මින්පෙර නොඇසූ පපඩමේ සැගවුණු කදුළු කතාව

ඕනෑම නිවසක්‌ හෝ වෙනත් එවැනි ඉදිකිරීමක්‌ අව්වෙන් වැස්‌සෙන් මෙන්ම සොර සතුරු, මැසි මදුරු උවදුරින් ආරක්‍ෂා කිරීම පිණිස වහළක්‌ අවශ්‍ය වන අතර ඉන් අදාළ ඉදිකිරීම සඳහා අමතර අලංකාරයක්‌ද එකතු කළ හැක.

එහෙත්…. ඉන් එහා ගිය වෙනත් ආර්ථික ප්‍රතිලාභයක්‌ උදෙසා තම හිසට සෙවණ දෙන වහළ උපකාරී කර ගන්නා මිනිසුන් පිරිසක්‌ පිළිබඳ ඔබ මෙතෙක්‌ අසා නැතත් කොළඹ සිට තොටළඟ හරහා නුවර පාර හෝ මීගමු පාර පසු කොට යන එන බොහෝ දෙනෙක්‌ තොටළඟ පසුකරද්දී කුතුහලය දනවන සුලු මෙම දසුන දැක ඇතුවාට සැක නැත.

නාගරික වතු ජීවිතයෙන් උරුම කරදී ඇති දුප්පත්කම උපතින්ම රැගෙන ආ නාගලන් වීදිය, සෙක්‌කුවත්ත හෙවත් පපඩම් වත්ත සෙවන කළ වහලවල් මත හිරු එළියේ උපකාරයෙන් වේලීම පිණිස ඇතිරූ දහස්‌ ගණනින් යුත් පපඩම් ඒ කුතුහලය දනවනසුලු දසුනය. එහෙත් එය කෙසේ කා සඳහා කවුරුන් විසින් සිදුකරනු ලබන්නක්‌ බව මෙතෙක්‌ ඔබ නොදත් පුවතක්‌ විය හැක.

ජීවිතේ තිත්ත රස පමණටත් වඩා විඳිමින් විඳවමින්, රස බොජුන් තව තවත් රසවත් කිරීම පිණිසත් බත් පතට අමතර රසයක්‌ එක්‌ කිරීම පිණිසත් වෙහෙසෙන කොළඹ 14 පපඩම් වත්තේ පපඩම් තනන මිනිසුන්ගේ ඇත්ත ජීවිත කතාව රසවත් නැත.

තෙලෙන් බැදුන පපඩමකට හිමි රන් පැහැය අහිමි කොළඹ අහසින් වැටෙන ඉර අව්ව විසින් කළු පැහැ ගැන්වූ ගැහැනු සහ පිරිමි පිරිසක්‌ ඒ කතාවට ප්‍රස්‌තුතය ලෙස අප ඉදිරියේ වූ අතර පහත පෙළ ගැසෙන්නේ ඔවුන් පිළිබඳ කථාවය.

දැකුම පවා බිය උපදවන සුලු නාගලගම් වීදියේ හමු වූ නාඳුනන මිනිසුන් කීපදෙනකුගෙන් අසා දැනගත් තොරතුරුවලට අනුව අප පපඩම්වත්ත සොයා යන විටත් ඉස්‌පාසුවක්‌ නැති ගැහැනු අත් කීපයක්‌ ඔවුන්ගේ වැඩ මුරය ආරම්භ කොට තිබිණි. ඒ වන විට ද ඔවුන්ගේ දැත්වලින් හැඩ වී තිබූ පපඩම් දහස්‌ ගණනක්‌ තවත් පිරිසක්‌ විසින් වේලීම පිණිස දුප්පත් වහළවල් මත අතුරමින් පසු වූහ.

පළමුව අපට හමු වූ පපඩම් වැඩබිමේ හිමිකරු වූ 53 හැවිරිදි බුවාරි ආමර්ඩ් තමන්ගේ නිවසේ සිදු කරනු ලබන පපඩම් නිෂ්පාදනය පිළිබඳවත් එය සිදුකරමින් සිටින ආකාරය පිළිබඳවත් නොසඟවා කරුණු ඉදිරිපත් කිරීමට කැමැත්ත දැක්‌වූ පළමු මිනිසා විය. ඔහු හොඳින් සිංහල භාෂාව උච්චාරණය කරන්නෙකු ද විය.

බුවනි ආමර්ඩ් මෙතෙක්‌ කල් කරගෙන ආ තම ව්‍යාපාරයට කළගුණ සැලකීමක්‌ ලෙස දොa පළමුව මෙවැන්නක්‌ ප්‍රකාශ කර සිටියේය.

“මට ළමයි හයදෙනෙක්‌ ඉන්නවා. ඒ දරුවන්වයි, බිරිඳවයි, දරුවන්ගේ දරුවනුයි උස්‌ මහත් කළේ මේ රස්‌සාවෙන්. දැන් මගේ දරුවෝ ලොකුයි. ඒ අයගේ උපකාරයත් ඇතුව තමයි දැන් බිස්‌නස්‌ එක කරන්නේ. මං උපදින කොටත් මගේ අම්ම රස්‌සාව ලෙස කරල තියෙන්නේ මෙතැන පපඩම් හදන එක. හැබැයි ඒ තමන්ගෙම කියල නොවෙයි අනුන් යටතේ.

තමන්ගේ අතීතයත්, වර්තමානයත් නූපන් අනාගතයත් පිළිබඳ මතක සහ සිහින දිග ඇරීම පිණිස මටත් ඡායාරූප ශිල්පී කමල් බෝගොඩටත් ඉඳ ගැනීම පිණිස පුටු දෙකක්‌ ළංකළ බුවාරි ආමර්ඩ් අප ඉදිරියේ බිම වාඩි විය.

“අර බලන්න……. මේ රස්‌සාව කරන වත්තෙ හැම ගෙයක්‌ම වැහි කාලෙට තෙමෙන්න ගන්නවා. ඔහු තම නිවසේ බිත්ති දෙසට ඇඟිල්ල දිගු කළ අතර බිඳුන දුප්පත් වහළ මතින් පහළට කාන්දු වූ වැහි වතුර බිත්ති දිගේ පහළට ගලා ගිය ‘පැල්ලම්’ නිවසේ බිත්ති තුළ විය.

එහෙම වුණා කියල අපට මේ රස්‌සාව නවත්තන්න බෑ. හැමදාම වහළ ගහන්නත් බෑ. බිත්ති බඩගින්නට කන්න බෑනේ මහත්තයා.

ජීවත් වෙන්න නම් බිත්ති නෙමෙයි වහල ඔළුවට කඩා වැටුණත් අපි රස්‌සාව කරන්න ඕන. අපට ගෙට වැඩිය වහල වටිනවා. පපඩම් වේලන්නේ වහල උඩ. මේ රස්‌සාව කරන ඇතැම් අය දහවල් කාලෙට වැඩිපුරම ඉන්නෙ වහල උඩ. එහෙම වේලන පපඩම් තමයි මහත්තයා පාරේ යනකොට ඔය ඈතට පේන්නෙ.

මේක මේ වත්තෙ මිනිස්‌සු අවුරුදු හැට හැත්තෑවක කාලෙක පටන්ම කරන රස්‌සාවක්‌. මේක අපට උරුම වෙලා තියෙන්නේ මෙහෙමයි. ඉස්‌සරම මේක කරල තියෙන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ආව මලයාලම් වෙළෙන්දොa.

ඒ අය ගාව තමයි අපේ අම්ම ඇතුළු මේ වත්තේ තවත් අය රස්‌සාව කරල තියෙන්නෙ. කාලෙකට පස්‌සෙ මොන මොන හරි හේතු හින්ද ඒ අය ආපසු ඉන්දියාවට ගිහින් තියෙනවා. ඒ යද්දී වැඩ කරන අයට මේව දීලා ගිහින්. එහෙම තමයි මේ රස්‌සාව අපිට හිමි වුණේ. ඒ කාලෙ අපේ අම්ම තමයි බිස්‌නස්‌ එක කරල තියෙන්නේ.

අම්මගෙන් තමයි මම බිස්‌නස්‌ එක අතට ගත්තෙ. ඒ 1984 අවුරුද්දේ. අතේ තිබුණේ රුපියල් දහදාහයි. පටන් ගත්තේ මං තනියෙන්. දැන් මගේ ළඟ සේවකයො හතක්‌ වැඩ. උළුදු පිටි මිටියක්‌ දැන් රුපියල් 15000/} ක්‌ වෙනවා.

ඇඟ මහන්සි වුණු තරමට වැඩ වැටෙනවා. හොඳට පායන මේ වගේ දවස්‌වලට පපඩම් කිලෝ 150 ක්‌ විතර කරනවා. ඒව තමයි මහත්තය ඔය වහළවල් උඩ වේලන්න තියල තියෙන්නේ. ඔන්න ඔහෙම තමයි සෙක්‌කු වත්ත පපඩම් වත්ත වුණෙත්.”

මේ…… රස්‌සාවෙ හැටි මෙහෙමයි. උළුඳු පිටියි, පාන් පිටියි. සූදුරුයි ආප්ප සෝඩයි, ලුණුයි දාල උණුකර නිවාගත් වතුරින් කලවම් කරනවා. ඒක අතින් වෙන්නත් පුළුවන්. මැෂිමෙන් වෙන්නත් පුළුවන්.

ඊට පස්‌සෙ දිගින් මහතින් එක සමාන හැඩය ගන්න විදියට රෝල් කරනවා. පස්‌සෙ එක කෑල්ලක්‌ ග්‍රෑම් 100 ක්‌ වෙන්න කෑලි කපනව. එක කෑල්ලකින් පපඩම් 10 ක්‌ වදිනවා. ඊට පස්‌සේ තමයි මැෂිමට දාන්නේ.

ඒකෙන් තමයි පපඩම් මුලින්ම රවුම් හැඩයක්‌ ගන්නෙ. ඊට පස්‌සෙ තමයි අතේ හුරුවට රවුම් කරන්නෙ. ඒක වෙන්නෙ අර විදියට.

බිම අතුරන ලද ඉටිකොල කීපයක්‌ මත හාල් පිටි සහ පාන්පිටි කලවම්ව සෑදූ මිශ්‍රණයක්‌ මත නිපදවන ලද පපඩම් ඇතිරූ මිනිසුන් දෙදෙනෙක්‌ යන්ත්‍ර දෙකක්‌ මෙන් කඩිමුඩියේ පපඩම්වල හැඩය සහ පැහැය සකසන ආකාරය පෙන්වමින් බුවාරි තම වැඩබිමේ තොරතුරු පවසන්නට විය.

ඔය සිස්‌ටම් එකට තමයි වැඩේ යන්නෙ. මේ දේවල්වලට වැඩ කරන අයගේ දහදිය මහන්සිය එකතුවීම තුළ තමයි මේ නිෂ්පාදනය සිද්ධ වෙන්නෙ. කියන්න ඕන තව කථාවක්‌ තියෙනවා. ඒකත් ලියන්න. මේ පිටි අනන මැෂින්, පපඩම් හදන මැෂින් මේ ඔක්‌කොම ලංකාවෙ බඩු. රට පිළිබඳව සියුම් ආඩම්බරයක්‌ ද ඔහුqගේ දැසේ විය.

පිටි අනල වැඩේ පටන් ගත්තට පස්‌සෙ වැඩ කරන අයට ඇහැක්‌ උස්‌සල බලන්නවත් වෙලාවක්‌ නෑ. මේ රස්‌සාවෙ හැටි එහෙම තමයි. අපි කියමුකො පිටි කිලෝ පනහක්‌ ඇනුව කියල. නියම වෙලාවට ඒ පනහම වැඩ ඉවර කරගන්න ඕනේ.

නැත්නම් බඩු ටික අපතේ. මේ රස්‌සාව කරන හැමෝගෙම ඇඟේ පදම තියෙනවා. මැෂින්වලටත් වැඩිය. ඉක්‌මන්කම තියෙනවා. එහෙම නොවුණොත් මේක කරන්න බෑ. හැබැයි මහත්තයෝ මෙහෙම දේකුත් තියෙනවා. කොච්චර මහන්සි වුණත් වැඩ කරන අයට හොඳ වැටුපක්‌ දෙන්න තවම අපට පුළුවන් වෙලා නෑ.

එහෙම නැතේ කියල මේ අය කරන්න දන්න වෙන රස්‌සාත් නෑ. අර බලන්න. අර පපඩම් මැෂිමෙ වැඩ කරන්නෙ අම්මයි දූයි. අම්ම පපඩම් ගහනවා. දූ එකතු කරනවා. ඔහු තම නිවසේම අයිනකට වෙන්නට කොට බිත්තියෙන් වට කළ පටු ඉඩක පපඩම් නිෂ්පාදනයේ යෙදෙන මවක්‌ සහ තරුණ විය නොඉක්‌මවූ ඇගේ දියණිය පෙන්වමින් පවසන්නේය.

අපේ වත්තෙ පපඩම් හදන විදිය පිළිබඳ හුඟක්‌ අය දකිනව ඇත්තේ අහල ඇත්තේ වැරදි විදියට වෙන්න ඇති. මහත්තය ඒකට බැලූ බැල්මට සාධාරණ හේතු ඇති. අපි නෑ කියන්නෙ නෑ. හැබැයි අපි උපරිම කොලිටියට තමයි මේව වෙළෙඳපොළට දාන්න ට්‍රයි කරන්නෙ.”

“දැන් බලන්න උළුඳු පිටි මිටියක්‌ රුපියල් 15000 ක්‌ වෙනව. උළුඳු පිටි වැඩි කරල පාන් පිටි අඩු කරාම තමයි හොඳම කොලිටියට බඩු ටික එන්නේ.

අපේ ට්‍රයි එක හොඳම දේ දෙන්න වුණත් වැඩියෙන්ම යන්නේ අඩු කොලිටිය. ඒ කියන්නේ පාන් පිටි වැඩිය තියෙන බඩු. ඇයි ගාන අඩුයිනේ. කිලෝ එකක්‌ අපි දෙන්නෙ එකසිය අසූවට දෙසීයට. වැඩි හරියක්‌ ඒ පපඩම් යන්නේ බත් කඩවලට.

කොහොමත් අපේ ළඟ තියෙන්නේ තොග බිස්‌නස්‌ විතරයි. පොඩි පොඩි කොම්පැණිවලින් ඇවිල්ල බඩු බලනවා. අපි බැදල පෙන්නනවා. ඒ අය තොගේට ගෙනියනවා.

ඉස්‌සර ඉඳන්ම පුරුදු තැන්වලට අපි ගිහින් දෙනවා. ඊට පස්‌සේ ඒවා ලංකාවෙ කොයි පළාතේ මොන නමකින් විකුණනවද කියන්න අපි දන්නෑ. ඒ අය තමයි පැකට්‌ කරල නම් ගහල බිස්‌නස්‌ කරන්නේ.

පපඩම් තැනීම විසින්ම වියපත් කොට තිබූ මහලු මිනිසුන් පිරිසක්‌ තවත් එතැන වූ අතර අපහසුවකින් තොරව කියවා ගත හැකි අයුරින් ඔවුන්ගේ මුහුණු මත ජීවිතේ මහන්සිය රැඳී තිබිණි.

එවේලෙහි එහි හිමිකරු නොසිටි බැවින් අපත් සමඟ දොඩමළුවීම පසෙක තැබූ ඔවුන් තම කාරියේ නිරත වූහ. එතැන ද මහා පරිමාණයෙන් නිෂ්පාදිත පපඩම් එක පිට එක ගොඩ ගැසී තිබූ අතර කොළඹ හිරු එළියට කළු වූ සිරුරවලින් යුත් කෙසඟ තරුණයන් දෙදෙනකුගේ කර මතින් එම පපඩම් ද වහලයක්‌ මතට ගොඩ වන අයුරු එහිදී දැක ගත හැකිවිණි.

මේ දිනවල පවතින දැඩි හිරු රැස්‌ අප දවා දැමුවද එය ඔවුන්ට ආශිර්වාදයක්‌ වී ඇත්තේ හිරු හොඳින් පායන කල ඔවුන්ගේ අත මිට තරමක්‌ සරුවන නිසා ය. දැඩි හිරුගේ පිහිටෙන් දිනකට පපඩම් කිලෝ 150 ක්‌ 200 ක්‌ අතර ප්‍රමාණයක්‌ නිෂ්පාදනය කළ හැක.

එකකට එකක්‌ ගැටෙන සේ සෙවිලි තහඩු හා ටකරන් උපයෝගි කර ගෙන නිමවා ඇති සෙක්‌කු වත්ත හෙවත් පපඩම් වත්තේ ජීවත් වන්නේ නාගරික වතු ආශ්‍රිත අඩු පහසුකම් සහිත මිනිසුන්ය.

පපඩම් වත්තේ තවත් තැන් කීපයක කරගෙන යන පපඩම් නිෂ්පාදනය පපඩම් තරම් රසවත් නැත. ඒ සඳහා පහසුකම් සැපයීමට රජයට හැකි නම් එය වටිනා පිනක්‌ මෙන්ම යහපත් වටපිටාවක්‌ තැනීම පිණිස ලොකු රුකුලක්‌ වන බවත් බොහෝ දෙනකුගේ පොදු මතය විය.

මේක කාටවත් අත නොපා ජීවත් වෙන්න පුළුවන් හොඳ රස්‌සාවක්‌. අපි ඉල්ලන්නේ ඒ සඳහා පහසුකම් සපයන්න කියල විතරයි. ඒකට සුදුසු වටපිටාවක්‌ හදල දෙන්න. ඒවට ඕන බදු කුලී අපි ගෙවන්නම්.

මේ වතුවල රස්‌සාවක්‌ නැතුව ඉන්න තව හතළිහකට පනහකට මේ වැඩපළවල්වල රස්‌සාව තියෙනවා. ඒවට අවශ්‍ය මූලික පහසුකම් ටික නැති එක තමයි අපට තියෙන ගැටලුව. අපිට වඩාත් හොඳ පුහුණුවක්‌ දීල රජයට පුළුවන් අපට අත දෙන්න.

ජනාධිපතිතුමත් කටුනායක යනකොට අපේ වහළවල් උඩ වේලන පපඩම් දකිනව ඇති. ඒත් මේ වෙනකම් මේකෙ ඇත්ත එතුම දැකල නැතුව ඇති. අපි හැමෝම කියන්නෙ ඉන්දියාවෙ ඉඳල ලංකාවට පපඩම් එවන්න පුළුවන් නම් ඇයි අපට ඉන්දියාවට පපඩම් යවන්න බැරි.

මේ හැම දේකටම දුප්පත්කම හරස්‌ වෙලා. බැංකුවකින් අපට ණයක්‌ දෙන්නේ නෑ. ඉඩම්වල ඔප්පු තිරප්පු පිරිසිදු නැතිලු. අත දෙන්න කෙනෙක්‌ නෑ. අපි දුප්පත් වැඩීලු. අපේ ජීවිත ගේ දොර දිහා බැලුවම එහෙම පෙනුණට අපි රටට ණය නැති මිනිස්‌සු මහත්තයො. පපඩම් වත්තේ බොහෝ දෙනකුගේ ජීවිත අඳෝනාව බුවාරි ආමර්ඩ් බලාපොරොත්තු සහගත දැසින් යුතුව පවසා සිටින්නේය.

තමන්ගේ අම්මා පපඩම් පිටි සහිත දැතින් වඩා තමන්ට කිරි දුන් අයුරුත්, එතැන් සිට වසර පනස්‌ තුනක්‌ පුරා ජීවත්වීම පිණිස තමන්ද පපඩම් සමඟ ඔට්‌ටු වූ අයුරුත් තමන්ගෙන් පසු පරම්පරාවේ දැතේ රැකියාව ද එයම බවත් පැවසූ බුවාරි අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටියේ මෙතෙක්‌ ඉහළ මාවත්වල ඇවිද යන රට කරන ඇත්තන් ඇතුළු බොහෝ දෙනකු කැලණි ගං මිටියාවතින් පහළට වන්නට හිරු කූටකේ නලියන වහළවල් යට ජීවත්වන තමන් ඇතුළු දහස්‌ ගණනක්‌ වතු කම්කරු ජීවිත පිළිබඳ ඇත්ත චිත්‍රය නොදකින බවය.

තමන්ට වඩා යහපත් තැනක තම දරු මුණුපුරන් සිටිනු දැකීම පොහොසත් තාත්තාවරුන්ගේ සේම දුප්පත් තාත්තාවරුන්ගේද හීනයක්‌ බවය.

රුවන් ජයවර්ධන
ඡායාරූප – කමල් බෝගොඩ

මේ වගේ වටිනා ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණමයි