රහස් ගොන්නක් සඟවා ගත් බුලතාගේ බිරිදගේ අභිරහස් ගල් පඩිපෙළක්…..!

බුලතා යනු යෝධයකු බව ලංකාවාසී බොහෝ දෙනෙක් දකිති. එදවස විසු රජතුමන්ගේ අවධානය ගනු වස් මෙලෙස විශාල ප්‍රදේශයක් කළු ගලින් වට කොට වැවක් තැනූ අතර එය අද අප හඳුන්වන්නේ සොරබොර වැව නමිනි. එලෙසම බුලතා විසින් වැව සෑදීමට විශාල කළු ගල් අවට ප්‍රදේශවලින්ම සොයාගෙන තනිව උසුලාගෙන ආවේ සැබැවින්ම ඔහු යෝධයකු වූ හෙයිනි.

ශරීර ශක්තිය අධිකව පිහිට වූ මෙවැනි යෝධයන් පිළිබඳව දුටුගැමුණු රාජ කාලයේ පටන් සිටි බවට අතීත රජ කතා සාක්ෂි දරයි. සොරබොර වැව භූගෝලීය වශයෙන් නිර්මාණය කිරීමටත් වාරිමාර්ග තාක්ෂණික දැනුම යටතේ එහි කොටස් නිසි පරිදි සැකසීමටත් බුලතා සමත් වුණි. මෙම කතාවේ තවත් වැදගත් චරිතයක් වේ.

එනම් බුලතාගේ බිරිඳය. ඇය බුලතා මෙන්ම ශක්තිවන්තියක වූ බවට සාක්ෂි දරන ගල් පඩි පෙළ අදටත් නටබුන් ලෙස ඉතිරිව ඇති ඉසව්ව සොයා අප ගියේ එහි තිබෙන තවත් අබිරහස් ගැන දැකගැනීමටය. ​

​ෙකාළඹ සිට නුවර හරහා හුන්නස්ගිරිය උඩදුම්බර පසු කොට අතුරු මාර්ගයකින් මහවෙල ග්‍රාම නිලධාරී කොට්ඨාසයට පැමිණ එහි මායිම වන වික්ටෝරියා රන්දෙණිගල රන්ටැඹේ අභය භූමිය සීමාවේ පිහිටි ඉඩමකැලේ නම් දුෂ්කර ගම්මානයට පැමිණිය යුතුය. ගල්පඩිපෙළ යනු වචනයේ අර්ථයෙන්ම ගල් පඩිපෙළකි. එනම් මෙම ප්‍රදේශය පිහිටි රක්ෂිතය තුළ පිහිටි අතීතයේ බුලතාගේ බිරින්දෑ විසින් නිර්මාණය කරන ලද පඩි පෙළක් වීම සුවිශේෂීය. එහි අතීතාවර්ජනය නම් මෙසේය.

බුලතා සහ ඇගේ බිරිඳ පදිංචි වූයේ උඩදුම්බරට නුදුරින් පිහිටි අදටත් ව්‍යවහාරයේ පවතින කිරි පට්ටිය නම් ග්‍රාමයේය. බුලතා සොරබොර වැව නිර්මාණය කළේ මහියංගණයේය. භූගෝලීය වශයෙන් නුවර මහියංගණය මාර්ගය අද වැටී තිබෙන්නේ දහඅට වංගුව හසලක හරහා වේ.

එහිදී උඩදුම්බර සිට මහියංගණයට යෑමට කිලෝ මීටර් 30ක් පමණ ඇත. නමුත් අතීතයේ දහඅට වංගුව යනු මහා කඳුවැටියකි. මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්කයත් නැතහොත් මධ්‍යම සහ ඌව පළාතත් වෙන් කරන දහඅට වංගුව අද හඳුන්වන මාර්ගය වුව ද බුලතාගේ කාලයේ එයට සුදුසු මාර්ගය වූයේ කොස්​ගොල්ල කඳුවැටිය හරහා පිහිටි බුලතාගේ බිරිඳ ගල් පඩි සාදා නිර්මාණය කළ මෙම ගල් පඩි පෙළයි.

මහවැලිය පෝෂණය කරන හසලක ඔය පසෙකින් ගලා යන අතර දුම්බර කඳු පෙත ද වන පියස ද මේ ප්‍රදේශයට අරක් ගත් ඝන වනාන්තර වේ. කෙසේ හෝ බුලතා විසින් සොරබොර වැව සෑදීමේදී කළු ගල් භාවිත කළ අතර සමහර ගල් ඔහු ඉවත දැමුවේ පාවිච්චියට ගත නොහැකි බැවිනි. බුලතා හට දෛනිකව කිරිපට්ටිය ගමේ සිට ඔහුගේ බිරිඳ ආහාරය රැගෙන ගියේ කොස්​ෙගාල්ල කඳුවැටිය හරහාය.

මෙහිදී වී.ආර්.ආර්. රක්ෂිතය හරහා මහියංගණයට යාමට උපරිම හෝරා දෙකක් පමණ ගත වන ආකර හෙළක් බැසීමට අැති දුෂ්කර කටුක මාර්ගයකි. වර්තමානයේ මෙම ප්‍රදේශ තුළ වන අලි බහුලව සැරි සරන අතර අතීතයේ වන අලි, කොටි සහ වලසුන් වැනි භයානක සතුන්ගේ අඩවියක් වූයේ මෙම ප්‍රදේශයයි. ඍජුවම පිදුරුතලාගල සිට රන්දෙණිගල රක්ෂිතය, නකල්ස් හරහා වස්ගමුව තෙක් දැකිය හැකි මෙම ප්‍රදේශය අතීතයේ ඝන වනාන්තරයක් තිබූ බවට සිතිය හැක.

බුලතාගේ බිරිඳ විසින් බුලතා ඉවත් කරන ගල් කුට්ටි දෛනිකව මහියංගණය සිට නැවතත් කිරිපට්ටියට එන ගමනේ දී මෙම හෙළ නැගීමට අඩි ලෙස භාවිත කොට බුලතා සොරාබොර වැව සාදා නිම කරන විට ඇයද ගල් පඩි දෙදහසක් පමණ යොදා ගෙන මෙම ගල් පඩි පෙළ නිර්මාණ කළාය. අදටත් එම ගල්පඩි සැලකිය යුතු ප්‍රමාණයක් මෙම ගමනේදී අපටද දැකගැනීමට ලැබුණි. බොහෝ ගල්පඩි කාලයේ අැවෑමෙන් පස් සහ ශාකවලටම යටව සැඟව ගොස් ඇති බව අපි දුටුවෙමු.

​ෙකාස්ගොල්ල ඝන කඳු වැටි දහයකින් පමණ සමන්විතව දිස් වූ කඳු වැටියකි. මහියංගණය සිට බදුල්ලට යන විට මෙම අපූරු කඳු වැටිය පැහැදිලිව දැක ගත හැක. ඉඩමකැලෙන් ආරම්භ වන මෙම ගල් පඩි ​පෙළ මාර්ගය මහියංගණයේ මොරයාය ග්‍රාමයෙන් අවසන් වේ.

බුලතා සම්බන්ධිත ගල් ප​ඩිපෙළ නිර්මාණයේ කතා පුවත එපමණක් වුවද මෙම ප්‍රදේශය කොතරම් වන අලින් බහුල වුවද නිදන් වළලා තිබෙන ඉසව්වක් බවට ප්‍රදේශ දෙකෙහිම ප්‍රසිද්ධ කරුණකි. ඊට සාධක අපට ද ගමන අතරතුර දැක ගැනීමට ලැබුණි. ඉඩමකැලේ ගම්මානයට පැමිණි පසු අප දුටුවේ රක්ෂිතයේ මායිම වටා පවතින විදුලි වැටයි. ගම්මානයට සිදුවන වන අලි හානි නිසාවෙන් විදුලි වැටක් ඉදි කර ප්‍රදේශය ආරක්ෂා කිරීමට තිබුණද මීට බොහෝ කාලයකට පෙර සිට එය අක්‍රීය වී ඇත.

එම නිසාම ඉඩමකැලේ වැසියන් කිහිප දෙනෙකු වන අලි ප්‍රහාරවලට ලක්ව මිය ගොස් ඇති බවට අපට දැන ගැනීමට ලැබුණි. කොස්ගොල්ල කන්ද ඉහත්තාවේ මහවැලියට සමීප ඉසව්වලින් ජනනය වන උල්පත් ජලයෙන් පෝෂණය වන කැටලාගොල්ල ඔය ඉඩමකැලේ ගම්මානය හරහා ගලා බසියි. ස්ථාන කිහිපයකදී අපට එම දිය පහර දැක ගැනීමට ලැබුණු අතර එම දියවර නිර්මාණය කරන මීටර් 5ක් පමණ උසැති දිය ඇළි 3ක් පමණ අපට දැක ගැනීමට ලැබුණි.

කැටලාගොල්ල අසලට තෙක් පැහැදිලිව අඩි මාර්ගය ඇති අතර ඉන් ඔබ්බට ඝන වන පියස මැදින් තිබෙන අඩි මාර්ගය හොඳින් හඳුනාගත යුතු වන්නේ ශාක පත්‍ර වැටී පොළොව එකම ආකාරයට පිහිටි හෙයිනි. ඔය හරහා කැලයට පැමිණ මඳ දුරක් ගිය පසු එක්තරා ස්ථානයකි. එය හඳුනා ගැනීමට පහසු සලකුණ නම් හාරා ඇති විශාල වළකි. එතැනින් දකුණට ඇත්තේ කොස්ගොල්ල කන්ද වන අතර වමට කැලය හරහා ගිය විට බැලුන්ගල කන්ද මුදුනට යා හැකිය. තවද ඉදිරියට යන්නේ ගල් පඩිපෙළ ඔස්සේ මහියංගණයට වේ. අප ප්‍රථමයෙන් කොස්ගොල්ල කඳුවැටිය තරණය කිරීමට නියැළුණි.

අඩි හතර පහ උසට වැඩුණු මාන පඳුරු අතරින් නෙල්ලි ගස් යායවල් මැදින් ගොස් කොස්ගොල්ල කඳු වැටියේ ඉහළම ස්ථානයට ළඟා වූ පසු මහියංගණය සිට නකල්ස්හි කෙහෙල්පොත්දෝරුවේ ගල සහ මිනිපේ ඇළත් කිලෝ මීටර් ගණනක් අලංකාරව ගලා යන මහවැලි නදියත් දැක ගත හැක. වන අලි බහුලව සැරිසරන බැවින් අන්ධකාර වන පියස තුළ අපි වඩාත් සැලකිලිමත් වුණෙමු.

​ෙකසේ හෝ කොස්ගොල්ල තරණයට හෝරා තුනක් පමණ ගත වූ පසු සන්ධ්‍යාව උදා වන කණිසමේ අප ගල් පඩි පෙළ බැසීමට තීරණය කළේ හවස් යාමේ අලි එළියට බහින බව දැනගෙනය. එක් අලි වෙඩිල්ලක් පමණක් අප සතුව තිබුණු නමුත් ගමන වඩාත් සුපරීක්ෂාකාරීව යා යුතු බව අපට වැටහුණි. කෙසේ හෝ කුඩා අඩි පාර දිගටම තිබූ අතර ගල් කුට්ටි මාර්ගය මත තැනිත් තැන තිබුණි. ඒ අතර ප්‍රථම වරට පැහැදිලිව ගල් පඩි දැකිය හැකි ස්ථානයක් අපට හමු වුණි. එම ගල් පොළොවට දැඩිව සම්බන්ධව තිබුණි.

ඉතාමත් පැරණි සකස් කිරීමක් බව අපට දැක ගන්නට ලැබූ අතර ගල් පඩි 15ක් 20ක් පමණ එහි පැහැදිලිව විය. එය විනා හතර අත දැකිය හැක්කේ ඝන මාන පඳුරු යායක් පමණි. මාන යාය මැද දුරින් පිහිටි විශාල ගල් කුට්ටි විටෙක අලින් ලෙසද අපට දැක ගැනීමට ලැබුණි. තවද හතරැස් ගල්, ගල් බිත්ති සහිත දිගු ගල් කුට්ටි, කුඩා ප්‍රමාණයේ ගල් ගුහා හා විවිධ හැඩවලින් යුත් ගල් පර්වත රාශියක් අප යනෙන මඟ පුරාවට අපට දැකගැනීමට ලැබුණි.

එහිදී අපට තවත් කැනීම් කරන ලද තැනක් හමු විය. එම හෑරූ වළ වටේට පැරණි ගඩොල්වලින් සෑදූ කුඩා ගොඩනැගිල්ලක වැනි නටබුන් ඉතිරිව තිබුණි. මේ පිළිබඳ වඩාත් සොයා බැලීමේදී අපට දැන ගැනීමට ලැබුණේ එම නටබුන් වූ ගොඩනැගිල්ල වැනි ස්ථානය අම්බලමක් බවයි. මන්ද මීට වසර දෙතුන් සියයකට පෙර උඩදුම්බර හා නුවරවැසියෝ මහියංගණයට ගියේ මෙම ගල් පඩිපෙළ හරහාය. එහිදී ගමන් විඩාව නිවා ගැනීමට මෙම මාර්ගය තුළ මෙවැනි ඉතා කුඩා ප්‍රමාණයේ අම්බලම් සාදා තිබූ බවට හෙළි විය.

ඇතැම් එ්වා ලී දරවලින් ද ඇතැම් ඒවා වන්දනාමාන ස්ථාන සමඟ ගඩොන් වැනි ගල්වලින් ද සාදා තිබූ බවටත් ජල අවශ්‍යතාවට සමීප බවකුත් දැන ගැනීමට ලැබුණි. එසේ නම් අතීතයේ මෙම මාර්ගය සුලභ ලෙස නුවර මහියංගණය අතර ගම්මානයට යොදා ගත් බව අපට පසක් විය.

මෙහි ඇති අනෙක් ගැටලුව වනුයේ අප ස්ථාන හතරකදී පමණ නිධන් හොරුන් විසින් හාරා තිබූ විශාල වළවල්ය. මන්ද මෙම ඝන කඳුකරය වගා බිම් සඳහා ගෙන නොමැත. විශාල වළක් ලෙස කැපූ ස්ථාන හතරම යම් දෙයක් නැතහොත් පොළොවේ වළලා ඇති යම් දෙයක් ගැනීමට බව පැහැදිලි විය. එම නිසාම මෙම සිදුවීමේ යට ගිය රහස් අපට සොයා ගැනීමට තිබිණ. එම නිසාම ඒ පිළිබඳ රසවත් සේම කටුක තොරතුරු දැන ගැනීමට ලැබුණි. මෙම වළවල් සැබවින්ම නිධන් හොරු විසින් හාරන ලද ස්ථාන විය. ඒ අතීත රජ කතා හා පුරාවෘත්තවල සැඟවුණු නිධන් පිළිබඳ නිසාවෙනි.

බුලතා විසින් සොරබොර වැව සාදන අතරතුර ඔහුගේ බිරිඳ විසින් තැනූ මෙම ගල් පඩි පෙළ ගමනාගමනයට එකල මහත් රුකුලක් විය.

එම නිසාම රාජ වංශිකයන් සහ ප්‍රදේශවාසීහු මහනුවර නැතහොත් කඳුකරයට යාමට ඒමට මෙම මාර්ග භාවිත කළහ. මාර්ගයේ ඇති දුෂ්කර බවත් අනතුරුදායක බවත් බොහෝ විට මිනිස් ජීවිතවලට එකල වුව බලපා තිබිය හැක. එනම් වෙළෙඳාමේ යනෙන පුද්ගලයන් හෝ වෙනත් රදල පැලැන්තියේ සිටුවරුන් මෙම මාර්ගයේ යන විට ස්වභාවික හා සත්ව උවදුරුවලට මෙන්ම පසු කාලීනව බිහි වූ මංකොල්ලකරුවන්ගේ උවදුරුවලට ද හසුව තිබුණි.

එහිදී ඔවුන් ගෙනා වස්තුව නැතහොත් ඔවුන් අත තිබූ වටිනා වස්තු ප්‍රදේශයේම සඟවා පළා යන්නට හෝ මිය යන්නට සිදුව ඇත. තවද මංකොල්ලකරුවන් ප්‍රදේශයේ ස්වභාවික ගල් ගුහා භාවිත කර වස්තුව සඟවා තැබීමට උත්සාහ කළා විය හැක. එම නිසාම මෙම වන පියස තුළ කොතැනක හෝ නිල් මැණික් සහිත නිධන් වස්තුවක් ඇති බවට වර්තමාන ගම්වැසියෝ පවා විශ්වාස කරති. එම නිසාම එම ආරංචිය ප්‍රයෝජනයට ගත් නිධන් හොරු කැලයේ විවිධ ස්ථාන හාරන්නට පටන් ගෙන ඇත.

බැලුන්ගල හා කොස්ගොල්ල හමුවන නිම්නය පිහිටි ස්ථානයේ පිහිටි වළ ඉතා ගැඹුරට හරා තිබුණි. තවද ගල් ගුහාවක් අසල මෙවැනි වළක් හාරා තිබුණි. මෙම කාලය අතීතයේ වස්තුව සඟවා ඇති බවට පවතින පුරාවෘත්ත මගින් මෙවැනි අනවසර හැරීම් අපට දක්නට ලැබුණි. පෙර කී නටබුන්ව ගිය අම්බලම මැද පොළොව පවා ගැඹුරට හාරා පස් පසෙකට දමා තිබුණි. ඇතැම් විට ගල් බැම්ම නිධන් හොරු විසින් කඩා දැමූවක් විය හැක. අපට දැන ගැනීමට ලැබුණු නිල් මැණික් සහිත නිධානය ගැන ලියැවුණු කිසිදු පැහැදිලි සාක්ෂියක් නොවීය. නමුත් ප්‍රදේශයේ දේශපාලනමය වශයෙන් ද මෙම නිධානය ගොඩ ගැනීමට මීට වසර කිහිපයකට පෙර සිට උත්සාහ දරා ඇත.

​ෙමම මාර්ගය සංවර්ධනය කිරීමට ද සැලසුම් කළ බව දැන ගැනීමට ලැබුණි. මහියංගණය වෙහෙර සහ මහනුවර දළදා මාළිගාව අතර පිහිටි මෙම රක්ෂිතය වන අලි ගහණ මහවැලියෙන් පෝෂණය වන බිම් කඩකි. සොබාසෞන්දර්ය සේම අතීත උරුමයක පෙළහර කියා පාන එකම සාක්ෂිය වන ගල් පඩි තවමත් පිහිටි මෙම ප්‍රදේශය නිධන් සැඟවූ ස්ථානයක් විය හැක. නිධන් හොරුන් විසින් මෙවැනි වළවල් කැපීම ගැන යම් කුකුසක් හෝ සාක්ෂියක් මේ පිළිබඳව කොහේ හෝ ඇති බවයි. නැතහොත් මෙවැනි කඳුකර මායිමක ශුෂ්ක කලාපයකට බර ප්‍රදේශයක මැණික් ඉල්ලම් නොමැති හෙයිනි.

අප දුටු ස්ථානවලට පොළොව කැණ තිබුණි. පස් ගොඩවල් ඒ අසල තිබු අතර වෙනත් සැලකිය යුතු සාධකයක් හමු නොවුණි. නමුත් එක්තරා වළක උඩින් ලී කණු දමා තිබූ අතර ඒවා උපයෝගී කරගෙන වළට බැසීමට හෝ පස් ගොඩට ඒමට උත්සාහ දරා ඇතැයි සිතිය හැක. මේ කාලය තුළ වැඩි වශයෙන් මාන පඳුරු පිහිටා තිබු අතර උසැති ගස් පිහිටා තිබුණේ ගස් දෙකක අතර තරමක් දුරකිනි.

​ෙකාස්ගොල්ල කන්ද තරණයේදී කුඩා ගුහාවක් හමු වූ අතර ගල් පඩි පෙළ තරණයේදී පවා ඈතින් ගුහාවක් දැක ගැනීමට අපට ලැබුණි. තවද අලි වසුරු එක් ස්ථානයකදී දැක ගත් අතර මොරයාය ගමට සේන්දු වන ඉසව්වේ පවා විදුලි වැටක් දැක ගැනීමට ලැබුණි. වන අලි තර්ජන දෙපස ගම්මානවලට ඇති බැවින් සමහර ගම්වාසීහු දර කැඩීමට හෝ කැලයට ඇතුළු වීමට බියක් දක්වති.

කෙසේ හෝ අප නඩය සවස 5 වන විට මොරයාය ඉදි කරමින් පවතින ජල ටැංකිය අසලට පැමිණියෙමු. පසුව අසලින් ගලාගෙන යන ඔයෙහි බැස ගත පිරිසිදු කර ගත්හ. කොස්ගොල්ල කඳු වැටිය හරි අපූරුවට මෙහිදී අපට දැක ගත හැකි වූ අතර ක්‍රමයෙන් අන්ධකාරය ප්‍රදේශයට ගලමින් තිබුණි.

වන අලි බිය අප සිත් තුළ තිබුණද කිසිදු වන අලි තර්ජනයක් නොමැතිව මෙම අඳුරු වනය ඔස්සේ අප පැමිණි බව ගම්වාසීන්ට පවා පුදුම දනවනසුලු විය. දහ අට වංගුව මාර්ගය නිසාවෙන් ගල් පඩි පෙළ මාර්ගය වර්තමානය වනවිට කිසිවෙකුත් භාවිත කරන්නේ නැත.

විශේෂයෙන් මොරයාය ප්‍රදේශයේ බොහෝ දෙනෙකු කිසි දිනෙක ගල් පඩිපෙළ හරහා ඉඩමකැලේ ගමට හෝ උඩුදුම්බරට ගොස් නැත. නමුත් ඉඩමකැලේ ගමෙන් ඉතාමත් කලාතුරකින් කවරෙකු හෝ මහියංගණයට මෙම මාර්ගය හරහා පැමිණෙන බව අපි දැනගත්තෙමු.

කෙසේ හෝ බුලතාගේ බිරිඳගේ නුවණැති සංකල්පයක් නිසා බිහි වූ මෙම ගල් පඩිපෙළ පසුකාලීනව ගමනාගමනයට මහත් රැකුලක් වුණි. එසේම අපචාර හා නීති විරෝධී දේ සඳහා ද මෙම මාර්ගය ඇතැම්හු භාවිතයට ගත්හ. සොරබොර වැව මහියංගණයට ආභරණයක් ලෙස දිළෙන අතර ගල් පඩි පෙළ නටබුන් දිනෙන් දින අභාවයට යමින් පවතියි. රක්ෂිතයක් තුළ පිහිටීමත් වන අලි හා ගුප්තමය වන පියස නිසාවෙනුත් මෙම ගල් පඩිපෙළ වර්තමාන මිනිස් භාවිතයෙන් වියැකී යන්නකි.

නමුත් නිධන් හොරු විවිධ කාල වකවානු තුළ නීති විරෝධී ලෙස කැණීම් කරමින් ඔවුන්ගේද ජීවිත අනතුරේ දමන බවක් අපට දැන ගන්නට ලැබුණි. සමස්ත කඳු වැටිය තරණය කළ නිසාවෙන් අවට පරිසරය සියුම්ව නිරීක්ෂණය කළ පසු අපට වැටහුණේ මෙම රක්ෂිත තුළ තවමත් මිනිස් පහස නොලත් ස්ථාන ඇති බවයි. විශේෂයෙන්ම ගල් ගුහා පිළිබඳව ඇතැම් විට පුරාවිද්‍යාත්මක වටිනාමකින් යුත් යම් අතීත හෙළිදරව්වක් එහි තිබිය හැක. ​

​ෙකසේ හෝ දුෂ්කර හා අනතුරුදායක ගමනක් අවසන් කරමින් මහියංගණය නගරය පසු කොට අපි දහඅට වංගුව හරහා නැවතත් තම්මැටියාව ප්‍රදේශයට පැමිණ නුවර බලා පිටත් වුණෙමු.

සංචාරක සටහන හා ඡායාරූප –ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු

(www.lankadeepa.lk)

මේ වගේ වැදගත් අලුත් දේවල් හැමදාම කියවන්න දැන්ම අපේ පේජ් එක ලයික් කරන්න