කන්ද උඩරට හැඩවැඩ කළ රාජකීය ශේ්‍රෂ්ඨ ගෘහනිර්මාණ ශිල්පියාගේ ශොකාන්ත අවසානය

ශ්‍රී ලංකාවේ දීර්ඝ පෞඪ අතීතයට නෙත් යොමු කරද්දී අපට පෙනී යන්නේ මහනුවර රාජධානි සමයේ බිහිවූ අති දක්‌ෂ මෝස්‌තර ශිල්පීන්ගෙන් හා රාජකීය ශිල්පීන්ගෙන් කෙනෙකු වන දේවේන්ද්‍ර මූලාචාරී ගැන දන්නේ හෝ ලියා ඇත්තේ හෝ සාපේක්‍ෂව ඉතා අල්ප ලෙසින් බවය.

මොහු විසින් මහනුවර රාජධානි සමයේ සැලසුම් කළ හෝ ගොඩනගන ලද ඓතිහාසික සිහිවටන අතරට මහනුවර දන්ත ආරාමයේ එසේ නැතහොත් බෙහෙවින් ප්‍රකට දළදා මාලිගාවේ පත්තිරිප්පුව හෙවත් අටපට්‌ටම, මාලිගාව වට කරන තාප්පය වන අතිනිර්මාණශීලී වලාකුළු බැම්ම, නුවර වැව වටා ඇති දියරැල්ල බැම්ම හෙවත් සාලංකාර බැම්ම, මහනුවර මඟුල් මඩුව හෙවත් රැස්‌වීම් ශාලාව ද තවත් ගොඩනැඟිලි ගණනාවක්‌ ද සියුම් කලා ශිල්ප ද ඇතුළත් වේ. මොහු රජවරුන් තිදෙනෙක්‌, එනම් කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි. ව. 1747-1782), රාජාධි රාජසිංහ (1782-1798) හා ශ්‍රී වික්‍රම රාජසිංහ (1798-1815) යටතේ සේවය කොට ඇත.

ඔහුගේ මුල්කාලය පිළිබඳ එතරම් තොරතුරු නොමැත. කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි. ව. 1747-1782) වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ උපදෙස්‌ මත ආක්‍රමණිකයන් විසින් විනාශකරන ලද හා වල්බිහිව තිබු පන්සල් සියගණනක්‌ ප්‍රතිසංස්‌කරණය කරන ලදී. ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා රජතුමා රට පුරා විසිරි සිටි සිංහල දේශීය කලාකරුවන්ගේ සහාය ලබා ගති. ඉන් ඇතමෙක්‌ දකුණේ දෙවුන්දර සිට පැමිණි අතර (එක්‌ මතයකට අනුව) දේවේන්ද්‍ර මූලාචාරිගේ පියා පැමිණ කොත්මලේ මඩකුඹුර ගමේ පදිංචි විය.

කෙසේ වෙතත් දේවේන්ද්‍ර මූලාචාරි කීර්ති ශ්‍රී රාජසිංහ සමයේදී ක්‍රි. ව. 1750 දී පමණ උඩුනුවර ප්‍රදේශයේ අරත්තන ගමේ පදිංචි වූ බව පෙනෙන්නට තිබේ. රජතුමා විසින් ඔහුට ශක වර්ෂ 1703 දී (ක්‍රි.ව. 1781) ඩිංගිත්ත අප්පු නමින් සන්නසක්‌ ලබා දෙමින් අරත්තන ගමේ ඉඩම් ලබාදුනි (කොඩ්රිංටන්, 240 වැනි පිටුව). අවට ප්‍රදේශයේ සිටින පැරැන්නන්ට ඔහුගේ පැරණි නිවස සහ ඔහුගේ අලියා බැඳ තිබු ස්‌ථානය තවමත් මතකය. එහෙත්, එදා “දේවේන්ද්‍රගෙදර” නමින් හැඳින්වුණු නිවසේ අද දක්‌නට ලැබෙන්නේ පැරණි අත්තිවාරම් ගල් කිහිපයකුත් පැරණි ළිඳත් ගල් මෙවලම් කිහිපයකුත් පමණි.

ඔහුගේ මුල්ම ගෘහනිර්මාණ කාර්යය වූයේ මිද්දෙනියේ මඩම හෙවත් බණ මඩුවය (ලෝරීගේ ගැසටියර් 589 වැනි පිටුවය). මිද්දෙනිය, තුම්පනේ උඩපලාත කෝරලේ පිහිටි ගමක්‌ වන අතර හතරලියද්දේ සිට ඉලුක්‌වෙල දක්‌වා දිවෙන මාර්ගයේ පිහිටා ඇත. මෙය කුඩා පාරවල් තුනක්‌ මුණ ගැසෙන මංසන්ධියක පර්චස්‌ 6 ක පමණ ඉඩමක ගොඩනැගුනු වර්ග අඩි 500 ක පමණ ගොඩනැගිල්ලක්‌ විය. මුල් ගොඩනැගිල්ලේ හතර පැත්තට බෑවුම් වුණු පැරණි පැතිලි උළු (පෙති උළු) සහිත වහලක්‌ හා එක්‌ දොරක්‌ තිබිණ. පුද්ගලයන්ට වාඩි වීම සඳහා බිත්තිය වටා රවුමට ගලින් තැනු ආසන පේලියක්‌ තිබු නමුත් ලී වල හෝ ගල් වල සියුම් කැටයම් කිසිවක්‌ දක්‌නට නොලැබිණි. එය භාවිත කොට ඇත්තේ රාජකාරි කටයුතු හා සාමාන්‍ය කටයුතු සඳහා රැස්‌වන ස්‌ථානයක්‌ ලෙසත් ආගමික දේශන ශාලාවක්‌ හැටියටත්ය.

අවාසනාවකට මෙන් මුල් ගොඩනැඟිල්ල දැන් දැකගත නොහැකිය. දැන් එහි තනා ඇත්තේ අර්ධ වශයෙන් නිම කළ කුඩා ශාලාවක්‌ වන අතර එය සමෘද්ධි රැස්‌වීම් සඳහා යොදා ගැනේ. ගමේ පැරැන්නන්ට මුල් ගොඩනැඟිල්ල මතක ඇති නමුත් එහි වයස හෝ එහි ඓතිහාසික හා ගෘහ නිර්මාණ ශිල්පීය වැදගත්කම ඔවුහු නොදනිති. එමෙන්ම එහි නිර්මාණශිල්පී නිර්මාතෘවරයා දේවේන්ද්‍ර මූලාචාරී බවද නොදනිති. මෙම පැරණි ගොඩනැඟිල්ලේ ඉරණම වී ඇත්තේද දිවයිනේ වෙනත් පෞරාණික හා ඓතිහාසික ගොඩනැගිලි ගණනාවකටම සිදුවී ඇති ඉරණම මය.

දේවේන්ද්‍ර මූලාචාරිගේ තවත් ඉදිකිරීමක්‌ නම් කොත්මලේ මඩකුඹුරේ පිහිටි පෑකඩ කම්හලය. ඔහු මහනුවර මඟුල් මඩුව හෙවත් රැස්‌වීම් ශාලාවේ කටයුතු කරද්දි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙම කාර්යය ඔහුට භාර දුනි. කොත්මලේ පෙර කල සිටම සිංහල රජ පෙලපත සමඟ සබඳකම් පැවැත් වූ පෙදෙසකි. ථුපවංශය හා රාජාවලිය වැනි ග්‍රන්ථවල සඳහන් කොට ඇත්තේ දුටුගැමුණු වසර කිහිපයක්‌ම තම තාරුණ්‍යය කොත්මලේ ගත කළ බවය. ඔහු උරුපැලැස්‌ස ගමරාලගේ නිවස වන “විසිරුගෙදර” ජීවත් වූ අතර ගමරාලට කළු මැණිකා හා රන් මැණිකා යනුවෙන් දූවරු දෙදෙනෙක්‌ සිටියහ. දුටුගැමුණු රන් මැණිකා සමග විවාහවු අතර පසුව ඇය ඔහුගේ බිසව විය.

කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේදී පවුල් පහක්‌ මඩකුඹුර, නවන්ගම, කඩදොර හා කිරිවන්ගොඩ පදිංචි වු අතර කොත්මලේ ප්‍රදේශයේ සිටියේ පවුල් 20 ක්‌ පමණය. මඩකුඹුරේ පදිංචි වූ මුල්ම පවුල මහ විදාන යනුවෙන් හැඳින් වූ අතර ඔහුගේ නිවස හඳුන්වන ලද්දේ “රන්හොටි විභූෂණ ගෙදර” යනුවෙනි. ඔහුගෙන් කෙලින්ම පැවතෙන්නන් තවමත් එහි පදිංචිව ඇති අතර එම නිවස පෞරාණික දිරාපත් වූ තත්තAවයක පවතී. දැනට එහි පදිංචිව සිටින පැරැන්තන් වන රන් එතනා සහ කිරි එතනා එහි ඉතිහාසය දීර්ඝ වශයෙන් විස්‌තර කරන අතර ඒ පිළිබඳ පැරණි සිංහල කවි ද කියති.

ගැමිවහරට අනුව පැවසෙන්නේ නව පදිංචිකරුවන්ට ගොවිතැන්වැඩ සඳහා කෘෂිකාර්මික උපකරණ පහසුවෙන් සපයා ගත නොහැකිවු අතර උපකරණ හා මෙවලම් අළුත්වැඩියා කර ගැනීමේ පහසුකම් නොතිබු බවය. ඔවුන්ගේ ඉල්ලීම අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කෘෂි උපකරණ නිෂ්පාදනය හා අළුත්වැඩියාව සඳහා වැඩපලක්‌ ඉදිකිරීමට දේවේන්ද්‍ර මූලාචාරීව යවන ලදී. මෙය අඩි 32 ක්‌ දිග අඩි 15 ක්‌ පලල වර්ග අඩි 500 ක්‌ පමණ වූ, ගල්කණු 6ක්‌ මත කැටයම් කළ ලීයෙන් තැනූ පෑකඩ කම්හලයි. දැනට මෙම ගොඩනැගිල්ලේ දක්‌නට ලැබෙන්නේ ගල් කණු එකක්‌ සහ ගල් අත්තිවාරමයි. එහි වහල පැතලි උළු (පෙති උළු) සෙවිලි කළ, පෑකඩ ගල් කණු මත පිහිටවු ලී වහලක්‌ වන්නට පුළුවන.

මේ කාලයේදී රජතුමා එතැනට පැමිණෙන්නට ඇතැයි විශ්වාස කරන අතර රජතුමා ස්‌නානය කළ ළිඳ සහ රාජකීය හස්‌තියා බැඳ තැබූ කොස්‌ ගසද තවමත් දක්‌නට ඇත. තම කාර්යය අවසන් කිරීමෙන් පසු දේවේන්ද්‍ර මූලාචාරී ආපසු මහනුවරට ගියේය.

ඉන් පසුව පත්තිරිප්පුව හෙවත් දළඳා මාලිගාවේ අටපට්‌ටම ඉදිකිරීමේ කටයුතු ඔහුට භාර විය. මුල් අදහස ඉදිරිපත් කරන ලද්දේ යටිනුවර රටේ මහත්තයා වූ දෙහිගම නිලමේය. ඔහු මුලින් දෙමෝදර කුමාරිහාමි සමග විවාහව පසුව අමුණුගම කුමාරිහාමි සමග විවාහ විය. 1804 බ්‍රිතාන්‍යය සමඟ කළ යුද්ධවලදී ඔහුගෙන් වූ සේවාව සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දෙහිගම නිලමේට සන්නසක්‌ ලබාදුන් නමුත් පසුව 1818 කැරැල්ලේදී ඔහු බ්‍රිතාන්‍යයන්ගේ පැත්ත ගත්තේය (ඩේවි, 1821á ඩොයිලි 1929).

පත්තිරිප්පුව ඉදිකිරීම සඳහා එහි මුලින් තිබු රාජකීය ගොඩනැගිල්ල කඩා දැමීමට සිදුවිය. දේවේන්ද්‍ර මූලාචාරී යෝජිත ගොඩනැගිලි ව්‍යqහය පෙන්නුම් කරන ආකෘතියක්‌ කෙසෙල් ගස්‌ පතුරුවලින් තනා රජුට පෙන්වීය. එම ආකෘතියට රජතුමා අනුමැතිය දුන් පසු ගොඩනැගිල්ලේ වැඩ පටන්ගෙන නිම කරන ලදි. එමගින් රජතුමාට මහනුවර හොඳින් දැකබලා ගත හැකිවු අතර ආත්මාරක්‍ෂක සටන් ක්‍රම, නැටුම් හා අනිකුත් සංස්‌කෘතික සංදර්ශන මනා ලෙස පහසුවෙන් නිදහසේ දැකබලා ගැනීමේ අවස්‌ථාව සැලසිණ. එහෙත් එකම විශේෂය වූයේ වාර්ෂික දළදා පෙරහැරේදී පෙරහැරින් දන්ත ධාතුව වඩමවන අවස්‌ථාවේදී රජතුමා පෙරහැර නැරඹීමට පහත මාලයකට පැමිණීමය.

මාලිගාව සහ රජමැදුර දිගේ දිවෙන දිය අගල සැලසුම්කිරීම සහ ඉදිකිරීමත් මාලිගාව වටා ඇති වලාකුළු බැම්ම පිළිබඳ අතිනිර්මාණශීලී මුල් සංකල්පයත් දේවේන්ද්‍ර මූලාචාරිට අයත්ය. කලින් කිරිමුහුද යෑයි හැඳින්වූ නුවර වැව හෙවත් බෝගම්බර වැව තනන ලද්දේ මල්වත්ත විහාරයට යාබද තිගොල්වැව නම් වූ කුඹුර ගොඩ කරමින් (විරුද්ධත්වය මැද්දේ) මීගස්‌තැන්න අදිකාරම්ගේ අධීක්‌ෂණය යටතේය. රැල්ලකට අනුකූල බැම්ම හෙවත් දියරැල්ල බැම්ම නුවර වැව වටා ඉදිකරන ලදි. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය මූලාචාරීගේ ජීවිත කාලය තුලදී අවසන් කිරීමට නොහැකි විය.

ඇම්බැක්‌ක දේවාලයේ ඇතැම් කැටයම් පිළිබඳ ප්‍රශංසාව හිමි වන්නේද දේවේන්ද්‍ර මූලාචාරීට හා ඔහුගේ පුත්‍රයාටය. එහි කැටයම් 514 න් විචිත්‍ර කැටයම් 128 ක්‌ කණුවල වන අතර ඒවායේ විශේෂත්වය වන්නේ එක කැටයමක්‌ තවත් කැටයමකින් වෙනස්‌ වීමය. ඒවා මහනුවර යුගයේ බිහිවු ඉතාමත්ම සියුම් කැටයම් බව සලකනු ලැබේ.

ආචාර්ය විමලානන්ද තෙන්නකෝන් ට අනුව මූලාචාරී නම්බුනාමය ශීල්පියෙකුට ලබා දෙන්නේ අඩු වශයෙන් කලා හා ශිල්ප පහක්‌වත් ප්‍රගුණ කළ ඒ පිළිබඳ විශේෂඥයෙක්‌ වූ අයෙකුටය. මහනුවර රාජධානියේ රාජකීය ශිල්පීන් වැඩපලවල් හෙවත් පට්‌ටල හතරකට බෙදාගත් කිට්‌ටු සම්බන්ධතාවයක්‌ පෙන්නුම් කරන සංවිධානයකි.

දේවේJද්‍ර මූලාචාර්යතුමා
මෙම සිතුවම 1930 දී පමණ එච්. දොන්. ලුවිස්‌ විජයමන්ත්‍රී ගුණතිලක මහතා විසින් කපා දෙන ලදුව පසුව එය ඡායාරූප ගතකර ‘විශ්ව බ්‍රහ්මණ වංශ කතාව’ කෘතියේ යෙදුවකි.

ඒවා නම් (ස) ආභරණ පට්‌ටලය (ආභරණ හා සැරසිලි වැඩපල) (සස) ඔටුනු පට්‌ටලය (ඔටුණු වැඩපල) (සසස) රන් – කඩු පට්‌ටලය (රන්කඩු වැඩපල) හා (සඩ) සිංහාසන පට්‌ටලය (සිංහාසන වැඩපල) (ඩොයිලි 135 වැනි පිටුවá නොක්‌ස්‌ 108 වැනි පිටුව). දේවේන්ද්‍ර මූලාචාරී එක්‌ වැඩපලක ප්‍රධානියා පමණක්‌ නොවු අතර ඔහුගේ දක්‍ෂතා හා හැකියාවක්‌ නිසා ඔහුගේ කාලයේ වැඩපල හතරේම ප්‍රධානියා විය.

දේවේන්ද්‍ර මූලාචාරී තවදුරටත් ප්‍රසිද්ධ වූ කරුණක්‌ නම් ඔහුගේ අද්වීතිය රියන් ලෑල්ල හෙවත් රියන් මිණුමයි. එය යකඩින් තැනූ දෙකොනේ රිදියෙන් කාවද්දා ඇති සිංහයෙකි. එහි දිග අඟල් 31 ක්‌ වන අතර ගඩලාදෙනිය කැටයමේ දිග අඟල් 30 කි. මෙම රියන් මිම්ම 1906 ජනවාරියේදී පැවැත් වූ මහනුවර කලාව පිළිබඳ ප්‍රදර්ශනයේදී ඉදිරිපත් කරන ලද අතර දැන් එය මහනුවර යුගයේ ඉදිකිරීම් සඳහා යොදාගන් අනිකුත් උපකරණ නිදර්ශක සමඟ මහනුවර ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.

ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන බලන විට, විවිධ වාර්තාවලින් විශේෂයෙන් 1817 සහ 1824 අධිකරණ කොමසාරිස්‌ උසාවි වාර්තා අනුව, දේවේන්ද්‍ර මූලාචාරී 1775 දී පමණ, කීර්තිමත් ඇල්දෙනියේ පරම්පරාවේ රන් එතනා නමැති ස්‌ත්‍රියක්‌ සමග විවාහවී ඇත. රජතුමා පුද්ගලිකවම මෙම විවාහය සිදුකිරීම සඳහා කටයුතු කළ බව කියනු ලැබේ. ඔහුට පුතුන් දෙදෙනෙක්‌ විය. ඉන් වැඩිමලා වූ දේවේන්ද්‍ර දේවාසිංහ මූලාචාරියාට ක්‍රි. ව. 1808 දී (ශකවර්ෂ 1730) කවුඩුගම සන්නස ලබා දෙමින් ඌවේ කොට්‌ටල් බැද්ද විදාන ලෙස පත්කරන ලදී. (කොඩ්රින්ටන් 241 වැනි පිටුව).

දේවේන්ද්‍ර මූලාචාරිට දියණියක්‌ ද සිටි අතර ඇය ඇම්බැක්‌කේ මානවීර වික්‍රමට විවාහ කර දෙන ලදී. දේවේන්ද්‍ර මූලාචාරිගෙන් පැවැතෙන්නන් කිහිප දෙනෙක්‌ තවමත් අරත්තන හි සහ විශේෂයෙන් මංගලගම පදිංචිව ඇත. දේවේන්ද්‍ර මූලාචාරීගේ සමීපතම පැවතෙන්aනෙක්‌ වන අරත්තන දේවේන්ද්‍රගෙදර පුංචි එතනා 1907 දී මුහන්දිරම් ලොකු අප්පු මංගලගම සමග විවාහ විය. දේවේන්ද්‍ර මූලාචාරී විසින් කරන ලද සුප්‍රකට කර්තව්‍යයන් වෙනුවෙන් ඔහුට පහත සඳහන් ප්‍රධාන හා ත්‍යාග ලබාදෙන ලදී.

කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ ක්‍රි. ව. 1891 (ශ. ව. 1703) දී ඔහුට ඩිංගිත්න අප්පු යන නමින් අරත්තන ඉඩම් ලබා දෙන ලදි. රාජාධි රාජසිංහ රජ සමයේ ක්‍රි. ව. 1786 (ශ.ව. 1708) දී ඔහුට තවත් සන්නසක්‌ ප්‍රදානය කරන ලදි. රන් තහඩු තීරුවක්‌ (පාට තහඩුව) හා නලල් පටක්‌ද (නලලේ පළඳින මැණික්‌ ආභරණයක්‌) ඔහුට තෑගිකොට තිබේ. (කොඩ්රින්ටන්, 240 වැනි පිටුව).

දේවේන්ද්‍ර මූලාචාරී රජතුමා සමග, විශේෂයෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමග ඉතා කිට්‌ටු සම්බන්ධතාවයක්‌ පැවැත්වූ බවට සැකයක්‌ නැත. මේ දෙදෙනාම ශරීර හැඩහුරු කමින් හා පෙනුමෙන් එක හා සමාන වූ අතර එය ඔවුන්ගේ කිට්‌ටු සම්බන්ධතාවයට හේතුවක්‌ වන්නට ඇත. මෙම සමානබව නිසා ඇතැම් විට ගැටළු මතු වු අතර එය හේතු කොටගෙන ප්‍රධානීන්ගේ හා රාජ සේවකයන්ගේ ඊර්ෂ්‍යාවට ලක්‌වන්නටත් එයම ඔහුගේ අකල් මරණයටත් හේතු වන්නට ඇත.

ඔහුගේ අවසානය ඔහු කළ ප්‍රධාන කටයුත්තක්‌ වන මහනුවර මගුල් මඩුව හෙවත් රැස්‌වීම් ශාලාව ඉදිකිරීම හා බැඳී ඇත. මෙය මුලින් ආරම්භ වුයේ ක්‍රි. ව. 1784 දී රාජධී රාජසිංහ රජු විසින් මුල්ගල තැබීමෙනි. ගොඩනැගිල්ල සඳහා දැව සපයාගෙන ඇත්තේ මාතලේ නාලන්දාවෙන් වන අතර ඒවාට හල්මිල්ල, නා සහ තේක්‌ක ඇතුලත්ය. එහි මුල් සැලැස්‌මට අනුව එය දිගින් මීටර් 19.75 ක්‌ පලලින් මීටර් 11.65 ක්‌, එක්‌ පැත්තකට සියුම් ලෙස කැටයම් කළ කනු 24 බැගින් මුළු ගණන කණු 48 කි, පසුව එහි දිග මීටර් 30 ක්‌ වනයේ මීටර් 10.33 කින් වැඩි කරනලද අතර කණු ගණනද නව 16 කින් වැඩි කොට අද දක්‌නා ලෙසින් සියුම්ව කැටයම් කළ කනු 64 කින් නිම කරන ලදී.

මෙම කාර්යය නිම කිරීමට දිගු කලක්‌ ගතවු අතර 1798 දී රාජාධි රාජසිංහ රජු මිය යන විටදීත් අවසන්ව නොතිබිණ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා යටතේ ද ඉදිකිරීම සිදුවූ අතර ඔහුගේ රාජ්‍ය කාලය තුලදී බොහෝදුරට අවසන් විය. විදේශ තානාපතිවරුන් පිළිගැනීම, ඉහළ අධිකරණයේ රැස්‌වීම් මෙන්ම 1815 මහනුවර ගිවසුම අත්සන් කිරීමද එහි සිදුවිය.

මගුල් මඩුව හෙවත් රැස්‌වීම් ශාලාව ඉදිකිරීම භාරව සිටි දේව්න්ද්‍රමූලාචාරීගේ අකල් මරණය සිදුවූයේ ද එම ඉදිකිරීම් කටයුත්ත කළ අවදියේදීය. මහනුවර නායකයින්ගේ හා රාජ සේවකයින්ගේ ඊර්ෂ්‍යාව නිසා කණු ඉදිකිරීම සඳහා නායකයින් විසින් ලබාදුන් දැව මූලාචාරී විසින් කපා කෙටි කරන ලද්දේ යෑයිද ඒ අනුව ඒවා ප්‍රතික්‍ෂෙප කළේ යෑයිද ඔවුන් මූලාචාරීට විරුද්ධව බොරු චෝදනා රජතුමා වෙත ඉදිරිපත් කරන ලදි. මූලාචාරීගේ පැත්ත ගත්තේ දෙහිගම නිලමේ පමණි.

මෙය විශ්වාස කළ රජතුමා මූලාචාරිගේ ඇඟිලි කපා දැමීමට තර්ජනය කළ අතර (ඇත්ත වශයෙන් එක්‌ ඇඟිල්ලක්‌, දකුණු අතේ මාපටඟිල්ල) එය දැනගත් ඔහු නිග්‍රහයෙන් ගැලවීම සඳහා නුවර වැවට පැන සියදිවි හානි කර ගත්තේය (කුමාරස්‌වාමි 59 වැනි පිටුවá කොඩ්රින්ටන්, 240 වැනි පිටුව). පසුව ඇත්ත තත්වය දැනගත් රජතුමා මේ ගැන පසු තැවෙමින් තම දකුණු මහපටැඟිල්ල සපා කෑ බවත්a මූලාචාරීට පූර්ණ ගෞරව සහිත අවමඟුලක්‌ කර දුන් බවත් කියවේ.

මහනුවර යුගයේ බිහිවු අති දක්‌ෂ සැලසුම්කරුවෙක්‌ හා රාජකීය ශිල්පියෙක්‌ මෙන්ම මහනුවර නගරයත් මහනුවර රාජධානියත් අලංකාර කළ ඓතිහාසික ගොඩනැගිලි හා ඉදිකිරීම් ගණනාවක්‌ කළ නිර්මාතෘවරයාගේ අවසානය සිදුවුයේ එසේය.

ඔහුගේ ජීවිතය සහ ඔහු විසින් කරන ලද් කර්තව්‍යයන් නිසි පරිදි පැසසුමට ලක්‌ නොවීම ෙ€දයකි. මෙසේ සිදු වී ඇත්තේ ඔහුට පමණක්‌ නොවේ. අප සමාජයේ දක්‌නට ලැබන දුර්වලකමක්‌ නම් ප්‍රසිද්ධිය සඳහා කටයුතු කරන අයට ප්‍රශංසාව හා තෑගි බෝග ලබාදීමය.

එවැනි අවස්‌ථා ගණනාවක්‌ මසිතට නගී. නිදසුනක්‌ වශයෙන්, පේරාදෙණීය විශ්ව විද්‍යාලය ගොඩ නෑගීම තම ජීවිතයේ වැදගත්ම අභිලාෂය ලෙස සිතා එය ගොඩනැගීමට සර් අයිවර් ජෙනිංග්ස්‌ තම කාලය හා උත්සාහය කැප කිරීම (,The Road to Peradeniya), ඔහුගේ ආත්මචරිත කථාව බලන්න). දශක හයක්‌ තිස්‌සේ ඔහුව අමතක කර දමා තිබු අතර ඔහුගේ නමින් නේවාසික ශාලාවක්‌ විවෘත කිරීම පවා කරන ලද්දේ ඉතා මෑතකදීය.

මෙලෙසින් මගේ සිහියට නැගෙන තවත් පුද්ගලයෙක්‌ නම් ලංකාවේ ජල විදුලි බලයේ පුරෝගාමියා වන ඩී. ෙ-. විමලසුරේන්ද්‍රයි. ඔහු මහත් උනන්දුවකින් යුතුව කටයුතු කළ නමුත් ඔහුගේ ජීවිත කාලයේදීත් ඉන් පසුවන් ඔහුව අමතක කර දමා තිබූ අතර ලක්‍ෂපාන ජල යෝජනා ක්‍රමය ඔහුගේ නමින් නම් කරමින් ඔහුට ගෞරව දැක්‌වුයේ දශක ගණනාවකට පසුවය. එවැනි අවස්‌ථා බොහෝය. මහනුවර නගරය සරසන ඓතිහාසික ගොඩනැගිලි ගණනාවක්‌ බිහිකළ දීප්තිමත් අද්වීතීය සැලසුම්කරුවෙක්‌ හා නිර්මාණ ශිල්පියෙක්‌ වන දේවේන්ද්‍ර මූලාචාරි වෙනුවෙන්ද යම් ආකාරයක කෘතගුණ සැලකීමක්‌ කිරීම යෝග්‍යය.

සටහන – ඩී. ඩී. එම්. වෛද්‍යසේකර

මෙම ලේඛයා ශ්‍රී ලංකා බදුකරණ ආයතනයේ සභාපති මෙන්ම හිටපු දේශීය ආදායම් කොමසාරිස්‌වරයෙකි, මෙම ලිපිය පදනම් කොට ඇත්තේ, ස්‌ටැම්පර්ඩ් ලේක්‌ ලිමිටඩ් විසින් ප්‍රකාශයට පත්කළ, ,”The Royal Artificers of Mangalagama and their Descendentsනමැති ඔහුගේ කෘතිය සඳහා කරන ලද ඓතිහාසික පර්යේෂණ ආශ්‍රයෙනි.

මේ වගේ අලුත් වැදගත් ලිපි හැමදාම කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි