නුවරඑළිය “පුංචි එංගලන්තයක්‌ කිරීමට ජීවිත කාලයම කැප කළ සැමුවෙල් වයිට්‌

ශ්‍රී ලංකාව එංගලන්තයේ සුද්දන්ට යටත්වීමෙන් පසු වර්තමාන නුවරඑළිය නමින් හැඳින්වෙන ප්‍රදේශය සුද්දන්ට සුවදායක වූ බැවින් ඔවුහු එම ප්‍රදේශය තම රටට සමාන පුංචි එංගලන්තයක්‌ බවට පරිවර්තනය කළහ.

සිංහලේ රජවරුන් මෙම උස්‌ කඳුකර වනගත ප්‍රදේශය ජනාවාස කිරීමට උනන්දු නොවූයේ හේතු සාධක සහිතවය. ඉන් ප්‍රධානතම හේතුව නම් නිර්මල ජලධාරාවල උත්පත්තිය මෙම කඳු ශිඛර බහුල පෙදෙසින් සිදුවූ නිසාත් ජලයෙහි වටිනාකම පාලක රජවරුන්ට අවබෝධව තිබූ නිසාත්ය.

තවද මෙම නුවරඑළිය පෙදෙසින් රජවරුන්ට මැණික්‌ ලබාගත හැකි විය. විශේෂයෙන් රතු මැණික්‌ වර්ග ලැබුණේ නුවරඑළියෙනි. රාජදූතයන්ගේ පරීක්‍ෂාව යටතේ රටවැසියෝ මැණික්‌ පතල් හාරා මැණික්‌ මතුකරගෙන රාජවාසලට දුන්හ.

සුද්දන් නුවරඑළියට පැමිණියේ මැණික්‌ ගැරීමට නොවේ. ඔවුන්ට එංගලන්තයේ මෙන් සනීපදායකව ජීවත්වීමට හෝ නිවාඩුවක්‌ ගත කිරීමට හෝ පමණි. ඇතැම් සුද්දෝ වගාව ප්‍රිය කළහ. ඔවුන් අතරින් කෙනෙකි සර් සැමුවෙල් වයිට්‌ බේකර්. මොහුට සර් නම්බුනාමය ලැබුණේ පසු කාලයේදීය.

සැමුවෙල් බේකර් නුවරඑළියට පැමිණ ඉඩම් වගා කිරීමට ගත් මූලික උත්සාහයේදී තමන්ට මුහුණපාන්නට සිදුවූ දුෂ්කරතා සිය එයිට්‌ ඉයර්ස්‌ ඉන් සිලෝන් (Eසටයඑ ශැaරි සබ Ceහකදබ) නමැති ග්‍රන්ථයෙහි මනාව විස්‌තර කරයි.

සැමුවෙල් බේකර් උගතෙකි. ඉවසිලිවන්තයෙකි. වැවිලි කර්මාන්ත ප්‍රිය කළ අයෙකි. ඔහු සමග තම සොහොයුරකුද ලංකාවට පැමිණි වග අපි කලින් කීවෙමු.

සර් රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා ගේ කාලයේ දොස්‌තර ජෝන් ඩේව් විසින් ක්‍රි. ව. 1819 දී නුවරඑළිය සොයාගත් බවත් කියෑවේ. එහෙත් මෙය ස්‌වදේශිකයන්ට අමුතු දෙයක්‌ නොවීය. ඔවුහු නුවරඑළිය ගැන දැන සිටියහ. නමුත් සුද්දෙකු (ජෝන් ඩේව්) ප්‍රථමවරට නුවරඑළියට පැමිණ ඇත්තේ එකී වසරේදීය (1819) එහෙත් ක්‍රි. ව. 1824-1831 අතර ලංකාව පාලනය කළ සර් එඩ්වඩ් බාන්ස්‌ ආණ්‌ඩුකාරයා ක්‍රි. ව. 1828 දි පමණ නුවරඑළිය සුද්දන්ගේ නිවාඩු නිකේතනයක්‌ ලෙස ගොඩනැගීමට පියවර ගනු ලැබීය. එහි දේශගුණික තත්ත්වය අගය කළ බාන්ස්‌ තමා වෙනුවෙන්ම නිවාඩු නිවසක්‌ ඉදි කළේය. වෙනස්‌කම් රාශියක්‌ සහිතව අද දක්‌නට ලැබෙන නිව් ග්‍රෑන්ඩ් හෝටලය නමින් හැඳින්වෙන්නේ බාන්ස්‌ ආණ්‌ඩුකාරයාගේ එම නිවාඩු බංගලාවයි.

බාන්ස්‌ ආණ්‌ඩුකාරතැන නුවරඑළියට ආදරය කළද 1831 අවසානයේදී ඔහුගේ නිල කාලයටද “තිත” තැබීමට සිදු විය. මේ හේතු කොට නුවරඑළිය පසුබෑමකට ලක්‌ විය. ක්‍රි. ව. 1847 දී සැමුවෙල් බේකර් ලංකාවට පැමිණ නුවරඑළියට අවතීර්ණවීමත් සමග ඔහුට දකින්නට ලැබී ඇත්තේ “පිබිදී” යළි නිදන නුවරඑළියයි.

නුවරඑළිය තමන්ගේ “දෙවැනි මව් නිවස (දෙවැනි මව් රට) වශයෙන් සැලකීමට තීරණය කළ සැමුවෙල් බේකර් ඉංග්‍රීසි ආණ්‌ඩුවෙන් ඉඩමක්‌ මිලයට ගත්තේය. අක්‌කරයක්‌ ෂිලිං 20 ක්‌ විය. වැවිලි කර්මාන්තය සඳහා අවශ්‍ය සියලුම කෘෂි උපකරණ ඔහු අර්ල් ඔෆ් හාඩ්විකේ නම් නෞකාවෙහි පටවා කොළඹට ගෙනවුත් නැවත නුවරඑළියට ගෙන ආවේය. මෙම කෘෂි උපකරණ සමගම ගොවිපළකට අවශ්‍ය වන එලු, බැටළු, හරකුන් ආදී බේකර් බෝකර ගෙන්වා ගත්තේය.

හොණ්‌ඩර 13 ක්‌ පමණ බර “හොඳ” කේප්ප එළදෙනක්‌ ද එම සතුන් අතර වූවාය. කොළඹ වරායේ සිට නුවරඑළියට සැ. 115 ක්‌ දුරින් පමණ වූයෙන් මේ අගනා අහිංසක “සතා” වෑන් රථයකට පටවනු ලැබීය. වෑන් හිමිකරු පවසා ඇත්තේ එහි අලියකු වුවත් ගෙන යා හැකි බවයි. (“මේ අපේ මිනිස්‌සුන්ගේ ස්‌වභාවයයි) නමුත් එළදෙන වෑන් රියට පටවනවාත් සමග වෑන් රථයේ තට්‌ටුව කඩාගෙන එළදෙන බිමට වැටිණ. ඇයට වැඩි තුවාලයක්‌ නොවීය.

සැමුවෙල් බේකර් නුවරඑළියේ ප්‍රථමවරට “ඕට්‌ස්‌” නමැති ධාන්‍ය වර්ගය වගා කළේය. ඔහු සඳගල තැන්නෙහි (ඵදදබ ඡක්‌සබි) අක්‌කර 200 ක භූමි භාගයක්‌ රජයෙන් ලබාගත්තේය. මෙහි අක්‌කර 20 ක පමණ ඕට්‌ස්‌ (ධඔAඔS) වගා කළේය. මෙම භූමිය හරහා ගලා ගිය ජලධාරාවක්‌ හරහා ඇතින්නක්‌ පාලමක්‌ වැනි ඒදණ්‌ඩක්‌ ගොඩනැගූ ආකාරය සැමුවෙල් බේකර් ප්‍රශංසනීය අන්දමින් විස්‌තර කරයි.

මේ තිරිසන් සතා අඩි 18 ක්‌ දිග රෙඩ්කීනා නම් සවිමත් කොට දෙකක්‌ ඇදගෙනැවිත් (ඇත්ගොව්වාගේ විධානයද පරිදි) දියපාර හරහා හරස්‌කොට තබා සිය හිසෙන් කඳන් දෙක එකට ළං කළ ආකාරය බේකර් පුදුම සහගත ආකාරයෙන් හැඟුම්බරව ප්‍රකාශ කරයි. දක්‍ෂ බාස්‌ උන්නැහේ කෙනෙකු ලෙස මේ “ඇතින්න ” පාලම ඉදිකළ ආකාරය ප්‍රශංසනීය බව බේකර් කියයි.

කවුරුන් කුමන මත ගෙනහැර දැක්‌වූ වද නුවරඑළියෙහි කෘෂිකාර්මික පුරෝගාමියා සර් සැමුවෙල් වයිට්‌ බේකර්ය. ඔහු පළමුවෙන් ඕට්‌ස්‌ද දෙවනු අර්තාපල් ද ඊළඟට එළවළු වර්ගද වගාකොට ආදර්ශයක්‌ ලබා දුන්නේය. සුද්දන්ට “කෝපි පිස්‌සුව” වැළඳුනේ ක්‍රි. ව 1840 දි පමණය.

වැරදි තක්‌සේරුවක්‌ හේතුවෙන් (කෝපිවලට ඉතාම සුදුසු උස්‌බිම අඩි 2500-4000 අතර විය) නුවරඑළියෙහි කෝපි වගා කළ සුද්දෝ ක්‍රි. ව. 1864 දී ඇතිවූ කෝපි රෝගය හේතුකොට ඉන් දශක දෙකකට පසුව ශ්‍රී ලංකාවෙන් කෝපි අතුරුදන් විය.

නුවරඑළියේ උස්‌බිම් මට්‌ටම සැලකූ සුද්දෝ ඊළඟට තේ වගාවට අවතීර්ණ වූහ. ක්‍රි. ව. 1853 නුවරඑළියේ සහකාර දිසාපති පදවිය හෙබවූ එච්.

මූයාර්ටි මහතාගේ මාර්ගයෙන් තේ පැළ 30 ක්‌ පමණ ලබාගත් ඊ. එෆ්. ගෙප් පාදිලි උන්නාන්සේ නුවරඑළියේ රජ වාසල (එවකට (Qමැeබි ඤඑඒටැ) අසල ශාන්ත අන්තෝනිගේ භූමි භාගයෙහි මෙම තේ පැඵළ සාර්ථකව වගා කළ බව සඳහන් කරයි.

එවකට ලංකාවේ අග්‍ර විනිශ්චයකාරවරයාව සිටි සර්. ඒ. ඔලිෆන්ට්‌ මැතිතුමා ගේ පුත්‍රයා වූ ලෝරන්ස්‌ ඔලිෆන්ට්‌ ශිෂ්‍යයාට තමා ශිල්ප ඉගැන්වූ බව සඳහන් කරන පාදිලිවරයා තමා තවාන් දැමූ එම තේ පැළ වලින් වර්ධනය කරගත් තේ වගාව අගවිනිසුරුතුමාගේ විශ්‍රාමයෙන් පසුව ඔහුගේ පුත් ලෝරන්ස්‌ විසින් ඉදිරියට රැගෙන යන්නට ඇතැයි අපේක්‍ෂා කොට ඇත. වර්තමානයේ ඔලිගන්ට්‌ වත්ත නමින් හැඳින්වෙන තේ වත්තවී ඇත්තේ මෙයයි.

ඔෆගන්ට්‌ විසින් ක්‍රි. ව. 1874 දී අක්‌කර 100 කින්a ආරම්භ කළ තේ වගාව ක්‍රි. ව. 1900 වන විට නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ අක්‌කර 200,000 (දෙලක්‍ෂය) ක්‌ දක්‌වා වර්ධනය වූයේය. ඔබ අද නුවරඑළියට ගිය විට දකින ඇතැම් තේවතුවල ඇටවලින් වගා කළ දැවැන්ත මුල් සහිත තේ පඳුරු එකී පැරණි තේ ගස්‌ය. නමුත් දැන් වැඩි අස්‌වැන්නක්‌ ගෙන දෙන රිකිලි තේ වර්ග නුවරඑළියෙහි දක්‌නට ලැබේ.

එහෙත් ලෝකාන්තයට නගින විට (බෙලිහුල් ඔය පැත්තෙන්) ඔබට නන් සෙරිල්වත්තේ පහල කොටසේ දක්‌නට ලැබෙන (දැනට අතහැර දමා ඇති) තේ පඳුරු නුවරඑළිය ආරම්භක තේ වගා සමයේ පැළ කරන ලද ඇටවලින් හටගත් තේ පඳුරුය. තේ මුලක්‌ පරීක්‍ෂා කර බැලීමෙන් ඔබට මෙහි සත්‍යය වටහාගත හැකිය.

ඡේම්ස්‌ ටේලර්ගේ ලූල්කදුර වත්තේ තේ වගා ආරම්භය හා නුවරඑළියේ තේ වගාවෙහි ආරම්භය සමග සැසඳීම නුවණට හුරු නොවේ. මෙය විවාදාත්මක කරුණකි.

ස්‌ටැන්ලි සේනාධීර