රූමස්‌සල මහ වන මැද හිමාලයේ ඔසු උයනක්‌…!

“කළුනික සොයන්නා වාගේ” යන උපමාවෙන් කියවෙන්නේ කිසිසේත් ලබාගත නොහැකි දෙයක්‌ ගැනය. නොඑසේනම් ඉතා අසීරුවෙන් ලබාගත හැකි දෙයක්‌ ගැනය. කළුනික මෙන්ම නිකිනි යන නම්වලින් සංකේත වන්නේද ඉතා දුර්ලභ වශයෙන් ලබාගත යුතු වස්‌තූන් ගැනය. සොයා ගැනීමට අපහසු දෙයකට අපේ ජනවහරේ කියවෙන්නේ “කළුනික” සොයන්නා වාගේ කියාය.

හෙළයේ මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් “කළුනික සෙවීම” යනුවෙන් ග්‍රන්ථයක්‌ද රචනා කොට ඇත්තේය. එහෙත් එම කෘතියේ සඳහන්ව ඇත්තේ අප මේ කියන්නට යන කළුනික ගැන නොවේ.

මාර්ටින් වික්‍රමසිංහ සූරින් විසින් අනුරාධපුරයෙහි හා පොළොන්නරුවෙහි නටබුන් වස්‌තු අවුරුදු කිහිපයක්‌ තිස්‌සේ නැරඹීමෙන් විමසීමෙන් රැස්‌කරගත් ප්‍රත්‍යක්‍ෂයන්හි පිහිටා සිය කල්පනාව හා ප්‍රතිභාව මෙහෙයවා ඔහු විසින් කළුනික සෙවීම රචනා කොට ඇති බැව් එම කෘතියේ සඳහන් වේ.

මේ කළු නික සෙවීම වූ කලි හිස හැරුණු අත බලා ඇවිදින්නට ගිය මා ඇසූ දුටු දේ නිසා මගේ සිතට නැඟුණු හැඟීම් මහත්කොට කීමට මිස ඇසූ දුටු සැටියෙන්ම කීමට කරන ලද තැතක්‌ නොවේ. කළුනික සෙවීම ග්‍රන්ථයේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් එසේද සඳහන් කොට ඇත්තේය. එහෙත් අප මේ කියන්නට යන්නේ රූමස්‌සල පුරාවෘතය හා බැඳුණු කළුනික ගෙන ඒමේ ජනප්‍රවාදයක්‌ ගැනය.

රූමස්‌සල කඳුවැටියේ අතීතය ක්‍රි. පූ. 3000 ක්‌ තරම් ඈතට දිවයන්නකි. රූමස්‌සල රාවණ යුගයට සම්බන්ධකමක්‌ දක්‌වන බැව් ජනශ්‍රැතිවල සඳහන් වන්නේය. රූමස්‌සල ඔසු උයනක්‌ ලෙසද ප්‍රසිද්ධියට පත්ව තිබේ. ඉන්දියාවේ වාල්මිකීගේ රාමායනය නමැති ග්‍රන්ථයෙන් මෙහි ඉතිහාස කථාව ආරම්භ වන බැව් ජන විශ්වාසයයි.

මෙම ග්‍රන්ථයේ සඳහන් ආකාරයට රාවණා රජු ශ්‍රී ලංකාව රාජධානිය කරගත් බලවත් රජෙකි. එමෙන්ම මෙම රජු යන්ත්‍ර මන්ත්‍ර හා වෛද්‍ය ශාස්‌ත්‍රය පිළිබඳ හසළ දැනුමක්‌ තිබූ රණශූරයෙකි. රාවණා රජු දඬුමොනරය නම් අහස්‌යානයක නැඟී ඉන්දියාවට ගොස්‌ එහි බලවත් රජෙකු වූ රාමාගේ දේවිය වූ සීතා පැහැරගෙන එනු ලැබීය. සීතා දේවියට කිසිදු හිරිහැරයක්‌ අතවරයක්‌ නොකළ රාවණා රජු ඇය ආරක්‍ෂිත ස්‌ථානයක නවතා තබනු ලැබීය.

1මේ අතරතුරේ රාම රජු තම සීතා දේවිය මුදාගැනීම සඳහා යුදසේනාවක්‌ද රැගෙන ශ්‍රී ලංකාද්වීපයට පැමිණියහ. මෙහිදී රාම රජුගේ සහ රාවණා රජුගේ සේනාවන් අතර බිහිසුණු සටනක්‌ ඇතිවිය. මෙම ගැටුමේදී රාම රජු ඉතා බලගතු යුද උපකරණ භාවිත කළ බව සඳහන් වේ.

මෙම ගැටුමේදී රාමාගේ හමුදාවේ සෙබළුන් දහස්‌ ගණනක්‌ මියගිය බව හා බරපතල ලෙස තුවාල වූ බව සඳහන් වේ. මෙය රාම රජුට ඉතා අවාසිසහගත තත්ත්වයක්‌ විය. මෙම මියගිය සෙබළුන්ට ජීවය දීමට සහ තුවාල ලත් සෙබළුන් සුවකිරීම සඳහා පුදුම සහගත ගුණයෙන් යුත් ඖෂධයක්‌ භාවිත කිරීමට රාමා රජු තීරණය කළේය.

මෙම ඖෂධය තැනීම සඳහා අවශ්‍ය වන බෙහෙත් පැළෑටියක්‌ හිමාල කඳුවැටියේ වැවෙන බැව් රාම රජු දැන සිටියේය. එම අතිදුර්ලභ බෙහෙත් පැළෑටිය කළු නික නම් බෙහෙත් පැළෑටියයි. එම බෙහෙත් පැළෑටිය මෙරටට රැගෙනවිත් මෙම ඖෂධය නිපදවා තම සේනාංකයේ සෙබළුන් සුවපත් කිරීමට රාම රජුට අවශ්‍ය විය.

මෙම බෙහෙත් පැළෑටිය මෙරටට ගෙන ඒම සඳහා රාම රජු තෝරා ගත්තේ හනුමන්තාය. හනුමන්තා රාම රජුගේ එක්‌ සේනාංකයක්‌ වන මහා වානර හමුදාවේ රජුට ඉතා පක්‍ෂපාතීව සිටි දක්‍ෂ සෙනෙවියෙකි.

හනුමන්තා කැඳවූ රාම රජු මෙම බෙහෙත් පැළෑටියේ නමද එය වැවෙන හිමාලය කඳුවැටියේ ප්‍රදේශය ගැනද දැනුවත් කොට මෙම බෙහෙත් පැළෑටිය රැගෙන එන ලෙස හනුමන්තාට නියෝග කළේය. හනුමන්තා දක්‍ෂ සෙනෙවියකු වුවද ඔහු විනෝදකාමී සෙල්ලක්‌කාර පුද්ගලයෙකු විය.

මොහු හිමාලය කඳුවැටියට ගියද බෙහෙත් පැළෑටියේ නම හා එය තිබෙන ප්‍රදේශයද අමතක විය. නමුත් රජුගේ අණ ඉටුකළ යුතු නිසා බෙහෙත් පැළෑටිය වැවෙන ප්‍රදේශයෙන් කඳු ශිඛරයක්‌ම කඩාගෙන නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. ඉක්‌බිති රාම විසින් මෙම කඳු ශිඛරයේ ඇවිද කළුනික සොයාගෙන ඉන් නියමිත ඖෂධය සාදා තම සේනාව සුවපත් කළහ.

හනුමන්තා විසින් ගෙන එන ලද කඳු ශිඛරය නැවත රැගෙන ගොස්‌ හිමාලයේ නියමිත තැන තබන ලෙස ඔහුට නියෝග කළද හනුමන්තා එය සෙල්ලම් ගමනින් රැගෙන යමින් සිටියදී ඉන් කැබැල්ලක්‌ උණාවැටුණි.

එය උණවටුන වූ බැව් ජනප්‍රවාදවල සඳහන් වන්නේය. රූමස්‌සල කඳුශිඛරයේ රෝග සුවකිරීමට විශ්මයජනක ශක්‌තියක්‌ ඇති ඖෂධීය පැළ වැවෙන බැව් හින්දු මහා කාව්‍යයක්‌ වන රාමායනයේ සඳහන් වේ.

රාමායනයේ සඳහන් ආකාරයට තුවාල සුව කිරීමට පුදුම සහගත ගුණයෙන් යුත් පැළෑටියක්‌ රූමස්‌සල කන්දේ පැවැති බැව් විශ්වාස කෙරේ. මෙහි අතිශයින් දුර්ලභ ඖෂධ වර්ග විශාල සංඛ්‍යාවක්‌ ඇති බැව් අතීතයේ සිටම විශ්වාසයක්‌ පවතී.

දිවයිනේ අන් කිසිදු ප්‍රදේශයක දක්‌නට නොමැති දුර්ලභ ගණයේ ඖෂධ පැළෑටි මෙහි ඇති බැව් රූමස්‌සල පිළිබඳ නිරන්තරයෙන්ම තොරතුරු සොයා ගවේෂණය කරන පරිසරවේදියකු වන සොබාකෙතේ සේවය කරන ටී. එම්. වික්‍රමපාල මහතා පැවැසීය.

වික්‍රමපාල රූමස්‌සල මෙන්ම කළුනික හා බැඳුණු ජනප්‍රවාද පිළිබඳ හොඳින් දන්නා අයෙකි. ඔහු එම කථාන්දර තම වැඩිහිටියන්ගෙන් අසා දැනගත් බැව් අප සමග කීවේය. “කළුනික” හා බැඳුණු එවැනි තවත් කථාන්දරයක්‌ වික්‍රමපාල අප සමග මෙසේ පැවැසීය.

ඈත අතීතයේදී ගැමියෙක්‌ තම ගවයන් නැතිවීම නිසා එම ගවයන් සොයා රූමස්‌සල කැලය පීරන්නට විය. කැලයේ ගමන් කරමින් සිටි මෙම ගැමියා කැලයේ තිබූ ගසකින් කෙවිටක්‌ කපා ගත්තේය.

ඉන්පසු ඔහු එම කෙවිටද රැගෙන නැතිවූ ගවයන්ද සොයාගෙන තම නිවසට ගියේය. ගැමියා තම නිවසට ගිය විටදී බිරිඳට ඔහු හඳුනාගැනීමට නොහැකිවිය. ගැමියා පියකරු තරුණයෙක්‌ බවට පත්ව සිටියේය. කොටින්ම කිවහොත් ගැමියා තිරිහන් වෙලාය. මොහු නොදැනුවත්ම කෙවිටට කපාගෙන ඇත්තේ කළුනික කෝට්‌ටකි. එම බලයෙන් මොහු තුරුණු වියට නැවත පත්ව ඇති බවට ජනප්‍රවාදයකි.

මෙවැනි ජනප්‍රවාද රාශියක්‌ රූමස්‌සල කළුනික ගස හා බැඳී පවතී. මේ එවැනි තවත් කථාන්දරයකි. රූමස්‌සල කඳුවැටියේ බටහිරට වන්නට පිහිටි ඖෂධ ඇල්ල (බෙහෙත් පීල්ල) ඈත අතීතයේ සිටම රෝග සුවකිරීමේ බලයකින් යුත් දියඇල්ලකි.

මේ බෙහෙත් පීල්ල අසල ඉන්දියාවේ හිමාලයේ සිට පැමිණි තාපසයකු තවුස්‌ දම් පුරමින් මෙහි වැඩ සිට තිබේ. ඔහුට ඇප උපස්‌ථාන කිරීම සඳහා ද පුද්ගලයෙකු මෙහි සිට ඇත. එම පුද්ගලයා කෑම උයනවිටදී දරවලට කළු නික කැබැල්ලක්‌ මිශ්‍රවීම නිසා එම තැනැත්තා තුරුණු වියට පත්ව තිsබේ.

ඖෂධ පැළෑටිවල මුල් සෝදාගෙන ගලා බසින මෙම බෙහෙත් පීල්ලේ ස්‌නානය කිරීම තුළින් විශේෂයෙන්ම සමේ රෝග සුවකිරීමේ සුවිශේෂී වූ බලයක්‌ මෙම ජලතලය තුළ ගැබ්වී ඇති බැව් පිළිගනු ලැබේ.

එමෙන්ම තම ජීව වර්ණය පැහැපත් කර ගැනීමේ හා දීප්තිමත් කෙස්‌ කළඹක්‌ ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් තරුණියන් තම වැඩිහිටියන් සමග විත් මෙම බෙහෙත් පීල්ලෙන් ස්‌නානය කිරීම එකල සිරිතක්‌ වශයෙන් පැවැති බැව් වික්‍රමපාල පවසන්නේය.

වික්‍රමපාල රූමස්‌සල ගැන ඇති තවත් ජනප්‍රවාදයක්‌ අප සමග කීවේය. ඒ මෙහි පිහිටා ඇති බැව් කියන අදෘෂ්‍යමාන පලතුරු උයනක්‌ ගැනය. රූමස්‌සල එකල මහ ඝණ කැළෑවකි. දර කැඩීමට හෝ ඖෂධ සොයා මෙහි පිවිසෙන අයට මෙන්ම කුසගින්නේ පෙළෙන අයට මෙම පලතුරු උයන මුණ ගැසේ.

සෑම වර්ගයකම පලතුරුවලින් මෙම පලතුරු උයන පිරී තිබී ඇත. මෙම පලතුරු උයනේ තමන්ට රිසිපරිදි පලතුරු භුක්‌ති විඳිය හැකි වුවද පිටතට ඒවා රැගෙන යා නොහැකිය. එසේ පලතුරු පිටතට රැගෙන යැමට උත්සාහ කළොත් මාර්ගය නොපෙනී ගොස්‌ නැවත මංමුලා වේ. එම පලතුරු ඉවත්කිරීමෙන් පසු නැවත මාර්ගය හොඳින් දර්ශනය වී කැළෑවෙන් එළිමහනට පැමිණීමට අවස්‌ථාව ලැබෙන බැව් ජනශ්‍රැතිවල සඳහන්ව පවතී.

කෙසේ වුවද රූමස්‌සල ඇති ඖෂධ පැළෑටි පිළිබඳව 91 වසරේදී කරන ලද අධ්‍යයනයකදී ඖෂධ පැළෑටි 150 ක්‌ පමණ මෙම වනයෙන් සොයාගෙන ඇත.

එමෙන්ම මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් රචිත උපන්දා සිට බාලවිය නමැති කෘතියේ ඔහු රූමස්‌සල ගැන මෙසේ සඳහන් කොට ඇත්තේය. “මා ඇසූ කට කථා අනුව රූමස්‌සල හිමාලයෙන් බිඳ වැටුණු කැබැල්ලකි.

එහෙයින් රූමස්‌සල කන්දෙහි සිංහයන් ඇතැයි මම සිතුවෙමි. රාවණා විසින් ලංකාවේ සිර කොට තබනු ලැබූ සීතාගේ වුවමනාවක්‌ උදෙසා හනුමා හිමාලය උස්‌සාගෙන ආවේය. සීතාට වුවමනා කොළ, මුල් ගත් පසු හනුමා හිමාලය තිබුණු තැනට වැටෙන සේ විසිකරද්දී කෑල්ලක්‌ ලංකාවෙහි වැටිණි. රූමස්‌සල හනුමාගේ ඒ වික්‍රමයට දෙස්‌ කියන්නකි”.

ලලිත් චාමින්ද

මේ වගේ වටිනා ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණමයි