ඉතිහාසය හරහා ඇවිද යැම | මහා සංචාරය | 1 කොටස

ලොව ඇති වයසින් වැඩිම වෘක්‌ෂය කුමක්‌ද? එහි වයස අවුරුදු කීයද? වසර දහසකට එහා ජීව සාධක ලිත සාධක ඇති වෘක්‍ෂ කීයක්‌ ලොව අද වන තුරුත් වැඩෙමින් පවතීද?

මම වසර 2300 ක වයසක්‌ ඇති මහා වනස්‌පති වෘක්‍ෂයක්‌ වන්දනා කළෙමි. ඓතිහාසික සාධක, ජනශ්‍රැතික සාධක පමණක්‌ නොව පුරා විද්‍යාත්මක මෙන්ම ජීව විද්‍යාත්මක සාධක ද සහිතව තවමත් හුස්‌ම ගන්නා ජය සිරිමා බෝධි වෘක්‍ෂයට අද වන විට වයස වසර 2300 ක්‌ පමණ වේයෑයි ගණන් බලා ඇත. උන් වහන්සේ ක්‍රිස්‌තු පූර්ව 270 දී පමණ භාරතයේ අශෝක අධිරාජ්‍යයාගේ පරිත්‍යාගයක්‌ වී සංඝමිත්තා මහ තෙරණියගේ දායකත්වයෙන් ලංකාවට වැඩම කළහ. එතැන් සිට අද දක්‌වාම අනුරාධපුරයේ, මහමෙව්නා උයනේ වැඩ වාසය කරමින් වසර 2300 ක්‌ පුරා ප්‍රකෝටි සංඛ්‍යාත ජනතාවකගෙන් ගෞරව පුද සත්කාර වින්දහ.

මම මහමෙවුනාවේ පසඟ පිහිටුවා වැඳ නමස්‌කාර වූවෙමි. මම සංචාරකයෙක්‌මි. මම මවුබිමේ ඉතිහාසය හරහා සංචාරයකට අවතීර්ණවී සිටිමි. ඉදින්, එබඳු සංචාරකයෙක්‌ තම ගමනාරම්භ ආශිර්වාදය සඳහා පැමිණිය යුත්තේ කොතැනකටද?

මම ඉතිහාසයේ සජීවී සාක්‍ෂි කරුවා සොයා අනුරාධපුරයට පැමිණියෙමි. උන් වහන්සේ උඩමළුව අරා වැඩ හිඳී. මම වැලි මළුවේදී පිsරිත් ශ්‍රවණය කළෙමි. අටමස්‌ථානාධිපති පල්ලේගම හේමරතන නායක හාමුදුරුවෝ උඩමළුවේ පියතිස්‌ස හාමුදුරුවන් සමග මවෙත පිරිත් දේශනා කළහ. ජය සිරිමා බෝ හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් ආසිරිවාදයෙන් ශුභ නැකතට පියවර ඉස්‌සර කළ මම මහා සංචාරයට පිවිසුනෙමි.

ඉතිහාසය යනු කල්පනා ලෝකයක සිදු වූ හිතළු කතාවක්‌ නොවෙයි. එය මේ අහසට යටින් මේ මහ පොළොවේදී සිදු වූ සත්‍ය කතාවකි. මහ පොළොව වනාහී ඉතිහාසයේ සාක්‍ෂිකරුවාය. ඉතිහාසයට මුලක්‌ මැදක්‌ අගක්‌ ඇත. ප්‍රාග් මානව ඉතිහාසයේ ගමන් මාර්ගය දකුණු අප්‍රිකාවේ ඩ්‍රැකන්ස්‌බර්ග් කඳු පන්තියෙන් ඇරඹී උතුරු දෙසටත් යුරෝපයටත්, ඉන් නැඟෙනහිරට හා බටහිරටත් විහිදී ගියේය. මානව ඉතිහාසයේ කතා ප්‍රවෘත්තියට දැනට වයස අවුරුදු මිලියන 7 කි.

ඊජිප්තුවේ සිට රතු මුහුද තරණය කළ හේබ්‍රේව් ජන සන්නිපාතය පොරොන්දු දේශය සොයා යුප්‍රටීස්‌ ටයිග්‍රීස්‌ හද බිම වෙත ගමන් කළේය. වයඹ දෙසින් සින්දු නිම්නය ආක්‍රමණය කළ පූර්ව වෛදික ආර්යෝ උතුරින් ඉන්දියාව අත්පත් කොට ගත්තහ. ඉන්දියාවේ මුල් පදිංචිකාර අනාර්යයන් ආර්යයන්ට පරාද වී දකුණු දෙසට සංක්‍රමණය වූහ.

ලංකාවට ඉතා ඈතට දිව යන ස්‌වාධීන මානව ඉතිහාසයක්‌ තිබේ. මුළු දිවයින පුරා ස්‌ථාන 108 ක්‌ කැනීම් කොට සොයාගෙන ඇති ප්‍රාග් පුරා විද්‍යා කැනීම් තොරතුරු අනුව මීට වසර 250,000 ක්‌ තරම් ඈත කාලයක සිට මෙබිම මානවයින් දිවි ගෙවා ඇත. එහෙත් ක්‍රිස්‌තු පූර්ව 06 වන සියවසේදී මේ රටට ආර්ය සංක්‍රමණය සිදු වූයේ ය. ආර්යයන් ලක්‌දිව ජනාවාස පිහිටුවීම මෙරට ඉතිහාසයේ ආරම්භය සේ ගත් අපේ වංසකතා කරුවෝ විජයාව තරණයේ සිට අපේ ඉතිහාසයට වයස අවුරුදු 2500 ක්‌ යෑයි කීහ.

මම මහා සංචාරයක නිමග්න වී සිටිමි. පුරවැසියකු තම මව්බිමේ ඉතිහාසය හරහා ඇවිදයාම වනාහී මහා සංචාරයයි. ඔහුට ඊට එහා වෙනත් සංචාරයක්‌ නැත. මම වංසකතා පාරදිගේ ශ්‍රී ලංකාව නරඹන්නට සිතා සිටිමි. එහෙයින් අනේ වංසකතා කරුවන් පෙන්වා ඇති පාරදිගේ මගේ සංචාරය පවත්වන්නට මම සැලසුම් සකස්‌ කෙරුවෙමි. එහෙයින් මහා වංසයේ ආරම්භක ලක්‍ෂයට මා යා යුතුයි. මහා වංසය ඇරඹෙන්නේ බුද්ධොත්පත්තියෙන් වුවද වංසකතාව ලංකාවට අවතීර්ණ වන්නේ විජයාව තරණයෙන් ය.

විජය රඡ්ජුරුවන් ලංකාවට ගොඩබසින්නේ තම්බපන්නියෙන් යෑයි මහා වංසය කියයි. තම්බපන්නිය යනු තඹවන් වැලි සහිත වෙරළක්‌ ඇති ප්‍රදේශයයි. එය භූගෝලීය සාධකයක්‌ය. මම තඹ පැහැති වෙරළ තීරයක්‌ සොයා මගේ සංචාරය මෙහෙයවමි. භූගෝලීය පාංශූ තත්ත්වයන් යටතේ තඹවන් රත් පැහැයකින් යුතු වෙරළ තීරයක්‌ ඇත්තේ ලංකාවේ වයඹ දිග තැනි බිම් ප්‍රදේශයේය. එය දැන් ඝන වනාන්තරයකි. වන රක්‍ෂිතයකි. විල්පත්තු වන රක්‍ෂිතයේ බටහිර සීමාවේ, මෝදරගංආර ගං මෝයට දකුණින් කුදිරමලෙයි තුඩුව පිහිටා ඇත. එය වනාහි අතීත තම්බපන්නිය යෑයි මම විශ්වාස කරමි. එහෙයින් මගේ සාංචාරයේ පළමු එල්ලය වන්නේ තම්බපන්නියේ රතු පස්‌ තට්‌ටුව සොයා කුදිරමලේ තුඩුව තරණය කිරීමයි.

අනුරපුර පූජා නගරය හරහා ගොසින්

ඉතිහාසය හරහා

තිසා වැවේ කණ්‌ඩිය දිගේ රථය පැදවූ මම තන්තිරිමලේ පාරෙන් හැරී මහවිලච්චියේ මන්නාරම් හන්දිය දෙසට ධාවනය කළෙමි. මහවිලච්චි පාරේ මට හමුවන අවසාන කඩමණ්‌ඩිය පේමඩුව හන්දියයි. පේමඩුවේදී කහට කෝප්පයක රහ මතක්‌ වී රථයෙන් බට මට මුලින්ම මුණ ගැහුනේ බාබර් සාප්පුවකි. “සකි සැලුන්” යෑයි එහි බෝඩ් ලෑල්ලක්‌ එල්ලා තිබුණි. සකි සැලූන් හි කරනවෑමි සකියා මා දෙස විමසුම් බැලුම් හෙළීය. මගේ චුති චිත්තයේ කේසච්ඡේදනයක්‌ සිදු වනු මට දැනෙන්නට විය. මම මා ඉදිරියේ හිස මුඩු කළෙමි.

මම මා දෙස හැරී බැලුවෙමි. එය සීමා රාමුවක්‌ නැති කැඩපතකි. මේ කැඩපතට සීමාවක්‌ නැත. බැලූ බැලූ අත කැඩපත පැතිරී යයි. හරියට ජීවිතයත් මේ අසීමිත කැඩපත වගේ යෑයි සංචාරකයාට සිතී ගියේය. මට සකි සැලුන් හී ඉන්නට හැර සංචාරකයා යන්නට හැරුණා. මම මහා හඬින් ඔහු ඇමතූවෙමි.

සංචාරකයා හැරී බැලුවේය. මම ඔහු හඳුනාගතිමි. හේ සංචාරකයෙකි. ජීවිත සංචරණයේ පැසුණු අත්දැකීම් පොදිය එක විටම ගත් ඔහු එය රථ යතුරත් සමග මවෙත වීසි කළේය. මම රථය වෙත ගමන් කරන අතරතුර සංචාරකයා නොපෙනී ගොසිනි. මම සංචාරකයාගේ ඉව පාරේ රථය පැදෙව්වෙමි.

මා ගමන් කළ පටු මාවත ඊය ගැහුවා සේ තනි කෙළින් ඉදි වූ මාවතකි. මේ අතීතයේ මන්නාරමත් අනුරාධපුරයත් අතර සෘජු සම්බන්ධතා පැවැත් වූ මාවතයි. අද එය නොම්බරයක්‌වත් නැති ක්‍රිතීයික අතුරු පාරක්‌ බඳුය. වර්තමාන මන්නාරම් පාර වැටී ඇත්තේ අනුරාධපුරයේ සිට උතුරු දෙසටයි. A 9 මාවතෙන් මැදවච්චියට ගොස්‌ එතැන් සිට වමට හැරී A – 14 මාවතේ මැණික්‌ ෆාම්, මඩු, මුරුක්‌කන්, තල්අඩිය හරහා මන්නාරමට ළඟාවනවාට වඩා අතීත මන්නාරම් පාර ඉතා ළඟය. එය අනුරාධපුරයේ සිට පේමඬුව මහවිලච්චිය, මන්නාරම් හන්දිය හරහා විල්පත්තුවට ඇතුල් වී වන රක්‍ෂිතයෙන් පසු කොන්ඩාච්චිය, සිලාවතුර අරිප්පුව හරහා මන්නාරමට ළඟා වෙයි. එය මන්නාරමේ සිට අනුරාධපුරයට ගැසූ තනි කෙළින් ඉරකි.

මම මහවිලච්චියේ මන්නාරම් හන්දියට ළඟා වුණෙමි. පසුගිය කාලයේදී ලෝකය විශ්ව ගම්මානයට ළඟා වෙද්දී අපි මායිම් ගම්මාන තනාගෙන උන්නෙමු. මන්නාරම් හන්දියේදී මට මුණගැහුනේ මායිම් ගම්මාන වල මෑත අතීතයේ දහදුක්‌ විඳි අපේම අහිංසක සහෝදර ගැමියන් ය. එහෙත් අද ඔවුන්ගේ මූණු වල අරුණාලෝකය සටහන් වී තිබිණි. යාය හත යාය හතරේ ගැමියෝ විල්පත්තු සීමාවේදී අනේක විධ යුද කරදර අත් වින්දහ. මම ඔවුන්ගේ දහදිය සුවඳ ආඝ්‍රානය කරමින් ටික වේලාවක්‌ ඔවුන් අතර සැරි සැරුවෙමි. දුක සැප විමසුවෙමි. දුක පහ වී සතුට මෝදු වනු ආගන්තුක සිතැති ඔවුන්ගේ ඉංගිතවලින් දැක ගතිමි. ම්ලේච්ඡ ත්‍රස්‌තවාදීන් විල්පත්තු වන සීමාවේදී තිරිසන් ලෙස කපා කොටා මරා දැමූ ස්‌වකීයන් සිහිපත් කොට ඔවුහු තවමත් සුසුම්ලූහ.

මම මේ හිතෛෂීවන්තයන් හැර දමා මන්නාරම් හන්දියෙන් විලච්චි ගේට්‌ටුව වෙත මගේ රථය ධාවනය කළෙමි. විලච්චි ගේට්‌ටුවෙන් මම ඇතුළු වන්නේ විල්පත්තු වන රක්‍ෂිතයටයි. මා එහි ඇතුල් වූ 2009, සැප්තැම්බර් මාසය වන විටත් විල්පත්තුව සිවිල් ජනතාවට තහනම් කලාපයකි. එල්.ටී.ටී.ඊ. යුද කඳවුරු බොහොමයක්‌ පිහිටා තිබූ විල්පත්තුව යුද හමුදාවන් විසින් අත්පත් කොටගෙන සිටිය ද එA වන විටත් එහි සුපරීක්‍ෂාකාරී මෙහෙයුම් සිදුවෙමින් පැවතිණි. වසර 30 කට පසු විල්පත්තු වන රක්‍ෂිතයට ඇතුළු වන පළමු සිවිල් මිනිසාගේ ආඩම්බරය සහ අවදානම ද රැගෙන මම ගේට්‌ටුව වෙත ළඟා වුණෙමි.

නාවුක හමුදාවේ නිලධාරීන් ගේට්‌ටුව මුර සේවයේ යෙදී සිටී. එහි මා පිළිගන්නට කැප්ටන් ජයතිලක පැමිණ සිටියේය. මම පින් ඇත්තෙක්‌මි. මේ සංචාරය සඳහා මට බොහෝ පිරිස්‌ අනුග්‍රහවන්ත නොවන්නට මහා සංචාරය තවමත් මගේ සිතුවිල්ලක්‌ පමණක්‌ වී තිබෙන්නට ඉඩ තිබිණි. සංචාරක අමාත්‍යාංශය මගේ ප්‍රමුඛ අනුග්‍රහවන්තයායි. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන් වෙත මා මුලින්ම මගේ අරමුණ පැහැදිලි කළ දිනය මට කිසිදු දිනක අමතක නොවන්නේමයි. එතුමන් වහ වහා මගේ සංචාරය සඳහා අවශ්‍ය අනුමැති කළමනා වෙත මා යොමු කරවීය.

මහා සංචාරයේ ආරම්භය සටහන් වන බටහිර, වයඹ සහ උතුරු වෙරළ තීරයේ වර්තමාන ආධිපත්‍යය දරන්නේ ශ්‍රී ලංකා නාවුක හමුදාවයි. එහෙයින් නාවුක හමුදා අවසරය සහ අනුග්‍රහයෙන් තොරව මොනම ජගතකුටවත් මේ ඓතිහාසික සංචාරයේ යෙදිය නොහැක. නාවුක හමුදාවේ මාණ්‌ඩලික ප්‍රධානී සෝමතිලක දිසානායක මහතා “අපේ එකෙකි”.

මා ඔහුට “අපේ එකෙක්‌” යෑයි කියන්නේ මීට පෙර ත්‍රිවිධ හමුදාවක සිටි කිසිදු මාණ්‌ඩලික ප්‍රධානිවරයකුට නොතිබුණු අපේ කමක්‌ ඔහුට තිබූ හේතුවෙනි. ඓතිහාසික දක්‌ණ දේශය දඹදෙණිය බඳු ඉතා ගැමි සශ්‍රීක ගොවි පරම්පරාවකින් බිහිව ගමේ ඉස්‌කෝලයෙන් අකුරු කර ගමේකමට ගී සින්දු ලියමින් නිර්මාණශීලී මාධ්‍යකරුවකු ද වූ හේ අද වන විට නාවික හමුදාවේ දෙවැනි තානාන්තරය දරා සිටීම වනාහී අපේ කමට ආඩම්බරයකි. මම කොළඹ නාවුක හමුදා මූලස්‌ථානයේදී රියාර් අද්මිරාල් සෝමතිලක දිසානායක මාණ්‌ඩලික ප්‍රධානීතුමන් ඉදිරියේ වාඩි වූයෙමි.

මගේ ඉල්ලීම සාවධානව අසා සිටි නිලධාරීවරයා මා කැටිව නාවුක හමුදාපතිතුමන් වෙත ගියේය. එතුමන් ද කලා ලැදි මගේ සහෘදයකු වීම මට තවත් සන්තෝෂයට කාරණවකි. නාවුක හමුදාපති තිසර සමරසිංහ මැතිතුමන් වහා ක්‍රියාත්මක වී මට අවශ්‍ය සියලු අනුමැති කළමනා සඵල කර දුන්නේය. සකලවිධ නිලධාරී මහත්වරුන්ගේ අනුමැතිය සහ අනුග්‍රහයෙන් සන්නද්ධ වූ මා වහා පැමිණ ඔඪඔ ආයතනයේ රවීන්ද්‍ර ගුරුගේ මහතා අභිමුව වාඩි වුණෙමි.

ගුරුගේ මහතා මගේ කල්‍යාණ මිත්‍රයකු වනවා මෙන්ම ලංකාවේ දැවැන්ත ටෙලිවිෂන් මෙහෙයුම්හි පුරෝගාමී ප්‍රවීණයකු ද වූ හේතුවෙන් මහා සංචාරය සඳහා අවශ්‍ය උපරිම තාක්‍ෂණික නිෂ්පාදන මෙහෙයුම් කඩිනමින් සකස්‌ කර දුන්නේය. සංචාරක අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් සහ එහි “නරඹමු ශ්‍රී ලංකා” නමැති ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්‍ෂ දිලීන් මුදාදෙනිය මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මම දේවප්‍රිය ජයවර්ධන සහ සනත් මැදිවක ඇතුළු ඔඪඔ නඩය සමග මහා සංචාරයට අවතීර්ණ වූයෙමි.

වර්ෂ 2009 ….. වැනිදා පෙරවරු 9.00 පමණ වන විට මම කපිතාන් ජයතිලකගේ පිළිගැනීමෙන් අනතුරුව ඝන වන රක්‍ෂිතයට රිංගුවෙමි. විල්පත්තු අභය භූමිය වනාහී අතීතයේ සිටම දේශීය සහ විදේශීය වන සංචාරකයන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ සුන්දර වන අරණකි. වර්ග සැතපුම් 260 ක පමණ වපසරියක්‌ 1938 දී ජාතික වනෝද්‍යානයක්‌ බවට පත් විය.

ස්‌වභාවික විල් හෙවත් වැව් හෝ ජලාශ්‍රිත පහත් බිම් 60 කින් පමණ සමන්විත වූ හේතුවෙන් මේ පත්තුව විල්පත්තුව ලෙස අතීතයේදී නම් ලබා තිබිණි. මේ වැව් ආශ්‍රිතව කැඩී ගිය විශාල කුඹුරු යායවල් දැකිය හැකිය. පූර්ව අනුරාධපුර යුගයේ සිට සශ්‍රීක ජනාවාසයක්‌ වනාශ්‍රිත වී දැන් වනෝද්‍යානයක්‌ බවට පත්ව ඇති අයුරු මගේ අතීත ආසාව අවුස්‌සන සුළුය.

විල්පත්තුවේ දූලි වලා අවුස්‌සමින් මගේ අජානෙයිය රථය ගමන් කරයි. උදේ රැයින් ජයසිරිමා බෝ හාමුදුරුවන් අබියසින් ගමන් ඇරැඹූ මගේ අරමුණ වී ඇත්තේ ඉර ගල වැටෙන්නට මත්තෙන් විජය රඡ්ජුරුවන් ගොඩබට තම්මැන්නාව හෙවත් වර්තමාන කුදිරවලෙයි තුඩුවට සේන්දු වීමය. එහෙත් මට ගමන ඉක්‌මන් කළ නොහැක. මේ ඝන වන අරණේ ඇති නැවුම් සහ අවදානම් භීතිය මගේ කුතුහලය අවුස්‌සන සුළුය. මොහොතක්‌ මේ කාෂ්ඨ වනය තුළ තනි වෙන්නට ඇත්නම්… සමහරවිට ඊළඟ පියවර මා එසේ කරාවි.

ජැක්‌සන් ඇන්තනී