නාග රාජයෙක්‌ ආරක්ෂා කරන අෂ්ට ඵල බෝධීන්වහන්සේලා ගැන දන්නවාද….!

අන්ධකාරයෙහි ගිලී පවතින ලෝකයා එයින් මුදා ගෙන ප්‍රඥා ප්‍රදීපය දල්වා ලෝ සතුන් සුවපත් කිරීමට බුදුන් වහන්සේ ලෝකයට පහළ වීමම මහා ආශ්චර්ය ජනක සිදුවීමකි. එසේම ත්‍රිසහස්‌සී ලෝක ධාතුවටම දැනෙනා අසිරිමත් ක්‍රියාවලියකි.

එසේ ආරම්භ වන සම්බුද්ධ සාසනය ලෝකය තුළ පවතින්නේ යම්තාක්‌ කල් ද ඒ තාක්‌ කල් විවිධ අසිරිමත් සිදුවීම් ඇතිවීම එක්‌ අතකින් ස්‌වභාවිකය. බළපිටිය පාතේගම ශ්‍රී යෝගාශ්‍රම විහාර පරිශ්‍රයේ අභිනවයෙන් ජනිත වූ මහානුභාව සම්පන්න අෂ්ටඵල බෝධීන් වහන්සේ ද විශ්ව ධාතුවේ තැන්පත් වී ඇති එම අසිරිමත් ශක්‌තියේ ප්‍රතිඵලයක්‌ බව මේ වන විට අවබෝධ වී හමාරය.

මෙම මහානුභාව සම්පන්න අෂ්ටඵල බෝධීන් වහන්සේගේ විශ්මිත හාස්‌කම් පිළිබඳව අදහස්‌ දක්‌වන ශ්‍රී යෝගාශ්‍රම විහාරයේ නිර්මාතෘ බ්‍රාහ්මණවත්තේ විමලවංස තිස්‌ස සංඝනායක ස්‌වාමීන් වහන්සේ ඉතා අපූරු ලෙස එම තොරතුරු අප ඉදිරියේ ප්‍රකාශ කළේය.

“ඇත්තටම මේ බෝධීන් වහන්සේ ජීවමානව වැඩ හිඳීමම මහත් වූ විශ්මිත හාස්‌කමක්‌ කියලයි මට හිතෙන්නේ. මොකද කුඩා බෝධි අංකුරය තනි පත්‍රයක්‌ දක්‌වා පත්‍ර අඩුවුණා. ඒවා හැලිලා ගියා. මම හිතුවෙම අපවත් වෙයි කියලයි. නමුත් හිතේ ලොකු විශ්වාසයක්‌ තිබුණා නැවත දළුලා වැඩෙයි කියලා.

කලින් මම ප්‍රකාශ කළා වගේ බෝධීන් වහන්සේට ඉතා ඉහළ පුද සත්කාර කළා. මේ විශ්ව ධාතුවට දැනෙන්න ඕනෑ අපි කරන ඉල්ලීම. ඉල්ලීම් කරපු තරමට අපට ප්‍රතිඵල ලැබෙනවා. මම විශ්වාස කරන්නේ ආරම්භයම විශ්මිතයි කියලා. සාමාන්‍යයෙන් නාගයන් කිව්වහම අපට කොහොමත් විශේෂ සිතුවිල්ලක්‌ ඇති වෙනවා. බෞද්ධයෝ විදිහටත්, හෙළ සංස්‌කෘතිය විදිහටත් නාගයොත් අපිත් අතර ලොකු සම්බන්ධයක්‌ තියෙනවා.

මේ බෝධීන් වහන්සේ එක්‌කත් මහා නාග රාජයකුගේ සම්බන්ධයක්‌ තියෙනවා. නාහිමියන් කිසියම් වූ විශේෂ කරුණක්‌ ප්‍රකාශ කිරීමට සූදානම් බව හැඟුණු නිසා අපගේ කුතුහලය ඊට වඩා අධික විය. එබැවින් උන්වහන්සේගෙන් ප්‍රශ්නයක්‌ ඇසීමට සිත් වූ බැවින් නොපමාව එය ඇසීමට ඉදිරිපත් වීමි.

අපේ හාමුදුරුවනේ, මේ අෂ්ටඵල බෝධීන් වහන්සේට අධිගෘහිත නාගයෙක්‌ ඉන්නවා කියලද ඔබ වහන්සේ හිතන්නේ. ප්‍රශ්නයට ලැබුණු පිළිතුරු මද සිනහවක්‌ සමඟ ලබාදුන් නාහිමියන් මෙසේ පැහැදිලි කළේය.

“මේ පන්සල් භූමියේ මහා විසාල නාග රාජයෙක්‌ ඉන්නවා. ඒ මේ බෝධීන් වහන්සේ රෝපණය කරන්නත් කලින් ඉඳලා. ඇත්තටම මෙතෙන පන්සලක්‌ හදන්න නෙමෙයි මම හිතන් හිටියේ. මගේ අදහස වුණේ පුස්‌තකාලයක්‌ හදන්න. මේ ලොකු ගොඩනැඟිල්ල ඉදිකරන්නආරම්භ කළෙත් ඒ අරමුණින්මයි. නමුත් ඇතිවෙච්ච විවිධ සිදුවීම් නිසා මට මෙතෙන පන්සලක්‌ හදන්න සිද්ධ වුණා.

සුනාමිය එනකොට ඒ කියන්නේ 2004 අවුරුද්ද වෙන කොට මෙතන මහාඝන කැලයක්‌. මහා විශාල ඇහැටු ගහක්‌ මෙතන තිබුණා. ඒක ඇත්තටම හරිම විශාලයි. හිතාගන්න බැහැ ඒ ඇහැටු ගහ සුනාමියට ගහගෙන ගියා. ඒ ඇහැටු ගහේ තමයි නාග රාජයා වාසය කරලා තියෙන්නේ.

හැබැයි එයාට අනතුරක්‌ වුණේ නෑ. අපි මුල් කාලේ බෝධීන් වහන්සේ පාත්තරේ රෝපණය කරලා තියෙනකොට එක දවසක්‌ මේ නාගරාජයා ඇවිත් ඒක වට කරලා වෙලාගෙන පෙනේ කරගෙන ඉන්නවා. යන්න යන්න කියලා ඉල්ලීම් කළාට ගණන් ගත්තේවත් නැහැ.

පස්‌සේ සිවුරක්‌ අරගෙන බෝධීන් වහන්සේ වට කරලා ආවරණය කළා. ඊට පස්‌සේ තමයි එයා ගියේ. ප්‍රමාණයෙන් කිව්වොත් හරි විශාලයි. දැක්‌කහම ඕන කෙනෙක්‌ භය වෙනවා. හැබැයි කාටවත් අනතුරක්‌ නැහැ. දැනුත් බෝධීන් වහන්සේ ළඟ මේ ඉස්‌සරහා තියෙන රුක්‌අත්තන ගහේ, ධාතු මන්දිරයේ වගේ තැන්වල තමයි වාසය කරන්නේ.

ගමේ විවිධ තැන්වලත් හිටපු ගමන් ගිහින් එනවා. දකින කට්‌ටිය මට ඇවිත් කියනවා. බොහෝ අවස්‌ථාවල බෝධී මළුවේ එහාට මෙහාට ගිහින් තියෙන පාරවල් දකින්න තියෙනවා. මගේ කුඩා සාමණේර හාමුදුරුවර අටනමක්‌ මෙහේ වැඩ ඉන්නවා. කාටවත් කවදාවත් කිසිම හිරිහැරයක්‌ නම් වෙලා නැහැ.”

නාහිමියන්ගේ අදහස මෙම නාගරාජයා අෂ්ඨඵල බෝධීන් වහන්සේගේ ආරක්‍ෂාව වෙනුවෙන් සිටිනා බවයි. බෝධීන් වහන්සේගේ අසිරිමත් බවත්, නාගරාජයකු ඒ සමීපයේ වාසය කරන බවත් යන සිදුවීම් දෙක එක්‌කර බැලූ විට සැබවින්ම එහි කිසියම් ගුප්තභාවයක්‌ පවතින බව හැඟෙයි.

මෙම මහානුභාව සම්පන්න අෂ්ටඵල බෝධීන් වහන්සේගේ විශ්මිත හාස්‌කම් කැටිව පවතින්නේ නා හිමියන් විසින් සිදු කරනු ලබන හෙළ වෙදකම,නිල ශාස්‌ත්‍රය අනුව රෝග විනිශ්චය කිරීම හා ජ්‍යෙdaතිර් විද්‍යාත්මකව පළාපළ කථනය කිරීම තුළ බව අපට අවබෝධ වූහ. සැබැවින් ම නාහිමියන් පළ කරන ප්‍රකාශ ඇස්‌ අදහාගත නොහැකිය.

අපගේ පුද්ගලික ජීවිතයට සම්බන්ධ විවිධ අතීත සිදුවීම් කීපයක්‌ ප්‍රකාශ කළ ඒ හිමියෝ එම සිදුවීම් වූ වර්ෂයන් පවා ප්‍රකාශ කිරීමෙන් අප මවිතට පත් වූහ. වර්තමාන ලංකා සමාජය දෙස බැලීමේදී මෙකී දේවල් හුදෙක්‌ ආර්ථික අරමුණු වෙනුවෙන් සිදු කරනු ලබන බව කවුරුත් දන්නා සත්‍යයකි. මුදල් අරමුණු කරගෙන විවිධ ලෙඩ රෝග වැළඳුණු අහිංසක මිනිසුන් සූරාකන සමාජ වටපිටාවක්‌ තුළ නාහිමියන් කිසිදු අයකිරීමකින් තොරව සිදුකරන මෙම සමාජ සත්කාරය සැබවින් ම ප්‍රශංසනීය බව හැඟේ.

රෝගීන් වෙනුවෙන් ලබා දෙන ඖෂධවලට පවා මුදල් අය නොකරයි. උන්වහන්සේ කිසියම් පාරමිතාවක්‌ පුරණා බවක්‌ ද හැඟී යයි. අෂ්ටඵල බෝධීන් වහන්සේ මුල් කරගෙන සිදු කරනු ලබන මෙම විශ්මිත ප්‍රතිකාර සම්බන්ධයෙන් උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කර සිටියහ.

“කේන්දරේ කියන්නේ ජීවිතය නෙමෙයි. හැබැයි කේන්දරේ කියන්නේ බොරුවකුත් නෙමෙයි. අපි හැමෝම මේ විශ්වයේ කොටසක්‌. ඉතින් අපිට විවිධ විදිහට මේ විශ්වයේ තියෙන නොයෙකුත් දේවල් බලපානවා. ඒවා තේරුම් ගන්න තියෙන එක ක්‍රමයක්‌ තමයි ජ්‍යෙdතිශ්‍යයේ තියෙන්නේ. මට හිතෙන්නේ ජ්‍යෙdතිශ්‍ය කරන බොහෝ දෙනා මේ විෂය පිළිබඳ අධ්‍යයනය කරලා යම් හුරුවක්‌ අරගෙන තමයි වැඩ කරන්නේ.

නමුත් මෙතන තියෙන ගැටලුව තමයි අධ්‍යයනයම ප්‍රමාණවත් නැහැ. මේ වැඩේට. මම යෝජනා කරන්නේ මේක අධ්‍යයනය කරන පිරිසට දැන් ඔබ අධ්‍යයනය කරා ඇති. මේකේ ‘අ’ යන්න අඩු කරන්න කියලා. ඒ කියන්නේ ධ්‍යානය මේකට එක්‌ කරන්න. එතකොට තමයි මේක පරිපූර්ණ වෙන්නේ. පෙරදිග මිනිස්‌සු දැනුම ගවේෂණය කළේ අධ්‍යයනයට වඩා ධ්‍යානයට මුල් තැන දීලා. මහා සෘෂිවරු, යෝගගීවරු ධාන්‍යය මගින් විශ්වය සමඟ සම්බන්ධ වෙලා හොයා ගත්ත දැනුම තමයි අපි අද පොත්පත්වලින් ඉගෙන ගන්නේ.

හැබැයි අපි හිතුවේ නැහැ ඒ සෘෂිවරු, යෝගීවරු දැනුම හොයාගත්තේ කොහොමද කියලා. මේවා ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. අපි මේ කියන්නේ විශ්වය සමඟ ගනුදෙනු කරලා අපේ අත්දැකීමෙන්. ඒ නිසා ඒවා කාටවත් අභියෝග කරන්න බැහැ. හැබැයි ඉතින් බුදු හාමුදුරුවන්වත් විවේචනය කරපු, කරන සමාජයක්‌ තියෙන්නේ. ඒ නිසා මේවා තේරුම් ගන්න පිරිස්‌ කොච්චර ඉන්නවද කියන එකේ ප්‍රශ්නයක්‌ නම් තියෙනවා.”

නාහිමියන්ගේ පැහැදිලි කිරීම ඉතාම සරලය. එහෙත් එහි ඇති ගැඹුර කොතෙක්‌ දැයි හැඟේ. පෙරදිග ඥානා විමංසාත්මක ක්‍රමවේදය ස්‌වභාව ධර්මය හා බැඳුණු යථාර්ථයන් ගවේෂණය සඳහා හේතුවන බව පිළිගත් සත්‍යයකි. නාහිමියන් මේ පවසා සිටින්නේ එයම නොවේදැයි හැඟේ.

“දැන් හිතන්න ආයුර්වේදයට පදනම් වෙලා තියෙන්නේ කපිල කියන මුනිවරයාගේ සාංෙඛ්‍යය දර්ශනයයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ කියන පංච මහා භූත, වාත, පිත ,කඵ කියන ත්‍රිදොaෂ සප්ත ධාතු වගේ දේවල් තමයි මෙයින් ප්‍රකාශ වෙන්නේ. ස්‌වභාව ධර්මයේ එහෙමත් නැතිනම් විශ්වයේ නිර්මාණයක්‌ වන මිනිස්‌සු, සතා සිව්පාවා, ගහ කොළ මේ වගේ දේවල් වලට කපිල මුනිවරයාගේ දර්ශනය කොච්චර ප්‍රායෝගික වෙලා තියෙනවද? චරක වගේ මහා වෛද්‍ය සෘෂිවරයෙක්‌ චරක සංහිතාව වගේ කෘතියක්‌ කරනවා.

සුශ්‍රැත වගේ මහා වෛද්‍ය සෘෂිවරයෙක්‌ සුශ්‍රැත සංහිතාව වගේ කෘතියක්‌ කරනවා. ඇත්තටම බටහිර වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය තන්ත්‍රය සම්පූර්ණයෙන් ම පදනම් වෙලා තියෙන්නේ සුශ්‍රපතය මත කියලයි මට හිතෙන්නේ. බලන්න විශ්ව ශක්‌තිය මුල් කරගෙන ධාන්‍යයෙන් ලබා ගත්ත ප්‍රයෝජනය.

වර්තමානයටත් අවශ්‍ය වන්නේ මේ ක්‍රමවේදය. ඇත්තටම රෝගයකට බෙහෙත් කරන එක නෙමෙයි වැදගත් දේ. රෝග නිධානය හොයා ගෙන රෝගය මොකක්‌ද කියලා විනිශ්චය කරගන්න එක. මෙන්න මේකට අපි විශ්ව ශක්‌තිය භාවිතා කරන්න පුළුවන්. අද තාක්‍ෂණය දියුණු වෙලා උපකරණ සියුම් ලෙස දියුණු වෙලා ඒවායින් බලබල කපන කොටන එකනේ වැඩිපුර කරන්නේ.

හැබැයි අපිට පුළුවන් නම් නිල අල්ලලා, නාඩි පරීක්‍ෂා කරලා, කේන්දරේ බලලා මේවා කරන්න ඒක කොච්චර වටිනවද? රෝගවලට බෙහෙත් කරලා වැඩක්‌ නැහැ. බෙහෙත් කරන්න ඕනෑ රෝග මූලයට. එතකොට තමයි ලෙඩේ සම්පූර්ණයෙන් ම සුව වෙන්නේ.

ඇත්තටම බුදුහාමුදුරුවෝ කළෙත් දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය තියෙන චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයට අවබෝධ කරලා දුන්න එක. බලන්න අපේ හෙළ වෙදකම පදනම් වෙන්නෙත් මෙන්න මේ කියන මූලධර්ම මත නෙමෙයිද? අපිට මෙන්න මේ දේවල් කරන්න වෙන්න මේ වගේ අෂ්ඨඵල බෝධීන් වහන්සේලාගේ ශක්‌තිය කොච්චර උතුම් ද කොච්චර වටිනවද?

නාහිමියන්ගේ පැහැදිලි කිරීම අසා සිටින විට හැඟී ගියේ විශ්වවිද්‍යාලයේ දේශන ශාලාවක සිට ආචාර්යවරයකුගේ දෙසුමකට සවන් දෙන බවක්‌ ය. කිසිවක්‌ නොඅසා නිහඬව තවදුරටත් උන්වහන්සේගේ පැහැදිලි කිරීම අසා සිටියෙමි.

“අපිට මෙතනදී ඇතිවෙන්න පුළුවන් ප්‍රශ්නයක්‌ තියෙනවා. ඒ කියන්නේ හෙළ වෙදකම, ජ්‍යෙdතිෂ්‍යය සමඟ මේ අෂ්ඨඵල බෝධීන් වහන්සේගේ සම්බන්ධය මොකද්ද කියන එක හරි සරලයි. පැහැදිලියි. මම උදාහරණයකින් මේක විස්‌තර කරන්නම්. අකුණු ගහනකොට අපි ඔක්‌කොම හරි බයයි නේ.

මොකද ලොකු සද්දයක්‌ එනවා. එළියක්‌ එනවා. ඒ වගේම අකුණ වැදුනොත් ලොකු හානියකුත් වෙනවා. ඒ වුණාට අකුණු සන්නායකයක්‌ අපේ ළඟ තියෙනවා නම් අපිට අකුණු වදිනවද? නැහැ නේද? සද්දෙ ආවට එළිය ආවට අපි දන්නවා අකුණු සන්නායකයක්‌ තියෙන නිසා කවදාවත් අපට අකුණු වදින්නේ නැහැ කියලා. ඇත්තටම අෂ්ටඵල බෝධීන් වහන්සේත් ඒ වගේ කියලයි මට හිතෙන්නේ. විශ්ව ශක්‌තිය කේන්ද්‍රගත වෙලා ඒක දෘෂ්‍යමානව තියෙනවා. ඒ කියන්නේ ඇහැට පේන්න තියෙනවා.

දැන් අපිට තියෙන්නේ අපි කරන වැඩවලට අවශ්‍ය ශක්‌ති ඒ හරහා ලබා ගන්න අකණු සන්නායකයෙන් අකුණු ශක්‌තිය මහ පොළවට ගෙනියනවා වගේ මේ මහානුභාව සම්පන්න අෂ්ටඵල බෝධීන් වහන්සේ තුළින් අපට අවශ්‍ය විශ්ව ශක්‌තිය සන්නිවේදනය කරගන්න පහුරක්‌ ලෙස මේක භාවිත කරන්න පුළුවන්.

එහෙම නැත්නම් අවකාශය ලෙස යොදා ගන්න පුළුවන්. සත්‍ය වශයෙන්ම මම කරන්නේ ඒක. ලෙඩ හොඳ කරන්න අෂ්ටඵල බෝධීන් වහන්සේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ නැහැ. හැබැයි ඖෂධවලට වඩා වටින අවකාශයක්‌ විශ්වය එක්‌ක ගනුදෙනු කරන්න අපිට හදලා දෙනවා අන්න ඒකයි තියෙන ලොකුම වටිනාකම.”

නාහිමියන්ගේ පැහැදිලි කිරීම කොතරම් අරුත්බර දැයි හැඟේ. ස්‌වභාව ධර්මය සමඟ ජීවත් විය යුතු අප එයින් වඩාත්, ඈත් වී ඇති බවත් ඒ නිසා වර්තමානයේ අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වී ඇති බවත් පෙනේ. විශ්ව ශක්‌තියේ ආනුභාවයෙන් ජනිත වී තිබෙන මහානුභාව සම්පන්න අෂ්ටඵල බෝධීන් වහන්සේ කොපමණ පරාසයකට අපගේ සිතුවිලි රැගෙන යැමට සමත් වී ඇත්ද?

“අෂ්ටඵල බෝධීන් වහන්සේගේ හාස්‌කම් කොතෙක්‌ ද කියා නිම කරන්න අමාරුයි. ඇත්ත වශයෙන් ම මේකෙ හාස්‌කම් දැනගන්න නම් කරන්න තියෙන්නේ තමන්ගේ අරමුණු ඉටුකර ගන්න බෝධීන් වහන්සේගෙන් ඉල්ලීම් කරන්න. ඒක කරන විදිහ අපිට කියා දෙන්න පුළුවන්. හිතලා බලන්න දැන් කාලේ හැටියට කොච්චර ඉහළ තාක්‍ෂණයකින් හදපු දුරකථනයක්‌ අතේ තිබුණත් වැඩක්‌ තියෙනවද සිග්නල් නැති තැනක ඉන්න කොට. ඇත්තටම වරද තියෙන්නේ දුරකථනයේ නෙමෙයිනේ. බැටරිය හොඳට තියෙනවා. ඔක්‌කොම හොඳයි කියමුකො.

හැබැයි කථා කරන්න බැහැ. මොකද තරංග ශක්‌තිය නැහැ. සිග්නල් නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕන. එක්‌කෝ තරංග වැඩ කරන තැනකට යන්න ඕන. එහෙම නැත්නම් ඇන්ටනාවක්‌ හරි හොයාගෙන තරංග අල්ලගන්න ඕනෑ. ඒක නෙමෙයිද මෙතදීත් වෙන්නේ. මේ ලෝකේ ඉන්න හැම මනුස්‌සයකුටම විශ්වයෙන් දායාද වෙච්ච විභව විශ්ව ශක්‌තියක්‌ තියෙනවා.

වෙලා තියෙන්නේ ඒකෙන් වැඩ ගන්න සිග්නල් නැති එකයි. අන්න ඒකට අපි උදව් කරනවා. අෂ්ටඵල බෝධීන් වහන්සේගේ මහා ආනුභාවය ඒකයි. දරුවෝ නැති කොතෙකුත් අම්මලා මෙතනින් පිහිට ලබාගෙන තියෙනවාද?

ලෙඩරාaග හැදිලා මැරෙන්න ගිය කී දෙනෙක්‌ අෂ්ටඵල බෝධීන් වහන්සේගෙන් පිහිට ලබා තියෙනවද? ගෙවල්වල ප්‍රශ්න, පවුල් ආරවුල්, අධ්‍යාපනය ලබන දරුවන්ගේ ගැටලු මත්ද්‍රව්‍යවලට පෙළඹිලා ඉන්න අය, විවිධ ව්‍යාපාර කරන අය මොන තරම් පිහිටක්‌ මේ බෝධීන් වහන්සේගෙන් ලබා ගන්නවාද? අපිට තියෙන්නේ ක්‍රමය කියා දෙන්න. මිනිස්‌සු ඊට පස්‌සෙ හොඳට කර ගන්නවා. ඒකයි ඇත්ත”

නාහිමියන්ගේ ස්‌වරයෙහි ඇති සත්‍යවාදී බව සහ කාරුණික බව බොහෝ දේ හිතන්නට අප පොළඹවයි. සැබැවින් ම විවිධ ප්‍රශ්න හමුවේ තොරතෝංචියක්‌ නොමැති ජීවන අරගලය ජය ගැනීමට මෙවැනි අවස්‌ථා අපට කොතෙක්‌ භාවිත කළ හැකි දැයි හැඟේ. මෙම සියලු දේ නාහිමියන් පවසන්නේ තමන් ක්‍රියාවෙන් ඔප්පු කොට අවසන් වූ පසුවය. එය මෙහි ඇති සුවිශේෂී විශේෂත්වය ලෙස නොපවසාම බැරිය.

“බුදු හාමුදුරුවෝ ධම්මපදයේ බුද්ධ වග්ගයේ හරි අපූරු ගාතාවක්‌ දේශනා කරලා තියෙනවා. ඒක තමයි

බහුං වෙ සරණං යන්ති
පබ්බතානි වනානිච
ආරාම – රුක්‌ඛ – චෛත්‍යානි
මනුස්‌සා භයත-ජිතා

මේකෙ තේරුම බියෙන් තැති ගැනුණු මිනිස්‌සු, පර්වත, වනාන්තර, ආරාම, රුක්‌, දෙවොල් ආදී දේවල්වල පිහිට පතන බව. මේක මොන තරම් සත්‍යයක්‌ ද? මිනිස්‌සු ස්‌වභාවයෙන් මේ ආකාරයට පිහිට පතන එක බෞද්ධයෝ වෙච්ච අපි කොච්චර අර්ථාන්විතව සකස්‌ කරගෙන තියෙනවද? ඒක අනිත් පැත්තෙන් කොච්චර විද්‍යාත්මකද?. වෘක්‍ෂ වන්දනාව මානව ස්‌වභාවයේම ලක්‍ෂණයක්‌.

අපි ඒක බෞද්ධ දර්ශනයට අනුකූලව විශ්වයට ගැලපෙන විදිහට බුදු හාමුදුරුවන් කළගුණ සලකපු විදිහට සිදු කළාම ඒකෙන් ලැබෙන ප්‍රයෝජනය කියලා නිම කරන්න පුළුවන්ද?. සාමාන්‍ය බෝධීන් වහන්සේ නමක්‌ වුණත් ආනුභාව සම්පන්න. ඉතින් අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක්‌ මොන තරම් ආනුභාව සම්පන්න වෙනවද? මෙතනට එන එක එක මිනිස්‌සු, අ`ඩාගෙන එන මිනිස්‌සු, පිස්‌සු හැදිලා එන මිනිස්‌සු, රණ්‌ඩු කරගෙන එන මිනිස්‌සු ඒ ගැටලුවලින් නිදහස්‌ වෙලා සතුටින් යනකොට අපිට ඇතිවෙන නිහතමානී සතුට කියා නිම කරන්න බැහැ.

” නාහිමියන්ගේ ප්‍රකාශනයෙහි සත්‍යභාවය වැටහුනේ ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය (Health) යන්නට ලබා දී ඇති නිර්වචනය සිහිවීමෙන් අනතුරුවයි. “සෞඛ්‍ය යනු හුදෙක්‌ රෝගයන් ගෙන් හෝ ගිලන් බවෙන් මිදීම පමණක්‌ නොව අංග සම්පූර්ණ කායික – මානසික හා සමාජීය සුතභාවයයි” (Health is a state of complete physical mental and social will being and not merely the
absence of disease or infirnmity, WHO 1992)) මේ තුළින් අවබෝධ වන්නේ ස්‌වභාව ධර්මයට විශ්වයට විශ්ව ශක්‌තියට සමීප වීම සැබෑ ලෙසම ජීවත්වීම යන අර්ථය සඵල වීම බව නොවේද?

“දැන් බලන්න ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරපු කාලේ ඉඳලා අපේ රාජ රාජ මහාමාත්‍යාදීන් කොච්චර පුද පූජා පවත්වල තියෙනවද? “සිනානා මහ බෝ මංගල්‍යය” කියලා හඳුන්වන බෝධීන් වහන්සේ නෑවීමේ උත්සවය හරි වටින පිංකමක්‌. ඒ වගේම ‘සොම්නස්‌ මහ බෝ මංගල්‍යය’ තවත් එකක්‌. මට මතක විදිහට හතරවැනි මහින්ද ර-ජුරුවන්ගේ කාලේ මිහින්තලා පුවරු ලිපියේ සඳහන් කරලා තියෙනවා.

“ඉසා දමියෙන් වසගක්‌ ඉසා සොම්නස්‌ මහ බෝ මඟුලෙහි පිළියට්‌ එක්‌ කලන්දක්‌ඉසා” කියලා වැකියක්‌. මේකෙන් කියන්නේ සොම්නස්‌ මහ බෝ මංගල්‍යයේ, මහ බෝධිය පිළිබඳ ප්‍රීති උත්සවයේදී වස්‌ත්‍රවලට එක්‌ කැළෑ, කියලා. මේවා හොඳ සාක්‌කි. බෝධීන් වහන්සේට පූජා පවත්වපු බවට ඉතිහාසයේදී තවත් සාක්‍ෂියක්‌ තියෙනවා. ‘රුවනසුන් මහ බෝ මඟුල’ කියලා. දැනුත් ශ්‍රී මහා බෝධීන් වහන්සේට වාර්ෂිකව සිදු කරන විවිධ පුද පුජා රාශියක්‌ තියෙනවා.

ඇත්තටම මේවා අපේ පැරැණි මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලා කරන්නේ මොන තරම් ආනුභාවයක්‌ තියෙන හින්දද? අපිට මිනිස්‌සුන්ට දෙන්න තියෙන පණිවිඩය තමයි ‘එව බලව’ කියන එක. ඇවිත් බලල තමන්ගේ කාරණා කටයුතු ඉෂ්ට වුණහම තේරුම් ගන්න පුළුවන් මේ අපි කියන යථාර්ථය මොකද්ද කියලා.”

නාහිමියන් එසේ පැවසුවේ ස්‌ථිර ස්‌වරයකින් ය. වසර දෙදහස්‌ පන්සියයකට පමණ පසු අභිනවයෙන් ජනිත මෙම මහානුභාව සම්පන්න අෂ්ටඵල බෝධීන් වහන්සේ පිළිබඳ ඔබට කරුණු ලිවීමට හැකිවීම අප ලද භාග්‍යයක්‌ ලෙස ද හැඟේ. කෙසේ වෙතත් බොහෝ වේලාවක්‌ නාහිමියන් සමඟ සාකච්ඡා කරමින් සිටියද, කාලය ගෙවී යනු දැනුනේ ද නැති තරම් ය. හෝරා තුනකට පමණ ආසන්න කාලයක්‌ පැවැති සාකච්ඡාව නිමවිය.

මේ පුද භූමියේ පවත්වන සාමණේර ආකල්ප භික්‍ෂු විද්‍යාලයේ සසුන් වත ප්‍රගුණ කරන කුඩා සාමණේර හිමිවරු වතාවත්වල යෙදෙන අයුරු දුටුවිට මහත් චිත්ත ප්‍රසාදයක්‌ ජනිත විය. මෙම යෝගාශ්‍රම විහාරයේ භාරකාර මණ්‌ඩලයේ මෙන්ම විද්‍යාලයේ පාලක සභාවේ සභාපතිනි සුමේJද්‍රd ද සිල්වා මැතිනිය කුඩා සාමණේර හිමිවරුන්ට මවක්‌ සේ කටයුතු කරනු දැකීම ද සඳහන් නොකරම බැරිය. ඉතා සංවිධානාත්මක ලෙසත්, නිසි පිළිවෙළකටත් පවත්වා ගෙන යන මෙම විහාරයෙන් අකමැත්තෙන් හෝ සමුගෙන යැමට කාලය එළඹ තිබේ.

අවසාන වශයෙන් අෂ්ටඵල බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමේ අටියෙන් බෝ මළුවට ප්‍රවේශ වුණෙමි. සැබැවින් ම පුදුමයකි. පරිසරය සිසාරා පැමිණි මද සුළඟින් බෝධීන් වහන්සේගේ පත්‍ර සෙලවීමට පටන් ගැනිණ. සිතට දැනුණු සුවය වචනවලට පෙරළීමට අපහසුය. නමුත් ඒ මොහොතේ සිහියට නැඟුණේ ශ්‍රී චJද්‍රරත්න මානවසිංහයන් පබදින ලද පණ්‌ඩිත් අමරදේව ශූරීන් ගායනා කළ මහබෝ වන්නම ගීතයේ

සඟමෙත් මෙහෙණී දකුණේ සාකා
සිරිලක ගෙන ආ දා සිටම තම
මහමෙව්නා උයනේ නටයි කොළ
වන්නම ලෙස මහ බෝ
සුමිහිරි නාදෙනා

ගීතයයි. නාහිමියන් දෙපා නමැද බළපිටිය පාතේගම ශ්‍රී යෝග්‍රාශ්‍රම පුදබිමෙන් නික්‌මුණේ මහබල සම්පන්න අෂ්ටඵල බෝධීන් වහන්සේ පිළිබඳ මහත් වූ ගෞරවයකිනි.

උපුටා ගැනීම – ඉරිදා දිවයින පුවත්පතෙන්

මේ වගේ වැදගත් අලුත් දේවල් හැමදාම කියවන්න දැන්ම අපේ පේජ් එක ලයික් කරන්න