බ්‍රිතාන්‍යයේ පැවැති සම්ප්‍රදායක්‌ වූ වික්‌ටෝරියානු සංස්‌කෘතියට අයත් සිරිතකට අනුවයි

තම පාලනය පැවැති යටත් විජිතවල සමකාලීනව සිදුවූ අති විශේෂ සිදුවීම් ලේඛනගත කිරීමේ ක්‍රමවේදයක්‌ බ්‍රිතාන්‍ය පාලකයෝ පවත්වා ගෙන ගියහ. එම ලේඛනය හැඳින් වූයේ නිල්පොත (Blue Bool) යනුවෙනි. බ්‍රිතාන්‍ය රාජකීය ලේඛනාගාරයේදී අදත් මෙකී ලියවිලි දැකබලා ගත හැකිය.

බ්‍රිතාන්‍ය යුගයේ ලංකාවේ සිදුවූ විවිධ පැතිමාන වලට අයත් දුර්ලභ ගණයේලා සැලැකිය හැකි සිදුවීම් ගණනාවක්‌ද එම ලේඛන අතර වෙයි. මේ එවැනි එක්‌ සංසිද්ධියකි.

ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස්‌ මේ රටේ මාර්ග සංවර්ධනයෙහි පුරෝගාමී වූ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරවරයෙකි. 1818 කැරැල්ල උත්සන්න වීමට බලපෑ ප්‍රධානතම බාධකය වූයේ හමුදා ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් මාර්ග පද්ධතියක්‌ රට තුළ නොවීමයි. තිබුණේ තවලම් සඳහා ප්‍රමාණවත් වූ අඩිපාරවල් කීපයක්‌ පමණි. මේ බාධකය ජය ගැනීමට රොබර්ට්‌ බ්‍රවුන්රිග් (1815-1820) කළේ රට අභ්‍යන්තරයේ මරු කපොලු තෝරා ඒවායෙහි හමුදා අනුඛණ්‌ඩ ස්‌ථාපිත කිරීමයි. ආණ්‌ඩුකාරවරයාගේ මේ ක්‍රමවේදය අධික වියදමක්‌ වූයෙන් ඒ සඳහා විකල්පයක්‌ සොයාගත යුතුව තිබුණේය. මේ පිළිබඳව සංවාදය පැවැතෙද්දී බ්‍රවුන්රින් ආණ්‌ඩුකාරයාට 1820 මුලදී තනතුරින් අස්‌වීමට සිදුවිය.

ඊළඟට එම ධුරය හිමිවූයේ ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස්‌ටය. බාන්ස්‌ බ්‍රිතාන්‍යයේ රාජකීය යුද්ධ හමුදාවේ සෙන්පතියකු සේ සුප්‍රකට වෝටර්ලූ සටනට සහභාගි වූවෙකි. කෙසඟ පුද්ගලයකු වුවද කාර්යශූර හමුදා නිලධරයකු වූ ඔහු බ්‍රිතාන්‍ය රජය විසින් ලංකාවේ සේනාධිනායක ධුරයට පත්කර තිබුණි. බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාර ධුරයෙන් ඉවත් වූ විට බාන්ස්‌, උප ආණ්‌ඩුකාරයා වශයෙන් කොළඹදී වැඩ භාරගත්තේය. 1819-1822 තෙක්‌ ඔහු එම තනතුර දැරුවේය. 1822-24 දක්‌වා ඔහු ඉන්දියාවේ බ්‍රිතාන්‍ය හමුදාවේ නායක තනතුරකට මාරුකොට තිබුණි.

එම සේවය නිමාවේ 1824 දී එඩ්වඩ් බාන්ස්‌, ලංකාවේ ස්‌ථිර ආණ්‌ඩුකාර පදවියට පත් විය. ඔහුගේ පළමු කාර්යයන් වූයේ රටේ මාවත් සංවර්ධනය හා වැවිලි දියුණු කිරීමයි. මේ වසරේම සිදුවූ තවත් සිද්ධියක්‌ වූයේ ලංකාවේ පළමු පෙළේ සිවිල් නිලධාරියකු වූ ජෝන් ඩොයිලි 1824 දී මියයාමයි. එවැනි වෙනත් නිලධාරියකු නොවූ හෙයින් එම තනතුර වසර ගණනාවක්‌ම හිස්‌ව තැබීමට බ්‍රිතාන්‍ය පාලනයට සිදුවිය.

කොළඹ සිට මහනුවර දක්‌වා පුළුල් මාවතක්‌ ඉදිකිරීමේ සැලසුම් බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයාගේ සමයේදී සකසා තිබුණත් එය ක්‍රියාත්මක නොවීය. ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස්‌ ආණ්‌ඩුකාර පදවියට පත්වූ හැටියේම, එම කටයුත්තට මුලපිරුවේය. ඔහුත් සමග යුද සේවයේ නිරතව සිටි මේජර් ස්‌කිනර් මංමාවත් පිළිබඳ කොමසාරිස්‌ පදවියට පත්කොට බ්‍රිතාන්‍ය රජයේද සහාය මත කොළඹ මහනුවර මාර්ගයට මුලපිරුවේ 1825 වසර මුලදීය.

අප මුලදීම සඳහන් කළ පරිදි නිල්පොතට ඇතුළත් වූ අපූරු සිද්ධිය වාර්තා වූයේ මේ මාවත තැනීමේදීය. කොළඹ සිට කෑගල්ල දක්‌වා වැඩි ආයාසයකින් තොරව මාවත ඉදිකෙරිණි. කෑගල්ල සිට මාවනැල්ල දක්‌වා මාර්ගය ඉදිකිරීමේදී අර්බුද රැසක්‌ මතුවී තදබලව බාධා පැමිණියේය. වැසි සමයේ කූඩැල්ලන්, මහජන විරෝධතා, වල්අලි හිරිහැර සේවක හිඟය වැනි බාධක නිසා පාරේ වැඩ විටින් විට අත්හිටුවීමට පවා සිදුවිය.

මේ කාලයේදී කැප්ටන් ඩෝසන් යටතේ කඩුගන්නාවේ කපොල්ල නිම විය. 1829 දී මැලේරියා උණ රෝගය වැළඳී කොළඹදී ඩෝසන් මිය ගියේය. එහෙත් මාර්ගයේ වැඩ නිමාවීමට ලොකුම බාධාව වූ කෑගල්ල අර්බුදය ජයගන්නට ආණ්‌ඩුකාරයා දැරූ උත්සාහය පලදැරුවේ නැත. සුදු ජාතික ඉංජිනේරුවරු එහි යැම ප්‍රතික්‍ෂේප කිරීම ඊට බලපෑවේය.

මෙම වැඩබිමට නිරතුරුවම වල් අලි කඩාවැදී මිනිසුන් හා ඉදිකිරීම් ද්‍රව්‍යත් කූඩාරම් ආදියත් වනසා දැමීම් සිදුවිය. විරෝධතාකරුවෝ ගබඩාවල තිබුණ ඩයිනමයිට්‌ ආදී පුපුරණ ද්‍රව්‍ය විනාශ කළහ. සමහර කම්කරුවන් මරා දැමූහ. ඉහළින් ගල් පෙරැළුEහ. කූඩැල්ලන්ට තිබූ සුද්දන්ගේ බියද සුළුපටු නොවීය.

ආණ්‌ඩුකාරවරයා මේ අර්බුදයට විසඳුම් සොයමින් සිටියදී ලාබාල වයසේ ඉංජිනේරුවෙක්‌ වරක්‌ ඔහු ඉදිරියේ පෙනී සිටියේය. ඉංජිනේරුවකු වුවත් මේ කඩවසම් තරුණයාට එවැනි භාරධුර කටයුත්තකට ඇති හැකියාව ශ්‍රීමත් බාන්ස්‌ට සැක සහිත විය.

එහෙත් මාර්ග කොමසාරිස්‌ ස්‌කිනර්ගේ නිර්දේශය ප්‍රතික්‍ෂේප කිරීමට ආණ්‌ඩුකාරයාට නොහැකි වූ නිසා, ඉංජිනේරු විල්කින්සන්ට වගකීම පැවරුණි. විසිහතර හැවිරිදි තරුණයකු වුවද ලුතිනන් විල්කින්සන්, දිරිමත් ඉංජිනේරුවකු බව මේජර් ස්‌කිනර් දැන සිටියේය. ඔහුගේ සහායට හමුදා පිරිසක්‌ද යෙදවීමට ආණ්‌ඩුකාරයා වගබලා ගත්තේය.

අලුත් ඉංජිනේරුවා, සිංහල බසින් සැකැසූ දැන්වීමක්‌ ප්‍රදේශය පුරා ගස්‌ගල්වල අලවමින්, නිවේදනය කළේ, මාර්ගය ප්‍රදේශවාසීන්ගේ යහපත පිණිස ඉදිකරන බවය. ප්‍රදේශයේ අයට රාජකාරි පිළිවෙතට පිටින් දෛනික වැටුපක්‌ සහිතව මාර්ගයේ වැඩ ලබාදුනි. පළාතේ වලව්වලට අයත් අලි ඇතුන් ඉහළ ගෙවීම් යටතේ පාරේ වැඩට ලබාගත්තේය.

මාස කීපයකදී පැවැති සියලු බාධක නිවාරණය විය. 1826 දී කොළඹ නුවර ප්‍රධාන මාර්ගය අශ්ව කෝච්චි සඳහා විවෘත විය.

නිල්පොතේ අර අපූරු විස්‌තරය වාර්තා වන්නේ මාර්ගය විවෘත කිරීමේ උත්සවය ආණ්‌ඩුකාර නිවෙසේදී උත්කර්ෂවත්ව පැවැත්වූ දාය. ආණ්‌ඩුවේ සියලුම උසස්‌ නිලයන් හා සුදු ප්‍රභූන්ද පිරිවැරූ ආණ්‌ඩුකාර එඩ්වඩ් බාන්ස්‌, තමාට එම ජයග්‍රහණය අත්කර දුන් ලුතිනන් විල්කින්සන්ට රාජ්‍ය ගෞරව දැක්‌වීමයි. ඔහුට රාජකීය නම්බු නාමයක්‌ද නිර්දේශ කළේය.

එපමණක්‌ නොවේ බ්‍රිතාන්‍යයේ පැවැති සම්ප්‍රදායක්‌ වූ වික්‌ටෝරියානු සංස්‌කෘතියට අයත් සිරිතකට අනුව ආණ්‌ඩුකාරයාගේ රූමත් ලාබාල බිරින්දෑ සමග රැයක්‌ ගතකිරීමේ දුර්ලභ අවස්‌ථාවද ලපටි ඉංජිනේරුවාට එදා උදාවිය.

සිරිපාල කඳුමුල්ල

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි