දුටුගැමුණු කුමරුගෙන් කඳ සුරිඳුන්ට දේවාල බාරයක්‌

දුටුගැමුණු රජු එළාර සමඟ යුද වදින්නට ගමන් ගත් දා දහවල අහර ගනු පිණිස සේනාව සමඟ පැමිණියේ කතරගම පෙදෙසට ය. එහිදී තමා සමඟ පැමිණි සේනාවට ලැඟුම් ගන්නට සලස්‌වා ඒ වන විට කතරගම පෙදෙසේ සිටින මිනිසත් බව ඉක්‌මවා සිටින බලගතු පුද්ගලයකු ලෙස ප්‍රකට වූ කතරගම දෙවියන් ගැන සොයන්නට ගැමුණු රජුට සිතක්‌ පහළ විය.

සේනාව ගැල් නතර කර රජුන් ඇතුළු තම පිරිසට අහර පිසින්නට පටන් ගත්තෝය. ගැමුණු රජ කතරගම දෙවියන් ගැන තොරතුරු දැන ගන්නට අසල ගම්මානය කරා ගමන් ගත්තේය.

ආහාර පිස නිම වූ පිරිස රජතුමාට පළමුව වළඳවා තමුන් ඉක්‌බිති අහර බුදින්නට සුදානම්ව මඟ බලා සිටියහ. රජුන්ගේ ගමන ප්‍රමාද වනු බලා ඔවුහු නොවිසිලිමත්ව සිටියෝ ඈතින් තමන් වෙත පියමන් කරමින් එන දුඹුරු වන් සාටකයකින් සිරුර වසා සිටි තාපසයෙකු දැක විමසිලිමත් වූහ. රජුන්ට පළමුව මේ තවුසා අහර ඉල්ලා සිටියොත් කිසිවක්‌ නොදී හෙතෙම පිටමං කරන්නට පිරිස කතිකා කර ගත්හ. ඔවුන් බලාපොරොත්තු වූ පරිද්දෙන්ම හෙමි හෙමින් පැමිණි තවුසා බුදින්නට යමක්‌ ඇත්දැයි ඔවුන්ගෙන් විමසීය.

උණු උණුවේ දුම් දමමින් ඇති රස මසවුලු භාජන පුරා තිබියදී තමන් සතුව කෑමට යමක්‌ නැතැයි පිරිස කීවෝ අන් කරුණක්‌ නිසා නොව තම රජතුමා තවමත් අහර කිස නොනිමවා තිබූ හෙයිනි. මේ භාජන පුරා ඇත්තේ කිමෙක්‌ දැයි තවුසා පිළිවිසීය.

“මේ භාජන පුරා ඇත්තේ උදු පිටි යෑයි” පිරිස කීහ. පැමිණි උපශාන්ත ගමන් ඉරියව්වෙහි වෙනසක්‌ නොකරම තාපසයා වනයෙහි රුක්‌ වදුලු අතරින් නොපෙනී ගියේය. පිරිස සැනසුම් සුසුම් හෙළුහ.

කතරගම දෙවියන් ගැන තොරතුරු අසන්නට ගිය රජතුමා ආපසු පැමිණියේ තවුසා ගොස්‌ ටික වේලාවක්‌ ගත වූ පසුවය.

රජු පැමිණෙන තෙක්‌ මඟ බලා සිටි පිරිස ඉක්‌මන් කොට රාජ භෝජනය පිළිගන්වන්නට සූදානම් වූහ.

සිදු වී ඇති විපත දුටු ඔවුහු පුදුමයට පත්වූහ. සුවඳ හමමින් පිළිවෙළ වූ අහර සියල්ල උදු පිටි බවට පත්ව ඇත. රජුට මෙය කියා සමාවක්‌ ලබා ගත් නමුදු සිදු වී ඇති අරුමය ගැන ඔවුහු පුදුමයට පත්වූහ.

කෑම ගෙනෙන්නට ගිය පිරිස කුමක්‌ හෝ පටලැවිල්ලකට පත්ව සිටිනා වග දැනගත් රජතුමා ඔවුන් කැඳවා කාරණය විචාලේය. තමන් වෙන්ව ගොස්‌ සිටි මොහොතේ පැමිණි දුඹුරුවන් සාටකයකින් සිරුර වසා සිටි උපශාන්ත පෙනුමකින් යුතු තවුසෙක්‌ කෑමට යමක්‌ ඉල්ලා සිටි වගත්, රාජ භෝජනය පිළිගන්වන්නට පළමු ආගන්තුකයෙකුට සත්කාර කරන්නට නොහොබිනේ යෑයි සිතා තම සේවකයන් තමන් වෙත ඇත්තේ උඳු පිටි පමණෙකැයි කියා ඔවුන් රවටාලු සැටිත් ඒ තවුසා ආපසු වන වදුලු අතරින් නොපෙනී ගිය වගත් රජතුමා ඔවුන්ගෙන් අසා දැන ගත්තේය.

මෙය සැබැවින් ම උදහස්‌ විය යුතු අවස්‌ථාවක්‌ නොවේ. තමා සමඟ මේ පැමිණ සිටින සේනාව එකාවන් බැඳුණු සිත් ඇතිව තම කටයුත්තට උර දී සිටින්නෝය. එයටත් වඩා තමාට ඇති වැඩි පක්‍ෂපාතී කමකට කළ කාරියක්‌ අනිටු ප්‍රතිඵල උදා වී ඇත. තවත් අතකින් තමා මෙතෙක්‌ සොයමින් සිටි පුද්ගලයා මොහු විය යුතු නොවේ ද යන දැඩි සිතුවිල්ලක්‌ රජුන්ගේ සිත තුළ මතු වන්නට විය.

කුසගිනි නැතිව ගියේය. කුතුහලය දැඩිව දැනී ගියේය. සිත තුළ මෙතෙක්‌ බලපෑ සිතුවිල්ලක්‌ සාර්ථක වන ලකුණු ඇස්‌ ඉදිරියේ පෙනෙන්නට විය. තමන් යන ගමන නිසැකවම ඉටු වන්නක්‌ ද යන්න දැන ගත හැකි වන මාර්ගයක්‌ පෑදි ගෙන එන වගක්‌ රජුට පෙනිණි.

ක්‍ෂණයකින් රජු නැගී සිටියේය. තවුසා ගිය මග පෙන්වන්නට පිරිස සූදානම් වූහ. ඔවුන්ට පෙරටුව වන ලැහැබ අතරින් රජතුමා ඉදිරියට ගමන් ගත්තේය.

“අන්න රජතුමනි අර ඉන්නේ” පිරිසේ එකෙකු මැණික්‌ ගං තෙර භාවනානුයෝගීව සිටිනා තවුස්‌ රුව රජුන්ට දැක්‌විය.

පිරිස ඉද්ද ගැසුවාක්‌ මෙන් නතර වූහ. රජු ඔවුන් එහි සිටුවා ගං තෙරට ගමන් ගත්තේය. තවුසාත් තමාත් අතර වූ මැණික්‌ ගඟ දිය පහර නොවූ නම් රජතුමා තවුසාගේ පා මුලටම යනු ඇත. එහෙත් ගඟ දිය පහර සැරයට සිටී.

ගඟ මෙගොඩ සිටි රජතුමා දොහොත් මුදුන් දී තවුසාට වැඳ නමස්‌කාර කළේය.

“ස්‌වාමීනී, අප පිරිසේ අඳ බාලයන් අතින් නොදැනුවත්ව වූ වරදට සමාව දෙන්න. මම ඔබ වහන්සේ හඳුනන්නෙමි. ඔබ වහන්සේ ද මා හඳුනනවා ඇතැයි සිතමි. ලක්‌දිව යළිත් එක්‌ සේසත් කළ යුතු කාලයක්‌ එළැඹ ඇත. අහිංසක මිනිස්‌ ජීවිත දුර්ජනයන්ගේ පහර ලැබ ලේ විලක්‌ බවට පත්වන්නේය. බුදුන් වැඩම කළ රට බුදුන් පහස ලැබූ රට අදහම රජ කරන්නේය. මේ පැතූ පාරමිතා ඉටු කරන්නට අවස්‌ථාව එළැඹ ඇත්තේය. රටවාසීන් දුකින් මිදවීමට කල් යල් එළැඹ ඇත්තේය. දහමට කැපවුණු ඔබතුමන්ගේ ආශිර්වාදය ලබන්නට අපි ඔබතුමා හමුවන්නට පැමිණියෝම, අපට සමාව වන සේක්‌වා” යි රජතුමා නමස්‌කාර පෙරටුව කීවේය.

“මම ඔබට සමාව දෙමි. ඔබගේ පිරිසටද සමාව දෙමි. එතෙකින් නොනැවතී ඔබගේ ගමනට ආශිර්වාද කරමි. එව මා අසලට එවයි” යි තවුසෝ කීහ.

“ස්‌වාමීනී ඔබ හා මා අතර කළ කතාබහ ඇරඹෙත්ම මේ ගඟ දිය

සැඩපරුෂව නැගී එන්නට වන. දැන් ගඟ දිය සැඩ පහර වඩාත් දරුණුව ඇත්තේය. මා ඔබ වෙතට කෙසේ පැමිණෙන්නෙමි ද?” යි රජු කීය.

“ඔබගේ අතෙහි ඇති ඔය මඟුල් කඩුව එසේ මෙසේ වූවක්‌ නොවේ.

කඩු පහරින් ගඟ දියට ගසා එම පහර ලැබෙන දිය පාර ඒ දණ්‌ඩක්‌ වන්නේය. එයින් තොපට මා සමීපයට ආ හැකි වන්නේ යෑ” යි තවුසෝ කීහ.

පාදයක්‌ පෙරට තැබූ රජතුමා මඟුල් කඩුව ගෙන දිය දෙබෑ කළේය. එයින් මතු වූ ඒ දණ්‌ඩ දිගේ පැමිණ තවුසන් පා මුල වැඳහොත්තේය.

තවුසන්ගේ ආශිර්වාදය ලැබ රජතුමා උද්දාමයට පත් විය. තමා දැනටමත් දිනා ඇති වගක්‌ ඔහුට දැනිණි.

“මහා බලගතු වූ කතරගම කන්ද කුමාර දිව්‍ය රාජයාණෙනි, මම දෙමළුන් යටත් කොට මෙරට එක්‌සේසත් කරගෙන පැමිණි දිනයෙහිම ඔබවහන්සේගේ තෙද බල මේ කප පවතිනා තුරු මෙරට වැස්‌සන්ට දැක බලා ගත හැකි වන පරිද්දෙන් මේ ස්‌ථානයෙහි පූජා නගරයක්‌ ඉදිකරන්නෙමි. ඔබ වහන්සේට වාසය කරනු පිණිස රත්තරනින් දේවාලයක්‌ කරවා දෙන්නෙමි. මට එයට අවසර දුන මැනවි” යෑයි රජතුමා වරයක්‌ ඉල්වීය.

“රත්තරනින් කළ දේවාලයක්‌ මට අවැසි නොවේ. යන්තම් දෙවොලක්‌ ඇති කරන්නට පමණක්‌ මම තොපට අවසර දෙමි” එය අතු පන්දලමක්‌ (අතු පැලක්‌) විය යුතුය. එයට වඩා වැඩි වටිනාකමක්‌ ඇති දෙයක්‌ මම බලාපොරොත්තු නොවෙමි” යෑයි තවුසෝ පිළිවදන් දුන්හ.

“දෙබස කෙළවර වත්ම ගසමුල වැඩහුන් තවුසා අතුරුදන්ව ගොස්‌ය. ආපසු යන්නට සිතා ගඟ දිය දෙස බලත්ම ගඟ දිය සිඳී ගොස්‌ ඇති සැටි දිටීය. වළලුකරක්‌ පමණ වූ ගඟ දියෙහි බැස රජතුමා ආපසු පිරිවර කැටුව ගමන් ගත්තේය. උඳු පිටි බවට හැර වී තිබූ අහර රසමසවුළුව තිබිණි.

එදා කතරගම දෙවියන්ට පූජා ස්‌ත්‍රොත්‍ර ගායනා කරමින් සිට පසුදා විජිත පුරය බලා යන ගමන ඇරඹුහ.

යුද්ධය දිනා ආපසු එන ගමනේ තමනට කළ උපකාරය සිහිපත් කරනු පිණිස කතරගම අද මහා දේවාල භූමිය පිහිටි තැන අතු පන්දලමක්‌ කරවීය. ඒ සමඟම කළ දේවාල ගෘහයට රන් කොත් තුනක්‌ තනවා දුටුගැමුණු රජු දෙවියන්ට කළගුණ සිහිපත් කළේය.

එදා තමන් ගමන් ගත් දෝලාව කතරගම දෙවියන් වෙනුවෙන් පූජා කළේය. දෝලාව සහිත උණ ගස තවමත් කතරගම දේවාලය සමීපයෙහි තිබෙනා ගබඩා ගෙයි සුරක්‍ෂිතව ඇත.

දුටුගැමුණු රජු කතරගම දේවාලය ඉදිකර දේවාලයේ පැවැත්මට ගොඩමඩ ඉඩම් ලබාදී දේවාලයේ තේවා සඳහා රාජකාරිකරුවන් 555 දෙනකු පත්කර ඉර හඳ පවතිනා තුරු පුද පූජා පවත්වන ලෙස කපුවරුන්ට නියෝග කළහ. එය අදත් එලෙසම සිදු වේ.

කේ. ඩී. දේවප්‍රිය

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි