අලුත් අවුරුද්දේ පැණි රස කාපූ හැමෝම අනිවාර්යෙන්ම කියවිය යුතුම ලිපියක්

රසවත් කෑමක්‌ දකින විට නිතැතින්ම අපේ සිතට එම ආහාරය පිළිබඳව ආශාවක්‌ ඇතිවේ. එය මනුෂ්‍ය ස්‌වභාවයයි. පසුගිය දින කිහිපයේදී සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සකස්‌ කළ කැවුම්, කොකිස්‌, අතිරස, මුං කැවුම් වැනි රස කැවිලි වලටද අප බොහෝදෙනා ආශා කරන්නට ඇත. නිතර දෙවේලේ දකින්නට නොලැබෙන මෙවැනි රස කැවිලි දුටුවිට බොහෝ දෙනාට සිත පාලනය කරගැනීමට පමණක්‌ නොව කට පාලනය කරගැනීමටද නොහැකිය.

සීනි සහ තෙල් අධික මෙම රස කැවිලි වර්ග එකක්‌ දෙකක්‌ නොව හතරක්‌ පහක්‌ පමණ ආහාරයට ගත්විට අපටත් හොරා අපගේ ශරීරයේ රුධිර සීනි මට්‌ටම ඉහළ යනු ඇත.

තෙලෙන් බැදගත් මෙම රස කැවිලි වල ඇති තෙල් නිසා ශරීරයේ කොලෙස්‌ටරෝල් මට්‌ටමද ඉහළ යයි.

එනිසා දියවැඩියාව, අධි රුධිර පීඩනය රෝග වලින් පෙළෙන පුද්ගලයන් පසුගිය දින කිහිපයේ පැණි රස කැවිලි පෙවිලි තෙල් සහිත කෑම බීම කෑවානම් තම රුධිර සීනි මට්‌ටම පරීක්‍ෂා කරගැනීම වඩාත් සුදුසුය.

තෙල් සහිත කෑම බීම වැඩිපුර කෑම නිසා ඇතිවිය හැකි ශරීරයේ කොලෙස්‌ටරෝල් මට්‌ටම ඉහළ යාම අද හෙට සිදුවන්නේ නැත. නමුත් තව සතියකින් පමණ එම අවදානමට ගොදුරු විය හැකි නිසා වෙනදාට වඩා කය වෙහෙසවීමට සහ තෙල් සහිත ආහාර වර්ග වැඩිපුර කෑමට නොගැනීමට අවධානය යොමුකළ යුතුය.

සීනි යනු අප බාහිරින් ගතයුතු අත්‍යවශ්‍ය පෝෂ්‍ය සංඝටකයක්‌ නොවේ. දිනපතා අප ගනු ලබන, බත්, පිටි කෑම, එළවළු, පලතුරු මගින් ශරීරයට අවශ්‍ය සීනි ප්‍රමාණය ලබාගත හැකිය.

එනිසා අප සීනි අධික ආහාර පාන ගත් විට සිදුවන්නේ එය රුධිරය සමඟ එක්‌වීමය. රුධිරයේ ඇති සීනි මට්‌ටම ඉහළ යාම යනු දියවැඩියා රෝගය මතුවීමය.

මගේ රුධිර සීනි මට්‌ටම අඩුයි. සමහරු එසේ පවසති. නමුත් රුධිරයේ තිබිය යුතු සීනි මට්‌ටම පහළ බසින්නේ ඉතා කලාතුරකින් බව අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පවසයි.

එවැනි පුද්ගලයන් අධික තරබාරු අයවිය හැකි බවත් ඔවුනගේ ශරීරයේ ඇති රුධිරගත සීනි ප්‍රමාණය පාලනය සඳහා අග්න්‍යාසය මගින් වැඩිපුර ඉන්සියුලින් නිපදවීමක්‌ සිදුකරනු විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය කටුලන්ද මහතා සඳහන් කරයි. එය එතරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක්‌ නොවන බවද හෙතෙම අනතුරු අඟවා සිටී.
එනිසා මගේ රුධිර සීනි මට්‌ටම අඩුයි කියා සිතා වැඩිපුර පැණි රස ආහාර පාන ගත් අයද රුධිර සීනි මට්‌ටම පරීක්‍ෂා කර ගැනීම වැදගත්ය.

මත්පැන් වල ඇති ඇල්කොහොල් වල සීනි ඇත. මත්පැන් පානය සඳහා ගනු ලබන කටගැස්‌ම තෙලෙන් බැදීමේදී එම ආහාර වල තෙල් සහිත බව අධික වේ. ගෙවුනු පසුගිය දින කිහිපයේ මත්පැන් පානය කළ වැඩිපුර කටගැස්‌ම ආහාරයට ගත් අයද තම රුධිර ගත සීනි මට්‌ටම පරීක්‍ෂා කර ගැනීම වැදගත්ය.

උපාලි ද සේරම්

මේ වගේ වටිනා ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණමයි