නොඉඳුල් ජල ධාරාවෙන් අලංකෘත පීස්ස ඇල්ල සොය‌ා ගිය ගමන

දියඇල්ලක චමත්කාරය සැඟව පවතින්නේ ගලා හැලෙන දිය ප්‍රවාහයේ පමණක් නොවේ. ඒ අවට පරිසරය, සතා සියුපාවන් සහ ජන ජීවිතය ද එහි සොබා සෞන්දර්යය ඔපවත් කරන අංගයෝ වෙති. පසුගියදා පීස්ස දියඇල්ල නැරැඹීමට ගිය ගමනේ දී අපට මේ සියල්ල විඳගත හැකි විය.

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර මැතිවරණ කොට්ඨාසයේ පිහිටි මේ දියඇල්ලට ළඟා වීමේ පහසුම මඟ වැටී ඇත්තේ පස්සර සිට බිබිල දක්වා දිවෙන මාර්ගයේ ලුණුගලට ආසන්න ව පිහිටි 22 කණුවෙන් හැරී හොන්ටන් වතු යාය හරහා ඇති අතුරු පාරේ කි. මී. 6 ක් ගමන් කිරීමෙනි. ලුණුගල සිට පීස්සගම දක්වා බස් රථයක් ද ධාවනය කෙරේ. අප තෝරා ගත්තේ එයට වෙනස් දුෂ්කර මගකි.

ඒ බිබිල ප්‍රදේශයේ මැදගම සිට අතුරු පාරක කි. මී. 7 ක් දුර ගමන් කර කැන්දවින්න ගමට පැමිණ එහි වාහන නවතා අඩි පාරක් ඔස්සේ කඳු තරණය කිරීමෙනි. මේ මාර්ගයේ තාර දමා ඇත්තේ කැන්දවින්න දක්වා පමණි. මේ දුෂ්කර මාවතේ පියමං කිරීමෙන් අගනා සොබාදහම් අත්දැකීම් ලබාගත හැකි ය.

නගරයෙන් ඈත් වුණු මේ ගම්වැසියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැනයි. මඩ ගොවිතැන, ගොඩ ගොවිතැන සහ හේන් ගොවිතැන ද ඔවුහු කරති. අප ගමන් ගන්නා මාර්ගය කෙත් වතු, ගෙවතු සහ වන වදුලු ඔස්සේ වැටී ඇත. හේන් වගාව සඳහා භාවිත කර අත්හැර දැමු බිම්වල වනය නැවත පණ ගසා එන්නට වෙර දරයි. අඩි පාර අද්දර පිහිටි කොස් ගසින් බහුල පෙදෙසක දඬු ලේනුන් හා වඳුරන් කොස් අනුභව කරමින් සිටිනු දැකගත හැකි විය.

පීස්ස ඇල්ල ජලය අඩු කාලයේ

ඈතින් ඇසුණේ මාල ගිරා රෑනකගේ කරච්චලයකි. කෙත ඉස්මත්තේ නුග ගසක් මුල දේව දානයක් දුන් සලකුණු ය. අස්වැන්න කපා ගත් ඉක්බිති දෙවියන් උදෙසා කොටසක් එලෙස වෙන් කිරීම ඌවේ ගැමියන්ගේ සිරිතකි.

කඳු බෑවුම තරණය කරමින් ගමන් ගන්නා අපගේ දෙපයට වෙහෙස දැනෙයි. ඈතින් ලුණුගල ඉසව්වේ කඳුවැටි අප නෙත් මානයේ දිග හැරේ. කඳු බෑවුම්වල හෙල්මළු ක්‍රමයට සැකසූ ලියැදි අලංකාර දසුනක් මවා පායි. කුඹුරු යායේ තැනින් තැන දැකගත හැකි පැල්පත් රාත්‍රි කාලයට වගාව වනසීපාවන්ගෙන් රැක ගැනීමට තැනූ ඒවා ය.

කඳු අතරින් රිදී ගොබයක් සේ කඩා හැලෙනා පීස්ස ඇල්ල අලංකාර දර්ශනයක් මවා පෑවේ ය. මට දුරදක්නයෙන් එය පැහැදිලිව නැරැඹීමට උත්සාහ කළෙමි. අප මේ ගමන් කරනුයේ මොනරාගල දිස්ත්‍රික්කයේ සිට බදුල්ල දිස්ත්‍රික්කය වෙතට ය. පරිසරයේ වියළි ස්වභාවය තුරන් වෙමින් ගලා හැලෙන ජල මාර්ග බහුල විය. එයින් ඇඟවෙන්නේ අප බදුල්ල දිස්ත්‍රික්කයට අවතීර්ණ වී ඇති බව ය.

වැසි සමයේදී පීස්ස ඇල්ල

කඳු බෑවුමක් තරණය කළ අපි පීස්ස ගම්මානයට සේන්දු වුණෙමු. දියඇල්ල අසලට යාමට නම් මෙහි සිට තවත් කි. මී. 1.5 ක් පමණ පියමං කළ යුතු වේ. මේ ගම්මාන ආලෝකවත් වන්නේ ඇල්ලේ ජලය යොදා ඉදිකළ කුඩා විදුලි බලාගාරවලිනි. ඌව පළාතේ දියඇලි රැසක ජලය වියළි කාලයේදී අඩුවී ගිය ද පීස්ස ඇල්ල මාස 12 දීම ජලයෙන් පෝෂිතව කඩා හැලේ.

එය වර්ෂා කාලයේදී වඩාත් අලංකාරව දැකගත හැකිය. ලුණුගල කඳුවැටියේ එළමල්පොත ප්‍රදේශයෙන් ඇරැඹෙනා මේ ජල ප්‍රවාහය පසුව කුඹුක්කන් ඔයට එක් වී ඌව පළාත සරුසාර කරමින් ගලා ගොස් යාල වනයෙන් මහ සමුදුරට එක් වේ.

පීස්ස ඇල්ලේ ජලය විදුලිය නිපදවීමට මෙන් ම ගොවිතැන සඳහා ද උපයෝගී කර ගැනේ. පීස්ස ඇළ ඔස්සේ එසේ ජලය ලබාගෙන ඇත.

වන වදුලු අතරින් ගමන් කළ අපි දියඇල්ල ආසන්නයට පැමිණියෙමු. ගල් පර්වතයක් අතරින් මීටර 45 ක් උසැති සෘජු ප්‍රවාහයක් සේ ජල දහරාව කඩා හැලෙන්නේ අවට වාෂ්පයෙන් නහවමිනි. ගල් පර්වතවල නිතර ජලය තැවරීම නිසා දිය සෙවෙල් බැඳී ඒවා අඳා පිටක් සේ ලිස්සයි.

මේ නිසා ගලින් ගලට පැන යා යුත්තේ ප්‍රවේසමිනි. අප්‍රකටව සැඟවී ඇති නිසා මෙය නැරැඹීමට සංචාරකයන් පැමිණෙන්නේ කලාතුරකිනි. මේ නිසා අවට පරිසරය සුරැකී පවතින බව අපට දැකගත හැකි විය. තැන තැන දැමු පොලිතින් ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් මේ සුන්දර වටපිටාව අපවිත්‍ර වී නැත.

ලුණුගල කඳුවැටි අහස සිප ගන්නට මෙය ඉහළට ගොස් ඇති අන්දම අපට පෙනේ. සමහර කන්දක වනය දැක ගත හැක්කේ කඳු මුදුනේ පමණි. තේ වගා කිරීමෙන් පසු නිසරු වූ මුඩු බිම් ප්‍රදේශ අවලස්සන පදාස සේ තැන තැන දිස් වේ. සමහර කන්දක් තේ යායට යටව තිබේ. තවත් තැනක පයිනස් වන වගාවන්ය. දියඇල්ල අවට නෙල්ලි ගස් බහුලව පැතිර තිබේ. කුඹුක්, මිල්ල, මාදං, වෙලං, පලු වැනි ගස් ද අතු විහිදමින් ඉහළ නැග සිටී.

කඳු හරහා ගලා එන සුළං ප්‍රවාහය දියඇල්ලේ ජලය ඒ මේ අතර විසුරුවයි. එම ජල කෙඳි ප්‍රහාරවලට ලක්වන අප ගත පිනි බිඳුවලින් නැහැවෙයි. වෙහෙස පලා ගොස් අපූරු සිසිලසක් අපට දැනේ.

ඇල්ල පාමුල සිට නැවත කඳු බෑවුමක් තරණය කිරීමෙන් පීස්ස ඇල්ලේ ඉහළට පිවිසීමට පුළුවන. එහි ජලය කඩා හැලෙන ස්ථානයට ගොස් එබිකම් කිරීම නම් අනතුරකට අත වැනීමකි. ජල ඛාදනයට ලක්ව විවිධ ස්වරූප ගත් ගල් පර්වත මෙහි දී දැක ගැනීමට පුළුවන. පීස්ස ඇළට ජලය ලබා ගෙන ඇත්තේ ද ඇල්ලේ ඉහළින් වේල්ලක් නිර්මාණය කිරීමෙනි.

කේ. එස්. විජයවර්ධන