පොඩි පුතා නිසා කඳුළු සමග සිරබත් කන අම්මාගේ කතාව

ඇගේ නම මිසිලින් නෝනාය. වයස අවුරුදු හැත්තෑපහක්‌ පමණ වේ. මාතර වලස්‌මුල්ල ගම්මානයේ කාගේත් හොඳ හිත දිනාගෙන තමන්ගේ පාඩුවේ ජීවත් වූ පවුලකි. ඇගේ සැමියා රියෑදුරු රැකියාවක්‌ කළ අතර හදිසි අනතුරකින් මියගොස්‌ ඇත. ඒ වන විට ඔවුන්ට දියණියන් දෙදෙනකු සහ පුතුන් දෙදෙනකු විය.

සැමියා මිය යැමෙන් පසු පවුලේ සියලු බර මිසිලින් නෝනාගේ හිස මත පැටවුණි. එතැන් සිට තම දරුවන් ලොකු මහත් කර, නිසි අධ්‍යාපනයක්‌ ලබාදීමට විශාල පරිශ්‍රමයක්‌ දැරීමට ඇයට සිදුවිය. ඒ බව ඇය මා සමග පැවසුවේ දෙනෙතේ කඳුළු පුරවාගෙනය. ජීවිත කාලය තුළදී ඇය බොහෝ දුක්‌ ගැහැට විඳ ඇති බව වයසට වඩා මහලු පෙනුමෙන් පසක්‌ වේ.

මිසිලින් නෝනා විවාහ වන විට තම දෙමාපියන්ගෙන් ලැබුණ කුඩා නිවස සහිත ඉඩමේ එළවළු පලා ආදිය වැව්වාය. පොල්ගස්‌ තුනක්‌ පමණ තිබුණ නිසා එදා වේල පිරිමසා ගැනීමට හැකිවිය. ඉඩ ලැබුණ විට පැදුරක්‌ වියා අමතර ආදායමක්‌ ලැබුවාය. දියණියන් දෙදෙනා සහ වැඩිමහල් පුතා පාසල් ගොස්‌ පැමිණ තම මවට වත්තේ වැඩට උදව් විය. දරුවන් සතර දෙනකු ජීවත් කරවීමට වින්ද දුක්‌ ගැහැට ඇය මා හා පැවසුවාය.

ප්‍රේමදාස නම් වූ ඇගේ බාල පුතා මිසිලින්ගේ වැඩිමහල් දරුවන්ට වඩා වෙනස්‌ම ගතිගුණ ඇත්තෙකි.

ඔහු ගමේ කොලු රෑනට එක්‌වී කරන ජඩ වැඩ පිළිබඳව ගම්වාසීන් බොහෝ විට චෝදනා නගයි. මේ පිළිබඳව වැඩිමහල් දරුවන් කීප වරක්‌ තම මව සමග කතා කළේය.

“අම්මේ, මල්ලි නිසා අපට පාරේ බැහැලා යන්ඩ නැහැ. අපිටත් දොස්‌ අහන්ඩ සිද්ධ වෙලා.”

“අනේ ඒකා තවම පොඩි එකානේ. පස්‌සේ ඕවා හරියයි.”

“එහෙම කියලා හරියන්නේ නැහැ. ඌ රස්‌තියාදු වෙලා ගෙදර එන්නේ බඩගිනි වුණාම, හෙට ඉඳලා කන්ඩ තියන්න එපා.”

“අනේ දෙයියනේ අම්මා කෙනකුට එහෙම කරන්න පුළුවන්ද? තව ටිකක්‌ ලොකු වෙනකොට ඔය දඩබ්බරකම් නැතිවෙයි.”

“නැතිවෙයි, නැතිවෙයි, එතකන් අම්මා බලාගෙන ඉන්ඩකෝ. මේකා හින්දා කවදාහරි අපිට පාරේ බැහැලා යන්ඩ බැරි වෙනවා.

ලොකු පුතා කියපු දේවල්වල ඇත්ත දැනුයි මට තේරෙන්නේ. ප්‍රේමදාස පවුලේ බාලයා නිසා මිසිලින් නෝනා ඔහුට තරවටු කරන්නේ නැත.

කාලයත් සමගම දියණියන් දෙදෙනාත්, වැඩිමහල් පුතාත් විවාහ වූ පසු ඔවුන් පවුලෙන්a වෙන්ව වෙනමම ජීවත් විය. මිසිලින් නෝනා බාල පුතා සමග මහ ගෙදර ජීවත් විය.

මේ අතර තරමක අමාරුකාරයෙක්‌ වූ ප්‍රේමදාස කඩ මණ්‌ඩියේ රස්‌තියාදුකාරයන් අතර ප්‍රබලම සාමාජිකයා විය. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ කසිප්පු ජාවාරමයි.

මේ වන විට ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය විවාහක සොයුරු, සොහොයුරියන්ට මහම හිසරදයක්‌ විය.

මේ පිළිබඳව ඔවුන් නැවත නැවතත් තම මවට දොස්‌ නගන්නට වූහ. දරු සෙනෙහස උතුරාගිය හදවතක්‌ ඇති මවක්‌ වූ මිසිලින් නෝනා තම බාල පුතා නිසා සිදුවන සියලුම කරදර උපේක්‍ෂා සහගතව ඉවසා සිටියාය.

මේ අතර ගම්වැසියන්ගේ චෝදනා, දොස්‌ පරොස්‌ කණ වැකෙන මිසිලින් නෝනාගේ දියණියන් පැමිණ ඇයව තම නිවෙස්‌ වෙත කැඳවාගෙන ගියත් දින දෙකකට වඩා ඔවුන් හා නතර වීමට ඇය මැලිවූවාය. ඒ තම බාල පුතා තනි කිරීමට ඇති අකමැත්ත නිසාය.

නැතිබැරිකම් හමුවේ වුවත් තරමක හොඳ අධ්‍යාපනයක්‌ ලැබූ, වැදගත් ලෙස ජීවත්වන මිසිලින් නෝනාගේ විවාහ වී සිටි දරු තිදෙනා තම මවට හොඳින් සැලකීමට අමතක නොකළහ.

මේ අතර චණ්‌ඩි රැළේ සාමාජිකයකු කසිප්පු පෙරා පොලිසියට කොටු විය. ඔහුගේ කඩවසම් බිරිඳගේ බාරකාරත්වය ඉතාමත් කැමැත්තෙන් ප්‍රේමදාස බාර ගත්තේය. ඇයව තම නිවසට කැන්දාගෙන පැමිණ ඔහු පවුල් දිවිය ආරම්භ කළේය.

මේ ගැන දැනගත් සොයුරු, සොහොයුරියන් පැමිණ ඔවුන්ව වහාම තම නිවසින් පිටකරන ලෙස තම මවගෙන් ඉල්ලා සිsටියත් මිසිලින් නෝනා ඊට එකඟ නොවූවාය. එදායින් පසු එම දරුවෝ මවගේ නිවසට යැම ඒම අත්හැරියා පමණක්‌ නොව මව පැමිණි විට මැසිවිලි කිsයන්නට විය.

“මීට පස්‌සේ අපි ඔය ගෙදර පස්‌ පාගන්නේ නැහැ. අම්මා මෙහේ එන්න. ඔය බාලයා කරන වැඩවලින් අපිට ලැඡ්ජයි.”

“අනේ දරුවනේ උඹලව බලන්නේ නැතිව මම කොහොමද ඉන්නේ?”

“ඉතින් එහෙම නම් අම්මා එන්න අපිත් එක්‌ක නවතින්න. එතකොට ඉවරයිනේ.”

“මේ කොලුවව දාලා මම කොහොමද එන්නේ?”

“ඌව බලාගන්න ඔය ගෑනියෙක්‌ ඉන්නේ”

එදායින් පසු මිසිලින් නෝනා වරින් වර තම දරු තිදෙනාගේ නිවෙස්‌ වෙත ගොස්‌ ඔවුන්ගේ දරුමල්ලන් සමග ගත කරයි. ඔවුන්ද ඇයට ඉතාමත් ලෙන්ගතුව සලකයි. කෙසේ වෙතත් මිසිලින් නෝනාට තම බාල පුතු වන ප්‍රේමදාස නොදැක සිටීමට අපහසුය. වහාම ඇය තම නිවසට පැමිණෙයි.

කාලය ගතවෙද්දී ප්‍රේමදාසගේ අත මිට හිඟ වෙද්දී ඔහු මුදල් ඉපයීමට පහසු රැකියාවක්‌ සොයා ගත්තේය. ඒ රාත්‍රි කාලයේ නිවෙස්‌වලට රිංගා සොරකම් කිරීමය. එයද වැඩිකල් කිරීමට නොලැබුණි. පොලිස්‌ ඇස ඔහු වෙත යොමු විය.

ප්‍රේමදාසව පොලිසියෙන් සොයන බව ආරංචි වූ ඔහුගේ අනියම් බිරිය, ගමෙන් පලා ගියාය. සොරකම් කීපයක්‌ වෙනුවෙන් පොලිසියට අවශ්‍යව සිටි ප්‍රේමදාසව අල්ලා ගැනීමට නම් ඉතිරිව තිබුණේ තවත් එක්‌ තුරුම්පුවක්‌ පමණකි. ඒ සඳහා මිසිලින් නෝනාව පොලිසිය වෙත ගෙනයන ලදී. ප්‍රේමදාස පිළිබඳව ඇගෙන් ප්‍රශ්න කළ අතර ඔහු රාත්‍රි කාලවල නිවසට පැමිණ කෑම කා යන බව ඇගෙන් හෙළිවිය.

එසේම දින දෙකක්‌ ඇතුළත තම බාල පුතාව පොලිසියට ඉදිරිපත් කරන බවට පොරොන්දු වී ඇය පොලිස්‌ පොතේ අත්සන් තැබුවාය.

පොලිසිය මගින් ඔහුව සෙව්වත් එම උත්සහායන්ද අසාර්ථක විය. ගම්වාසීන්ගෙන් තව තවත් පැමිණිලි එන්නට විය.

මිසිලින් නෝනා තම පොඩි පුතා වෙනුවෙන් ඇපයට අත්සන් තැබූ නිසා පොලිසිය මගින් ඇයව උසාවියට ඉදිරිපත් කරන ලදුව උසාවියෙන් ඇයව රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලදී.

පොඩි පුතා යෑයි කියමින් ඔහුගේ වරද දුටු තැන එහි ආදීනව පෙන්වා දී දඬුවම් නොකිරීම හේතුවෙන් ඔහු සමාජ පිළිලයක්‌ විය. සමාජයේ අපකීර්තියට පත් ඔහු නිසා තම මවට බන්ධනාගාරගත වීමට සිදුවිය. කොයි මොහොතක හෝ ඇගේ වැඩිමහල් දරුවන් පැමිණ ඇපදී තමන්ව බේරා ගැනීමට එනතුරු මිසිලින් නෝනා ඇස්‌ යොමා මග බලා සිටී.

සත්‍ය කතාවකි. මෙහි සියලුම නම් ගම් මනඃකල්පිතයි

පසු විපරම

තම දරුවන් හරි මග නොයෑවීම හේතුවෙන් අවසානයේ දුක්‌ විඳීමට සිදුවන්නේ හැදූ වැඩූ දෙමාපියන්ටමය. කුඩා කල සිටම ඔවුන්ගෙන් සිදුවන වැරදි අඩුපාඩු පෙන්වා දී ඔවුන්ව හරි මගට ගත යුතුය. දරුවා වරදක්‌ කළ විට ඔවුන් සුදනන් නොකළ යුතුය. දරුවන් අතින් සිදුවන වැරදි යටපත් කිරීමෙන් අනාගතයේදී දුක්‌ගිනි ඉසිලීමට සිදුවන්නේද දෙමාපියන්ටමය.

“අතීතයේ සියලුම සිදුවීම් අනාගතය හා එක්‌ වේ.” මෙය සෑම දෙමාපියෙක්‌ම සිහිතබා ගත යුතුය.

මාලා වජිරා පෙරේරා