අතීත සිරිය මවමින් මතුවන රහත් උතුමන්ට පැන් පහසුව සැලසූ රිටිගල බන්දා පොකුණ

කලෙකින් අත්නුදුටු නියං සායක සලකුණු පෙනේ. රජරට මහා තැනි බිම් ගිනි ගනිමින් ඇති සේය. ඉන් උපදිනා දාහය දෙකොපුල් දැදුරු කරනු වැන්න. හාත්පස දකින්නේ මහා වැව් සි`දී යන සලකුණුය. රිටිගල සො`දුරු ගිරිහිස නුදුරෙහි මනරම් දැකුමක්‌ම මැවූ කළුඇබේ වැව පත්ලේ මණ්‌ඩි පමණක්‌ ශේෂවන තරමට දියවර සි`දී ගොස්‌ය.

තව දෙතුන් දිනකින් මේ අවසන් දියපොද ද සි`දී යනු ඇත. ඈත රිටිගල ක`දු මත්තෙහි වන විසල් වනස්‌පතීන්ද දැවී විවර්ණ පර`ඩලා වී ඇති අයුරු දකිමින් කළුඇබේ ගම මත්තෙන් වැටෙනා දූවිලි වැකි මග ඔස්‌සේ ගමන් කරමින් සිටිමු. වන අරණ තුළ වන්නේද නහස්‌පුඩු සිරකරවනා තරම් තෙත් සහිත උණුසුමකි. අතුපතර රැ`දී හි`දිනා නියං කොබෙයියෙකුගේ නග්න ලතෝනිය විටෙක දෙසවන් පාරා මතුව එයි.

-මේ පෑවිල්ල පටන්ගත්තා විතරයි මහත්තයා. මෙච්චර කලින් පායන්ට පටන් ගත්තේ මතක ඇති කාලෙක එක වතාවයි. ඒ සැරේ රිටිගල කැලේ ගසුත් මැරුණා පෑවිල්ලෙ සැරට. හරියට නම් තව මාස දෙකකින් වැහිපොදක්‌ ලැබෙන්න විදියක්‌ නෑ.” කළුඇබේ ගමේ වියපත් ගැමියෙක්‌ කීවා මතකය. ඉදිරියට එන්නේ සතා සිවුපාවුන්ද විකල් වන කාලයකි.

එහෙත් ඈත අතීතයේ රිටිගල වන දහනත් ඒ අවට වූ සාර භූමියත් මහා නියං සායන්හිදී පවා නොදැවුණේය. රජරට වියළි තැනිබිම්හි ආශ්චර්යයක්‌ වූ රිටිගල වන අරණ නොසිෙ`දනා සිහිල් දිය උල්පතින් සුසැදුනේය. සිරිලකට බුදු සසුන පැමිණි වකවානුවේ සිට මේ වන අරණ අපිස්‌ ගුණයෙන් සැදි සුශීල ස`ගපරපුරක සිල් සුව`දින් සුව`දවත් වූයේ මේ වන අරණ තුළ ගැබ්වූ සිහිල් ගුණය මෙන්ම ප්‍රනීත වූ දිය දහරින් සැලසෙනා පැන් පහසුව නිසාය.

ඒ නික්‌ලේෂී භික්‌ෂු පරපුර උත්කර්ෂයට නැගුනේ හවෙනි සියවසේදීය. අභයගිරිය වැනි මහා විහාර ආරාම වල භික්‌ෂූන් තමන් ලබනා සම්පත් හා සමාජ බලය නිසාම භික්‌ෂු ආකල්ප වලින් ඈත්වනු දුටු පිළිවෙත් සරු භික්‌ෂු පිරිසක්‌ මේ ආරාම වලින් නික්‌මී පාංශුකූලික භික්‌ෂු පරම්පරාවක්‌ බිහි කළහ. තුන් සිවුර පමණක්‌ සහිතව පිණ්‌ඩපාතයෙන් යෑපෙමින් භාවනානුයෝගීව වැඩවාසය කළ මුන්වහන්සේලා හය වැනි සියවස වනවිට සමාජයේ අප්‍රමාණ වන්දනාවට පාත්‍රවූහ.

රජවරු පවා ස්‌වකීය රාජ්‍ය බලය රක්‌ෂා කරගෙන යහපත් කොට රාජ්‍ය පාලනය කිරීමේ දේශපාලන අර්ථයෙන් අභයගිරිය, ෙ-තවනය ඈ මහා විහාරයන් සම්භාවනවාට ලක්‌ කළද දොහොත් මුදුන් දී බුදුන් ව`දින්නාක්‌ සේ වැ`දවැටුනේ මේ සුශීල භික්‌ෂූන්ගේ දෙපා මුලය. මේ සුශීල සංඝ පරම්පරාව අප්‍රමාණ පූජනීයත්වයට පත් වූ ආකාරය පිළිබ`ද තවමත් ශේෂ වී පවත්නා මහා සාධකය මේ රිටිගල වන අරණේ එම භික්‌ෂූන් ස`දහා ඉදිකළ සෙල්මුවා ආරාමයන්ය.

භාවනානුයෝගීව වැඩවාසය කළ මේ භික්‌ෂූන් වෙනුවෙන් විනය පිටකයේ දැක්‌වෙන අනුමිතීන් නොඉක්‌මවා නිර්මාණය කළ මේ විශේෂ සෙල්මුවා ආරාමයන් හැ`දින්වෙන්නේ පධානඝර නමිනි. සිංහල වාස්‌තු විද්‍යා සම්ප්‍රදායේ නව මානයක්‌ හෙළි කළ මේ ආරාමයන්හි විශිෂ්ට චාම් ගුණයත් කැසිකිළි ගල් පමණක්‌ අලංකාර කැටයමින් සරසා ලෞකික වටිනාකම් වල නිස්‌සාර ස්‌වරූපය සහිත ගැඹුරු දර්ශනයක්‌ පෙන්වා දෙන ආකාරයත් සාකච්ඡාවට ලක්‌ කරමින් මේ ආරාමයන් පිළිබ`ද ප්‍රාමාණික පර්යේෂණයක්‌ කලෙක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්‌තුවිද්‍යා සංරක්‌ෂණ අංශයේ අධ්‍යක්‌ෂකවරයාව සිටි ආචාර්ය ගාමිණී වි‍ජේසූරියයන් විසින් සිදුකළහ.

මහාවංශය ප්‍රකාරව රිටිගල වන අරණේ පාංශුකූලික භික්‌ෂුන් උදෙසා ප්‍රාකාර පෙත්මං හා සක්‌මන් මළු ජන්ථාඝර සහිත මේ විශිෂ්ට සෙල්මුවා ආරාම සංකීර්ණය ඉදිවන්නේ හයවෙනි සියවසේ රට හෙබවූ පළමු සේන රජතුමා විසිනි. එතුමානෝ රිටිගල වන අරණ තුළ සුරලොවින් ගෙනාවක්‌ සේ මනරම් කොට ආරාම සංකීර්ණයක්‌ කරවූහයි මහා වංශය කියයි. මේ ආරාම සංකීර්ණයේ වැදගත්ම අංගය වූයේ ගම හා ආරණ්‍යය වෙන් කරමින් ආරාම සංකීර්ණය ප්‍රවේශයේ ඉදිවූ බන්දා පොකුණ නම් විසල් බහු කෝණික පොකුණය. ලංකාවේ සුපිරිසිදු උල්පත් දියෙන් පිරෙනා දැවැන්තම පොකුණ වන බන්දා පොකුණ ප්‍රදේශයේ භූගත ජල සම්පත කළමනාකරණය කළ ප්‍රධාන ජල ධාරකයක්‌ වූ ආකාරය වටහාගත හැකිය.

බන්දා පොකුණ

කළුඇබේ ගම පසුකරනා දූවිලි සහිත මග රිටිගල වනජීවී සම්පත් මධ්‍යස්‌ථානය අසලින් හැරී රිටිගල වන අරණේ පුරාණ ආරාම සංකීර්ණය පාමුල තෙක්‌ දිවෙයි. ඒ කඩතොලු සහිත මග ඔස්‌සේ ගමන් කිරීම තොටිල්ලක පැද්දෙමින් යනු වැන්න. ක`දු පාමුල අතීතයේ මේ මුළු පරිසරයම සිහිල් කළ මහා ජලධාරකය වූ බන්දා පොකුණ එළි පෙහෙළි වී ඇත. එය දකිනු රිසි දැකුමකි. මීට නොබෝ කලකට ඉහතදී මේ පොකුණ පොකුණක්‌ සේ හ`දුනාගත නොහැකිව මහා රූස්‌ස වන දහන තුළ සැ`ගවී තිබුණේය. පළමු සේන රජ දවස සිදුවූ මහා චෝල ආක්‍රමණවල ප්‍රතිඵල ලෙස අභාවයට ගිය මේ මහා ආරණ්‍යයේ ජල ධාරකය අතීතයේ වනස්‌පතීන් අතර සැ`ගව තිබූ ආකාරය මෑතක්‌ වනතුරුම හ`දුනාගත හැකි වූයේ මනා නිරික්‌සුම් සහිත දෑසකට පමණය. මෙය මොනතරම් අසිරිමත් දැකුමක්‌ දැයි සිතේ. බන්දාපොකුණේ සො`දුරු හැඩතල හා අතීත වාරිකර්මාන්තයේ විශ්මිත ඥාන ප්‍රභාව ඉතිහාසයෙන් මතුවෙමින් තිබේ.

එකිනෙක පිරිද්දූ මනා කොට සුමට කළ සෙල් මුවා පුවරු වලින් කළ නැගෙනහිර පොකුණු බැම්ම මුළුමනින්ම තහවුරු වී ඇත. මේ බැම්ම මත තිබූ විසල් වනස්‌පතීන් ඉවත් වී තිබේ. පොකුණ විහිදෙන්නේ ගල් සහිත පරිසරයේ භූ විෂමතා වලට අනුගතවය. දැනට තහවුරු වී ඇති පොකුණු බැම්මේ හැඩතල මේ අසිරිය පෙන්වමින් හි`දී. මෙතෙක්‌ දෙනෝදාහක්‌ දෙනා විසින් පසුකර ගිය මුත් කිසිවෙකුගේ අවධානයට ලක්‌ නොවූ පොකුණේ වැඩි දිය පිටකරනා වාන විසල් ගල්කුළක්‌ කපා සකසා ඇති අන්දම මේ වනවිට පැහැදිලිව පෙනේ.

වර්ෂ 1940 දශකයේ සිදුවී යෑයි කියනා මහා ජල ගැලුමෙහි ප්‍රතිඵල ලෙස පොකුණේ බටහිර ඉවුර කැඩී ගිය ආකාරය ගැන අතීත ගැමියෝ පවසනු අසා ඇත්තෙමු. මෙසේ ගැලවී ගිය විසල් ගල් පුවරු මෙම බටහිර බැම්ම සීමාවෙන් ගලාගෙන යන දිය පහරේ කිලෝමීටර් භාගයක්‌ තෙක්‌ ඈතට විසිරී ගොස්‌ ආකාරය විටෙක දුටුවා මතකය. ඒ බි`දී ගිය බැමිකොටස හැරුණුවිට බැම්මේ සම්පූර්ණ ස්‌වරූපය නටබුන් වූ ගල්පුවරු අතරින් දැකගත හැකිය.

බන්දාපොකුණ අතීත සිsරියෙන් මතුව ඒම එක්‌තරා ආකාරයක ආශ්චර්යයකි. අතීත මහරහත් තෙරවරුන් පැන් සැනහූ පිවිතුරු උල්පත් දියෙන් පිරී ඉතිරීයන ලංකාවේ දැවැන්තම පොකුණ සංරක්‌ෂණය වන්නේත් ඒකාබද්ධ ජාතික ව්‍යාපෘතියක්‌ ලෙසිනි. එම සංරක්‌ෂණ යෝජනාව ඉදිරිපත් වන්නේ මීට සිව් වසරකට පෙර පාරිසරික හා වනසම්පත් අමාත්‍යාංශයෙනි. අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයෙන්නේ ඔවුන්ගෙනි. මේ අතීත මහා වාස්‌තු සංකල්පය යළිත් විද්‍යානුකූලව මතුකරගන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඥානයෙනි. ඒ සද්කාර්යය ස`දහා ශ්‍රමය ප්‍රදානය කරන්නේ සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුවෙනි. ජාතික අරමුණක්‌ වෙනුවෙන් මෙබ`දු එකමුතුවක්‌ මෙවැනි රටක අරුමයකි. එහෙත් අහම්බයෙන් හෝ මෙවැනි සො`දුරු දැකුම් පෙනී නොපෙනෙමින් තිබේ.

අප ඉදිරියෙන් එකපැහැර නැගී හි`දිනා රිටිගල කන්ද පෙනේ. පොකුණු බැම්ම මත සිට බලනවිට පසෙකින් පෙනෙන්නේ මනාකොට තහවුරු කර ඇති බැම්මේ කොටසකි. කලක්‌ තිස්‌සේ නොපිරුණ පොකුණ වන දහනින් වැසී ගොස්‌ය. පොකුණ මධ්‍යයේ රිටිගල වනදහනේම කදිම සාම්පලයක්‌ පැතිරී ඇත. රිටිගලටම ආවේනික සාදික්‌කා ශාකයේ වල් දර්ශය ඇතුළු වටිනා වෘක්‌ෂලතා එකතුවක්‌ මේ පොකුණු පත්ලේ තිබේ. පොකුණු බැම්ම මත ද කළුවර කළුමැදිරිය ඇතුළු දුර්ලභ වෘක්‌ෂයන්aගේ එකතුවකි. මේ බැම්ම පිළිසකර වනවිට එම වනස්‌පතීන් බොහෝමයක්‌ ඉවත්වනු ඇත. කවදා හෝ මේ පොකුණ දියෙන් පිරී ගිය දිනක මේ වනස්‌පතීන් සිය ආයු කාලය නිමා කරනු ඇත.

වැදගත් යමක්‌ ලබා ගැනීමට තවත් එවැනිම වටිනාකමක්‌ සහිත යමක්‌ පරිත්‍යාග කළ යුතුය. එය වටහා ගතයුතු ගැඹුරු ලෝ දහමක්‌ වැන්න.

ජානක ලියනආරච්චි