රංවල දෙවියන්ගේ හාස්කම් ගැන කියවෙන අපූරු කතා

පූගොඩ කුමාරිමුල්ල කියන්නේ කැලණි ගං මිටියාවතට අයත් එක ගමක්‌. මේ ප්‍රදේශවල ජීවත් වන බොහෝ පිරිසක්‌ තවමත් තමන්ගේ බඩවියත රැකගන්නේ කැලණි ගඟත් සමග පොරබැදීමෙන්. කුමාරිමුල්ලේ වැලි තොටුපළකින් හිටිහැටියේම රත්‍රන් මතුවීමට පටන්ගැනීමත් සමගම මෙම ප්‍රදේශ ආශ්‍රිතවම කැලණි ගං දැල එකම හිස්‌ ගොඩක්‌ වෙන්න පටන් ගත්තා.

මිනිස්‌සු තමන්ගේ අනෙක්‌ වැඩ සියල්ල පැත්තකට දාල කැලණි ගඟට බැස්‌සේ රන් සෙවීමේ අරමුණින්. මෙහෙම ගඟට බැස්‌ස අයට පාඩුවක්‌ වුණෙත් නැහැ. මහන්සියේ තරමට ප්‍රතිඵල තිබුණා. මේ ප්‍රදේශවල ඉන්න කාන්තාවොත් ගෙවල්වල තියෙන හට්‌ටි, මුට්‌ටි, නෑඹිලි වගේ දේවල් අරගෙන ගඟට බැස්‌ස නිසා උයන පිහන කටයුතු දරුවෝ බලාගැනීමේ ආදී දෛනික කටයුතු බොහොමයක්‌ පසුගිය දිනවල සිදුවුණෙත් මේ ගං දැලෙදීම තමයි.

මේ රත්‍රන් කතාව මාධ්‍ය වලින් සහ කටින් කට මුළු රටේම ප්‍රචාරය වෙනකොට මිනිස්‌සුන්ටත් එක එක විදියේ අදහස්‌ පහළ වෙන්න පටන්ගත්තා. සමහරු කිව්වේ ඒ පැතිවල මිනිස්‌සුන්ගේ වාසනාව කියලා. තවත් සමහරු මේ පිළිබඳ දැරුවෙ වෙනත් මතයක්‌. ඔවුන් කිව්වේ මේකත් ආණ්‌ඩුවේ ගැටයක්‌ වෙන්න ඇති කියලා. ඡන්දයක්‌ ළංවෙන කොට ජනප්‍රියතාව අඩුවෙනකොට ආණ්‌ඩුව මේ වගේ සෙල්ලම් දානව කියල විශ්වාස කරන පිරිසකුත් හිටියා.

මේ කවුරු මොනව කිව්වත් කැලණි ගං මිටියාවතේ මිනිස්‌සුනම් කියන්නේ ඒ ප්‍රදේශවලට අරක්‌ ගත්තු රංවල දෙවියන්ගේ ආශිර්වාදයෙන් තමයි මේ විදිහට රත්‍රන් ලැබෙන්න පටන් ගත්තේ කියලා. ඒක නිසාම රංවල දෙවියන් පිළිබඳව මෙම ප්‍රදේශවල මිනිස්‌සුන්ගේ හිත්වල තිබුණු භක්‌තිය, ජනප්‍රියතාව, විශ්වාසය එන්න එන්නම වැඩිවෙලා. දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීම්, භාරහාර වීම් වැඩිවෙලා.

දෙවියන් ඇදහීම මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භයේ පටන් ඕනෑම කාලයක, ඕනෑම ජන සමාජයක, ඕනෑම සමාජ තරාතිරමකම මිනිසුන් තුළ තිබුණු විශ්වාසයක්‌. ඒ නිසා කැලණි ගං දැලේ පිහිටා තිබෙන ඕවිටිගම, පූගොඩ, කුමාරිමුල්ල, කහටපිටිය, බොල්ලනාව, හංවැල්ල, මල්වාන ආදී ලෙස කැලණි ගං දැලේ කැලණිය දක්‌වාම ජීවත්වන මිනිසුන්ගේ සිත්වල. රංවල දෙවියෝ ලොකු විශ්වාසයක්‌ ගොඩනගල තිබුණා. මේ ප්‍රදේශවල සෑම බෞද්ධ නිවසකම දෙවියන් වෙනුවෙන් පහනක්‌ පත්තු කරන්න කවුරුවත් අමතක කළේ නැහැ.

සෑම සුබ කටයුත්තකදීම ලෙඩ රෝග කරදර පැමිණෙන සෑමිවිටකදීම රංවල දෙවියන්ට බාරහාර වීම, පුහුල් පහන් පත්තු කිරීම, දේව දානය දීම මේ ප්‍රදේශවල ජනතාව නොකඩවාම සිදුකරන චාරිත්‍රයක්‌. ඒ වගේම එතුමන් වෙනුවෙන් දෙවොල් හා පිළිම ඉදිකිරීමත් මේ ප්‍රදේශවල සුලබ දසුනක්‌. හිඟුරල, වග, කළුඅග්ගල, පහත්ගම, නිකවල, කපුගොඩ, රංවල යන ප්‍රදේශවල රංවල දෙවියන්ගේ ප්‍රතිමා ඉදිකොට තිබෙනවා.

රංවල දෙවියන්ගේ උප්පැත්තිය ගැනත් ජනවහරේ විවිධ කතා ගොඩනැගිල තියෙනවා. මේ ගැන කතා පුවත් දෙකක්‌ සිංහල දේව පුරාණයෙන් සොයා ගැනීමට හැකියි. ඉන් කියෑවෙන පරිදි ඔහුගේ ආගමනය සිදුවී තිබෙන්නේ මේ විදිහටයි.

කෑගල්ලට ආසන්න රංවල තමයි ඔහුගේ උපන් ගම, හරියටම කියනව නම් මේක දෙවැනි රාජසිංහ රජුගේ පාලන කාලය. මේ රංවල ගමේ තමයි රජුට අයත් ප්‍රධාන “පත්තායමක්‌” (වී අටුවක්‌) තිබිල තියෙන්නේ. මේ කාලෙදි රංවල ගමේ හිටිය අලවතුරේ රාළ හා ගණේගොඩ රාළ කියලා ඉතාමත් ළඟින් ඇසුරු කරපු මිතුරන් දෙදෙනෙක්‌.

ගමේ ගොඩේ හැම වැඩේම ඔවුන්ගේ මූලිකත්වයෙන් තමයි සිදුවෙලා තියෙන්නේ. මේ නිසාම රජුට අයත් වී අටුව සොරා ගැනීමේ සිදුවීමටත් ගම්මුන් විසින් මොවුන්ව සැක කිරීම නිසා මෙම මිතුරන් දෙදෙනා රාජ උදහසට ලක්‌වී තිබෙනවා. රාජ උදහසින් බේරී පලායන මොවුන් යටියන්තොට හරහා අවිස්‌සාවේල්ල ප්‍රදේශයටත් එතැන් සිට පහුරක ආධාරයෙන් කැලණි ගඟ දිගේ පහළටත් ගමන් කර තිබෙනවා. මේ එන ගමනේදී රංවල දෙවියන් ලෙසින් පසුකාලීනව ප්‍රසිද්ධියට පත් අලවතුරේ රාළ එක්‌ ප්‍රදේශයකටත් ගණේගොඩ රාළ දංගල්ල යන ප්‍රදේශයටත් ගොඩබැස තිබෙනවා.

කල්යත්ම ත්‍රිවිධ රත්නය කෙරෙහි මනා ලෙස පැහැදුණු අලවතුරේ රාළ සිල්වත් ජීවිතයක්‌ ගතකළ බවත් නිතර සිල්සමාදන් වීමට පහුරක නැගී කැලණි ගඟ දිගේ කැලණිය විහාරස්‌ථානයට ආගිය බවත් ජනප්‍රවාදයේ පවතිනවා.

නිතර නිතර කැලණිය විහාරයට යන එන ගමන නිසාම රංවල උපාසක ලෙස කා අතරත් ජනප්‍රියතාවක්‌ ඉසිලූ ඔහුගෙන් රස කැවිලි ඉල්ලා ගැනීමට මෙකල කැලණි ගං දැලේ ජීවත් වූ කුඩා දරුවෝ පුරුදු වී තිබෙනවා. මේ පුරුද්ද නිසාම රාත්‍රි කාලයේදී පවා පොඩිඋන් මෙන්ම ලොකු උන්ද පහන් හා පන්දම් අලෝකයද සමග රංවල උපාසක පැමිණෙන තෙක්‌ ගං දැලේ බලා සිටීම පුරුද්දක්‌ කොටගෙන තිබෙනවා. පසුකාලීනව රංවල මුත්තා යන ආදර නාමයෙන්ද හඳුන්වා ඇති රංවල උපාසක මරණින් මතු දේවත්වයෙන් සැලකූ මෙම ගම් වැසියන් පහනක්‌ දල්වා රංවල දෙවියන් සිහිකිරීම හා පිහිට පැතීම චාරිත්‍රයක්‌ ලෙස අද දක්‌වාම කරගෙන එන කටයුත්තක්‌.

රංවල දෙවියන්ගේ දේව ආශිර්වාදය ලැබීම තමන්ට ඉමහත් සැනසිල්ලක්‌ වනවා සේම දේව උදහසට ලක්‌වීමද බොහෝ නරක ප්‍රතිඵල ගෙනදෙන හේතුවක්‌ ලෙස ගැමියන් දැන සිටියා. ගැමියන් රංවල දෙවියන්ගේ උදහසට ලක්‌වූ අවස්‌ථා කිහිපයක්‌ම ජනප්‍රවාදයේ ද සඳහන්ව පවතිනවා.

වළගම්බා රජු දවස සිට පැවත එන ඓතිහාසික දංගල්ල රජමහා විහාරස්‌ථානයේ වැඩවාසය කළ නායක ස්‌වාමීන් වහන්සේ නමක්‌ දෙවියන්ගේ කීම නොඇසූ නිසා දේව උදහසට ලක්‌වූ කතා පුවත මින් එකක්‌. ජනවහරේ පැවත එන විදිහට එකල දංගල්ල රජමහා විහාරයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ පිරිත් පිංකමක්‌ කුමන හෝ හේතුවක්‌ මත නොපවත්වන ලෙස රංවල දෙවියන් විහාරයේ ස්‌වාමීන් වහන්සේට සිහිනෙන් විත් දන්වා තිබෙනවා.

මෙය නොතැකූ හිමියන් පිරිත කීමට සූදානම් වූ විට උදහස්‌ වූ රංවල දෙවියන් විහාරයේ ගල් දොර ගලවාගෙන ගොස්‌ අසල තිබූ ඌරා ළිඳකට දමා තිබෙනවා. (ඌරා ළිඳ යනු අතීතයේ විසූ මල්ලවයන් සටන් කිරීම සඳහා භාවිත කළ වළකි) පසුව ගල් දොර විහාරයට ගෙනවිත් සවිකර නැවතත් පිරිතට සූදානම් වූ විට නැවතත් රංවල දෙවියන් විසින් එම ගල් දොර කැලණි ගඟෙහි දුෂ්කර ස්‌ථානයක්‌ වූ දුණ්‌ඩු කඩුව නමැති ස්‌ථානයට ගොස්‌ අතහැර තිබෙනවා.

වර්තමානයේදී එම ගල් දොර කොළඹ කෞතුකාගාරයේ තිබෙන බව තමයි පැවසෙන්නේ. තවත් එක්‌ ජනප්‍රවාදයකට අනුව ඌරුමස්‌ අනුභව කොට මත්පැන් බී අසෝභන ලෙස කැලණි ගං දියෙන් රුවන්වැල්ලට පාරුවකින් බඩු රැගෙන ගිය පිරිසක්‌ එක්‌ වරම ගංදියෙන් මතුවූ කළු ගලක්‌ නිසා පාරුවද සමගින් ඔසවා තැබුණු කතාවක්‌ද ගැමියන් අතර පවතිනවා.

මේ ආදී හේතුකාරණා රාශියක්‌ නිසා කැලණි ගං මිටියාවතේ ගැමියන් අදටත් රංවල දෙවියන් සිහිකරන්නේ ඉමහත් ගෞරවයකින් හා විශ්වාසයකින් යුතුවයි. තමන්ගේ භව බෝගයක අග්‍ර ඵලය පවා දෙවියන් වෙනුවෙන් වෙන්කර තබා භාරහාරවීම කැලණි ගං මිටියාවතේ අදටත් සිදුවන චාරිත්‍රයක්‌.

නැගෙනහිර සියනෑ කෝරළයේ හා හේවාගම් කෝරළය යන දෙකෝරළයේ කැලණි ගං මිටියාවතේ ජනතාව දෙවියන්ගේ අණසක ගං මිටියාවතේ පවතින බව දැඩිව විශ්වාස කරන අතර ගං දැලේ ජීවත් වන ජනතාව ආගම් බේදයකින් තොරව රංවල දෙවියන් සිහිකිරීම හා පිදීම සිදුකරන්නේ එනිසාමයි. රංවල ග්‍රාමයෙහි ශෛලාසනාරාමය නම් විහාරස්‌ථානයේ බෝධීන් වහන්සේ ආශ්‍රිතව රංවල දෙවියන් වැඩසිටින බව තමයි ගැමියන්ගේ විශ්වාසය වී තිබෙන්නේ.

රංග විදානේ
ඡායාරූප සහ තොරතුරු සැපයීම සරණපාල නුවරපක්‍ෂ

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි