විශ්වවිද්‍යාලය තියා සාමාන්‍ය පෙළ ලියන්න ඉන්නකොට උසස්‌ පෙළ විභාගයක්‌ කියල තියෙනවද කියලවත් දැනන් හිටියේ නෑ

මුලින්ම කියන්න ඔබ කැමැති ආදිවාසීන් කියා හඳුන්වනවටද, වැද්දන් කියා හඳුන්වනවටද?

නියම නම වැද්දො තමා. වැද්දන්ව හඳුන්වන්නෙ වන්නියෑලැ ඇත්තො කියලා. නමුත් මේ වැද්දො කියන නම ඇතුළෙ කෙනෙහිලිකමක්‌ තියෙනවා. ඒකයි වැද්දන්ට ආදිවාසීන් කියා ආමන්ත්‍රණය කරන්න ගත්තෙ.

අම්මා තාත්තාගේ නම් කියන්න පුළුවන්ද?

තාත්තා තෙන්නකෝන් මුදියන්සේලාගේ කිරි බණ්‌ඩා. එයා සිංහල පරම්පරාවෙ කෙනෙක්‌. අම්මා සුදු මැණිකා

පවුලේ සාමාජිකයෝ කීයද?

අම්මා තාත්තා හැර දොළොස්‌ දෙනයි. පිරිමි 7 යි ගෑනු 5 යි. මම ඒ අතරින් හයවැනියා.

පුංචි කාලයේ වැඩිපුර හිටියේ කැලේද?

ඒ කාලෙ අදට වඩා හුඟක්‌ වෙනස්‌. අපේ ආර්ථිය හැඩගැහිල තිබුණෙ හේන කියන එකත් එක්‌ක. මුදලට ගත්තෙ රෙදි විතරයි. ආහාර සඳහා අවශ්‍ය අනෙක්‌ හැම දේම හේනෙ වගා කළා. ගෙදර හිටිය හැම දෙනාම හේනෙ සාමාජිකයො. සිකුරාදා කැලයට යන අපි ආයෙත් හේනෙන් එළියට එන්නේ සඳුදට ඉස්‌කෝලෙ යන්න.

ජීවත් වෙන්න ස්‌ථිර තැනක්‌ තිබුණද?

ඔව්. පාරට ටිකක්‌ කිට්‌ටුව තමයි ගෙදර තිබුණේ. එතන ඉඳන් හැතැප්ම පහක්‌ දහයක්‌ ඈතින් තමයි හේන හදාගන්නේ. හේන නම් කාලෙන් කාලෙට වෙනස්‌ වෙනවා.

ඔබ ඔය කියන්නෙ කොයි කාලෙද?

මම මේ කියන්නෙ නවසිය හැත්තෑවෙ ගණන් වල

ඔය කාලෙ වෙනකොට බාහිර සමාජයත් එක්‌ක ඔබලාගෙ තිබුණ සම්බන්ධය මොන වගේද?

විදේශ සංචාරකයො විතරයි අපිව බලන්ඩ වැඩිදුර ආවේ ගියෙ. සිංහල මිනිස්‌සු බොහොම සුළු පිරිසක්‌ එක්‌ක සම්බන්ධ වෙලා හිටියා. අපේ අය වුණත් පදියතලාවට ගියේ බෙහෙතක්‌ ගේන්න හරි රෙදි කෑල්ලක්‌ ගන්න හරි විතරයි.

ආදිවාසියෙක්‌ විදිහට කොච්චර කල් හිටියද?

පුංචි කාලෙ ඉඳල වසර 15 ක්‌ වෙනකන් ජීවිතේ ගෙවුණෙ ආදිවාසී ජීවන රටාවත් එක්‌ක. ගස්‌වල ලැගල, දඩයම් කරල, හේන් වවල කැලයත් එක්‌ක ජීවත් වුණා.

ඔය සංස්‌කෘතිය බිඳ වැටෙන්නේ?

හේන් කපන එක තහනම් වුණ නිසා. හේන කියන සංස්‌කෘතිය අහිමි වෙනවාත් එක්‌කම අපේ සම්ප්‍රදාය බිඳ වැටෙනවා. මේ නිසා හේනත් එක්‌ක බැඳිලා තිබුණ ස්‌වයංපෝෂිත ආර්ථිකය වෙනුවට මුදල් මත බැඳි ආර්ථිකයකට යන්න ආදිවාසීන්ටත් සිදුවුණා.

ඔබ කොයිතරම් දුරට අධ්‍යාපනය ලබල තියෙනවද?

මට කලා උපාධියක්‌ තියෙනවනෙ. කලා උපාධියට අමතරව අධ්‍යාපන ඩිප්ලෝමාව කරල තියෙනවා.

පාසලට ගියේ කොහේටද?

නවය වසරට යනකන් දඹාන ඉස්‌කෝලෙට. ඊට පස්‌සෙ මට ශිෂ්‍යත්වයක්‌ හම්බ වුණා. මට වැඩිදුර ඉගෙන ගන්න මේ ශිෂ්‍යත්වය හම්බ වුණේ ‘අනාගතය අපේ අතේ’ කියන සංවිධානයෙන්. ශිෂ්‍යත්වය නිසා මට මාසෙකට රුපියල් 140 විතර ලැබුණා. 1980 වගේ කාලෙක ඒක ලොකු මුදලක්‌. මේ මුදල් ගන්න නිසා මට පාසල් නොයා ඉන්න බැරි වුණා. ඒ නිසා මම ඔරුබැඳි වැව ඉස්‌කෝලෙට ගියා. එහිදී ඕලෙවල් විභාගය වැඩ හතකුයි සම්මාන තුනකුයි එක්‌ක පාස්‌ වුණා. ඒත් එහෙ උසස්‌ පෙළ තිබුණෙ නෑ. නමුත් මාත් එක්‌ක ළමයින් 12 දෙනෙක්‌ම උසස්‌ පෙළ කරන්න සුදුසුකම් තිබුණ නිසා අලුතින් උසස්‌ පෙළ පංතියක්‌ පටන් ගත්තා.

දඹානෙන් මුල් වරට පිටතට එන්නෙ ඔරුබැඳිවැව පාසලටනෙ. ඒ අය කොහොමද ඔබව පිළිගත්තෙ?

මුලින්ම පාසල් යනකොට විවිධ කෙනෙහිලිකම් සිදුවුණා. මම ඒ අයගේ සංස්‌කෘතියෙන් පිටත කෙනෙක්‌ නිසා නිතර කොලොප්පම් කළා. හිනාවුණා.

ඉතින් පාසල් ගමන එපා උන්නැද්ද?

මුල් දවස්‌වල මම කාගෙන හිටියා. මෙහෙමයි….. මම දඹානෙන් යනකොටත් මට පිරිස්‌ සංවිධාන ශක්‌තිය, කථික හැකියාව වගේ හැකියාවන් තිබුණා. මම ඔරුබැඳිවැවට ගියේ පාසල් ක්‍රීඩා උත්සව කාලේ. එතැනදී මගේ සංවිධාන ශක්‌තිය ඉස්‌මතු වුණා. දවසක්‌ ළමයි මට නොදන්නවාම මාව ශිෂ්‍ය රැස්‌වීමක කථික තරගයට දාලා තිබුණා. ඒ අය එහෙම කරන්ඩ ඇත්තෙ මම සිංහලයි ආදිවාසී බසයි කලවමේ කතා කරනව බලා හිනාවීමේ අරමුණෙන්. ඒත් මම හොඳට කතා කරල ජයග්‍රහණය කළා.

එදා කතා කළ මාතෘකාව මතකද?

මට තිබුණෙ දුටුගැමුණු රඡ්ජුරුවො ගැන. මම ඉතින් දන්නා විදියට කතාව කළා. ඉස්‌කෝලෙ හිටිය ප්‍රධාන කථිකයාට වඩා ලකුණු 06 ක්‌ අරන් මම දිනුවා. මේ හැකියාවත් නිසා මට කළ කෙනෙහිලිකම් නැතිවෙලා ගුරුවරුන් මා දිහා පැහැදීමෙන් බැලුවා. මම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකකමටත් තේරුණා.

ඒ සිදුවීම් එක්‌ක ඉගෙන ගන්න උනන්දුව වැඩි වුණාද?

ඇත්තම කතාව මගේ ඉස්‌කෝලෙ යැමේ මූලික පරමාර්ථය වුණේ ඉස්‌කෝලෙ කරපු බාහිර වැඩ. ඒවා නොවුණා නම් ඉස්‌කෝලෙ ගමන එපා වෙන්ඩ තිබුණා. මොකද ඉස්‌කෝලෙට යන්ඩ උදේට හැතැප්ම තුනාමාරක්‌ පයින් යන්ඩ ඕන. දඹානෙ හන්දියෙන් 6.30 ට යන බස්‌ එක මඟහැරුණොත් ඒ දුර හැතැම්ම පහක්‌ වෙනවා.

විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වෙයි කියල හිතුවද?

නිකමටවත් හිතුවේ නෑ. ඒත් මට විභාගය හොඳට පාස්‌ වෙන්න පුළුවන් වුණේ මේකලා මාන්නප්පෙරුම අක්‌ක නිසා. මේ අක්‌කා හවස පන්තියක්‌ කළා. මම දන්න ගෑනු ළමයි ටිකක්‌ මේ අක්‌කගෙ පංතියට ගියා. මම තමයි මේ පංතියෙ හිටිය එකම පිරිමි ළමයා. ඒ ගෑනු ළමයිගෙ බලකිරීම උඩ ඒ අයගේ තනියටයි මම ඒ පංතියට ගියේ. කොහොම හරි ඒ අක්‌කා විභාගයට මාස හතක්‌ තියෙද්දී විභාගයට පිළිතුරු ලියන විදිය හොඳට කියල දුන්නා. ඒ නිසයි උසස්‌ පෙළ හොඳින් පාස්‌ වෙන්න පුළුවන් වුණේ.

පුංචි කාලේ විශ්වවිද්‍යාලයට යන්න අදහසක්‌ තිබුණද?

විශ්වවිද්‍යාලය තියා සාමාන්‍ය පෙළ ලියන්න ඉන්නකොට උසස්‌ පෙළ විභාගයක්‌ කියල තියෙනවද කියලවත් දැනන් හිටියේ නෑ. උසස්‌ පෙළට කරන විෂයයන් මොනවද කියල ගුරුවරු අහනකොට අනිත් ළමයි කියන ඒවා අහන් ඉඳල මමත් ඒවම තමයි කරන්නෙ කිව්වා.

විශ්වවිද්‍යාලයට තේරිලා කියල දැනගත්තහම?

මම විශ්වාස කළේ නෑ. මට විශ්වවිද්‍යාලයට යන්න ඕන කමකුත් තිබුණෙ නෑ. ඒත් මම වැඩ හතරයි සම්මාන තුනක්‌ ඇතිව පාස්‌ වෙලා. ලකුණු 228 ක්‌ තිබුණා. ඒ අවුරුද්දෙ ලකුණු 218 න් ඒ පළාතෙන් කැම්පස්‌ එකට ගත්තේ.

දැන් ඔය අඳින සරමයි කමිසයටයි මාරු වුණේ?

කැම්පස්‌ එකෙන් එන දවසෙ. බැඡ් ෆොටෝ එකට තමයි ඉස්‌සෙල්ලම ඇන්දේ. එදා ඉඳල දිගටම ඇන්දේ මේ ඇඳුම.

විශ්වවිද්‍යාලෙ ඉන්න කාලේ?

දිග කලිසමයි ටී ෂර්ට්‌ එකයි.

ඔරුබැඳිවැව ඉස්‌කොලෙ ඉන්න කාලේ?

කොට කලිසම් ඇන්දෙ. නිවාසාන්තර ක්‍රීඩා තරගයකදී මම ප්‍රධාන ශිෂ්‍ය නායකයා නිසා දිග කලිසම අඳින්න කීවා. මම බෑ කිව්වා.

කෙටේරිය කරේÊදාගෙන සරම් කොටයක්‌ ඇඳගෙන කවදාවත් ඔබ ආදිවාසී සාම්ප්‍රදායික ඇඳුමෙන් ඉඳල නැද්ද?

මට උරුම ගොවි සංස්‌කෘතියනෙ. පූර්ණ ආදිවාසී සංස්‌කෘතික මිනිහෙක්‌ ලෙස ජීවත් වුණේ නෑ මම.

ඔබ අයිති ගෝත්‍රය මොකක්‌ද?

අම්මගෙ පැත්තෙන් ඌරුවරිගෙ ගෝත්‍රයට අයිතියි.

විශ්වවිද්‍යාලයට එන්න කලින් කොළඹ ඇවිත් තිබුණද?

මහියංගනයට විතරයි තනියම ගිහින් තිබුණෙ. බදුල්ලටවත් ගිහින් තිබුණේ නෑ.

විශ්වවිද්‍යාලයට යන්න කලින් රස්‌සාවකට ගියේ ඇයි?

අම්මා නැතිවුණාම ඒක අපේ පවුලට දරුණුවට බලපෑව හින්දා. 88 මහියංගනේ ගම් උදාව තිබුණා. ගමේ අයගේ අකැමැත්ත උඩ මම ගම්උදාවෙ කම්කරු රස්‌සාවක්‌ හොයාගත්තා. ඊට පස්‌සෙ අභ්‍යාසලාභී ගුරු පත්වීම්වලට ඉල්ලුම් කළා. ඒත් මට මුල් වටේදී ඒක ලැබුණෙ නෑ.

ඇයි ඒ?

ඉන්ටව් එකට ගිහින් බැලුවාම ඉන්ටව් එකේ ඉන්න අනෙක්‌ අය ළඟ ගොඩක්‌ සහතික තියෙනවා. මට තිබුණෙ සහතික තුනයි. උප්පැන්නෙයි, අධ්‍යාපන සහතිකයයි. ජනසවි කාඩ් එකයි. එතන හිටපු අය මට හිනාවෙලා කිව්වා ඔය සහතික තුනට පත්වීම් දෙන්ඩ බෑ ගිහින් සහතික ටිකක්‌ හදාගෙන ආයෙත් එන්න කියලා. ඒත් මම සහතික හදාගන්න ගියේ නෑ. මොකද පටන් ගන්න තැනම මම බොරු කරල ළමයට බොරු කියන්ඩ එපා කියල උගන්නන්නෙ කොහොමද කියලා හිතුවා.

විශ්වවිද්‍යාලයට යන එක ගැන හිටපු ආදිවාසී නායක තිසාහාමි මොකද කිව්වේ?

නායක ඇත්තො කිව්වේ පුළුවන් කියල හිතනව නම් කරන්න කියල.

ආදිවාසීන් අතරින් මුලින්ම සරසවි ගිය ශිෂ්‍යයා විදියට ලැබුණු විශේෂත්වය.

විශේෂත්වයක්‌ නෑ. ඒත් මම එයි කියල හැමෝම බලාපොරොත්තුවෙන් ඉඳල තියෙනවා. මොකද මම එන්න කලින් මම ගැන පත්තරේ වාර්තාවක්‌ ගියා. ඒත් මම ආවේ කැම්පස්‌ පටන් ගෙන සති දෙකකට විතර පස්‌සේ. මම කියල හිතන් සමහරුන්ට රැග් කරලත් තිබුණා. නමුත් මම ආවට පස්‌සෙ රැග් කළේ නෑ.

දඩබිමෙන් දඩබිමට ලිව්වෙ විශ්වවිද්‍යාලයේදී නේද?

ඔව්. ඒත් ඒක ලිව්වේ පොතක්‌ ලියන අදහසින් නෙවෙයි. විශ්වවිද්‍යාලයේදී හැමෝම නිතරම මගෙන් වැද්දො ගැන විස්‌තර අහන එක වදයක්‌ වෙලා තිබුණා. ඒ වදෙන් බේරෙන්න මම කළේ කවුරු හරි වැද්දො ගැන ඇහුවාම ඔය පොත දෙනවා. මේකෙ ඔය ඔක්‌කොම තියෙනවා. කියවගන්ට කියලා. කොහොම හරි මේක ඡේ. බී. සර්ටත් ආරංචි වුණා. සර් මට අඬගහලා අත්පිටපත බලලා “බිම්තැන්නේ බස්‌ වහර” කියල ලංකාදීපෙට ලිපි පෙළක්‌ ලියන්න අවස්‌ථාව හදල දුන්නා. සරසවියෙ කලා උළෙලේදී ඒ පොත හොඳම පොතට තේරුණා. සරත් විඡේසූරිය සර්ලා එකතු වෙලා තමයි ඒක පොතක්‌ ලෙස මුද්‍රණය කළේ. මම දන්නෙ ඒකට මට තෑගි දෙනකොට.

විශ්වවිද්‍යාලයේදී පෙම්වතියක්‌ හිටියද?

කීප දෙනෙක්‌ මගෙන් ඇහුවා. ඒත් සංස්‌කෘතීන් දෙකක්‌ එකට පෑහෙන්නෙ නෑ කියලා මම හිතුවා. මම කිව්වා ඒ අයට මොකටද අමාරුවෙ වැටෙන්නෙ කියලා.

කොළඹ ජීවිතේ හිතට ඇල්ලුවද?

අපෝ නෑ. මම කාලයක්‌ කෑම නොකාම හිටියා. ඒකෙන් ඇඟ දුර්වල වුණා. ආපිට මම දඹානට ආවෙ ලෙඩෙක්‌ වෙලා. මගේ එක කකුලක්‌ පණ නැති වුණා. මම කොළඹින් දඹානට ආවෙ ආතරයිටිස්‌ හැදිලා.

ඒ කාලෙ හිටිය යාළුවො ඉන්නවද?

සමහරක්‌ අය. ඒත් මම යාළුවො ආශ්‍රය කරන එක අඩු කරල තිබුණේ. ඒකට හේතු වුණේ මම ගම්උදාවෙ කම්කරුවෙක්‌ ලෙස පාර පිරිසිදු කරන කොට මම වැඩ කරන පාරේ ආව යාළුවො මගෙත් එක්‌ක කතා කරන්න වෙයි කියල පාර මාරු කරල නොදැක්‌කා වගේ මාව මඟහැරියා. ඒකෙන් මම කලකිරුණා. අල්පේච්ඡ ජීවිතයකට හුරු වෙන්නත් ඒක හේතුවක්‌ වුණා.

උපාධිය අරන් ගමට ආවම ගමේ විශේෂයෙන් පිළිගැනීමක්‌ තිබුණද?

නෑ. වෙනදා වගේමයි. ඒත් ලියකියවිලි වැඩවලදී ගමේ අය මාව හොයාගෙන ආවා. ඒ වැඩ නම් වැඩි වුණා.

ඇයි විවාහ නොවුණේ?

සමාජ කටයුතු නිසා. සමාජ කටයුතු නිසා පෞද්ගලික ජීවිතයක්‌ තිබුණේම නෑ.

තිසාහාමි ඔබේ කව්ද?

මගේ මුත්තා

තිසාහාමිගේ වියෝව ආදිවාසී සමාජයට බලපෑවේ කොහොමද?

ඒ යුගය වෙනකොට අපිව බිඳවට්‌ටල තිබුණෙ. මම විශ්වවිද්‍යාලයට ගිය එක අපේ අයට නව පිබිදීමක්‌ ගෙන දෙන කාරණයක්‌ වුණා.

ඔබේ පවුලෙ ඉහළට ඉගෙන ගත්තෙ ඔබ විතරද?

නංගියි මල්ලියි උපාධිය සමත්. මල්ලි ටී. එම්. ධර්මරත්න. දඹානෙ ඉස්‌කෝලෙ උගන්වනවා. නංගි සිරියාවතී. එයා කම්කරුවෙක්‌.

මේ දවස්‌වල ජීවිතෙ ගෙවෙන්නෙ?

විශ්‍රාම හදාගන්න වෙහෙසෙනවා. ඒක වැඩ කරනවාට වඩා අමාරුයි. ආතරයිටීස්‌ නිසා වෛද්‍ය වාර්තාව අනුවයි මම විශ්‍රාම ගන්න හදන්නෙ. මේ රෝගය නිසා චිත්ත විවේකීව ඉන්නයි මට වෛද්‍යවරු කියල තියෙන්නේ. ඒත් පවතින නීති අනුව මට විශ්‍රාම ලැබෙයිද, ඉල්ලා අස්‌වෙන්න වෙයිද දන්නෑ. ඉල්ලා අස්‌වෙන්න වුණොත් විශ්‍රාම වැටුපක්‌ ලැබෙන්නෑ.

අවසාන වශයෙන් කියන්න ගුරු වෘත්තියෙන් තෘප්තිමත් ද?

ගුරුවරයෙක්‌ හැටියට ලොකු සේවයක්‌ කරන්න බලාපොරොත්තු වුණා. ඒත් අධ්‍යාපන රටාව වැරදි ක්‍රමයට සකස්‌වෙලාතියෙන්නේ. කාලීන අවශ්‍යතා සපුරන්නෙ නෑ. අපිට කරන්න කිසි දෙයක්‌ නෑ.

තිස්‌ස ගුණතිලක
ඡායාරූප – රංජිත් කරුණාවීර

මේ වගේ වටිනා ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණමයි