උඩරට මැණිකේ දුම්රිය මැදිරියක චාල්ස්‌ ඩාවින්…..!

මම නුවරඑළියේදී කොළඹ බලා දුවන උඩරට මැණිකේ දුම්රියේ තුන්වැනි පන්තියේ මැදිරියකට ගොඩ වීමි. එම මැදිරිය තුළ පණ ඇති එකෙකුට සිටියේ මා පමණි. අධික ශීතලෙන් බේරීමට ලොමින් වැසුණු ලෝගුවද ලාගත් මම සිගරැට්‌ටුවක්‌ද දල්වා ගතිමි. සිගරැට්‌ බොන්නන්ට හැම විටම ද්වේශ කිරීමට පුරුදුව සිටි මා පළමුවරට සිගරැට්‌ටුවක්‌ දල්වා ගත්තේද ඔරොත්තු නොදෙන හීතලය නිසාය.

දුම්රිය පිටත් වීමට තව විනාඩි කීපයකට වඩා නැත. සුන්දර කඳුකරයේ මනස්‌කාන්ත දර්ශනයන්ගේ රසය උරා බොමින් උඩරට මැණිකේගේ තුරුලේ උණුසුමින් රසවත් වෙමින් නිදහසේ කොළඹට යා හැකියෑයි සිතා මම සැනසුණෙමි. ප්‍රීති වුණෙමි. ආසනය මත අතපය දිග හැර පොඩි හාන්සියක්‌ දැමුවෙමි.

උඩරට මැණිකේ මිහිරි නළා හඬ නඟමින් සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදීමට සැරසුනා පමණි. කවුදෝ දඩිබිඩියේම බර පෙට්‌ටියක්‌ද අමාරුවෙන් උසුලා ගෙන මා සිටින මැදිරියට ගොඩ විය.

“මදෑ නිදහසේ යන්නට හිතා ගෙන සිටි හැටි” මට ඔහු කෙරේ ඇති වූයේ ද්වේශයකි. කෙමෙන් ඇදෙන දුම්රියට කාඩ්බෝඩ් පෙට්‌ටියද උසුලාගෙන අමාරුවෙන් නඟින ඔහුට මා බැල්මෙන් පවා උපකාරයක්‌ නොකරන්නට සිතා සිටියත් හදවත තුළ මතුවූ ඒ ගොරහැඩි බව යටපත් කරගෙන මතුවූයේ අනුකම්පාවකි.

යුරෝපීය ඇඳුම් කට්‌ටලයකින් සැරසුණු ඔහුගේ මුහුණේ පිළිබිඹු වී ඇත්තේ දාර්ශනිකයකුගේ හෝ විද්‍යාඥයෙකුගේ සේයාවකි. මම කෙළින්ම ඔහුගේ මුහුණ දෙස බැලීමි. පැසුණු දිග රැවුල අතරින් ඔහු පණ්‌ඩිත සිනාවක්‌ මතු කළේය. හිස පුරා පැතිරී ගිය තට්‌ටය නිසා ඒ පාණ්‌ඩිත්‍ය වඩාත් කැපී පෙනිණ. කාඩ් බෝඩ් පෙට්‌ටිය මගේ ආසනයට ඉදිරියෙන්වූ ආසනය අසලට ඇද ඔහු මා ඉදිරියේ මුහුණට මුහුණලා වාඩි විය.

උඩරට මැණිකේගේ ගමන් වේගය ක්‍රම ක්‍රමයෙන් දෙගුණ තෙගුණ වෙයි. මම අමුත්තා දෙස වරින්වර හොරැහින් බලමි. ඔහු ඔහේ පාඩුවේ නොයෙකුත් වැඩවල යෙදෙයි. සාක්‌කුවෙන් ගත් සිගරැට්‌ ටින් එකක්‌ මා ඉදිරියේ වූ මේස පියන මත තැබූ ඔහු නැවත ටිකක්‌ කල්පනා කළේය.

ඊළඟට ඔහු කළේ උස වීදුරු දෙකක්‌ ගෙන ඒවාද ඒ මත තැබීමය. සාක්‌කුවෙන් රට ගිනි පෙට්‌ටියක්‌ (ලයිටරයක්‌) ගෙන සිගරැට්‌ටුවක්‌ දල්වා ගත් ඔහු ලයිටරය හා පොකැට්‌ටුවක්‌ද මේස පියන මත තබා මා සිටි තැනින් නැඟිට වැසිකිළි කාමරය දෙසට පියවර මැන්නේය.

ඔහු පුදුමාකාර පුද්ගලයෙකි. මේසය මත තබාගිය පොකැට්‌ටුවේ මුදල් ඇතුවාටද සැකයක්‌ නැත. මේසය මත තබා ඇත්තේ බීර බෝතල් දෙකකි. තවත් බීර බෝතල් කීපයකින් පෙට්‌ටිය පිරී ඇති අයුරු මම දුටිමි. මම දෑස්‌ පියා ගතිමි. ඔහු ආපසු එන අඩි ශබ්දය ඇසෙයි.

“මහත්තය… මහත්තය…” ඒ ඔහුගේ ගොරෝසු කට හඬ විය හැකිය. මම දෑස්‌ අවදි කළෙමි.

“මහත්තය කරදර කළාට සමාවන්න.” ඔහු කතා කළේ ඉංග්‍රීසියෙනි. මම සාවඥ ලෙස සිනාසුණෙමි. ඔහු මා ඉදිරියේ වාඩිවී බීර බෝතල් වලින් මූඩි නිදහස්‌ කර උස වීදුරු දෙක උතුරා යන්නට බීර වත්කළේය.

“ගන්න මහත්තය එකක්‌ෘ” ඔහු දෙවැනි සිගරැට්‌ටුවද දල්වාගෙන සිගරැට්‌ ටින් එක මා වෙත පෑවේය.

“ස්‌තූතියිෘ” මම සිගරැට්‌ටුව ගතිමි.

මං බොන්නේ නැහැ, ඔහුට කීවෙමි.

මාත්… එහෙම තමා ඒත් කොහොමද මේ හීතලේ යන්නෙ?

බීර වීදුරුවෙන් උතුරන පෙණ බුබුළු වීදුරුව වටා පෙරෙයි. මගේ අධිෂ්ඨාන සීලය බිඳිණි. දැන් වීදුරුව මගේ සුරතේය. මම බීර මත් වතුරක්‌ නොවන බවට සිතින් කරුණු පෙළ ගස්‌වන්නට වූයෙමි.

මිනිස්‌ සිත දමනය කිරීම කුළු හරකකු මෙල්ල කරන්නක්‌ වැනියෑයි, කී කතාව මට සිහිවිය. මම පරාජය වීමි. බීර වීදුරුව උගුරෙන් පහළට ගලා බසී. අනතුරුව අපි සුහද මිතුරන් වීමු.

“ඔබ කොහෙ ඉඳලද එන්නෙ?”

“ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න බැහැ. මම දැන් යන්නේ කොළඹ, කොළඹින් තවත් හැතැප්ම දහස්‌ ගණනක්‌ යන්න තියනව. කොහාටද කියල අහන්න එපා. කොහෙන්ද ආවේ කියලත් අහන්න එපා”.

ඔහුගේ ඒ පිළිතුරෙන් මම බිරාන්ත වීමි.

උඩරට මැණිකේ කඳුකරය දෙදරවමින් දුවයි. මිහිදුම් පටල පරිසරය බදා ගෙන ඇත. මම නැවත නිහඬතාව බින්දෙමි.

“ඔබ කොහෙ ඉඳලද එන්නෙ? නම කියන්න පුළුවන්ද? මම කැමතියි ඔබව අඳුන ගන්න.”

“වැඩි ප්‍රශ්න අහන්න එපා, මගෙ නම ඩාවින්, ජීව විද්‍යාඥ – චාල්ස්‌ ඩාවින්.”

මම පුදුමයට පත්වීමි.

“මොනවා ඩාවින්? එයා නේද අර වානර සත්ව පරපුරේ ප්‍රභවය මිනිසා බව කියල තියන ප්‍රාඥයා”. මම විමසුවෙමි.

“ඔව්. ඔව්, මං තමා එහෙම කිව්වෙ. ඔහු ඇහිබැම නළලට ගත්තේය.

“අනේ මන්ද මට නම් ඔය කියමන විශ්වාස කරන්න තරම් සාධක මදි.” ඩාවින් මහ හඬින් ඉංග්‍රීසියෙන් ගොරවා මගේ මුහුණට කඩා පැන්නේය.

“මිනිසා වානර සත්ව පරපුරෙන් පැවත එනවා කියල තමුසෙ කියනවා නම් උගෙ වලිගෙට මොකද වුණේ ඕයි…?

මම ද වේගවත්ව විමසුවෙමි.

ඩාවින් දීර්ඝ දේශනයකට සැරසුණේය.

“වඳුරු, රිලා, චින්පන්සි, බැබුන්, ඔරංඋටන් වගේ සත්තු තමුසෙ දැකල ඇති. තමුසෙ ලංකාවෙ මිනිහෙක්‌ නේ…?

මම දුම්රිය කවුළුවෙන් පිටතට දෙනෙත් යෑවීමි. පාළු ගාලක්‌ තුළින් මතුවූ වඳුරු රංචුවක්‌ මහ හඬ නඟමින් දුවන උඩරට මැණිකේ දෙස බලා නිකට කසන්නට වූහ. කීප දෙනෙක්‌ වලිග උස්‌සාගෙන බිම දිගේ දුව යති.

“ඔය වානර සතුන්ට දිග වලිගයක්‌ ඇතිවුණේ මොකටද දන්නවද? ශරීරයේ සමබරතාවත් ශක්‌තියත් ආරක්‍ෂා කර ගෙන ගහකින් ගහකට පනින්න පහසුවෙන්න, ඒත් ක්‍රම විකාශනය අනුව ඌ ගස්‌ උඩ යැම ක්‍රමයෙන් අඩු කරන්න පටන් ගත්ත. තමුසෙ දන්නවද? සංස්‌කෘතික ගැටීම කියන එක?”

“ඔව්. ඔව්… නැතිව….”

“ඒ සංස්‌කෘතික ගැටීම අනුව මිනිහගෙ පැවැත්ම නොයෙක්‌ ආකාරයෙන් වෙනස්‌ කර ගත්තා වගේම සත්වයන් තරමක්‌ දුරට හිතාමතා ගස්‌ වලින් බැහැල බිම ගමන් කරන්නට වුණා. එච්චර විතරක්‌ නොවෙයි, හොඳ හැටි කොන්ද කෙළින් කරල කකුල් දෙකෙන් පමණක්‌ එළිමහනේ සංචාරය කරන්න වුණා. ඒක සමහර විට උන්ට එක්‌තරා විනෝදයක්‌ ගෙන දෙන ගමන් තාලයක්‌ වෙන්නටත් ඇති.”

“ඒ මොනවා වුණත් ඒකෙන් වුණේ උගේ දිග වලිගයෙන් ප්‍රයෝජනයක්‌ නැති වීමයි. කකුල් දෙකෙන් ඇවිදින විට දිග වලිගය බිම ගෑවීම ඌට හරි කරදරයක්‌ වුණා. අනෙක්‌ කාරණය බොරළු පොළොවෙ වලිගය ඇතිල්ලීම ඒක ක්‍රමයෙන් ගෙවී යැමටද හේතුවක්‌ වුණා.”

ඔහේ අදවත් දැන ගන්නව ප්‍රයෝජනයක්‌ නැති කිසිම අවයවයක්‌ මිනිස්‌ සිරුරේ තබා වෙනත් කිසිම සිරුරක පිහිටන්නෙ නැති බව. ඒ නිසා ක්‍රමයෙන් වානර වලිගය කෙටි වී ගොස්‌ අන්තිමේදී නැත්තටම නැතිවුණා.”

“මේ අතර තවත් සිද්ධියක්‌ ඇතිවිය. ඒ තමා වානරයන්ගෙ මනස ක්‍රමයෙන් දියුණු වීම. ඒකෙන් සිද්ධ වුණේ උන්ගේ ජීවිතයට ල-ජාව – බිය බලපෑම. ඒ නිසාම ඔවුන් විළි වසා ගන්නට කොළ අතු නැත්නම් වෙනත්, රෙදිකඩක්‌ වගේ දෙයක්‌ පාවිච්චි කළා.

මේ නිසා ශරීරය පුරා පැතිරුණු ලොම් වලින් ප්‍රයෝජනයක්‌ නැතිව ක්‍රමයෙන් හැලී යන්නට වුණා. මේ න්‍යායට අනුව ප්‍රයෝජනයට නොගන්නා සෑම අවයවයක්‌ම අහෝසි වෙලා වානරයා වර්තමාන මිනිසා දක්‌වා ලොකු විපර්යාසයන්ට හසුවෙමින් හැඩ ගැසුණා.

ඩාවින්ගේ දේශනයට මම හරස්‌ කැපුවෙමි.

“ඔහේගෙ නිගමනය ඒකද? පුදුමයි. මටනම් හිතන්නවත් බැහැ. හොඳයි එදා ඉඳලා අද දක්‌වාම මිනිස්‌ සිරුරෙ ඔය කියන විදිහට පුදුම විපර්යාසයක්‌ ඇති වුණා නම් අපේ අනාගතය කොහොම වෙයිද?” මම තවත් ප්‍රශ්නයක්‌ නැඟීමි.

“අන්න ඒක ගැන තමයි මම දැන් පර්යේෂණ පවත්වන්නේ”.

“ඉතින් ඔබ ඒ වැඩේට මේ ලංකාවම තෝරා ගත්තේ?”

“ලංකාවෙ හැම සංස්‌කෘතියකම මිනිස්‌සු ඉන්නව. මේ රටේ සංස්‌කෘතික හැඟීම් වගේම සංස්‌කෘතික ගැටීම් වැඩියි. අද නවීන විද්‍යා තාක්‍ෂණ දියුණුවත් එක්‌ක මිනිසා හැම මොහොතකම පහසුම ජීවන පැවැත්මක්‌ අනුව කාලය ගත කිරීමේ ක්‍රම අනුගමනය කරනව. අංශුවක තරමේ ශ්‍රමයක්‌ පවා වැය නොකර ජීවිතය බොහොම සැහැල්ලු ලෙස ස්‌වයංක්‍රීයව ගත කිරීම තමයි කොයි මිනිහාගේත් ආශාව.”

“ඈත අතීතයේ වගේ සැතපුම් සිය ගණනක්‌ පයින් ගමන් කරණු මිනිස්‌සු අද ඉන්නවද කියල හිතල බලනවා. ඒ සඳහා යාන වාහන ඕනෑ තරම් අද තියනවා. නිවාස තුළ එහෙ මෙහෙ යැමට පවා දෙපා පාවිච්චි නොකර කුඩා රෝද සවි කිරීමෙන් හෝ වෙන යම් ක්‍රමයකින් හෝ ස්‌වයංක්‍රීයව ගමන් කිරීමේ ක්‍රමයක්‌ අනාගතයේදී නිපදවීමට පවා බැරි නැහැ. එවිට මිනිසාගේ දෙපාවලින් ප්‍රයෝජනයක්‌ නැතිව යනවා. එහෙම වුණොත් වානර වර්ගයාගේ වල්ගය අහෝසි වී ගිය න්‍යාය අනුවම මිනිසාගේ දෙපා එක්‌තරා ක්‍රමයකට වෙනස්‌ වනවා.”

“මිනිස්‌සු දෑත් වලින් ගන්නා ප්‍රයෝජනත් අද ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. බර ඉස්‌සීම – ඇල්ලීම – ඇදීම – තෙරපීම වගේ ක්‍රියාකාරකම් වලට අද මිනිසා වැඩි ශ්‍රමයක්‌ වැය නොකරන අතර එය තවත් අඩු කිරීමේ ක්‍රම උපක්‍රම සොයා බලනවා. සමහර විට අනාගතයේදී මේ සඳහා තමාගේ කිසිම ශරීර අවයවයක්‌ නොයෙදීමේ ක්‍රම උපක්‍රම සොයා ගන්නත් ඉඩ තිබෙනවා.

“කෙනෙකුට ඕනෑ කරන දෙයක්‌ අත් පාවිච්චි නොකර එක්‌තරා ආකර්ෂණ ශක්‌තියකින් තමා වෙතට ළංකර ගැනීම, කන බොනදේ සඳහා පවා අතින් ප්‍රයෝජන නොගෙන කෙළින්ම භාජනයෙන් කටට පාවීමේ ක්‍රමයක්‌ සොයා ගැනීමටත් බැරි නැහැ. එහෙම වුණොත් අනාගතයේදී මිනිසාගේ අත් වලින් ප්‍රයෝජනයක්‌ නැතිව ගොස්‌ අත්වල හැඩය වෙනස්‌වීම හෝ නැත්තටම නැති වී යැම සිකුරුයි.”

“සාමාන්‍යයෙන් මිනිස්‌ වර්ගයාගේ ඇඟිලි දික්‌ව පුරුක්‌ නැමිය හැකි වන සේ නිර්මාණය වී ඇත්තේ යමක්‌ තරයේ අල්ලා ගැනීමේ පහසුවට ඇඟිලිවලින් ඔහු නියම ප්‍රයෝජනය ගන්නේ නැති නිසා තව අවුරුදු දහස්‌ ගණනක්‌ ඇතුළතදී ඒ දිග ඇඟිලි ක්‍රමයෙන් කෙටි වී ගොස්‌ අනාගතයේදී නැත්තටම නැති වී යනවා.”

ඩාවින් මඳකට කතාව නවතා නැවත අසුන මත වාඩි විය. ඔහුගේ කතාව අනුමත කිරීම හැර මට වෙන කළ හැකි දෙයක්‌ නොවීය. මම දුම්රිය කවුළුවෙන් පිටත බැලුවෙමි. මුළු ලෝකයම බඹරයක්‌ මෙන් භ්‍රමණය වන්නාක්‌ මෙන් මට දැනෙයි. නිල්වන් කඳුකරය පසු කරමින් උඩරට මැණිකේ ලාලිත ගමනින් ඇදෙන හැටි මට යාන්තමට සිතා ගත හැකිය.

ඩාවින් නැවත දේශනය ආරම්භ කළේය.

“මිනිසාගේ හිස කෙස්‌ ඝනව වැවෙන්නෙ ස්‌වභාව ධර්මයාගේ නිර්මාණ අනුව හිස ආරක්‍ෂා වීමට. ඒත් බටහිර රටවල මිනිස්‌සු ඉතා විශාල ලෙස තොප්පි පාවිච්චි කරනවා. මේ හිස්‌වැසුම් පාවිච්චිය ක්‍රමයෙන් දියුණු වෙලා ඒ පුරුද්ද නොකඩවා ගෙන ගියොත් අනාගතයේදී හිස කෙස්‌ වලින් ප්‍රයෝජනයක්‌ නැතිව එය සම්පූර්ණයෙන්ම මිනිස්‌ හිසෙන් අතුරුදන්ව තට්‌ටයන් පරපුරක්‌ බිහිවීම නම් වළක්‌වන්න බැහැ.

“තවත් කාරණයක්‌, අද මිනිසාගේ දත්වලින් නියම ප්‍රයෝජනය ගැනීම බොහෝ සෙයින් අඩුයි. විකල කෑම ලොකු අපහසුවක්‌ ලෙසටයි ඔවුන් සලකන්නෙ. හැම ආහාර වර්ගයක්‌ම පහසු ලෙස අනුභව කළ හැකි ලෙස සකස්‌ කර ගැනීම අද බොහෝ රටවල වැඩිවශයෙන් සිදු වෙනව. මස්‌ – මාළු පළතුරු පවා කෑමට ගන්නේ යන්ත්‍රයකින් සිහින් වෙන්න අඹරලා, එක්‌තරා ක්‍රමයකට සකස්‌ කරගෙන.

“පෝෂ්‍යදායක ආහාර වර්ග විකල කනවා වෙනුවට හැම ජීව පදාර්ථයක්‌ම අඩංගු විටමින් පෙති වගේම තව වර්ග ගැනීම සීග්‍රයෙන් වැඩිවෙමින් පවතිනව. සමහර විට අනාගතයේදී පෙති ගැනීමත් නතර කරල එක ද්‍රව බිංදුවකින් මාස ගණනක්‌ ආහාර නැතිව ගත කරන්න පුළුවන් ක්‍රමයක්‌ සොයා ගන්න ඉඩ තියනවා.

එහෙම වුණොත් දත්වලින් ප්‍රයෝජනයක්‌ නැතිව ගිහින් ඒවා ක්‍රමයෙන් අඩුවී යන එකත් නොඅනුමානයි. නියමිත දත් තිස්‌ දෙක පිහිටන අය දැනටම ක්‍රමයෙන් අඩු වී යැම මිනිසාගේ අනාගතය ගැන සිතා ගැනීමට හැකි ලොකු සාධකයක්‌”.

“ඔහේ හිතේ තියා ගන්නව වානරයාගේ වලිගයට සිද්ධ වුණ දේම තමයි අනාගතයේදී මිනිස්‌ වර්ගයාටත් වෙන්නෙ. මම කියන මේ න්‍යාය අනුව වර්තමානෙ මිනිස්‌ සිරුරෙ හැම අවයවයක්‌ම තව අවුරුදු දහස්‌ ගණනක්‌ ඇතුළතදී නොයෙකුත් විපර්යාසයන්ට හසුවීමෙන් අරුම පුදුම හැඩයක්‌ තියන අපූර්ව සත්ව කොට්‌ඨාසයක්‌ මේ භූගෝලය වටා විද්‍යමාන වීම ඉර හඳ වගේ විශ්වාසයි. අවුරුදු කෝටි ගාණක්‌ තිස්‌සේ මේ පරිණාමවාදය තමයි අඟහරු ලෝකයේ මිනිසාත් ගිල ගත්තේ”.

චාල්ස්‌ ඩාවින් තරයේ මිට මොලවා වේගවත් පහරක්‌ දුම්රිය මැදිරියේ මේස පියන මතට එල්ල කළේය. මේසය මත වූ බීර වීදුරු දෙකම බිම වැටී සුණුවිසුණු විය. ඒ සමගම උඩරට මැණිකේ මරදාන දුම්රිය පළේ නතර විය.

පියදාස රණසිංහ