අද අගුපිලක අනාථයෙක්‌ වූ ජනපති ජේ.ආර්ගේ ටේලර්ගේ කතාව

* එළීනා ජයවර්ධන මැතිණියට ඇඳුම් මැහුවෙ
වෝඩ් පෙදෙසේ ගෙදර නැවතිලා…

* ජෝර්ඡ් රාජපක්‍ෂ පවුලේ ටේලර් කම කළා…

* 83 ජුලි කලබලේ වෙලාවෙ ඡේ. ආර්. මහත්තයා
මං ගැන බලන්න කදිරේෂන් වීදියට ආවා…

76 හැවිරිදි කදිරවේල්ගේ දැස්‌ හිඳුන ළිං පතුල් දෙකක්‌ බඳුය. කලක්‌ රජ සිටු මැතිවරු සෙවනේ කල්ගත කළ ඔහුගේ තනිය පිණිස මේ වනවිට ඉතිරිව ඇත්තේද තනිකම පමණක්‌ය. ඔහු මේ වනවිට ජීවිතයේ සැන්දෑව ගත කරමින් සිටින අතර එයද ගෙවෙමින් පවතින්නේ කොළඹ 13 කදිරේෂන් වීදියේ දුප්පත් අගුපිලකය.

මෙලොව තමන්ගේ යෑයි කිසිවෙකු නැති තමන්ට යෑයි කිසිවක්‌ නැති කදිරවේල් සතුව ඇත්තේ වැරහැලිව ගිය රෙදිකඩමල් කීපයක්‌ සහ සිලිකවරයක බහාලන ලද දුර්වර්ණව ගිය ලිපි ලේඛන කීපයක්‌ පමණකි. එයද අතීතය ස්‌මරණය කිරීම සඳහා පමණි.

ඔහු විසින් උපතින් රැගෙනවිත් ඇති අහිංසක කම කොළඹ 13 කදිරේෂන් වීදියේ වසර 76 ක්‌ ජීවත්වන පුද්ගලයෙකු ලෙස කදිරවේල්ට නොගැලපෙන තරම්ය. මේ වන විට ඔහු පත්ව ඇති අසරණකමද ඔහුට නොතරම්ය. රජ ගෙදර සළුපිළි මැසූ කදිරවේල්ගේ සේවය අගයන මෙරට ප්‍රථම විධායක ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා විසින් දෙන ලද සහතිකපත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරපුරේ කීර්තිමත් චරිතයක්‌ වූ ජෝර්ඡ් රාජපක්‍ෂ පවුලේ ඇඳුම් පැලඳුම් නිර්මාණ ශිල්පියා ලෙස එම පවුලේ උදවිය විසින් සිදුකළ ඇගයුම්, හිටපු නාවික හමුදාපතිවරයකු වූ කමාන්ඩර් ටී. වී. හන්ටර් මහතා, මහ බැංකු අධිපතිවරයකු වූ එන්. යූ. ජයවර්ධනයන් ඇතුළු එකල කොළඹ ආශ්‍රිතව විසූ ඉහළම ප්‍රභූවරයන් වරින්වර කදිරවේල්ගේ සේවය අගයා සිදුකළ ඇගයුම් මේ වන විට පවතින්නේද කදිරවේල් තරමටම දුබල දුර්වර්ණ අඩියකය.

අහඹු ලෙස කදිරේෂන් වීදියේදී සිදුවූ කදිරවේල්ගේ හමුවීමත් සමඟ ඔහුත් සමඟ මියයැමට තිබූ රසවත් අතීතයක්‌ද පාදා මතුකර ගැනීමට හැකිවූ අතර එය අනාගතය වෙනුවෙන් ලියා තැබීමේ භාග්‍යවන්තකම අත්විඳිමින් මම ඔහුත් සමඟ කතා බහක්‌ ඇරඹුවෙමි. මද වේලාවක්‌ තුළ මතක අඩිපාර දිගේ අතීතයට ඇවිද ගිය කදිරවේල් වල්බිහිව යමින් තිබූ අතීතයට ගොඩවිය.

“මං… උපන්නෙ ඉන්දියාවේ මහත්තයා. හැබැයි මට මතක මුල් දවසෙ ඉඳල හැදුනෙ වැඩුනේ ලංකාවේ. මං රස්‌සාව ලෙස ඇඳුම් මහන එක කරන්න ගත්තේ අවු. 13 දී. ඒ 1949 කොටුවෙ හයිඩ්‍රාමනී සාප්පුවෙ.

ඒ කාලෙ… කොටුවෙ කාගීල්ස්‌ සමාගමේ වෙළෙඳ සහායිකාවන්ගේ ඇඳුම් මහල තමයි රස්‌සාව හුරුවුණේ. එහෙම අවුරුදු ගානක්‌ රස්‌සාව කළා. එතනදී දැන හැඳුනුම් කම් හදාගත්තා. ඊට පස්‌සෙ මං තනියම වැඩකරන්න ගත්ත. කොළඹ ලොකු ලොකු බංගලාවල නෝනලගෙ ඇඳුම් ඒ බංගලාවලට ගිහින් මහල දෙන එක තමයි ඊට පස්‌සෙ අවුරුදු ගානක්‌ තිස්‌සෙ කළේ. ඒ කාලේ කොළඹ ජීවත්වූ ලොකු පවුල්වල මතයක්‌ තිබුණ ටේලරින් වැඩ කරන්න සිංහල අයට වඩා ඉන්දියාවෙන් ආව අපි දක්‍ෂයි කියලා.

අපි කළේ ඒ අයගේ ඕන එපාකම්වලට අනුව ඒ කාලෙ තිබුණ විලාසිතාවලට ඇඳුම් මහල දෙන එක. අවුරුදු විස්‌සක්‌ විතර එහෙම රස්‌සාව කරද්දී ලොකු ඇඳුරුම්කම් ටිකත් ඉබේම වගේ හැදුන. එදා ඉඳලා අද වෙනකම් මං මේ වත්තෙ තමයි ජීවත් උනේ.

කදිරවේල් දුබල හඬින් ඔහුගේ ගමනේ ඇරඹුම සිහිපත් කළේය. උඩුකය නිරාවරණය වූ කෙසඟ සිරුරින් යුත් කදිරවේල් එකකට එකක්‌ වන්නට ඉදිව තිබූ නාගරික වතු ජීවිත ගත කරන මිනිසුන් සමූහයකට අයත් අගු පිලක්‌ මත හිඳ යළිත් හඬ අවදි කළේය.

ඒ කාලෙ නාවික හමුදාවේ හිටිය හන්ටර් කියල ලොකු මහත්තයෙක්‌. ඒ මහත්තයගෙ නෝනට ඇඳුම් මැහුවෙ මම. ඔහෙම ඉන්න අතරතුරේ තමයි ජෝර්ඡ් රාජපක්‍ෂ මහත්තයගේ පවුලේ ඇත්තන් හඳුනාගත්තේ. ඒක වුණේ හන්ටර් නෝනගේ මාර්ගයෙන්. ඒ දෙගොල්ලෝ හිතවත්. ජෝර්ඡ් රාජපක්‍ෂ නෝන මහත්තයගේ, ජෝර්ඡ් රාජපක්‍ෂ මහත්තයගේ දුවගේ (ඇමැතිනි නිරූපමා රාජපක්‍ෂ) තව පුතෙක්‌ හිටිය එයාගේ ඇඳුම් මැහුවෙත් මම.

බොහොම ගුණ යහපත් උදවිය. ඒ ඇත්තන්ට අද උනත් මාව මතක ඇති. අවු 30 ක්‌ විතර ඒ අයගෙ වැඩ කළේ මම. ඒ කාලේ අංක 25 මල්පාරෙ තමයි ඒ අය පදිංචි වෙලා හිටියෙ. ඒ ඇත්තන්ගෙ ඇඳුම් මහන්න ඕන උනාම මට ටෙලිග්‍රෑම් එකක්‌ එවනව. දවස්‌ ගණන් නතර වෙලා ඉඳන් මම ඇඳුම් මහනව. ජෝර්ඡ් රාජපක්‍ෂ මහත්තයගෙ මරණය දවසෙ මම මුල්කිරිගල ගියා. දවස්‌ දෙකක්‌ නතර වෙලත් හිටිය. ඒ කාලෙ ඒ උදවියට මම එතරම්ම සමීප වෙලා හිටිය.

ඔහොම ඉන්න අතරෙ හන්ටර් මහත්තයයි පවුලෙ උදවියයි රට යන්න තීරණය කළා. ඒ අය ගියේ ඕස්‌ටේ්‍රලියාවට. හන්ටර් මහත්තය මට කිව්වා ඒ අයත් එක්‌ක ඕස්‌ටේ්‍රලියාවට යන්න ලෑස්‌ති වෙන්න, වියදම සේරම ඒ අය දරන්නම් කියලා. ඒ කාලේ මගේ අම්ම ජීවතුන් අතර හිටිය. මට බය හිතුන අම්ම මැරුණ දවසක මට ලංකාවට එන්න බැරිවෙයි කියල. ඒ හින්ද මං ඒ ගමනින් වැළකුණා.

තම මව කෙරෙහි තිබූ අසීමිත ආදරය හේතුවෙන් තමන් වෙත උදාවූ ඉරණම් ගමනත්, මගහරින ලද කදිරවේල්ගේ ජීවිතයට ඉන් වසර ගනනකට ඇවෑමෙන් අපූරු දිනයක්‌ උදාවී ඇත. ඒ හැත්තෑව දශකයේ අග භාගයේ දිනයක්‌ වූ අතර මේ වන විට එම දිනය නිවැරදිව කීමට තරම් කදිරවේල්ගේ මතකය පොහොසත් නැත.

“එතකොට රටේ ජනාධිපතිකම කළේ ඡේ. ආර්. ජයවර්ධන මහත්තය. දවසක්‌ කාර් එකකින් ආපු මහත්තයෙක්‌ කදිරේෂන් වීදියෙ මම පදිංචි වෙලා හිටපු තැන ඉස්‌සරහ කාර් එක නවත්වල මාව සොයාගෙන ආවා. ඇවිත් කිව්වා ජනාධිපතිතුමාගේ පණිවිඩයකටයි ආවෙ. වෝඩ් ප්ලේස්‌ එකේ එතුමගේ ගෙදර යන්න ලෑස්‌ති වෙන්න කියල. ඒ වෙනකොට ජනාධිපතිතුමාගේ නෝනගේ ඇඳුම් මැහුවේත් මගේ ඥතියෙක්‌. හදිසියෙම එයා අසනීප වුණා. ඒ හින්ද තමයි මාව ගෙනිච්චෙ. පස්‌සෙ අසනීපව හිටිය මගේ ඥතිය ඉන්දියාවට ගියා. ටික දවසකින් මිය ගියා.”

ඉතිං කාර් එකේ නැගල මමත් වෝඩ් ප්ලේස්‌ බංගලාවට ගියා. ගියාට පස්‌සෙ ජනාධිපතිතුමාගේ නෝනගෙ “හැට්‌ටයක්‌” මහන්න දුන්න. මම මැහුව. ටික වෙලාවකට පස්‌සෙ නෝන ඇවිත් “ඉතා හොඳයි” කියල ඉංග්‍රීසියෙන් කිව්ව. එදා ඉඳල එතුමියගේ සාරි හැට්‌ට මැහුවෙ මම. එදා ඇතිවෙච්ච දැන හැඳුනුම්කම ඒ ඇත්තො මිය යනකම් තිබුණා. ඒක මහ පුදුම බැඳීමක්‌ මහත්තයෝ…” ඉහළට ගත්ත හුස්‌ම සුසුමක්‌ කොට පිට කළ කදිරවේල් ළය සැහැල්ලු කොට යළිත් හඬ අවදි කළේය.

ඒ ඇත්තන් ළඟ ජාති බේද තිබුණෙ නෑ. මට හොඳට සැලකුව. මට පුරුවැසිභාවය අරන් දුන්නෙත් ජනාධිපතිතුමා. ඡේ. ආර්. නෝනා චාම්කමට හරි කැමතියි. නිතරම තෝර ගන්නේ ඒ වගේ පාට. ඉන්දියාවට ගියාම මට වේට්‌ටි, ෂර්ට්‌ ගෙනත් දෙනව. ඉන්දිරා ගාන්ධි තෑගි කරන සාරි පහුවදාම මහන්න ඕන. එතුමිය හොර බොරු කරන අයට කැමැති නෑ. ගෙදර තියාගන්නෙත් නෑ. එවේලේම පිට කරනවා. මට කවදාවත් වචනයක්‌ කියල නෑ.

දවසක්‌.. බ්‍රිතාන්‍ය රැජින විසින් තෑගි කරපු සාරියක්‌ එදාම මහන්න ඕන කිව්ව. මම මැහුවා. හවස තිබුණ උත්සවයට එතුමිය ඇඳගෙන ගියේ ඒ සාරිය.

හවසක කිව්ව, හැට්‌ට දෙකක්‌ ඕනේ හෙට උදේට, පිට රටකට යන්න තියෙනව කියල. මම රෑ හැට්‌ට දෙකම මැහුව. එහෙම වැඩ කර කර ඉද්දී පාන්දර 3.00 ට ජනාධිපතිතුමා නැගිටල ඇවිත් කිව්ව “කදිරවේල්… ගිහින් නිදාගන්න. නිදි මරන්න එපා කියල. ජනාධිපතිතුමා නැගිට්‌ට හැටියෙ කරන දෙයක්‌ තමයි බංගලාවෙ තියෙන සීවලී හාමුදුරුවන්ගෙ පින්තූරෙට වඳින එක. ඊට පස්‌සෙ තමයි වෙලාව බලන්නේ.

83 ජුලි කලබල වෙලාවෙ යාපනේ මිනිස්‌සු ගොඩක්‌ හිටියෙ ඡේ. ආර්. මහත්තයගෙ ගෙදර. මටත් කිව්ව කරදර තියෙනවානම් එන්න කියල. මට කාගෙන්වත් කරදර වුණේ නෑ. ඒත්… එදා රෑ අටට විතර හමුදා, පොලිස්‌ ජීප් කීපයක්‌ ඇවිත් ගේ ළඟ නතර කළා. ඊට පස්‌සේ ජනාධිපතිතුමා කාර් එකකින් බැස්‌ස. මම ළඟට ගියා. කරදර තියෙනවද ඇහුව. එතුමා ළඟ මහ පුදුම කරුණාවන්ත කමක්‌ තිබුණා. මට කාත් කවුරුත් නැති බව ඒ ඇත්තො දන්නව. ලෙඩක්‌ දුකක්‌ හැදුනම කාර් එකක්‌ එවනව, මට බෙහෙත් අරන් දෙන්න.

කදිරේෂන් වීදියෙ ගෙවල්වලට ඔප්පු දුන්නෙත් ඡේ. ආර්. ජයවර්ධන මහත්තය. මාව තුන්පාරක්‌ එතුමාගේ වියදමින් ඉන්දියාවට යෑව්ව. දවසක්‌ මට කන්න අඳින්න දෙන ගෙදර අය අසනීප වුණා. (මුස්‌ලිම් කාන්තාවක්‌ හා ඇගේ දුව පෙන්වමින්) ඡේ. ආර්. මහත්තය වාහනයක්‌ එවල වත්තල පැත්තෙ හිටපු එතුමගේ දොස්‌තර ළඟට යවල බෙහෙත් අරන් දුන්න.

ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ මුණුපුරාගේ මංගල උත්සවයට එන්න කියල මටත් ආරාධනා කළා. ආදුරුප්පු වීදියේ පල්ලියක තමයි විවාහ ගිවිස ගැනීම සිදු වුණේ. අගමැති ආර්. ප්‍රේමදාස මහත්තයාත් එතනට ආව. එදා බෝම්බ දෙකක්‌ පිපිරුණා. කාටවත් කරදරයක්‌ වුණෙ නෑ.

1999 අවුරුද්දෙ මගෙ එක ඇහැක්‌ පේන්නැතුව ගියා. එතකොට ඡේ. ආර්. මහත්තය ජනාධිපතිකමේ නැහැ. ඒත් වාහනයක්‌ එවල මාව ජයවර්ධනපුර රෝහලට යවල ඇහැ ඔපරේෂන් කෙරෙව්ව. ඒතරම් වටින ගුණයහපත්කම් එතුම ළඟ තිබුණා.

එතුම මිය ගිය වෙලාවෙ මං දවස්‌ හතරක්‌ එහේට වෙලා හිටිය. මගෙ තාත්ත මැරුණ දවසෙ ඇඬුවේ නැති මං ඒ දවස්‌ හතරෙම ඇඬුව මහත්තයො. ඊට ටික කාලෙකට පස්‌සෙ නෝනා මිය ගියාට පස්‌සෙ ඒ සම්බන්ධකම් ඉවර වුණා. ඊට පස්‌සේ තමයි මාව මහපාරට වැටුණෙ….

ජීවිතයේ අන්ත අසරණ අඩියකට පත්ව ඇති කදිරවේල්ට අද උරුමව ඇත්තේ අන් අයගේ සරණය. මොහොමඩ් එර්ෂාඩ් නමැති තරුණයකු කදිරවේල්ගේ බෙහෙත් හේත්, ආහාර පිණිස හැකි පමණින් දායක වෙන අතර ප්‍රදේශයේ බොහෝ දෙනෙක්‌ පටු ජාති ආගම් බේද අතහැර කදිරවේල් යනු ප්‍රදේශයේ සම්භාවනීය පුද්ගලයකු ලෙස දකින්නේය.

බලයක්‌, ධනයක්‌ සහිත යුගයක්‌ කදිරවේල් සතුව තිබී ඇතත් බුදු දහමේ එන පන්සිල් සුරකි හින්දු භක්‌තිකයෙක්‌ විය. කදිරවේල් රජ මැදුරුවල ගෙවූ යුගය නිමාකොට අද මහ මගය. එසේ වීමට හේතුවද ඔහු සතුව ඇත්තේ උණුවන සිතක්‌ වීමය. ගෙවුන යුද සමයේදී පාප මිත්‍රයකු විසින් කදිරවේල් රවටා ඡේ. ආර්. ජයවර්ධන මහතා පරිත්‍යාග කළ ඔහු සතුව තිබූ නිවස උකස්‌ කොට එම මුදලින් විදේශ ගතව ඇත. එහෙත් කදිරවේල් තුළ ඔහු පිළිබඳ ද්වේශ සහගත හිතක්‌ නැත. කදිරවේල් පිළිබඳ මනාව දත් කදිරේෂන් වීදියෙ පදිංචි පෙරියකම් ශ්‍රී ධරන් පවසා සිටියේ තමන්ට වයස අවුරුදු 12 ක සිට කදිරවේල් දන්න හඳුනන බවත්, අරක්‌කු, සිගරට්‌ නොබිව් කිසිවෙකුට වරදක්‌ නොකළ පුද්ගලයකු මේ කදිරේෂන් වීදියේ වේ නම් ඒ කදිරවේල්ම බවත්ය.

“ඒ… කාලේ ජනාධිපති මැදුරේ ඉඳල එන වාහනයක්‌ ගොඩක්‌ දවස්‌වලට අපේ ගෙවල් ඉදිරිපිට නතර කරල තියෙනව. ඒ එන්නේ මෙයාව එක්‌ක යන්න. මුලින් අපිට හිතාගන්න බැරි වුණා. පස්‌සේ තමයි ඇත්ත දැන ගත්තෙ. ඒක අපටත් ආඩම්බරයක්‌ උනාට කදිරවේල් කවදාවත් ඒක ලොකුකමක්‌ විදියට සැලකුවේ නෑ. වයසට ගියත් අපි හැමෝම මෙයාට සලකන්නේ අන්න ඒ මනුස්‌සකමට.” ශ්‍රීධරන් වැඩි දුරටත් පවසා සිටියේය.

කදිරවේල් සතුව තිබුණේ යෑයි බොහෝ දෙනකු පවසන හොඳ හිත අදද ඔහු අතැර නොගොසින් නැත. උප්පැන්න සහතිකයේ දමිළ ජාතිකයකු ලෙස සඳහන් හේ හොඳින් සිංහල බස හසුරවමින් පෙන්වා සිටියේ තම දිවියේ වැඩි කොටසක්‌ ගතකොට ඇත්තේ සිංහල මිනිසුන් ඇසුරේ බවය. අවසන් වශයෙන්ද ඔහුගේ මුවින් පිට වූයේ “ඒ…. මහත්වරු හිටියා නම් තමන්ට මහ මඟ උරුම නොවන” බවය. තමන් එකල සේවය කළ ඇසුරු කළ ඇතැම් තැන්වල එකල සිටි පුංචි නෝනාවරු මහත්වරු අද රටේ ඉහළ තැන්වල වෙසෙන බව හොඳින් දන්නා කදිරවේල් ඒ අය පිළිබඳ සඳහන් කරමින් පවසා සිටියේ මෙවැන්නකි.

මාව ඒ ඇත්තන්ට මතක ඇති. නම කිව්වම මතක්‌ වෙනවත් ඇති. ඒත් ඒ අයට කරදර කරන්න හිත දෙන්නෙ නෑ මහත්තයෝ… ඒකයි… මෙහෙම අගුපිලක ලගින්නේ. පුළුවන්නම් මට පිං පඩියක්‌ හදල දෙන්න උදව් කරන්න”. මා දෙසත් ඡායාරූප ශිල්පි කමල් බෝගොඩ දෙසත් වරින් වර දැස්‌ යොමුකරමින් පිළිතුරක්‌ අපේක්‍ෂා කළ කදිරවේල්ගේ දැස්‌ තුළ ජීවිතේ මහන්සිය පමණටත් වඩා ලිය වී තිබිණි.

දිගු කථාබහකින් අනතුරුව කදිරවේල්ගෙන් ඈත්ව යැමේ හෝරාව එළැඹ ඇත. කොළඹ අහසින් ඉහිරෙන වැහි බිංදු වලින් බේරීමට කදිරවේල්ගේ දුප්පත් අගුපිල ඉඩ මදිය. අපද ඉන්නේ හීන් වැහි දියක තෙමෙමින්ය. එය කදිරවේල්ගේ දුබල සිරුරටත් ඔහුගේ බර දරා සිටින කබල් පුටු කබලටත් ඔරොත්තු නොදෙන තරම්ය. ඔහු මහන්සිය පිරුණ දැසින් අහස දෙස බලමින් සිටී. අටලෝ දහම පිළිබඳ නොසැලෙන මිනිසුන් ගැන කොතෙකුත් අසා ඇත්තෙමි. ඔවුන්ගේ සිතුවිලි පුදුම සහගතය. කදිරවේල් පිළිබඳ උපදින මහා පුදුමය වන්නේද එයමය.

රුවන් ජයවර්ධන – ඡායාරූප – කමල් බෝගොඩ

මේ වගේ වටිනා ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණමයි