යුගයක්‌ නිහඬව නිදන කන්ද උඩරට ගැරිසන් සොහොන් බිම

කෙනකු ජීවත්ව සිටියදීට වඩා මියගිය පසු ඒa තැනැත්තා වටා ගොඩනැඟී ඇති වීර, ත්‍රාසජනක, බියගුළු චරිත මෙන්ම වෙනත් විවිධ අතීත සිද්ධීන් ගැන රසවත් තොරතුරු රාශියක්‌ම පවතී. බ්‍රිතාන්‍ය පාලනය මෙරට පැවති වකවානුවේ එහි හමුදා සොල්දාදුවන් හා රාජ්‍ය ප්‍රභූන්ගේ එවැනි තොරතුරු වැදගත් තැනක්‌ ගනී.

සියවස්‌ එකහමාරක පමණ කාලයක්‌ ඔවුන් මෙරට පාලනය සිදුකළ අතර ඒ සෑම අවස්‌ථාවකම පාහේ ස්‌වදේශික කැරැලි නායකයන් හා ඔවුන්ගේ අනුගාමික පිරිසගෙන් විවිධ විරෝධතා හේතුවෙන් බ්‍රිතාන්‍ය පාලකයෝ දැඩි අසීරුතාවකට පත්වී සිටියහ.

ඒ අනුව 1846 පැවති මාතලේ කැරැල්ල විශේෂ තැනක්‌ ගනී. එහිදී වීර පුරන්අප්පු හා ඔහුගේ අනුගාමික පිරිස විසින් මාතලේ කච්ෙච්රියට ගිනිතබා විනාශ කරන ලදී.

මෙම කච්ෙච්රිය හා එම ප්‍රදේශය භාරව සිටි ඉංග්‍රීසි ආණ්‌ඩුවේ එඩ්මන් සැම්සන් වෙයාරින් නම් වූ ඒජන්තවරයා එහිදී තම හමුදාව සතුරන්ට පාවාදී එහි පෑල දොරින් පලාගොස්‌ සිය ජීවිතය බේරාගෙන තිබේ. ඊටපසුව බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව ඔහු තම රාජ ද්‍රොහියකු ලෙස නම්කොට මාතලේ ඒජන්තකමින්ද පහකර තිබේ. ටික කලකට පසුව ඔහු මියගොස්‌ ඇත. එම රාජ ද්‍රොහියාගේ මළසිරුර මහනුවර පිහිටි ගැරිසන් නම්වූ බ්‍රිතාන්‍ය හමුදා සොල්දාදුවන්ගේ සුසාන බිමේ මිහිදන් කොට ඇත.

ජෝන් ඩොයිලිගේ සොහොන

මෙවැනි තවත් වැදගත් ඓතිහාසික රසවත් තොරතුරු රාශියක්‌ම මෙම ගැරිසන් සුසාන බිම මගින් අනාවරණය කරගත හැකිය. ගාම්භීරව එහි මිහිදන් කොට ඇති එම බ්‍රිතාන්‍ය තරුණ සොල්දාදුවන් හා රාජ්‍ය ප්‍රභූ පිරිසගේ සොහොන් කොත් ඒවා නිහඬව කියාපානා සේ දිස්‌වේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට නුදුරුව රාජකීය උඩවත්ත කැලේට මායිම්ව පිහිටා ඇති එම ගැරිසන් සුසාන භූමිය ප්‍රමාණයෙන් පර්චස්‌ 120 කි. 1817 දී මෙය මුලින්ම පටන් ගෙන ඇත. එදා සිට 1873 දක්‌වා මෙහි එවැනි මළසිරුරු 450 ක්‌ පමණ මිහිදන් කොට තිබේ. 1873 වසරේ මහනුවර මහයියාව සුසාන බිම විවෘත කිරීමත් සමගම මෙම ගැරිසන් සුසාන බිමේ එම භූමදාන කිරීමේ කටයුතු නවතා දමන ලදී.

දරුණු මැලේරියා වසංගතය දේශගුණික විපර්යාස, වනසතුන්ගේ පහරකෑමට හා අනතුරුවලට ගොදුරු වීමෙන් මොවුන් මෙසේ මරුමුවට පත්වී මෙහි මිහිදන් කර ඇති බවට වාර්තා වී තිබේ.

ඥති සම්බන්ධතා මත එකම වළක කීප දෙනෙක්‌ එසේ මිහිදන් කර තිබේ. ඒ අනුව එකම වළක පස්‌දෙනකු මිහිදන් කර තිබෙන බවට එහි සාධක දක්‌නට ඇත.

රටක්‌ දිනා ගැනීම වෙනුවෙන් එකම ලේ බිඳුවක්‌ හෝ නොහෙළා උඩරට රාජ්‍යයන් සමග මුළු දිවයිනම බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට නතුකර ගැනීම සඳහා ඉවසීමෙන් කල්යල් බලා බුද්ධිමත්ව කටයුතු කළ ශ්‍රීමත් ජෝන් ඩොයිලිගේ සොහොන් කොත එහි සෙසු අන් සෑම ස්‌මාරකයක්‌ම පරයා ඉහළින් හා විශාලත්වයෙන් මතුවී පෙනෙන්නට ඇත.

බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර හෙන්රි විලියම් ග්‍රෙගරි මහතාගේ බිරිඳ එළිසබත් ග්‍රෙගරිගේ සොහොන් බිම…..

එසේ ඉතා පහසුවෙන් කන්දඋඩරට රාජ්‍ය ඔහුට ලබා ගැනීමට හැකිවී ඇත්තේ මනා ලෙස සිංහල භාෂාව හැසිරවීමේ හැකියාව ප්‍රගුණ කර තිබූ නිසයි. ඩොයිලි සිංහල භාෂාව හදාරා ඇත්තේ එවකට සිටි කරතොට හෙවත් කොරතොට ධම්මාරාම හිමියන් ගෙනි.

කන්ද උඩරට රාජ්‍යයේ සිටි ඉහළ නිලතල දැරූ රදළ නායකයන් සමග සිංහල භාෂාවෙන්ම කතා කොට බ්‍රිතාන්‍ය රජය යටතේ ඔවුන් සැමටම ඉහළ තනතුරු ලබාදීමට කටයුතු කරන බව පවසා ඔවුන්ගේද සහාය ලබාගෙන අවසානයේ සිංහලේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

ඔහු එංගලන්තයේ ඔක්‌ස්‌ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. කිසිදු ලේ බිඳුවක්‌ හෝ නොහෙළා ඉතා පහසුවෙන් උඩරට රාජ්‍යය බ්‍රිතාන්‍ය රජය සතු කිරීමට ඇප කැපවී බුද්ධිමත්ව කටයුතු කළ මහනුවර බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවේ මහනුවර නේවාසික නියෝජිත ශ්‍රීමත් ජෝන් ඩොයිලිට ඒ සඳහා උපකාරයක්‌ වෙනුවෙන් රාජ්‍ය භෝජන සංග්‍රහයක්‌ පැවැත්වීමට බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර එඩ්වඩ් නෝර්ත් පියවර ගෙන තිබිණි.

එය මහනුවරදී පැවැති අතර ඊට ශ්‍රීමත් ජෝන් ඩොයිලි සහභාගි වී ඇත්තේ තමන්ට ආවේනික යුරෝපීය ඇඳුමෙන් නොවේ. ඔහු උඩරැටියකු ලෙස සැරසී ඊට සහභාගි වී ඇත. කොණ්‌ඩය රැවුල වවාගෙන සරමකට උඩින් කමිසය දමාගෙනය. එහිදී ඔහු දුටු රාජ්‍ය නායකයන් පවසා ඇත්තේ ශ්‍රීමත් ජෝන් ඩොයිලි බ්‍රිතාන්‍යයේ ඔක්‌ස්‌µර්ඩ් විශ්වවිද්‍යාල සිසුවකු මේ අයුරින් මෙම රාජ්‍ය භෝජන සංග්‍රහයට සහභාගි වී තිබීම නොගැළපෙන බවකි.

එයින් ඔහු එදා ජන සමාජයට පෙන්වා දුන්නේ තමන් සතුව ඇති නිහතමානී අවංක බවේ සංකේතයන්ය. 1824 දී ඔහු මැලේරියා උණ රෝගයෙන් මහනුවරදී මියගොස්‌ ඇත. මාතර ප්‍රසිද්ධ කිවිඳියක වන ගජමන් නෝනා විසින් මෙම ඩොයිලි වර්ණනා කොට කවි රාශියක්‌ම ලියා තිබේ.

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණි සංදේශ කාව්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කොට 1865 දී එළිදැක්‌වීම සිදුකළ විලියම් චාල්ස්‌ වෙක්‌රෙඩි (36) නමැති ඉංග්‍රීසි ජාතික සිවිල් සේවකයෙකි. එම කෘතිය පාසල් සිසුන්ගේ අධ්‍යාපනයට සුදුසු බවට එවකට පැවැති ඉංග්‍රීසි රජයෙන් අනුමැතියක්‌ද ලබාදී තිබිණි. එම ලේඛකයා 1832 ඉපිද 1871 දී පුත්තලමේදී මියගොස්‌ තිබේ. ඔහුගේ එම මළසිරුර ගැරිසන් සුසාන බිමේ මිහිදන් කර ඇති බව දන්නේ කීයෙන් කීදෙනාද? මේ පිළිබඳව විස්‌තර ඵලකයක්‌ද එහි ඇත.

බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර හෙන්රි ග්‍රැගරි මහතාගේ බිරිඳ එළිසබත් ග්‍රැගරි මහත්මිය අනුරාධපුරයට සංචාරයකට ගොස්‌ නැවත පැමිණෙමින් සිටියදී හදිසියේ හටගත් දරුණු පාචන රෝගයෙන් 1873 වසරේÊමරුමුවට පත්වී තිබේ. ඇගේ මළසිරුර ද මෙහි මිහිදන් කර ඇත. ඇගේ සුනඛයාද එසේ හදිසියේ මරුමුවට පත්වී ඇති අතර උගේ මළසිරුර මහනුවර රජගෙදර බිමේ භූමදානය කොට එහි ස්‌මාරකයක්‌ද ඉදිකර ඇත. 1872 – 1877 දක්‌වා හෙන්රි විලියම් ග්‍රැගරි මහතා මෙරට බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරවරයා ලෙස කටයුතු කර තිබේ.

ලියුට්‌ ජෙනරල් ජෝන් ප්‍රේසර් (72) මහතාගේ මළසිරුරද ගැරිසන් සුසාන බිමේ මිහිදන් කොට ඔහු පිළිබඳව විස්‌තර සහිත සමරු ඵලකයක්‌ද ඒ මත තබා ඇත. මොහු අලුතින් මාර්ග නිර්මාණය කිරීමේ ඉංජිනේරුවරයකි. මහවැලි ගඟ හරහා එගොඩ මෙගොඩ වීම සඳහා පේරාදෙණියේ බුරුත ලීවලින් පාලමක්‌ ඉදි කළේය.

එම ලී එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා කිසිම ඇණ මුරිච්චියක්‌ ඔහු විසින් භාවිතයට ගෙන නැත. මෙම ලී පාලම දැනට එහි ඇති යකඩ පාලම ඉදිකිරීමට පෙර එනම් 1833-1905 දක්‌වා පුරා වසර 72 ක්‌ පාවිච්චියට ගෙන තිබේ. මෙය එවකට අඩි 205 ක්‌ පමණ දිගින් යුක්‌ත විය.

ඔහු ශ්‍රීමත් ජෝන් ඩොයිලි සමග ගොස්‌ සිංහලේ අවසන් රජු අත්අඩංගුවට ගෙන සිටියදී වැල්වලින් ගැටගසා තිබූ රජුගේ අත්පාවල එම බැමි වහා ලිහා රජ කෙනකුට දක්‌වන ගෞරවය හා සැලකිල්ල ලබාදීමට ඉදිරිපත් වූ අවංක නිහතමානී බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකි. 1862 මැයි 2 වැනිදා ඔහු මියගියේය. ඔහුගේ සිරුරද මෙහි මිහිදන් කොට සමරු ඵලකයක්‌ ද එහි තබා ඇත.

මෙහි තවත් එඩිතර තරුණ හමුදා නිලධාරියකු ගැන සමරු සටහනක්‌ දක්‌නට ඇත. ඒ කැප්ටන් ලාඩිගේ (36) සොහොන් ගැබ ගැනයි.

මහවැලි ගඟ ඇරැඹෙන සමනළ අඩවියේ සිට ගලාගොස්‌ මහ සයුරට එකතුවන ත්‍රිකුණාමලේ දක්‌වා ගඟ දිගේ ගමන්කොට එහි සිතියමක්‌ නිර්මාණය කිරීම කපිතාන් ලාඩිට පැවරී තිබිණි. එය අතිශයින් දුෂ්කර වූ අනතුරුදායක කාර්යයක්‌ වුවත් නිර්භීතව කැප්ටන් ලාඩි ඉදිරිපත් වී තිබේ. ඒ සඳහා අවශ්‍ය සේවක පිරිස, ආහාරපාන, රාත්‍රි කාලයට එම ගඟ අසබඩ ගැවසීමට අවශ්‍ය කූඩාරම් ආදියද එවකට පැවැති ඉංග්‍රීසි ආණ්‌ඩුව විසින් ඔහුට සපයා දී තිබේ. මෙම භාරදූර කාර්යය අවසන් කිරීමට වසරක පමණ කාලයක්‌ ගතවනු ඇත.

සිතියම් සකස්‌ කිරීමේ කාර්යය පටන් ගෙන මාස කීපයකින් වසූරිය වැළඳීමෙන් ඔහු අකාලයේ මරුමුවට පත්වී ඇත. ඔහු තම තරුණ ජීවිතය පරදුවට තබා ඉදිරිපත් වීම ගැනත් ඔහුගේ නිර්භීතකම ගැනත් සතුටට පත් ඉංග්‍රීසින් ඔහු වීරයකු ලෙස සලකා ගරු බුහුමන් දක්‌වා තිබේ. ඔහුගේ එම අකල් මරණයත් සමග එම කාර්යය නවතා දැමීමට බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව පියවර ගෙන ඇත්තේ සිතියම සකසා අවසන් වන විට තම සොල්දාදුවන් විශාල පිරිසකගේ ජීවිතය මේ අයුරින් අවසන් වීම වළකා ගැනීමටයි.

කපිතාන් ඡේම්ස්‌ මැන්ලාසන් (26) මෙම තරුණ හමුදා නිලධාරියා බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවේ තවත් අපූරු අභියෝගයක්‌ නිර්භීතව භාර ගත්තේය. එනම් ත්‍රිකුණාමලේ සිට මහනුවරට පයින් පැමිණීමය. එහෙත් අද මෙන් එදා හරිහැටි පාරක්‌ තොටක්‌ නොවීය. වන සතුන්ගෙන් සමන්විත මහ ඝන වනාන්තර මැදින් එසේ පැමිණිය යුතුය.

ඔහු ත්‍රිකුණාමලේ සිට ගමන ඇරැඹීය. එහි අතරතුර නොකඩවා පැවැති දැඩි වර්ෂාවට ඔහු ඇඳගෙන සිටි එකම ඇඳුම තෙමී තෙතබරිත වී තිබිණි. එම තෙත වතුර බේරෙන ඇඳුම සමග අතරමඟ ගස්‌ යට නිදාගෙන විඩාව හැර නැවතත් ගමන ඇරැඹීය. එහෙත් ඔහුට වැඩිදුරටත් පයින් යැමට හැකියාවක්‌ නොවීය.

හදිසියේ දැඩි ලෙස රෝගී තත්ත්වයකට පත්විය. පසුව එම ගමන අතරමඟ නතරකොට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලදී. ඔහුට වැළඳී තිබුණේ මැලේරියා උණකි. දිනෙන් දින ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න විය. අවසානයේ මෙම

ඡේම්ස්‌ මැන්ලාසන් තරුණ නිලධාරියා දේවගැතිවරයකු ගෙන්වා තම ඇඳ අසලදීම අභිවෘද්ධියාලේපය කරවා අවසානයේ සදහටම දෑස්‌ පියා ගත්තේය.

මොහු ප්‍රංශයේ හා ස්‌පාඤ්ඤයේ පැවැති බුසාතෝ හා ඇල්බියුරා හා වෝටලූ යන යුද පෙරමුණුවල සටන් කළ නිර්භීත නිලධාරියෙකි. එසේම ප්‍රංශයේ නැපෝලියන් බොනපාට්‌ සමගද යුද සටන් කළ අයෙකි. මොහුගේ සොහොන ඇත්තේ ද මහනුවර ගැරිසන් සුසාන භූමියේය.

විලියම් ටොම්සන් මැක්‌වුඩ් වයස අවු. 20 කි. 1867 මරුමුවට පත්වී ඇත. ගම්පොළ ප්‍රදේශයේ තේ වගාවට කැලේ විශාල ගස්‌ කපා බිම හෙළිමේදී එම ගසක්‌ ඔහුගේ සිරුර මතට පතිත වීමට ආසන්නයේ එයින් බේරීමට සිය අශ්වයා පිටින් බිමට පැන ඇත. ඔහු එසේ පැන ඇත්තේ ලී උලක්‌ මතටය.

එහිදී මෙම තරුණ බ්‍රිතාන්‍ය වැවිලිකරු මියගිය බව සඳහන් වේ. ලබුකැලේ මැක්‌වුඩ් නමින් විශාල තේ වතුයායක්‌ අදටත් එහි දක්‌නට ඇත.

මෙවැනි තවත් අතීත රසවත් තොරතුරු රාශියක්‌ම මෙම ගැරිසන් සුසාන බිම නිහඬ බවින් ආවරණය කරගෙන සිටී. 1998 බ්‍රිතාන්‍ය පිලිප් කුමරු මෙරටට පැමිණීමත් සමග එතෙක්‌ කැලේට යමින් පැවැති මෙම සොහොන් බිම නැවතත් සංරක්‌ෂණය කොට ඇත. දැනට එහි භාරකරු ලෙස චාල්ස්‌ මයිකල් මහතා කටයුතු කරමින් සිටී. පොදු රාජ්‍ය මණ්‌ඩල යුද සොහොන් කොත් සංවිධානය මෙහි නඩත්තු කටයුතු සිදු කරයි.

විස්‌තර හා ඡායාරූප
divaina.com

මේ වගේ වටිනා ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණමයි