කවුරුත් දන්නේ නැති හුදකලාව සැතපෙන ලොව දිගම විශාලතම බුදු පිළිම වහන්සේ

බුදුන් වහන්සේ පරිනිර්වානයෙන් වසර ගණනාවක්‌ යනතුරුම බෞද්ධයන් බුදුන් වහන්සේ වන්දනා මාන කිරීම සඳහා යොදාගත්තේ, ශ්‍රී පතුල්, ධර්මචක්‍ර, නෙළුම් මල් වැනි සංකේතයන් පමණි. එම සම්ප්‍රදාය වෙනස්‌ කරමින් පළමු වරට වන්දනාමාන කිරීම සඳහා බුදුන් වහන්සේගේ පිළිම නෙළුE බව සඳහන් වන්නේ කනිෂ්ක රාජ්‍ය යුගයේ බිහි වූ ගන්ධාර කලාව ඔස්‌සේ බව පොදු පිළිගැනීම වී තිබේ. ඒ ක්‍රිස්‌තු වර්ෂයෙන් 120 දී පමණ වේ.

එදා මෙදා තුර බුදුන් වහන්සේගේ විවිධ ඉරියව්වලින් යුතු පිළිම සිය දහස්‌ ගණනක්‌ නිර්මාණය කර ඇති අතර, ඒ අතරින් බුදුන්වහන්සේගේ පිරිනිවන් මංචකය දැක්‌වෙන ලොව දිගම සැතපෙන පිළිමය ලෙස පිළිගත හැකි පිළිමය නිර්මාණය කර ඇත්තේ අදින් දශක 6 කට පමණ පෙර කරන්දෙණිය ප්‍රදේශයේදීය. වඩාත්ම පැහැදිලිව පවසනවා නම් මෙම පිළිම වහන්සේ කරන්දෙණිය ගලගොඩ ශ්‍රී ශෛලතලාරාමයේ වැඩ වසන බව සඳහන් කළ හැක. අම්බලන්ගොඩ සිට ඇල්පිටිය දක්‌වා වැටී ඇති ගමන් මාර්ගයේ සැතපුම් 4 ක්‌ පමණ ගමන් කළ විට මෙම සුවිශේෂ විහාරස්‌ථානය වෙත ළඟා විය හැක.

සැතපෙන බුදුපිළිම පිළිබඳව අපගේ මතකය අවදි කළ සැනින් අපගේ මතකයට එන්නේ පොළොන්නරුවේ ගල් විහාරයේ වැඩසිටිනා අඩි 46 ක දිගින් යුතු පිළිම වහන්සේ බවට විවාදයක්‌ තිබිය නොහැක. එබඳු සුවිශේෂී ස්‌ථානයක්‌ බෞද්ධයන් තුළ දිනා ගැනීමට සමත් නොවුණත් කරන්දෙණිය ගලගොඩ ශෛලතලාරාමයේ වැඩසිටිනා බුදුපිළිම වහන්සේ අඩි 118 ක දිගින් යුතුය. එමෙන්ම මෙම පිළිමයේ උස අඩි 33 ක්‌ වන අතර පළල අඩි 25 කි. පොළොන්නරුවේ ගල් විහාරයේ වැඩසිටිනා බුදුපිළිම වහන්සේට සාපේක්‍ෂව මෙම බුදුපිළිමය ප්‍රමාණයෙන් කෙතරම් විශාල ද යන්න දැන් ඔබට පැහැදිලි විය යුතුය.

මෙම බුදුපිළිමය නිර්මාණය කිරීම ආරම්භ කළ වර්ෂය නිශ්චිතවම සඳහන් කිරීමට තරම් තොරතුරු ප්‍රමාණවත් නොවුණත්, මෙම පිළිම වහන්සේ නිර්මාණය කිරීමේ කටයුතු 1930 දශකයේ අග භාගයේදී හෝ 1940 දශකයේ මුල් භාගයේදී සිදු කර ඇති බව විශ්වාස කළ හැක. ඒ අනුව මෙම පිළිමවහන්සේගේ ඉතිහාසය දශක 7 කට පමණ සීමා වුවත් පිළිමවහන්සේ වැඩ සිටින වත්මන් ශ්‍රී ශෛලතලාරාම විහාරය ආරම්කර ඇත්තේ සිරි අභයතිස්‌ස හිමියන් විසින් 1901 වසරේදීය.

නමුත් ඊට වසර 600 කට පමණ පෙර ද මෙම භූමියේ ගණින් වහන්සේලා වැඩ සිටි බවට මත පළ වී ඇත. එමෙන්ම දඹදෙණි යුගයේදී දේවපතිරාජ නම් ඇමැතිවරයා මුහුදු මට්‌ටමේ සිට අඩි 315 ක්‌ පමණ උසින් පිහිටි මෙම භූමිය බැලුම් ගලක්‌ ලෙස යොදාගෙන ඇති බවටද ප්‍රදේශවාසී ජනතාවගේ විශ්වාසය වී ඇත. ඔවුන්ගේ විශ්වාසය වී තිබෙන්නේ මෙම ස්‌ථානයේ සිට දකුණු මුහුදු තීරයේ ගමන්ගත් නෞකා මෙම ස්‌ථානයේ සිට නිරීක්‍ෂණය කර ඇති බවයි.

ලොව දිගම සැතපෙන පිළිම වහන්සේ ලෙස පිළිගතහැකි මෙම පිළිමවහන්සේ නිර්මාණය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ පී. එච්. ඉයෝනිස්‌ මහතා විසිනි. ඔහුගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක්‌ මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේට නමස්‌කාර කරගෙන සිටින ඉරියව්වෙන් නෙළා ඇති බැවින් ඔහු කුමන ස්‌වරූපයේ පුද්ගලයකු ද යන්න මෙම විහාරස්‌ථානයට යන ඕනෑම පුද්ගලයකුට දැක බලාගත හැක.

ඉයෝනිස්‌ මහතා තම පෞද්ගලික ධනයත්, සෙසු බෞද්ධයන්ගේ ආධාර උපකාරත් ඇතිව මෙම ඓතිහාසික කටයුත්තේ නිරත වුවත්, ඔහුට සිය ජීවිත කාලය තුළදී මෙම පිළිමය නිර්මාණය කිරීමේ කටයුතු අවසන් කිරීමට නොහැකිවී ඇත. ඒ පිළිබඳ බලවත් සේ කනගාටුවට පත්වී සිටි ඉයෝනිස්‌ මහතා සැනසීම සඳහා ඔහුගේ ඥතීන් සහ හිතවතුන් දුටුගැමුණු රජතුමාගේ අවසාන අවස්‌ථාවේදී රුවන්වැලි මහ සෑයේ කටයුතු කෘතිමව නිම කර පෙන්වූ ආකාරයට, මෙම පිළිමයේ කටයුතු ද අවසන් කර පෙන්වූ බව ඒ පිළිබඳ ඉතිහාසය දන්නා සමහරුන්ගේ අදහස වී තිබේ.

ඉයෝනිස්‌ මහතා මෙම පිළිම වහන්සේ නෙළීමේදී බුදුන් වහන්සේගේ පිරිනිවන් මංචකය නිවැරැදිව කෙසේ නිර්මාණය විය යුතු ද යන කාරණය පිළිබඳ සැලකිලිමත් වී ඒ පිළිබඳ තම අවබෝධය වැඩි දියුණු කරගැනීම සඳහා ඔරුවකින් දෙවරක්‌ම දඹදිව කුසිනාරාව බලා ගමන් කළ බවත් සමහරුන්ගේ මතය වී තිබේ.

ඉයෝනිස්‌ මහතා

කෙසේ වුවත් ඉයෝනිස්‌ මහතා බොහෝ වෙහෙස දරා නිර්මාණය කරවන ලද පිළිම වහන්සේ බුද්ධාලම්භන ප්‍රීතිය වඩවන සුවිශේෂ නිර්මාණයක්‌ බව නම් සඳහන් කළ හැක. එමෙන්ම මෙම බුදුපිළිම වහන්සේ වැඩ සිටින බුදුගෙයි දෙපස දුටුගැමුණු රජ සහ දසමහ යෝධයනුත්, එළාරගේ හමුදාවත් යුද්ධයට පිවිසෙන ආකාරය මනා ලෙස නිර්මාණය කර තිබෙන බවද මෙහිදී සඳහන් කළ යුතුය.

එසේ වුවත් වර්තමානයේදී මෙම පිළිම වහන්සේත්, බුදුගෙයත්, ශ්‍රී ශෛලතලාරාම විහාරස්‌ථානයත් පත්වී තිබෙන තත්ත්වය පිළිබඳ නම් සතුටුවිය නොහැක. මෙම පිළිම වහන්සේගේ ඇති විශාලත්වයත්, පිළිමගෙයි ඇති විශාලත්වයත් නිසා එය නඩත්තු කිරීමට විශාල ධනයක්‌ වැය වන බවත් අමුතුවෙන් සඳහන් කළ යුතු වන්නේ නැත.

වත්මන් විහාරාධිපති හිමියන් වන අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මාගල සෝමනන්ද හිමියන් අප හා ප්‍රකාශකළ ආකාරයට මෙම පිළිම වහන්සේගේ පමණක්‌ සායම් ආලේප කිරීම සඳහා ලක්‍ෂ 20 ක පමණ මුදලක්‌ වැයවේ. ඒ සමඟම විහාර මන්දිරයේද සායම් ආලේප කරන්නේ නම් එම මුදල ලක්‍ෂ 40 පමණ වියහැකි බව උන්වහන්සේ අප හා පැවැසීය. මෙම තත්ත්වය නිසා මෙම විහාරස්‌ථානය මේ මොහොත වන විට බොහෝදුරට ජරාවාස වී ඇති බව සඳහන් කළ යුතුව ඇත.

එසේ වුවත් ශ්‍රී ශෛලතලාරාමයේ වත්මන් විහාරාධිපති හිමියන් උන්වහන්සේට හැකි පමණින් මෙම විහාරස්‌ථානය නගාසිටුවීම සඳහා කටයුතු කරන බව එම පූජනීය ස්‌ථානයට ගිය අපට දැකගත හැකි විය. උන්වහන්සේ මෙම විහාරස්‌ථානයට වැඩම කර ඇත්තේ මීට වසර 11 කට පෙර 2000 අප්‍රියෙල් මස 02 වැනි දිනයේදීය. එම අවස්‌ථාව වන විට නිදන් සොරුන් විසින් පිළිමවහන්සේ විනාශකර තිබී ඇත.

උන්වහන්සේ මෙම විහාරස්‌ථානයට වැඩම කළ දිනයේ සිට විහාරස්‌ථානය නගාසිටුවීම පසෙක තබා උසාවි, පොලිසි ගානේ යැමට සිදුවී ඇත. ඒ විහාරස්‌ථානයේ ඉඩම ආරක්‍ෂා කරගැනීමට සහ උන්වහන්සේට එරෙහිව පනවා ඇති නඩුවලට මුහුණදීම සඳහාය. විහාරස්‌ථානය නගාසිටුවීමට යෙදවිය හැකි තම වටිනා කාලය සහ ඒ සඳහා වැය වන ධනය පිළිබඳව උන්වහන්සේ අප හා ප්‍රකාශ කළේ කනගාටුවෙති.

ශ්‍රී ශෛලතලාරාමය සතුව අක්‌කර දෙකකට වැඩි ඉඩම් ප්‍රමාණයක්‌ තිබිය යුතු වුවත් දැන් එම ප්‍රමාණය කළු ගල් සහිත අක්‌කරයකට අඩුවූ බිම් ප්‍රමාණයකට සීමාවී ඇත. එමෙන්ම කුමන ඉඩෝර කාලයකදී වුවත් දිය නොසිඳෙන මුහුදු මට්‌ටමේ සිට අඩි 335 ක උසින් පිහිටි විහාර භූමියේ තිබූ දිය උල්පතේ ජලය දැන් අවට ඉඩම්වල සිදුකරන ගල් බෝර දැමීම නිසා සිඳී යැමේ තර්ජනයට මුහුණදී ඇත.

තවදුරටත් දිගින් දිගටම ගල් බෝර දැමීම සහ පන්සල් ඉඩම ආක්‍රමණය කිරීම නවතාදීම පිළිබඳ බලධාරීන්ගේ ඉක්‌මන් අවධානයට යොමු නොවුණහොත් ලෝකයේ දිගම සැතපෙන බුදු පිළිමයේ අනාගතය ද නිශ්චිත නොවන බව පමණක්‌ මෙහිදී සඳහන් කළ හැක. එමෙන්ම ක්‍රිස්‌තු වර්ෂයෙන් 120 න් අනතුරුව නිර්මාණය කරන ලද සුවිශේෂිතම බෞද්ධ නිර්මාණයක්‌ වන මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ රැකගැනීම පිළිබඳ බෞද්ධ ජනතාවගේ ද අවධානය මීට වඩා යොමුවිය යුතුය.

එරික්‌ ගාමිණී ජිනප්‍රිය
ඡායාරූප – මහේෂ්

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි