විදේශීය සංචාරකයින් දකුණු වෙරළ තීරයේ කරක්‌ ගසන්නේ මෙකී ක්‍රමයට වහ වැටී එය දැක බලා ගැනීම සඳහා

ජපනා හපනාය යන්න ලොව ප්‍රකට කියමනකි. රිටිපන්න බිලීකටුවේ තාක්‍ෂණය සොයා ගැනීම සඳහා ජපනා වෑයම් කළේ වරක්‌ දෙවරක්‌ නොවේ. විටෙක බිලීකටු සාදන ආකාරය ඡායාරූප ගත කළහ. තවත් වරෙක එය වීඩියෝ ගත කෙරිණි. මේ සියල්ල අරගෙන ජපන්නු සිය රටට ගියෝය. බිලීකටු හදාගෙනවිත් රිටිපන්නයට යා කළහ.

එහෙත් ජපනා හැදූ රිටි පන්නයට එක කොරබුරුවකු, බෙල්ලෙකු, කූණිස්‌සෙකු අල්ලා ගැනීමට නොහැකි විය. ජපන්නු පමණක්‌ නොව චීන්නු මෙන්ම විදේශීය රටවලින් පැමිණි බොහෝ සංචාරකයෝද ගවේෂකයෝද ව්‍යාපාරිකයෝද මෙම රිටිපන්න බිලීකටුවේ තාක්‍ෂණය සොයා ගැනීම සඳහා දැඩි වෙහෙසක්‌ ගත්හ.

එමෙන්ම අපේ රටේ ජාන සම්පත් සොරකමේ යෙදුණු බහුජාතික බූවල්ලන්ටද මෙකී තාක්‍ෂණය සොරා ගැනීමට නොහැකි විය. තවමත් දකුණේ ශූර වීර ධීවරයෝ මෙම පාරම්පාරික තාක්‍ෂණික ඥණය රැක ගනිමින් එය තම පරපුරෙන් පරපුරට ලබාදෙති. අප මේ කියන්නට යන්නේ අපේ ධීවරයන්ටම පමණක්‌ උරුම වූ රිටිපන්න බිලීකටුවේ තාක්‍ෂණය ගැනය. නැතහොත් ඇමක්‌ නැතිව බිලීබාන රිටිපන්න බිලීකටුව ගැනය.

රිටිපන්න ධීවර කර්මාන්තය දකුණේ ධීවර කාර්මිකයින්ටම පමණක්‌ ආවේණික වූ කර්මාන්තයකි. නොගැඹුරු මුහුදේ හිටවනු ලැබූ රිටක්‌ මත සිට මසුන් ඇල්ලීම සැබවින්ම ඉතා මනස්‌කාන්ත දර්ශනයකි. මෙය රිටිපන්න ධීවර කාර්මිකයාගේ කුසලතාවය විදහා දක්‌වන්නකි. රිටිපන්න කර්මාන්තයේ වසන්ත කාලය මැයි මාසයේ සිට දෙසැම්බර් දක්‌වාය.

මෙකී පන්න ක්‍රමයට ඇත්තේ දිගු ඉතිහාසයකි. මෙම පන්න ක්‍රමය වටා ගෙතී ඇති අතීත කතාන්දරයද ඉතා සුන්දරය. මෙකී කර්මාන්තය සඳහා සවිමත් රිටක්‌ එයට ගැට ගසන ලණුවක්‌ හා ලණුව කොනට ගැටගසන කටුවක්‌ අවශ්‍යය.

අතීතයේ සුලුප්පුවලින් පැමිණි ධීවර කාර්මිකයින් තමයි මේ කර්මාන්තය හඳුන්වලා දීලා තියෙන්නේ. ගන්දර හිටපු රාළහාමි කෙනෙක්‌ මෙම තාක්‍ෂණය මෙම පන්න ක්‍රමයේ තාක්‍ෂණය ඔවුන්ගෙන් අහගෙන තිබෙන බවත් කියනවා. ඇත්තටම ඇමක්‌ නැතිව බිලීබාන මෙම බිලීකටුව ලෝකයේ නවීන තාක්‍ෂණයෙන් දියුණු ජපානය, චීනය, කොරියාව වැනි රටවලටත් තවමත් නිපදවා ගැනීමට බැරිවෙලා තියෙනවා. පාරම්පරික රිටිපන්න ධීවර කාර්මිකයකු වන ඒ. ඩබ්ලිව්. විල්සන් සිල්වා (78) මා සමග කීවේය.

මෙකී ඊයම් බිලීකටුව සාදවා ගැනීම සඳහා අච්චුවක්‌ වශයෙන් උපයෝගී කරගන්නේ දැලිපොත්තය. දැලිපොත්ත යනු දැල්ලගේ පිට ආවරණය වී ඇති පොත්තය. දැල්ලාගෙ වර්ධනයත් සමග මෙම දැලිපොත්ත ඌගෙන් ගැලවී වෙරළට ගසාගෙන එයි. ඉන්පසු ධීවර කාර්මිකයින් මෙම දැලිපොතු ගෙනවිත් මිරිදිය ජලයෙන් සෝදා වේලීම සඳහා දුමේ තබනු ලැබේ. දැලිපොත්ත දුමේ සති තුනක්‌ පමණ තබා වේලාගනු ලැබේ.

ඉක්‌බිති දැලිපොත්ත කුඩා කැබලිවලට කපාගනු ලැබේ. එම කුඩා කැබලි ඉතා සිනිඳුවට ගල්ලෑල්ලක අතුල්ලා ගින්දරට රත් කරනු ලබයි. බිලීකටුවේ අච්චුව සාදාගනු ලබන්නේ ඉන් අනතුරුවයි. ඉන්පසුව උණුකරගනු ලැබූ සුදූ ඊයම් දියරය ඉතා සියුම් අයුරින් පිටතට ගලා නොයන ආකාරයට අච්චුවට වක්‌ කරති. විනාඩි පහක පමණ කාලයකින් පසු දැලිපොත්තේ අච්චුවෙන් බිලීකටුව ගලවා ගනිති.

ඉන්පසු සියුම් මිටිවලින් බිලීකටු එකින් එක ඔප මට්‌ටම් කරලා පීරකින් ගානවා. බිලීකටුවේ ඔප දැමූ දිස්‌නයට තමයි මාලු රැවටෙන්නේ. මේ බිලී කටුවෙන් කොරබුරුවා, බොල්ලෝ වැනි මසුන් තමයි වැඩිපුර අල්ලන්න පුළුවන්. ඇත්තටම මෙම බිලීකටු සකස්‌ කර ගැනීම හැම ධීවර කාර්මිකයකුටම කරන්නත් බැහැ එය ඉතා සියුම් ලෙස කළ යුතු කාර්යයක්‌. තම පාරම්පාරික දැනුම හා අතේ හුරුව මේ සඳහා ඉතා වැදගත් වෙනවා විල්සන් අයියා කියන්නේය.

බිලී පිත්තට ගන්නේ කිතුල් ගසේ අත්තකි. ළඟින් ළඟින් ගැට ඇති කිතුල් පිත්තක්‌ කපාගෙනවිත් එය පවනේ වේලා ගිනි ගොඩක දමා කිතුල් පිත්ත කෙළින් කර ගනියි. කිතුල් පිත්තට අමුණන යොත හෙවත් ලණුව අතීතයේදී සාදාගෙන ඇත්තේ අන්නාසි ගස්‌වල පොතුවලින් ඉරා ගන්නා කෙඳි එකට එකතුකර ගැනීමෙනි. එකල අන්නාසි ගසේ ඇති පීල්ලේ අග තලා කෙඳි සකසා ගෙන ඇත.

කෙසේ වුවද දැන් මේ සඳහා රිටිපන්න ධීවරයින් භාවිතා කරන්නේ තංගුස්‌ නූල්ය. ඒ නිකම්ම නිකන් තංගුස්‌ද නොවේ. ලෝකයේ ඇති නොම්මර බිංදුවේ තංගුස්‌ය. මෙම තංගුස්‌ නූල ලංකාවේ නැත. කොටින්ම කිවහොත් මෙම තංගුස්‌ නූල ඈතට පෙනෙන නොපෙනෙන තරමේ නූලකි. රිටිපන්න ධීවර කර්මාන්තයට වහ වැටී එය නැරඹීම සඳහා මෙරටට පැමිණෙන විදේශිකයින් රිටිපන්න ධීවරයින්ට මෙම තංගුස්‌ නූල් ගෙනවිත් දෙති. එකල බිලීකටුව ඇමුණුවේ අන්නාසි කෙන්දේය. වර්තමානයේ ඒ බිලීකටුව අමුනන්නේ තංගුස්‌ කෙන්දේය.

වෙනත් පන්න ක්‍රමවලදී මෙම බිලීකටුව වැසෙන සේ ඇමක්‌ ගැසිය යුතුය. මෙම රිටි පන්නයේදී ඇමක්‌ භාවිතා කරන්නේ නැත. ඇමට ගන්නේ මාළුවකු වැනි මෙම බිලීකටුවම පමණි. මුල් කාලයේදී ඇලිස්‌ටෝනියා ලීයෙන් සෑදු රිටක්‌ මෙම කර්මාන්තය සඳහා යොදා ගත් අතර තාක්‍ෂණයේ දියුණුවත් සමග ඇලිස්‌ටෝනියා රිට වෙනුවට ගැල්වනයිස්‌ භටය දැන් ආදේශවී ඇත.

වෙනදා රිට මත වාඩිවී විටක්‌ දෙකක්‌ හප හපා මාළු ඇල්ලූ රිටිපන්න ධීවර කාර්මිකයා දැන්නම් නවීන තාක්‍ෂණයේ පිහිටෙන් නොයෙකුත් ගීත රස විඳිමින් මාළු අල්ලති. තාක්‍ෂණයේ පිහිටෙන් කුමක්‌ වෙනස්‌ වුවද පාරම්පරික අපේ ලාංකීය ධීවරයාගේ දෙඅතින් එදා නිපදවූ රිටිපන්න බිලීකටුව වෙනුවට මේ දක්‌වාම කිසිදු කට්‌ටක්‌ තවමත් ආදේශවී නැත. සැබවින්ම මෙම පන්න ක්‍රමය ලාංකීය අපටම උරුමවූ පන්න ක්‍රමයකි.

මෙකී පන්න ක්‍රමයට වහ වැටී එය දැක බලා ගැනීම සඳහා විදේශීය සංචාරකයින් දකුණු වෙරළ තීරයේ කරක්‌ ගසන්නේ ඒ නිසාය. සැබවින්ම රිටිපන්න ධීවර කර්මාන්තය ශ්‍රී ලාංකීය සංචාරක කර්මාන්තයටද වටිනා සම්පතකි.

ඇත්තටම මෙකී බිලීකටුව නිපදවීමේ තාක්‍ෂණය ජපනාට චීනුන්ට තවමත් අල්ලා ගැනීමට බැරිවෙලා තියෙනවා. ඔවුන් ඇවිත් අපි බිලීකටු හදන ආකාරය වීඩියෝ ගත කළා. ඡායාරූපගත කළා. බිලීකටු හදලා එවන බව කීවා. බිලීකටුවක්‌ හදා ගන්න බැරි රිටිපන්න ධීවර කාර්මිකයින්ද තවමත් අප අතරත් සිටිනවා.

මේ පාරම්පරික දැතේ තාක්‍ෂණය හැමෝටම පිහිටන්නේ නැත. අපේ ඡායාරූප ගුවන් යානවල පවා තියෙනවා. කොටින්ම කිවහොත් රිටිපන්න ධීවර කාර්මිකයින් මාළු අල්ලනවානම් විදේශීය සංචාරකයෝ එය දැක බලා ගැනීමට නතර වෙනවාමයි. පාරම්පාරික රිටිපන්න ධීවර කාර්මිකයකු වන ඒ. ඩබ්ලිව්. රම්‍යසිරි මා සමග එසේ කීවේය.

මෙකී පන්න ක්‍රමය ගැන මෙන්ම මෙම බිලී කටුවේ තාක්‍ෂණය ගැන තොරතුරු දැන ගැනීමට විශ්වවිද්‍යාල සිසුන් ගවේෂකයින්, විදේශීය සංචාරකයින්ද පැමිණෙන්නේ රම්‍යසිරිලා හමුවීමටය. කොග්ගල කතළුව අහංගම ආදි ප්‍රදේශවල පැරැණි ධීවර කාර්මිකයින් මෙම බිලීකටුව නිපදවීමේ ශූරයෝය. ඒ ගැන නොකියාම බැරිය.

ඇමක්‌ නැති ව බිලීබාන මෙම බිලීකටුව ලෝකයේ නවීන තාක්‍ෂණයෙන් දියුණු ජපානය, චීනය, කොරියාව වැනි රටවලටත් තවමත් නිපදවා ගැනීමට නොහැකි වී තිබේ. මෙකී ඊයම් බිලීකටුව සාදා ගැනීම සඳහා අච්චුවක්‌ වශයෙන් උපයෝගී කරගන්නේ දැලිපොත්ත ය.

දැලිපොත්ත යනු දැල්ලාගේ පිට ආවරණය වී ඇති පොත්ත යි. දැල්ලාගේ වර්ධනයත් සමග මෙම දැලිපොත්ත ගැල වී වෙරළට ගසාගෙන එයි. ඉන් පසු ධීවර කාර්මිකයින් මෙම දැලිපොතු ගෙනවිත් මිරිදියෙන් සෝදා දුමේ සති 03ක්‌ පමණ තබා වේලා ගනී.

අනතුරු ව දැලිපොත්ත කුඩා කැබලිවලට කපාගනී. එම කුඩා කැබලි ඉතා සිනිඳුවට ගල්ලෑල්ලක අතුල්ලා ගින්දරට රත් කරයි. බිලීකටුවේ අච්චුව සාදාගනු ලබන්නේ ඉන් අනතුරුව ය.

මුහුදේ වඩදිය බාදිය අනුව මෙම බිලීකටුව බර වෙනස්‌ කොට භාවිතා කිරීමට රිටිපන්න ධීවරයා පුරුදුව සිටිති. මුහුදේ වඩදිය පවතින අවස්‌ථාවේදී ලොකු බිලීකටුවක්‌ දමා මසුන් අල්ලන අතර බාදිය පවතින විටදී කුඩා බිලීකටුවක්‌ දමා මසුන් අල්ලති. ගාල්ල මාතර අතර වෙරළ තීරයේ විශේෂයෙන් කොග්ගල කතළුව, අහංගම, වැලිගම, මිරිස්‌ස ආදී ප්‍රදේශවල ලාංකීය ධීවරයා සතු මෙම උරුමය දැකබලා ගත හැකිය.

රිටිපන්නයෙන් අල්ලන මාළුවල කිසිදු විෂක්‌ නැත. නයිලොන් දැලෙන් අල්ලන මාළු වගේ නෙවෙයි. අල්ලපු ගමන් මාළු නිසා දින දෙක තුනක්‌ තිබුණත් නරක්‌ වෙන්නේ නැත. ලේ රහ තියෙනවා. මාළු සියයක්‌ රුපියල් පන්සියයක්‌ වෙනවා. ඒ කාලයේ මාළු සියයක්‌ ශත විසිපහයි. පැය තුනක්‌ හතරක්‌ හිටියොත් මාළු හාර සියයක්‌ විතර අල්ල ගන්න පුළුවන් විල්සන් සිල්වා කීවේය.

මෙම මසුන් වෙරළ තීරය අසලට එන්නේ දියවැල් සමගය. කොරබුරු මත්ස්‍යයා රංචු පිටින් උදැසන වෙරළ අසලට පැමිණෙන අතර සවස්‌ කාලයට එම මසුන් යළි දියඹට යති. එහෙත් ඊයම් බිලීකටුවට රැවටෙන මෙම මසුන් බොහෝවිට රිටිපන්න ධීවරයාගේ ගොදුරක්‌ බවට පත්වෙති. මෙම පන්නය කොරබුරු පන්නය වශයෙන් හැඳින්වීමට රිටිපන්න ධීවරයා පුරුදුව සිටිති.

සාමාන්‍යයෙන් රිටිපන්න ධීවර කාර්මිකයින් මසුන් අල්ලන්නේ උදැසන හා සවස්‌ කාලයටය. බෝට්‌ටුවලින් ගොස්‌ නයිලෝන් දැල් යොදා මසුන් ඇල්ලීම නිසා මෙම මත්ස්‍ය ප්‍රජාව විසිරී යන බව රිටිපන්න ධීවරයෝ පවසති. එය රිටිපන්න ධීවර කාර්මාන්තයට මරු පහරක්‌ බවද ඔවුහු පවසති. සැබවින්ම මෙම ධීවරයන්ට ලැබී ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ලකි. මුහුදේ වතුර මැද කර වටක්‌ ගොස්‌ වතුරේ සිටුවා ඇති ඉන්නක සමබරව වාඩිවී මාළු බාන මෙම ධීවර පිරිසගේ ජීවන රටාව නම් එතරම් සුන්දර නැත.

අපටම ආවේණික වූ මෙකී පන්න ක්‍රමය අපේ ධීවර කාර්මිකයාගේ කුසලතාවය විදහා දක්‌වන්නකි. මෙය මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම බලධාරීන්ගේ වගකීමකි.

ලලිත් චාමින්ද

මේ වගේ වටිනා ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණමයි