කතරගම ප්‍රේමවතී මනම්පේරි ඝාතන කතාවේ සැඟවුනු රහස්‌

රෝහණ විඡේවීරගේ නායකත්වයෙන් ආරම්භවූ ජනතා විමුක්‌ති පෙරමුණට තරුණයන් පමණක්‌ නොව තරුණියෝ ද සිය ගණනින් එක්‌වී සිටි අතර 1971 අප්‍රේaල් කැරැල්ලේදී ඔවුන් විසින් ද විශාල වැඩ කොටසක්‌ ඉටු කොට තිබූ බව පසුව කැරැල්ල පිළිබඳ නඩු විභාගවලදී හෙළි විය.

කමණි, සම්පතී, සුසිලා, සුජාතා, හඳගම, ලීලා, පුෂ්පා, පියසීලි, නන්දසීලි, චන්ද්‍රd, ධම්මිකා සහ ආරියවතී ආදී තරුණියන්ගේ නම් රැසක්‌ අපරාධ යුක්‌ති විනිශ්ච කොමිෂන් සභාව ඉදිරියේ විභාග වූ කැරැල්ලේ මහ නඩුqවේදී ලොකු අතුල විසින් දෙන ලද සාක්‍ෂියේදී අනාවරණය විය.

කැරැල්ල සංවිධානය කිරීමේදී කැරළිකරුවන්ට යුනිෙµdaම් මැසීම, ප්‍රථමාධාර සඳහා ඖෂධ රැස්‌ කිරීම, කැරළිකරුවන් වෙත පණිවුඩ ගෙන යැම පමණක්‌ නොව පොලිස්‌ ස්‌ථානවලට පහරදීම සඳහා ද තරුණියන් රැසක්‌ ක්‍රියාකාරීව සහභාගි වූ අයුරු, ජවිපෙ ප්‍රධාන නායකයකු සහ අප්‍රේල් මහ නඩුවේ 6 වැනි විත්තිකරු වූ නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුල කොමිසම ඉදිරියේ විස්‌තර කළේය.

කැරැල්ලේ නායිකාවන් ලෙස කටයුතු කළ තරුණියන්ගෙන් ඇතැමෙකු කැරැල්ල අසාර්ථක වී සිංහරාජයට හා විල්පත්තුවට පසු බසිද්දී හමුදාව සමග ඇතිවූ ගැටුම්වලදී මරුමුවට පත්වූ අතර වැඩිදෙනෙක්‌ හමුදාවට සහ පොලිසියට බාර වූහ. දීර්ඝ කාලයක්‌ පොලිස්‌ අත්අඩංගුවේ සහ පුනරුත්ථාපන කඳවුරුවල රඳවා තබනු ලැබූ මොවුන් පසුව නිදහස්‌ කරන ලදී.

කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ කැරලි නායිකාවක ලෙස කටයුතු කළේ මේජර් මල්ලිකා නමින් හැඳින්වූ තරුණිය ද ජනතා විමුක්‌ති පෙරමුණට තරුණ තරුණියන් බඳවා ගැනීම, පංති පැවැත්වීම, ආයුධ එකතු කිරීම හා ඒවා සිය නිsවෙසේ සඟවා තබා ගැනීමෙන් කැරැල්ල ආරම්භවූ පසු එයට සක්‍රීයව සහභාගි වී පොලිසිවලට පහරදීමටත් සහභාගි වූවාය.

ප්‍රේමවතී පාසල් මිතුරියක සමග

පසුව කැරැල්ල අසාර්ථක වීමෙන් පසු පලායමින් සිටියදී මේජර් මල්ලිකා සෙසු කැරළිකරුවන් සමග හමුදාවට යටත් වූවාය. පසුව පැවැති නඩු විභාගවලින් පසු පුනරුත්ථාපනය වී නිදහස ලැබූ ඇය පසු කාලයක අප්‍රේල් කැරැල්ල පිළිබඳ මහ නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතකු සමග විවාහ වූ බවද වාර්තා විය.

එහෙත් අප්‍රේල් කැරැල්ලේ නායිකාවක ලෙස හඳුන්වා අත්අඩංගුවට ගෙන කෲර ලෙස වෙඩි තබා ඝාතනය කරනු ලැබූ කතරගම ප්‍රේමවතී මනම්පේරි තරුණියට එවැනි ශෝචනීය ඉරණමක්‌ අත්වූයේ ඇයි?

ඒ වනවිටත් කතරගම පැවැතියේ හමුදාවේ පාලනය යටතේය. එම ප්‍රදේශයට ආගිය අය පිළිබඳව හමුදාව විමසිල්ලෙන් පසුවිය. එබැවින් තොරතුරු සෙවීමද ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවීය.

කොළඹ සිට ලංගම බසයකින් කතරගමට පැමිණි ස්‌ටැන්ලි වන්දනාකරුවන් සඳහා වූ රාමක්‍රිෂ්ණ විශ්‍රාම ශාලාවේ නවාතැන් ගත්තේය. එකල එහි නවාතැන් ගන්නා වන්දනාකරුවන්ට විශ්‍රාම ශාලාව මගින් නොමිලේ තුන්වේලටම ආහාර සපයන ලද බැවින් ඔහුට කෑම බීම පිළිබඳව ද ප්‍රශ්නයක්‌ නොවීය. එදින හැන්දෑවේ කිරිවෙහෙර වැඳ පුදාගත් ඔහු රාත්‍රියේ විශ්‍රාම ශාලාවේ ගත කොට පසුදා උදේ කතරගම දේවාලයේ පැවැති පූජාවට ද සහභාගි වූයේ නියම වන්දනාකරුවෙකු මෙනි.

ඉන්පසු ඔහු නගරයේ ඇවිදිමින් පුද්ගලයන් මුණගැසී තොරතුරු සෙවීම ඇරැඹීය. කතරගම ලංගම විශ්‍රාම ශාලාවේ පිහිටුවා තිබූ යුද හමුදා කඳවුරේ සිට ප්‍රේමවතී මනම්පේරි තරුණිය නිරුවතින් මහමඟ ඇවිද්ද වූ අයුරුත් පසුව ඇයට වෙඩි තබා වළ දමන්නට නියෝග කොට, එහෙත් ඇය මියගොස්‌ නැති නිසා පසුව යළිත් වෙඩි තබා ඝාතනය කළ අන්දමත් ඒ සිද්ධිය ඇසින් දුටු අයගෙන් ඔහුට දැනගත හැකි විය.

කතරගම අවුරුදු කුමරිය වශයෙන් ප්‍රේමවතී මනම්පේරි අභිෂේක ලැබූ අවුරුදු උත්සවය පැවැති ගුණසිරි හෝටලය ඉදිරිපිටදීම වෙඩි තබා ඇය ඝාතනය කළ අන්දම එම හෝටලයේ අය ඔහුට විස්‌තර කළේ තමා “ඇත්ත” පුවත්පතේ වාර්තාකරුවකු බව ඔවුන්ට පැවසීමෙන් පසුවය. මේ අයුරින් ලංගම සේවකයන්, ප්‍රදේශවාසීන්, කඩහිමියන්ගෙන් හා රාමක්‍රිෂ්ණා විශ්‍රාම ශාලාවේ පාලනයට සහාය වෙමින් සිටි හින්දු බැතිමතෙකුගෙන් ද තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හා ඒවා තහවුරු කර ගැනීමට ස්‌ටැන්ලි සමත් විය.

පසුව දෙටගමුවේ පිහිටි ප්‍රේමවතී මනම්පේරිගේ නිවෙසට ගිය ඔහු ඇගේ මව වන ලීලාවති ඔබේසිංහ හා පියා වන පී. එම්. ඩී. හෙන්ද්‍රික්‌ අප්පුහාමි හමුවී සියලු තොරතුරු හා එම නිවසේ තිබූ ප්‍රේමවතීගේ සියලු ඡායාරූප ද ලබා ගත්තේය.

එකොළොස්‌ දෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ ප්‍රේමවතී මනම්පෙAරි රූමත් තරුණියක්‌ වූවාය. ඒ නිසාම ඇයට 1969 හා 1970 වර්ෂවල කතරගම පැවැති අවුරුදු උළෙලවලදී කතරගම අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළැඳීමට අවස්‌ථාව ලැබුණි. පිරිපුන් යොවුන් මෙම රූමතිය කෙරෙහි ඒ වනවිට ප්‍රදේශයේ එක්‌තරා පොලිස්‌ නිලධාරියකු දැඩි අවධානයකින් පසු වූයේ ඇය සමග පෙම් සබඳකමක්‌ ඇති කර ගැනීමේ අරමුණිනි.

ප්‍රේමවතී මනම්පේරි (වමේ) සිය මව පියා, සහෝදරියක හා බාල සොහොයුරා සමග ප්‍රේමවතී මනම්පේරි (දකුණේ)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් 8 න් ම සමත් වී සිටි ඇය බෞද්ධාචාර්ය විභාගයෙන් ද සමත් වී ගමේ පන්සලේ දහම් පාසලේ ගුරුවරියක ලෙසද කටයුතු කළාය.

මේ අතර ඇය දහම් පාසලට යන විටදීත් දියනෑමට මැණික්‌ ගඟට යන විටදීත් කිහිප වතාවක්‌ම ඇය පසුපස පැමිණි ඉහත කී පොලිස්‌ නිලධාරියා ඇයට තම ප්‍රේමය ප්‍රකාශ කොට ඇතත් ප්‍රේමවතී එය පිළිගෙන නැත. ඔහු තමා වැනි දුප්පත් තරුණියක්‌ කිසිදාක විවාහ කර නොගන්නා බවත් ඔහු එන්නේ තමාගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට බවත් දැන සිටි ඇය ඔහුට තම අකැමැත්ත පළ කර සිටි බව ප්‍රේමවතී මනම්පේරියගේ මව වන ලීලාවතී මහත්මිය ස්‌ටැන්ලිට පවසා තිබිණි. තම උත්සාහය අසාර්ථක වීම නිසා එම පොලිස්‌ නිලධාරියා මාන බලමින් සිට ඇත්තේ අවස්‌ථාවක්‌ ලැබුණ විට ඇගෙන් පළි ගැනීමටය.

ඒ වනවිට කතරගම ප්‍රදේශය ජනතා විමුක්‌ති පෙරමුණේ මර්මස්‌ථානක්‌ බවට පත්වී තිබිණි. රෝහණ විඡේවීර නිතර පැමිණීමත් ඔහු තරුණයන් රැසක්‌ සමග සම්බන්ධතා ඇති කරගෙන ඔවුන් මගින් පංති පැවැත්වීමත් නිසා තරුණයන් 500 ක්‌ පමණ කතරගම ප්‍රදේශයෙන් ජවිපෙට සම්බන්ධව සිටි බව පසුව පැවැති නඩු විභාගවලදී හෙළි විය. ගාමිණි බාස්‌, කරුණාසේaන හා සිරිපාල යන නායකයන් පොලිසියට පහරදී කතරගම නගරය හා ඒ අවට ප්‍රදේශය අල්ලාගෙන තිබිණි. ඔවුන් පසුව පෙලිස්‌ වෙඩි පහරින් මියගිය කරුණාසේන හා සිරිපාලගේ නම්වල මුල් වචනගෙන “කරුණාසිරිගම” යනුවෙන් කතරගම නම්කොට දැන්වීම් පුවරු ද සවිකොට ඇත. මෙයින් සිරිපාල නමැත්තා ප්‍රේමවතී මනම්පේරිගේ පවුලේ ඥතියකු ද විය.

එහෙත් ප්‍රේමවතී මනම්පේරි තරුණිය ජ.වි.පෙ. කටයුතුවලට හෝ කැරැල්ලට සම්බන්ධ වූ බවට කිසිදු තොරතුරක්‌ ඒ පිළිබඳව පසුව පැවැති නඩු විභාගවලදීවත් අනාවරණය නොවීය.

කැරැල්ල ඇරඹීමෙන් පසු කැරළිකරුවෝ කතරගම පොලිසියට දෙවරක්‌ම ප්‍රහාර එල්ල කළ නමුත් ඔවුන්ට පොලිසිය අල්ලා ගැනීමට නොහැකි විය. එහෙත් ප්‍රමාණවත් තරම් පොලිස්‌ භටයන් නොවීමත් අවි ආයුධ හිඟවීමත් නිසා කතරගම පොලිසිය වසා දමා එහි නිලධාරීහු හම්බන්තොට පොලිසියට ගියහ. මේ නිසා කතරගම පාලනය මුළුමනින්ම කැරළිකරුවන් අතට පත් විය.

එහෙත් 1971 අප්‍රේල් 10 වැනිදා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් පත් කරනු ලැබූ යුද හමුදා ස්‌වෙච්ඡා බලකායේ කර්නල් ඩෙරික්‌ නුගවෙල මහතාගේ මෙහෙයෑවීම යටතේ ලුතිනන් ඇල්ප්‍රඩ් විඡේසූරිය ප්‍රමුඛ ස්‌වෙච්ඡා සෙබළ කණ්‌ඩායමක්‌ කතරගමට පැමිණියේ අප්‍රේල් මස 16 දාය. ඔවුන් විසින් කතරගම, ලංගම විශ්‍රාම ශාලාව හමුදා කඳුවර ලෙස යොදාගෙන තිබිණි.

යුද හමුදාව කතරගමට එන බව ආරංචි වීමෙන් පසු කැරළිකරුවෝ පාරට ගස්‌ කපා දමා මාර්ගය අවහිර කොට එම ප්‍රදේශය අතහැර වනාන්තරයට පලා ගියහ. හමුදාව එනවිට එකදු කැරළිකරුවෙකුවත් කතරගම නොවීය.

හමුදාව කතරගමට පැමිණ කඳවුරු බැඳගත්තේ අප්‍රේල් 16 දා පෙරවරු 5 ට පමණය. එහි පැමිණි විගස හමුදාව කළේ වසා තිබූ වෙළෙඳසල් විවෘත කරවා මහජනයාට පාරිභෝගික භාණ්‌ඩ මිලයට ගැනීමට අවස්‌ථාව සලසාදීමය.

මේ අතර එදින (16 දා) පෙරවරු 9 ට පමණ කතරගම පොලිසියේ ස්‌ථානාධිපති උඩවත්ත තවත් පොලිස්‌ නිලධාරීන් තුන්දෙනකු ද සමග පොලිසියට සැතපුම් භාගයක්‌ පමණ දුරින් පිහිටි ප්‍රේමවතී මනම්පේරිගේ නිවෙසට ගොස්‌ ඇය බලහත්කාරයෙන් ජීප් රියට නංවාගෙන හමුදා කඳවුරට ගෙන ගිය බව ඇගේ මව වන ලීලාවතී ඔබේසිංහ මහත්මිය ස්‌ටැන්ලිට පවසා තිබිණි. “ඇයි මගේ දුව අරගෙන යන්නේ” යෑයි ඇය විමසූ විට” හේතුව දැනගන්නට තමයි ගෙනියන්නේ” යනුවෙන් උඩවත්ත පිළිතුරු දී ඇත.

ඉන්පසු කතරගම ප්‍රදේශයේම විසූ කමලාවතී, තේවානි ඇතුළු තවත් තරුණියන් 5 දෙනකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ලංගම විශ්‍රාම ශාලාවේ පිහිටි යුද හමුදා කඳවුරු වෙත ගෙනැවිත් තිබේ. මෙම තරුණියන් එහිදී ලිංගික අතවරයන්ට භාජනය වූ බවද පසුව පැවැති නඩු විභාගවලදී හෙළි විය.

හමුදා කඳවුරු භාරව සිටි ලුතිනන් විඡේසූරියට පොලිසිය ප්‍රේමවතී මනම්පේරි හඳුන්වා දුන්නේ ඇය කතරගම ප්‍රදේශයේ කැරළි නායිකාව වශයෙනි. ඇය පංති පවත්වා ඇති බවත් කැරළිකරුවන්ට ඇගේ නිවසේදී යුනිෙµdaම් මැසූ බවත් පොලිසිය දැඩිව ප්‍රකාශ කිරීම නිසා ලුතිනන් විඡේසූරිය ද හැසිරී ඇත්තේ තමාට විශාල දඩයමක්‌ ලැබුණාක්‌ මෙනි. අප්‍රේල් 16 දා රාත්‍රියේ හමුදා කඳවුරේ තබාගෙන සිටි තරුණියන් 6 දෙනා අතරින් පසුදා ලුතිනන් විඡේසූරිය ප්‍රශ්න කොට ඇත්තේ ප්‍රේමවතී මනම්පේරීගෙන් පමණි.

පොලිසිය විසින් මවා පෙන්වා තිබූ චිත්‍රය අනුව ප්‍රේමවතී දරුණු ගණයේ කැරළිකාරියක ලෙස සළකා ඇගෙන් ප්‍රශ්න කළ ලුතිනන් විඡේසූරිය පසුව ඇයට ගිනි අවිය එල්ල කොට ඇඳුම් ගලවන ලෙස තර්ජනය කළ අයුරුත් අනතුරුව ඇයව නිරුවතින් දෑත් ඔසවාගෙන මා පංති පහම කළා” කියමින් පාරදිගේ ඇවිදගෙන යන්නට සැලැස්‌ වූ අන්දමත් එම සිද්ධිය ඇසින් දුටු අයගෙන් ස්‌ටැන්ලිට දැනගත හැකි විය. පසුව පැවැති නඩු විභාගයේදී මේ සිදුවීම වඩාත් විස්‌තරාත්මකව අනාවරණය විය.

කතරගමට පැමිණි යුද හමුදාව විසින් එකද පිරිමි කැරළිකරුවකුවත් අත්අඩංගුවට ගෙන නැත. ඔවුන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනැවිත් බාරදුන් ප්‍රේමවතී මනම්පේරි ඇතුළු තරුණියන් 6 දෙනා පමණි. කතරගම පොලිසිය ඔවුන්ගෙන් කිසිදු කටඋත්තරයක්‌ ලබාගෙන නැත. ලුතිනන් විඡේසූරිය ප්‍රේමවතීගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්නකොට ඇතත් කිසිදු ප්‍රකාශයක්‌ ලිතව සටහන් කරගෙන නැති බව ද හෙළි විය.

පසුව පැවැති නඩු විභාගවලදී ප්‍රකාශ වූයේ හමුදාව මෙම තරුණියන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇත්තේ ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා බවයි. ප්‍රේමවතී මරාදැමීමෙන් පසු අනිත් තරුණියන් නිකම්ම නිදහස්‌ කොට යෑවීමෙන් ඒ බව පැහැදිලි විය.

අත්අඩංගුවට ගෙන සිටි කමලාවතී නමැති තරුණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් කතරගම හමුදා කඳවුරේ ලුතිනන් ගැමුණු විජයරත්න ඇතුළු සෙබළුන් තිදෙනකුට විරුද්ධව රහස්‌ පොලිසිය විසින් වෙනම නඩුවක්‌ පවරා තිබූ අතර ඔවුන් එයට වරදකරුවන් වීම නිසා සිරදඬුවම් නියම විය.

එහෙත් ප්‍රේමවතී මනම්පේරි දූෂණයට ලක්‌වූවාද යන්න ඔප්පු නොවූයේ ඇයගේ මළ සිරුර පසුව ගොඩගෙන අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පරීක්‍ෂා කිරීමේදී සිරුරේ කොටස්‌ විනාශ වී තිබීම නිසාය. මිනී පෙට්‌ටියක නොදමා නිකම්ම වළ දමන ලද ඇගේ සිරුර පස්‌ දමා වැසීමේදී පස්‌වලට තදවීමත්, පසුව වර්ෂා ජලයෙන් මිනී වළ පිරී යැමත් නිසා සිරුර බෙහෙවින් විනාශ වී තිබු බව අධිකරණ වෛද්‍ය නිලධාරියා සිය වාර්තාවේ දක්‌වා තිබිණි. මේ නිසා ඇය මරාදැමීමට පෙර දූෂණයට භාජන වූවාදැයි තහවුරු කළ නොහැකි බව ද එහි සඳහන් විය.

ප්‍රේමවතී මනම්පේරි තරුණිය නිරුවත්කොට පාරේ ඇවිද්දවා වෙඩි තබා කෲර අන්දමින් ඝාතනය කළ හේතුව කුමක්‌දැයි පැහැදිලි කරදීමට නඩු විභාගයේදී පළමු විත්තිකාර ලුතිනන් විඡේසූරිය හා දෙවැනි විත්තිකාර රත්නායක ඉදිරිපත් නොවූ බවත් ඇය කැරැල්ලට සම්බන්ධ බවට විත්තිය නැඟූ චෝදනා ඔප්පු කිරීමට විත්තිකාර පාර්ශ්වය අසමත් වූ බවත් මෙම නඩුවේ අභියාචනය විභාග කළ විනිසුරු මඩුල්ලේ සභාපති වශයෙන් කටයුතු කළ ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ඒ. සී. අලස්‌ මහතා සිය තීන්දුවේ දක්‌වා ඇත.

අප්‍රේල් කැරැල්ලට සහභාගිවෙමින් එහි නායකත්වය ගෙන ක්‍රියා කළ තරුණියන් සිය ගණනක්‌ පසුව පුනරුත්ථාපනය වී නිදහස්‌ සමාජයට පිවිස විවිධ වෘත්තීන්වල යෙදෙමින් සාර්ථක පවුල් ජීවිත ගත කරද්දී, කැරැල්ලට කිසිම අයුරකින් සම්බන්ධ නොවූ ප්‍රේමවතී මනම්පේරි තරුණියට මෙවන් ෙ€දජනක ඉරණමක්‌ අත් වූයේ ඇගේ රූපය සාපයක්‌ වීම නිසාද?

සියලුම ඇඳුම් එකිනෙක බලයෙන් ඉවත් කරන ලදුව, ඇඟේ නූල් පටකුදු නොමැතිව ඈ වීදිය මැද්දෙන් දෑත් ඔසවා ගෙන ගමන් කළාය. කාකි ඇදුම් ඇඳගත් කාමුක බේබද්දෙක්‌ සබ්මැෂින් තුවක්‌කුවක්‌ ඇයට එල්ල කරගෙන අණ දෙමින් ඇය පිටපසින් ගමන් ගත්තේය. ගුණසිරි හෝටලය ඇතුළේ හුන් දෙතුන් දෙනෙක්‌ ඇස්‌ අදහා ගත නොහැකි ඒ දර්ශනය දෙස කුතුහලයෙන් බලා කම්පාවී ඉවත බලාගත්හ. එක අතක්‌ හෝ පහත්කොට විළි වසාගන්නට තැත් කළ හොත් වෙඩි තබන බවට කාමුකයා අනතුරු හඟවා තිබුණද, ප්‍රේමාගේ දකුණත මිනිසුන් ඉදිරියේ ලිහිල්ව පහත් වන්නට විය. ඇය එසේ කළේ ලැඡ්ජාව නොඉවසිය හැකිව මහ හඬින් හඬමිනි.

තුවක්‌කුව පත්තුවිය. ප්‍රේමා මඳක්‌ වැනෙමින් දැතින්ම විළි වසා ගනිමින් මොහොතක්‌ සිට ඇද වැටී ඇඹරුනාය. නිරායුධව නිර්වස්‌ත්‍රව වෙඩි තබා බිම හෙළනු ලැබූ තරුණියට නැවතද තුවක්‌කුව එල්ල විය. වෙඩි හඬ දෙක තුනක්‌ පිටවිය. ලේ ගලාගෙන ගියේය.

තුවක්‌කුව පහත් විය. බර සපත්තු හඬ ක්‍රමයෙන් තුනී වී ගියේය. තමන්ගේම ලේ ගංගාවේ වැතිරහුන් ප්‍රේමා පළමුව කකුලක්‌ සොලවා, දෙවනුව අතක්‌ ඔසවා, ඇස්‌ හැරබලා නැගීS සිටින්නට තැත්කොට නොහැකිව දෙදණින් සිටිගෙන හෝටලය දෙස බැලුවාය. හෝටයත් හෝටලය රැඳුණු කතරගම නගරයත්, තමන් වටා කැරකෙන්නාක්‌ මෙන් ඇයට දැනිණි. ලේ පෙරමින්, අඩියක්‌ දෙකක්‌ දණගාගෙන ඉදිරියට ගෑටූ අසරණිය තමන්ට වතුර අවශ්‍ය බව කොඳුරා නැවත ද බිම ඇද වැටුණාය. ඇගේ දැස්‌ අහස දෙසට යොමුවී තිබිණි. ලෝකය රවුමට රවුමට කැරකෙයි. පිරිමි ළමයෙක්‌ ජෝගුවකට වතුර ගෙන ප්‍රේමා දෙසට බයෙන් ගමන් කරමින් සිටියේය. ගිනියම් පොළොවේ වැතිර දැඩි හිරුරැස්‌ පෙරෙන අහස දෙස බලා සිටින ඇයට මිනිස්‌ කටහඬ පමණක්‌ ඇසෙයි.”

”ඔහෙ මැරිච්චාවේ. වතුර දෙන්න එපා. දුන්නොත් දුන්න එකාටත් වෙඩි තියෙනවා.” රළු හඬ ඇයට ඈතින් ඇසිණි.

”පව්, මේ මොන අපරාධයක්‌ද?” හෝටලය ඇතුළතින් ඇසුණේය. වතුර ගෙනා පිරිමි ළමයා වතුර භාජනයද රැගෙන ආපසු හෝටලය තුළට දිව්වේය.

ප්‍රේමා වැඩිවැඩියෙන් වෙව්ලුවාය. වියළි උගුරින් ගිනි පිටවෙන්නාක්‌ මෙන් ඇයට දැනිණි. දැඩි අව් රශ්මියට රත් වූ ඇගේ රුධිරය, උණ්‌ඩ වලින් හිල් වූ තුවාල කටවල් තුළින් නිදහසේ ලේ ගලා ගියේය. දෙඅත් දෙපා අප්‍රාණික වුවත් ඇගේ සිහිය තවමත් විකෘති වී නැත. ඇයට සිහින් අඩි ශබ්දයක්‌ ඇසිණි. බර සපත්තු අඩි ශබ්දයක්‌ නොවේ. ඈ ඇස්‌ ඇරියාය. කඳුළින් පෙළුණු දෑස තුළින් ඇය දුටුවේ මිනිස්‌ රුවක ඡායාවක්‌ පමණි.

”මෙන්න වතුර බොන්න” දෙඅත් වාරු නැති තරුණිය කට ඇරියාය.

මිනිසා සෝඩා බෝතලයකට පුරවන ලද ඇල් වතුර ටිකින් ටික ඇගේ උගුරට වත් කළේය. ඒ වැටෙන වතුර දිවඔසුවක්‌ මෙන් ඇයට දැනිණි. පළමු වතුර බෝතලය කෙළවර විය. දෙවෙනි වතුර බෝතලයට ලැබෙන විට ඇගේ දෙඅතට වාරු ලැබී තිබුණු හෙයින් ඇය දෝතින් ම රැගෙන වතුර බොන්නට වූවාය. තුන්වෙනි බෝතලයෙන් භාගයක්‌ බී එය සෙමින් බිම තබා තමන්ට වතුර දුන් මනුෂ්‍යයා දෙස කෘතඥතාවයෙන් බැලුවාය. ඒ ඇලඩින්ය. ඔහු දුටු සැණින් ඇයට ඇගේ මවත් පියාත් සහෝදර සහෝදරියනුත් සිහිපත්ව හැඬුම් ආවේය. ඇගේ ශාරීරික වේදනාවද ඇට පලාගෙන අනතුරුව මතු වූයේය. වේදනාව නොඉවසිය හැකිවු ඈ දරුණු ලෙස දඟලන්නට වූවාය.

සපත්තු අඩි ශබ්දයක්‌ නැවතත් ඇසුණේය. ප්‍රේමා සිටියේ නොඉවසිය හැකි වේදනාවකින් දඟලමින් හෙයින්, ඒ හඬ ඇයට නොඇසෙන්නට ඇත. හෝටලය ඇතුලේ සිටියෝ තව තවත් ඇතුළට රිංගා ගත්හ. තරුණියට අඩි හයක්‌ හතක්‌ ළංවන තෙක්‌ පැමිණි සපත්තු හඬ නැවතිණි.

එස්‌. එම්. ජී. තුවක්‌කුකට තරුණියගේ පපුවට එල්ලවිණි. එක පිට එක වෙඩි හඬ දෙක තුනක්‌ පිටවිය. වේදනාවෙන් දඟලමින් හුන් තරුණිය නිහඬ වූවාය. බිම දිගේ කැටී ගැසී තිබූ ලේ උඩින් නැවතත් අලුත් ලේ ගලා ගියේය. මහ පොළවේ හතර රියන් වළක්‌ කැපී අවසාන වනතෙක්‌ ප්‍රේමවතී මනම්පේරි නොසැලී උන්නාය. නිහඬව වැටී සිටි ආකාරයත්, තෙවරකට ඇගේ සිරුරට ඇතුල් කරන ලද උණ්‌ඩ ප්‍රමාණයත් නිසා ඇයට ප්‍රාණයක්‌ තිබෙන්නට ඉඩක්‌ ඇතැයි කිසිවෙක්‌ නොසිතූහ. එහෙත් තරුණියට පණ තිබෙන බවත්, ඇය හුස්‌ම ගන්නවා පමණක්‌ නොව සිහින් හඬින් කෙඳිරි ගාන බවත් ඇය වළ දමනු සඳහා දෑතින් හා දෙපසින් එල්ලා ගෙන වළ සමීපයට ගෙන යද්දී ඇලඩින් තේරුම් ගත්තේය. දෙපා අල්වාගෙන ඉදිරියට හැරී ඉදිරියෙන් යන පෙරුමාල්ට ඔහු කතා කළේය.

ඒයි කෙල්ලට පණ තියෙනවා. කුකුල් දෙක අඹරවල අල්ලන්න එපා මිනිහෝ.

”තමුසෙට පිස්‌සු” පෙරුමාල් පසුපස හැරී බලන්නවත් නොවෙහෙසී කීවේය.

ඇලඩින් තරුණිය ප්‍රවේශමෙන් බිම තබා ගැහෙන හදවතින් යුතුව ඇය පරීක්‍ෂා කළේය. ඈ උගුරෙන් ගොර ගොර හඬක්‌ පිටකොට ලේ තලියක්‌ වමනය කොට, කෙඳිරි ගා ඇස්‌ ඇරියාය. ඇලඩින් ඇය ඉදිරියේ විය. ඔහුගේ දැස්‌ කඳුළින් පෙඟෙයි. ඔහු බැඳී සිටියේ නින්දිත රාජකාරියක්‌ ඉටු කිරීමටය.”

”මාමෙ ……..” ප්‍රේමා අතිශය දුබල හඬින් ඇලඩින් පුදුමයට පත්කරවමින් කතා කළාය. සිත් වේදනාව නිසාම තරුණිය දෙස නොබලා කඳුළු පිරි දෙනෙතින් කතරගම දේවාලය පැත්ත බලා සිටි ඇලඩින් වහා ප්‍රේමා දෙස බැලුවේය.

”මාමෙ මගෙ කරාබු දෙක ගලවාගෙන මගෙ අම්මට දෙන්න මාමේ. නංගිට දෙන්න කියලා අම්මට දෙන්න. මේක මගෙ කරුමේ. පණපිටින් මාව වළදාන්න දෙන්න එපා. ආයිත් වෙඩි තියන්න කියන්න. එත කොට මාව මැරේවි. මං කා එක්‌කවත් තරහ නෑ. මට වතුර ටිකක්‌.”

”ඇලඩින් කොතරම් සසල වූයේද යත්, තමා කළ යුත්තේ කුමක්‌දැයි නිශ්චය කරගත නොහැකිව, වරක්‌ දේවාලය පැත්ත බලා තව වරක්‌ හමුදා කඳවුර දෙස නෙත් යවා වම් ඇසේ කඳුළුÊපිස දමමින් පාරට බැස්‌සේය.

ඇලඩින් ගෙනා වතුර පෙරුමාල් ප්‍රේමාගේ කටට වක්‌ කරද්දී ඇලඩින් නැවතත් ආපසු දිව්වේය. රයිපල් කාරයෙක්‌ ආවේ දුවගෙනය. පෙරුමාල් බයෙන් මෙන් වතුර භාජනය පැත්තකට කර හිස නැමුවේය.

ප්‍රේමා නැවතත් ගොර ගොර හඬ නගයි. පැත්තකට හැරී තිබූ ඇගේ හිසට රයිපලය එල්ලවිය. පෙරුමාල් ඉවත බලා ගත්තේය. වෙඩි හඬ ඇසිණි. ප්‍රේමාගේ සිරුරේ හිල් නොකළ එකම තැන වූ හිස ද ඔවුන් හිල් කළ හෙයින් හිසින්ද ලේ ගලා ගියේය.

දෑත් පිටුපසට බැඳගෙන වළ සමීපයට එන ඇලඩින්ට ආපසු යන තුවක්‌කුකාරයා මුණ ගැසුණේය.

”පලයන් ගිහින් වළදාපන් ඒකි ආයිත් හෙළවෙන්නේ නෑ.”

අප ඉහතින් දැක්‌වූයේ ප්‍රේමවතී මනම්පේරි තරුණියගේ අවසන් හෝරාව මෑතදී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගත්කරු ජයසේන ජයකොඩි ශූරින් විසින් නඩු වාර්තා ඇසුරින් හද සසල වන ආකාරයෙන් සිය පෑන් තුඩට හසුකරගෙන තිබූ අන්දමයි.

ඔහු සිය සටහන අවසන් කොට ඇත්තේ මෙසේය.

අවිනීතයෝ අවනීතියක්‌ ක්‍රියාත්මක කොට සිංහල බෞද්ධ සංස්‌කෘතියෙන් හදා වැඩූ ශ්‍රේෂ්ඨ තරුණියක විනාශ කර දැම්මෝය. ඈ කිසිවෙකුටවත් ශාප නොකළාය. නොඉවසිය හැකි අපහාස නොවිඳිය හැකි දුක්‌ තනිවම විඳදරාගෙන මළාය. කාමුකයන්ගේ ම්ලේච්ඡ කාමාශාවන් සංසිඳවා ගැනීමට ඇය ඉඩ දුන්නේ නම් ඇයට මෙවැනි රුදුරු මරණයක්‌ අත්වන්නට ඉඩක්‌ නොතිබෙන්නට තිබිණි.

ඈ චරිත ශක්‌තිය එළැඹෙන රුදුරු මරණයට වඩා අගය කළාය. චරිත ශක්‌තිය හා බෝධි සත්ව ගුණය නිසා ඇය අපගේ ගෞරවාදරයට පාත්‍රවෙයි. එවන් ශ්‍රේෂ්ඨ තරුණියක්‌ විනාශ මුඛයට හෙළීම ගැන ආවේගයක්‌ මතුවෙයි. ශික්‌ෂණයෙන් පමණක්‌ නොව, මාතෘ භතෘ ප්‍රේමයෙන් බැඳී ගිය බැතිසිත් ඇත්තියක හෙයින්ද ඇගේ දුක්‌ඛදායක කතා පුවත අසන අපගේ හදවත් තවත් සැලෙයි.

සාමාන්‍ය තරුණියක්‌ මෙම ඉරණමට මුහුණපෑවා නම් ඇය බියට පත්වී ක්‌ලාන්ත වනු ඇත. එසේ නැතිනම් පළමු වෙඩි පහර එල්ලවූ විට ජීවිතදානය ඉල්ලා කෑ ගසනු ඇත. මෙවැනි අවස්‌ථාවකට මුහුණ දුන් විට සමහරුන්ට මරණ බය නිසාම මළ මුත්‍ර පහවේ. එහෙත් තෙවරක්‌ වෙඩි තබන තුරු ප්‍රේමවතී මනම්පේරි තරුණිය අභීතව එයට මුහුණදුන්නාය.

ඇය කැරලි නායිකාවක්‌ නම් ඒ අවස්‌ථාවේ විප්ලවීය සටන් පාඨ හඬ නැගීමට ඉඩ තිබිණි. එහෙත් කැරැල්ලට කිසිදු සම්බන්ධයක්‌ නැති ඇය ”මේක මගේ කරුමෙ. මං කා එක්‌කවත් තරහ නෑ” යනුවෙන් මිය යන මොහොතේදී පැවසීමෙන් පෙනී යන්නේ බුදු දහම මගින් හික්‌මවනු ලැබූ ඇගේ චරිතයයි. මේ නිසා ඇය නොබියව මරණයට මුහුණ දුන් අභීත දියණියක ලෙස ඉතිහාසයට එක්‌වනු ඇත.

* දයා ලංකාපුර- Divaina.com

මේ වගේ වටිනා ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණමයි