බයිනෙත්තු බඳෙන් රජිව් ගාන්ධිට පහර දුන් ඔහුට ඊටපස්සේ සිද්ධ වුණ දේ මෙන්න

ඉන්දු ලංකා ගිවිසුමෙන් රටට අත්වූයේ වාසියට වඩා අවාසියකි. ඉන්දීය අගමැති රජිව් ගාන්ධිගේ බලහත්කාරකම මත පැටවූ මේ ගිවිසුමෙන් උතුරේ යුද්ධය නැවතුණේ නැත. උතුරු නැගෙනහිර සාමය රකින්නට පැමිණි ඉන්දීය සාම සාධක සොල්දාදුවන් 1200 ක්‌ද රජිව් ගාන්ධිද අවසානයේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයට බිලිවිය.

සාම ගිවිසුම ගැනත් ඒ අතීතය ගැනත් සිහිකරද්දී අපට නිතැතින්ම බලනැවි විජිත රෝහණ විජයමුණි සිහිවේ. මන්ද රටපුරා ඇඳිරි නීතිය දමා අත්සන් කළ මේ ඊනියා ගිවිසුමට එරෙහිව ඉන්දිරා ගාන්ධිගේ පුත්‍රයාට බයිනෙත්තු බඳෙන් පහර දුන්නේ ඔහු නිසාය.

1965 උපන් විජිත රෝහණ නාවික හමුදාවට බැදුණේ 1985 දීය. 87 දී රජිව්ට පහරදෙනවිට ඔහු 22 හැවිරිදි තරුණයෙකි. පසුගිය දිනක අපි මේ ඉතිහාසය ගැන විස්‌තර අසන්නට රෝහණ ඇමතුවෙමු. මේ රට පාවා දෙන ගිවිසුම නවත්වන්න මොකක්‌ හෝ කරන්න ඕනෑ කියන එක මගේ හිතේ තිබුණා. මේ ගැන දවස්‌ තුනක්‌ තිස්‌සේ මම කල්පනා කළා.

මෙහෙම රට පාවා දුන්නු ගිවිසුම් අත්සන් කරපු රජිව් ගාන්ධිටත් උත්තමාචාර දක්‌වන්න වෙනවා නම් ඉදිරියේදී ප්‍රභාකරන්ටත් උත්තමාචාර දක්‌වන්න වෙයි කියලා මට හිතුණා. මට ඉන්දියාව ගැන ලොකු විරෝධයක්‌ තිබුණා. මොකද වඩමාරච්චි මෙහෙයුම නවත්තපු එක ගැන, ලංකාවට පරිප්පු හෙළපු එක ගැන මගේ හිතේ දැඩි විරෝධයක්‌ තිබ්බා. ඒ නිසා තමයි මම රජිව් ගාන්ධිට තුවක්‌කු බඳෙන් ගැහුවේ. මේ සිද්ධියට වසර 25 ක්‌ ගතවුණත් ඒක ගැන එදාටත් වඩා මම අද සන්තෝෂ වෙනවා. යෑයි විජිත රෝහණ අප සමඟ පැවසීය.

1987 ජුලි මස 30 වැනිදා ලුතිනන් මෙන්ඩිස්‌ගේ අණදීම යටතේ නැවියන් 72 ක්‌ ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් ආචාර පෙළපාලිය සඳහා යොදවා තිබිණි. මේ පිරිස කොළඹ ජනපති මන්දිරයට රැගෙන ගියේ රංගල නාවික හමුදා කඳවුරේ සිටය. 30 වැනිදා පෙ. ව. 8 ට පමණ මේ නැවියන් ජනපති මන්දිරයට ගෙනගිය අතර ආචාර පෙළපාලිය පැවැතියේ 10.30 ටය.

ඉන්දීය අගමැතිට තුවක්‌කු බඳෙන් පහර දුන් පසු ජනපති ආරක්‍ෂක අංශයේ පොලිස්‌ අධිකාරිවරයෙක්‌ වහා පැන විජිත රෝහණගේ බඩ පෙදෙසට පහරක්‌ එල්ල කරන අතර එහිදී ඔහු ඇද වැටෙයි. පසුව වහා අත්අඩංගුවට ගෙන නාවික හමුදා මූලස්‌ථානයට ගෙන යන අතර සවස රහස්‌ පොලිසිය, ඉන්දියාවම සලිත කළ නාවික භටයා තම භාරයට ගනී.

4 වැනි තට්‌ටුවේ තමාට මාස තුනක්‌ රැදෙන්නට වූ බව කියන විජිත රෝහණ ඒ කාලය අවුරුදු තුන්සීයක්‌ වැනි දීර්ඝ දුෂ්කර කාලයක්‌ ලෙස දැනුණු බව කියයි. මකුනෝ දාහක්‌ විතර හිටපු මේසයක්‌ උඩ තමයි මට නිදාගන්න වුණේ ඒ කාලේ ගැන නම් කියලා වැඩක්‌ නැහැ. මේ හිටපු නැවියා සිය අතීතය සිහිකරමින් පැවසීය.

රහස්‌ පොලිසියේ සිටින කාලයේදී ඉන්දීය ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙක්‌ද මේ නැවියාගෙන් ප්‍රශ්න කිරීමට පැමිණෙන නමුත් විජිත මොවුන්ට පිළිතුරු දීම ප්‍රතික්‌ෂේප කරන්නේ තමා ඉන්දියාවට පිළිතුරු බැඳීමට කිසිසේත් සූදානම් නොවන බව පවසමිනි.

හමුදා අධිකරණය මගින් ඉන්දීය අගමැතිවරයා ඝාතනය කිරීමට උත්සාහ කරන ලදැයි චෝදනා මත ඔහු වරදකරු කරන ලද අතර වසර හයක සිර දඬුවම් නියම විය. මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පෙන්වා දුන්නේ විජිත රෝහණට ඉන්දීය අගමැතිවරයා ඝාතනය කිරීමට අවශ්‍ය නොවූ බවත් එසේ වූවානම් බයිනෙත්තු උලෙන් අනින්නට හැකියාව තිබූ බවයි.

කෙසේ වෙතත් අවුරුදු 2 මාස 4 ක්‌ හා දවස්‌ දහයක්‌ සිරගත ජීවිතය ගතකර විජිත රෝහණ 1990 අප්‍රේල් 02 වැනිදා නැවත නිදහස ලබයි. මේ නිදහස ලබන්නේ හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා ලබාදුන් ජනපති සමාව යටතේය. සිරගත ජීවිතයේදී විවිධ ජ්‍යෙdaතිශ්‍ය පොත්පත් පරිශීලනය කරමින් දැනුම ලබාගත් විජිත අද ප්‍රකට ජ්‍යෙdaතිශ්‍යවේදියෙකි.

එදා 1990 දී විජිත රෝහණට ලබාදුන් ජනපති සමාව ගැන නම් ඉන්දියාව සතුටු වූයේ නැත. එදා 30 වැනිදා නාවික භටයාගෙන් පහර කෑ රජිව් නවදිල්ලි ගුවන් තොටුපළේදී ඉන්දීය වාර්තාකරුවන්ට මෙසේ ප්‍රකාශ කර තිබිණි. ආචාර පෙළපාලි පරික්‌ෂා කරමින් ගමන් කරද්දී එක්‌ භටයෙක්‌ පසු කරනවාත් සමග එම භටයා ඔහුගේ රයිපලය අපසු හරවා මගේ උරහිසටත් හිසටත් පහර දුන්ණා.

එහිදී මාධ්‍යවේදියකු තුවාල සිදුවුවේ දැයි ප්‍රශ්න කළ විට කෝපයෙන් පිළිතුරු දුන් රජිව් පැවසුවේ මට තුවාල වූ බව දැනගන්න මගේ ඇඳුම් ගලවල පෙන්වන්න ඕනෑද? යනුවෙනි. මේ ප්‍රහාරය පිළිබඳ එවක කොළඹ රොයිටර් වාර්තාකරු මැරලින් ඔට්‌ටාර්ද විශේෂ වාර්තාවක්‌ ගොනු කර තිබිණි. එහි සඳහන් වූයේ 42 හැවිරිදි ඉන්දීය අගමැතිවරයාගේ නිකට ආසන්නයට වැදුණු පහරත් සමග ඔහු වැටෙන්නට ගිය බවත් ආරක්‍ෂක නිලධාරීන් ඔහුව මෝටර් රථය වෙත ගෙනගිය බවයි. මේ ගැන ජනපති ෙ-. ආර්. ජයවර්ධනගෙන් විමසූවිට කට කොනකට සිනහවක්‌ නගා ගනිමින් මා සිතුවේ නාවික භටයා අවුරශ්මිය නිසා ඇද වැටුණු බව යෑයි පැවසු බව එදා නිකුත් වූ රොයිටර් වාර්තාවේ සඳහන් විය.

1987 ජුලි මාසයේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඇතිව තිබූ උණුසුම් තත්ත්වය ගැන එවක ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්‌ ජොතින්ද්‍රනාත් ඩික්‌සිත්ද සිය Assignment Colombo ග්‍රන්ථයේ සටහන් කර ඇත. විශේෂයෙන්ම ජුලි 30 වැනිදා පෙ. ව. 10.30 ට රජිව් ගාන්ධි කොළඹින් පිටත්ව යැමට නියමිතව තිබූ අතර ඒ කාලය තුළ ලංකා ආරක්‍ෂක අංශ සාමාජිකයන් අසල ගැවසීම විශේෂයෙන් උත්තමාචාරවලට සහභාගි නොවීම වඩා සුදුසු බව හැඟී ගිය බව ඩික්‌සිත් සටහන් කර ඇත.

ආචාර පෙළපාලියේ යම් කලබලයක්‌ ඇති බව දැනගත් පසු හෙතෙම මේ ගැන ජනපති ජයවර්ධනගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ රජිව් ගාන්ධි පය පැටලී වැටෙන්නට ගිය බවත් ඒ ගැන කලබල විය යුතු නැති බවත්ය. කෙසේ නමුත් මේ අතරතුරදී එක්‌ රූපවාහිනි මාධ්‍යවේදියෙක්‌ රජිව්ට නාවික සෙබළෙක්‌ තුවක්‌කුවෙන් පහර දුන් බව ප්‍රකාශ කරයි.

ඉන්දීය අගමැතිවරයා නැවත වතාවක්‌ ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගේ ප්‍රහාරයට ලක්‌වීමට ඉඩ ඇතැයි ඩික්‌සිත් බියවෙයි. මෙහිදී ඔහුට සෝනියා ගාන්ධි රජිව් සමග පිටව යද්දී ඇගේ මුහුණේ තිබූ කැළඹිලි ස්‌වභාවයද මතක්‌ වේ. රජිව් ගාන්ධි ඉන්දියාව බලා යැමට ඇති ගුවන්යානය අසලදී ඔහුට මුදල් ඇමැති රොනී ද මෙල් හමුවේ. රොනී පවසන්නේ එක්‌ සොල්දාදුවෙක්‌ අගමැතිවරයාව තල්ලු කිරීමට උත්සාහ කළ බවයි.

නාවික භටයා අගමැති ගාන්ධිට පහරදුන් අවස්‌ථාව සේයාරුවේ සටහන් කරගැනීමට සමත්වූ එකම ඡායාරූප ශිල්පියා වූයේ ඩේලි නිවුස්‌ පුවත්පතේ මාණ්‌ඩලික ඡායාරූප ශිල්පී සේන විදානගමය. එහි සිටි දෙස්‌ විදෙස්‌ සිය ගණනක්‌ ඡායාරූප ශිල්පීන් අතරින් ඔහු ගත් ඡායාරූපය ලොව පුරා ප්‍රචලිත විය. සේන විදානගම ඇතුළු ඡායාරූප ශිල්පීන්ට වෙන්කර තිබුණේ ආචාර පෙළපාලියට මීටර් 30 ක්‌ පමණ දුරින් සකස්‌කල අට්‌ටාලයකය. “දිවයින” පුවත්පතේ ජේෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර සමඟ එය වාර්තා කල සෙසු මාධ්‍යවේදීන් අතර ලියුම්කරුද, බන්දු එස්‌. කොඩිකාරද විය.

එයින් පසුව ඔහු ගුවන් යානයට ගොඩවී රජිව් හමුවෙයි. එහිදී කෙලින්ම සිදුවූයේ කුමක්‌දැයි විමසිය. මට ප්‍රහාරයක්‌ එල්ල වුණා යෑයි කියන රජිව් සිය කමිසයත් වෙඩි නොවදින ජැකට්‌ටුවත් ගලවා ප්‍රහාරයට ලක්‌වූ උරහිස ප්‍රදේශය “මානි මේ බලන්න” යනුවෙන් කියමින් පෙන්වයි. සෝනියා ගාන්ධි රජිව් ගැන රචනා කර ඇති ග්‍රන්ථයේද මේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු සටහන්ව ඇති අතර බොහෝ කාලයක්‌ යන තෙක්‌ මේ ප්‍රහාරය නිසා රජිව්ගේ උරහිසේ ආබාධයක්‌ පැවතුණු බවත් වම් අතට හැරී නිදා ගැනීමට ඔහුට අපහසු වූ බවත් සටහන් වී ඇත.

චතුර පමුණුව

මේ වගේ වටිනා ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණමයි