සත්ත්ව ලෝකයේ අමරණීය ජාතික වස්තුවක් ලෙස නම් කෙරුණු ලොව පළමු හීලෑ ඇතා දන්නවාද?

මහනුවර ඇසළ පෙරහර යනු ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අපූර්වත්වය ලොවට කියාපාන සංස්කෘතික දැක්මක් ලෙස හැඳින්වීම නිවැරැදිය. දළදා පෙරහර පැවැත්වීම උත්තම පූජාවක් ලෙස බෞද්ධයෝ පිළිගනිති. දළදා සම්ප්‍රදායන්ට අනුකූලව වාර්ෂිකව ඇසළ මාසයේ එළැඹෙන නැකැත් අනුව සිදුකරන හෙයින් ‘ඇසළ පෙරහර’ ලෙසද එය ප්‍රකටය. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හා අලි ඇතුන් අතර ඇත්තේ නොබිඳිය හැකි සම්බන්ධයකි.

ඉතා මනරම් ලෙස සරසන ලද අලි ඇතුන් වැඩිම ප්‍රමාණයක් සහභාගි වන පෙරහර ලෙස දළදා පෙරහර හැඳින්වීම වටී. අලි ඇතුන් හිමිකරුවන් දළදා පෙරහරට අලි ඇතුන් එකතු කරන්නේ එය මහත්ඵල උදාවන පිනක් ලෙස සලකමිනි. එහිදී දළදා පෙරහරේ අති පූජනීය වස්තුව ලෙස සලකන සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමිවන්නේ මංගල ලක්ෂණ සහිත හස්තියකුට පමණි.

එම වාසනා ගුණය සැපිරීම හේතුවෙන් අඛණ්ඩව අඩසියවසක් උත්තම සධාතුක කරඬුව වැඩමකරවීමේ භාරදූර කාර්යය ඉටුකළ දළදා මාලිගාවේ රාජා ඇතා මියගොස් 2015 ජූලි මස 16 වන දිනට වසර 27ක් සපිරේ. බෞද්ධ ජනසමාජයේ සදා අමරණීය රාජා ඇතු සත්ත්ව ලෝකයේ අමරණීය වන්නේ ජාතික වස්තුවක් ලෙස නම් කෙරුණු ලොව පළමු හීලෑ ඇතා රාජා ඇතු බැවිනි. එපමණක් නොව මියගිය පසු සිරුර සංරක්ෂණය කර කෞතුක වස්තුවක් ලෙස ප්‍රදර්ශනයට තැබූ මෙරට පළමු හස්තියා සේම ලොව දෙවැනි හස්තියා වන්නේද රාජා ඇතුය.

ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ අවස්ථාව හිමිවූයේ මංගල හස්තියකුට පමණි. මංගල හස්ති රාජයකුට භූමි ස්පර්ශ ස්ථාන හතක් හෙවත් හත්පොළ වැඳුම් පිහිටා තිබීම අනිවාර්ය වේ. එම ස්ථාන වන්නේ සතර පා, ඇත් හොඬය, ලිංගය හා වලිගයයි.

ඊට අමතරව මඟුල් ඇතකු සතුව තවත් ගුණාංග රාශියක් පැවතිය යුතුවේ. ඒවා නම් පුළුල් පිට, පුළුල් කුඹුතල, උදාර ලීලාව, තේජාන්විත දළ යුගල හා මනා කීකරුකමය. සධාතුක කරඬුව වැඩම කරවීමේ සුදුසුකම් ලත් මංගල ඇතු තෝරාගැනීමේදී දළදා මාලිගාවේ ගජනායක නිලමේ, කාරියකෝරාල සහ ඇතුන් පිළිබඳ කටයුතු කරන සියලු දෙනා සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹීම සම්ප්‍රදායයි. එම සියලු සුදුසුකම් සැපිරූ සුවිශේෂී හස්තියකු ලෙස රාජා ඇතු කැපී පෙනේ.

රාජා ලෙස ජනාදරයට පත්වූ මෙම ඇත් පැටවා අල්ලාගෙන ඇත්තේ මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ තිබූ ගන කැලෑවකිනි. එකල අලි ඇතුන් ඇල්ලූ පුද්ගලයන් මට්ටයන් ලෙස හඳුන්වා ඇති අතර ඒ අනුව උමේරු ලෙබ්බේ නමැති පුද්ගලයා අලි ඇතුන් ඇල්ලීම සඳහා රජයෙන් ලබාදෙන බලපත්‍ර අංක 1318 යටතේ 1925 වසරේ ජනවාරි මස 5 වැනි දින මෙම ඇත් පැටවා අල්ලාගෙන ඇත.

ඒ වන විට ඇත් පැටවාගේ වයස අවුරුදු 10ක් පමණ වූ අතර උස අඩි 4 අඟල් 5කි. මෙම ඇත් පැටවා දුටු මහනුවර ගිරාගම වලව්වේ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාව ඇත් පැටවා අල්ලාගත් ලෙබ්බේවරයාට 1925 වසරේ දෙසැම්බර් 11 වැනි දින රුපියල් 3,300ක මුදලක් ගෙවා මිලට ගෙන ඇත.

එසේ මිලට ගත් ඇත් පැටවා දෙසැම්බර් 30 වැනි දින මඩකළපු දිසාපති වෙනුවට වැඩ බැලූ නිලධාරියකු වූ විශ්වලිංගම් මහතා විසින් මඩකළපුවේ සිට වාලච්චේනේ, තෝපාවැව, මාතලේ හරහා මහනුවරට ප්‍රවාහනය කිරීමට ලබාදුන් බලපත්‍රය හරහා ප්‍රවාහනය කර තිබේ.

මෙසේ මාම්පිටිය දිසාවගේ ගිරාගම වලව්වේ වසර 12ක කාලයක් හැදී වැඩුණු රාජා ඇතා දළදා මාලිගාවට පූජා කිරීමට හෙතෙම අදහස් කර ඇත. ඒ අනුව 1937 ජූලි මස 31 වැනි දින ඇතු දළදා මාලිගයට භාරදී ඇති අතර ඒ වන විට ඇතා වයස අවුරුදු 22ක් හා උස අඩි 8ක් තරම් වූ සද්දන්තයකු විය.

මෙසේ දළදා මාලිගාවේ සේවයට බැඳුණු රාජා ඇතු එම වසරේ දළදා පෙරහරට එකතු කරගැනීමට එකල දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කළ ටිකිරි බණ්ඩාර රත්වත්තේ මහතා කටයුතු කර ඇත. එතැන් පටන් 1987 වර්ෂය වනතෙක් අඛණ්ඩව අඩසියවසක කාලයක් අති පූජනීය සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමිවූයේ රාජා හස්තියාටය.

මිනිසකුගේ වන් ගති පැවතුම්වලින් යුත් රාජා ඇතු සමඟ බැඳි අපූරු පුවත් රාශියක් වේ. 1955 වසරේ මහනුවර ඇසළ පෙරහරේ රන්දෝලි පෙරහර ගමන් කරන අවස්ථාවේදී සධාතුක කරඬුව වැඩම කරවමින් සිටි රාජා ඇතු එක්වරම මහනුවර රැජින හෝටලය ඉදිරිපිටදී නැවතී ඇත. රාජාගේ මෙම හැසිරීමත් සමඟම පෙරහර ඉදිරියට ගමන් කිරීම අඩාල වී ඇති අතර කොතරම් උත්සාහ ගත්තද රාජා ඇතු ඉදිරියට යෑමට මැළි වී ඇත.

පසුව එම ස්ථානයට පැමිණි නුගවෙල නිලමේතුමන් ඇත්ගොව්වන් ලවා කරඬුව තැන්පත් කර තිබූ රන්සිවිගෙය පරීක්ෂා කිරීමේදී පෙනීගොස් ඇත්තේ රන්සිවිගෙය ඇතුගේ පිටට බැඳ තිබූ රැහැන් පටි සියල්ල කැඩී ඇති බවය. රාජා ඇතු නැවතී ඇත්තේ තව එකදු පියවරක් හෝ ඉදිරියට ගියේ නම් ඉන් සධාතුක කරඬුවට හානියක් වන බැවිනි. 1959 වසරේ ඇසළ පෙරහරේදී මහා අලි කුලප්පුවක් සිදුවූ අතර පෙරහරේ ගමන්ගත් ශිල්පීන් මෙන්ම පෙරහර නැරැඹීමට පැමිණි පිරිස් හිස් ලූලූ අත දිවයන්නට වූහ.

නමුත් මේ සියල්ල සිදුවෙද්දී සධාතුක කරඬුව පිට මත තබාගත් රාජා ඇතු කිසිදු කලබලයක් නොමැතිව නිසොල්මනේ සිට ඇත. ඒ සධාතුක කරඬුව කෙරෙහි ඇති අති මහත් ගෞරවය නිසාවෙනි. පාවඩ මතින් කරඬුව වැඩමවන රාජා ඇතු පාවඩ එළා නොමැති කිසිදු විටෙක පියවරක් හෝ ඉදිරියට යෑම ප්‍රතික්ෂේප කර ඇත. ඒ වනාහි පෙරහර චාරිත්‍ර පිළිබඳ එම ඇතුට තිබූ මහත් ගෞරවයයි. ඉතා කීකරු හස්තියකු වූ රාජා දිනක් මහනුවරදී ලොරි රථයකට පහරදී අලාභහානි කර තිබූ අතර පසුව කළ සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ එය රා ප්‍රවාහනය කළ ලොරියක් බවයි.

තවත් දිනක් හෙතෙම කටුගස්තොට ප්‍රදේශයේදී මහා මාර්ගයේ දිවයන්නට වූ අතර මෙයින් තැතිගත් මිනිසුන් පාර පුරා දිවයන්නට විය. මේ අතර මාර්ගයේ සිටි එක් අන්ධ පුද්ගලයකු කිසිවක් කරකියාගත නොහැකිව මහමඟ සිටිනු දුටු රාජා ඇතු ඔහු වෙත දිවගොස් තම හොඬයෙන් ඔහුව ඔසවා මාර්ගයේ පැත්තකින් තබා ගොස් තිබේ. එසේම 1986 වසරේදී රාජා ඇතුගේ ඇත්ගොව්වා දැඩි ලෙස රෝගාතුර වී රෝහල්ගත කර ඇති අතර එයින් තම වගකීම මනාව වටහාගත් ඇතු තම ඇත්ගොව්වා නොමැතිව තනිවම සධාතුක කරඬුව වැඩමකරවා ඇත.

1987 වසරේ ජනවාරි මස 1 වැනිදා උත්සව අවස්ථාවක් සඳහා පේරාදෙණිය පාරේ සිට කටුකැලේ දෙසින් දළදා මාලිගයට පැමිණෙමින් සිටි රාජා ඇතු බීමත් හමුදා නිලධාරියකු පැදවූ රථයක හැපී තිබේ. එහිදී ඇත්ගොව්වා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තුවාල ලැබූ රාජා කිසිදු කලබලයක් නොකර කොර ගසමින්ම දළදා මාලිගාවට පැමිණ ඇත. මේ වනාහි රාජා ඇතුගේ ජීවිත කතාවෙන් බිඳක් පමණි.

රාජා ඇතු තම සේවය දියවඩන නිලමේවරු සයදෙනකු යටතේ ලබාදීමට කටයුතු කර ඇති අතර ඔවුන් වන්නේ ටී.බී. රත්වත්තේ (1937-1947), සී.බී. නුගවෙල (1947-1961), හැරිස් රත්වත්තේ (1961-1964), එච්.බී. උඩුරාවන (1965-1975), නිශ්ශංක විජේරත්න (1975-1985) සහ නිරන්ජන් විජේරත්න (1985-1988) යන නිලමේවරුන්ය. 1987 වසරේ සිදුවූ රිය අනතුරෙන් පසුව රාජා ඇතු දිගින් දිගටම රෝගාතුර වී ඇති අතර වසර 75ක් ආයු වළ¼දා 1988 වසරේ ජූලි මස 16 වැනි දින උදෑසන දහයයි දහතුනට දියවඩන නිලමේවරයාගේ නිල නිවෙසට අයත් භූමියේදී මියගොස් ඇත.

රාජා ඇතු අඩසියවසක් කළ අනුපමේය සේවය හේතුවෙන් 1986 වසරේ අගෝස්තු මස 20 වැනි දින එවකට ජනාධිපතිව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් රාජා ඇතු ජාතික වස්තුවක් ලෙස නම් කර ඇත. එසේම මියගිය ඇතු වියළා සංරක්ෂණය කර 1989 වසරේ දෙසැම්බර් මස 12 වැනි දින දළදා මාලිගාවත් පැරැණි රජ මාලිගයත් අතර ඇති ගොඩනැඟිල්ලක තැන්පත් කර මහජනයා සඳහා විවෘත කර ඇත.

එදිනම ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය විසින් නිවේදන අංක 182 යටතේ රාජා ඇතුගේ රුව ඇතුළත් මිලිමීටර් 29×36 ප්‍රමාණයේ ශත හැත්තෑපහක වටිනාකමින් යුත් මුද්දරයක් නිකුත් කර ඇත. මේ අනුව ජාතික වස්තුවක් ලෙස නම් කෙරුණු ලොව පළමු හීලෑ ඇතාට හිමි ගෞරවය මෙන්ම මියගිය පසු සංරක්ෂණය කර ප්‍රදර්ශනයට එක්කළ මෙරට පළමු හස්තියා මෙන්ම ලොව දෙවැනි හස්තියාගේ ගෞරවයටද හිමිකම් පාන්නේ රාජා ඇතුය. ඒ වනාහි අඩසියවසක සේවය වෙනුවෙන් කළ උපහාරයක් වැනිය.

කේ.උදේනි අරුණසිරි ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය

මේ වගේ වටිනා ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණමයි