උසස් පොලිස් නිළධාරීන්ටත් දඩ ලියන පොලිස් නෝනලා ඉන්න රටක් දන්නවාද…!

ලෝකයේ දියුණු රටවල මාර්ග නීති කඩ කරන්නන්හට විරුද්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක වේ. කිසිවකුත් නීතියට ඉහළින් සලකා කටයුතු කිරීමක්‌ සිදු නොවේ. ජපානයේ ඇති සීමිත ඉඩකඩ ප්‍රමාණය සහ දැඩි නාගරීකරණය හමුවේ තෝකියෝ වැනි ප්‍රධාන නගරයක මාර්ගයක්‌ අයිනේ වාහනයක්‌ නතර කිරීම සිතා ගැනීමටත් බැරි දෙයකි.

ජපන්නු සාමාන්‍යයෙන් නීති කඩ නො කරති. වාහන අනතුරක දී බොහෝ විට ඔවුන් දබර කරන්නේ වැරැද්ද අනෙකා පිට පැටවීමට නොව තමන් ගේ අතින් සිදුවූ වැරැද්ද අනෙකාට ඒත්තු ගන්වන්නට ය.

ජපානයේ සේවය කරන කාලයේ මා ළඟින් ඇසුරු කළ පොලිසියේ ඉහළ නිලධාරීන් දෙදෙනෙක්‌හට ඉරිදා දිනයක දී දහවල් ආහාරය සඳහා ඇරයුම් කළේ ලංකාවෙන් පැමිණ සිටි පොලිස්‌ නිලධාරියෙක්‌ හඳුන්වා දෙන්නට ය.

ජපන් මිතුරන් දෙදෙනා එදින ද රාජකාරියේ යෙදී සිටිය හෙයින් වයින් වීදුරුවක්‌ හෝ පානය කිරීම ප්‍රතික්‌ෂේප කළෝ ය. කථා බහ අතරතුර ඔවුන් දෙදෙනා වරින් වර මගේ නිවසේ ජනේලයෙන් පහළ පිහිටි මාවත දෙස එබී බලනවා මම දුටුවෙමි. කුකුස දුරු කරගනු වස්‌ මම ඒ ගැන විමසුවෙමි.

‘අපි වාහනේ නවත්වලා ආවේ අවසර නැති තැනක. ඒකයි බලන්නේ.’

‘ප්‍රශ්නයක්‌ නැහැ නේ. ඔයාලා පොලිස්‌ නිලධාරීන් නිසා.’ මම කියා සිටියෙමි.

‘පොලිසියට කියලා නීති කඩන්න බැහැ. පොලිස්‌ කාන්තාවෝ හරිම වසයි. අපිට දඩ කොලයක්‌ ලියලා දාලා යයි.’ ලංකාවෙන් පැමිණ සිටි අපේ පොලිස්‌ නිලධාරියාට මෙය තේරුම් ගන්න බැරි අපබ්‍රංසයකි. මම කාරණය පැහැදිළි කර දුන්නෙමි. ලංකාවේ නම් පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ අය නීති කඩන හැටියට දඩ නියම කළොත් සෑහෙන ආදායමක්‌ එකතු කළ හැකි බව මගේ මිත්‍රයා මට රහසින් පැවසුවේ ය.

කිසි හිරිකිතයක්‌ නැතිව අන් අය ගැන නොතකා රාජකාරි වාහනවලින් තම දරුවන් පාසල් අසලින් බස්‌සන ආරක්‌ෂක අංශවල නිලධාරීන් ගැන අපේ මිත්‍රයා මට මතක්‌ කර දුන්නේ ය.

තවත් ටිකකින් අපේ ජපන් මිත්‍රයෝ දෙදෙන දොර හැරගෙන පහළට දුවන්නට පටන් ගත්තෝ ය. මම ද ඒ පස්‌සේ වැටුණෙමි. අපට දැක ගත හැකි වූයේ ඔවුන් ගේ කාරය ඉදිරියේ සිට රාජකාරිය කරන්නට සැරසෙන පොලිස්‌ කාන්තාවන් දෙදෙනෙකි. අපේ මිත්‍රයෝ ඔවුන්ට හිස නවා ආචාර කොට තමන් හඳුන්වා දුන්හ.

‘පොලීසියේ අය නීති කඩන කොට අපි මහජනතාවට මොකක්‌ද දෙන උත්තරේ? ගන්න බලන්න ඔබලා ගේ හැඳුනුම් පත්.’ එක්‌ පොලිස්‌ නිලධාරිනියක්‌ තරමක්‌ සැරෙන් කියා සිටියා ය. ඒවා ඉදිරිපත් කිරීමෙන් ඵලක්‌ වූයේ නැති සැටියකි. මම කථා කෙළෙමි.

‘මේ දෙදෙනාට එන්න කීවේ මමයි. හදිසි අවශ්‍යතාවයක්‌ නිසා.’ මම ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වුණේ මා කවුදැයි හඳුන්වා දෙමිනි.

‘ඒ වුණත් වාහනය සුදුසු තැනක නවත්වන්න අවශ්‍ය බව දැනගන්න ඕනේ. ඒක පොලිස්‌ නිලධාරින් හැටියට ඔවුන් දන්නවා.’

මම නැවතත් ඔවුන් ගෙන් සමාව ඉල්ලුවෙමි. ඉක්‌මනින්ම වාහනය ඉවත් කර ගන්නා ලෙස දන්වා මගේ ජපන් යාළුවෝ දෙදෙනාට ආචාර කොට නිලධාරිණියන් දෙදෙන නික්‌ම ගියෝ ය.

අපේ ජපන් යාළුවන් ල-ජාවට පත්වූයේ උසස්‌ නිලධාරීන් වන ඔවුන්ට පොලිස්‌ නිලධාරිණියන් දෙදෙනා කතා කළ ආකාරය නිසා නොව තමන් අතින් සිදුවූ වැරැද්ද නිසා ය.

ඒ අතර මාර්ග නීති කඩන ලද එකදු ආරක්‌ෂක අංශ වහනයක්‌ වෙනුවෙන් දඩ කොලයක්‌ නිකුත් කළ බවක්‌ තමන් අසා නැති බව ලංකාවේ සිට පැමිණි මිත්‍රයා ප්‍රකාශ කෙළේ තරමක ලඡ්ජාවෙනි.

රංජිත් ගුණරත්න

මේ වගේ වටිනා ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණමයි