ලක්‍ෂ 2500 ක් වටිනා දේපල දන්දී ඇඳිවත පමණක් ඉතිරි කරගත් ඇගේ කතාව

වියරු සිතිවිලි නිසාවෙන් රටක පැන නැගෙන හැම අපරාධයක්‌ම භයානකය. අදින් අවුරුදු හැට හැත්තෑවකට එපිට ඉතිහාසය තුළ අප රටෙහි එවැනි අපරාධයක්‌ සිදු වූයේ කලාතුරෙකින්ය. එහෙත් උදා වී ඇති අද දවස තුළදී ඇඟ ලොමු ඩැහැගන්වන තරමේ අපරාධ සිදු වන අප රට තරම් තවත් රටක්‌ නැතිව ඇතැයි අපට සිතේ.

මිනිස්‌ වන ගැබින් නැගී සිටි තොරතුරු පතක හැම පිටුවක්‌ අතරතුර මනසින් ගිලුණු විට එහි හැම පැත්තකින්ම එක දිගට පැතිර පෙනුණේ මේ අපරාධමය. එය සුමුදු සුදුමුදු වන් අප සිත් බිත මතුයෙහි මහ අඳුරු පැල්ලම් සේ නැගි නැගී අනවතරයෙන් හමන කුරිරු සුළඟ නම් දළ රළ පෙළක්‌ මෙන් මුළු සිතම පෑරීය. මෙම මහා අපරාධයනටම රට දැය තෝතැන්නක්‌ වී ළය මඩල නිවී සැනහී පහන් වන සිදුවීමකට තද ඉඩෝරයක්‌ ලබා තිබියදී අපට අසන්නට ලැබුණු මේ අසිරිමත් කතාවෙන් සිත පහන්විණි. ඇත්තෙන්ම එය ඒ දුක්‌ නමැති තද ඉඩෝරය නිමා කරමින් අපගේ වියළුණු සිත් බිමට හිටි අඩියේ ඇද හැළුණු සිහිල් වැහි දිය දහරක්‌ බඳු වීය.

සමාජය පුරාවෙහිම නිතීයක්‌ වශයෙන් මෙන් ඉතිරි පැතිරී ගොස්‌ ඇති හැම විපතකටමත් අපරාධයකටමත් මුල් වී තිබෙන්නේ අධිකතර ආශාවන්ය. එයින් උසිගන්වනු ලැබූ පිස්‌සු බල්ලන් වැනි මිනිස්‌ රුදු වග වළස්‌ රැල දිවා රෑ දෙකෙහි පමණක්‌ නොව සෑම දවසකම සෑම තත්පරයක්‌ පාසාම වෙහෙස වන්නේ රැස්‌ කිරීමටමය.

මිනිස්‌ ජීවිත වුවද මහ පොළොව මත වැටුණු මළකඳන් බවට පත් කර ඒ මතින් වුව එහිලා ගමන ආරම්භ කිරීම අද අපේ රටේ බොහෝ පිරිසකට එතරම් අපහසු දෙයක්‌ නොවේ. තණ්‌හාත්, අසීමිත ආශාත් නමැති දරුණු පිළිකා විසින් ඒ තරමටම මිනිස්‌ සිත් සතන් ඇවිලෙන ගිනි කඳු බවට පත් කර තිබේ. මෙවන් වියවුල් සහගත දරුණු වූත්, තියුණු වූත්, කටුක වූත් බියකරුම සමාජ පසු බිමක්‌ තුළ කොළඹ, කඩුවෙල බෝමිරියේදි අපට හමු වූ මේ සදානුස්‌මරණීය අම්මා ඒ ජරා ජීරණ සමාජය කණපිට පෙරළන්නට මේ පූර්වාදර්ශය සැපයුවේ කෙසේ දැයි අපට සිතිණි.

නමින්a ඉනි රොද්‍රිගෝ වූ ඇයගේ ශරීරය කාලයට තෙමී ජරාවාස වී කිළිටි වූ කඩමාල්ලක්‌ මෙන් වැහැරී ගොස්‌ තිබුණේය. උපන් හැම සතට කොතැනක කෙලෙස සිටියත් මේ සාංසාරික උරුමයෙන් අත් මිදී ජීවත් වෙන්නට නම් නොලැබේමය. මතු යම් දවසකදී යම්තාක්‌ දුරකට හෝ එයින් අත්පත් වන දුක්‌ ගිනි තුනී කර ගත හැක්‌කේ ජීවිතය තුළ දිගින් දිගටම ගොඩගැසෙන ආශාවන් ටිකක්‌ හෝ අත්හළහොත්ය. පසුගිය දවසෙක කඩුවෙල බෝමිරියේදී හමු වූ මේ අතිශයම දුර්ලභ වූ මහලු අම්මා එම සදාතනික ලෝ දහම සංසාර මහ මරුකතර මග එන අතරතුරු ගෙවා ආ අපමණක්‌ ජීවිත තුළදී හොඳින්ම වටහාගෙන සිටියා සේය.

නිර්ලෝභීත්වයත් එයින් ඇති වන පරිත්‍යාගශීලීත්වය හා දාන ෙච්තනාවත් පුරමින් සංසාරය තුළ දීර්ඝතම ගමනක්‌ ගිය එවැනිම අයකුට හැර මේ විශ්මිත මහා පරිත්‍යාගය වෙනත් අයකුට නම් ඒ අනුව කරන්නට නොහැකිය. මේ කියන්නට අර අඳින්නේ එකී ගුරු මාතාව කළ කවරනම් පරිත්‍යාගයක්‌ ගැන දැයි දැන් ඔබ සිත්හසර තුළ කුහුල දළුලා වැඩී තිබෙනු නොඅනුමානය. ඡේතවත අරම කර වූ අනාථ පිණ්‌ඩික මහා සිටාණන් මෙන්ම පුර්වාරාමය කර වූ විශාකාවන්ගේද දුරාතීතය සිහිකරවන මේ කතා පුවත ඒ අනුව මසුරු මළකඩින් සිත වැසී ගිය කවරකුටත් මහඟු ආදර්ශයකි.

ඉංග්‍රීසි භාෂාව කතාබස්‌ කිරීමට ඉංගිරිසිකාරයකුටත් වඩා හොඳින් දත් ඉන්ද්‍රානි ගුරු මාතාව ඒ අනුව අදින් එහා දුර අතීතයේ බොහෝ දවස්‌ ගත කළේ මෙරට නන් දෙස වූ පාසල් රාශියකය. සැබැවින්ම ඒ ඇය ගුරු වෘත්තිය නම් වූ අති උදාරතම සේවාවට උපතින්ම ලත් සහජ දස්‌ විශ්කම් හා උරුම හරුමකම් ද නිසාය. කුරුණෑගල මලියදේව විද්‍යාලය, මාලඹේ රාහුල මහා විද්‍යාලය මෙන්ම කොළඹ නාලන්දා විද්‍යාලය ඇය සේවය කරමින් දහසක්‌ දරු දැරියන්ගේ ගුණ ඇස මෙන්ම නැණ ඇස ද පෑදූ පාසල් අතරින් කිහිපයකි.

එවැනි මහ මිනිස්‌ මෙහෙවරක නියෑලී ජීවිතයේ අවසාන භාගයට බොහෝ සෙයින් ළං වී සිටින මෙම ගුරු මාතාව සතුව තිබුණේ සුවිශාලතම දේපළ සම්භාරයකි. එක දිගට පැතිර ගිය බෝම්රියේ පිහිටි සුවිශාල ඉඩම් අක්‌කර පහ ඒ අතර වූ ප්‍රධානතම දේපළක්‌ වීය. මෙවැනි ප්‍රදේශයන්හි පිහිටි ඉඩකඩම්වල සුළු කොටසක හෝ වටිනාකම මූල්‍යමය වශයෙන් දන්නෝ මැනවින් දනිති.

අපට දැනගන්නට ලැබුණු සැටියෙන් එම ඉඩම්වලින් එක්‌ පර්චසයක පමණක්‌ මිල රුපියල් ලක්‍ෂ තුනකට ඉහළ බව බොහෝ දෙනෙක්‌ම පැවසූහ. කෙසේ වුවත් මේ අන්දමින් ගණනය කළ පසු මේ මුළු ඉඩම් අක්‌කර සියල්ලෙහි සම්පූර්ණ අවම වටිනාකම රුපියල් මිලියන දෙසිය පනහක්‌ පමණවත් වන්නේය. එනම් රුපියල් ලක්‍ෂ දෙදහස්‌ පන්සියයක්‌ පමණය.

ඉසි කෝ මානව හා මසුරුකම් රැසින් සිත් ලොව අපිරිසිදු වී ගිය මිනිසුන් නිරන්තරයෙන් වසන තණ්‌හාබද ලෝකයක මේ මහලු ගුරු මව ඒ සියලු බිම් කොටස්‌ සතයක්‌වත් නොගෙන කිසිවකුට පරිත්‍යාග කළේ යෑයි කිවහොත් බොහෝ විට එය ඔබට ඇදහීමට පවා නොහැකි වූ සිදුවීමක්‌ වනු නිසැකය. එහෙත් සත්‍ය එයයි.

ඇය එයින් එක ඉඩම් අක්‌කරයක්‌ දන් දී තිබුණේ කාම්බෝජයේ සම්මා සම්බුද්ධ ශාසනයටය. තවදුරටත් පැහැදිළි කළහොත් එම බුදු සසුන තුළට වැදී බුදු දහම ලොව පුරා පතුරුවන්නට අසිරිමත් සදහම් මෙහෙවරක යෙදෙන කාම්බෝජ භික්‍ෂූන් වහන්සේලාට අවශ්‍ය අංගසම්පූර්ණ විහාර මන්දිරයක්‌ ගොඩනගනු වස්‌ ඈ ඒ ඉඩම් අක්‌කරය පිරිනමා තිබුණේය. ඉන්ද්‍රානි රොද්‍රිගෝ ගුරු මහත්මියගේ නිර්ලෝභී සිත එහිලා මෙහෙයවා තිබුණු කාරණාවද බෙහෙවින් සංවේදී වූවකි. එනම් කාම්බෝජය නම් වූ ඒ සත්සමුදුරෙන් එහා තැනෙක වූ රටෙහි භික්‍ෂූන් වහන්සේලා නිතර මෙරටට වැඩියේ බුදුදහම මැනවින් ප්‍රගුණ කරගැනීම සඳහා පමණක්‌ නොවේ.

ශ්‍රී ලංකාව වූ කලි පිරිසිදු ථෙරවාදී බුද්ධ වචනය පවතින ලොව එකම රට ද වූ නිසාය. එම යහ අරමුණෙන් යුතුව අපේ රටට පැමිණි උන්වහන්සේලාට දින කිහිපයක්‌ හෝ නැවතී ඉන්නට තැනක්‌ තිබුණේ නැත. නාගන්නට වතුර ටිකක්‌, වැළඳීමට දන් පිඩක්‌ හෝ වැසිකිළි කැසිකිළි පහසුකම් වුවද ලබාගැනීමෙහිලා උන්වහන්සේලාට එතරම්ම පහසු කටයුත්තක්‌ නොවීය. එහෙත් සිය දැහැමි අරමුණට අපල ගෙන දුන් ඒ අසුබ නිමිතිවලින් උන්වහන්සේලා සිය සඳහම් වෑයම අත්නොහළහ. එම වෑයමම අධිෂ්ඨාන ගුණය හා බැදුණු වෙස්‌වලාගත් ආශීර්වාදයක්‌ වූවාක්‌ මෙන් උන්වහන්සේලාට මේ වියපත් ගුරු මාතාව මුණගැසුණේ අහම්බෙන් මෙනි. ඔවුහු එකිනෙකා හමු වූහ.

කථිකා කළහ. එම දුර්ලභ හමුවීම එම මොහොතේ සිදු වූවක්‌ නොව දුර ඈත සංසාර කතරේ බොහෝ කාලයක පටන් පැවත ආවක්‌ මෙන් ඔවුනොවුන්ට දැනෙන්ට පටන් ගත්තේය. ගුරු මෑණියෝ කිණිහිරි මලක මල් පැහැය ගෙන බබළන කසාවතින් සැරසී සිටි ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට වැඳ නමස්‌කාර කළේ සාදු.. සාදු.. සාදු.. යි යන මිහිරිබර ම වදන් කිහිපය ද මුමුණමින් පමණක්‌ නොවේ. තමන්ට මව්පිය උරුමයෙන් හිමි වූ ඉඩම් අතරින් අක්‌කරයක කොටසක්‌ පන්සලක්‌ ගොඩනඟා ගැන්මට දන් දෙන්නෙමියි යන පොරොන්දුව ද තෙපළමිනි. කාම්බෝජ රාජ්‍යයෙහි බෞද්ධයන් කොතෙක්‌ දේ සසුනට පූජා කළත් බුදු සසුනට ඉඩකඩම් පූජා කිරීම දුර්ලභ දසුනෙක්‌ වීය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සැදැහැවත් මහ උපාසිකාවක්‌ උන්වහන්සේලාට මේ ඉඩම් පිදූ බව පිළිබඳ පුවත කාම්බෝජ රූප මාධ්‍යයකින් එරට අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම පැතිරී ගියේය. දැන් අවැසි වී ඇත්තේ එහි විහාර මන්දිරය ගොඩනඟා ගැනීමට දායක දායිකාවන්ගේ දානමය සම්මාදම පමණක්‌ බවද ඒ අතරම ප්‍රචාරය කෙරිණි. අපට දැනගන්නට ලැබුණු පරිද්දෙන් ඉන් ඉක්‌බිතිව පැය විසි හතරක්‌වත් ගෙවී ගොස්‌ නැත. කාම්බෝජය පුරා විසිරි සිටි සෑම බෞද්ධයකුගෙන්ම එහිලා ආධාර උපකාර ගලා ආවේ මහ ගඟ මහ වතුරක්‌ මෙන්ය.

එසේ ගලා ආ මිනිස්‌කමෙහි මහා ශක්‌ති ප්‍රවාහයෙන් ගොඩනැගෙන අලංකාර විහාර මන්දිරය පසුගිය දිනෙක බෝමිරියට ගිය අපට සියෑසින්ම දැකගන්නට ද ලැබිණි. මෙරට මෙන්ම එරට ද පෙදරේරුවරුන් මෙන්ම ඉංජිනේරුවරුන් ද අතරේ කාම්බෝජ ජාතික භික්‍ෂූන් වහන්සේලා ද වෙහෙස නොබලා අත් දෙකෙන්ම දහඩිය මුගුරු වගුරුවා වැඩපළෙහි යෙදී සිටින ආකාරය ගිනි මද්දහනයේ නැගුණු අව් පූටකය නිසාවෙත් අප සිත්හි ඇති කර තිබූ දොම්නස මෙන්ම විඩාවද අතුරුදන් කළේය.

“ඉතිං මහත්තයො මං මේ ඉඩකඩම් විකුණගෙන කාල බීල ජීවත් වෙනවට වැඩිය මේක කොච්චර හොඳද? මේ විහාරෙ නැවතිලා ඉන්න හාමුදුරුවරු හොඳට අපේ රටෙන් ධර්මය ඉගෙනගෙන ගිහින් ඈත රට රාජ්‍යවල පැතිරවීමෙන් කොයිතරම් සෙතක්‌ ශාන්තියක්‌ ලෝකෙටම උදා වෙයිද? තමා විසින් කරනු ලැබූ මහා පරිත්‍යාගයෙන් උපන් නිරාමිස සංතුෂ්ටිය තවමත් සිතින් මකා නොහැර තිබූ ඒ මාතාවෝ එසේ පැවසූහ.

මේ මිහිපිට උපන් අපේ කාලයේ නම් කිසිවකු නොකරන තවත් මහා පරිත්‍යාගයක්‌ මේ මෑණියන් සිදු කර තිබුණු බව අපට දැනගන්නට ලැබුණේ ද මේ අතරය. එනම් ඒ ඉඩමේම ඉදිකර තිබූ එතෙක්‌ ඇය සතුව තිබූ සුවිසල් සුඛෝපභෝගී නිවාසය මෙන්ම එහි වූ වටිනා කියන සියලු බඩු බාහිරාදිය ද තවත් භික්‍ෂූන් වහන්සේ නමකට පරිත්‍යාග කර තිබිණි.

කාම්බෝජ විහාර මන්දිරය ගොඩනැගෙන තුරු එරට භික්‍ෂූන් වහන්සේලා මේ වන විට වැඩ සිටින්නේ ඒ සුවිසල් නිවෙස තුළය. එහි මූල්‍යමය වටිනාකමද රුපියල් ලක්‍ෂ 50 ක්‌ වත් ඉක්‌ම වන බව අපට සිතිණි.

ඒ සියල්ලම නොමසුරු සිතින් දනට පිනට දී ඇය අප යන විට වැටී කාලය ගතකරමින් සිටියේ අක්‌කර පහක්‌ වූ එම ඉඩමෙහිම වූ අපිරිසිදු කුඩා පැල්පතක සිරිය පල කළ නිවාස කබලකය. අප යන විට එහි මිදුලේ බාවා සිටි බල්ලෝ බුරන්නට පටන් ගත්හ. ඔවුහු ඈ විසින් කුඩා කල පටන්ම ඇති දැඩි කරනු ලැබූ සත්ව පිරිසක්‌ නොවූහ. කිසිවකුගේත් පිළිසරණයක්‌ නොලබා අහර ටිකක්‌, වතුර පොදක්‌ වෙනුවට කැට කැබලිතිවලින් අකාරුණික ලෝකයාගේ පහර ලබා ඔවුන් සියල්ලන්ම පැමිණ සිටියේ ද ඇයගේ සරණ පතා බව පසුව අපට දැන ගැන්මට ලැබිණි.

ඔවුන්ට නුදුරින් වත්තේ ඈත පොල් රුප්පා අතර කොණක බැඳ සිටි එළ දෙනක ඇස්‌ නෙරවා හිස දික්‌කරගෙන සිට එක්‌ වරම ඉතා තදින් කහින්නට පටන් ගත්තාය. දෑළ හකුළුවාගෙන ඈ කැස්‌සේ ඉතා දුක්‌ වේදනාවකිනි. ඉන් ඉක්‌බිතිව ඇය යමෙකු සොයන්නාක්‌ මෙන් මහ පොළොවේ තණපත් අතර තොලු ගාන්නට වූවාය. ඇයද අප අර කලින් කී බල්ලන් මෙන්ම කාගේවත් පිහිටක්‌ නොලැබ පෙර පිනකට මෙන් පිහිට හා රැකවරණයත් පතා ඉන්ද්‍රානි රොද්‍රිගෝ ගුරු මාතාවගේ සෙවණ සොයාවිත් වැටුණකු බව අපට දැනගත හැකි වීය.

“මට මේ කිසිම දෙයක්‌ දැන් අයිති නෑ මහත්තය. මේ ගේ කෑල්ලෙ වැටිල හිටියට මේකවත් මට අයිති නෑ.” මේ අතරතුර තුර ඈ එසේ පැවසුවත් ඒ වදන් තුළ බොහෝ සෙයින් ගැබ් වී පැවතුණේ සියල්ල අත්හැරීමෙන් පසු තැවුනකුගේ ලකුණු නොව තව තවත් නිරාමිස සැනහීමකට පත්වන්නියකගේ සලකුණුය.

ඇය ජීවත් වූ ඒ අබලන් ගෙට නුදුරින් පිහිටි තවත් ඉඩම් අක්‌කරයක්‌ පරිත්‍යාග කර තිබුණේ කොළඹ නාලන්දා විද්‍යාලයේ බෞද්ධ සංගමයටය. ඒ එම විද්‍යාලයෙහි සේවයෙහි නිරත වී සිට විශ්‍රාම ලබා හුදෙකලා ජීවිතයට පත් වූ මහලු ගුරු මව්පියන් උදෙසා අංගසම්පූර්ණ නේවාසිකාගාර ඇතුළත් ගුරු ගම්මානයක්‌ නිර්මාණය කිරීම සඳහාය.

එම සද්කාර්යය මේ වන විට කොළඹ නාලන්දා විද්‍යාලයෙහි තවත් ගුණ නැණ බල පිරී ඉතිරි ගිය මහගුරු පියාණන් කෙනෙකු වූ විදුහල්පති රංජිත් ජයසේකර මහතාගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරේ. ඒ බව අපට පැවසුයේ එම බොදු සංගමයේ අංසක ඉන්ද්‍රානි රොද්‍රිගෝ ගුරුමාතාව මෙම ඉඩමෙන් ඊළඟ ප්‍රමාණය හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස වෙත පරිත්‍යාග කර තිබුණේ අපේ රටේ සුවහසක්‌ දූදරුවන්ගේ විදු නැණ පාදනු පිණිස වූ පරිගණක විද්‍යා තාක්‍ෂණ මධ්‍යස්‌ථානයක්‌ ආරම්භ කිරීමටය.

තතු කෙසේ වුව ද මේ වියපත් ගුරු අම්මාගේ මෙකී දුර්ලබ පරිත්‍යාගයෙන් මතු වී පෙනෙන එහෙත් මෙහි මතු කර ගැනීමට කිසිවකුත් වෙර දරන්නේ නැති කතාවක්‌ද තිබේ. අප එය ඔබ හැම හමුවේ තබන්නේ ද හේතුවක්‌ ඇතිවය. එනම් මේ දුලභ වෘත්තාන්තය කුමක්‌දැයි සොයාබලන්නට ගිය අපට එහිදී හමුවුණු බොහෝ දෙනෙක්‌ම කී කතා මිහිරිබර වූ ඒවා නොවීය. ඒ සෑම කඩතොළු කතාවක්‌ම තෘෂ්ණාවේ අපිරිසි අඳුරු වළාවලින් වැසී තිබුණේය.

“මෙහෙම දෙන්නෙ මේව කොයිතරම් වටිනවද අප්පේ” ඒ එහිදී බොහෝ දෙනකුගෙන් අපට අසන්නට ලැබුණු එකී කඩතොළු කතාවල සමස්‌තයයි. ඒත් මේ දුලභ අම්මා තමාට කාත් කවුරුවත් නැතිය යන අරමුණින් හෝ වේවා සිදු කර තිබෙන මේ පරිත්‍යාගයම පමණක්‌ කෙතරම් නම් විශ්මිත වූත් අසිරිමත් වූත් එකක්‌ද? අධික අශාවන්ගෙන් ඔද්දල් ව ගිය හිස්‌ ගෙඩිවලින් ගහන මිනිසුන් මේ මහ පොළොව තුළ ජීවත් වෙමින් බිම් අඟලටත් අද කෙතරම් නම් මහා අපරාධ සිදු කරනවාද?

පස්‌ දෙනෙක්‌ පමණ කෲරතම අයුරින් කපා කොටා මරා දැමූ පසුගිය දිනෙක එප්පාවලින් අසන්නට ලැබුණු එකම පවුලේ අය අතර වූ ඉඩම් ආරවුල වුව මෙහිලා හොඳම සාක්‍ෂියක්‌ නොවේද? අත්නොහැරීම, සීමාවක්‌ නැති ජීවන අපේක්‍ෂා ආදිය ඔස්‌සේ මානව සමාජය තුළ ඇති වූ අවසාන ෙ€දවාචකය එය පමණක්‌ විය නොහැකිය. අත්නොහරින තාක්‌ රැස්‌කරනතාක්‌ එවැනි අහස පොළොව නුහුලන ආකාරයේ තවත් මහා අපරාධ මේ රටත්, ලොවත් තුළ අප හදවත් හඬවා කොතෙකුත් ඉදිරියටත් සිදුවනු ඇත. අවසානයේ නොසිතූ නොවූ විරූ මහා ෙ€දවාචකයන් රාශියකට ජීවිතය ඇද වැටෙනු විනා ඒ හා බැදුණු කිසිවකුටත් එයින් සොම්නසක්‌ හා සහනයක්‌ නම් නොලැබෙන්නේමය.

ඉදින් ඉන්ද්‍රානි නම් වූ මිනිස්‌ වෘක්‌ෂයෙහි පිපුණු අතිශය දුලභ පුෂ්පයක්‌ බඳු වූ ගුරු මාතාවෙනි, ඒ කුරුරි දරුණු ලෝකයට ඔබ දුන් ආදර්ශයම ප්‍රමාණවත්ය. ඒ ගැන රට නොරට කිසිවකු මහ ඉහළින් කතා නොකළත් සත්පුරුෂ ලෝකය තුළ නම් එය ගලෙක කෙටූ අකුරක්‌ මෙන්ම නොනැසී පවතිනු ඇත. ඒත් සමගම මේ ටිකද මේ සමගම කිවයුතු යෑයි මට සිත් වූයේ ඈ විසූ කබල් නිවසත්, එහි වැටී ඈ ගත කරන ජීවන පරිසරයත් දැක ඇති වූ කුහුල නිසාය. එනම් මෙතරම් මහා පරිත්‍යාගයක්‌ කළ මේ මෑණියන්ගේ ජීවිතයේ අවසාන කාලය ගෙවී යන්නේ නම් එතරම් සුවපහසුකම් මැද නොවේ. එහෙයින්ම ඇය සුඛිතමුදිත කිරීම සඳහා අවම වශයෙන් ඒ පරිත්‍යාග ලැබූ වන්ගෙන්වත් දැනට පවතිනවාට වඩා වැටි අවධානයක්‌ යොමු විය යුතු යෑයි අපට සිතේ.

සුගත් වීරසූරිය
ඡායාරූප – නිශාන් එස්‌ ප්‍රියන්ත

මේ වගේ වටිනා ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණමයි