දොළොස්‌ වසරක්‌ තුළ සියක්‌ වරක්‌ සිරිපා කරුණා කළ අසූපස්‌ වියෑති ප්‍රේමවතී අම්මා

සිරිපා මළුව පිරී ඉතිරී ගොසිනි. දුර්ග මග කෙළවර උඩ මළුවට පිවිසි සැණින් බොහෝ දෙනාගේ විඩා දුරුවී ගොස්‌ය. අලුයමෙහි මියුරු රැස්‌ දහරා පෙරදිග අහසෙහි ඇඳෙමින් තිබේ. මේ රැස්‌ව සිටිනා සුබීමත්හු ඉරසේවයේ අරුමය දකිනු රිසිව මළුවෙහි සැදී පැහැදී සිටිති.

සිරිපා සමය ඇරඹුණේ පසුගිය දෙසැම්බර් මස 27 වෙනිදා උඳුවප් පුර පසළොස්‌වක පෝයදාය. එසේම සිරිපා සමය නිමාවට පත්වූයේ පසුගිය වෙසක්‌ පුර පසළොස්‌වක පෝය දිනට පසු දිනය.

මේ අනුව ගතවූ පස්‌ මසක කාලය තුළ සිරිපා කරුණා කිරීමට දිවයින පුරා දස දෙසින් පැමිණි දහස්‌ සංඛ්‍යාත සැදැහැවතුන් අතර ජාති කුල ආගම් භේදයෙන් තොර වූ මෙරට ජනතාව මෙන්ම විදේශකයෝද වූහ.

මේ අතරතුර මියුරු ළයාන්විත හඬකින් ගැයෙනා තුන්සරණය ගයනා හඬක්‌ ඇසෙමින් තිබිණි. ඒ ගී හඬ ඇසුනේ අසූපස්‌ හැවිරිදි මාතාවකගෙනි. ඇය විදේශික යොවුන් නඩයක්‌ සමග ගමන් කරමින් උන්නාය. කිසිදු වෙහෙසකින් තොරව සැමගේ සිත් පහන් කරමින් උඩ මළුව වෙත ගමන් කරනා මේ ප්‍රසන්න මාතාව ටී. ටී. ප්‍රේමාවතී නම් වූවාය.

සිරිපා තරණය කිරීමේදී ඇයට වෙහෙසක්‌ නොදැනෙන තරම්ය. මේ වන විට ඇය සියක්‌ වරක්‌ පමණ සිරිපා කරුණාකර ඇත්තීය. වාරයට මෙන්ම, අවාරයටද සිරිපා කරුණා කර ඇත්තීය. ඇයගේ රසවත් ජීවිතය හා අතීතය පිළිබඳව ඇය කතා කරන්නේ මහත් වූ රුචියකිනි. ඒ අතීත අත්දැකීම් සිහි කරමින් විටෙක ඇය අපව පිනවන්නීය. සොඳුරු අතීතය තුළ කිමිදී ඇයත් ජීවිතය විඳින්නීය. දුර්ග තරණයේ වෙහෙස මකාලමින් ප්‍රේමවතී අම්මා කතා කරන්නට වූවාය. ඇය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයැම ඉතා චතුර ලෙස හසුරුවන්නීය.

මම පුතේ පිටරටවල ඉඳල සිරිපා කරුණා කිරීමට එන සුද්දන්ට හා සුද්දියන්ට මග පෙන්වන්නියක හැටියට කටයුතු කරනවා. මම මේ වැඩේ පටන් අරන් දැනට අවුරුදු දොළහක්‌ විතර වෙනවා. හැබැයි මම මේ වැඩේ මුදල් බලාගෙන කරන්නෙ නෑ, ඒ උදවිය මුදල් දුන්නොත් ගන්නවා. ප්‍රේමවතී අම්මා කතාව පටන් ගත්තාය.

දික්‌ඔය ප්‍රදේශයේදී උපත ලැබ මේ වන විට හැටන් මස්‌කෙළිය, අප්කට්‌ පාරේ පදිංචිව සිටින ප්‍රේමවතී මාතාව පස්‌ දරු මවකි. එමෙන්ම ඇය මුණුබුරු මිනිබිරියන් දහහත් දෙනකුගේ ආදරය හා සෙනෙහස ලබන මිත්තනියකි.

යොවුන් වියේදී ලිප්ටන් සමාගමට අයත් බැනියන් වතුයායේ සහ ක්‌වින්ලන් වතුයාය ඇතුළු වතු බංගලා කීපයක ඇය සේවය කළාය. ඇයගේ රැකියාව වූයේ විදේශිකයන්ගේ දරුවන් බලා ගැනීමය. එහිදී ප්‍රේමවතී අම්මා ඉංග්‍රීසි සහ දෙමළ භාෂාව චතුර ලෙස හැසිරවීමට හුරුවක්‌ ලැබුවාය.

පසු කලෙක ප්‍රේමවතී අම්මා සිරිපා කරුණා කිරීමට පැමිණෙන විදේශිකයන් හට මග පෙන්වන්නියක ලෙස කටයුතු කරන්නට පටන්ගත්තාය. ඒ මුදලටත් වඩා කාංසිය මකා ගන්නටය.

විදේශිකයන් අතර මිසිස්‌ බ්‍රෙන්ඩා යන ආදර නාමයෙන් ප්‍රචලිත ඇයට අවස්‌ථා කීපයකදී තම හිතවත් විදේශීය මිතුරු මිතුරියන් කීප දෙනකුගෙන් විදේශ සංචාර සඳහා ඇරයුම් ලැබිණි. ඒත් ගුවන් ගමන් සඳහා ඇය තුළ තිබෙන බිය නිසා එම ඇරයුම් ප්‍රතික්‌ෂේප කළාය.

ප්‍රේමවතී අම්මා කෙසඟ සිරුරකින් යුතුය. වියපත් වුවද ඉතා නිරෝගීය. ඇගේ දෛනික ජීවිතය කඩිසර බවින් යුතු එකක්‌ නිසා ඇය මේ දක්‌වා අසනීපයක්‌ සඳහා ඖෂධ භාවිත නොකර සිටීමද විශේෂත්වයකි.

ඇය තම ජීවිත කථාව ගීතයක්‌ ගයන්නාක්‌ මෙන් කියන්නීය.

මම තරුණ කාලෙ මේ පැත්තෙ වැඩිපුරම හිටියේ වතුවල වැඩ කරන අය. ඊට අමතරව හිටියෙ සුදු නෝනල මහත්තුරු. මට ඒ කාලෙ වතු බංගලා කීපයකම දරුවෝ බලා ගැනීමට අවස්‌ථාව ලැබුණා. දරුවො බලා ගන්නා අයව නැනී කියලා හැඳින්වුවා. මට ඒ සුදු නෝනල මහත්තුරු ගොඩාක්‌ ආදරෙන් සැලකුවා. මමත් ඒ අය කියන විදිහට කටයුතු කළා.

මම ඒ අය ළඟ වැඩ කරන කාලෙ හොඳට ඉංග්‍රීසි සහ දෙමළ භාෂාව පුහුණු වුණා. පසු කාලෙක මම ගෙදරට වී කාලය ගත කරන විට සුදු නෝනල මහත්තුරු කීප දෙනකුට සිරිපාදෙ නගින්න මග පෙන්වීමට අවස්‌ථාව ලැබුණා. ඊට පසුව පිටරටවලින් ලංකාවට පැමිණෙන සුදු නෝනල මහත්වරුන් සිරිපා වන්දනාවේ යැමට මග දැන ගැනීමට මා සොයා ගෙන එන්න පටන් ගත්තා. දැන් ඉතින් එහෙම එන සුද්දො සුද්දියෝ බොහෝ දෙනෙක්‌ මාව සොයා ගෙන ඒමට පුරුදු වී සිටිනවා.

මගෙ කොන්ඩෙ පැහිලා සුදුවට තියෙනවට සුදු නෝනල මහත්තුරු හරිම කැමතියි. සිරිපා වඳින්න එන හැම විදේශිකයෙක්‌ම මා සමග එකට ඉඳලා ෙµdටෝ ගන්නවා. මම කිසිම දවසක ඇස්‌ කන්නාඩි පාවිච්චි කරන්නේ නෑ. මට හවස්‌ කාලයේ වුවත් හොඳට ඇස්‌ පේනවා.

මම 2002 වර්ෂයේ ඉඳලා තමයි විදේශිකයන්ට මග පෙන්වීමට මුල පිරුවේ. මම සමහර දිනවලට එක දිනකට දෙවරක්‌ විදේශිකයන්ට සිරිපා කරුණා කරපු අවස්‌ථා තිබෙනවා යෑයි කී ඇය මද සිනහවක්‌ පා සිරිපා මළුව දෙස බලා සාදු සාදු කීවාය.

සිරිපා කරුණා කරන විට මට සුමන සමන් දෙවියන්ගේ ආරක්‍ෂාව රැකවරණය නිතරම ලැබෙනව පුතේ. සිරිපා කරුණා කරන විට සීත ගඟුලෙන් එහාට ගියාට පස්‌සේ මම බඹරවගේ තමයි. මට එතැන් සිට ඇඟට පුදුම හයිය හක්‌තියක්‌ ලැබෙන්නෙ. මම පැය තුනහමාරකින් පමණ සිරිපාදෙ කන්ද නගිනවා.

මම සුද්දොa එක්‌ක සිරිපාදෙ නගින කොට නිතරම “රගුපති රාජව රාජාරාම්……. සින්දුව ගායනා කරනවා. ඒ සිංදුවට ඒ අය හරිම කැමතියි.

ඒ විතරක්‌ නොවෙයි පුතේ. මම සිරිපාද කන්ද නගින විට විඩාව සහ දුෂ්කර බව තුනී කර ගැනීමට ගායනා කරන හැම දෙයක්‌ම විදේශකයෝ සමග ගත කරන ඒ පැය කීපය තුළදී කියා දෙනවා. ඒ අයත් හරි ආශාවෙන් මම කියන දේවල් කියමින් කන්ද නගිනවා.

සමහර විදේශිකයෝ නල්ලතන්නියේදී මාව මුණ ගැසුනට නුවර, හැටන් ඇතුළු ප්‍රදේශවලත් සංචාරය කිරීමට එක්‌ක යනවා. විදේශිකයන්ට මග පෙන්වන ලංකාවෙ එකම ගෑනු කෙනා මම විතරයි කියලා මට හිතෙනවා. ඒ නිසාද මන්ද විදේශිකයෝ මට හරි කැමතියි.

අවාරෙට වගේම, වාරෙට සිරිපා කන්ද නගින්න විදේශිකයෝ පැමිණෙනවා. ඒ අයට මග පෙන්වීමට ගියාම මම මුදල් ඉල්ලන්නේ නෑ, ලැබුණොත් කීයක්‌ හරි ගන්නවා. ඉතින් එසේ පැමිණෙන විදේශිකයන් මට රුපියල් 2000.00, 3000.00 සහ 5000.00 ආදී වශයෙන් ලබා දෙනවා. මම ඒවා පන්සලේ වැඩ කටයුතුවලට සහ දරු මුණුබුරන්ට දෙනවා.

මම වැඩිපුරම කාලය ගත කරන්නේ නල්ලතන්නිය අසල තිබෙන ගෙස්‌ට්‌ හවුස්‌ එකේ. එහි අයිතිකාර මහත්තයා මට වෙනම කාමරයක්‌ ලබාදීලා තියෙනවා. නොමිලේ ආහාර දෙනවා. මම දින දෙකකට තුනකට වරක්‌ එහි සිට මස්‌කෙළිය නගරයේ ඉන්න මගෙ දරුවන්ගේ ගෙවල්වලට ඇවිත් කාල බීල දරු මුණුබුරොත් එක්‌ක විනෝදෙන් ගත කරනවා.

මම ගත කරන ජීවිතයත් සමග මට තව බොහෝ කාලයක්‌ ජීවත් වෙන්න වාසනාව ලැබේවි කියලා සිතෙනවා. යෑයි පවසමින් උස්‌ හඬින් සිනහවක්‌ පෑ ඇය අනේ පුතේ දැන්නම් පරක්‌කුත් වුණා. මට දැන් යන්න ඕන. කීවාය.

එසේ පවසමින් මද දුරක්‌ ගොස්‌ නැවත අප දෙස ආපසු හැරී බලා මද සිනහවක්‌ පා සිරිපා මළුවේ පිරී ඉතිරි සිටි සැදැහැවතුන් අතර නොපෙනී ගියාය. මීදුමෙන් වසා ගත් ඒ අසිරිමත් සිරිපා අඩවියේදී හමුවූ ප්‍රේමවතී අම්මා ගේ මතකය තවත් බොහෝ කාලයක්‌ මා සිත තුළ රඟ දෙනු ඇත.

පර්සි කුරුනේරු

මේ වගේ වටිනා ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණමයි