ලෝක යුද්ද කාලයේ අපේ අය බෝම්බවලින් ගැලවුණු හැටි!

කටේ කෝටු කෑල්ලක්‌ද, කන් දෙකේ පුලුන් ගුලිද ගසා ගෙන ආරක්‍ෂක අගල්වලට පැන හෝ ආරක්‍ෂක ස්‌ථානවලට ගොස්‌ හෝ කිසිම සද්දබද්දයක්‌ නැතිව ඒවායේ සැඟව සිටින්න ලංකාවේ මිනිසුන්ට සිදුව තිබුණු කාලයක්‌ ගැන කීවොත් බිරාන්තව, තක්‌කුබුක්‌කුව, ඔබේ දෑස්‌ උඩ ඉන්දවනු නොඅනුමානය.

සැබවින්ම අපි එවැනි වකවානුවක්‌ පසු කළේ මීට වසර 70 කට පෙරය! දෙවන ලෝක මහා සංග්‍රාම සමය, ඒ වකවානුවය. මීට වසර 30 ක කාලයක්‌ තිස්‌සේ ම්ලේච්ඡ කොටි ත්‍රස්‌තයන් ප්‍රහාර එල්ල කරද්දී පැවැති භීෂණකාරී තත්ත්වයට වඩා ලෝක යුද්ධ කාලයේදී පැවැති තත්ත්වය දරුණු විය.

ගුවනින් අවුත් අගනුවර වන කොළඹ නගරයට පවා බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද්දේ, එම කාලවකවානුවේදීය. මීට වසර 70 කට පෙර 1942 අප්‍රේල් 5 වැනි පාස්‌කු ඉරිදා සතුරු ගුවන් යානා කොළඹට බෝම්බ හෙලූ අතර ඒ සිද්ධිය මතක අය තවමත් අප අතර සිටිති.

කොළඹ නගරය සතුරු ගුවන් යානා බෝම්බ වර්ෂාවකට ගොදුරු වූයේ එදින උදේ 7.00 ට පමණය. අගනුවර ඇතුළු ලංකාවටම සතුරු ගුවන් යානා මගින් බෝම්බ හෙළන්න ඉඩක්‌ ඇති බවට කල් තබාම දැනුම් දීමක්‌ කර තිබුණු හෙයින්ද, එවැනි අවස්‌ථාවකදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි ජනතාවට කල් තබාම කියාදී තිබුණු හෙයින් ද, දැඩි සෝදිසි මාදිසියකින් යුතුව සිට ජනතාවද ඊට මුහුණ දුන්හ.

එදා උදේ 7.00 පමණ වන විට, උන්හිටි හැටියේම කොළඹ නගරය ඉහළින් කුරුලු රෑනක්‌ පියඹාගෙන යනු දැකගත හැකිවූ අතර, ඒ හා සමගම ඇහුණේ zzදඩෝං පටෝං, දඩෝං පටෝං, දඩෝං පටෝංZZ යන හඬ නංවමින් කන් බීරි කරවන ශබ්දයකි. ශබ්දයත් සමගම නගරයද කළු දුම් වළාවකින් වැසී ගියේය.··

එදින කොයි මොහොතක හෝ ගුවන් ප්‍රහාරයක්‌ එල්ල වන්නට ඉඩක්‌ ඇතැයි අනතුරු ඇඟවීමක්‌ කර තිබුණු හෙයින් නගරයේ ජනතාවද ඒ වන විට සිටියේ ඊට ලක ලෑස්‌තිවය. ගුවන් ප්‍රහාරය එල්ල කෙරුණේ, අනතුරු ඇඟවීමේ නලා ශබ්ද කොට එතරම් වේලාවක්‌ ගත වන්නට කලිනි.

කන් දෙකේ පුලුන් ගුලි ගසා ගෙන කෝටු කෑල්ල බැගින් කටේ රඳවාගෙන ආරක්‍ෂක අගලකට පැන හෝ ආරක්‍ෂක ස්‌ථානයකට ගොස්‌ හෝ සැඟව තක්‌බීර්ව සිටීම හැර නාගරිකයන්ට කරන්න වෙන කිසිවක්‌ ඒ වෙලාවේ තිබුණේ නැත. කන් දෙකේ පුලුන් ගුලි ගසා ගෙන සිටින්නැයි කල් තබාම ජනතාවට දන්වා තිබුණේ බෝම්බ පිපිරීමෙන් මතුවන භයානක ශබ්දයෙන් කන් ආරක්‍ෂා ගැනීම සඳහාය. කටේ කෝටු කෑල්ලක්‌ රඳවා තබා ගන්නැයි උපදෙස්‌ දී තිබුණේ ක්‌ලාන්ත වී දතකට පූට්‌ටුවීම වැන්නකින් මිදීම සඳහාය.

සතුරු ගුවන්යානාවලින් කොළඹට බෝම්බ හෙලූ අවස්‌ථාව, අපේ තාත්තාට හොඳට මතක තිබුණේය. ඒ අවස්‌ථාවේ තාත්තා සේවය කළේ කොළඹ ස්‌ථානයකය.

ජර්මනිය, ඉතාලිය, ජපානය බ්‍රිතාන්‍ය, සෝවියට්‌ රුසියාව, ඇමරිකාව හා ප්‍රංශයද සංග්‍රාමයට කෙළින්ම සම්බන්ධ වූ ප්‍රධාන රටවල්ය. ඉන්දියාව, නවසීලන්තය, අප්‍රිකාව ඔස්‌ටේ්‍රලියාව යනාදී රටවල් සටනට සම්බන්ධ වූ සෙසු රටවල්ය. දෙවන ලෝක මහා සංග්‍රාම සමයේ ලංකාවද යුද කටයුතු පිළිබඳ මධ්‍යස්‌ථානයක්‌ බවට පත්ව තිබිණි. පසු කලෙක රජයට පවරාගත් කටුනායක බ්‍රිතාන්‍ය කඳවුර ඊට හොඳම සාක්‍ෂියකි.

රටවල් කීපයක හමුදා භටයන් එවක අප රටටද පැමිණ සිටි අතර මිනීකන කාපිරි සෙබළුන්ද ඔවුන් අතර සිටියහ. කාපිරි සෙබළුන් කාමුකයන් වූ බවත් ඔවුන් දකින විට අම්මලා සිය දූවරුන් ගෙවල කුස්‌සිය පැත්තට හනික යවන බවත්, අපේ ලොකු අම්මා කෙනෙක්‌ දිනක්‌ මට කීවාය. එක්‌ දිනක කාපිරි සෙබළෙක්‌ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ගෙදරකට කඩා වැදී දිවා ආහාරය ගනිමින් සිටි කෙනකුට වෙඩි තැබූ බවට කතාවක්‌ද මා අසා ඇත.

ලංකාවද යුද අවදානමකට ගොදුරු වන වග වටහා ගෙන රටේ ජනතාව ආරක්‍ෂා කර ගැනීම සඳහා මහජන ආරක්‍ෂක කොමසාරිස්‌වරයකුද පත්කර සිටි අතර මහජන ආරක්‍ෂක කොමසාරිස්‌ වශයෙන් කටයුතු කළේ පසු කලෙක අග්‍රාණ්‌ඩුකාර ධුරයට පත් ඔලිවර් ගුණතිලක මහතාය.

කලින් සඳහන් කෙරුණු ආරක්‍ෂක අගල්, මහජන ආරක්‍ෂාව සඳහා ගෙවල් දොරවල් සමීපයේත් පාරවල් අයිනේ තැනින් තැනත් කපන ලද අගල්ය. මීට අමතරව, ආරක්‍ෂක ස්‌ථානද යම් යම් තැන්වල පිහිටුවා තිබුණේය. ගුවනින් බෝම්බ හෙළන බවට අනතුරු ඇඟවීමක්‌ කෙරුණු වහාම කන්වල පුලුන් ගුලි ගසා ගෙන කටේ කෝටු කෑල්ලක්‌ රඳවා ගෙන එම ආරක්‍ෂක අගල්වලට පැන හෝ ආරක්‍ෂක ස්‌ථානවලට ගොස්‌ හෝ ජීවිත ගලවා ගන්නා ලෙසට මහජනතාවට දැනුම්දීමක්‌ කරදී තිබිණි.

කොළඹට එදා ගුවන් ප්‍රහාර එල්ල කෙරුණු අවස්‌ථාවේ ඒ පිළිබඳව අනතුරු ඇඟවීම් කළ වහාම නාගරිකයෝද, තමන්ට උපදෙස්‌ දී තිබුණු ආකාරයට ක්‍රියා කොට ජීවිත ගලවා ගත්හ. දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වූයේ 1939 දීය. 1945 දක්‌වාම එක දිගට සය වසරක්‌ ගෙවෙන තෙක්‌ පැවැති එම යුද්ධයෙන් සමස්‌ත ලෝකයට සිදුවූ වින්නැහිය කිව නොහැකි තරම්ය.

ගුවන් විදුලි මධ්‍යස්‌ථානය කිට්‌ටුවෙන් පිහිටි තුරඟ තරග පිටි පවා, එවක තාවකාලික ගුවන් තොටුපළක්‌ වශයෙන් යොදා ගන්නා ලද්දේ ලංකාවද යුද කටයුතු පිළිබඳ මධ්‍යස්‌ථානයක්‌ව පැවැති නිසාය. ගුවන් තොටුපළක්‌ පිහිටි ස්‌ථානයක්‌ අසල ගුවන් විදුලි සේවය පවත්වාගෙන යැම අවදානම් සහගත යෑයි කොයිකාටත් ඉබේටම පෙනී ගිය නිසා ගුවන් විදුලි මධ්‍යස්‌ථානය බොරැල්ලේ කෝට්‌ටේ පාරේ ස්‌ථානයක පසුව ස්‌ථාපිත කෙරිණි.

සතුරු ගුවන් යානාවලින් කොළඹට බෝම්බ හෙළන ලද්දේ, ගුවන් විදුලි ප්‍රචාරක ස්‌ථානය එතැනට ගෙන යන්න කලින් දිනකය. ගුවන් ප්‍රහාරයක්‌ එල්ල විය හැකි බවට එදා උදෑසන අනතුරු ඇඟවීම් කර තිබුණු හෙයින් ප්‍රචාරයන් අත්හිටුවා නිහැඬියාවකින් සිටීම හැර ගුවන් විදුලියට කරන්න වෙන දෙයක්‌ තිබුණේ නැත. ප්‍රහාරයන් එල්ල කෙරුණේද ඒ අතරතුරදීය.

දැන් මෙන් එවක පුවත්පත්ද නොතිබුණු නිසා යුද පුවත් දැනගැනීම සඳහා ශ්‍රාවකයන්ට තිබුණු ප්‍රධානතම මාර්ගය ගුවන්විදුලිය විය. යුද පුවත් ප්‍රචාරය කිරීමට ගුවන් විදුලි විශේෂ වැඩසටහනක්‌ද එවක ආරම්භ කොට තිබිණි.

මුල් කාලයේදී ගුවන් විදුලියේ තත්ත්වය එසේ වුවද හා හා පුරා කියා හිමාලය තරණය කළ එඩ්මන්ඩ් හිලරිට හා ටෙංසිංටද හිමාල කඳු මුදුනේදී ලංකා ගුවන් විදුලි සේවයේ ප්‍රචාරයන් ඇසුණු බව දැන ගන්නට ඇත.

දෙවන ලෝක යුද්ධයට වගකිවයුතු පුද්ගලයන් දෙදෙනාගෙන් කෙනකු වූ හිට්‌ලර් මුලදීම ජර්මනිය සුරලොවක්‌ බවට පත්කර තිබුණු නමුත්, බලකාමයෙන් යුද්ධයට පැටලීමෙන් පසුව එරට සුන්නත්දූලිව ගියේ බලා සිටියදීමය. යුද්ධයෙන් ජර්මනියට සිදුවූ බරපතළ විනාශය එරටට ගිය අවස්‌ථාවක දැකගත හැකි විය. බර්ලිනයේ එක්‌තරා ස්‌ථානයක පිහිටි ලෝහමය ප්‍රතිමාවක පපු පෙදෙස වෙඩි උණ්‌ඩයකින් සිදුරුව ගොස්‌ තිබුණු අයුරුද එහිදී දුටු අතර කවරාකාරයකින් යුද්ධය කෙරෙන්න ඇද්දැයි එයින්ම සිතාගත හැකිය.

විමල් වීරසේකර