සිරිපා මළුව එකෙළි කරන සිරිපා පහනේ මින් පෙර ඔබ නොඇසු කතාවක්

ශ්‍රී පාද කඳු මුදුනේ පිහිටි දොළොස්‌මහේ පහනේ කතාව 1920 ගණන් දක්‌වා ඈතට දිවෙන්නකි. පානදුරේ වාසය කළ වෛද්‍ය සයිමන් සිල්වා මහතා 1928 දී ශ්‍රී පාද වන්දනාවේ යෙදුණු අතර ඔහුගේ පවුලේ අය ප්‍රකාශ කරන පරිදි ඔහුත් සෙසු අයත් රාත්‍රිය ගත කර තිබුණේ කඳු මුදුනේය. රාත්‍රියේ දැඩි ශීතල උහුලා ගත නොහී වටපිට බලන ඔහුට ගන අඳුර මිස කිසිදු එළියක්‌ දක්‌නට නොවීය.

සවස්‌යාමයේ පත්තු කර තිබුණු පහන් සියල්ල නිවී ගොස්‌ය. සමහරක්‌ තෙල් ඉවරවීමෙන්ද තවත් සමහරක්‌ සුළඟ නිසාද නිවී ගොස්‌ තිබිණ. ආපසු පැමිණීමෙන් පසු ගමනේදී ඇතිවූ සිද්ධි සිහිපත් කරන ඔහුට සිරිපාද කඳුමුදුනේ පැවැති ගනඳුර බියකරු සිහිනයක්‌ ලෙස දැනෙන්නට විය.

හදිසියේම ඒ සම්බන්ධයෙන් යමක්‌ කළ යුතුයෑයි ඔහුට සිතිණ. මෙය පවුලේ සෙස්‌සන් අතර විවෘත සාකච්ඡාවක්‌ බවට පත් විය. එහිදී වඩාත්ම වැදගත් යෝජනාව පිළිගැනීමට ලක්‌ විය. ඒ අනුව වෛද්‍ය සිල්වා මහතාගේ මියගිය මාපියන් වන ඒ ජොයානස්‌ සිල්වා මහතා හා ජොහානා පීරිස්‌ ජයවර්ධන මැතිනියට පිං පිණිස ශ්‍රී පාදයට සුළං ආරක්‍ෂණ ආවරණයක්‌ සහිත දොළොස්‌ මහේ පහනක්‌ පූජා කිරීමට තීරණය විය.

පැරැණි පහන හා අලුතින් ඉදිකළ පහන් ගෙය සහිත ශෛලමය දොළොස්මහේ පහන, කොප්පරා පහන

ඒ අනුව සැලසුම් කළ පහන වාත්තු කරන ලද්දේ ප්‍රදේශයේ සම්ප්‍රදායික පිත්තල කාර්මික ශිල්පියෙකි. ජ්‍යෝතිෂයේ දැක්‌වෙන නවග්‍රහයන් වෙනුවෙන් අනූ පහන් නමයක්‌ එම පහනට ඇතුළත් විය. එය කිලෝ 175 ක්‌ බර විය.

එහි ඉහළින් පවත්නා බඳුනේ කොප්පරා හා වෙනත් සුවඳැති ද්‍රව්‍ය අඩංගුකොට දැල්වීමේදී ඊට පහළින් ඇති අනුපහන් වලට තෙල් වැගිරෙන ලෙස පහන සකස්‌ කර තිබිණ. මෙය දොළොස්‌මහක්‌ තිස්‌සේ දැල්වෙන පහනක්‌ ලෙස හැඳින්වුවද එය සැබවින්ම දැල්වී පවත්නා කාල සීමාව 6 මසක්‌ වන්නේ ශ්‍රී පාද සමයට සීමාවන බැවිනි.

මේ කලාත්මක නිර්මාණය 1930 සිරිපා සමයේ දී කඳුමුදුනට රැගෙන ගොස්‌ පිහිටුවන ලද්දේ සමන් දෙවියන්ට කැපකරමිනි. මෙහිදී දැඩි උත්කර්ෂයක්‌ හෝ උත්සවලීලාවක්‌ නොපැවති නමුත් දැඩි බැතියෙන් හා විශ්වාසයෙන් යුතුව එය සමන් දෙවියන්ට පූජා කෙරිණ.

මේ කාලයේදී හෝ ඊට ආසන්න කාලයකදී එංගලන්තයේ ලන්ඩන් නුවරින් සැතපුම් 112 ක්‌ දුරින් පිහිටි අප්ටන් ලේක්‌ ප්‍රදේශයේ පූලේ හි උපත ලද ඉංග්‍රීසි ජාතිකයෙක්‌ වතු යායක්‌ ඇරඹීමේ අටියෙන් ලංකාවට පැමිණියේය.

ජී. ඩබ්ලිව්. එලිස්‌ නම් ඔහු වතු යාය ඇරඹීමට තොරාගත්තේ ශ්‍රී පාද කඳු පාමුල බටහිර බෑවුමේ පිහිටි දෙමදා ගම්මානයට අයත් අක්‌කර 300 ක භූමි භාගයකි. මේ ප්‍රදේශය දැරනියගල නගරයේ සිට දළ වශයෙන් කිලෝමීටර 10 ක්‌ දුරින් පිහිටි අතර එරත්න හරහා සිරිපා මුදුනට යන අඩිපාර දළ වශයෙන් සැතපුම් 18 ක්‌ පමණ දුර විය.

එලිස්‌ මේ වතුයාය පූලේ නමින් හැඳින්වූ අතර එහි රබර් හා තේ වගා කළේය. පූලේ වතුයායේ කම්කරුවන් බොහොමයක්‌ දෙමදා ගම්වැසියන් වූ අතර ගම්මානය හා අවට ප්‍රදේශය සමන් දෙවියන්ගේ අඩවිය ලෙස සැලකූ හෙයින් ඔවුන් සමන් දෙවියන් පුදදීමට වාර්ෂිකව සිරිපා තරණය කිරීම සිරිතක්‌ විය.

වතුයායේ වැඩ කටයුතු බලාපොරොත්තු සහගතව ඇරඹුණද වැඩිකල් නොයාම පැහැදිලි තේරුමක්‌ හෝ හේතුවක්‌ නොමැතිවම ඇතිවන කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට මුහුණ දීමට එලිස්‌ට සිදු විය. මේ අතර කාලයේදී ඔහු කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ප්‍රභූන් හමුවී ඔවුන් සමඟ මිත්‍රත්වයක්‌ ගොඩනඟා ගෙන තිබිණ. මේ කතාවට අදාළ වෛද්‍ය සිල්වා මහතාද ඔහු එසේ දැනහැඳින ගත් අයකු විය.

පැරැණි පහන හා අලුතින් ඉදිකළ පහන් ගෙය සහිත ශෛලමය දොළොස්මහේ පහන,

මේ අතරවාරයේ ශ්‍රී පාද කඳුමුදුනේ පිහිටි පහන පිරිසිදු කිරීමට හා එය පැහැ ගැන්වීමට වාර්ෂිකව දුෂ්කර ගමනක නියෑළීමට සිදුවන බව වෛද්‍ය සිල්වා මහතාට පෙනී ගියේය. ශ්‍රී පාදස්‌ථානයට ආසන්නයේම පූලේ වතුයායේ සිය මිත්‍ර එලිස්‌ වාසය කරන බව ඔහුට හදිසියේම සිහිපත් විය.

කඳු මුදුනට ඇති සමීපතාව මෙන්ම ඔහු සතු හැකියාවද සලකමින් පහනේ වාර්ෂික නඩත්තු කටයුතු බාරගන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටීමට වෛද්‍ය සිල්වා මහතා තීරණය කළේය. මේ වාර්ෂික චාරිත්‍රය ඉටු කිරීම බාරගන්නැයි කළ ඉල්ලීමේදී වෛද්‍ය සිල්වා මහතා විශ්මයට පත්කරමින් එලිස්‌ ඊට එක පයින්ම සතුට පළ කළේය.

මෙය එම අවස්‌ථාවේ අහඹු සිද්ධියක්‌ බවට පත්වූයේ එලිස්‌ගේ පූලේ වතුයාය පිහිටි දෙමදා ගම්මානයට අයත් වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පරිදි සමන් දෙවියන්ට බාරයක්‌ වුණොත් වත්තේ ප්‍රශ්න සමනය වනු ඇතැයි ඔවුන් කියා තිබුණු බැවිනි. එහෙයින්ම මේ මහඟු අවස්‌ථාව වහා ඩැහැගත් එලිස්‌, වාර්ෂික චාරිත්‍රය ඉටුකිරීමට එකඟතාව පළ කළේය.

පැවසී ඇති අන්දමට ඔහු ශ්‍රීපාද කඳුමුදුනට නැඟ ඇත්තේ එක්‌වරක්‌ පමණක්‌ වුවද කඳුමුදුනේ ඇති පහනේ නඩත්තු කටයුතු සිදුකිරීමේ පොරොන්දුව ඒ අයුරින්ම ඉටු කළේය. ආශ්චර්යවත් ලෙස ඔහුගේ ප්‍රශ්නවලින්ද සහනයක්‌ ලැබෙන්නට විය. රබර් වලින් සාධාරණ ප්‍රතිලාභයක්‌ අත්පත්කරගන්නටද ඔහුට හැකි විය. තවද දෙවැනි ලෝක යුද්ධය පැන නැඟීමත් සමඟ රබර් මිල ඉහළ නැගිණ. එලිස්‌ට විශාල වාසියක්‌ අත් විය.

පැරැණි පහන හා අලුතින් ඉදිකළ පහන් ගෙය සහිත ශෛලමය කොප්පරා පහන

අපේ පහනේ කතාව තවමත් අවසන් නැත. පහන රැකබලාගැනීමෙන් වෛද්‍ය සිල්වා මහතාට වූ පොරොන්දුව 1935 සිට 1953 දක්‌වාම ඉටුකිරීමට එලිස්‌ට හැකි විය. ඉන්පසු පළමුවන පාර්ලිමේන්තුව සඳහා පැවැති මැතිවරණයේදී දෙහිඕවිට ආසනය සඳහා ලංකා සමසමාජ පක්‍ෂයේ එඩ්මන්ඩ් සමරක්‌කොඩිට එරෙහිව තරග වැදුනු එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක සහ ප්‍රමුඛ නීතිවේදියකු වූ සෝමවීර ගුණසේකරට පූලේ වතුයාය විකුණා දැමිණ. එහෙත් ඒ එක්‌ කොන්දේසියකට යටත්වය.

ශ්‍රීපාද පහන් සේවා කටයුත්ත එපරිද්දෙන්ම සිදුකරන කොන්දේසිය මතය. ඒ අනුව ගුණසේකර පවුල් අදාළ සම්ප්‍රදායගත චාරිත්‍රය ඉටුකිරීමේ බාරකරුවන් බවට පත් විය. 1953 සිට පූලේ වතුයායේ කළමනාකාරිත්වයෙන් පහනට නිසි අවධානය යොමුව තිබිණ. පළමුව සෝමවීර ගුණසේකර යටතේ සිදුවන මේ කටයුත්ත ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ බිරිඳ නන්දා ගුණසේකර විසින් බාරගෙන තිබිණ. 1965 දී වතුයායේ කළමනාකාරිත්වය බාරගත් ඔවුන්ගේ පුත් අජිත් ගුණසේකර පෞද්ගලිකවම මෙම චාරිත්‍රය ඉටු කිරීමට ක්‍රියා කළේ වසරක්‌ පාසා තමාම කන්ද නැගීමෙනි.

ඒ අනුව සිරිපා සමය ඇරඹීමට දෙදිනකට කලින් එහි ගොස්‌ පහන ශුද්ධ පවිත්‍රකොට එළඹෙන වන්දනා සමය වෙනුවෙන් එය සූදානම්කර තැබීම සිදුකෙරිණ. අජිත් 37 වසරක්‌ තිස්‌සේ අඛණ්‌ඩව මේ කාර්යය සිදු කළේය.

2003 දී රාජ්‍ය බැංකුවක්‌ විසින් පරණ පහන පසෙකින් අලුත් පහණක්‌ පිහිටුවන ලද්දේ ප්‍රසිද්ධ උත්සවයක්‌ පවත්වමිනි. එහෙත් එම පහන පැවතුනේ එක්‌ වන්දනා සමයක්‌ පමණි. පහනේ ඉරිතැලීම් හා කඩතොලු හටගැන්මෙන් එය ඉවත් කිරීමට සිදු විය. සමහරවිට එය කාලගුණයට ඔරොත්තු නොදුන්නා විය හැකිය. නොඑසේනම් සමන් දෙවියන් මේ පූජනීය කඳුමුදුන වාණිජකරණයට ගොදුරුවනු දැක්‌ම නොරිසි වූවා විය හැකිය.

ඉඩම් ප්‍රතිසංස්‌කරණ නීති හඳුන්වා දීමත් සමඟ පූලේ වතුයාය ක්‍රමයෙන් කුඩා බිම්කොටස්‌වලට කැඩීගිය අතර අජිත් ගුණසේකර 60 වැනි වියට එළඹි 2004 දී පූලේ වතුයාය කෙරේ පැවැති අපේක්‍ෂාවන් සියල්ල අවශ්‍ය නොවන තැනට පත්ව තිබිණ. ඉතිරිව පැවැති එකම උරුමය වූයේ සිරිපා පහන පිළිබඳ වගකීම අඛණ්‌ඩව ඉටු කිරීම පමණි. මේ සද්චාරිත්‍රය අඛණ්‌ඩව ඉටුකිරීමේ හැකියාව පිළිබඳ දෙගිසියාවෙන් පසුවූ අජිත් මේ පූජනීය වගකීම පැවරිය හැකි විශ්වාස කටයුතු හා හැකියාව ඇති පුද්ගලයකු සොයමින් සිටියේය.

එහිදී ඔහුට තාක්‍ෂණ ශිල්පියකු වන අශෝක මිරිහාගල්ල හමු විය. ඒ අනුව සිරිපා පහනේ වාර්ෂික නඩත්තුව 2004 පටන් ඔහු ආරම්භ කළේය. ඒ සඳහා යෙදවුණු කණඩායම සමඟ එක්‌ව මේ දක්‌වා වසරක්‌ පාසා සිරිපා තරණය කරන ඔහු කන්ද නැගීමට හයිහත්තිය තිබෙනතාක්‌ කල් අඛණ්‌ඩව එහි නිමග්න වීමට අපේක්‍ෂා කරයි. තවමත් අපේ කතාව අවසන් නැත.

මීට කලින්ද සඳහන් කර ඇති පරිද්දෙන් 2013 දී රූපවාහිනි හා ගුවන්විදුලි මාධ්‍යයෙන් ලෝකයටම ප්‍රසිද්ධ කරමින් අලුත් පහනක්‌ පිහිටුවනු ලැබුණු අතර අපේ පරණ පහන ඉවත් කෙරිණ.

මහත් උත්කර්ෂයෙන් යුතුව පිහිටුවන ලැබූ නව පහනේ අවිනිශ්චිත තාව කෙටි කලකට සීමා විය. සමහරවිට සමන් දෙවියන් එය ප්‍රතික්‍ෂේප කළා විය හැකිය.

මේ අනුව ශ්‍රීපාදයට පවිත්‍ර ෙච්දනාවෙන් පුද කෙරුණු පැරනි දොළොස්‌මහේ පහන යළිත් වරක්‌ එම ස්‌ථානය අරක්‌ ගත්තේය.

එස්‌. කාරියවසම්

මේ වගේ වටිනා ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණමයි