අතීතයේදී රසායනික පොහොරවලට බැක්ටීරියා ආදේශකයක් ලෙස යොදාගත් හැටි

වී ගොවිතැනට යොදන පොහොර පිළිබඳව මේ දිනවල තිබෙන්නේ විශාල ආන්දෝලනයක්. කුඹුරු අක්කර ලක්ෂ දොළහක පමණ වපසරියක පැතිරුණු අපේ ප්‍රධාන ආහාර භෝගයට වස විස එකතු වෙන එක බත් කන කිසිම මිනිහෙකුට උහුලන්න පුළුවන් කතාවක් නෙවෙයි. ඒත් රසායනික පොහොර යොදන්න. පටන්ගත් දවසේ සිටම අප දැනුවත් ව හෝ නොදැනුවත් ව බුදින්නේ වස විසම බව අමුතුවෙන් කිව යුතු නෑ.

ආසියාවේ ධාන්‍යාගාරය වගේ විරුදාවලියක් ලබන්නට තරම් සහලින් ස්වයංපෝෂිත අතීතයක් අපට හිමි වුණෙත් මේ රසායනික පොහොර තිබුණු කාලෙ ද කියලා ඕන ළදරුවකුට වුණත් සහලේ ඉතිහාසය ගැන දන්නවා නම් හිතෙන එක සාධාරණයි. බටහිර කරණයට ගැති වෙමින් අපේ පරිසර හිතකාමී ක්‍රමවේදවලට පිටුපා කෙටිකාලීන ලාබ ලබන තණ්හාධික ක්ෂණික විසඳුම් පසුපස යෑම නිසා අද අප කන බත් ඇටයක් ගානේ හිතට සැකයක් මතුවන තත්ත්වයක් ඇති වෙලා.

මේ රසායනික පොහොර නොයොදා වස විස නැති ආහාර වේලක් කන්න අපට බැරිද? අප ගියේ මේ පිළිබඳව පර්යේෂණ කරන පේරාදෙණිය කෘෂි ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් බණ්ඩාර මහතා හමුවන්නට යි.

මහාචාර්යවරයා කතාව පටන් ගත්තේ මෙසේ යි.

“මේ ජනේලෙන් එහා පැත්තේ මානා පඳුර පේනවද? ඒකට කවුරුහරි පොහොර යොදල ද ඔය තරම් උසට හැදිලා තිබෙන්නේ?”

අපි ජනේලයෙන් එබී මහාචාර්යවරයා දෙස බලා හිස සැළුවේ ‘නැත’ යන්න සංඥා කිරීමටයි.

“පරිසරයේ කිසිම දේකට පොහොර අවශ්‍ය නැහැ. ගස්වලට සතුන්ට, මිනිසුන්ට අවශ්‍ය ආහාර පරිසරයෙන් ම ලැබෙන ආකාරයටයි පරිසරය නිර්මාණය වෙලා තිබෙන්නේ කෘෂි භෝගවලටත් ඒ නියමයට සාධාරණ වුණත් අපි අමුතුවෙන් පොහොර, යෙදවුම් කළ නිසා පරිසරයේ ගතික සමතුලිතතාවයට යම් හානියක් සිදුවෙනවා. පරිසරයේ මූලික වගකීම සෑම ජීවියකුටම ආහාර සැපයීම, ගස් ප්‍රභාසංස්ලේෂණය මගින් තමන්ටත් අනුන්ටත් ආහාර බෙදා හදා ගන්නවා. ලංකාවේ පාරිසරික ගොවිතැන් ක්‍රමය හොඳින් ම කළ පරාක්‍රමබාහු රජ කාලයේ මේ අමතර යෙදවුම් ප්‍රශ්නය ඇති වුණේ නැහැ.

* “එතකොට වී ගොවිතැනට අවශ්‍ය පොහොර ලැබුණේ කොහොමද?” මම ප්‍රශ්නයක් යොමු කළා.

“ගස්වලට අවශ්‍ය ප්‍රධාන පොහොර වර්ග තුන තමයි නයිට්‍රජන්(N) ෆොස්පරස් (P) පොටෑසියම් (K). මෙයින් නයිට්‍රජන් ලැබෙන්නේ වාතයෙන්. ඒවා වැස්ස සමඟ දියවී පොළොවට එනවා. අකුණු සැරට තමයි එය ස්වභාවිකව සිදුවන්නේ. මේ දේ සාමාන්‍යයෙන් කරන්න බැහැ. නමුත් හාබර් බොෂ් ක්‍රමයට කෘත්‍රිමව යූරියා, ඇමෝනියා හදා ගන්නවා. ඒත් එයට විශාල ශක්ති ප්‍රමාණයක් අවශ්‍යයි.”

“කතාවක් තියෙනවානේ ‘වැවයි දාගැබයි’ කියලා. වැව නම් කෘෂිකර්මයට සම්බන්ධයි. මොකද භූගත ජල මට්ටම (Water table) ඉහළට ගන්න තමයි අපේ වාරි සම්ප්‍රදායේ ක්‍රමවේදය හැදී තිබෙන්නේ. ඒ ජල මට්ටම ඉහළට ගැනීම කෙතරම් වටිනවාද කියලා තේරුම් ගන්න හොඳම උදාහරණය මහවැලිය හරවන්නට පෙර දුඹුරු කහ පැහැයෙන් තිබූ ප්‍රදේශ ගඟ හැරවූ පසු නිල් පාටින් බැබළෙන්නට ගත් ආකාරය.”

“අතීතයේ නයිට්‍රජන් ගන්න ක්‍රමයක් අපට තිබුණේ නැහැ. දාගැබෙන් තමයි අපි නයිට්‍රජන් ලබා ගත්තේ.”

* “ඒ කොහොමද?” මම පුදුමයෙන් ඇහුවා.

“තෙත් කලාපයට බක්මහට අකුණු ලැබුණාට වියළි කලාපයට එහෙම නැහැ. ඒ නිසා අකුණු වැඩි කරගන්න දාගැබ් උදව් කර ගත්තා. දාගැබේ කොත් කැරැල්ලේ මුදුණේ සිට හොඳ සන්නායක ගුණයක් ඇති දඹ ගසේ කඳකින් කණුවක් පොළොවට සවි කර තිබෙනවා. එයට කියන්නේ යූපය කියලා. සාමාන්‍යයෙන් වලාකුළු ධන ඍණ ආරෝපන දෙකම සහිතව පවතිනවා. නමුත් යුපය මගින් දාගැබට ඉහළ පිහිටි වලාකුළකින් ඍණ ආරෝපණ පොළවට ඇද දැම්මාම ඒ වලාකුළේ ධන ආරෝපණ පමණයි ඉතිරි වන්නේ.

එවිට අනික් වලාකුළු සමඟ විදුලි කෙටීමට අවශ්‍ය තත්ත්වය ඒ වලාකුළේ කෘත්‍රිමව ඇති වෙනවා. මෙය ගෘහ නිර්මාණ ශිල්පියකු වන ඇඹුල්දෙණිය මහතාගේ පර්යේෂණවලින් කියා තිබෙනවා. මේ විදිහට කෘත්‍රිම අකුණු ඇති කරගන්න තවත් උදව් වෙන්නේ කොතේ කැරලි ටික. මොකද යුපයෙන් ඍණ ආරෝපණ ගමන් කරද්දී ඒ කැරලි මඟින් කොතේ මතුපිට වපසරිය වැඩි කර දී වැඩිපුර ආරෝපණ ඒ වටා ගොඩ නඟනවා. දාගැබේ පිටත මුළු පෘෂ්ඨයම ධන ආරෝපණ වලින් පිරී තිබෙන නිසා අපට දාගැබ ළඟදී සිතට සතුටක් සහනයක් වැඩිපුර දැනෙනවා.

බැක්ටීරියා දියර පොහොර නිපදවන
ජීව ප්‍රතික්‍රියාකාරකය

* “ඒ විදිහට පසට ලැබෙන නයිට්‍රජන් ගස්වලට දෙන්නේ කොහොමද?

“අපි දන්නවා රනිල භෝගවල ‘මූල ගැටිති’ කියා වර්ගයක් ගැන. ඒවායින් වායුවේ තිබෙන නයිට්‍රජන් නයිට්‍රේට් බවට හරවා ගසට ලබා දෙනවා. මේ මූල ගැටිති වී ශාකයටත් ඇති කරන්න විද්‍යාඥයන් හරියට මහන්සි වුණා. නමුත් ජානමය නොහැකියාව නිසා වී වලට මූල ගැටිති හදන්න බෑ. 1970 විතර බ්‍රිතාන්‍යයේ රොදම්සටඩ්දී පර්යේෂණයක් කළා පොහොර යොදලා වගේ ම නොයොදා වී වගා කරමින්. ඒ අස්වැන්නේ වෙනසක් වුණේ නැහැ.” හේතුව වී ගහ පුරුක් හරහා වාතය මුල්වලට ගෙනවිත් තමන්ගේ මූල පද්ධතිය අවට මූල ගෝලය කියන පාංශු වාතය පිරුණු ප්‍රදේශයට සපයනවා.

කුඹුරක පාංශු වාතය සාමාන්‍යයෙන් ඉතා අඩු වුණත් ස්වායු බැක්ටීරියා වැඩෙන්න මේ මූල ගෝලය හොඳ තෝතැන්නක් ඉතින් ඇසොටොබැක්ටර් (Azotobacter), ඇසොස්පිරිල්ලුම් (Azospirillum) කියන සහජීවී බැක්ටීරියා දෙක මේ ඉඩේ වර්ධනය වෙලා වායුගෝලයෙන් ගෙනෙන නයිට්‍රජන්, ටයිට්‍රේට බවට පත් කරලා දෙනවා. අර මානා පදුරේ කෙරෙන්නෙත් ඒකමයි. මේ ගැන සොයා ගත්තාම අපි වහාම ඒ බැක්ටීරියාව අරගෙන වර්ධනය කරලා දියර පොහොරක් හැටියට හැදුවා. මේ දියරයෙන් මිලි ලීටර් 200 ක් අක්කරයකට ම ප්‍රමාණවත්. දැන් නයිට්‍රජන් ප්‍රශ්නය ඉවරයි.

* “එතකොට ඉතිරි වර්ග දෙක ෆොස්පරස්, පොටෑසියම් ප්‍රශ්නේ?”

ෆොස්පරස් (P) තමයි සෑම ජීවියෙකුටම ඉතාම වැදගත් වන්නේ. මොකද සත්ත්ව ශරීරවල වගේ ම ශාකවලත් සෛල අතර ශක්තිය ගෙන යන ඒ.ටී.පී. (ATP) සඳහා මෙය අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක්. ඒ නිසා ඕනෑම ජීවී ශරීරයක ෆොස්පරස් ඕන තරම් තිබෙනවා. ඒ වගේ ම අපේ පොළොවෙත් ෆොස්පේට් තිබෙනවා. විශේෂයෙන් එප්පාවල ෆොස්පේට් නිධියේ වගේ ස්ඵටික දිය කරන්න අවශ්‍ය බැක්ටීරියා දැන් සොයාගෙනත් තිබෙනවා. දිය කරන ක්‍රමයක් නැත්නම් ෆොස්පේට් ස්වාභාවිකව දියවන්නට අවුරුද්දක් පමණ ගත වනවා.

ඒ නිසා බැසීලස් වර්ගයට අයත් බැක්ටීරියා යෙදීමෙන් ෆොස්පරස් අවශ්‍යතාව විසඳන්න පුළුවන්. “අනෙක් වර්ගය පොටෑසියම් (K) ලංකාවේ පසේ ඕනෑම තැනක මේ මූලද්‍රව්‍ය තිබෙනවා. එය ගසට ලබාගැනීමට උපකාරක වන ස්‍යුඩමොනාස් ෆ්ලුවොරසන්ස් (Pseudomonas fluorescens) බැක්ටීරියාව මගින් ශ්‍රාවය කරන සිඩරොෆෝර් නම් රසායන ද්‍රව්‍ය මගින් ශාඛය වටේ යකඩ අංශු අල්ලාගෙන එය ගසට ලබාදෙනවා. එයින් රෝග කාරක බැක්ටීරියා පාලනය කර ගසේ වර්ධනය වැඩි කරනවා.

ඉතින් අවශේෂ ඛණිජ වර්ගත් ගසට උරාගන්න තවත් බැක්ටීරියා වර්ග උපකාර කරනවා. අපේ බැක්ටීරියා දියර පොහොරට මේ ප්‍රධාන බැක්ටීරියා වර්ග සියල්ල එක් කර තිබෙනවා.

සාමාන්‍යයෙන් ෆොස්පරස් ලබාගැනීමට පිටරටින් ගෙන්වන්න් ට්‍රිපල් සුපර් ෆොස්පේට් කියන වර්ගය. ඉන් වැඩිම මුදලක් වැය වන්නේ ෆොස්පරස්වලට, ඊළඟට යූරියා අනෙක පොටෑසියම්. සාමාන්‍යයෙන් කුඹුරු අක්කරයකට යූරියා කිලෝ ග්‍රෑම් 5 ක්, ට්‍රිපල් සුපර් ෆොස්පේට් කිලෝ 25 – 35 අතර, පොටෑසියම් කිලෝ 20 ක් වගේ යොදන්න ඕන. මේ නිසා අවුරුද්දකට රසායනික පොහොර සහනාධාරයට රජයට රුපියල් කෝටි 5000 ක් පමණ වැය වෙනවා.

ඒත් අපේ මේ බැක්ටීරියා වර්ගයකින් මිලිලීටර් 200 ක් කුඹුරු අක්කරයට යොදන්න වැයවන්නේ ඉතාම සුළු මුදලක්. බැක්ටීරියා වර්ග තුන ම මිලිලීටර් 200 බැගින් නිපදවන්නයි අනෙක් සියලුම වියදම් ටිකයි එකතු කළාම රුපියල් 200 ක් වගේ වැය කරලා කුඹුරු අක්කරයක් සරු කරගන්න පුළුවන්. අස්වැන්නේ කිසිම අඩුවක් නැහැ. ඊටත් වඩා ඒ දියර පොහොර මිශ්‍රණයේ කිසිම වසක් විෂක් නැහැ. බැර ලෝහ නැහැ. ඒ නිසා වස විස නැති හොඳ අස්වැන්නක් ලබාගන්න පුළුවන් වනවා.

* “මේ දියරය හදන්නේ කොහොමද? කොපමණ කල් ගත වෙනවාද?”

“සොබා දහමේ සිටින මේ බැක්ටීරියා වෙනම තෝරාගෙන (Bio reactor) ජීව ප්‍රතික්‍රියාකාරකය කියන මේ උපකරණය ආධාරයෙන් දින තුනක් ඇතුළත එක් බැක්ටීරියාවකින් ලීටර් 200 ක් හදන්න අපට පුළුවන්. බැක්ටීරියා වර්ග තුනම ඒ විදිහට හදලා අනෙක් සියලු කටයුතු කරලා අවසාන පොහොර දියරය සති දෙකක් ඇතුළත ලැබෙනවා. ඒ දියර පොහොර මිලිලීටර් 200 බෝතල 3 මුළු අවුරුද්දටම කුඹුරු අක්කරයකට ඇති.

* “මේ පොහොර යොදන විශේෂ ක්‍රමයක් තියෙනවද?”

“‘ඔව් අපි නිර්දේශ කරන්නේ කොම්පෝස්ට් පොහොර සමඟ යොදන්න. ඒ කියන්නේ අක්කරේකට අමු ගොම බාල්දි 2 යි ගව මුත්‍ර බාල්දි 2 යි වතුර බාල්දි 2 යි බැරලයකට දාලා මේ බැක්ටීරියා දියර පොහොර එයට මිශ්‍ර කරලා බටයකින් වක්කඩට මුදා හරිනවා. එතකොට මුළු යායටම පොහොර ලැබෙනවා.

* “මේ බැක්ටීරියාව පසුකලෙක හානිදායක වෙන්න, අපේ ශරීරවලට විස වෙන්න එහෙමත් නැත්නම් පරිසරයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ද?”

මේ බැක්ටීරියා වර්ග කොහොමත් පරිසරයේ ඉන්න අයනේ. අපි කරන්නේ අපට අවශ්‍ය භෝගයට මේ වර්ග වැඩිපුර ළං කරලා ශාකයේ වර්ධනය වැඩිකරන්න උදව් කරගන්න එකයි. ඒ හැරෙන්න කිසිම විදිහක හානියක් සිදුවෙන්නේ නෑ. හ්‍යුමස් කොම්පෝස්ට්වල ඉන්නේ මේ අය තමයි.

* “මේ පොහොර ඕනම භෝගයකට යොදන්න පුළුවන් නම් වල්පැළත් වැඩෙනවා ඇතිනේ. අනික කෘමි නාශක නැති නිසා පළිබෝධක උවදුරත් වෙනම හිතන්න වෙනවා නේද?”

ඕනෑම භෝගයකට මේ පොහොර යොදන්න පුළුවන්. ඒත් කුඹුරෙදි අප තෘණ වර්ගයට අයත් ශාකවලට ගැලපෙන ප්‍රමාණය තමයි යොදන්නේ. අනික ගොම මිශ්‍ර පොහොර තට්ටුව තිබෙන නිසා වල්පැළෑටි ඇති වීමේ ඉඩකඩ ඉතාම අඩුයි. තවත් දෙයක් තමයි පාරිසරික ගොවි තැනේදී වල්පැළ ටිකක් තිබීම ප්‍රශ්නයක් නෙවෙයි. මොකද පළිබෝධකයන් හැටියට එන කෘමීන් ආදිය ආහාරයට ගන්නා විලෝපිකයන් පරපෝෂිතයන් ඉන්නේ ඒ වල්පැළෑටිවලයි. ජෛව පාලන ක්‍රමයක් එතැන තිබෙන නිසා කෘමිි උවදුරක් ඇති වන්නේ නෑ. ඒ සතුන් හානිකර පළිබෝධකයන් බවට අප හඳුනා ගන්නේ උන්ට අයිති කොටස ආහාරයට ගැනීමේ දී අපට අස්වැන්න අඩුවන බව දැනෙන නිසයි. එය සිදු වුණේ නෝමන් බෝලෝගේ හරිත විප්ලව සංකල්පයෙන් ශාකවල සියයට 30 අඩුකළ වෙනත් විශේෂ තනා සොබා දහමට එරෙහිව අස්වැන්න අපට පමණක් ලබාගන්න උත්සහ කළ නිසයි.

* “මේ පොහොර ගොවීන් අතර බෙදා දෙන්නට ක්‍රමයක් යෙදුවාද? ගොවීන්ගේ ප්‍රතිචාරය කොහොමද?”

ගොවි ජනතාව ඉතා කැමැතියි, මේ පොහොරවලට. ඔවුන් බුද්ධිමත්. අනෙක අපි දැනුම්වත් කිරීමේ වැඩසටහන් කරගෙන යනවා. මේ ක්‍රමය ලංකාවේ පමණක් නෙවෙයි. ඉන්දියාව, වියට්නාමය වැනි ආසියාතික රටවල භාවිත වනවා. එකම දේ අපේ රටේ බැක්ටීරියා අප සොයා ගත යුතුයි. මොකද ඒවා රට රටවල් අතර හුවමාරු කිරීම් තහනම් නිසා. අපි කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කර මේ පොහොර දිස්ත්‍රික්ක මට්ටමින් නිෂ්පාදනය කරන්න, විශේෂයෙන් උසස් පෙළ හැදෑරූ අය සමඟ එක්ව ඒ අයට මේ ක්‍රමවේදය ලබාදී රට පුරා ගොවි බිමේ ආශ්‍රිතව නිෂ්පාදනය කරන්න ක්‍රමයක් ගැන සාකච්ඡා කළා. මුළු යන්ත්‍රයම හදාගන්න අපට වියදම් වුණේ ලක්ෂ 20 යි. අපේ විශ්ව විද්‍යාලයෙන් ඒ පොහොරවල පිරිසිදු බව ආදිය සහතික කර දෙන්න ක්‍රමයක් යොදන්න පුළුවන්. ඉදිරියේදී අදාළ දිස්ත්‍රික්ක මට්ටමින් මේ පොහොර ලබාදීමට වැඩපිළිවෙළක් යොදන්න කටයුතු කරමින් ඉන්නේ. හොඳ යහපත් ස්වයංරැකියාවක් මේක.

* “අමතර ප්‍රශ්නයකුත් තිබෙනවා” රසායනික පොහොරවල ඇතැයි කියන ආසනික් විෂ පිළිබඳව?

ඕනෑම රසායනික පොහොරක දූෂක තිබෙන්න පුළුවන්. සමහර පළිබෝධ නාශකවල ආසනික් තිබෙන්නත් පුළුවන්. නමුත් පොදුවේ ගත්විට ඉතාම අඩුවෙන්. සමස්තයක් ලෙස ලංකාවේ ආහාර වර්ගවල භයානක තත්ත්වයක් අපේ පර්යේෂණවල අප දැකලා නැහැ. අපේ බතට පරිසරයේ බලපෑම බොහෝ අඩුයි. වීවල කුරුට්ට ඉවත් කිරීමේදී තම්බපු සහල් සැකසීමේදී හාල් බොහෝ පිරිසිදු වනවා. අනෙක කැල්සියම් ආසනේට් ජලයේ දියවන්නේ නැහැ. කොහොම වුණත් රසායනික පොහොර සහ රසායනික වල් නාශක කෘමි නාශක ආදිය අපට අහිතකර නිසා ඒවායින් වැළකී සිටීම සෑම අතින් ම හොඳයි.

පේරාදෙණිය කෘෂි ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් බණ්ඩාර

සාකච්ඡා කෙළේ අරුණි මුතුමලී

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි