යාල මහ වන මැද තිබෙන බුදුන්ගේ රහස කුමක්‌ද?

බුදුන්වහන්සේ ලංකාවට වැඩමවීම සනාථ වන මූලාශ්‍ර ගණනාවකි. මහාවංශය, දිව්‍යාවදානය නමැති සංස්‌කෘත මහායාන ග්‍රන්ථය, අග්නිදිග ලංකාවේ සෙල්ලිපි (යාල), ලාහුගල අසල නීලගිරියේ ගල කෙටූ කැටයම් වලින් තිවංක පිළිම ගෙයි (පොළොන්නරු) බිතුසිතුවම්වලින් ආදී ලෙස විවිධ සාක්‍ෂි ඊට ඉදිරිපත් කළ හැක.

වර්තමානයේ අප සිතාගෙන සිටින්නේ මේ කොළඹට නුදුරු කැලණි ගඟබඩ පිහිටි කැලණියට බුදුන් තුන්වැනි වර වැඩම කළ බවය. මෙය හුදු සිතුවිල්ලක්‌ මිස කිසිම පුරාවිද්‍යා හෝ සාහිත්‍යමය සාක්‍ෂියකින් සනාථ වන්නක්‌ නොවේ. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව එම කැලණිය අග්නිදිග ලංකාවේ පොතුවිල හා එරගම බොක්‌ක (අරුගම්බේ) අසල විය යුතුය.

කළණික නුවර – කලණික නුවර නමැති නගරයක්‌ හා කාලායන තණ්‌ණික දේශය යනුවෙන් ප්‍රදේශයක්‌ද පැරණි ලේඛනවල සඳහන් වේ. එමෙන්ම මුහුදට ගිලී ගිය කැලණි වරායක්‌ සහිත කැලණි පුරයක්‌ ගැන ඊජිප්තුවේ ඇලෙක්‌සැන්ඩි්‍රයා ජාතික කෞතුකාගාර ලේඛනවල දැකීමට පුළුවන. නාවුක ශිල්ප ඉගැන්වූ යම් අධ්‍යාපන ආයතනයක්‌ කැලණි වරාය ආශ්‍රිතව තිබූ බව ඇලෙක්‌සැන්ඩි්‍රයා ලේඛනවල සඳහන් වේ.

මේ පොතුවිලට යාබද ශාස්‌ත්‍රවෙල බව මහාචාර්ය බන්දුසේන ගුණසේකර විසින් පෙන්වා දෙන අතර ඇලෙක්‌සැන්ඩි්‍රයා ලේඛන අනුව නම් නාවුක විශ්වවිද්‍යාලයක්‌ බව එත්තුගත හැක. එබඳු ලොව අනික්‌ එකම නාවුක විශ්වවිද්‍යාලය ඇලෙක්‌සැන්ඩි්‍රයාවේ විය. ටොලමිගේ ලංකාව සහිත ලෝක සිතියමද එහි සකස්‌ වූවකි.

හෙන්රි පාකර්, මහාචාර්ය සිරිමල් රණවැල්ල, මහාචාර්ය බන්දුසේන ගුණසේකර හා ආචාර්ය විමල විෙ-සූරිය පෙන්වා දෙන පරිදි පැරණි කැලණිය පිහිටියේ හැඩඔය මුහුදට වැටෙන මෝය ආශ්‍රිතව පොතුවිලට නුදුරිනි. ලංකාවේ වැව් ශිෂ්ටාචාරයට ප්‍රථම ගංගානිම්න ජනාවාස පැවති අවධියයි. හැඩඔය පහළ නිම්නයේ ජනාවාසයන්හි නගරය කැලණිය විය. මෙය වෙළෙඳ නගරයකි. එමෙන්ම විශාල වරායකි. දිව්‍යාවදානය ග්‍රන්ථය පවසන පරිදි බුදුන් නැවෙන් වැඩම කළේ සක්‌කරසොබ්බ (හකුරු හොබ) වරායටය. මෙයද හඳුනාගත නොහැක.

වත්මන් කැලණියේ ආරම්භය – වර්තමාන කැලණිය ගැන මහවංශයේ සඳහන් වන්නේ අමුතුම තොරතුරකි. පොලොන්නරුවේ නිශ්ශංකමල්ල (කීර්ති නිශ්ශංක) රජුගේ බිසව වන කල්‍යාණවතී හය අවුරුද්දක්‌ නිශ්ශංකමල්ලට පසුව රජකම් කළ අතර පණිශාලත නම් ගමෙහි තමාගේ නමින් (කල්‍යාණි) වෙහෙරක්‌ කරවූ බවය. ඊට ගම් නතුකරදී, ගම්කෙත්, පිරිකර, මෙහෙකරුවන් හා උද්‍යානයක්‌ ද පූජා කරන ලදී. පොළොන්නරුවේ රැජිනක්‌ කොලොම් තොටට නුදුරුව විශාල චෛත්‍යයක්‌ ඉදිකළේ ඇයිද යනු විස්‌තර කර නැත. මෙය සුවිශේෂී සිද්ධියකි.

නිශ්ශංක මල්ල කාලිංගයෙහි නාග වංශිකයකු නිසා කල්‍යාණවතීද එම ජාතිගෝත්‍ර ඇතුළු වන්නට පුළුවන. මෙම කැලණිය බටහිර වෙරළේ ගංගාවක්‌ හා වරායක්‌ ඇසුරු කර ඉදිවිය. පාලි බසින් පණිශාලක වී ඇත්තේ හෙළ බසින් පැන්සැල විය හැක. කැලණි ගඟ අසල උස්‌ බිමෙක කැලණි වෙහෙර පිහිටා ඇති අතර එය ගඟේ පිටාර ගැලීම්වලට යට නොවේ. නිරිතදිග මෝසම් මහ වැහි එන මැයි ජුනි මාසවල කැලණි ගඟ පිටාර ගලයි. මෙකල පානීය ජලය නැතිවන අතර පානීය ජලය (පැන්) ගබඩා කළ විශාල භාජන සහිත ශාලාවක්‌ මෙහි තිබීමෙන් පැන්සැල වූවා විය හැක.

විජයාගමනයට පෙර නාග රාජධානි – විජයාගමනයට පළමුව ලංකාවේ ගිනිකොන දිග සහ උතුරු හා වයඹ ප්‍රදේශවල නාග රාජධානි දෙකක්‌ විය. මහාවංශය පවසන්නේ බුදුන් දෙවැනිවර යාපනය අර්ධද්වීපය තුළ හෝ ඒ අසල වූ දූපතකට (නාග දිවයින – නාගදීප) වැඩමකළ බවය. ඒ චුලෝදර මහෝදර නාරජුන් යුද වැදීම නැවැත්වීමටය. සමුද්‍ර නාගයන් හා පර්වත නාගයන් ලෙස නාගයන් දෙකොටසක්‌ වූ බව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ කරුණු සහිතව විස්‌තර කරති.

රට අභ්‍යන්තරයෙහි පර්වත නාගයන්ගේ සෙල්ලිපි දකිත හැක. ගිනිකොණදිග එකම නාග රජ පෙළපතෙහි නාවුක ප්‍රධානි උපරාජ නාග කැඩී ගොස්‌ මැණික්‌ ගඟබඩ කතරගම රජ පවුල (කාවන්තිස්‌ස පරපුර මෙයයි) පිහිටුවීම සෙල්ලිපිවල දැක්‌වේ. මේ නිසා දේවානම්පියතිස්‌ස රජුගේ බාල සහෝදර මහනාග යුවරජු විසින් මාගම රජ පරපුර පිහිටුවූයේය යන මහාවංශ ප්‍රවෘත්තිය නිශ්ප්‍රභවේ. සෙල්ලිපිය සමකාලීනව කෙටුන අතර මහාවංශය එම සිද්ධියෙන් වසර 800 ට පමණ පසු ලියෑවිණ.

නාගයෝ කවරහුද? – නාÝආග}නාග යනු ගිය පාරක්‌ හෝ ආ පාරක්‌ නැති ජල යාත්‍රිකයන්ය. ලංකාවේ නාග රාජධානි දෙකෙහි විසුවේ සමුද්‍ර යාන්ත්‍රික වෙළෙඳුන්ය. මෙම නාග රජවරුන්ගෙන් හමුවන පැරණිම “මහරජු” පනිත නම් වේ. ඔහුගේ සෙල්ලිපි ගල්ගමුව, මිහින්තලය, සිතුල්පව්ව හා කඩුවෙල කොරතොට යන ස්‌ථානවල හමුවීම නිසා මුළු රටේම රජු බව (මහරජු) පිළිගත හැක. බුදුන් ප්‍රථම වරට ලංකාවට වැඩම කළේ මහියංගණය අසල “මහානාග” නමැති නාග වනෝද්‍යානයටය. ඒ යකුන්ගේ නිශාචර (රාත්‍රි) රැස්‌වීම අවස්‌ථාවේදීය.

මෙනිසා නාගයන් හා යකුන් සහයෝගයෙන් ජීවත් වූ බව පෙනී යයි. සෙල්ලිපිවලට අනුව ලොව මහා නැව් සමාගම් 4 ක්‌ මෙම නාගයන් සතුවිය. මඩුකසලිය ප්‍රගියන, තුබදවසර ප්‍රගියන, අලිපවත මහා ප්‍රගියන, කාම්බෝජ ප්‍රගියන (ප්‍රගියන}සමාගම ඤරචදර්එසදබ) ඒවා වෙති. චීන වාර්තා අනුව මධුකසලිය ප්‍රගියන සමාගමේ අඩි 350 දිග තට්‌ටු තුනකින් යුතු නැව් විය. මෙනිසාම ඈත පෙරදිග හා මැද පෙරදිගත් අප්‍රිකාවත් අතර මුහුදු වෙළෙඳාම්වල විශාලම බලය නාගයන් වූහ. මැණික්‌ වෙළෙ\මෙහි ඒකාධිකාරය ඔවුන් සතුවිය. නාගයනුත්, කැලණි නුවරත්, මැණික්‌ වෙළෙ\මත්, නැව් සමාගමුත්, කාලායන කණ්‌ණික දේශයත් එකම සංකීර්ණයක්‌ විය.

ලාහුගල නීලගිරි චෛත්‍යයට ඔබ්බෙන් ඇති නීලගිරි හෙළ ආශ්‍රිතව මහා නගරයක නටබුන් ඇති අතර ඒවා පුරාවිද්‍යාව දැක නැත්තේ විජයාවතරණයට පළමු යුගයට ඒවා අයත් නිසාය. යාල වනාන්තරය තුළ ඇති බෝවත්තාගල (සදුන්ගම) හා කොටාදැවූ හෙළ ආශ්‍රිතවද එබඳුම නටබුන් නගර ඇත. අනුරාධපුර සිට අරිප්පු දක්‌වා (මන්නාරමට දකුණෙන් ඇති) මාර්ගය නිර්මාණය කළ මේජර් ස්‌කිනර් පවසන පරිදි මහත් වූ ඓශ්චර්යයෙන් යුතු පැරණි ශිෂ්ටාචාරයක නටබුන් මහවිලච්චිය සිට අරිප්පු අතර ඇත. මෙය විල්පත්තු වනෝද්‍යානය ලෙස වසා දමා ඇත. ලංකාවේ ප්‍රධාන ශක්‌ති කලාප දෙක වන යාල හා විල්පත්තුව වනෝද්‍යාන ලෙස වසා මළ මිනියේ ඔළුව දැමීමට පමණක්‌ සුදුසු බස්‌නාහිර පළාත සංවර්ධනය කෙරේ.

ඇලෙක්‌සැන්ඩි්‍රයා නාවුක විශ්වවිද්‍යාලයේ ඇති තොරතුරු අනුව මුහුද ගොඩගලා ගොඩබිම මුහුදට ගිලා බැසීමෙන් කැලණි වරාය, නගරය, මාලිගා හා ගොඩනැගිලි, නැව් හමුදාවන් සියල්ල විනාශ වී ගියේය. ලොව පළමුවෙන් ඇතිවූ මහා ශිෂ්ටාචාරයන් වන බැබිලෝනියන් හා සුමේරියන් ඇතුළු මෙසපොටේමියාව, ඊජිප්තු නයිල් (නිල් නදී) ශිෂ්ටාචාර මෙන් ගිනිකොණ දිග නාග රාජධානිය ද මැණික්‌ ගඟ, කුඹුක්‌කන් ඔය, හැඩඔය හා ගල්ඔය ආශ්‍රිතව පැවතියේය.

වෙරළට ආසන්නව ගංගාවන්හි පහළම නිම්නයේදී මුහුදෙන් වන අනතුරු නිසා මෙම විනාශයෙන් පසුව යකුන්ගේ වැව බලවත් වී වැව් ශිෂ්ටාචාරය උතුරු හා නැගෙනහිර දිග තැනිතලාවන් පුරා පැතිරී ගියේය. ගිනිකොන දිග නාගයකු වූ ගාමිණි අබය නොහොත් මහාවංශ දුටුගැමුණු අනුරාධපුරය අත්පත් කරගත් පසු වැව් ශිෂ්ටාචාරය බලවත් වී ගංගා නිම්න ශිෂ්ටාචාරය (අග්නිදිග) නොවැදගත් විය. අනුරාධපුර රාජධානිය යටත රුහුණ හුදු දනව්වක්‌ පමණක්‌ විය. දසබෑ කුමරුවන් මෙකල ඇත්තේ දසගම් (පත්තු) රාජ්‍ය නිසාය.

ආචාර්ය සූරිය ගුණසේකර

මෙය මෙම ලිපිය රචිත ආචාර්යතුමාගේ මතය වන අතර එය පිළිගැනීම හෝ නොපිළිගැනීම ඔබ සතුයි. අප කරනුයේ ඔබට ඉදිරිපත් කිරීම පමණයි

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි