මැතිනියගෙ කිරි වීදුරුව කැටි ගැසුණු නිසා පාර්ලිමේන්තු කෝකියාට සිදුවුණ දේ

බන්ධුල අබේසේකර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු භෝජනාගාරයේ හිටපු ආහාර කළමනාකාරවයෙකි. 1970 වර්ෂයේදී සාමාන්‍ය සේවකයකු ලෙස පාර්ලිමේන්තු භෝජනාගාර සේවයට පැමිණි අබේසේකර මහතා එතෙක්‌ මෙතෙක්‌ කාලය පුරාවට රාජ්‍ය නායකයන් බොහෝ දෙනකුට මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමැතිවරුන් දහසකට වැඩි සංඛ්‍යාවකට රස අහරෙන් බඩ කට පිර වූ රසවතෙකි. දැන් ඔහු පාර්ලිමේන්තු භෝජනාගාර සේවයට සමු දී ඇත්තේය. එහෙත් ඔහුගේ වසර හතළිස්‌ දෙකක වෘත්තීය මතක හරිම රසවත්ය. මේ අබේසේකර මහතා ඔහුගේ රසබර මතකය අවදි කරනා ලිපි

අරුචිය රුචිය කර පාර්ලිමේන්තුවට රස බෙදූ අබේසේකරට මල් පොකුරු මෙන්ම ගල් මුගුරු ද එක ලෙස ලැබිණි. එහෙත් ඔහු නොසැලී ඕනෑම අභියෝගයට මුහුණ දුන්නේය. එහෙයින් එදා ඔහු දෙසට එල්ල වූ ගල් මුගුරු අද හරිම රසවත්ය. අබේසේකර මහතා සිරිමා මැතිනිsය හා සම්බන්ධ මතකය වචන කරන්න මුල පුරන්නේද එවැනි රසවත් සිද්ධියක්‌ මුල් කරගෙනය.

මේ සද්ධිය වෙනකොට සිරිමා මැතිනිය රටේ නායිකාව. පාර්ලිමේන්තු දවසක හවස තේවලට මැතිනිය භෝජනාගාරයට ආවා. එතුමිය යන්තමට හරි රුචියක්‌ දැක්‌වුවේ කිරි තේවලට විතරයි. එහෙම නැතිව මැතිනිය කෑමවලට නම් රුචියක්‌ ඇත්තේම නැහැ. පාර්ලිමේන්තුව හවස රැස්‌වෙන දවස්‌වලට අනිවාර්යයෙන්ම එතුමිය ගෙදරින් කෑම අරගෙන එනවා. කොමිටි රැස්‌වීම් තියෙන සමහර දවස්‌වලට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කෑම ගන්නවා.

ඒ ගත්තත් ගන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉඳගෙනයි. ජීවත් වෙන්න කෑවා මිසක්‌ කෑම ගැන නම් උනන්දුවක්‌ තිබුණේම නැහැ. ඉතිං එදා හවස මැතිනිය භෝජනාගාරයට ඇවිත් තේවලට මේසෙට වාඩි වුණා විතරයි මම එතුමිය ළඟට ගියා. ‘අබේ ටී එකක්‌ බොමුද…’ මැතිනිය එහෙම අහනකොටම මම දුවලා ගිහින් කිරි තේ ඕඩර් කරලා කේක්‌ බන්දේසියක්‌ මේසෙට තිබ්බා. මැතිනිය භෝජනාගාරයට ආවොත් එතුමිය තනි මේසෙක වාඩි ගන්නේ නැහැ. තවත් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු දෙතුන් දෙනෙක්‌ එක්‌ක තමයි අසුන් ගන්නේ. අනිත් ඒක එතුමියට කියලා වෙන මේස නැහැ. අහුවුණු ඕනෑම මේසෙක වාඩි වෙනවා.

ඉතිං එදා මැතිනිය කේක්‌ කෑල්ලක්‌ අරගෙන චුට්‌ටක්‌ කාලා නැවත බන්දේසියෙන් තියෙනකොටම මම තේ පෝච්චියයි, කිරි පෝච්චියයි, සිනී භාජනයයි වීදුරුත් සමග තවත් බන්දේසියක්‌ මේසෙ උඩින් තිබ්බා. මැතිනිය පුරුද්දක්‌ විදිහට මුලින්ම වීදුරුවට දාගන්නේ කිරි තේ. එදත් මැතිනිය කිරි ටිකක්‌ වීදුරුවට දාගත්ත. ඒ එක්‌කම එතුමිය වීදුරුව දිහා අමුතු විදිහට බලාගෙන ඉඳල මගේ මූණ දිහා බැලුවා. ඒත් කතා නැහැ. මම එතුමිය ළඟට ගියා.

‘අබේ කිරි කැටි ගැහිලානේ…’ බොහෝම සැහැල්ලුවෙන් එතුමිය එහෙම කිව්වා. ඒ අවස්‌ථාවේ මැතිනියත් එක්‌ක තේ පානය කරමින් හිටිය අනිත් අය ඒ කතාව එක්‌ක තරමක්‌ විමතියට පත් වුණා. මැතිනියගේ ආරක්‍ෂක නිලධාරිනුත් වට වුණා. සිද්ධිය බරපතලයි කියලා මට තේරුණා. කවුරුහරි කිරි එකට මොනවහරි කලවම් කරලා නම් වගකියන්න ඕනා අපි. වෙන දෙයක්‌ වෙන්නෙ මට කියලා හිතලා මම කිරි වීදුරුව අතට ගෙන ගුඩු… ගුඩු…

ගලා එක හුස්‌මටම බීගෙන ගියා… ‘හා… හා… ළමයෝ ඔය මොකද කරන්නේ. ඕක තියන්න… තියන්න’ මැතිනිය කෑගහුවා. ඒත් මම වීදුරු තිබ්බේ හිස්‌ කරලමයි. හැමෝම පුදුම වෙලා බලාගෙන හිටියා. ඒත් මට මොකුත් වුණේ නැහැ. අන්තිමේ මැතිනියගේ ආරක්‍ෂක නිලධාරීන් කිරි කැටි ගැහුණේ මොකද කියලා හොයා බැලුවා. බැලින්නම් වෙන කෙනෙක්‌ ලයිම් ජූස්‌ බීලා තියපු වීදුරුවක්‌ තමයි මැතිනියගේ මේසෙ උඩට ඇවිත් තියෙන්නේ. අවාසනාවට ඒ වීදුරුවම මැතිනිය තේ බොන්න ගත්තා.

‘මැතිනියගේ කිරි එක කැටි වෙලා’ භෝජනාගාරයේ ඇති වුණු උණුසුම ටික වේලාවක්‌ යනකොට මුළු පාර්ලිමේන්තුව පුරා පැතිරිලා ගියා. ඒ වේලාවේ මැතිනියත් එක්‌ක තේ පානය කරමින් හිටිය වාසුදේව නානායක්‌කාර මහත්තයයි, රත්න දේශප්‍රිය මහත්තයයි මැතිනියයි තුන් දෙනාම එක හෙලා කිව්වා ‘මේ ළමයි අපිට අහිතක්‌ කරන්නේ නැහැ.

ඒ ප්‍රශ්නය දැන් ඉවරයි’ කියලා ආරක්‍ෂක නිලධාරීන්ව එතැනින් ඈත් කළා. පරීක්‍ෂණ මොනවත් නැහැ. සිද්ධිය ඉවරයි. ඒත් එදා භෝජනාගාර කාර්ය මණ්‌ඩලය නම් පුදුම විදිහට බය වෙලා හිටියේ. කවුරුහරි කිරිවලට මොනවහරි කලවම් කරල තිබුණා නම් එදා මම ඉවරයි. ඒ වගේම මුළු භෝජනාගාර කාර්ය මණ්‌ඩලයටම වගකියන්නත් වෙනවා.

ඒ කාලේ මැතිනියගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා විදිහට හිටියේ අනුරුද්ධ රත්වත්තේ මහත්තයා. ඊට පහළින් හිටියේ කිරිදෙන මහත්තයා. පොලිසියේ ප්‍රධානියා විදිහට කටයුතු කළේ ගනේගල මහත්තයා. එදා මම ඒ මොහොතේම කිරි ඒක බීලා පෙන්නපු ඒක ගැන අනුරුද්ධ රත්වත්තේ මහත්තයා මට බොහෝම ප්‍රශංසා කළා.

මේකත් ඒ වගේම සිද්ධියක්‌. සුළු පක්‍ෂවලින් තේරී පත් වෙලා ආපු ආචාර්ය ඇන්. ඇම් පෙරේරා, කොල්වින්, රෙජිනෝල්ඩ් ද සිල්වා, ලෙස්‌ලි ගුණවර්ධන, එස්‌. ඒ. වික්‍රමසිංහ යන මහත්වරුත් මැතිනියගේ සමගි පෙරමුණු රජයේ ඇමැතිවරු විදිහට පත් වෙලා හිටියා. වැඩි කාලයක්‌ ගියේ නැහැ. හිටි හැටියේ ඒ අයව ඇමැතිකම්වලින් ඉවත් කළා. ඒ වෙනුවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ව ඒ ඇමැතිකම්වලට පත් කළා. ඒ සිද්ධියත් එක්‌ක එදා පාර්ලිමේන්තුව තරමක්‌ උණුසුම් වුණා.

ඔය අතරේ මමත් මගේ සහෝදර සේවකයකුත් කොමිටි රැස්‌වීම පැවැත්වෙන කාමරයට සිසිල් පැන් අරගෙන ගියා. ඒ යනකොට කෙනෙක්‌ ඇවිත් මැතිනිය එන පාරේ මල් වඩමක්‌ තියලා ගියා. ඒක දැකපු මගේ සහෝදර සේවකයා බය වෙලා වෙව්ලා අතේ තිබුණු බීම බන්දේසියත් බිමට වැටුණා. ‘කවුද මේක කළේ…’ මැතිනියගේ ආරක්‍ෂක නිලධාරීන් හැමෝගෙන්ම ප්‍රශ්න කරන්න ගත්තා. මුළු පාර්ලිමේන්තුවම එකම ගාලගෝට්‌ටියයි. අපෙනුත් ප්‍රශ්න කළා. ඒත් අපි සිද්ධිය දැක්‌ක බවක්‌ කිව්වේ නැහැ. තෝරු මොරුන්ගේ ප්‍රශ්න අතරට හාල්මැස්‌සන් රිංගලා වැඩක්‌ නැති නිසා අපි කිසිම දෙයක්‌ නොදැක්‌ක ගානට හිටියා. අදටත් අපි එකතු වුණහම ඒ සිද්ධිය මතක්‌ කරලා හිනා වෙනවා.

සිරිමා රත්වත්තේ ඩයස්‌ බණ්‌ඩාරනායක මැතිනිය කියන්නේ පුදුමාකාර යහපත් ගති පැවතුම් තිබුණු කාන්තාවක්‌. දරුවන්ට දයාබර මවක්‌ වගේම රටට එඩිතර නායිකාවක්‌. ලෝක නායිකාවක්‌. ඒ සෑම දේකටම වඩා අරපිරිමැස්‌ම කියන දේ බොහෝම ඉහළින් තිබුණු නායිකාවක්‌. එතුමියගේ අරපිරිමැස්‌ම මැති ඇමැතිවරුන්ට වගේ අපටත් ආදර්ශයක්‌ වුණා. මේ කතාව ඒකට කදිම උදාහරණය.

මැති ඇමැතිවරුන්ගේ නෑ හිතවතුන් ඔවුන්ව හමුවන්න පාර්ලිමේන්තුවට පැමිණි විට බොහෝ අවස්‌ථාවල අදාළ මැති ඇමැතිවරු ඒ ඒ ආගන්තුකයන්ව භෝජනාගාරයට ගෙනත් සංග්‍රහ කරනවා. මැතිනියත් එහෙම ආගන්තුක සත්කාර කළ හැම වේලාවකම ඒ සඳහා වැය වූ කෑම බිල අත්සන් කරන්න කලින් අකුරෙන් අකුරටම හොඳින් සෝදිසි කරල බලනවා. එහෙම කරන්නේ මුදලට තියෙන කෑදරකමට නෙමෙයි. වැඩේ නිවැරැදිව, පිළිවෙළට, සාධාරණව වෙනවද කියලා බලන්නයි. එතුමිය ඒ දුන්නු ආදර්ශය නිසා අපිත් ඉබේටම පිළිවෙළට වැඩ කරන්න පුරුදු වුණා. භෝජනාගාරයේ කිසිම සේවකයෙක්‌ තේ තුනක්‌ පිළිගන්වලා පහකට බිල දැම්මෙත් නැහැ. දෙකකට බිල දැම්මෙත් නැහැ. තේ තුනම තමයි. ඕනෑම කෙනෙක්‌ගෙන් අපට ගන්න දෙයක්‌ තියෙනවා. ඒත් මැතිනියගේ ජීවිතේ ඇත්තටම පාඩමක්‌.

මැතිනියගේ රාජකාරියට තවත් අයට ඇඟිල්ලක්‌ ගහන්න පුළුවන් විදිහට හිස්‌ තැන් තිබ්බේ නැහැ. තම රාජකාරිය බොහෝම පිළිවෙළට වගකීමෙන් ඉටු කරපු නායිකාවක්‌. එතුමියගේ ඒ ප්‍රතිපත්ති නිසාම ඇතැම් මැති ඇමැතිවරු සමගත් පුංචි පුංචි ගැටුම්කාරී වචන හුවමාරු කරගත්ත අවස්‌ථාත් තියෙනවා. එතුමියගේ කාර්යාලයට මම කෑම අරගෙන යන සමහර අවස්‌ථාවලදී මැති ඇමැතිවරුන්ට අවවාද කරනවා මට ඇහෙනවා. ඒ වගේ වේලාවට එතුමන්ලාගේ ගෞරවයට හානියක්‌ වෙන නිසා මම නොඇසුණා වගේ එහාට මෙහාට වෙච්ච වාර අනන්තයි. අපි තේරුම් ගන්න ඕනා ඒ වගේ අවස්‌ථාවලදී අපි මොනවද කරන්න ඕනා කියලා. කියන්න දෙයක්‌ නැහැ… අබේසේකර ඒ වගේ අවස්‌ථාවලදී වාෂ්ප වෙලා යනවා කියලා මැතිනියත් දන්නවා.

සිරිමා මැතිනිය දැන හඳුන ගත් කාලේ ඉඳල මට බොහෝම හිතවත්. මම තමයි එතුමියගේ නිත්‍ය භෝජනාගාර සේවකයා විදිහට හිටියේ. එතකොට මම අවුරුදු දහඅටේ යෞවනයා. එතුමිය පාර්ලිමේන්තු භෝජනාගාරයට පැමිණි වේලාවට මම පේන්න නොහිටියොත් අවට විපරම් කරලා… ඒත් මම නැත්නම් භෝජනාගාර සේවකයකුට කතා කරලා ‘අද මොකද අබේ පේන්න නැත්තේ… නිවාඩු ගිහිල්ලවත්ද…’ කියලා අහන අවස්‌ථා මේ කන් දෙකට ඕනෑ තරම් ඇහිලා තියෙනවා. එහෙම හොයලා මම නැත්නම් බෝහෝ වේලාවට එතුමිය කෑම නොගෙන භෝජනාගාරයෙන් පිටවෙලා ගිය අවස්‌ථාත් තියෙනවා. මේ මම ගැන පම්පෝරි ගහනවා නෙමෙයි, කවුරු වුණත් කෑම ගන්න යම් තැනකට හුරු වෙලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම යන්නේ එතැනට. ඒ වගේ ඒ කෙනාට සත්කාර කරන්න කවුරු හෝ පුරුදු පුහුණු වෙලා ඉන්නවා නම් ඒක නොලැබෙන කොට කෑම රුචියත් නැති වෙලා යනවා.

කෙනෙකුගේ කෑම රුචි ඇති කරන්න නම් සත්කාර කරන කෙනා ඒ වැඩේ හදවතින් කරන්න ඕනා. නැතුව එපා වාහෙට හොදි බෙදන්නා වළේ සංග්‍රහ කළොත් බඩගිනි තිබුණත් කෑම පිරියක්‌ නැති වෙලා යනවා…

තරංග රත්නවීර

මේ වගේ වටිනා ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණමයි