරපතළ තුවාල ලබා බෙහෙත් නැතිවම මිය ගියහ. එම අර්බුදයට මාස 5 ක්‌ සම්පූර්ණ වන විට රටේ දකුණු කොටසේ සිටි බලගතු දෙමළ ජන කොටස්‌ යාපනය අත්හරින ලෙස ෙ-. ආර්. ජයවර්ධන ආණ්‌ඩුවට බල කරන්නට වූහ. එය අසාර්ථක වූ විට ඉන්දියාවට ගිය ඔවුහු රජීව් ගාන්ධි හමුවී ශ්‍රී ලංකාව ආක්‍රමණය කර යාපනය සහ කොටි සංවිධානය බේරාදෙන ලෙස හඬා වැළපෙන්නට වූහ.

 

ඩික්‌සිත් සහ හමීඩ්

මේ අතර 1987 ජුනි 01 වැනිදා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස්‌ වූ ෙ-. එන්. ඩික්‌සිත් ඉන්දීය රජය එවූ ඡේද හතරකින් යුතු ඉතා හදිසි ලිපියක්‌ විදේශ ඇමැති ඒ. සී. එස්‌. හමීඩ් වෙත භාර දෙන ලදී. එහි මෙසේ සඳහන් වියá

“ගරු විදේශ ඇමැති තුමනි

යාපනයේ සිටින ජනතාව ඔවුන්ගේම ආණ්‌ඩුව (ලක්‌ රජය) විසින් කරනු ලැබූ වැටලීම නිසා ගතවූ මාස පහක්‌ තිස්‌සේ දුක්‌ විඳිති. “ඉවර කර දැමීමේ සටන” යනුවෙන් හඳුන්වන මිලිටරි ප්‍රහාරවල ගොදුරු බවට පත්ව සිටිති. ගුවනින් දමන බෝම්බ නිසාද බිම සිට එවන ෂෙල් වෙඩි නිසාද දහස්‌ ගණනක්‌ දැනටමත් මියගොස්‌ තිබෙන අතර තවත් සිය ගණනක්‌ මියයමින් සිටිති.

මේ දුක්‌ඛදායක තත්ත්වයට විසඳුමක්‌ වශයෙන්, රතු කුරුස සංවිධානය හරහා යාපනයට සහනාධාර තොගයක්‌ වහාම යවන ලෙස ඉන්දීය ජනතාව සහ ඉන්දීය රජය යෝජනා කර ඇත. මේ ආධාර තොගය 1987 ජුනි 3 වැනිදා මුහුදු මාර්ගයෙන් යාපනය නගරයට ළඟා වනවා ඇත. ආධාර සැපයීම සහ බෙදැහැරීම අධීක්‍ෂණය කිරීම සඳහා ඉන්දියානු රතු කුරුස සංවිධානය එන අතර එම අවස්‌ථාවට සහභාගි වන ලෙස ශ්‍රී ලංකාවේ රතු කුරුස සංවිධානයටද ආරාධනා කරනු ලැබේ. ඊට අමතරව දෙරටේම මාධ්‍ය කරුවන්ටද මෙම අවස්‌ථාව ආවරණය කිරීමට ඉඩ ලැබෙනවා ඇත.”

වහාම පිළිතුරක්‌

ඉහත සඳහන් ලිපියට පිළිතුරු වශයෙන් ලක්‌ රජය එදිනම පහත සඳහන් ලියෑවිල්ල යවන ලදී.

“ජුනි 1 දාතම යටතේ එවන ලද ලිපියේ සඳහන් සියලුම චෝදනා ශ්‍රී ලංකාවේ රජය මගින් ප්‍රතික්‍ෂේප කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ පවත්නා දුක්‌ඛදායක තත්ත්වය මෙතරම් දරුණු වූයේ ඉන්දියානු ජනරජයට අයත් ප්‍රාන්තයක්‌ වන තමිල්නාඩුවේ ආධාර නිසා බව මතක්‌ කරදෙන අතර, රට තුළ හටගන්නා ගැටලුවලට විසඳුම් ලබාදීමට ලක්‌ රජයට හැකියාව ඇති හෙයින් පිටස්‌තර ලෝකයෙන් ආධාර හෝ උපකාර අනවශ්‍ය බවද සඳහන් කරනු ලැබේ.

එහෙත් ඉන්දීය ජනතාව සහ රජය ශ්‍රී ලංකාවට ආධාර කිරීමට අපේක්‍ෂා කරන්නේ නම් යාපනයට එවීම බලාපොරොත්තුවන ආධාර භාර ගැනීම ගැන සලකා බැලීමට හැකි අතර එය පවා සිදුවන්නේ අසල්වැසි රාජ්‍ය සමඟ යහපත් සම්බන්ධයක්‌ පවත්වාගෙන යැමේ පදනම මත බව සඳහන් කරමු. ඉන්දියානු විදේශ අමාත්‍යාංශය මේ ලිපියට වහාම පිළිතුරු එවීය. එහි මෙසේ සඳහන් විය.

“ආධාර ලබා ගැනීමට එකඟ වීම ගැන ලක්‌ රජයට ස්‌තුතිය පළ කරමු. හදිසි අවශ්‍යතාව මත 1987 ජුනි 3 වැනිදා ඉන්දියාවේ රාමේෂ්වරම් වෙරළෙන් මෙම ආධාර බෝට්‌ටුවල පටවා එවීමට අදහස්‌ කෙරේ. ආධාර ක්‍රියාවලිය වාර්තා කරන ජාත්‍යන්තර මාධ්‍යකරුවන් කණ්‌ඩායමට එක්‌කර ගැනීම සඳහා ශ්‍රී ලාංකික නියෝජිතයකු වහාම නම් කරන ලෙසද මෙයින් ඉල්ලා සිටිමු.

හදිසි ලිපියක්‌

“ඉහත සඳහන් ලිපි සියල්ල හුවමාරු වන්නේ 1987 ජුනි 1 වැනිදාට අයත් පැය 24 ක කාලය තුළය. පසු දින එනම් ජුනි 2 වැනිදා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ඉන්දියානු අගමැති රජීව් ගාන්ධිට ‘හදිසි’ ලිපියක්‌ යෑවීය. එහි මෙසේ සඳහන් විය.

“අපට ඔබේ ආධාර භාර ගත හැක්‌කේ එය යාපනයේ වෙරළට නොව කෙළින්ම ලක්‌ රාජ්‍යයට භාර දෙන්නේ නම් පමණි. ඒවා ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය මගින් බෙදා හැරීමට හැකි අතර එම සංගමයට අයත් යාපනේ සාමාජිකයන්ට එම බෙදා හැරීම් කටයුතු වලට සහභාගි විය හැකිය.

එසේ නොවන මාර්ගවලින් අපට ආධාර ලබාදීමට උත්සාහ ගන්නේ නම් එය අපේ භෞමික අඛණ්‌ඩ තත්ත්වය සහ ස්‌වෛරීභාවය උල්ලංඝනය කිරීමක්‌ ලෙස සලකමු. ආධාර බෙදීමේ මුවාවෙන් මෙහි ඒමට නියමිත ඉන්දියානුවන් විශාල පිරිසක්‌ කොටින්ට ආධාර ලබා දීමට සිටින බවට දැනටමත් රටපුරා ආරංචියක්‌ පැතිර ගොස්‌ තිබේ. යාපනය අර්ධද්වීපය තුළ බඩු භාණ්‌ඩ හිඟයක්‌ නැති බව නැවත කියමු. ඉන්ධන සලාකය පවා ඉවත් කර ඇත.”

මේ අතර අම්පාරේදී කොටින් බසයකට තැබූ බෝම්බයකින් විශාල පිරිසක්‌ මිය ගියහ. ජුනි 2 වැනිදා ජනාධිපති ජයවර්ධන විසින් අගමැති රජිව් ගාන්ධිට ඒ බව දන්වන ලදී. අගමැති රජීව් එදිනම එයට පිළිතුරු එවමින් කනගාටුව පළකරන අතර ජුනි 3 වැනිදා (එනම් පසුදින) උදේ වරුවේ රාමේෂ්වරම් වෙතින් පිටත්වන ආධාර සහිත විශාල බෝට්‌ටු කිහිපයක්‌ යාපනේට කිලෝමීටර් 5 ක්‌ ඈතින් පිහිටි කල්මුණේ මුහුදු ප්‍රදේශයට ළඟවන බවත් එතැනින් එම බඩු කුඩා බෝට්‌ටු රැසකට පටවා යාපනයට එවන බවත් දැන්විය.

ඉන්දියන් යාත්‍රාවල ආගමනය

එහෙත් ජුනි 3 වැනිදා ටොන් 38 ක්‌ වූ එම ආධාර තොගය (මුං ඇට, කව්පි, කඩල, භූමිතෙල්, පාන්, සියඹලා, එළවළු, කිරිපිටි, හාල්, ලුණු, ගිනිපෙට්‌ටි යනාදිය රැගත් ඉන්දියන් යාත්‍රා ලංකා මුහුදු සීමාවට පැමිණි විට ලක්‌ රජයේ නියෝගය පරිදි නාවික හමුදාව විසින් ආපසු හරවා යවන ලදී. එයට හේතුව ආධාර භාරගත හැක්‌කේ ඒවා ඉන්දියන් රජයෙන් ලක්‌ රජයට භාර දෙන්නේ නම් පමණක්‌ බව (බෝට්‌ටුවලින් යාපනේ වෙරළට ආධාර එවන්නේ නැතිව ඒවා කොළඹ වරායට හෝ ලංකාවේ පිළිගත් ගුවන් තොටුපළකට එවන්නේනම් පමණක්‌ බව එහි අදහසය) ජනාධිපති ජයවර්ධන කල්තියාම රජිව් ගාන්ධිට දන්වා තිබීමය.

මේ නිසා ඉන්දියාව බලවත් සේ කෝප විය. ලංකාවෙන් දරුණු ලෙස පළිගන්නා බව ජේ. එන්. ඩික්‌සිත් තම මිතුරන්ට පැවැසීය. ජුනි 4 වැනිදා අලුයම 1 ට හදිසි රැස්‌වීමක්‌ කැඳවූ රජිව් ගාන්ධි යාපනය කොටි ග්‍රහණයෙන් ගැලවී ලක්‌ රජයේ ග්‍රහණයට යළි නතුවීමට කොටි සංවිධානය පරාජය වීමට ඉඩ දිය යුතුද යන්න තම රජයේ ඉහළ පෙළේ දේශපාලනඥයන්ගෙන් සහ ඉන්දීය රහස්‌ ඔත්තු සේවය වූ රෝ සංවිධානයේ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කළේය. එම රැස්‌වීම තුළදී ඉහත සඳහන් ප්‍රශ්නයට අදාළව මතභේද ඇතිවිය.

අවසානයේදී ඒ වනවිට ශ්‍රී ලංකාව භාරව සිටි රෝ සංවිධානයේ එස්‌. චන්ද්‍රසේකරන්ට කතා කළ අගමැති රජිව් ගාන්ධි මේ සම්බන්ධයෙන් එවකට තමිල්නාඩු මහ ඇමැති වූ එම්. ජී. රාමචන්ද්‍රන් දරන මතය කුමක්‌ දැයි විමසන ලෙස නියෝග කළේය. ඒ වන විට බරපතළ ලෙස රෝගීව සිටි මහලු රාමචන්ද්‍රන් ජුනි 4 වැනිදා උදේ 6 ට අවදි කරන ලදී. ඔහුගේ තදබල ඉල්ලීම වූයේ කොටින් පරාජය වීමට ඉඩනොදිය යුතු බවය. එල්.ටී.ඊ.ය ආරක්‍ෂා කළ යුතු බවද ඔහු තවදුරටත් කීවේය. එදිනම යාපනයට ගුවනින් ආධාර හෙලිය යුතු බව රජිව් ගාන්ධි තීන්දු කරන්නේ ඉන් පසුවය.

නට්‌වාර් සිං සහ තිලකරත්න

එදින සවස ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ බර්නාඩ් තිලකරත්න කැඳවූ ඉන්දීය විදේශ ඇමැති නට්‌වාර් සිං ඉදිරි විනාඩි 35 තුළ යාපනයට ගුවනින් ආධාර තොග හෙළන බව දැනුම් දුන්නේය. නට්‌වාර් සිංගේ දුරකථනයෙන්ම ලංකාවට කතා කළ තිලකරත්න සිදුවීමට යන දේ ලංකාවට දැනුම් දුන්නේය. ප්‍රංශයේ නිෂ්පාදිත ටිරාස්‌ ප්‍රහාරක යානා හතරක ආරක්‍ෂාව යටතේ සෝවියට්‌ භාණ්‌ඩ ප්‍රවාහන ගුවන් යානා හතරක්‌ මෙටි්‍රක්‌ ටොන් 25 ක බඩු තොගයක්‌ රැගෙන බැංගලෝර් ගුවන් තොටුපළෙන් නික්‌මී ඒ වනවිටත් ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටියේය. ඒවා සමඟ සටන් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක්‌ නොතිබිණි. එසේ කළේ නම් ඉන්දියාව ලංකාවෙන් භාගයක්‌ ගලවාගෙන යැමට ඉඩ තිබිණ. එසේ පැමිණි යානා අඩි 23000 ක උසක සිට අඩි 1500 ක උසකට පහත් කර පැරෂුට්‌ මගින් ආහාර තොග බිමට දැමුවේය. ඇමරිකාව මේ තත්ත්වය අර්ථකථනය කළේ මෙසේයá බෝම්බ හෙළීමට වඩා ආධාර හෙළීම යහපත්ය.

“ඉතින් එළිච්චිට මොකද වුණේ” ත්‍යාගරා- ශාන්ගේ ගැබ්බර මිතුරිය ගැන කල්පනා වූ බැවින් මම ඇසුවෙමි…”

“එයා වයසට ගිහින් මළා….. ඔහු කීවේය. “දැන් එයාගෙ පැටවුන්ගෙත් පැටවුන්ගෙත් පැටවු ඉන්නවා…..”

අනුර සොලමන්ස්‌

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි