ඔබ මෙතෙක් නොඇසු ටී. එම්. ජයරත්නයන්ගේ ජීවිත කතාව

සියක් ආයු ලැබ – මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා
මෙතේ බුදුන් කල – ලොවේ උතුම් ළඳ
විශාඛාව වේවා

බෝ පත්වල සිලි සිලිය මැද පිරිත් හඬක් සේ ඇසෙන මේ සුන්දර ගීයේ තැවැරුණු අධ්‍යාත්මික සිසිලස ඔබේ හදටත් එලෙසම දැනේ ද? රඹුකන හිමියන්ගේ මේ උතුම් ප්‍රාර්ථනාව මධුර මෝහනීය හඬින් අපේ හදවත ඊයම් බරුවක් මෙන් කිඳා බැස්සේ ටී. එම්. ජයරත්නයන්ගේ ඒ ළයාන්විත ස්වරය වාහකයක් කැර ගනිමිනි. “අඳුරු කුටිය තුළ” “සැනසුම් සුසුමන් පාවීලා” “සෙවණේ කුඹුක් සෙවණේ” “කෝ මා පැතු ඔබෙ ආදරේ” වැනි ගී ආරකින් රසික හද වසඟයට පත් කළ ටී. එම්. ජයරත්න හෙවත් තෙන්නකෝන් මුදියන්සේලාගේ ජයරත්න ඇත්තටම තමන්ගේ මෑණියන් වෙනුවෙන් අසීමිත කැපවීම් කරන මිනිසෙකි.

තමන්ගේ ආයුෂත් ගෙන පරමායුෂත් ඉක්මවා ජීවත් වී අනාගතේ මෙතේ බුදුන් දවස විශාඛාවක් වන්නට හාමුදුරුවන් මෑණියන්ට කළ ප්‍රාර්ථනය මෙන්ම ඔහු ද මහත් බැතියෙන් එයම ප්‍රාර්ථනා කරයි. ඒ වෙනුවෙන් උදේ හවා වන්දනා කරයි. 70 දශකයේ සිට සහසක් ගී වැලින් අප මෝහනය කළ ටී. එම්. මෙසේ තම මව ගැන මතකය අවදි කරයි.

අනුරාධපුරයේ ශ්‍රාවස්තිය නිජබිම කරගත් අම්මා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෞද්ධ උවැසියක්. සුබසිංහ ආරච්චිලාගේ මේරි නෝනා නමින් ඇය නම්වර ලද්දා. වාරියපොළ ගම් පළාත කැර ගත් තෙන්නකෝන් මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා කියන්නේ මගේ අප්පච්චි. රජයේ විවිධ දෙපාර්තමේන්තුවල ව්‍යවස්ථාපිත මණ්ඩලවල ව්‍යාපෘති නිලධරයෙක් ලෙසයි රාජකාරි කළේ. අපෙ පවුලෙ වැඩිමලා මමයි. පවුලෙ දරුවන් 8 යි. ඒත් තුන්දෙනෙක් මේ වන විට ජීවතුන් අතර නෑ. තාත්තගෙ රැකියාව නිසා පළාතෙන් පළාතට මාරු වී ගියා.

මගෙ මුල්ම මතකය තියෙන්නෙ අපි නුවර ඉන්නා කාලෙ. නුවර දොඩන්වල පැරැණි වලව්වක් වගේ ගෙයක අපි කුලියට හිටියා. එතකොට පවුලෙ දරුවන් හැටියට හිටියෙ මායි, මල්ලියි නංගියි. අප්පච්චි අතට හම්බුවෙන මුදල අම්මට දීලා ගියාම අම්මා තමයි පිරිමහගෙන අපේ සියලු කටයුතු කරන්නෙ. අපේ ගේ තිබුණු ඉසව්වෙ කඩයක් පෙනෙන තෙක් මානයක නෑ. ඉලුක් මානා යායවල් දිගටම තියෙන්නෙ. ඉතාම දුෂ්කර පළාතක දරුවන් එක්ක තනිවුණු අම්මා අප්පච්චි දුන් සුළු මුදලින් පිරිමහගත්තත් දරිද්‍රතාව අපේ ගෙට උඩින් ආපු අවස්ථාත් තියෙනවා.

දරුවන්ගේ කුසගින්න අම්මා කෙනෙක්ට ඉවසන්න බෑ. මං හිතන්නෙ මාව නිර්මාණය කළෙත් අම්මාගේ ඒ අසීමිත ආදරය හා කුසගින්නමයි කියලා. දවසක් ගේ හරියෙ දරුවන්ට කන්ඩ දෙන්ඩ මුකුත්ම නැතිව මුට්ටි අත පත ගාලා හොයා ගත් හාල් ටිකක් ලිපේ තියලා රත් කළ අම්මා ඒ වත්ත පුරා පුංචි පුංචි ගස්වල කොළ අත ගගා ඇවිද්දා මතකයි. එහෙම සේර ගස්, තෘණ පඳුරු, අතගාගෙන යනකොට එක් ගසක කොළ ටිකක් කාලා අම්මා පැය භාගයක් පමණ වාඩිවෙලා හිටියා. ඊට පස්සෙ එකපාරටම ඉද්ද ගැසුවාක් වගෙ නැඟිට්ටා.

අර ගසේ කොළ ටිකක් කඩාගෙන ගෙට ගිහින් ඒකට රතුළූණු ආදිය දමලා පොල් කිරි දාලා හොද්දක් හැදුවා. උණු උණුවේ බත් ගුලි එක්ක මාත් අනික් පොඩි එවුනුත් ඒ හොද්දත් එක්ක බඩ පිරෙන්නම කෑවා. මං පස්සෙ කාලෙක කල්පනා කරලා බැලුවා ඇයි? අම්මා එහෙම ගස්වල කොළ අත ගාගෙන ගිහින් එක් ගසක කොළ ටිකක් කාලා ටිකක් වෙලා හිටියෙ කියලා. වස කොළයක් නම් ඉස්සෙල්ලම මැරෙන්නෙ ඇයනෙ. දරුවන් බේරෙනවනෙ. ඒක තමයි අම්මාවරුන්ගේ සෙනෙහස. දාරක පේ‍්‍රමය. පස්සෙ කාලෙක මා දැනගත්තා අර ගහේ කොළ “ගිරා පලා” කියලා.

ඊළඟට මගෙ මතකය එන්නෙ අපි නුවරින් ගිහින් කුරුණෑගල බෞද්ධාලෝක පාරෙ කුලී ගෙයකට ආපු වෙලාව. වරිච්චි බිත්ති කණු වගෙ බැඳපු පොල් අතු හෙවිලි කළ එක ළඟ පුංචි ගෙවල් දෙකක්. මේ කුඩා කුලී නිවහන් දෙකම අප ගත්තා ඉන්නා පවුල ලොකු වැඩියි. දරුවන් ඒ වන විට 6 දෙනෙක්වත් ඇති. අර ගේක දෙතුන් දෙනකුට වත් ඉන්ට බැරි තරම් පුංචියි.

ඊටත් ඉස්සෙල්ලා දොඩන්වෙල කනිෂ්ඨයට මා මුලකුරු කරන්ඩ අම්මා යැවු හැටි කියන්ඩ ඕනෑ. අප්පච්චි තමයි මාව ඉස්කෝලෙට ගිහින් දාන්නෙ. අම්මා අවශ්‍ය අඩුම කුඩුම සපයා දුන්නා. මට ඉස්කෝලේ ජීවිතේ අල්ලන්නෙම නෑ. මං හිටි ගමන් පංතියෙන් පැනලා කෙළින්ම දුන්නෙන් මිදුණු හීයක් වගේ පැනලා දුවලා ගෙදර එන්ඩ සැරසුණා. ටික දුරයි මට එහෙම දුවන්ඩ පුළුවන් වුණේ. දඬු කොල්ලො දෙන්නෙක් මා පසුපස හඹා ඇවිත් මාව (දෙන්නා දෙපැත්තෙන්) අත්දඬුවලින් අල්ලාගෙන නැවත ඉස්කෝලෙට ගෙන ගියා.

මේරි නෝනා මාතාව

මේක ආරංචි වුණාම අම්මා කීවෙ, පුතේ, අප්පච්චියි මායි නුඹලා වෙනුවෙන් කොච්චර දුක් විඳිනවා ද? අකුරු සෑස්තරේ නොගත්තොත් ඉතින්! කවරදා හරි නුඹලාත් හොරු මරන් කාවි කියලයි. ඊට පස්සෙ ශාන්ත අන්තෝනි (කටුගස්තොට) පාසලට ටික කලක් ගියා. කුරුණෑගලට ආපු කාලයෙදි අම්මා මාව ඇතුළු කළේ මලියදේව පිරිමි පාසලට. මගෙ සහෝදරියන් ගියෙ මලියදේව බාලිකාවට. මොන තරම් අමාරුකම් තිබුණත් ඒ අය අපව ඇරියෙ ඒ ඒ පළාතේ හොඳම ඉස්කෝලවලට.

මගෙ අම්මා කොහොමත් පන්සලට බොහොම ලැදියි. නුවරදිත් පුංචි පන්සලකට හරි ගිහින් වතාවත් බෝධි පූජා කටයුතු කළා. හැමදාම පන්සල් යන ගැහැනියක් කීවොත් ඔබ පුදුම වේවි. පුළුවන් තරම් දරුවන් ද සහභාගි කරගන්නවා ඒ පින්කම්වලට. ඉතාම රසවත්ව උයලා පිහලා කන්ඩ දීලා දරුවන් ඒවා කනවා බලා ඉඳලා සතුටු වෙන අම්මා කෑමට අදිමදි කළොත් “කන්ට බැරි යන්ට තමා” කියනවා. කොහොම හරි යමක් හරිගස්සලා බඩගිනි ඒමට කලින් අපට ගිල්ලවන්නයි අම්මා බලන්නෙ. ඕනෑම පවුලක මා හිතන්නෙ වැඩි වගකීම් එන්නෙ වැඩිමලාට. සුරතල් වෙන්නෙ බාලයා. මා වැඩිමල් පුතා නිසා අම්මා බොහෝ විට පන්සලට එක්ක යන්නෙත් මාවමයි. කඩපිලට යාම පවා සිදුවන්නේ මා අතින්.

මාසයකට වතාවක් කඩපිලට ගිහින් හාල් සේරු 25 ක් පිටි, සීනි, තේකොළ හා වෙනත් කළමනා රැගෙන බර බාගයකින් ගෙදරට බඩු ගෙන එන්නෙ මමයි. අම්මා මට කියලා තියෙනවා ඔය බර බඩු පොදිය කරත්තෙ දාගෙන සත 50 ක් දීලා එන්න කියලා. ඒත් අම්මා බත් ටික ලිපේ තියනකොට මිටක් වෙනත් මුට්ටියකට එකතු කරන පුරුද්ද දැකලා මාත් ඉතිරි කරන්න පුරුදු වුණා.

ඒ කාලේ තිබුණෙ තැපැල් කන්තෝරුවෙ මුද්දර පොත. මං අර විදියට කඩපිලට ගියාම කෙටි පාරකින් ටවුමෙ ඉඳන් වෙල් යායට පැනලා ගේ පිටුපසින් මතුවෙලා බඩු පොදිය ඔළුවෙ තියාගෙන ගෙදර ගෙන එන්නෙ. එතකොට කරත්තෙට ගෙවන සත 50 මට ඉතිරියි. පුංචි දවසෙ ඉඳන්ම මට අවශ්‍ය දේවල් මං සපයා ගන්න මහන්සි ගත්තෙ අම්මගෙ උදව්වටමයි. ඒත් අම්මා ඒ විදියට මා ඉතිරි කරන මුදල් ගත්තෙ නෑ. ඒවා මටම ඉතිරි කරගන්ඩ දුන්නා.

කුරුණෑගල – නුවර පාරේ ගොවිජන දෙපාර්තමේන්තුවෙ අප්පච්චි වැඩ කරන කාලෙ මට මතකයි මේ අනුවේදනීය සිදුවීම. අපෙ වත්තෙ කෙළවරේ වැට මායිමේ අපේ ලොකු නංගියි මද්දුමයාව හිටි සරෝජනී නංගියි, බාල නංගියි එහා වත්තෙ දරුවන් සමඟ කතා කැර කැර හිටියා. එතැනත් ගැහැනු ළමයිම තුන් දෙනෙක්. වත්තෙ මායිමෙ තිබුණු එහා වත්තේ පොල් ගහේ කඳ තරමක් අපේ වත්තට නැවිලයි තිබුණෙ. ඒකෙ ලොකු දෙබරයක් බැඳලා කිසිම ගස් නඟින්නෙකුට මේ ගහට නඟින්න බැරිවෙලා තිබුණා. කොළ අතු මැලවිලා තිබුණ මේ ගහේ කරවෙච්ච ගෙඩියක් සරෝජනී නංගිගේ ඔළුවට වැටිලා. මං දවල් බත් ටික කාලා අත සෝදගන්න හදනකොට මේ විලාපය ගේ පිටුපස්සෙන් ආවා.

අම්මා නංගි බදාගෙන අඬන සද්දෙ මට පුදුමාකාර වේදනාවක්. මං වේදනාවෙන් දඟලන ලේ වගුරන නංගිගේ හිස සහිත සිරුර ඔසවාගෙන අප්පච්චි වැඩ කරන තැනට දිව්වෙ පිස්සුවෙන් වගේ. අම්මත් විලාප දීගෙන මගෙ පස්සෙන් දුවගෙන ආවා. එතැන වාහන 4 ක් 5 ක් තිබුණා. අප්පච්චි වාහනයක් කතා කරගත්තා. නංගිවත් ඔඩොක්කුවෙ තියාගෙන අප්පච්චිත් ළඟින් වාඩි කරවාගෙන මං තමයි පිටුපස්සෙ අසුනෙ නංගිව තියාගෙන ගියේ. සිද්ධිය වෙලා විනාඩි 30 ක් ගියේ නෑ. නංගි අප අතරින් වියෝ වුණා. අම්මා ඒ තරම් මානසිකව කඩා වැටුණු මොහොතක් මට මතක නෑ. ඊට පස්සෙ කාලෙක බාල නංගී පිළිකාවකින් මියගිය වෙලාවෙත් අම්මා කම්පා වුණා. අම්මා තමන්ගේ දරුවන් මිය යනවා දුටු අම්මා කෙනෙක්.

ඇයි? පුතේ, මගෙ මරණෙ බලන්ඩ ඕනෑ උඹලා උඹලගෙ මරණ මට පෙන්නන්නෙ. අම්මා විලාප දිදී නංගිගේ නිසල සිරුර බදාගෙන ඇහුවා. සරෝජාගේ මරණය අම්මා තවත් බෞද්ධ කළා. ඇය හිත සමන් කරගන්න පන්සලේ බුදු කුටියෙම රැඳුණා. අම්මා කොයිතරම් සුපේශල ශික්ෂාකාමී කාන්තාවක් වුණත් මාත් දඟ නොකළෙම නෑ. අපෙ ලොකු අම්මගෙ පුතා එක්ක මාත් හොර කුරුම්බා කැඩුවා. එයා තමයි නඩේ ගුරා. ඇළේ දොළේ තෙප්පම් පැද්දා. නොයෙක් වැරැදි වැඩ කළා.

එක පාරක් එහෙම වතු පාළු කරලා තියෙන්නෙ අප්පච්චි ඉතාම ගරු කරන ගාලු මහත්තයා කියලා කෙනෙකුගෙ වත්තකයි. අප පැනලා දුවලා බේරුණත් වත්ත බලා ගත්ත පුද්ගලයා අපව එළවාගෙන ආවා. අඩි 3 ක් පැනගන්න බැරි මං එදා අඩි 6 ක් විතර උස වැටක් පැනලා දිව්වා. ඒත් මිනිහා අපව හඳුනාගෙන අප්පච්චිට කීවා. අප්පච්චි සාමාන්‍යයෙන් දඬුවම් කළ කෙනෙක් නොවේ. අම්මා තමයි සැර. අම්මට මේක අප්පච්චි කීවාම ඇය වරම ගත්ත කපු හාමිනේ වගේ වුණා. මට එතකොට වයස 15 ක් විතර ඇති.

ඇය මාව ලොකු කඹයකින් වෙළුවා. හැබැයි! මේ වෙළුම මට සැණෙකින් ගලවාගන්ඩ පුළුවන්. මාව බැන්දෙත් අර වරිච්චි ගෙදර කණුවක. ඒ වෙළුම කණුවත් ගලවාගෙන නැඟිටින්න පුළුවන් ශක්තියක් මට තිබුණත් අම්මගෙ ඒ දඬුවමට මං ගරු කරලා ඒ පිල උඩ මා දඬුවම විඳිමින් හිටියා. පහළ ගෙදර ළමයෙක් එනකොට මං ලජ්ජාවෙන් බිම බලාගත්තා මතකයි. දැන් දඬුවම ක්‍රියාත්මකයි. පැය 2 – 3 ක් ගියා. අම්මා රැහැන ගලවන පාටක් නෑ. ඇය දවල් බත උයලා මට බත් බෙදලා මේ වෙළුම ගලවන්න හිතනවා ඇති. ඒත් මට ඉන්ඩ බෑ. මං වෙළුම් පටි ගලවාගෙන කඹය එතැනම දාලා ගෙදරින් පැනලා ආයිත් ගමේ රවුම් ගහන්ඩ ගියා. ඇය බත් උයලා මට කන්ඩ කියන්ඩ එනකොට මං එතැන නෑ. හවස් වෙනකොට අම්මා මේවා අමතක කරලා දාන බවත් මං දන්නවා.

අපෙ අම්මා අප්පච්චිටත් අපටත් ආදරෙයි. ඒත් එයාගෙ ප්‍රධානම පුද්ගලයා තමයි ලොකු අම්මා. බෞද්ධලෝක විහාරෙ ප්‍රධාන දායිකාවත් ලොකු අම්මා. ඕනෑම ප්‍රශ්නයකදී ලොකු අම්මාගේ උපදෙසත් අම්මා පතනවා. ලොකු අම්මා අපට අරන් දුන්නු පර්චස් 20 ක ඉඩම හා ගෙය මාස්පතා කුලියට දීලා රුපියල් 120 ක් අරන් රුපියල් 12 ට කුලී ගෙවල්වල අප හිටියෙ වියදම් පිරිමහගන්න. ලොකු අම්මා හිටියෙත් අපේ ගෙවල්වලට කිලෝ මීටර් 1/2 ක් විතර දුර. ඒ නිසා අම්මා නිතර එහි දිව්වෙ ගෙදරට ඇඳගෙන ඉන්නා කිමෝනාවට උඩින් සාරියක් පටලවාගෙන. අලුත් අවුරුද්දට හරියට වැඩ අල්ලලා දවල් බතට අපවත් රැගෙන අම්මා යන්නෙ ලොකු අම්මලයි ගෙදර. එතැන තමයි නියම සංස්කෘතික මංගල්ලය. ඒ අයට පර්ජෝ හොඳ කන්ඩිෂන් වාහන පවා තිබුණා. අපි වන්දනාවේ ගියත් ඒ යන්නෙ ලොකු අම්මා එක්ක. ඒ වාහනයකින්. ඒ කාලෙ රුපියල් 3500 කට ඒ වාහනය අරගෙන තිබුණෙ.

ඇත්තටම අපේ අම්මා ළඟ කිසිම සෞන්දර්යයක් නෑෑ. ගී සින්දු කියන්නෙත් නෑ. අප්පච්චි නම් ඉඳහිට සවසක ගෙදර සින්දුවක් කියනවා. අම්මා එදාට “අද එහෙනම් අප්පච්චි ටිකක් ගාගෙන ඇවිත් තියෙන්නෙ” කියනවා. ඒත් අම්මා කියන ඇතැම් කතාවන් මගේ හිත අවදි කළා. ඇය තුළ වූ අපිරිමිත කරුණා ගුණය, ඉවසීම, නොපසුබස්නා උත්සාහය මගේ ජීවිතයත් හැඩ කළා. නවයාලතැන්නෙ ඉන්නා දවස්වල තමයි මං හිතන්නෙ මගෙ ගීතවත් බස, අපේකම, ජනනාද රටා නැඟෙන්නෙ. කුඹුරු, නියර, වක්කඩ, අම්බරුවන් අපට පෙනෙනවා.

සීසාන හැටි, පෝරු ගාන හැටි, අඬහැරය මගෙ හිතට අලුත් හැඟුම් ගෙනාවෙ මේ දවස්වල. සමහර විට අප දන්නා ගමේ වැඩිහිටියෙක් උස් හඬින් “කොලුවො මේ නඟුලෙ නැඟපන්” කියනවා. මං අම්මා දිහා බැලුවාම අම්මත් ඒක අනුමත කරනවා. මං දුවලා ගිහින් නඟුලෙ එල් හැඩයට තියෙන එකේ ඉඳගන්නවා. රිවර්ස් එකට යන්නෙ. මේ පෝරුවෙන් උඩ තියෙන නිසරු පස යටට පෙරළලා යට තිබෙන සරු පස ඉහළට පෙරළීමයි සිදුවන්නෙ.

අම්මා අපට කෙළින්ම කියා දුන්නෙ නැති වුණත් ජීවිතයත් එහෙම සකසා ගන්න ඒ සිදුවීමෙන් අපට යටි පෙළක් මැවුණා. නිසරු දේ අත්හැරලා සරු දේ අල්ලාගන්න ඇය මට අත්වැලක් වුණේ ඒ පිළිබඳ එසේ කියා දෙමින්. මං දොඩන්වල විද්‍යාලෙ පියානෝ පන්තිවලට සහභාගි වෙලා ඉංගිරිසි ගීත පුරුදු වුණා.කුරුණෑගල මලියදේවයට එනකොට යම් යම් ගී තරගවලට සහභාගි වෙලා පළමුවැනි ස්ථානය දිනාගත්තා.

මට ශ්‍රැතියට අපේකමට ගී කියන්න පුළුවන්කම ලැබුණේ මලියදේවයේදී. ඉස්කෝලෙ නියෝජනය කළ තරගවලින් දිනනකොට මට හිතුණා දිගටම ගයන්න. ඒත් අම්මා මේවා ගැන එතරම් උනන්දු නෑ.

ඇය මා කරන හැම දේටම උදව් කරන පදනමින් මා සමඟ හිටියා මිසක් ඒවා ගැන ඇයට දැනුම් තේරුමක් තිබුණෙත් නෑ. ඒ කාලෙ රේඩියෝ සිලෝන් එකේ “ආධුනික පැය” වැඩ සටහනක් යනවා. අපේ ගෙදර තිබුණා පරණ තාලේ ලොකු රේඩියෝ එකක්. මං ඒ වැඩසටහනට ගීතයක් ඉදිරිපත් කරන්න කැමැතියි කියලා ලීවා. අවස්ථාව ලැබුණා.

දැන් ගීතය මමම ලියාගත්තා. තනුවත් මගේ. ඈත ඈත ගුවන් තලේ… කියලා පටන් ගත්තෙ මහා දිගට ලියාගෙන. “එන්න මදනලේ” ජනපි‍්‍රය ගීතයට කිට්ටුව කොපි රයිටින් කළේ. මට ගීතය පටිගත කරන්ඩ පරීක්ෂණයට එන්ඩ කියලා ලිපියක් ආවා.

ඊට පෙරදා මං අම්මට කීවා අම්මෙ මං උදේ බස් එකේ යනවා රේඩියෝ සිලෝන් එකේ සින්දුවක් කියන්ඩ කියලා. ආ ඇත්තද? හොඳයි තුනුරුවන් සරණයි අම්මා කීවේ එච්චරයි. මං ගිහින් ඇවිත් අම්මට කීවා අහවල් දවසෙ අහවල් පැයට මගෙ සින්දුව යනවා කියලා. එදා අර ගීතය හොඳින් ගායනා කළ බව මට මතකයි. අර දිගට තිබුණු පදවැල මං එතැනදි කොට කරගත්තා.

අම්මා එදින වේල පහින් උයලා පිහලා ලෑස්ති වෙලා ඉන්නවා දැන් සින්දුව අහන්න. නංගිලාත් බලා ඉන්නවා. අප්පච්චිත් එදා ගෙදර. හරියටම ඒ කිව්ව වෙලාවට දැන් මාත් කන් යොමාගෙන ඉන්නෙ සින්දුව යනකම්. මෙන්න! මොකක්දෝ බහුබූතයක් යනවා.

ඈ කොලුවො, උඹේ සින්දුව නැත්ද? අම්මා අහනවා. අප්පච්චිත් මගේ දිහා බලනවා. මං ඉතින්! මට දිනය මතක නෑ අම්මේ. මට වරදින්න ඇති කියලා එතැනින් මාරු වුණා.

දවසක් මං අලුතින් ගත්ත “පයිලට් පෑනක්” නැතිවෙලා ගෙදර අඬනකොට අම්මා කීවා පුතේ සොයන්නාට සම්බවේ කියලා කියමනක් තිබෙනවානේ. පලයන් උඹ ආ ගිය තැන් දිගේ පෑන හමුවේවි කියලා. මාත් එහෙම ආ පාර දිගේ ගියාම හරියට ඇළ ඉවුරෙ තණ බිස්ස උඩ පෑන උඩු අතට තියෙනවා. අම්මා කලබල නෑ. හරිම ප්‍රායෝගිකයි.

මං 1966 සැප්තැම්බර් 07 දින ගුරු පත්වීමක් ලබනවා සංගීත ගුරුවරයකු වශයෙන්. රාජගිරියෙ හේවාවිතාරණ විද්‍යාලයට. ඒ වසරෙම විභාගයට ලියලා දෙසැම්බරයේ ඉස්කෝලෙන් පිටවී යන මාලිනි මට හමුවන්නෙ එහිදී. ඒත් එයා මගේ ගෝලයෙක් නම් නොවේ. විදුහල් ගීය පුරුදු වෙන්න නම් ළමයි ගොඩාක් එක්ක මා ළඟට ආවා. කොහොමහරි එයා මගේ ජීවන ගීතයේ කොටස්කාරිය කරගන්න හිතලා මං ගමට ගියාම අම්මට කෙළින්ම කිවා මේ ගැන. අම්මා ළමයා බලන්ඩ යන්ඩ යෝජනා කළා. අප්පච්චි ඒ කාලෙ විශ්‍රාමිකයෙක්. කුරුණෑගල දඹුලු පාරේ හිටි එන්. එම්. අප්පුහාමි සත්‍යවාදී බස් සමාගමේ අධිපති අප්පච්චිගේ හිතවතෙක්. එතුමා එහි ඇවිත් වැඩ ටිකක් බලන්ඩ කියලා තිබුණු වෙලාව. එහෙම කියලා තිබුණෙත් අප්පච්චිගෙ අතට කීයක් හරි දෙන්ඩ ඕනැ නිසයි. එතුමාගේ කාරයෙන් අපි ගියා මාලිනි බලන්ඩ. බලපු ගමන් අම්මා කීවේ පුතේ, මේ දුව හොඳයි කියල. ඇයට කවදත් මගේ බිරිඳ ලේලියක් නොවේ. දුවක්මයි. එයත් එහෙමයි අම්මට සලකන්නෙ.

අප කාගේත් විවාහ කටයුතුවලදී අම්මා නිදහස දුන්නා. මේ කාලයේ ගීතය පිළිබඳ මගේ උනන්දුවත් වැඩි වෙනවා. සී. ද එස්. කුලතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන්විදුලියේ පැවැති ජන සංගීත පර්යේෂණ අංශය හරහා මා ගීත කිහිපයක් රටට දුන්නා. “ගාන තෙල් සඳුන් වරලස” එවැනි ගීයක්. අනතුරුව 80 දශකය වන විට මට විශාල වශයෙන් ජනපි‍්‍රයත්වය ළඟා වුණා. මට දහසින් බැඳි පියලි හමුවුණත් මුදල් ගලා ආවත් මගේ හිත හැම තිස්සෙම පිරුණෙ අම්මත් එක්ක ගත කළ ඒ හෝරා කීපයේදී විතරයි.

මගෙ නෝනත් දරුවොත් මට හොඳින් සලකනවා. ඔවුන් මා ගෙදරදි උඩ තට්ටුවට ගිහින් පහළ එන්නට තරමක් පමා වුණත් සොයා බලනවා. ඉසුරු ජයරත්න මගේ පුතා ආරක්ෂක විද්‍යාලයේ අද සේවය කරන්නෙ. දුව රවීන්ද්‍ර රෝෂණි. බෑනා සංජීව තඹවිට (ෆිනෑන්ස් සමාගමක සේවය කරන) මට ඒ දයාව ආදරය නොඅඩුවම බෙදනවා.

මං දන්නවා පහුගිය කාලෙ මගෙ දරු පැටවුන්ට අවශ්‍ය සම්පත් මා සපයා දුන්නත් ඒවා කළමනාකරණය කළේ මගෙ බිරිඳ. මා ගෙදර නැති වුණත් මා සිටිනා ඉසව්ව දිහා බලලා ඒ පැත්තට වන්දනා කරලා නිදාගන්න මගෙ බිරිය දරුවන්ට උගන්වනවා.

කොච්චර හරි හම්බ කළත්, අම්මා ඉන්දියාවේ වන්දනාවේ යවා පින්කම් කළත්, මාසයකට වතාවක් ඇයට අවශ්‍ය බේත් හේත් කිරිපිටි ආදිය මොනවා ගෙන ගියත් ඇය අදත් ඉන්නෙ පොඩි මල්ලි ළඟ. පොඩි මල්ලි විවාහකයෙක් වුණත් එයාගෙ නෝනා අද නෑ. දරුවාත් සමඟ ඒ ගෙදර මිත්තණියව අම්මා ආහාරපාන පවා හදවා ගත්තේ වෙනත් කාන්තාවකගේ ආධාරයෙන්. අප්පච්චිගෙ විශ්‍රාම වැටුප අම්මට අදත් ලැබෙනවා.

ඇත්තටම මේ අම්මා අද ඉන්න ඕනෑ මා ළඟයි. ඇයට මගෙ බිරිඳ හොඳින් සලකනවා. වෙනත් අයකුගේ පිහිට අවශ්‍ය නෑ. ඒත් අම්මා බාල මල්ලි ළඟම ඉන්නෙ කොළඹ අපේ ජීවිතය එයාට කරදරයක් නිසයි. අපෙ අම්මා කැමැති ගමේ වෙල් එළියෙ, ගමේ මිනිසුන් අතර කතාබහ කරමින් කොන්ක්‍රීට් වනාන්තරයෙන් එපිට ජීවත්වන්නයි. ඒකයි ඇය යාපහුවෙ අදත් ජීවත්වන්නෙ. ඇයගේ ඉඳුම්හිටුම් කෑම් බීම් සියල්ල සඳහා මා බරපැන දැරුවත් ඇය මගේ ගෙදර ආවාම ගෙදර යන්නමයි සූදානම. ඒකට හේතුව ඒ අය පරිසරය වෙනස් කරන්න කැමැති නෑ. දරුවන් අතර අමාරුවෙන් ජීවත්වන දරුවා ළඟ ජීවත්වන්න අම්මාවරුන් කැමැතියි. මගේ අම්මත් එහෙම කෙනෙක්.

මා බණ දහම් ගැන උනන්දුයි. නිවන අල්ලන්න බෑ. ඒක තේරුම් ගන්න ඕනෑ. මං අම්මට මේ විදිහට බණ කතා කිව්වම ඇය කිව්වේ උඹ ගිය ආත්මෙ හාමුදුරුනමක් වෙන්න ඇති කියලයි.

ටී. එම්. හැම උදේම අම්මා සමඟ කුඩා කලදි ඔහු පෙනී සිටි තම ගෙදර ඉහළ මාලයේ එල්ලා ඇති ඡායාරූපය ඉදිරියේ උක්කුටිකව මොහොතක් සමාධිගතව සිටින්නේ අම්මා තමා ළඟ නිතරම නැති පශ්චාත්තාපය වෙනුවෙනැයි මම සිතමි. බිරිය ශල්‍යකර්ම දෙකකට භාජනය නොවන්නට ටී. එම්. වනගත හුදෙකලා තපෝ බිමක යෝගාවචරයකු වන්නට බැරි නැත. ඔහුගේ වදනේ යටිපෙළ ශෝකලාපය මට පැවැසූයේ මේ ටිකය.

උපාලි සමරසිංහ

ඡායා – නිශ්ශංක විජේරත්න

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි